දෙවියන්ගෙ ගීතයෙන්,(from Bhagavad Gita) - 02


(පළමු පරිච්ඡේදය..පළමු කොටස)


පාණ්ඩවයන් සහ කෞරවයන් වනාහී එකම පවුළක ඥාතීන් පිරිසක් වන මුත් දෘතරාෂ්ඨ්‍ර රජු සිය පුතුන් පමණක් කෞරවයන් ලෙස සැළකුවා...එසේ කොට සිය සහෝදරයාගේ පුතුන්ගේ සියලුම අයිතීන් උදුරා සිය පුතුන්ට ලබාදීමට කටයුතු කලා...

කුරුක්ෂේත්‍රය වනාහී ආගමික පුද පූජා පිළිවෙත් සඳහා භාවිතා කල ශුද්ධ භූමියක්...එවන් ශුද්ධ භූමියක,ශුද්ධාත්ම විසින් සහය පළ කරන විරුද්ධ වාදීන් පිරිසක් සමග සිදුවන යුද්ධය ගැන අනියත බියකින් දෘථරාෂ්ඨ්‍ර රජු පසු වුනා...ඔහුට අවශ්‍ය වුනා ඔහුගේ පුතුන් සිය දෙනා දිනනු දැකීමට..එසේ වුවත් ඔහුගේ අනියත බිය අඩු වුනේ නැහැ...
දෘථරාෂ්ඨ්‍රගේ උපදේශක සංජය ව්‍යාසයන්ගේ සිසුවෙක්...ව්‍යාසගේ මහිමයෙන් සංජයටද දෘතරාෂ්ඨ්‍රගේ මාළිගයේ සිටම කුරුක්ෂේත්‍රයේ සිදුවන්නේ කුමක්ද යන්න දැක ගැනීමට හැකියාව තිබුණා...
එනිසා දෘථරාෂ්ඨ්‍ර නිතරම සංජයගෙන් කුරුක්ෂේත්‍රයේ තොරතුරු විමසා සිටියා...

(2)
"දෘස්ත්වා තු පාණ්ඩවනිකම්
ව්යුධම් දුර්යෝධනස් තද
ආචාර්යම් උපසංගම්‍ය
රාජ වචනම් අභ්‍රවීත්"

දෑස මෙන්ම බුද්ධියෙන්ද අන්ධ වුණු දෘථරාෂ්ඨ්‍රගේ සිතැඟි දත් සංජය මෙසේ පිළිතුරු දෙනවා..

"මහ රජුනි..යුධ පිටියෙහි රුස්ව සිටින පාණ්ඩවයන්ගේ මනාව මෙහෙයවූ මහා හමුදාව දක්නා දුර්යෝධන රජු සිය ආචාර්ය වරයා වෙත ගොස් මෙසේ පවසනවා ".

(සංජයට අවශ්‍ය වෙනවා සිය ස්වාමියා ගේ සිත සනසවා, කුරුක්ෂේත්‍රයෙහි කිසිදු බාධාවකින් තොරව කෞරවයන් දිනන බව ස්වාමියාට ඇඟවීමට.)

දුර්යෝධන්ගේ ආචාර්ය වරයා යනු ප්‍රති පාර්ශවයේද ආචාර්ය වරයා වුණ ද්‍රෝණාචාර්ය ය..ඔහු කෞරව පාර්ශවයේ සේනාධ්‍යක්ෂ වරයාද වුණා.දුර්යෝධන් මහා රජෙකු ලෙස සැළකුවත් යුධ පිටියෙහිදී කුදු මහත් සෑම දෑටම සිය ආචාර්ය වරයා වෙත යාම ඔහුගේ දුබලකමක් ලෙස ගීතාවෙහි සඳහන් වෙනවා ...
 
(3)
"පස්‍යායිතම් පණ්ඩු -පුත්‍රනම්
ආචාර්ය මහතිම් චමුම්
ව්යූධම් ද්‍රෘපද -පුත්‍රෙන
තව ශිෂ්‍යේන ධීමතා"

"ආචාර්ය තුමනි , පණ්ඩුගේ පුත්‍රයන්ගේ හමුදාව ඔබේ බුද්ධිමත් සහ විනයානුකූල සතුරා වන දෘපදගේ පුත්‍රයා විසින් මනාව සැළසුම් කොට ඇත.."
දුර්යෝධන දකින පාණ්ඩව හමුදාව මෙසේ පෙළගස්වා තිබුණා

1.අර්ධ චන්ද්‍ර ව්‍යුහ (අඩ සඳක ආකාරයෙන්)
2.ගර්භ ව්‍යුහ ( )
3.ගරුඬ ව්‍යුහ (උකුසෙකුගේ ආකාරයට)
4.ක්‍රෞන්ඡ ව්‍යුහ (පක්ෂියෙකුගේ ආකාරයට)
5.කුර්ම ව්‍යුහ (ඉබ්බෙකු ගේ ආකාරයට)
6.මකර ව්‍යුහ (කිඹුලෙකුගේ ආකාරයට)
7.මාල ව්‍යුහ (මාලයක ආකාරයට)
8.මණ්ඩල ව්‍යුහ (චක්‍රාවටාටයක ආකාරයට)
9.ඌර්මි ව්‍යුහ (සමුද්‍රාකාරයට)
10.පද්ම ව්‍යුහ (නෙළුමක ආකාරයට)
11.සර්වතෝභද්‍ර ව්‍යුහ
12.ශකථ ව්‍යුහ (කරත්තයක ආකාරයට)
13.ශ්‍රිංගටක ව්‍යුහ (නලාකාරයට)
14.සුශිමුඛ ව්‍යුහ (ඉඳිකටුවක ආකාරයට)
15.සුර අසුර ව්‍යුහ
16.ත්‍රිශුල ව්‍යුහ
17.වජ්‍ර ව්‍යුහ (දියමන්තියක ආකාරයට)

දෘපද නම් අර්ජුනගේ බිරිය ;ද්‍රෞපදිය ගේ පියාය..දෘපද සහ දෝණාචාර්ය අතර දේශපාලනික මත බේද පැවතිනි..දෘපදගේ මහා පරිත්‍යාගයක් හේතුකොටගෙන ලද වරයක් ලෙස ද්‍රෝණචාර්ය පැරදවීමට සමත් බලවත් පුතෙක් ඔහු ලද බව ද්‍රෝණාචාර්යද දැන සිටියා.දෘපදගේ මේ පුත්‍රයා 'දෘෂ්ඨද්‍යුම්න' නම් විය.ද්‍රෝණාචාර්යය කෙසේවෙතත් දෘෂ්ඨද්‍යුම්න බලවත් සතුරෙක් ලෙස තැකීමක් කලේ නෑ.(කෙනෙකුට ද්‍රේණාචාර්යව මරාදැමීමට අපහසු වීමට හේතුව පසුවට)
දෘෂ්ඨද්‍යුම්න ගැන පවසා ද්‍රෝණාචාර්යගේ කෝපය පාණ්ඩව පාර්ශවය වෙත හැරවීමට දුර්යෝධන කල්පනා කලා..ඊට එක් හේතුවක් නම් දුර්යෝධන් මෙන්ම අරුජුනත් දෝණාචාර්යගේම ශිෂ්‍යයෙක් වීම පමණක් නොව අර්ජුන ඔහුගේ ප්‍රියතම ශිෂ්‍යයෙක්ද වීම නිසා ඔහු කෙරෙහි ඇල්මක් තිබිය හැකි බව දුර්යෝධන් කල්පනා කිරීමයි.
එනිසා දුර්යෝධනට අවශ්‍ය වුනා දෝණාචාර්යට වක්‍රව පැවසීමට,යුධ පිටියේදී අර්ජුන කෙරෙහි පක්ෂග්‍රාහීත්වයක් ඇති කර නොගන්නා ලෙසට.

(4)
අත්‍ර සුර මහේශ්ව්-ආස
භීමර්ජුන-සමායුධී
යුයුධානෝ විරාථශ් ච
දෘපදශ් ච මහා -රථහ්

දෘෂ්ඨද්‍යුම්න ගැන තැකීමක් නොකලද යුධ පිටියෙහි සිටි භීම සහ අර්ජුන ට සමාන යුධයෙහි සමත් යුයුධන,විරාථ සහ දෘපද කෙරෙහි ද්‍රෝණාචාර්යගේ මෙන්ම දුර්යෝධන්ගේද අවධානය යොමු වුනා..

(5)
දෘෂ්ඨකේතුශ් චේකිතනහ්
කාශිරාජශ් ච විර්‍යවාන්
පුරුජිත් කුන්තිභෝජාශ් ච
ශෛබ්‍යාශ් ච නර -පුංගවාහ්

තවද වීරයන් වන දෘෂ්ඨකේතු ද චේකිතන ද කාශිරාජ ද පුරුජිත් ද කුන්තිභෝජ ද සහ ශෛභ්‍ය ද පාණ්ඩව පාර්ශවයේ වෙත්...

(6)
යුධාමාන්‍යුශ් ච වික්‍රාන්තා
උත්තමෞජාශ් ච වීර්‍යවාන්
සෞභද්‍රෝ ද්‍රෞපදේයාශ් ච
සර්ව ඒව මහා -රතහ්

තවද සුභද්‍රාගේ සහ ද්‍රෞපදීන්ගේ පුත්‍රයන් වන මහා බල යුධමාන්‍යු,වීරබල උත්තමානුජ නම් වන යුධ රත කරුවන්ද ඔවුන් සතු වෙත්....

(7)
අශ්මාකම් තු විශිෂ්ඨයේ
තන් නිබෝධ ද්විජෝත්තම
නායකා මම ශෛන්‍යාස්‍ය
සම්ජ්නර්දම් තන් භ්‍රවිමි තේ

උතුම් බ්‍රාහ්මණයාණෙනි ,ඔබගේ දැන ගැනීම උදෙසා මම මෙසේ මාගේ යුධපතීන් ගැනද පවසමි....


- පළමු පරිච්ඡේදයේ දෙවන කොටසින් නැවත හමුවෙමු -

දෙවියන්ගේ ගීතයෙන් (from Bhagavad Gita ) - 01



"ධර්ම් ක්ෂේත්‍රේ කුරුක්ෂේත්‍රේ සම්වේථා යුයුත්සවාහ්
මමකාහ් පාණ්ඩවාස් ෂෛවා
කිමකුර්වථ සඤ්ජය ....?!"

මේ ලියන්න සූදානම් වන දෙය මෙම සමූහයෙහි සිටිනා අදේවවාදී හෝ අනාගමික වාදීන් විෂයෙහි එතරම් ප්‍රිය කාරණා නොවිය හැකියි...පුද්ගලිකව මාද මේ ලිවීමට සූදානම් වන ලිපි වල යම් යම් කරුණු ගැන උපරිම විශ්වාසදායීත්වයක් නැති වුණත් එම කාරණා කතාන්දරයක් ලෙස අසා සිටිය හැකි මෙන්ම ආගමික වශයෙන් කෙසේ වෙතත් ජීවිතයට යම් යම් උපදෙස් ඉන් ලබා ගත හැකි බව හැඟෙන බැවින් මෙසේ ලීමට සිතුවෙම්......
මේ භගවත් ගීතාව ගැනයි...ගීතාවෙහි අන්තර්ගතය සම්පූර්ණයෙන්ම අසංක්ෂිප්තව ඉදිරිපත් කිරීමට තරම් මා වියතෙක් නෙවෙන බැවින් එතරම් දක්ෂකමක් මගෙන් බළාපොරොත්තු නොවන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිනවා...
භගවත් ගීතාව යනු හින්දු ආගමෙහි පූජනීයම ග්‍රන්ථවලින් එකක්...ව්‍යාස විසින් රචිත එය මහාභාරත් මහා කාව්‍යයේ 6 වන පොතෙහි 23 සිට 40 වන තෙක් පරිච්ජේද කොටස් භගවත් ගීතාව ලෙස හැඳින්වෙනවා....
පාණ්ඩව කුමරු අර්ජුනයන් සමග කුරුක්ෂෙත්‍රයෙහි ධර්ම යුද්ධය අවස්ථාවේ ක්‍රිෂ්ණා විසින් සිදු කල සංවාදයක් භගවත් ගීතාවට මූලික වෙනවා....

පෙර කතාව සැකෙවින් ගතහොත් (ප්‍රධාන කතාවට අනුබද්ධ කුඩා කුඩා කතාන්දර සහ චරිත සිය ගණනක් ඇති බව සැළකීම මනාවයි ) :දෘරාෂ්ඨ්‍ර සහ පණ්ඩු යන සහෝදරයින් යනු භාරත් රජු විසින් ආරම්භ කල කුරු රාජධානියෙහි කුමාර වරු දෙදෙනෙක්...
වැඩිමහලු දෘථරාෂ්ඨ්‍ර අන්ධ පුද්ගලයෙක් වූ බැවින් බාල පණ්ඩුට රජකම ලැබුනත් ඔහු අකලට මියයනවා...


 මරණයෙන් පසු ඔහුගේ කුඩා පුතුන් පස්දෙනා (පාංච් පාණ්ඩව්/පාණ්ඩවයන් පස්දෙනා);
  • යුධීෂ්ධීර ,
  • භීම,
  • අර්ජුන,
  • නකුල සහ 
  • සහදේව ,
කුමරුවන් දෘථරාෂ්ඨ්‍ර රජු භාරයට පැමිණෙනවා...කුඩා කල දෘථරාෂ්ඨ්‍ර රජුගේ පුතුන් සියදෙනා සමග පාණ්ඩවයන්ද එකම මාළිගයෙහි කෙලිදෙලෙන් හැදී වැඩුනත් දෘථරාෂ්ඨ්‍රගේ වැඩිමහලු පුතු දුර්යෝධන් පාණ්ඩවයන් කෙරෙහි සෑම අවස්ථාවකම අමනාපයෙන් පසු වුනා..ඔහු සිය අන්ධ සහ බුද්ධි හීන පියා සමග එක්ව පාණ්ඩවයන් මැරීමට විවිධ අවස්ථා වල විවිධ උපක්‍රම යෙදුවා...නමුත් පාණ්ඩවයන්ගේ මාමා කෙනෙක් වන විදුර සහ ඥාති සොහොයුරෙක් වුණ ක්‍රිෂ්ණ දෙවියන්ගේ උපකාරයෙන් ඒ සෑම අවස්ථාවක්ම මග හැරීමට පාණ්ඩවයන් සමත් වෙනවා...ක්‍රිෂ්ණ යනු මහා දේවාත්මය සේම පාණ්ඩවයන්ගේ මව වුණ කුන්ති ය (ප්‍රථා) ගේ බෑණනු කෙනෙක්ද වුනා...එම නිසා ඔවුන් අතර තද බල ඥාති බැඳීමක් තිබුනා මෙන්ම පාණ්ඩවයන්ගේ සාධාරණ බව කෙරෙහි ක්‍රිෂ්ණ පැහැදී සිටියා...

දේශපාලන කූඨ බුද්ධියෙන් යුත් දුර්යෝධන් පාණ්ඩවයන් පොළඹවා ගන්නවා සූදූ කෙලියකට.
සුදූව පරාද වන පාණ්ඩවයන් හට සිදු වෙනවා අර්ජුනගේ බිරිය වුණ ද්‍රෞපදියව දුර්යෝධන්ට ලබා දීමට...අපහාස කිරීමේ අරමුණින් දුර්යෝධන් කුමාර වරුන් රැස්ව සිටි සභාව ඉදිරියේ ද්‍රෞපදියව නිරුවත් කිරීමට උත්සහ කලද ක්‍රිෂ්ණගේ ආනුභාවයෙන් එයට ඉඩ නොලැබෙනවා..මෙ නිසා ක්‍රීඩාවට වංචා කිරීම යන චෝදනාවෙන් පාණ්ඩවයන් වසර දහතුනකට හස්තිනාපුරයෙන් මෙන්ම කුරු (කෞරව) රාජධානියෙන් පිට කරවනවා..

වසර දහතුන ඇවෑමෙන් පැමිණෙන පාණ්ඩවයන් සිය පිය උරුමයෙන් හිමි රජකම ඉල්ලා සිටියද දෘථරාෂ්ඨ්‍ර සහ දුර්යෝධන් එය ප්‍රතික්ෂේප කරනවා..අවසන පාණ්ඩවයන් ගම් පහක් පමණක් ලබාදෙන ලෙස කල ඉල්ලීමද දුර්යෝධන් අහංකාර ලෙස ඉවත දෑමීම හේතුකොටගෙන පාණ්ඩවයන් සහ කෞරවයන් අතර යුද්ධයට මුල පෑදෙනවා...
ක්‍රිෂ්ණ දෙවියෙකු ලෙස යුද්ධයට සහභාගී විය නොහැකි වුවද අර්ජුනගේ රථාචාරියා ලෙස එක්ව ඔහුට නිතර උපදෙස් ලබා දීමට පෙළඹෙනවා..මෙම අවස්ථාවේ ක්‍රිෂ්ණ සහ අර්ජුන අතර ඇති වුණ සංවාදයයි භගවත් ගීතාවේ ඇතුළත් වන්නේ...

ගීතාවේ පළමු පරිච්ඡේදයේ ආරම්භය සිදුවන්නේ මා ඉහලින් සඳහන් කල ශ්ලෝකයෙන්..එය දෘථරාෂ්ඨ්‍ර සිය උපදේශක සංජයගෙන් මෙසේ ඇසීමයි...
"සංජය, මාගේ පුතුන් සහ පණ්ඩුගේ පුතුන් කුරුක්ෂේත්‍රයෙහි ශුද්ධභූමියෙහි රැස් වුණු පසු කුමක් නම් සිදුවීද?......"

- නැවත හමුවෙමු-

කොළඹ වීදියකදී.....07 - සංවර්ධනය මැද හුදකලාව


මම මුලින්ම රැකියාවකට හෝ කුමකට හෝ කියලා කලේ ඔඩිට් ෆර්ම් ගිය එක.ෆර්ම් එක තිබුනෙ කොල්ලුපිටියෙ.ඉතිං ගණේමුල්ලෙ ඉඳලා කොල්ලුපිටියට කෝච්චියෙන් එන්න පටංගත්තු මුල් කාලෙ හරිම විනෝදයි සහ කුතුහලය පිරි කාලයක්..මින් පෙර නොදුටු තැන් ගොඩක් දැක බලා දැන කියා ගන්න පුලුවන් වුනා...
ඔහොම කෝච්චියෙ එද්දි මහලේකම් කාර්යාලය ස්ටේසම පහු කරං කොම්පඤ්ඤ වීදියට එද්දී කෝච්චියෙ ගෑවන නොගෑවෙන තරමට ලංව ඉදි කරලා තිබුනු මුඩුක්කු නිවාස පේලි පහුකරන් තවත් ඉස්සරහටම යද්දි කොම්පඤ්ඤවීදිය ස්ටේසමට ටිකක් කලින් වම් පැත්තට වෙන්න තිබුණා ලාතැඹිලි පාට ගාපු බ්‍රිතාන්‍ය පන්නයේ ගොඩනැගිල්ලක්...කලු පාට අකුරින් තිබුණා 'Castle Hotel' කියලා...

වැඩක් නෑ..දැං කෙනෙක්ට මම ඔය කියපු පාරෙම ගියාට ඒක දකින්න ලැබෙන්නෙ නෑ...ඒ වෙනුවට තියෙන්නෙ අහස උසට හැදෙමින් පවතින අලුත් ගොඩනැගිලි.ගිය අවුරුද්දෙ (2017)මැයි මාසෙ අපේ වගකිවයුතු රාජ්‍ය ආයතන දැනුවත්ව හෝ නොදැනුවත්ව එය බිමට සමතලා කරලා දාලා ඉවරයි....මා එය දැන ගත්තෙත් අද...ඉතිං මතකය අවදි කරමින් ඒ ගැන ලියන්න හිතුනා...
ඒ ගැන ලියනකොට අමතක කරන්න බැරි කාසල් හොටල් ගොඩනැගිල්ලෙ සහෝදරිය වන් 'De Soyza buildings' අමතක කරන්නත් බෑ..මැලේ වීදිය පටං ගන්න තැන සිට ජස්ටිස් අක්බාර් මාවතට සමාන්තරව රේල් පාර අසලටම දිවෙන බ්‍රිතාන්‍ය පන්නයේ ගොඩනැගිලි පේලිය තමයි ඩි සොයිසා බිල්ඩිංස් කියන්නෙ..වර්තමානයේ විවිධ කඩ සාප්පු වලින් මේ ගොඩනැගිලි පේලිය පිරිලා විතරක් නෙමේ නඩත්තුව අඩු කමින් බෝගස් නුග ගස් පැලවෙලා..සමහර තැන්වල ගඩොල්,කබොක් ගල් ගැලවි ගැලවි වැටෙන්නෙ කොයි වෙලාවක හරි ඇතුලෙ ඉන්න මිනිසුන් යට කරගෙන මේක බිමට පාත් වෙයි කියන බිය ජනක හැඟීම ඇති කරමින්...

කාසල් හෝටලය තිබුණ ගොඩ නැගිල්ල සහ ඩි සොයිසා ගොඩනැගිලිත් අයිතිව තිබුනෙ මහා ධනපති දාන පති චාල්ස් හෙන්රි ද සොයිසා පවුලට..පසුව ඔවුන්ගෙ පරපුරෙන් පැවත අවසාන කාලයේදී රනිල්,මාලතී සහ ගීතාල් සොයිසා වරුන්ට අයිතිව තිබුනා...කාසල් හෝටලය කුලී කරුවන් විසින් පවත්වාගෙන ගිය එකක්...
සැම දිනකම උදෑසන සහ හවස කාසල් හෝටලය කාර්යය බහුල වුන එකක්..බිමතින් ගී කියන්නන් එතුල සුලභ දර්ශණයක් වුනා...
රනිල් මහතාට මෙය සුපිරි පන්නයේ බ්‍රිතාන්‍ය ස්වරූපය ගත් අවන්හලක් කිරීමට අවශ්‍යතාවය තිබුනත් එවකට සිටි නීති අධිකාරීන් එයට ඉඩ දුන්නෙ නෑ...කෙටියෙන් කිවහොත් කුලී කරුවන් විසින් එම ගොඩනැගිල්ලේ ස්වරූපය වෙනස්වන ආකාරයේ වෙනත් ඉදිකිරීම්ද වර්ණ ගැන්වීමද නොකලයුතු බව එකල අදාල ආයතන නියෝග කොට තිබුණා..එසේ තිබියදීත් 2012 දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අණින් , නාගරික සංවර්ධන පණත යටතේ මේ ප්‍රදේශයේ අක්කර 8කට හෝ ඊට සමාන ගණනක ප්‍රදේශයක (සුප්‍රකට Java lane ද ඇතුළුව) මිනිසුන් ඉවත් කර ගොඩ නැගිලි ඉවත් කර එය ටාටා සමාගමේ නිවාස ව්‍යාපෘතියකට ලබා දුන්නා...මහින්ද පෙරේරාට සිය කුලියට සිටි ස්ථානයද සොයිසා වරුන්ට ඔවුන්ගේ දේපලක්ද අහිමිව ගියේ මෙසේයි..

මේ කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ සහකාර කථිකාචාර්ය වරියක් වුණ ඩෙබෝරා ෆිලිප් මහත්මිය පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට ලිපියක් ලියමින් ඇපෑලක් ඉදිරිපත් කලේ කාසල් හෝටල ගොඩනැගිල්ලෙ පුරා විද්‍යාත්මක වටිනාකම පහදමින් සහ එය ඉවත් කිරීමට අවසර නොදෙන ලෙස ඉල්ලමින්..
ඇගේ පර්යේෂණ වලට අනුව කාසල් හෝටල ගොඩනැගිල්ල මුල් වරට ඉදිකරවා තිබෙන්නෙ සුපක්‍රට H.W. Caves මහතාට අයත්ව තිබුණු Caves & Company නම් සමාගමෙනි(1872 දී බව කියැවේ)...තවද කුලී කරුවන් විසින් කල සොයා බැලීම් වලට අනුව එය හොටලයක් බවට පත් කොට තිබුනේ 1875 දී බවට ලේඛණ ගතව තිබුනා..ඒ අනුව බලන කල මෙය අවම වශයෙන් ,ලිඛිතව අවුරැදු 140 ක ඉතිහාසයක් ඇති ගොඩනැගිල්ලක් වුණා.. 2016 පෙබරවාරි මස , ෆිලිප් මහත්මියගේ දිගින් දිගටම කල ඉල්ලීම් සහ පු.වි.දෙ හි විමසා බැලීම් වලින් පසුව එහි අධ්‍යක්ෂ ජනරාල් වුණ ආචාර්ය සෙනරත් දිසානායකයන් විසින් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති එකක් බැවින් එය ඉවත් නොකරන ලෙසට ටාටා සමාගමේ දේශීය නියොජිතායතනය වුණ නාගරික සංවර්ධන අධිකාරියට දැන්වූ බව පැවසෙනවා.

ඒ කෙසේ වුවද 2017 මැයි මස ඇද හැලුනු ධාරානිපාත වැසි අතරේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනැගිල්ල බිමට සමතලා කොට දමා තිබුණ අතර පු.වි.දෙ.විසින් එය සංරක්ෂිත ගොඩනැගිල්ලක් ලෙස ගැසට් කොට නොතිබුන බවද පසුව පවසා තිබුනා...
ඉතිහාසයක් පැවති, කොළඹට අභිමානයක් ගෙනදුන් කාසල් හොටල ගොඩනැගිල්ල කොළඹ සිතියමින් ඉවත්ව ගියේ එලෙසයි....
ටාටා සමාගමින් පවසන ආකාරයට නම් කාසල් ගොඩනැගිල්ලෙ සෑම අඟලක්ම සැම කැටයමක්ම ඒ ආකාරයටම පිහිටන ඒ ගෘහ නිර්මාණ ශිල්පයම රැගත් නව ගොඩනැගිල්ලක් එම ස්ථානයේ ඉදිවෙන බව කියනවා..එහෙත් එය හුදෙක් ඒ ස්වරූපය රැගත් නව ගොඩනැගිල්ලක් වනවා මිස ශත වර්ශ දෙකකට පෙර ඉදිවුනු ඉතිහාසමය වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් නොවනු ඇත..


සහෝදරියගේ අභාවයත් සමග ජස්ටිස් අක්බාර් මාවත දෙස උපේක්ෂා සහගතව බලා ගෙන සොයිසා ගොඩනැගිලි සංකීර්ණය හුදෙකලාව සිටින්නී ඉතිහාසයකට නෑ කම් කී සියල්ල ඈ අතැර ගොස් බැවිණි..අද හෝ හෙට හෝ නුදුරු අනාගතයේදී ඇයද බිමට පතිතව හෝ තවත් සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එතැනින් ඉවත් කර දමාව්..ඊට පෙර වගකිවයුතු ආයතන මැදිහත්ව එය සංරක්ෂණයට කටයුතු කරන්නේනම් මැනවැයි....එය කොළඹ නගරාලංකරණයට තව තවත් දායක වේවි..

ගරාවැටෙමින් තිබුණු තුරග ගරග පිටිය,ලන්දේසි රෝහල සහ පැරණි රසපරීක්ෂණ හා විගණකාධිපති දෙපාර්තමේන්තු පැවති ගොඩනැගිලිද අලුත් වැඩියා කොට පැරණි බව සුරකිමින් වාණිජමය වටිනාකමක් ලබා දීමට හැකි වූවා නම් මෙයටද එසේ කල නොහැකිද?!......

-කොළඹ වීදියකදී නැවත හමු වෙමු-
අමිල
(ඡායා රූප ජංජාලයෙන්)

"Dignity Colony"


හිට්ලර්ගේ කුප්‍රකට නාසි වද කඳවුරු ගැන නොදන්න දිනියස් වරයෙක් නැතිව ඇති...
ඒවගේ තව වද කඳවුරු සෑහෙන ප්‍රමාණයක් ලොව පුරා විවිධ රටවල් වල විවිධ කාලවකවානු වල තිබුණා, අපේ රටෙත්.....
මේ කියන්න යන්නෙත් එවන් වධ කඳවුරක් ගැන..
චිලී රටේ මනස්කාන්ත හුදෙකලා ප්‍රදේශයක එනම් මෞල් කලාපයේ ,ලිනාෙර්ස් පළාතේ ,පැරල් ජනපදයේ Perquilauquen නදියේ උතුරු ඉවුරේ පිහිටා තිබුණා 'Socieded Benefactoray Educacional Dignidad' (Dignity Charitable and Educational Society) නමින් හැඳුන්වූ ආයතනයක්..මේ ආයතනයටම තමයි 'Colonia Dignidad' කියලා කිවුවෙත්...


සමහරුන්ට දැන් 2015 නිකුත් වුණ ,එමා වොට්සන් ප්‍රධාන චරිතය රඟපෑ සිනමාපටය මතකයට එනවා ඇති ,එය නරඹළා තියෙනවනම්..ඔවු මේ කියන්න යන්නෙ ඒ සිනමා පටයට පාදක වුණ ආයතනයේ සත්‍ය කතාවෙන් බිඳක් ගැන....



1950 දශකයේදී ජර්මාණු සංක්‍රමණිකයන් විසින් මුල් වරට මෙම ජනපදය පිහිටුවා ගන්නවා...දේශපාලනමය හේතූන් මත ඔවුන් ජර්මනිය අත හැර චිලී රටට පැමිණි අයයි...
කොලොනියා ඩිග්නිඩෑඩ් , වර්ග කිලෝමීටර 137ක් (ව.සැ. 53) ක් පුරා පැතිර තිබුණා...එහි වගා භූමියක්, කම්හලක්,රෝහලක්,ආපනශාලාවක් සහ පාසලක් වැනි ජනපදයකට අවශ්‍ය අංග පැවතුණා..
300ක් පමණ ජර්මානු සහ චිලී වාසින් මෙහි විසූ බව පැවසෙනවා...
පිටත ලෝකයට මෙය ඉතාම සාමකාමී ජනපදයක් බවට පෙන්වීමට සියලු කටයුතු පාලනාධිකාරිය විසින් කටයුතු කලා..ඇතුළත පාලනය ආගමික ස්වරූපයකින් පවත්වාගෙන ගියා...සහෝදරියන් සහ සහෝදර වරුන් විසින් පිරිස් පාලනය සිදු කෙරුනා...කොලොනියා විසින් පල කල ප්‍රකාශන වල හා වරින් වර මාධ්‍යට නිකුත් වුන වීඩියෝ පට වල පුරුෂයින් සතුටින් ගොවිතැන් කරන අයුරු..කම්හල් වල වැඩ කරන අයුරු..ළමුන් ගී ගායනා කරන අයුරු...කාන්තාවන් මැහුම් ගෙතුම් වල යෙදෙන අයුරු ...විවිධ උත්සව සමරන අයුරු දැක්වුණා...

1961 දී මෙහි භාරකාරත්වය පැවරෙන්නෙ පෝල් ෂාෆ්ටර් ට..අංකල් පෝල් යන සුරතල් නමින් හැඳින්වුන මොහු කුප්‍රකට පුද්ගලයෙක්...
මොහු ගැන කෙටි සඳහනක් කලහොත් 1921 උපන් මොහු තරුණ වයසේදී ජර්මානු පල්ලියකට අනුබද්ධ පුණ්‍යායතනයක ෆාස්ටර් වරයෙක් ලෙස කටයුතු කරමින් එම ආයතනය යටතේ තිබුණු ළමා මධ්‍යස්ථානයක ළමා සුභසාධන නිලධාරියෙක් ලෙස කටයුතු කලා..1940 දශකයේ අග භාගයේදී ඔහුව ඉන් පන්නා දැමුවේ ඔප්පු වුණ ළමා අපචාර චෝදනා හේතුවෙන්..ඉන්පසුව මද කලක් ස්වාධීන ෆාස්ටර් වරයෙක් ලෙස ඔහු කටයුතු කලා...පසුව ඔහු වටා අනුගාමිකයන් රැසක් එක් රැස් වුණා...

මේ සියල්ල සිදුවෙමින් පැවතෙද්දී තමයි ෂාෆ්ටර් 1961 දී කොලොනියා හි ආඥාදායකයා ලෙස පත් වන්නේ...කොලොනියාහි අධිපති ධූරය හෙබවූ දරූණුතම කෲරතම පුද්ගලයා මොහු ලෙස සැලකෙනවා...මොහු පිටින් ඉතාම ශාන්ත දාන්ත පුද්ගලයෙක් ලෙසින් පෙනුනද අභ්‍යන්තරයෙන් ඉහවහා ගිය කුරිරු කමක් තිබුණු පුද්ගලයෙක්...

1973 දී චිලියේ පාලනය හමුදා ඒකාධිපති ඔගස්ටෝ පිනෝචේ යටතට පත් වෙනවා...පිනොචේගේ නොමද ආශිර්වාදය ලබන්ට පෝල් ෂාෆ්ටර් වාසනාවන්ත වෙනවා..ඒ අනුව සියලුම දේශපාලන සිර කරුවන්..පිනෝචේ විරෝධීන් ලෙස DINA (Dieccion de Inteligencia Nacional - National Inteligence Directorate - චිලියේ රහසිගත පොලිසිය) විසින් හඳුනා ගත් සියලුම පුද්ගලයින් කොලොනියා වෙත් යොමු කර වධ බන්ධනයට ලක් කලා...
                                                                       (ඔගස්ටෝ පිනෝෂේ )
එපමණක් නොවේ කොලොනියා හි ආර්ථිකය සවිමත් කල එකම නීත්‍යානුකූල කටයුත්ත වුන ගොවිතැනට අමතරව නීති විරෝධී ආයුධ වෙළඳාම , මුදල් විශුද්ධි කරණය වැනි කටයුතුත් පිනොචේ බලාධිකාරිය යටතේ ෂාෆ්ටර් විසින් කොලොනියා තුල සිදු කලා...
පැවසෙන ආකාරයට කොලොනියාහි ඉතිහාසය තුල ඉන් පලා යාමට සමත් වුනේ 5 දෙනෙක් පමණයි..එපමණකට එහි ආරක්ෂාව සවිමත් එකක් වුණා..පලා ගොස් ජර්මනියේ දේශපාලන රැකවරණය ලබා ගත් අය විසින් කොලොනියා හි කටයුතු පිළිබඳව වරින් වර හෙලි කලා..
පළමු වරට 1966 දී Wolfgang Mullare විසින් පලා ගොස් කොලොනියා ගැන විශාල විස්තර ප්‍රමාණයක් මාධ්‍යට හෙලි කලා..ඔහු පසුව පුවත් පතක සේවය කලා අතර චිලියේ අසරණයින් උදෙසා කටයුතු කරන සංවිධානයක ප්‍රධානියා බවටද පත් වුණා...
පසුව පලා ගිය Heinz Kuhn විසින්ද මුලර්ගේ විස්තර තහවුරු කරමින් තොරතුරු ප්‍රකාශ වුනා...

මේ හෙලිදරව් කිරීම් කෙසේ වුවත් කොලොනියාහි අකටයුතුකම් ෂාෆ්ටර්ගේ අණ යටතේ පිනෝචේගේ ආශිර්වාදය යටතේ දිගින් දිගටම සිදු වුනා...
1990 දී චිලිය හමුදා පාලනයෙන් මිදී ප්‍රජාතාන්ත්‍රික මාවතකට යොමු වුනත් තව දුරටත් කොලොනියා එලෙසින්ම පැවතුනා...නමුත් ෂාෆ්ටර් ඉන් පලා ගියා...පසුව පත් කෙරුනු විවිධ කොමිසම් මගින් (Rettig Commission,Natiinal Commission for truth and reconciliation) මගින් විවිධ තොරතුරු රාශියක් කොලොනියා ගැන අනාවරණය කලා...2005 දී චිලී රාජ්‍ය හෙලි කල ලේඛණයනට අනුව අපරාධයට පත්වුන පුද්ගලයින් 39000ක නම් හෙලි වුනා...
ෂාෆ්ටර්ගෙ දැඩි පාලනය යටතෙ කොලොනියාහි වෙන වෙනම අංශ පැවති අතර කාන්තාවන්ට ,පිරිමින්ට සහ ළමුන්ට ඒවා වෙන් වුනා...පිරිමින්ට සහ කාන්තාවන්ට අවම වශයෙන් කතා කිරීමටවත් තහනම් වුනා...කොලොනියා හි දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කොට වෙනම ඇති දැඩි කල අතර සහෝදරයන් තම සහොදරයන්ව දැන ගෙන සිටියෙ නෑ...

1996 දී ෂාෆ්ටර් ට එරෙමිව අපරාධ චෝදනා සහ ළමා අපචාර චෝදනා එල්ල වුණා...එහෙත් 2005 තෙක් ඔහුව සොයා ගත නොහැකි වුන අතර 2005 දී බුවනොස් අයර්ස් හිදි ඔහු අත්අඩංගුවට පත් වන අතර 2006 දී වසර 20කට සිරදඬුවම් නියම වුණා...2010 දී ඔහු සිර කඳවුරේම මිය යන්නේ හදවත් රෝගයකින්..මරණය සිදු වෙන අවස්ථාව වන විටත් ඔහු පරීක්ෂණයකට යටත්ව සිටියා..

                                                  (අංකල් පෝල් අතඩංගුවට පත්ව )

මාධ්‍ය වේදී John Dinges වරක් ප්‍රකාශ කල ආකාරයට ජර්මානු බුද්ධි සේවයේ උපකාරයද කොලොනියා වෙත ලැබුණා...එහි උමං ,බංකර,රෝහල් සැදීම සඳහාද ඔවුන්ගේ සහාය ලද බව කියවුණා...
2002 වන විට වැසියන් 198 දෙනෙක් කොලොනියා හි විසු අතර පසුව එය වෙනස්ම තේමාවක් යටතෙ පවත්වාගෙන යාමට කටයුතු කලා..වර්තමානයේ Villa Bavarea නමින් හඳුන්වන එහි විශ්ව විද්‍යාලයක් හා සංචරණයට විවෘත ප්‍රදේශයක් ලෙස පවත්වාගෙන යනවා...
එකල කාන්තාවන්ට සහ පිරිම්න්ට වෙන්ව පැවති ගොඩනැගිලි වල පසුව පවුල් පදිංචි කෙරුනා....

කොලොනියාහි සිදුවුන අපරාධ වලින් හෙලිදරවු වූ ප්‍රමාණය අල්පයක් පමණක් බව ඉන් පලා ආ සුලු පිරිස පවසා තිබුණා....
මේ වන විට සියල්ල කොලොනියාහි රහස් උමං තුල කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් ඇති...



- අමිල-
තොරතුරු සහ ඡායාරූප ජංජාලයෙන්....

........"ජීවිතය මේ වගෙයි".........



1975 හේමන්තයේ තෙරේසා වෝල් සතුටින් ඉපිලෙමින් සිටියේ ඇගේ ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටි නිසයි.ගැබිණි මවුවරුන්ට ඇති වෙන ව්‍යාකූලතා කිසිවකට මුහුණ නොදුන් ඇය ඉතාම වාසණාවන්ත මවක් ලෙස සියළුම දෙනා හැඳින්වුවා..
ප්‍රසූතිය දිනයේ ආසන්න පැය දෙකකදී වෙනත් කිසිදු දරු ප්‍රසූතියක සිදු නොවූ බැවින් වෛද්‍ය වරුන් හා හෙදියන් විවේක සුවයෙන් තෙරේසා සමග විහිළුවෙන් කාලය ගත කළා..ප්‍රථම දරු ප්‍රසූතිය උදෙසා සූදාණමින් සිටි ඇගේ බිය පහ කිරීමට ඔවුන් සියළුම් උපක්‍රම යෙදුවා....
අවසන 1975 අගෝස්තු 10 දින බළපොරොත්තු වූ සොඳුරු මොහොත එළැඹුණා..

එහෙත්?!........
දරු ප්‍රසූතියෙන් පසු හෙදියන්ගේ සහ වෛද්‍ය වරුන්ගේ සිනාකතා නතරව තිබුණා...
තෙරේසාගෙ කුළුඳුල් පුතු ලෙස මෙලොව එළිය දුටු ක්‍රිස්ටෝපර් වෝල් ගේ හෘදය වස්තුව පපු කුහරයේ වෙණුවට තුනී සමට යටින් පිහිටා තිබුණා...සමට යටින් හෘදය ගැහෙන විට උස්පහත් වන සම දෙස වෛද්‍ය කාර්යය මණ්ඩලය බළපොරොත්තු රහිතව වික්ෂිප්තව බලා සිටියා...
එස්ටොෆියා කෝඩීස් ලෙසින් හඳුන්වන දුලභ රෝගයකින් ක්‍රිස් පෙළුණා..වෛද්‍ය වරුන්ට අනුව දරු උපත් මිලියනයකට උපත් 5 - 8ක් මෙමෙ රෝගය සහිතව උපදින අතර බොහො දෙනා ප්‍රසූතිය අවස්ථාවේදීම මිය යන අතර තවත් අය උපතින් දින් 1 සිට 16 තෙක් කාලය තුළදී මිය යනවා...එනිසා ක්‍රිස් ගැන බළපොරොත්තු තැබිය නොහැකි බව ඔවුන් තෙරෙසාට කරුණාවෙන් පහදා සිටියා...
එම අවස්ථාවේ රාජකාරියෙහි යෙදුණු වෛද්‍ය වික්ටොරියා වෙටර් පවසා සිටින්නෙ මෙම රෝගය ජාන ගතව පවතින්නක් වුවත් ඇතැම් දරුවන් හොඳ සෞඛ්‍යයෙන් උපදින විට සමහරුන් එසෙ නොවන්නේ ඇයි යන්න ඔවුන්ට ප්‍රශ්ණයක් බවද ඇය පවසා සිටිනවා....
ක්‍රිස් ව වහ වහා දැඩි සත්කාර ඒකකයට මාරු කලා..තෙරේසා සිය කුළුඳුල් දරුවා වෙනුවෙන් දිවා රෑ කඳුළු හෙළුවා..එහෙත් ඇය එක් විශ්වාසයකින් සිටියා..ඒ ඇගේ දරුවාට කිසිම අණතුරක් සිදු නොවන බවට සහ ඔහු අනෙක සාමාණ්‍ය දරුවන් මෙන් කටයුතු කරමින් ජීවත් වන බව...
ක්‍රිස්ව වෙන්ටිලේටරයට සම්බන්ධ කොට වෙනත් අසංකූලතා තිබේදැයි සොයා බැලීමට වෛද්‍ය වරුන් කටයුතු කලා...මෙසේ සියල්ල සිදු වෙද්දී වෛද්‍ය වරුන් පුදුම කරවමින් ක්‍රිස් සිය පණ නල ගැටගසා ගෙන සිටීමට සමත් වුණා...
මාස 18ක් තුළදී ක්‍රිස් සැත්කම 15කට මුහුණ දී සිටියා..තව දුරටත් සැත්කම් කළයුතුද යන්න තීරණය කළ යුතුව තිබුණේ එයින් ක්‍රිස් ගේ ලේ නහර වලට බරපතළ හානි සිදුවී හෘදය වස්තුව වෙත ලේ ගමණගමණය නැවතිය හැකිව තිබුණු බැවිණි...
අවසානයේ ඔවුන් තීරණය කලා ක්‍රිස් ගේ පපුවේ හෘදය පිහිටි ප්‍රදේශය ආවරණය කරමින් පළඳණාවක් යෙදීමට..
"ඔහු හරිම හුරතල් පෙනුමට හිටියා..මුහුණට මාස්ක් එකක් සවි කරලා ඇඟපුරාම විවිධාකාරයේ වෛද්‍ය උපකරණ සවිකරල තිබුණේ..ඔහු හුස්ම ගත්තේ තරමක් අපහසුවෙන්...ඒත් මගේ හුරතල් පුතා...." තෙරේස මතකය ආවර්ජණය කරමින් එසේ පවසනවා....
කල් යත්ම ක්‍රිස් මුළු රෝහලේම සුරතලා බවට පත් වුණා..'මිස්ට පර්සනැලිටි' නමින් කාර්යය මණ්ඩලය ඔහුව හැඳින්වුවා ....දැඩි සත්කාර ඒකකයෙන් ඉවත්ව වාට්ටුවට ගෙන ආ පසු ක්‍රිස් දකින සෑම අයෙකුටම සිනහ වෙමින් අත් වැනීම පුරුද්දක් වුණා...හෙදියන් නිතර ඔහු වටා රැස්ව හුරතල් කිරීම සුලබ දසුනක් වුණා...
විශ්වාසයේ දෑස් දල්වා ගත් තෙරේසා වසර තුනක් ක්‍රිස් සමග අඛණ්ඩව ෆිලඩෙල්ෆියා ළමා රෝහලේ ගත කලා..අවසානයේ 1978 දී ක්‍රිස් ගේ 3 වන උපන්දිනයට දින දෙකකට පෙර ක්‍රිස් පළමු වතාවට සිය නිවස දකිනවා...සිය අලංකාර නිවස පුරා දුවමින් ඔහු සතුටු වුණා..එහෙත් ඔහුගේ පපුවේ අන් දරුවන් පුදුම කරවූ ආවරණයක් තිබුණා...ක්‍රිස්ගේ දෙමාපියන්ට හදිසි අවස්ථා සඳහා පුහුණුව සහ ප්‍රතිකාර ක්‍රම රැසක් පුහුණු කරවූවා...ක්‍රිස් රෝහලේ නොසිටියත් වෛද්‍ය වරු නිතරම ක්‍රිස් ගැන අවධානයෙන සිටියා...
කෙමෙන් වැඩුනු ක්‍රිස් අන් දරුවන් ලෙසම සාමණ්‍ය විදිහට වැඩුණා...බයිසිකල් පැද්දා..බෝට්ටු සවාරි ගියා...කරාටේ ක්‍රීඩා කලා..වොලිබෝල්, ෆුට් බෝල් ආදී සෑම ක්‍රීඩාවක්ම කලා...
විවිධාකාරයේ සැත්කම හේතුවෙන් ක්‍රිස් ශ්‍රවණාබාධිත දරුවෙක් වුණා විතරක් නොවේ ඔහු පවසන දේ වටහා ගැනීමට අන් අයට අපහසු වන අවස්ථා බහුල වුණා...ඉගෙනීමේ අපහසුතා වලින්ද ඔහු පෙළුණා..එසේ වුවත් 1995 , වයස අවුරුදු 20 දී ඔහු උසස් පාසලින් උපාධිය ලබා පිටවීමට සමත් වෙනවා..."ජීවිතය කියන්නේ කුඩා දෙයක්...එහි අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා..ලෙඩ ගැන හිතමින් සිටියා නම් ඒ දේවල් කරන්න අපට හැකි වන්නේ නෑ.." ඒ ක්‍රිස් ගේ අදහස්...ෆිලඩෙල්ෆියාහි වීදි ක්‍රිස් සහ අනෙක් දරුවන්ගේ ප්‍රීතිමත් කෑගසීම් සහ ක්‍රීඩා වලින් ප්‍රබෝධමත් වුණා...තෙරේසාගෙ විශ්වාසය නොකඩවමින් ක්‍රිස් සාමාණ‍ය දරුවෙක ලෙසම ජීවත් වුණා...අද ක්‍රිස් 43 හැවිරිදි මැදි වියේ පසු වන්නෙක්...අදටත් ඔහුගේ හෘදය වස්තුව පපු කුහරසට පිටින් සමට යටින් ගැස්සෙමින් ඉලිප්පෙමින් ස්පන්ධනය වෙනවා.......
මේ ලියන මට කම්මැලි කම නිසා අත් හැර ගත් සියළුම අවස්ථා ගැන ලැජ්ජා හිතෙනවා......
- අමිල -

භාරතයේ විත්ති - 25 - No politics....No money....No religion ...No stress - The City of Dawn - අරුණෝදයේ නගරය....



"There should be somewhere on earth a place which no nation could claim as its own, where all human beings of goodwill, who have a sincere aspiration, could live freely, as citizens of the world, and obey one single authority – that of the supreme Truth.“

 ~ Mirra Alfassa, 1954
 
ඇය එදා පැතූ ඒ සොඳුරු දේශය අද සැබෑවෙමින් පවතිනවා...
මේ කියන්න යන්නෙ මොකක් ගැනද?!..ඒ අරුණෝදයේ නගරය ගැනයි....මොකක්ද මේ අරුණෝදයේ නගරය...ඒ තමයි ඖරෝවිල්....ඖරෝවිල් කියන වචනය හැදිලා තියෙන්නෙ නම් ප්‍රංශ භාෂාවෙන් බිඳිලා...ඒකෙ තේරුම අවුරෝරා විලේජ් ....

1964 මිරා අල්ෆසා සහ ශ්‍රී ඔරොබින්දෝ යන අයගේ මූලිකත්වයෙන් ඇතිවුන නීතියෙන් සම්මත වුන ප්‍රදේශයක් තමයි ඖරෝවිල් කියන්නෙ...1968 දී ආරම්භ වුන මෙය පර්යේෂණාත්මක විශ්වීය නගරයක්...පිහිටා තිබෙන්නෙ තමිල්නාඩු ප්‍රාන්තයේ විරුප්පුරම් දිස්ත්‍රික්කයේ.....මොකක්ද මේ විශ්වීය නගරය..මෙහි ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි විවිධ ආගම් කුල සහ වර්ණ වලට අයත් පුරවැසියන් 2,500ක් පමණ කිසිදු ආගම් බේදයකින් තොරව සමගියෙන් වාසය කරනවා...පුරවැසි ගහණය 50,000 වනතෙක් වර්ධණය වීමට මෙම නගරයේ ඉඩ තිබෙනවා....දේශපාලන ඇඟිලි ගැසීම් මෙහි නෑ...

ඉන්දීය මධළුම රජයේ සුලු අනුග්‍රහයෙනුත් ඖරෝවිල් වාසීන්ගෙ නිෂ්පාධන දායකත්වයෙනුත් ගොඩ නැගුනු ඖරෝවීල් මධ්‍යම පදනම සහ අරමුදලෙන් සහ වාණිජ ඒකකයෙන් ඖරොවීල් පාලනය වෙනවා...

මෙම නගරයේ ආගමක් නැති අතර දේශපාලනයෙන් තොරයි....මුදල් භාවිතය ඉතාම අවමයි...එහෙනම් කොහොමද කන්නෙ බොන්නෙ?!..මෙහි විවිධ ක්ෂේත්‍ර වල විවිධාකාර රැකියාවන් රැසක් තිබෙනවා ඒ ක්ෂේත්‍ර කිහිපයක් කිවහොත් වන වගාව,කාබනික කෘෂිකර්මාන්තය,අධ්‍යාපන පර්යේෂණ, සෞඛ්‍ය(පෙරපර දෙදිග) ,තාක්ෂණය,ග්‍රාම සංවර්ධණය සහ නගර සැළසුම්කරණය....පුරවැසියන් මෙම රැකියා වල නිරත වෙන්නෙ මුදලට නොවේ...මෙහි ඉඩම් වලට නිවාස වලට හෝ ව්‍යාපාර වලට කිසිදු තනි හිමිකාරීත්වයක් නැහැ..
භාන්ඩ ලබා ගැනීමට අවශ්‍ය විට ඔවුන් ගිණුම් අංකයක් ලබා දෙනවා..එවිට ලබාගත් භාන්ඩ වල වටිනාකම මධ්‍යම පදනමට අදාල පුරවැසියන් ලබා දී ඇති සේවාවේ සමුච්චිත වටිනාකමින් අඩු වෙනවා...ඔවුන් කන්නෙ බොන්නෙ අන්න එහෙමයි....
ඔවුන් නිතරම පවසන්නෙ අපි අපේ ශ්‍රමය දී අපට අවැසි දේ ලබා ගන්නවා යනුවෙනි...
                                                                                                                   (ඖරෝවිල් නිෂ්පාදන අළෙවි සැළක් )
නගරය දිනෙන් දිනම ස්වයංපෝෂිත වෙන අතර අතිරික්තය වෙළඳාම් කරනවා...
අධ්‍යාපනය බොහොමයක්ම අධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් සංවර්ධණය වුන එකක්..ඒ කියන්නෙ ආගමිකයි කියන එක නෙමේ...ආගම..සංස්කෘතිය..කලාව..වැනි මාතෘකා වලදී ඔබ මොන ස්ථානයේ සිටීද යන්න වටහා ගැනීමට අවශ්‍ය පරිදි අධ්‍යාපන ක්‍රම නිර්මාණය වී තිබෙනවා..එසේ පවසන්නෙ ආචාර්යවරියක් වන දීප්ති තිවාරි...ඒක හරියට මදොගිවා ටොට්ටො චං ගිය ටෝමෝවෙ හරි පුදුම ඉස්කෝලෙ වගේ නේද?!....
                                                                      (ඖරෝවිල් පාසලක් )

මුලු නගරයේම ක්‍රමපද්ධතිය ගත් විට එය සමූපාකාර ක්‍රමයකට අනුව හැඩ ගැසී ඇති බව පේනෙනවා...
ඔවුන් අතර ගැටලු නැතිවාම නෙමේ...නමුත් ගැටුම ඇති වන හැම අවස්තාවකම ඔවුන් ඉන් උගෙන නැවත එසේ නොවීමට වග බලා ගැනීම විශේෂම දෙයක්..

මෙවන් අපූරු දේශයක් ප්‍රායෝගිකව පැවතිය හැකි බව ඔබ මොහොතකටවත් සිතුවාද..එය එසේයි..
                                                    (සන්ධ්‍යාවේ නගර මධ්‍යයට රැස්ව )

මෙහි පුරවැසි සංගණනයට අනුව 2016 දී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුත් එහි පුරවැසියන් අතර සිටින බව දත්ත සනාත කරනවා...
මෙහි පුරවැසියන්ගේ බලාපොරොත්තුව නම් කෙදිනක හෝ ඉන්දියාවෙ වෙනත් ප්‍රදේශ වලද ඔවුන් හා සමානව කටයුතු කරන පිරිස් හා ප්‍රදේශ බිහිවේවි යන්නයි...

(ටිබෙට් ශාලාව )

                                                                (නගර ශාලාව )



- නැවත හමුවෙමු
- අමිල -

Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට - 14 - "එක්කො උඹ....නැත්තම් අප"


34 හැවිරිදි උෂා නාරායන් සිර ගෙදරින් නිදහස්ව දොරටුවෙන් එළියට පැමිණ මතකය ආවර්ජණය කරන්නට වුනා...වසර 8කට පෙර ඇය හෝටල් කළමණා කාර ධූරයක් හෙබවූ ඩිප්ලෝමාධිරිණියක් වුණා..ඇය රැකියාව කලේ පංජාබ් හි හෝටලයක....දාලිත් කුල ස්‍ත්‍රියක් වූ ඇයට කුලීන සමාජයේ නොමද ගැරහීම් වලට ලක්වන්නට වූ අවස්ථා එමටයි...
ඇය සමාජාවධානයට ලක් වුනේ මේ එකක්වත් නිසා නොවෙයි....
ඒ කුමක් නිසාද?
****************************************************************************************
නාග්පූර් හි කස්තූර්බා නගර් හි මුඩුක්කු ආශ්‍රිතව ඇති දැඩි වුන භරත් කාලිචරන් යාදව් නොහොත් අක්කු යාදව් යනු දශකයකට අධික කාලයක් තිස්සේ සිය පිරිස සමග එක්ව කප්පම් ගනිමින්,මනුෂ්‍ය ඝාතන කරමින්,සත්‍රී දූෂණ කරමින් කස්තූර්බා නගර් භීතියෙන් හා ත්‍රස්තවාදයෙන් පෙළූ නරුමයෙක්..ඔහු හා පිරිස විසින් බාල වයස්කාර දැරියන් සහ මැදිවියේ කාන්තවන්ද ,ගර්භනී කාන්තාවන්ද කිසිදු අනුකම්පාවක් නැතිව දූෂණයට ලක් කලා..ඇතැම් අවස්ථාවල මේ අපරාධ සියල්ලන්ම ඉදිරියේ ප්‍රසිද්ධියේ සිදු වුන දේවල්.
ඔහුට විරුද්ධව පාලනාධිකාරියත් පොලීසියත් ක්‍රියාත්මක වුනේ නෑ..ක්‍රියාත්මක වුණත් ඒ හැම අවස්ථාවකම කෙටි කාලයකින් ඇප ලබා ඔහු නැවත සමාජ ගතවීම සිදු වුණා.පොලිසිය විසින් පැමිණිලි කල අයගේ නම් ගම් හෙලි කිරීම නිසා ඔවුන්ට විරුද්ධව නැවත තාඩණ පීඩණ කිරීමට අක්කු පසුබට වුනේ නෑ.. වතාවක් 22 හැවිරිදි යුවතියක් පැමිණිලි කළ විට ඇය අක්කු සමග පෙම් සබඳතාවක් පවැත්වූ බව පවසමින් ඇයව පලවා හරිනවා.
ඌෂා යනු මොහුට විරුද්ධව ප්‍රසිද්ධියේ හඬ නැගූ කාන්තාවක්.ඇයට නීතිවේදියෙක් වුන ඇගේ මස්සිනා ද මේ සඳහා උදව් කලා....
2004 අගෝස්තු 6 වන දින ඌෂාගේ නිවසට යාබද නිවසකට පැන අක්කු සහ පිරිස එම නිවැසියන්ට තාඩණ පීඩණ කරමින් යුවතියන් දූෂණයට ලක්කල විට ඌෂා ඊට එරෙහිව හඬ නැගූ බැවින් අක්කු සහ 40ක් පමණ වන ඔහුගේ පිරිස ඌෂාගේ නිවස වටලා ඇසිඩ් බෝතල් පෙන්නමින් ඇයට ඇසිඩ් ගසන බවද දූෂණය කරන බවද පවසමින් තර්ජණය කරමින් නිවසට පැමිණියා.වහ වහා ක්‍රියාත්මක වුණ ඌෂා ගෑස් සිලින්ඩරය විවෘත කොට ගිනි පෙට්ටියද අතට ගෙන කිසිවෙක් හෝ නිවසට ඇතුළු වුවහොත් ගිනි කූරක් ගසා සියල්ලම පුපුරවා හරින බව ප්‍රකාශ කල බැවින් පිරිස පසු බැස්සා.මේ අවස්ථාවේ ඌෂා වහාම පොලිසිය අමතා පැමිණිලි කල අතර අපරාධ වලින් හෙම්බත්ව සිටි කස්තූර්බා වාසීන් අක්කුගේ නිවස වටලා එය ගිනි තැබුවා....සියල්ල කණපිට හැරෙන බව වටහා ගත් අක්කු සිය ආරක්ෂාව පතා පොලීසියට බාර වුණ අතර පසු දිනම ඔහුව නාග්පූර් දිසා අධිකරණයට යොමු කිරීමට පොලිසිය කටයුතු කලා.
                                                         (District and sessions court - Nagpur)

පළමු නඩු වාරය තිබෙන දින කස්තූර්බා වැසියන් 500ක් පමණ අධිකරණ භූමියට රුස් වුණා....එහිදීද අක්කු සමච්චලයට හිනා වෙමින් නැවත පැමිණි පසු සියල්ලන්ටම හොඳ පාඩමක් උගන්වමියි පවසමින් සිටියා....
පෙර වතා වලදීද මොහු ඇප ලබා පැමිණි පසු සිදු වූ දෑ ගැන අවබෝධයක් තිබුණු පිරිසට මේ වතාවේදීද මොහු අණිවාර්යෙන්ම නිදහස් වන බව අවබෝධ වුණා...වහ වහා ක්‍රියාත්මක වුණ ඌෂා සහ කාන්තාවන් පිරිසක් කතිකාවකට එකඟ වුණා...
මින් සතියකට පසුව නඩු වාරය දිනදී ද කාන්තාවන් නාග්පූර් අධිකරණයට රැස් වුණා...සවස 3 ට පමණ අක්කුව රැගත් පොලිස් කොස්තාපල් වරුන් අධිකරණයේ කොරිඩෝව දිගේ අධිකරණ ශාලාවට පැමිණෙමින් සිටියා...අවට සිටි කාන්තාවන් හඳුනා ගත් අක්කු 'වේසියො...තොපි එකෙක් ගානෙ පාඩම් උගන්වන්නම්, මම ආපහු ආවම.." ලෙසින් වහසි බස් දොඩන විට පොලිස් නිලධාරීන් සිනා වෙමින් සිටි බව සිද්ධිය දුටුවෝ කියා සිටිනවා.
වහා ඉදිරිට පන් කාන්තාවක් සිය සෙරෙප්පුව ගලවා අක්කුට පහර දෙමින් " මින් පස්සේ මේ මහ පොළවේ තොටත් අපටත් දෙගොල්ලන්ටම සිටින්න බෑ...එක්කො උඹ ...නැත්තම් අප.." යැයි පවසත්ම අවට සිටි කාන්තාවන් සියයකට අධික පිරිසක් (වාර්තා වන අන්දමට 200ක් පමණ) වහ වහා අක්කු වෙත පැන මිරිස් කුඩු මුහුණට ගසා සඟවාගෙන පැමිණි පිහි වලින් අක්කුට පහර දුන්නා...අක්කුගේ සගයෙක්ටද පහර දුන් කාන්තාවන් ඔහුගේ ලිංගේන්ද්‍රියද කපා දමනවා....
කාන්තාවන්ගේ හදිසි ප්‍රහාරය හමුවේ බිය වන පොලිස් නිලධාරීන් අක්කු අත හැර දමා පලා යනවා...
විනාඩි 15කටත් අඩු කාලයකදී නාග්පූර් අධිකරණයේ,7 වන ශාලාවේ,කොරිඩෝරය අසල කුඩා කාමරයක් තුල කැපුම් තුවාල 70කට අධික ප්‍රමාණයක් ලබා අක්කුද ඔහුගේ සගයාද මිය ගොස් තිබුණා.....

වහ වහා ක්‍රියාත්මක වුණ පොලිසිය කාන්තාවන් පස් දෙනෙක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කලා...
පසුව කාන්තාවන් ගණන 21 ක් දක්වා වැඩි වුනා..
සිදු වීමත් සමග කලබලයට පත් සමාජයේ විරෝධතා රැල්ලක් ආරම්භ වුණා...මෙයට විශ්‍රාම ලත් විනිසුරු වරුන් සහ ප්‍රසිද්ධ නීතී වේදීන්ගේ සහායද ලැබුණා...විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු බාහු වහානේ ප්‍රසිද්ධියේ කාන්තාවන්ගේ ක්‍රියාව අගය කරමින් ඔවුන්ට ප්‍රශංසා කලා....

කෙසේ වෙතත් කාන්තාවන් පිරිසක් නිදහස් කිරීමට අධිකරණය කටයුතු කලේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන්...
කස්තූර්බා නගර් වැසි කාන්තාවන් වැල නොකැඩී පොලිසියට වාර්තා කරමින් මිණී මැරුමට ඔවුන්ද සම්බන්ධ යැයි පවසමින් සියල්ලන්වම අත්අඩංගුවට ගන්නා ලෙස පල කිරීම නිසා පොලිසියද මහත් අපහසු තාවයට පත් වුණා...
ගණනින් 21 ක ක් වූ විත්ති කාරියන්ගෙන් 7 දෙනෙක් වයස 50ත් 60ත් අතර වුණු අතර තිදෙනෙක් නඩු කාලය තුලදී මිය ගියා....අනෙකුත් කාන්තාවන් පසුව නිදහස් කලද ඌෂා ට විරුද්ධව නඩුව වසර 10 ක් තිස්සේ නාග්පූර් අධිකරණයේ ඇසුණා...
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් තර්ක කල නීති වේදීන් ඌෂා සහ පිරිසට විවිධාකාර චෝදනා නැගුවත් විත්ති පාර්ශවයේ නීති වේදීන් තර්ක කලේ එය සැළසුම් සහගත ක්‍රියාවක් නොව චිත්ත ප්‍රවේගය (emotional burst) හේතුවෙන් සිදු වුණ ක්‍රියාවක් බවයි..
සියලුම තර්ක විතර්ක අවසානයේ 2014 දී අවසාන තීන්දුව ලබා දීමට විනිසුරු වරයා කටයුතු කලා.
ඔහු සිය දීර්ඝ දේශණයේදී පහත කරුණු අවධාරණය කරමින් කතා කලා.
  • අක්කුව අධිකරණයට රැගෙන එමින් සිටි කොස්තාපල් වරුන්ගේ සාක්ෂි පරස්පර විරෝධී වීම නිසා විශ්වාසදායීත්වයෙන් අඩු බව.විත්ති කරුවන් ගණන විවිධ වාර්තා වල විවිධ අගයන්ගෙන් සමන්විත වන බැවින් නිශ්චිත ගණනක් හෝ නිශ්චිතවම ක්‍රියාව සිදු කලේ කවුරුන්ද යන්න නම් වශයෙන් පැවසීමට පොලිසීය අසමත් වීම. 
  • ඇසින් දුටු සාක්ෂි කරුවන් වන අක්කුගේ සොහොයුරන් වන සංතෝෂ් සහ යුව්රාජ් ගේ සාක්ෂි පිලි ගැනීමට අපහසු වීම.ඊට හේතුව නම් ඔවුන් ඇස් පෙනීමේ දෝශ සහිත වීම සහ කාමරයේ දොරක වුනු කුඩා විවරයකින් සිදුවීම දැක තිබීම.තවද සිය සහෝදරයා වෙනුවෙන් ඔවුන් දෙන සාක්ෂි විශ්වාසදායී බවින් අඩු වීම.
  • සිද්ධිය දුටු විශාල පිරිසක් සාක්ෂි කරුවන් ලෙස ඉදිරිපත් නොකිරීම..තවත් පිරිසක් සාක්ෂි දීම වෙනුවට අක්කුට ලැබුනේ ඔහුට ලැබිය යුතු දඬුවම බව පවසමින් සාක්ෂි දීම ප්‍රතික්ෂේප කිරීම.
  • වසර ගණනාවක් තිස්සේ කස්තුර්බා වාසීන්ට සිදුවූ අඩන්තේට්ටම් ගැන පැමිණිලි ගණනාවක් පොලිසියේ සටහන් කලද නිසි ක්‍රියා මාර්ග ගැනීමට පොලිසිය නින්දා සහගත ලෙස අසමත් වීම සහ ඒ හේතුවෙන් ජනයා තුල වෛරයක් කැකෑරෙමින් පැවතීම.
  • මරණයට පත් අක්කුගේ මරණ පරීක්ෂණයේදී මධ්‍යසාර ශරීරගතව තිබුණු බව වාර්තාවී ම හේතුවෙන් පොලිසියේ සහාය ඔහුට ලැබුණු බවට විශ්වාස කිරීමට කරුණු තිබීම.
කරුණු සියල්ල විමසා බැලීමෙන් අනතුරුව 2014 දී විනිසුරු වරයා ඌෂා නාරායන්ව නිවැරදි කොට නිදහස් කිරීමට නියෝග කරනවා...
අද සමාජ ගතව සිටින ඌෂා කාන්තාවන් වෙනුවෙන් හඬ නගන ක්‍රියා කාරී කාන්තාවක් (මැය ලංකාවේ සිටින ඊනියා කාන්තා විමුක්ති වාදීන්ටද පාඩමක්මැයි) ..

සමාජය විසින් ඇගේ කුලමල බේද නොසලකා ඇයට ගෞරය කරන අතර ඇයව වීරවරියක් ලෙස සළකනවා...තවත් වසර ගණනවෙක් ඉදිරියට මුහුණ දීමට තිබුණු අක්කුගේ ත්‍රස්තවාදයෙන් ඔවුන්ව මුදවා ගත් වීරවරිය ඌෂා බැවු කස්තුර්බා නගර් වාසීන් නිතර පවසනවා......
තවද නඩුව අතරවාරයේදී සිදු වුන සමාජ විරෝධතා රැල්ල හේතුවෙන් ප්‍රාන්ත රජය මෙන්ම මධ්‍යම රජයේද අවධානය සිද්ධියට යොමු වීමෙන් ඉන් අධිකරණයටද යම් බලපෑමක් සිදු වුණ බව සමාජයේ කතා බහට ලක් වුණ බව පුවත්පත් වාර්තා කරනවා.....

- The court is adjourned -

පද්මාවත් ගැන මගේ අදහස....






ඉස්සර පද්මාවතී දැන් පද්මාවත් කියන්නෙ මම බලන්න යන්න ඕනෙ කියලා පුන පුනා බලා සිටි සිනමාපටයක් නෙමේ කොහොමටවත්..ඊට හේතුව බංසාලිගෙ ඉතිහාස කතා රැල්ල එපා වෙලා සිටි නිසා....දීපිකා කියන්නෙ මම කැමතිම නිලියකුත් නෙමේ වීම අනිත් හේතුවයි..ඒත් යාලුවෙක් යන්න ආරාධනා කල නිසා ඕං මාත් ගියා පද්මාවත් බලන්න..
දැං දීපිකා ෆෑන්ස්ලා මගෙ ඇඟට ගොඩ වෙන්න එන්න එපා...මම කැමති නෑ කියන එක මට අදාල දෙයක් මිස මුලු ලෝකෙටම අදාල දෙයක් නෙමේ...

එසේ වුනත්..දිපිකා පද්මාවත් එකේ දක්වන රංගනය ගැන නරකක් කීවොත් නම් එය මහ කුහක කමක් වේවි..
අවුරුදු දෙකකට කලින් ආපු බංසාලිගෙම භාජිරාඕ මස්තානි කියන්නෙ මට අනුව නම් මෙලෝ රහක් නැති කතාවක්...
ඒ නිසාම දීපිකා ගැන සහ රණ්වීර් ගැන තව තවත් බිඳවැටිලයි හිටියෙ.
ඒ වුණාට පද්මාවත් බැලුවට පස්සෙ ඒ අදහස වෙනස් වුණා...
රාජ්පුත් රැජිණියගේ චරිතය , බංසාලිගේ රංගන රීතියට අනුව දීපකා හොඳින්ම කරලා තිබුණා...බංසාලිගේ සිනමාපට වල තිබෙන නාට්‍යමය ස්වරූපය නොඅඩුවම පද්මාවත් එකෙත් තිබුණා...
දීපිකාගෙ නර්තන හැකියාව ගැන නම් කියන්න දෙයක් නෑ..ඝූමර් ගායනයට ඉදිරිපත් කරන නර්තනය ඇස් එහාට මෙහාට ගෙනියන්නෙ නැතිව නර්තනයටම බැඳ තබා ගැනීමට සමත් වුණා...බඩ පේන්නෙ නැති වෙන්න රතුපාට හැට්ටයක් පරිඝණක තාක්ෂණයෙන් සදා තිබීමෙන් රංගනයට කිසිදු අඩුවක් වෙලා තිබුනෙ නැ...
සිනමාපටය එහෙම පිටින්ම තමන්ටම නතු කර ගන්න රණ්වීර් සමත් වෙලා තිබුණා...
ඒ කොතරම්ද කිවොත් මට හිතුනා මේකට පද්මාවත් කියලා නොදා 'ඛිල්ජි' නැත්තම් 'අලා-උද්දීන්' කියලා දැම්මනම් හරි කියලා ( 😂😂 )..සිනමා පටයේ අවසාන භාගය වන තෙක්ම දීපිකාගේ රංගනය සුලුවෙන් තැනින් තැන දක්නට ලැබුණත් රණ්වීර්ගේ ප්‍රභල රංගනය දිගටම දක්නට ලැබුණා.රණ්වීර් තමුන්ගෙ රංගන වින්‍යාසය සෑහෙන වෙනසකට ලක්කරලා තියෙන බව පේන්න තිබුණා...ඔහුගේ මින් පෙර හැම රංගනයකම පොඩියට හරි තිබුණ ඔහුගෙ ගොංපාට් ගතිය මේකෙ දකින්නට තිබුණෙ නෑ...
'කල්බලී ' ගායනයට ඉදිරිපත් කරන රංගනය ,භාජි රාඕ මස්තානි එකේ 'මල්හාරී' ගායනයට ඉදිරිපත් කල රංගනය සිහි ගන්වනවා..නමුත් කල්බලී රංගනය වේගවත් සහ ප්‍රභලයි...වේගවත් පා තැබීම් සමගින් සිදුකරන නර්තනය සහ හින්දි සිනමා පටයක මතක ඇති ආකාරයට පලමු වතාවට දුටු තනි කකුලෙන් සිටගෙන කරන නර්තනය, රණ්වීර්ගෙ නර්තන හැකියාවත් මනාව පෙන්වනවා.....
මා හැමදා ප්‍රිය කරන නළුවෙක් වුණ ෂහීද් තම චරිතය ;'රාවල් රතන් සිං' විශිෂ්ඨ අන්දමින් ඉදිරිපත් කරලා තිබුණා...
මා අසා තිබුණු සහ පොතින් කියවා පද්මාවත් කතාවට වඩා තරමක් වෙනස් කතාවක් මෙහි අඩංගු වුනා...ප්‍රධාන කතාව එසේ වුවත් යම් යම් වෙනස්කම් සෑහෙන ප්‍රමාණයක් දකින්නට තිබුණා...කතාව මම කියන්න යන්නෙ නෑ..
බංසාලි කියන්නෙ අතිෂය දක්ෂයෙක්...
ඊට හේතුව නම් තිර රචනාව අධ්‍යක්ෂණය මෙන්ම සංගීතයද ඔහුගේම වීමයි...සංගීතය ගැන නම් කියන්න දෙයක් ඇත්තෙම නෑ... අවස්ථාවට සුදුසු වන ආකාරයෙන් සංගීත මුසු වීම නියම මාත්‍රාවට අනුවම සිදු වෙලා තිබුණා...සිංහල දීපයේ දර්ශණ වලදී ලංකාවෙ ගතියක් දැනුනෙ මට විතරද?ඒ සමහර විට ලංකාවෙත් උත්තර භාරතීය සංගීතයම තියෙන නිසා වෙන්නතු ඇති ඉතිං...රාජස්ථානී ජන සංගීතය සහ අරාබි සජගීතය යන විවිධ ශෛලීන් මනාව භාවිතා කරලා තිබුණ සංගීතය සිනමා පටයට ප්‍රභලම දායකත්වයක් දීලා තිබුණා..
දර්ශණ තල වල වැඩි පුරම ගුප්ත අන්ධකාර ගතියක් තිබුණා...
සිනමාපටයේ අඳුරු අවසානයට මුල සිටම පාර කැපීමක් වගේ ඒක...මේ අන්ධකාරයේ වෙනස ඛිල්ජිගේ සහ රතන්සිංගේ මාලිගා දර්ශණ වලදී කැපී පෙනෙන වෙනසක් තිබුණා...රතන්සිං මාළිගයේදී එය ප්‍රසන්න ස්වරූපයක් ගත්තත් ඛිල්ජි ගේ මාලිගයේදී එය අප්‍රසන්න ගතියක් පෑවා....
කතාවේ අවසානය ගැන මා යම් තරමකට පැහැදීම මද ගතියක් තියෙනවා...සියලු දේ සිදුවීමෙන් පසු , ඛිල්ජි දොරවල් හැර බලා සිදු වී ඇති විනාශය දැක කම්පා වෙන දර්ශණයක් තිබුණ නම් හොඳයි කියලාත් මට හිතුණා...

කෙසේ වුවත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ විවිධ බාධා මැදින් පැමිණි පද්මාවතිය මෙසේ හෝ නොපැමිණියානම් එය විශාල අපරාධයක් විය හැකිව තිබුණේ බංසාලි එයට විශාල මහන්සියක් දරා තිබෙන බව දුටු නිසයි..දකින්නට තිබුණු සුලු සුලු අඩුපාඩු ඒ දක්ව තිබුණු මහන්සිය නිසාම අමතක කර දමන්නට සිදු වෙනවා.....
මේ සැරේ ෆිල්ම්ෆෙයා සම්මාන ටික මම දැන්මම කියන්නද...හොඳම නළුවා රණ්වීර් සිං...හොඳම නිළිය දීපිකා පදුකෝන්...හොඳම සහාය නළුවා ෂහීද් කපූර්...හොඳම ගායිකාව ශ්‍රෙයා ඝෝෂාල්...හොඳම සිනමාපටය පද්මාවත්
වසරේ ඉදිරියට මොන ආකාරයේ සිනමාපට ආවත් මේ සම්මාන පහ මේ විදිහට ලැඊමේ සම්භාවීතාවය ඉතාම ඉහලයි...
කෙසේ වුවත් මා අදටත් කැමති 90 දශකය අවසානයේ දුටු 'හම් දිල් දේ චුකේ සනම් ' හො 2000 දශකය අවසාන භාගයේ දුටු 'Black' වැනි සිනමා පට බංසාලිගෙන් ලැබීමටයි...
මෙය බංසාලිගෙ ඉතිහාස මේනියාවේ අවසානය වේවායි පතමි!!!!............

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters