භාරතයේ විත්ති - 23 - "පද්මාවත්"




"දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී"
- අලව්දීන් කිජ්ලි -
 පද්මාවත් යනු 1540 දී පමණ සුෆී කවියෙකු වුණ මලික් මුහම්මද් ජයාසි විසින් මුලින් පර්සියානු නැස්ටලික් අක්ෂර භාවිතයෙන් රචිත හා පසුව ඉන්දීය භාෂාවක් වන අවධි භාෂාවෙන් රචිත වීර කාව්‍ය සම්ප්‍රදායට අයත් කාව්‍යක්.(අවධි බස නම් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අවද් නැතහොත් අයෝධ්‍යා හි බසයි).දේවනාගරී අක්ෂර භාවිත යෙන් අවධි බසින් රචිත පැරණිම ලේඛණයක් ලෙස "පද්මාවත්" කාව්‍යයට විශාල වැදගත් කමක් හිමි වෙනව
පද්මාවත් හි අන්තර්ගත වන්නේ "මේවාර්" මහ රැජිණ ; පද්මාවතී ගේ කතාවයි..
කවුද පද්මාවතී?
පද්මාවතී කියන්නෙ සත්‍යයත් පරිකල්පනයත් අතර දෝලනය වන චරිතයක්....
මලික් මුහම්මද් විසින් රචිත පද්මාවතී වීර කාව්‍යයට අනුව පද්මාවතී යනු එකල (14 වන සියවසේ) සිංහල දීපයේ රජු ගාන්ධර්ව්සේන් සහ චම්පාවතී බිසව ගේ දියණියයි....බොහෝමයක් වීර කාව්‍යයන්හි කාන්තාවන් වර්ණනා කර ඇති ආකාරයටම මෙම වීර කාව්‍යයෙත් පද්මාවතීව වර්ණනා කර තිබෙන්නෙ සකල ලෝකයේම සිටින රූපත් ලලනාවන්ගෙන් අග තැන්පත් ලලනාව ලෙසිනි....(ඔය ලලනාවන් සියල්ලම ඒ කියන්නෙ හෙලන්,පෙනිලොප්,සීතා,ද්‍රෞපදී,පද්මාවතී,පෝර්ෂියා ... කට්ටියම එකම කාලෙ හිටිය නම් සෙට් එකම එක්කහු කරලා ලෝක රූ රැජිණ නැත්තම් විශ්ව රූ රැජිණ වගේ මොකක් හරි එකක් තියලා ඒ අය අතරිනුත් ලස්සන කෙනා තෝරන්න තිබුණා නේද 😅😂නැත්තම් මේවා කියවන අපි අමාරුවෙ වැටෙනවා කවුද සකල ලෝක සුන්දරී කියලා)

හරි ආපහු කතාවට.
උම්මග්ග ජාතකයෙ හිටිය ගිරවා වගේ මේ පද්මාවතී ලඟත් හිටියා බොහොම බුද්ධිමත් කතා කරන ගිරවෙක්.මම ෆෝන් එකේ හරි ලැප් එකේ හරි එල්ලිලා ඉන්නකොට අපේ අම්මට පෙන්නන්න බෑ වගේ පද්මාවතී ගිරවා එක්කම දවසෙම කදේ දාං ඉද්දි ගාන්ධර්වසේන් ට තරහ ගිහින් ගිරවාව මරන්න නියෝග කරාලු. මේ නියෝගය අහපු පද්මාවතී ගිරවාට යන්න ඇරියා.මේ ගිරවා පියාඹලා ගිහින් තියෙන්නෙ සුලුපටු දුරක් නෙමේ..ඒ රාජස්තාන්වල චිත්තෝර්ඝඩ් වෙනකල්ම. ඉන්දියාවෙ රාජස්ථාන් හි බලවත්ම හා ආරක්ෂිතම රාජධානිය වූ චිත්තෝර් හි රජු වූ රාජ්පුත් වංශික "රතන්සේන් " (රාවල් රතන් සිං) ට මැය ගේ වර්ණනාව දැනගන්නට ලැබෙන්නෙ දඩයක් කාරයෙක් විසින් අල්ලගෙන ආපු මෙන්න මේ අපූරු ගිරවගෙන්...මේ වර්ණනාව හේතුකොට ගෙන ආලයෙන් මත් වුණ රතන්සේන්, සිංහල දීපයට ගොස් පද්මාවතී පිළිබඳ විවාහ යෝජනාව කරනවා..මේත් එක්කම ඔහුගේ සරඹ දක්වන ස්ථානයට පද්මාවතීට එන ලෙස ගිරවා අතේ පවසා යවනවා.නමුත් තරමක් අහංකාර පද්මාවතී එය ප්‍රතික්ෂේප කරන අතර මුලින් සිය දිවි හානි කරගැනීමට තැත් කල රතන්සේන් පසුව ගනේධර්වසේන්ගේ බලකොටුවට පහර දෙනවා.නමුත් ගාන්ධර්වසේන් සමත් වෙනවා රතන්සේන්ව ජීවග්‍රහයෙන් අල්ලා ගන්න.රතන්සේන්ට මරණ දඬුවම පැමිණවීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ පිරිසෙන් කෙනෙක් රතන්සේන් කවුද යන්න ගාන්ධර්වසේන් ට පැවසූයෙන් ඊට පැහැදී ඔහු සිය දියණියව රතන්සේන්ට විවාහ කොට දෙනවාට ( අපේ මංගල පෝරුවේ ඉතිහාසය සම්බන්ධ තියෙන ජනප්‍රවාද වලින් එකක් තමයි මේ අවස්ථාවේ යොදා ගත් මගුල් මණ්ඩපය) අමතරව පිරිවර ලෙස "පද්මිණී" කුලයේ කාන්තාවන් (සිංහල දීපයේ පමණක් සිටියායැයි කියන උසස්ම කාන්තා කුලය ) රැසක් සූදානම් කරනවා.

ජයග්‍රාහී ලෙස රතන්සේන් ඇය ආවාහ කරගෙන නැවත ඉන්දියාවට පැමිණෙනව...නමුත් මේ වන විටත් රතන්සේන් ට "නාගමතී" නම් අග බිසවක් සිටියා.මුල් කාලයේ නාගමතී සහ පද්මාවතී අතර අරගල ඇති වුණත් පසුව දෙදෙනා සමගි කරවීමට රතන්සේන් සමත්වූ බවත් පද්මාවත් හි පැවසෙනවා.
මේ අතර සිය අමාත්‍ය මණ්ඩලයේ සිටි බ්‍රාහ්මණයෙක් වන "රාඝව් චේතන්ව" රතන්සේන් පිටුවාසල් කරනවා.මේ අවස්තාවේ කාරුණික වූ පද්මාවතී ත්‍යාගයක් ලෙස රාඝව්ට සිය වළල්ලක් ලබා දෙනවා. චිත්තෝර් වලින් පලා යන රාඝව් දිල්ලි රාජධානියෙ රජු වූ, රතන් සිං ගේ පරම සතුරා වූද "අලව්දීන් කිජ්ලී" සමග එකතු වෙනවා....

මේ අලව්දීන් ඉතාම කෲර, මිනී මරු පාලකයෙක් ලෙස වීර කාව්‍යයෙ දක්වා තිබෙනවා...ඔහු මුස්ලිමුන් රැසක් මරා ඔවුන්ගේ භාර්‍යාවන් දිනපතා දූෂණය කළ නරුමයෙක් යැයි පැවසෙනවා....එමුතුදු නොව පුරුෂ ලිංගික ඇසුරටද බරපතලව පුරුදුව සිටි ඔහු සිය කලු ජාතික වහලුන් සමග එසේ හැසිරුණ බවත් විස්තර වෙනවා.
රාඝව්ගේ අතේ තිබුණු කාන්තා වළල්ල ගැන විස්තර ඇසූ අලව්දීන්ට ඔහුගෙන් පද්මාවතී ගේ සුන්දරත්වය අසා වසඟව ඇය දිනා ගැනීමට රතන්සේන් සමග යුධ වැදීමට සූදානම් ව චිත්තෝර්ඝඩ් මාළිගයට යනවා.මේ අවස්තාවේ රතන්සේන් යුද්ධයට සූදානම් නොවූවා සේම බැලූ බැල්මට පෙනෙන චිත්තෝර්ඝඩ් මාලිගයේ ආරක්ෂාව දුටු අලව්දීන්ද තරමක් යුද්ධයට අදිමදි කල බව පැවසෙනවා.දෙපාර්ශවයේ සාකච්ඡා වලින් අනතුරුව පද්මාවතී බිසව දැකීමට ලැබුණහොත් යුධ නොවදින බැවු පවසන නිසා, යුද්ධයකට සූදනම් නැතිව සිටි රතන්සේන් සිය උපදේශකයන් වන "ගෝරා" සහ "බාදල්" ගේ කීමද නොඅසා , කැඩපත් පිළිබිඹුවකින් පද්මාවතී ගේ රුව අලව්දීන් ට දැකීමට සළස්වනවා...ඒ රුව දැක අලව්දීන්, සීතා දුටු රාවණා මෙන් ....හෙලන් දුටු පැරීස් මෙන්....පෙනිලෝප් දුටු ඔඩිසි මෙන් වසඟව කෙසේ හෝ ඇය දිනා ගැනීමට ඉටා ගන්නවා...
පොරොන්දු ප්‍රකාරව යුධය අත් හැර නැවත යන විට රතන්සේන් අලව්දීන් පසු ගමන් ගන්නවා...මාළිගයේ ද්වාරය අසලදී අලව්දින් සහ පිරිස විසින් රතන්සේන් ව පැහැරගෙන ගොස්.....ඔහුව නැවත ලබා දීමට නම් පද්මාවතී තමා වෙතට පැමිණිය යුතුයැයි පවසා ආඥාවක් පිටත් කරනවා....

පසුව ගෝරා සහ බාදල් දිල්ලි බලකොටුවට රහසින් පිවිස රතන්සේන් මුදවාගෙන.පැමිණෙන විට ලද ප්‍රහාරයෙන් ගෝරා මිය යන අතර බාදල් රතන්සේනවත් රැගෙන චිත්තෝර්ඝඩ් වෙත පැමිණෙනවා.
රතන්සේන් මාළිගයෙන් පැහැරගෙන ගිය පසු , කුම්බල්නේර් (මෙය වත්මනෙහි කුම්බල්ගඩ් ලෙස හඳුන්වන රාජධානියද නොදනිමි) හි පාලකයා වන දේව්පාල් පද්මාවතී බිසවට තමා හා විවාහ වන ලෙස යෝජනාවක් කල බව අසා කෝප වන රතන්සේන් ඔහු හා යුධ වැද දෙදෙනාම දෙදෙනා අතින් මිය යනවා..
බාදල් හා රතන්සේන් පසුපස හඹා ආ අලව්දින් ඛිජ්ලි චිත්තෝර්ඝඩ් මාළිගය වටලන අතර රාණි පද්මාවතී සහ නාගමතී සිය පිරිවර කාන්තාවන් සමග ගින්නට පැණ දිවි පූජා කරනවා.
අවසන අලව්දීන් ට හිමි වන්නෙ මලසිරුරු හා අලු පමණක් ඉතිරි චිත්තෝර්ඝඩ් මාළිගයයි...

මේ සැකෙවින් පද්මාවතයි...

මලික් මුහම්මද්ගේ රචනාව පසුව දොලොස්වතාවක් පමණ විවිධ පුද්ගලයින් විසින් විවිධ භාෂා වලට අනුවාද කොට තිබෙණවා.මේ අනුවාද වලින් වඩාත් ප්‍රකට වන්නේ පාර්සි සහ උර්දු භාෂාවල් වලින් කල "රත් පදම් " සහ "ශාමා වාර් පර්ව්නාහ්" ය. මෙසේ විවිධ අනුවාදයන් තිබෙණ බැවින් තව කෙනෙක් ඇසූ කතාව මීට වෙනස් විය හැකිවාක් මෙන්ම මේ කතාව මේ ආකාරයෙන්ම "පද්මාවතී" නමින් නිකුත් වීමට නියමිත සිනමා නිර්මාණයේ අඩංගු නොවිය හැක.
මෙම චරිත වල යම් යම් සත්‍යභාවයක් ඇති යැයි සිතිය හැක්කේ චිත්තෝර්ඝඩ් මාළිගය අදටත් පැවතීම සහ රාජා රතන්සේන්(රතන් සිං) අලව්දීන් ඛිජ්ලි යන අය සම්බන්ධ වෙනත් ලිඛිත වාර්තා මෙන්ම අලව්දීන් මුද්‍රාව සහිත කාසි තිබීමයි.මේ අනුව සත්‍ය චරිත කිහිපයකට නිර්මාණාත්මක වර්ණනා ගල්වා පද්මාවත් නිමවා ඇති බව උපකල්පනය කල හැකියි..
පද්මාවත්හි කතාව පරම සත්‍යක්මැයි විශ්වාස කරන රාජ්පුත් වරුන් සිනමාපටයෙන් ඊට බරපතල හානී වී ඇති බව පවසමින් මේ වන විට පද්මාවතී චරිතය කල දීපිකා පදුකෝන් සහ නිෂ්පාදක/අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ගේ ගෙල සිඳින අයට ඉන්දීය රුපියල් කෝටි සියයක වරයක් ද ප්‍රකාශ කර තිබෙන බවත් මේ දවස්වල අමුතුවෙන් මතක් කල යුත්තක් නොවේ...


සිනමාපටය රූගත කල කාලයේ රාජස්ථාන් කලහකාරීන් චිත්තෝර්ඝඩ් මාලිගයට ද පහර දී එහි තිබූ ඓතිහාසිකමය වටිනා කම් ඇති කැඩපත් සහ තවත් භාණ්ඩ විනාශ කරදමා තිබුණා....














කොළඹ වීදියකදී..... 05 - "ඇචලොන් බැරක්කය"

https://www.facebook.com/groups/804276106323782/?multi_permalinks=1556569777761074&notif_id=1511779669764621&notif_t=like

අපි පොඩි කාලෙ අහල තිබුණේ සහ මෑතක් වෙනකල්ම ලංකාවෙ උසම ගොඩනැගිල්ල වුනේ කොළඹ ලෝක වෙලඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල...
 දැන්නම් අළුත් ඒවා තියෙනවා...දැනට ඉදිකිරීම් සෑහෙන් දුරට අවසන් නෙළුම් කුළුණ තමයි උසම එක ..මීටර් 350යි ...දෙවැනි එක වෙන්න අල්ටයර් ගොඩනැගිල්ල..තාම නම් ඉදිකිරීම් ඉවර නෑ.ඉදිකිරීම් ඉවර වුණාම මීටර් 240...තුන්වැන්න ග්‍රෑන්ඩ් හයාට් ගොඩනැගිල්ල , මීටර් 174යි..තව කිහිපයක්ම තියෙනවා..මේ ඔක්කොම හදලා ඉවර වුණාම මෙච්චර කාලයක් ලෝක වෙලඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට , එහෙමත් නැත්තම් WTC එකට තිබ්බ තැන පහලට වැටෙනවා.

WTC එක ට කලින් ඒ තැන දිනාගෙන තිබුණේ අල්ලපු වැටේ තියෙන ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල.
WTC එකයි ලංකා බැංකු ගොඩනැගිල්ලයි ගැන කියනකොට මතක් වෙන්නෙ මේ දෙකම පිහිටලා තියෙන ප්‍රදේශය. ඒ ප්‍රදේශයට කියන්නෙ "ඇචලොන් / එචලන් චතුරස්‍රය "..
 මේ ඇචලොන් චතුරස්‍රය පිහිටි භූමියෙ කලින් තිබුණෙ මොකක්ද?...ඒතන තිබුණෙ "ඇචලන් බැරැක්කය"...ඇචලන් බැරැක්කය කියන්නෙ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක්. මෙහි ප්‍රධාන ගොඩණගිල්ල මහල් දකකින් යුතු වුණා.මෙම ගොඩනැගිලි සංකීර්ණයට අමතරව ඉතා විශාල පාපන්දු සහ හොකී ක්‍රීඩා පිටියක විශාලත්වයෙන් යුත් සරඹ පිටියකුත් මෙතැන තිබුණා. බ්‍රිතාන්‍ය හමුදාවෙ කාලතුවක්කු හමුදාවේ මූලස්ථානය පිහිටලා තිබුණෙත් මෙතනයි. පසුව ආරක්ෂක අමාත්‍යංශයත් මෙම ගොඩනැගිලි සංකීරණයේම ස්ථාපනය කලා.
  
ඇචලොන් බැරැක්කයට උතුරු දෙසින් ඕලන්ද යුගයේ ඉදි වුණ රෝහල් සංකීර්ණය පිහිටා තිබුණා.
19වන ශතවර්ෂයේ ඉදිවුණ ඇචලොන් බැරැක්කය 1970 දශකය වන තෙක්ම එම ස්ථානයේ තිබුණා. එහෙත් 70 දශකයේ වාණිජමය වශයෙන් කොළඹ නගරය සංවර්ධනය කිරීම උදෙසා මෙම ගොඩනැගිලි සියල්ලම සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමුණා.                                               (චායාරූපයේ පහල කොටසේ ඇති පිටියත් දෙපසින් ඇති ගොඩනැගිලි පෙළත් ඇචලොන් බැරැක්කය නම් වුණා.....)
ඉහතින් කී සරඹ පිටිය ආශ්‍රිත ප්‍රදේශයේ අද පිහිටා තිබෙන්නේ හිල්ටන් හෝටලය,ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ ලංකා බැංකු මූලස්ථානයයි.සරඹ පිටියට දකුණු දෙසින් ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයෙන් වෙන්ව පිහිටි ගොඩනැගිලි තිබුණු ප්‍රදේශයේ අද ගලධාරී හෝටලය පිහිටා තිබෙණවා.
වාසනාවට ලන්දේසි රෝහල් සංකීර්ණය එකල විනාශ නොකල නිසා එය ඉතිරි වී තිබී පසුගිය රජය සමයේ එය අළුත් වැඩියා කොට සංචාරක ආකර්ශණය දිනූ සාප්පු සංකීර්ණයක් බවට එය අද පත්ව තිබෙණවා...

නව ගොඩනැගිලි ඉදිවීමෙන් පසු මෙම ප්‍රදේශය ඇචලොන් චතුරස්‍රය ලෙසින් නම් කලා...අද අතීත සළකුණකටයැයි කියා ඉතිරිවී තිබෙන්නේ එම නමේ කොටස පමණයි.....

-කොළඹ වීදියකදී නැවත හමුවෙමු -

Beyond reasonable doubt,සාධාරණ සැකයෙන්බඔබ්බට...... - 10 "සොයිසා සහ පුත්‍රයෝ"


ඇලෙක්සැන්ඩර් වසන්ත වික්‍රමසිංහ සොයිසා අනුරාධපුරයේ විසූ ප්‍රසිද්ධ පුද්ගලයෙක්.පාසල් කාලයේ සිටම සිය පියා නිසා ප්‍රකටව විසුවත් එය ඔහුට කරදරයක් ම වූ බැවින් පාසල් ගමන මග නතර කිරීමට ඔහුට සිදු වෙනවා.මින් පසු කරාටේ ක්‍රීඩාව ඉගෙන ගන්නා ඔහු එහි පාර ප්‍රාප්තව ලංකාවේ සිටින කරාටේ සෙන්සේ වරැන්ගෙන් එක් අයෙක් බවට පත් වෙනවා.
මීට අමතරව ඔහුගේ විනෝදාංශයක් වුයේ ගිනස් වාර්තා තැබීමයි.

• උළු කැට 525 ක් සිරුර් ගසා කඩා දැමීම

• හිසෙන් සිමෙන්ති ලෑලි කඩා දැමීම 

වැනි වාර්තා 10ක් තැබූ ඔහු වැඩිම ගිනස් වාර්තා ප්‍රමාණයක් තැබූ තනි පුද්ගලයන්ගේ ලැයිස්තුවටද ඇතුළත් වෙනවා.
විවිධ රැකියා කල ඔහු ලංගම..ලංවිම..ආදියෙහිද පසුව වෙළදාමද කල අතර අවසානයේ අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ ඔහුට හිමි බිමක පැනෝරමා නමින් නිවාඩු නිකේතනයක් ආරම්භ කලා.
මීට අමතරව කරාටේ ඉගැන්වීමෙන්ද ඔහු අතිශය ජනප්‍රිය වී සිටියා.
ප්‍රදේශයේ ප්‍රභල දේශපාලනඥයන්ගේ ආශිර්වාද ලත්තෙක් වීම කරණ කොට ගෙන මොහුට සිය ව්‍යාපාරය පුළුල් කොට එයට තැබෑරුමක්..සමාජ ශාලාවක් ද එකතු කොට අනුරාධපුර ප්‍රදේශයේ සුපිරියැයි සැළකුණ හෝටලයක් බවට පත් කිරීමට සමත් වෙනවා.
අනුරාධ පුර පූජා භූමිය තුල සමාජශාලාවක් පළමු වතාවට විවෘත කල සමයේ සමාජයේ විවිධ විරෝධතා ඇති වුනත් දේශපාලන බල පුලුවංකාරකම මත ඒ කිසිවක් මායිම් කලේ වසන්ත සොයිසා නෙමේ.
එකල එක්තරා ජාතික පුවත් පතක ඔහු සමග කල සාකච්ඡාවක මෙසේ සටහන්ව තිබුණා මට හොඳින් මතකයි.


"..කොළඹ කොල්ලන්ට විතරද කෙල්ලෙක් බදාගෙන ඩාන්ස් පාරක් දාලා ආතල් ගන්න පුලුවන්..අනුරාධපුරේ උන්ට හොඳ නැද්ද..."

"මේකෙ ලස්සන කෙල්ලො හිටියත් ඔවුන් අනවශ්‍ය දේට යොමු කරලා නෑ..යොමු වුණත් ඔවුන් වැඩිහිටියන් නිසා මට කරන්න දේකුත් නෑ...."

මෙසේ කරදරයකින් තොරව රාත්‍රී 6 සිට මැදියම් රැය වන තෙක් දිනපතා පවත්වාගෙන ගිය සමාජ ශාලාවේ ආහාර පාන මිල අධික වුණා. ඇතැම් අවස්තා වල බිල් රුපියල් 50,000 ඉක්මවූ බව පැවසෙනවා.

1989 උපන්, ඒවකට වයස 26 ක තරුණයෙක් වූ ඉරෝන් රණසිංහ මේ සමාජ ශාලාවට ආපු ගියපු කෙනෙක්.
ඉරෝන් අනුරාධපුරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබා 2007 දි පමණ හමුදාවට එක්වීම සඳහා විශේෂ බලකාය තෝරා ගන්නවා. අතිශය අපහසු විශේෂ බලකා පුහුණුව අවසන් කිරීම ඉතාම අසීරු කරුණක් වන අතර එය අවසන් කරන අයට විශේෂ බලකා සෙබලෙක් ලෙස එක් විය හැකි වෙනවා.
මූලික පුහුණුව අතරේ ක්‍රීඩා කිරීමේදී ඇති වන ආබාධ තත්වයක් නිසා මූලස්ථානයේ ප්‍රතිකාර සඳහා මොහුව යොමු කරනවා.පසුව ඔහු හමුදාවෙන් ඉවත් වීමට අවසර පැතුවත් එය ලැබෙන්නෙ නෑ.


දවසක් සමාජ ශාලාවේ සිය මිතුරන් සමග විනෝදවී බිල ගෙවීමට යාමේදී එය රුපියල් 83,000 ක් පමණ වන බැව් දැන සමාඡ ශාලා කාර්යමණ්ඩලය හා වසන්ත සොයිසා සමග ගැටුමක් ඇති කර ගන්නා ඉරෝන් හට සිදු වන්නෙ වසන්තගෙන් පහර කා රාත්‍රීය පුරා දණ ගසා සිටීමටයි.ඉරෝන් ගේ සිතේ වෛරයක් ඇති වන්න මෙය හේතූ වූවා. එපමණකින් නොනැවතී වසන්ත පැනෝරමා සමාජ ශාලාව ඉරෝන් ට තහනම් කලාපයක් බවට පත් කරනවා.
2015 ජූනි 29 නැවත පැනෝරමා සමාජ ශාලාවට ගියත් ඇතුල් වීමට අවසර නොදීම කරණ කොට ගෙන ඉරොන් වෙරයෙන් ආපසු එනවා.2015 ජූනි 29 දින වසන්ත ගේ හෝටලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අතර එය ඉරෝන් ගේ වැඩක් බව වසන්ත ප්‍රකාශ කර සිටියෙන් ,තමා විසින් එසේ නොකලද පොලිසිය තමාව අල්ලා ගනී යැයි සැක සිතූ ඉරෝන් අනුරාධපුරයෙන් වසන්ව සැඟව සිටිනවා.මේ අතර හමුදාවට වාර්තා නොකිරීම මත ඔහු හමුදාවෙන් පලා ගිය අයගේ ලැයිස්තුවටද එකතු වෙනවා.මේ වන විට ඔහු ලාන්ස්කෝප්‍රල් තනතුරේ සිටියා.
සැඟව සිටි කාලයේ පවා ඉරෝන් සිය FB ගිණුමේ, වසන්තගේ මාධ්‍ය සාකච්ඡා ආදියෙහි පින්තූර පල කරමින් " වසන්තගේ අළුත්ම ප්‍රමෝෂන් එක ලෙස " සටහන් තබා තිබුණා.
තමා පසු පස පොලිසිය හඹා නො එන බව තේරුණ බැවින් ඉරෝන් ක්‍රමයෙන් නැවත අනුරාධපුරයට සේන්දු වන අතර මේ වන විට ඔහු නිල නොලත් චණ්ඩියෙක් බවට පත්ව තිබූ අතර SF ලොකු මල්ලී ලෙස ප්‍රකටව සිටියා.
වසන්ත සමග උරණව සිටි හෝටල් සහ නිවාඩු නිකේතන හිමියන් මොහු වටා එක්ව වසන්තට එරෙහිව උසි ගැන්වුවා. ඔහු වටා පිරිස් ඇති කරමින් ,මුදල් හදල් දෙමින් චන්ඩියෙක් යැයි තමාටම හැගෙන ආකාරයට වැඩ කටයුතු සැලැස්සුවා..
2015 ඔක්තෝබර් 24 දින අනුරාධපුර සමනලී නිවාඩු නිකේතනයේ සාදයක් පැවැත්වුණා.ඒ SF සිය වියදමින් සිය මිතුරන්ට ලබා දුන් එකක්.එහෙත් එහි වියදම නිවාඩු නිකේතන හිමියන් දෙදෙනෙකු විසින් දැරූ බව කියවෙනවා.
රාත්‍රිය වන විට හොඳ පදමට කා බී වෙරි වී සිටි අය SF යනු අනුරාධපුරයටම සිංහයා චණ්ඩියා විරුධාවලියෙන් ඔහුව සම්මානිත කර තිබුන අතර වසන්තට හොඳ සම්බුවක් දීමටද යෝජනා කලා.
SF විසින් කලින් කල සැළසුමකට හෝ හදිසියේ පහල වූ අදහසකට හෝ කුමකට හෝ ක්‍රීයාත්මක වුන ඔහු සිය සගයන්ට, අනුරාධ පුර කඩයකින් ලබාගත් සීනි ගෝනි පලා ඒවා ඇඳ ගන්නා ලෙස පවසා දෑස් රෙදි කඩවල් වලින් බැඳ ගැනීමටද උපදෙස් දෙනවා.
පහර දීමට පොලුද සූනම් කරගත් අතර කිහිප දෙනෙක් අතේ කඩුද එක් අයෙක් අත අත් පොරවක්ද තිබී තිබෙනවා.
ලොරි රථයකින්..මෝටර් රථ දෙකකින් සහ ත්‍රී රෝද රියකින් පැනෝරමා වෙත පැමිණෙන ඔවුන් අසල නවතා තිබුනු ත්‍රිරෝද රථ සහ මොටර් රථ වලට පහර දී සමාජ ශාලාවට ඇතුළු වී රැගෙන ආ පෙට්‍රල් බෝම්බයක් මත් පැන් හල වෙත දමා ගසනවා.


මුදල් අයකැමි වෙත පැන මුදල්ද මත් පැන් හලෙන් මත්පැන් බොතල් කිහිපයක්ද සොරා ගන්නා මොවුන් විනෝද වීමට පැමිණි අයට කිසිදු හානියක් නොකිරීමට වග බලා ගන්නවා.එහෙත් ආයතනයේ කළමණා කරු වූ ශ්‍රී කාන්ත සහ සේවකයන් වූ රුවන් සහ ශ්‍රී ලාල් යන අය ගැටුමට මැදිහත්ව කඩු පහර කා බරපතල ලෙස තුවාල ලබනවා.
මේ සියල්ල ආරක්ෂිත කාමරයේ කැමරා වලින් නරඹමින් සිටි වසන්ත සොයිසා ඉහවහා ගිය කොපයෙන් සේවකයන් දෙදෙනෙකුට කඩු දෙකක් දී එවුවද පිරිස දැක ඔවුන් පලා ගියෙන් ඔහුම පැමිණෙනවා.
පැමිණ කිහිප දෙනෙකුට තමා පාරප්‍රාප්තව සිටි කරාටේ ක්‍රීඩාවේ මහිමයෙන් සළකා අතේ පොරවක් රගෙන සිටි තරුණයාට පහර දීමට සැරසුණත් ඉක්මන් වූ තරුණයා අත් පොරවෙන් වසන්තට පහර කිහිපයක් දෙනවා..ගෙලට සහ මුහුණට වැදුනු බරපතල අත්පොරව පහරවල් සමග අඩපණ වුන වසන්ත ලේ විලක් මැද ඇද වැටීමත් සමග බියට පත් පිරිස් වහ වහා එතැනින් පලා යනවා..මුලින්ම ශ්‍රාවස්ති පුරයට ගොස් ඇඳ සිටි සීනි ගෝනි සහ රෙදි පටි පුලුස්සා ..අත් පොරව තේක්ක කොලයක ඔතා වල දැමූ ඔවුන් ගෙනා මත් පැන්ද පානය කොට විසිර යනවා..පිරිසක් දහයියාගමට පලා යන අත SF සහ සොහොයුරා කොළඹට පලා යනවා...
මේ අතර සමාජ ශාලාවේ ඇද වැටී සිටි වසන්තව ඔහු ගේ පුතා විසින් රෝහල් ගත කලද ඔහු මියගොස් තිබුණා...

මේ සිදු වීමත් සමග ක්‍රියාත්මක වුණ පොලිසිය මුලින්ම සමනලී නිවාඩු නිකේතනයේ හිමි කරු අත්අඩංගුවට ගත් අතර ඔහු මාර්ගයෙන් අන් පුද්ගලයන් ගැන තොරතුරු ලබා ගත්තා..
අවසානයේ දින 3කට පසුව 25 දෙනෙක් අත් අඩංගුවට ගත් අතර අත් පොරව පහර දී වසන්ත ඝාතනය කල තැනැත්තාද ඒ අතර වුණා....
අවසානයේ තමා විසින්ම සිය බලපුලුවංකාරකම මත තනා ගත් රජදහන ම හේතු කොටගෙන එතුල ම වසන්ත සොයිසා මැරී වැටුනේ මීට වසර ගණනාවකට පෙර සිය පියාට අත් වූ ඉරණම මතක් කරමිනි...




 ඒ කවුද? මොනවද කලේ?

1915 උපන් ඇල්ෆ්‍රඩ් සොයිසා තරුණ වියට පත්ව එක්සත් ජනපදය බලා පිටත් වන්නෙ වෛද්‍ය වරයෙක් වීමටය (තතු දන්නා අය පවසන්නේ එසේ වුවද ඔහු නියම වෛද්‍යවරයෙක් නොව හොර වෛද්‍ය වරයෙක් වූ බවයි.ඇමරිකා වේ දී මුදල් නාස්ති කරමින් විසූ බවයි.)
ලංකාවට පැමිණි ඇල්ෆ්‍රඩ් සොයිසා දෙල්ගොඩ ප්‍රදේශයේ ඩිස්පැන්සරියක් පවත්වාගෙන ගිය අතර ඊට අමතරව තැබෑරුම් හිමියෙක්ද සහ ඉඩම් හිමියෙක්ද වෙනවා. මේ මහිමයෙන් එවකට ලංකාවේ විසූ කීර්තිමත් සහ කෝටිපති සොයිසා වරුන්ගේ නම් සමග ඇල්ෆ්‍රඩ් සොයිසාගේ නමත් කියැවුණා...

කලත්තෑව ප්‍රදේශයේ ඔහුට හිමිව තිබුණ අක්කර 400 ක පමණ ඉඩමේ ගොව්පලක් පවත්වාගෙන ගිය ඇල්ෆ්‍රඩ් ගොවිපලට මුවාවෙන් විවිධාකාරයේ නීති විරෝධි ක්‍රියා කරගෙන ගියා....
දශක දෙකක් වැනි කාලයක් තුල ඇල්ෆ්‍රඩ් අතින් මේ භූම්ය තුලදී කී දෙනෙක් මිය ගියාදැයි පැවසීම අපහසුයි... මිනිසුන් මරා දැමීමට ඔහු භාවිතා කල එක් ක්‍රමයක් වුනෙ විෂඝොර සර්පයන් ලවා මිනිසුන්ට දෂ්ඨ කරවීමයි.මෙමගින් ඒවා ස්වාභාවික මරණයන් බවට ඒත්තු ගැන්විය හැකි වුණා..
ඇල්ෆ්‍රඩ් ගේ උදව්වුට තව දෙදෙනෙක් මේ ගොවිපලේ සිටියා..ඒ රාගම විලී මාමා සහ කළු ඇල්බට් ය.
මෙකල ඇල්ෆ්‍රඩ් සමග තරග කල යාපනයේ රේන්ද ව්‍යාපාරිකයෙක් ට පහර දී මුදල් කොල්ලකන්නේද මේ සහායකයන් දෙදෙනා විසිනි.
කොල්ලකෑමෙන් පසු ඊට යොදා ගත් එවක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්ට අයත්ව තිබුණා යැයි කියන වාහනය කලත්තෑව ඉඩමේ වළලා දැමූවා.
මේ අතර වැටුප් ඉල්ලූ සේවකයන් දෙදෙනෙක් වන තලංගම පී.කේ.ඩී. පෙරේරා සහ කොටහේනේ ජුලියස් සුන්දර් සාගර් යන අයවළුන්ව සාහසික ලෙස මරා දමන්නෙ කාටත් හොරෙන් බව ඇල්ෆ්‍රඩ් සිතුවත් සේවකයෙක් ඒ බව දැන සිටියා.
රහස එලි වන්නෙ ඔහු ගෙන්..
පරීක්ෂණ මෙහෙයවූ උප පොලිස් පරීකෂක නලින් දෙල්ගොඩ මහතා ඇල්ෆ්‍රඩ්ගේ මුදලට යටත් නොවී එය සිදු කලෙන් අපරාධ කරැවන් නීතිය හමුවට පැමිණවෙනවා...
මල සිරුරු සොයාගැනීමකින් තොරව කල පරීක්ෂණයක මිනී මැරීම ඔප්පු කළ යුතුව තිබූ බැවින් එය භාරදූර එකක් වුණා.(මගේ පළමු ලිපිය පොරවෙගම නඩුව මතක් කර ගන්න)
ජුවන් අප්පුගෙ සහ විල්සන්ගේ සාක්ෂි අනුව කලත්තෑව ඉඩමේ පිලිස්සුම සහිත තැන් පරීක්ෂා කිරීමට ලක් කෙරුණා. ඒ අවට පසට ඩීසල් මුසුව ඇති බව පරීක්ෂණ වලින් සනාත කෙරුණා. මෙම ස්තානයේ තිබි අස්ථි කොටස් සහ හම් පටියක කොටස් 123ක් සොයා ගත් අතර රස පරීක්ෂක කණ්ඩායම මෙම කොටස් 123 සම්බන්ධ කොට එය ඉන බඳින පටියක ආකායට සකස් කල අතර එය සිය පිසා ඉන බැඳ පටියට බෙහෙවින් සමාන බව පි.කේ.ඩී.පෙරේරාගේ වැඩිමහලු පුත්‍රයා හඳුනා ගන්නවා.
මීට අමතරව ශ්‍රී 3802 මෝටර රථය වළලා දැමු ස්ථානය එවන් ස්ථානයක් ලෙස කෙසේවත් සිතිය නොහැකි ආකාරය කුඹුරක් ලෙස සකස් කොට තිබුණා.
මෙම රථය වළලා දැමීම සම්බන්ධයෙන් සොයිසා පවසා තිබුණේ එය සිය මිතුරෙක්ට අයත් බවත් එය සඟවා තැබීමට ඔහු උපකාර ඉල්ලූ බැවින් සිය ඉඩමේ වළලා දැමූ බවත්ය.
කලත්තැඅව අක්කර 400 ක ඉඩම තුලින් විවිධාකාර වූ සාක්ෂි මතු කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම සමත් වුණත් මේ සා විශාල ඉඩමක හමු වූ දෑට වඩා හමු නොවූ දෑ වැඩි විය හැකි බව මම සිතමි..

- නඩුව -

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ මුලික විභාගයෙන් පසු එය කොළඹ මහාධිකරණයට යොමු කිරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කරණවා..ඒ අනුව 1969 ඔක්තෝබර 26 දින කොළඹ මහාධිකරණයේදී නඩු විභාගය ආරම්භ වූ අතර පැමිණිල්ල වෙනුවෙන් එවක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ටී.ඒ.විජේසුන්දර මහතාත් රජයේ අධි නීතීඥ වරුන් වන පර්සි කොලින්කම් මහතාත් දයා පෙරෙරා මහතාත් කෲලන් රත්නසාර මහතාත් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් එවක සුප්‍රකටම අපරාධ නීතීඥයන් වුණ රාජ නීතීඥ දෙපලක් වූ ඒ.එච්.සී.ඩී.සිල්වා මහතාත් පී.ජී.පොන්නම්බලම් මහතාත් පෙනී සිටියා.
සාක්ෂි කරුවන් 200ක් සහ විවිධ නඩු භාණ්ඩ 274 ක් සාක්ෂි ලෙස ලැයිස්තු ගත කර තිබුණු අතර විත්තියට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරවීමට සේවකයන් 64 දෙනෙක්ගෙ සාක්ෂි ලබා ගත්තා..සාක්ෂි විද්‍යාත්මකව නිරවද්‍යතාවය සනාත කරවීමට එවක සුප්‍රකට අධිකරණ වෛද්‍ය වරයෙක් වුණ ඩබ්.බී.එල්. ප්‍රනාන්දු මහතාගේත් මහාචාර්ය ජයවර්ධන මහතාගේත් සහ රජයේ රස පරීක්ෂක මුත්තයියා කුමාරස්වාමි මහතාගේත් සේවය පැමිණිලි පාර්ශවයෙන් ලබා ගත්තා.මොවුන්ගෙන් සහ පොලිස් කණ්ඩායමෙන් ඉතා තදින්,විත්තියේ නීතීඥ වරුන්, හරස් ප්‍රශ්න කලද ඔවුන්ගෙ සාක්ෂි නොසැලී සිටීමම පැමිණිල්ල ශක්තිමත් කිරීමට හේතු වුණා..
මීට අමතරව විනිසුරු වරයා සහ ඔහුගේ කාර්යය මණ්ඩලය අදාල අපරාධ සිදු වුන ස්ථාන සියැසින් දැක බලා ගැනීමට සංචාරව කිරීමද මෙහිදී විශේෂ කටයුත්තක් වුණා.
මේ අතර කෙසේ හෝ බේරීමට උත්සාහ කල ඇල්ෆ්‍රඩ් සොයිසා ප්‍රධාන සාක්ෂි කරුවන් වූ ජුවන් අප්පු,ටකර්, විල්සන්,ගුණදාස යන අයවළුන්ට එක් අයෙක්ට රැපියල් 25,000 බැගින් අල්ලස් ලබා දීමට උත්සාහ කලත් සාක්ෂි කරුවන් එය ප්‍රතික්ෂේප කොට තිබුණා..
ඉන් නොනැවතුන ඔහු විල්සන් මැරීමට තුවක්කු කරුවන් යෙදුවත් ඒ බව දැනගත් විල්සන් පලා යාම නිසා බෙරේනවා..
මේ හ්තුවෙන් අනුරාධපුර හිරගෙදර විස්කි පානය කරමින් සුඛෝපභොගී ලෙස ජීවත් වුණ ඇල්ෆ්‍රඩ් සොයිසාව බෝගම්බර හිරගෙදරට මාරු කර යවනවා..
පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිය විසින් සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු නොවූ අතර ලංකා අධිකරණ ඉතිහාසයේ දීර්ඝතම නීති දේශනාවක් වන දින 26 ක දේශනයක් විත්තියේ ප්‍රධාන නීතීඥ වරයා සිදු කරන්නෙ සිය සේවාදායකයන් නිවැරදි බව ඔප්පු කිරීමටයි.
මෙම දේශනයෙන් පසුව මහාධිකරණ විනිසුරු වරයා දින හතරක් මුළුල්ලේ සිය දේශනය ජූරි සභාව වෙත කරනවා.

- ජූරිය -

ඉන් පසුව 1970 මැයි මස 12 දින උදෑසන විශ්‍රාම යන ජූරි සභාව කොළඹ මහාධිකරණයේ රහස් කාමරයට රුස්ව සාකච්ඡා කොට එදිනම හවස 3.20 ට විනිසුරු වරයාට සිය නිර්දේශය ලබා දෙනවා.
ජූරියේ බහුමත තීරණයට අනුව
• පී.කේ.ඩී පෙරේරා යන අයව ඝාතනයට කුමන්ත්‍රණය කිරීම,ඊට අනු බල දීම යන්නට එලියාදුර ගේ ඇල්ෆ්‍රඩ් සොයිසාට එදිරි චෝදනාත්
• පී.කේ.ඩි පෙරේරා යන අයව ඝාතනය කිරීම යන්නට පියකාරගේ අරුනෝලිස් නොහොත් පියදාස නොහොත් කළු ඇල්බට් යන අයට සහ වැලිසරගේ විල්සන් ප්‍රනාන්දු නෙහොත් රාගම විලී මාමා යන අයට එදිරි චෝදනාත්
සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බැවින් ඒවාට ඔවුන් වරද කරුවන් බවත්...

ජුලියස් සුන්දර සාගර ගේ මරණයට කුමන්ත්‍රණය කිරීම සහ /හෝ මරණය සිදු කිරීම යන චෝදන සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කොට නැති බැවින් සැකයේ වාසියට අනුව ඒ චෝදනා වලට විත්ති කරැවන් නිවැරදි කරුවන් බවත් ජූරිය නිර්දේශ කොට තිබුණා...

- තීන්දුව -

ජූරියේ නිර්දේශ අනුව මහාධිකරණ විනිසුරු වරයා විසින් විත්ති කරුවන්ට මරණීය දණ්ඩණය නියම කෙරුණා...

- අභියාචණය -

මහාධිකරණ තීන්දුවට එරෙහි ඇපෑල අභියාචණාධිකරණයේ ගොනු කෙරුණු අතර එවක අග විනිසුරු එච්.එන්.ජී ප්‍රනාන්දු සහ අභියාචණාධිකරණ විනිසුරු වරුන් වූ එල්.එස්.සිරිමාන්න සහ ඒ.සී.අලස් යන මහතුන් විසින් (එකල මෙවන් විනිසුරු වරුන් රජ වරුන් ලෙස හැඳින් වූ නිසා මෙතුමන් ලා තුන් කට්ටුව ලෙස හැඳින් වුණා.) 1970 අගෝස්තු 05 දින දී මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් සිය තීන්දුව ප්‍රකාශ කලා.

- පසුව -

තීන්දුවෙන් පසුව ඇල්ෆ්‍රඩ් සොයිසාගේ දින චර්යාව වෙනස් වූ බව බන්ධනාගාරය වාර්තා කරනවා.ඔහු දිනයෙන් වැඩි ප්‍රමාණයක් දෙවියන් යදිමින් විසූ බව පැවසෙනවා.
1971 ජනවාරි 05 දින ඇල්ෆ්‍රඩ් සොයිසා ව එල්ලා මරා දැමීමට ගෙන යන අවස්ථාවේ ඔහු ගීතිකා ගායනා කරමින් අභිමානවත් ලෙස ගමන් කල බවද බන්ධනා ගාරය වාර්තා කරනවා.
ඇල්ෆ්‍රඩ්ගේ මරණයෙන් දින පහකට පසුව කළු ඇල්බට් හට මරණ දණ්ඩණය ලබා දුන් අතර එවක් වන විට වයොවෘද්ධ වූ බැවින් විලී මාමා ට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් නියම වූ අතර 1983 දී ඔහු රෝගාතුරව හිර ගෙදරදී ම මිය ගියා...

- The court is adjourned -

කොළඹ වීදියකදී……-04 – ‘කුඹුකේ ලිඳ ලඟදී…..’


https://www.facebook.com/groups/804276106323782/search/?query=%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%20%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93

kum4
 ඒ කාලේ..ඒ කාලෙ කීවට මේ කාලෙත් ඇතැම් ගංවල අණිවාර්ය අංගයක් තමයි කුඹුකෙ ලිඳ…අපේ ගමෙත් මෑතක් වෙනකල් දෙකක් තිබුණා..එකක් හයිවේ හදන්න මැනලා දැන් ඒ හරිය කැලෑ සුද්ද කරලා..
ඉතින් කුඹුකක් නැති නිසා ඒක දැන් නිකම්ම නිකං ලිඳක් විතරයි…අනික පෞද්ගලික වත්තක තිබුනෙ..එයා ඒක පාවිච්චියට නොගෙන දැන් පල්වෙලා ගිහිං…
කුඹුකේ ලිඳකින් නෑවම තියෙන සනීපය නාලම බලලා අත්විඳිනවා මිසක් මම කියන්න ගියොත් අන්දයට කිරේ සුද කියා දුන්නා වගේ වෙයි…
කුඹුක් මුල් වල තියෙන විශේෂ ගුණයක් නිසා වතුර පිරිසිදු වෙන බවක් කාලෙකට කලින් කෘෂි විද්‍යාඥයෙක් රූපවාහිණී වැඩ සටහනක කිවුවා මතකයි….
ඉතිං කුඹුක ලිඳක් හොයං ගමකටම යන්න ඕනද?! ඔන්න කොළඹ නම් තියෙනවා කුඹුක ලිඳක්…
සමහරු නම් දන්නවත් ඇති..මම නම් දැන ගත්තෙ ඒ ගැන ගිය රූපවාහිණී වැඩ සටහනකින්…ලිඳක් තියෙනව කියලා පිටිං බැලුවම කෙසේවත් නොහිතෙන තැනක තමයි මේ ලිඳ තියෙන්නෙ…
ඒ කොළඹ 02 ..කොම්පඤ්ඤවීදියෙ…”කිව් පාරෙ” තමයි මේ ලිඳ තියෙන්නෙ…

kum000
kum00
 
ලිඳ තියෙන්නෙ විශාල කුඹුක් ගහක් යට..කුඹුක් ලහට අවුරුදු සීයකට වඩා සාක්ෂි දැරිය හැකි ඉතිහාසයක් තියෙනවා කියලා කියනවා…
දැනට මෙතන තියෙන පැරණි ලිඳ උඩින් ආවරණය කරලා එයින් නල මාර්ගයෙන් වතුර විශාල අගලකට(සිමෙන්තියෙන් තැනූ) සපයනවා .මේ අගල එක් පසකින් කුඩා ටැංකි කිහිපයක් තිබෙන අතර අගලෙ අදාල තැන් වල ඇති හිල් වලින් වතුර ටැංකි වලට ලබා දෙනවා.

kum13
kum14
 
ඕනෑම කෙනෙකුට රැපියල් 20/- ගෙවා මෙතැනින් නාගත හැකි අතර ලිඳ බලා කියා ගැනීමට පුද්ගලයෙක් සිටිනවා.
kum18
 

උදෑසන සහ හවස කාර්යාල අවසන් වීමෙන් පසුව ලිඳ අසල කාර්යය බහුල බව කියවෙන්නේ විශාල පිරිසක් ඒ අවස්තා වලදී නෑමට පැමිණෙනි බැවිණි….
දහවලදි වැඩි තද බදයකි නැති බව කියවෙනවා…
කොළඹ නගරය පුරා තැන් කිහිපයකම මේ ආකාරයෙන් සැකසූ ටැංකි වලින් ජනතාවට නා ගෑනීමේ පහසුකම් තිබුණත් ඒ හැම තැනකම කුඹුක් ගහක් නැති වීමත් මෙතැන කුඹුක් ගහක් තිබීමත් මෙය සුවිශේෂ වන්න හේතු වෙලා තියෙනවා…
රත් වෙච්ච නල ජලයට වඩා කුඹුක් ගහක් යට සීතල වතුර ටිකක් නාගන්න කොළඹ වගේ නගරයකදී කවුද අකමැති වෙන්නෙ…


භාරතයේ විත්ති - 22 - 'ජන ගණ මන අධිනායක ජය හේ'


https://www.facebook.com/groups/804276106323782/search/?query=%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F

jana2මේ ,මුලු මහත් ලෝකයෙන්ම ආකර්ෂණීයම ජාතික ගී අතර ස්ථානයක් ලබා සිටිනා ඉන්දීය ජාතික ගීයේ මුල් පද පෙලයි….
ඉන්දීය ජාතික ගීය මතකයට එන්න හේතු කිහිපයක් තිබුණා.ආසන්නම හේතූන් වන්නේ මෑත කාලයේ උතුරු පලාතේ දේශපාලඥයෙක් ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සහ එම පලාත් ආශ්‍රිතව ජාතික ගීයට ඇති වන යම් යම් විරෝධතා ….
ලංකාවෙ එහෙම වුනත් ඉන්දියාවෙ එහෙම වෙන්නෙ නෑ…
ඉන්දීය මහා කවි..සංගීතඥ..පණ්ඩිත…ආදී විවිධාකාරයෙන් හැඳින්විය හැකි බෙංගාලි ජාතික රබීන්දොනාත් තාගෝර් (රවීන්ද්‍රනාත් ඨාකූර්) විසින් රචිත ඉන්දීය ජාතික ගීයේ භාවිත වන කොටස මෙසේයි…..
jana3.jpg
 
‘ජන ගණ මන අධිනායක ජය හේ
භාරත භාග්‍ය විදාතා
පංජාබ සින්ධු ගුජරාත මරාතා
ද්‍රාවිඩ උත්කල භංගා
වින්ධ්‍ය හිමාචල යමුනා ගංගා
උච්ඡල ජලධි තරංගා
තව ශුභ නාමේ ජාගේ
තව ශුභ ආශිෂ මාංගේ
ගාහේ තව ජය ගාථා

ජන ගණ මංගල දායක ජයහේ
භාරත භාග්‍ය විදාතා
ජය හේ! ජය හේ! ජය හේ!
ජය ජය ජය ජය හේ!……..’

 
තේරුම මෙසේ වේ

"....ජන ගණ ගේ සිත් තුල නායකත්වය දරණා භාරත වීරයාණනි..ඔබට ජයම වේ..

පංජාබ්, සිංදු, ගුජරාත්, මරාතා (මරාටි)
ද්‍රවිඩ, උත්කල් (ඔඩිසි) බංගා (බෙංගාලි) (භාෂා කිහිපයකි)…
වින්ධ්‍ය, හිමාලය (කඳු වැටි දෙකක්), යමුනා, ගංගා (ප්‍රධාන ගංගා දෙක)
ඔබගේ සුබ නාමය අවදිකරයි (පුබුදුවයි)
ඔබගේ සුබ ආශිර්වාද ආයාචනා කෙරේ
ඔබගේ ජය ගී ගායනා කරයි……
ජන සමූහයාගේම ජයග්‍රහණයේ දායකයාණනි….
ඔබට භාග්‍යක්ම වේවා!
ජය වේ ජය වේ ජය වේ!
ජය ජය ජය ජය වේ!!……."

මහාකවි වරයා විසින් සිය භාෂාව වූ,මුලු මහත් වූ ඉන්දියාවෙන් 8% පමණ වහරණ බෙංගාලි භාෂාව සංස්කෘත කරණය කොට රචිත ඉන්දීය ජාතික ගීය එක හඬින් මුලු මහත් ඉන්දියාවම අද ගායනා කරයි…

ගීතයේ මියුරු තනුව සහ සංගීතය නිසාම එයට ජාතී හෝ රටවල් බේදයකින් තොරව බොහෝ දෙනා ඇලුම් කරයි….එයද මා පෞද්ගලිකව අත් විඳ තිබෙන දෙයක්…
එහි වචන ඉන්දීය භාෂා බොහොමයකම පොදු වචන වේ.ඒවා සිංහල අපටද පහසුවෙන් වටහා ගත හැකිය.ඉන්දීය භාෂාවන් මෙන්ම සිංහල භාෂාවද සංස්කෘත මවු කොට ගත් ඉන්දු ආර්ය භාෂා පවුලේ සාමාජිකයන් වීම ඊට හේතු විය හැකියි….

එක්තරා ජාතික පුවත්පතක ලියා තිබුණා මට මතකයි ඉන්දීය ජාතික ගීය හින්දි,බෙංගාලි සහ සිංහල මුසු කොට ලියා ඇති බව.ඇත්තටම ඒ ලියුම් කරුවාගේ නොදැනුවත් බව හෝ අල්ප දැනුවත් බව ගැන කුමක් කියන්නද මට වැටහෙන්නෙ නෑ…ඇතැම් විට ඔහු නොදන්නවා විය හැකියි සිංහල ඇතුලු බොහොමයක් දකුණු ආසියාතික භාෂා සංස්කෘත මවු කොට ඇති වුණ ඒවා නිසා සමාන වචන බොහොමයක් තිබිය හැකි බව…එසේ වීම හේතුවෙන් එය අපේ වචන ගෙන ලියවූවක් බව කීම කොතරම් නුවණක්කාර ක්‍රියාවක්දැයි කියවන්නන් තීරණය කල යුතුය.
ඉන්දියානුවන් ඉන්දීය ජාතික ගීයට දක්වන ගෞරවය අති මහත්..එය මම පෞද්ගලිකව අත් විඳ තිබෙනවා…කණගාටුවට කාරණය නම් අපේ ජාතික ගීයට අපේ බොහොමයක් ජනයාගේ ඒ තරම් ලැදි බවක් මා දැක නොතිබීමයි…රාජ්‍ය නායකයන් …ආරක්ෂක අංශ ප්‍රධානීන් ජාතික ගීය වාදනය වන අවස්තාවේ වෙන වෙන සාකච්ඡා කරමින් ඇඹරෙමින් කැරකෙමින් වැනෙමින් හෝ ජංගම දුරකතන ඔබමින් සිටින රටක මහ ජනයා එසේ වීම ගැන වරදක්ද කිව නොහැකියි….
මා මාලදිවයිනෙහි සිටියදි අත් විඳි දෙයක් නම් ජාතික වශයෙන් වැදගත් වන ප්‍රවෘත්තියක් ලද බොහො අවස්ථාවල මා සමග වැඩ කල ඉන්දියානුවන් එම ප්‍රවෘත්තියෙන් ඔද වැඩී ජාතික ගීයෙ පද පේලි ගායනා කිරීමයි…රැඩිකල් භාවය ඉස්මුරුත්තාවට පත් අයට එය විකාරයක් ලෙස පෙනුනද මට එය ඉතාම සංවේදී කාරණයක්..

වාණිජ අරමුණ කරගත් හෝ විකට හෝ මොනයම්ම හෝ ඉන්දීය සිනමා නිර්මාණයක සුලු වශයෙන් හෝ ජාතිකාභිමානය ඇතුලු කර තිබෙනු ඔබ නිරීක්ෂණය කලාද?….
අවසන් කිරීමට පෙර මා ලංකාවේදී අත්විඳි කාරණයක් කීමට කැමතියි.
ගිය අවුරුද්දෙ මුල හරියක මා ‘දංගල්’ සිනමාපටය නරඹන්න ගියා මැජෙස්ටික් සිනමා ශාලාවට.එහි ලංකාවේ රැකියා කරන හෝ සංචාරය සඳහා පැමිණි උතුරු ඉන්දියානුවන් (ඔවුන් හින්දියෙන් සහ පංජාබි වලින් කතා කිරීම නිසා එසේ උපකල්පනය කරමි) බොහෝ දෙනෙක් සිටියා.සිනමාපටයේ අවසාන දර්ශන වල එක් අවස්තාවක තිබෙනවා මහා වීර් සිං පොඝාට් (ආමිර් ඛාන් රඟපෑ චරිතය) ගේ වැඩිමහල් දියණිය ගීතා කුමාරි පොඝාට් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ ,මල්ලව පොර තරගයේ රන් පදක්කම දිනා ඉන්දීය ජාතික කොඩිය ඔසවන දර්ශනයක් පසුබිමින් ජාතික ගීයේ වාදන ඛන්ඩයක් සමගම.
මේ අවස්තාවේ සිනමා ශාලාවේ සිටි ඉන්දියානුවන් සිය ආසන වලින් නැගිට ආචාරය පුද කලේ ඔවුන්ගෙ හද පත්ලෙන්ම ආ ගෞරවය නිසාම බැව් මම විශ්වාස කරමි.කෙනෙක්ට එය මහා මෝඩ ක්‍රියාවක් ලෙස පෙණුනත් මා එය අතිශයින් අගයමි….

අනිත් කාරණය නම් 2007 වසරෙ (මට මතක විදිහට) දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (SAAG) ලංකාවෙ පවත්වපු අවස්ථාවේ සුසන්තිකා ජයසිංහ රන් පදක්කමක් දිනූ අවස්ථාවක ශ්‍රීලංකා ජාතික ගීය වාදනය වෙද්දී අප ආසන වලින් නැගී සිටි අවස්තාවේ අපට පිටුපසින් සිටි ශ්‍රී ලාංකිකයින් අප නැගිටීම නිසා ක්‍රීඩා පිටියේ දර්ශණය නොපෙනී යාම නිසා අපට බැණ වැදීමයි…..
ඉන්දියානුවන් එහෙම කලත් ලාංකිකයන් එහෙම කරන්නෙ නෑ…..

jana1.jpg


Beyond Reasonable doubt ,සාධාරණ සැකයෙන් ඔබ්බට……- 09 – “හිතුමතේ ජීවිතේ….Prison Break….”

https://www.facebook.com/groups/804276106323782/permalink/1540187302732655/?hc_location=ufi
 
pri2

 (මෙහි යම් යම් චරිත හා සිදුවීම් මූලිකම සිදුවීමට කෙලින්ම අදාල නොවුනත් කතාවට කීමේදී ඒවා පැවසීම අත්‍යාවශ්‍යයැයි හැඟුනු බැවින් එවාද ලියා තැබුවෙන් ,අනවශ්‍ය ලෙස පෝට් එක දිග වූවා නම් කමා වුව මැනවි…)


කළුතර නගරයේ කුලී රථ රියදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසර පෙදෙසක රබර් වත්තක් කිට්ටුව.දිනක් අඩියක් ගසා පැමිණෙමින් සිටි විලසන්ව පිහියක් රැගත් මිනිසෙක් විසින් බිය ගන්නවා රගෙන යනවා. විල්සන් බීමතින් සිටි නිසා පෙර කී පුද්ගලයාට ඔහුව මෙල්ල කිරගන්න පහසු වුණා.
මේ පුද්ගලයා විල්සන්ගෙන් යම්කිසි දෙයක් ගැන නැවත නැවත ඇහුවා.මරණ බියෙන් තැතිගත් විල්සන් ඒ පුද්ගලයා විසින් ඇසූ දේවල් සියල්ලම පවසා සිටියා.

විල්සන් නොමරා අත් හල ඒ පුද්ගලයා කළුතර නගරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගන්නවා. දින තුනකින් පිහිය ඔහු අතට පත් වුණා.

අයි. පී. දිසානායක පදිංචි වෙලා සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පදුරකට මුවා වෙලා කෙනෙක් ඔත්තු බලමින් හිටියා.ඒ කවුරුත් නෙමේ කලින් විල්සන්ගෙ බෙල්ලට පිහිය තියලා රහසක් දැනගත් කෙනාමයි. ඔහු අතේ තිබූණ මල්ලක අළුත්ම වක් පිහිය තිබුණා.
රෑ 8ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු අයි.පී.දිසානායක පොලිස් ජිප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා හිටියා. නා ගන්න ,වත්තේ තිබූ ළිද වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියා. නමුත් මුළු රාත්‍රියේම එම අවස්ථාව උදා වූයේ නෑ. සුමතිපාල ළිද අසල වාඩි වී පාන්දර වනතුරු බලං හිටියා. පාන්දර පහට පමණ නිවසේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහියත් ගෙන ඒ දෙසට ගියා. ටික වේලාවකින් ඉස්තෝප්පු දෙර අරින ශබ්දය ඇහුණා. දිසානායක පිටතට එන විටම: දොර අසල රැක සිටි පුද්ගලයා ,එක පාහරින්ම වක් පිහිය බෙල්ලට තියලා අදිනවා.අයි.පී.දිසානායකගෙ බෙල්ල කපලා වෙන් කරගෙන ඒක මල්ලට දාගෙන එතනින් ගියා.
ප්‍රධාන පාරවල් මගහැර අතුරු පාරවල් වලින් ඔහු ගියේ පොලිස් නිල නිවාස සංකීර්ණය වෙතයි. ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන් මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරීතුමාට භාර දුන්නේය.
හිස බාරදී ඔහු පොලිස් අධිකාරී තුමාට ප්‍රකාශයක් කරනවා.
පොලිස් අධිකාරිවරයා ගේ දුරකථන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කීපයක්ම එහි පැමිණ මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා . පිහිය පොලිස් භාරයට ගැනුනු අතර හිස රෝහල් මෝචරියට යැවුණා.

(Sumathipala)
pri4

 – නඩුව-
වයස 18 සම්පූර්ණ කර නොතිබුණු මෙම පුද්ගලයාට විරුදුව චෝදනා එල්ල කලේ වැඩිහිටියෙකු ලෙස සලකාය. මහේස්ත්‍රාත් වරයා නඩුව විභාගයට ගත්තේ මාස 5 කට පමණ පසුවයි. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරුද නිවැරදිකරුදැයි නඩුකාර තැන ප්‍රශ්න කල අවස්ථාවේ, වැරදිකරු ස්වාමීනී යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නා.
කවුද මේ පුද්ගලයා.ඔහුගේ නම සුමතිපාල.

1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූණා. තමා වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ සුමතිපාල දැනුම් දුන්නා. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතෙකු නම් කොට නැවත නඩුව කැදවන විට තවත් මාස තුනක් ගත වී තිබුණා.

– තීන්දුව-
1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් වුණා. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කරලා තිබුණා. අධිකරණයේ සියල්ලෝම නැගිට සිටියා.විදුලි පංකා,විදුලි පහන් නිවා දැමුණා.ශාලාවේ දොර ජනෙල් වසා දැමීමෙන් පසුව විනිසුරු වරයා තීන්දුව ප්‍රකාශ කලා.
1975 මැයි මස 7 වැනි දින පෙ.ව 8.05 ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුලදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නැමති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්නට නියම කොට මහාධිකරණ විනිසුරු තින්දු කර තිබුණා.

උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම නැතැත්තා වයස 17 ක තැනැත්තකු වුවද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත්, දඩුවමට යටත් කෙරෙන විට වයස 18 ක් සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිර කොට අත්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.


– හිර ගෙදර-
                                                                                                            (Bogambara Prison)
pri9
 
බෝගම්බර සිරගෙදර එවකට මරණ දඩුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේ 18 හැවිරිදි සුමතිපාලයි. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරු සිරා, හොද පපුවා, බඹරා ආදීන් සහ එවකට ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්ති කරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්රූඩ් සොයිසා, කළු ඇල්බට්, විලී මාමා යන අයද සිටිය බව කියවෙනවා.



                                                   (‘Maru Sira’ alias Siripala)

pri5
 
හිර ගෙදර සිටියදීද සුමතිපාලගේ හිතේ වෙරයක් කැකෑරෙමින් තිබුණා. 

 මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘදයාබාධයක් සෑදී මිය යනවා. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමිනියම් පිගාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත තබා සිය උදරය කීප වාරයක් කපා ගත්තා. අන්තිමට ඔහු ගෙලද එක් වරක් කපා ගත්තා.
මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍ය වරයා ඇතුලු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් සිදු නරන්න වුණා. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවුණ නිසා සුමතිපාලගේ දිවි හානි වී තිබුණේ නෑ.
දැඩි සත්කාර ඒකකයට ඇතුල් කල ඔහු පිළිබද ප්‍රශ්නය පුපුරා ගියේ පසු දින උදයේය.

රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කල බී.ඩී සුමතිපාල නම් සිරකරුවා පෙ.ව 8.05 ට මරණ දණ්ඩනයට යොමුකල යුතු බැවින් ඔහු නැවත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියා. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා භාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යාමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියා.
තත්වය උණුසුම් වූණා මහනුවර රෝහල භාර වෛද්‍ය අධිකාරීවරයාද එහි පැමිණියා. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී.ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සදහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බවය.
බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යාමට ඉඩදී වෛද්‍ය අධිකාරීවරයා පිටවී ගියා.
මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුනේ රෝගියා මරා දමන්නට රැගෙන ගිය බවයි.
ඔව්හු සියල්ලෝ වෛද්‍ය අධිකාරී නිල කාමරයට රැස්වූණා. වෛද්‍ය අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කල අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියා. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවා. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවරී තිබුනේ එංගලන්ත මහරැජිණ වෙවුවෙන් අග්‍ර ආණ්ඩුකාරවරයාට පමණයි. ඔහු දන්නා හදුනන අධි නීතිඥ මහත්වරුන් කීපදෙනෙකු ප්‍රකාශ කලේ වහාම අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙසයි.ඒ සදහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවතියේ තවත් මිනිත්තු 20 ක් පමණ කාලයක් බව කියවෙනවා.
අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරීවරයාට ලැබුනු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවෙකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යාංශය හරහා හුවමාරු විය යුතු බවත් ඒ සදහා මාස 3 ක කාලයක් අවම වශයෙන් ගතවන බවත් ඒ නිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කල නොහැකි බවත් ය.
ඒ කෙසේ වුවත් වෛද්‍යවරුන් අග්‍රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කලා. වෛද්‍ය අධිකාරීවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවසේ දුරකථනය මගින් ඔහු අමතා දැනුම් දුන්නේ මේ අනුවයි.විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුරව අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවසේය. වෛද්‍ය අධිකාරීවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේය. උදෑසන 7.50 එහි සටහන්ව තිබුනේය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වුවා.(අග්‍රාණ්ඩුකාර නිල නිවස පිහිටා තිබෙන්නෙ මහනුවර රජ වීදියේ දළදා මාලිගාවට බටහිරට වන්නටය).
මෙතැන් සිට වුණා යැයි පැවසෙන දේ හින්දි සිනමාපටවල අප්‍රමාණව දැක ඇති දර්ශණයකට සමානය.එය සිතෙන් මවා ගැනීම මැනවි.
…..බෝගම්බර බන්ධනාගාරයේ පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව අලුගෝසුවාගේ ගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටී. වෙලාව පෙ.ව 8.02 සටහන්ව තිබේ. සුමතිපාලගේ මුහුණට වැස්ම දමා ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා සිටී………


pri8
 
ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ ඉක්මන් ගමනින් එහි පැමිණෙමින් සිටියා. ඒ අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයායි. ඔහු කෙටි ලියවිල්ලක් බන්ධනාගාර අධිකාරීවරයා අත තැබුවා. එය කියවමින්ම අධිකාරීවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නා. සංඥාව ලත් සැනින් වහා ලිවරය අත්හළ අලුගෝසුවා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කලා.
පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා සුමතිපාල විය.

සුමතිපාලව නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවේ මින් අනතුරුවයි. දින 7 කින් සාමාන්‍ය වාට්ටුවට මාරු කෙරුණා. නැවත බන්ධනාගාරයට ගෙනයෑම සදහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ තවත් මාස දෙකක් ගතවීමෙන් පසුවයි. එල්ලා මැරීම සදහා වූ නඩු තීන්දුව අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිරමැදිරියක සිටියා. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සදහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුණා.

-Prison Break  Season 01 –

මේ අතර තම සිතේහි කැකෑරෙන වෛරය සංසිඳුවා ගැනීමේ අටියෙන් ,ඔහු සිර ගෙදරින පළා යාමට සැලසුම් කළා. මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුගේ අඩි 6 x 4 කුඩා කාමරයේ තිබුනේ සීමිත ආම්පන්න. සංඛ්‍යාවක්. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බදුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර වුණා. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හදුන්වන ලද්දේ කොට්ටුව යන නමින්. එය කුඩා බාල්දියක් වැන්නක්. එයට අමතරව සිරකරුගේ පරිහරණය සදහා රෙට්ටුව නමින් හැදින්වූ ඝන රෙද්දක්ද තිබුණා. බ්‍රිතාන්‍ය යුගයේ ඉදි වුණ සිර මැදිරියේ බිත්ති නිමවා තිබුනේ විශාල ගල් වලින්. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත්කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබුණා.

වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේතා(Shaw shank Redemption සිනමාපටය නරඹා ඇත්තෝ එය සිහියට නගා ගනිත්වා) . Condemned Shell ප්‍රදේශයට රාත්‍රී කාලයේ නිලධාරීන් එන්නේ නෑ. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවට වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළා. එය බදාමය සවිමත් නිසා එය ලෙහෙසි පහසු කටයුත්තක් වුනේ නෑ. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන යන්න ඔහු පුරුදු වුණා. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරුණා. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවුණා. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇති වූ කඩතොළු වැසීමට ආහාර සලාකයට ලැබුනු පාන් භාගයේ මැද කොටස හොදින් පදම් කොට පිටි ගුලියක් සේ අනා භාවිතා කෙරුණා රාත්‍රී කාලයේ නොනවත්වාම ඔහු වැඩ කළා. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් වුණා..
පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18 ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවක්. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුණා. ඔහු මීට පෙර නිලධාරී මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගෙන තිබුණා. එය බෙහෙවින්ම ශක්තිමත් එකක්. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැග පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇගිලි පුරුක්වලින් මැන කපන ස්ථාන ලකුණු කල සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගන්න පුරුදු වී තිබුණා.

සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් වුණා. අවට පිරිසිදු කොට නැවතත් ගල පෙර පරිද්දෙන්ම රදවා එදින වැඩ කටයුතු අවසන් කළා. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹුණා. සුමතිපාල හොද ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගනන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණා. අවසන් ගණන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළග නිමේෂයේ නැගිට වහ වහා ක්‍රියාත්මක වුණා. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගෙතුවා. විනාඩි 30 ක පමණ කාලයක් තුල අඩි 12 ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නට ඔහුට හැකි වුණා. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය.

නිසොල්මනේ තාප්පයට කිට්ටු කල සුමතිපාල බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගන්න සමත් වෙනවා. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ලගා වුණ ඔහු බැම්මට නැග බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුණා. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලදු කැලෑවේය. (දැන් එය නැත). එතනින් අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියා. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එහි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුනා තිබුණා. සුමතිපාල ගන්නෝරුවෙන් එයට නැග කැළණිය වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හදුනාගත් මිතුරකුගේ නිවෙසට ගියා. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන පසුව වාද්දූව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියා.

– මිලඟ ගොදුර –
ඊ ලඟ ගොදුර කණිටු පාසලක විදුහල්පතිවරයක් සහ මීගමුව ප්‍රදේශයේ ආපනශාලවක හා නවාතැන් හලක් හිමි කරුවෙක්.
මිතුරාගෙන් පා පැදියක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මගහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවා. දින කීපයකට පස්සෙ ඔහුට තමා සොයන ගොදුර හමුවුණා. පරගස්තොටට ගොස් ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියා.
බන්ධනාගාර මිතුරාගේ නිවසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊලග කාර්යය සදහාද කටයුතු සැලසුම් කළා. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිදක් කපන්නට මුලපුරා තිබුණා. ඔහු මිතුරා සමග හරි හරියට මහන්සි වී ළිද කැපුවා. සති අන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැග මීගමුවට ගියා. කිසිවෙකුට නොදැනෙන්නට, නොහැගෙන්නට කොච්චිකඩේට ගොස් නයගරා ගෙස්ට් හවුසිය සොයා ගන්නවා.
අසළ කුඩා තේ කඩයක මුදලාලි කෙනෙකු සමග කථාවට වැටෙන ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පළාත පුරා ප්‍රසිද්ධ බවත්, පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය.
තමා හිස ගසා දැමූ අයි.පී ගේ නංගි බැදපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සුමතිපාල තහවුරු කර ගන්නවා.දපසුව ඒ අසළ ගැවසී තානායමේ අයිතිකරු දැකබලා ගන්ට ඔහු සමත් වෙනවා. ඔහුගේ හැඩරුව සිතෙහි ධාරණය කරගත් ඔහු නැවත වනවාසල බලා පිට වෙනවා.
එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කල ඔහු මිතුරාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගන්නවා. තරමක් පැරණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600 ක්ද මිතුරා සුමතිපාලට දුන්නා. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස නයගරා ගෙස්ට් හවුස් වෙත ගියා. රාත්‍රියේ නැවතී පසුදින උදෑසන ආපසු යාමට කාමර ගාස්තුව එකල අය කලේ රු 100 ක්. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නවා.අද රෑ තමයි රෑ.ඔහුගෙ සිතේ එසේ රැවු දෙන්න ඇති.
සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියා. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණා. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියා. මහත්තයා, එ්ක අපේ මුදලාලිගෙ කාමරේ, ඒක පිට අයට දෙන්නෙ නෑ. සේවකයා කීවා. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ලැබෙන්නෙ ඒ අනුවයි. දිවා ආහාරයද තානායමෙන්ම ගෙන ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරසී කාමරයේ යතුරද රැගෙන ඔහු ආලින්දයට පැමිණියා. ඒ වන විටත් මුදලාලි පැමිණ සිටියේ නෑ. ගරාජයේ මෝටර් රථය තිබුණෙ නෑ. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැගුණා.
වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ ඉන්නවා.අදටත් ඒ පළාත ඒ සඳහා ප්‍රසිද්ධයි. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ලග නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහො යැවුවා. තරමක් දිග මිටක්ද සහිත යහමින් මුවාත ඇති ලොකු තලයක් තිබුණු මන්නා පිහියක් මිළට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යාමට පෙර දෙමළ චිත්‍රපටියක්ද නරඹනවා. රාත්‍රී 9.30 ට චිත්‍රපටය අවසන් වුණා. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියා. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම් අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැදින ගත්තා.
හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැදිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදලාලිගේ කාමරයට විවෘත වන නාන කාමරයට බැස්සා. නානකාමරයේ දොර මදක් විවර කල විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙනිණි ,ඒ ගැහැණියක් සහ පිරිමියෙක්. පිරිමියා නිරුවතින් ඇදේ දිගා වී සිටියා. සුමතිපාල ඔහුට ළං වන විට ඔහු හොරෙක් හොරෙක් යයි කෑ ගැසීය. සුමතිපාල හොදින් නැවී තානායමේ අයිතිකරු කළුතර අයී. පී මහතාගේ මස්සිනා බව නිසැක ලෙස හදුනා ගත්තා.
ඊලග නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූනෙන් කඳින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියා. තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සමග මිදුලට පැන්ණා. ගේට්ටුවෙන් පාරටද පැනගත් සුමතිපාල සුළු වෙලාවක් තුල කොළඹ – පුත්තලම පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියා.
ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොල දෙසටයි. පාන්දර නිසා මහා මාර්ගය පාළුවට ගොස් තිබුණ නමුත් කිලෝමීටර් 7 ක් පමණ මග ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මග දිගට කීප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙකු පාරේ යන බව දැක තිබුණා. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටුණා. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වත්කළෙන් සුමතිපාල නැවත ප්‍රකෘති සිහියට පැමිණියා.

මේ සිදුවීමෙන් පසු හිතුමතේ අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබුවා.

– Prison Break season two –
  
(Anuradhapura Prison)
pri10

 ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුල තදබදය එන්න එන්නම වැඩි වීමත් අනුලෝමව පහසුකම් අවම විමත් සිදු වුණා. එවැනි තත්වයක් තුල සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පැවතුණා.
ජ.වි.පෙ ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළා. මේ කාලේ මරුසිරා ද අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් අතර සිටියා.සුමතිපාල සහ සිරිපාල බෝගම්බර හිතවත්කම අනුරාධපුරයේදී තර වුණා. ජ.වි.පෙ සාමාජිකයන් සමග මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ වුණා. සුමතිපාල මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ වුණා.
මරු සිරාගේ කණ්ඩායමට පැවරූ වැඩ කොටසට සුමතිපාල ද සහාය වූණා. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබුණා. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සගවා තබන්නට ඔව්හු කටයුතු කලා.දින කීපයක් තුල උල් යකඩ කූරු 15 ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරුණා.
ප්‍රහාරය ආරම්භ කිරීම සදහා ජ.වි.පෙ සාමාජික හීන් බණ්ඩා උපදෙස් දී තිබුනේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවටයි. දිනය තෝරා ගැණුනා. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදුන්නා. 15 ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියා. ඔවුන් ඇතමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණා.
ජේලර්ලා පිරිසක් බැටන් පොලු ඇතැතිව ඔවුන්ට හරස් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්වය පාලනය වූණා. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුලත කාර්යාලය අසල නතර කර තිබුණා. කිසිවෙක් එය පණගැන්වුවා. ආයුධ රාක්කයට කඩා පැන්න කීප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්තා.
ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියෙන් වෑන් රථය පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැග සිටියා. මරු සිරාත් ලයනලුත් තුවක්කු ඇතැතිව පැති දොරේ එල්ලී ගමන් කළා.
සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලාගෙන සිටියා. එක් සිරකරුවෙකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටියා. විලච්චිය පාර දෙපස මිනිස්සු තුෂ්ණිම්භූතව බලා සිටින හැටි චිත්ත රූප මැවී යාම නොවැලැක්විය හැක්කක්.
වේගයෙන් ධාවනය වුණ බන්ධනාගාර වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගිය පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර වුණා. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්තා. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට පැන ගත්තා. ජ.වි.පෙ සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමග එකතු වූණා.

– තුන්වන ගොදුර-

සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියෙකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ මිතුරකුගේ නිවසේ දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කථාව යටපත් වනතුරුය.
දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය.
සිය පියාද මිය ගිය බව ඔහුට අසන්නට ලැබුණා .එකල දුප්පත් වුවත් සතුටින් සිටි සිය පවුල නැවත හමුවිය හැක්කේ මෙලොව නොව එලොවදීය.
ඊට පෙර තව කිහිප දෙනෙකුගේ ගණුදෙනු පියවීමට ඉතිරිව තිබුණා.
සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හදඳුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඤාතියෙකු හැටියටයි. එබැවින් දින කීපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් වුනේ නෑ. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔසසේ ගොස් මීට පෙර කී විදුහල්පතිවරයාගේ නිවෙස සොයා ගන්නවා. එම නිවෙස පැරැණි පන්නයේ වළව්වක් වන් එකක්. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබුණා.සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියා. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයේ සිටියා.
අවශ්‍යතාවයනට නෙසෙල් කැනක් ලබා ගත හැකිදැයි ඔහු විමසා සිටියත් කාන්තාව බැණ වැදී ඔහුව පලවා හරින්ට කටයුතු කලා.
මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් විදුහල්පති ගුරුවරයාද එහි පැමිණියා. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත් වුණා.
පසුදින සුමතිපාල නැවත සයිකලයට නැගී පයාගල රේන්ද වාඩියකට ගියා. එහි අයිතිකරු සුමතිපාලගේ පියා හදුනන නමුත් සුමතිපාල ගැන මතකයක් තිබුණේ නෑ. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහෙ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියා. වත්තේ කොනක සැගවී සිටි ඔහුට නින්ද ගියා. පනිට්ටුවක් සෙලවෙන ශබ්දයෙන් ඇහැරුණු ඔහු විදුහල්පතිවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවා. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැගී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බලමින් පිහිය සහිත අතද වැසිකිලිය තුලට ගත්තා.
වැසිකිළිය තුල සිටි විදුහල් පති ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවා. කුප්පි ලාම්පුවේ එළියෙන් සිහින් උඩු රැවුලක් සහිත විදුහල්පතිගේ මුහුණ සුමතිපාල හැදිනගත්තා.

“කවුද යකෝ මේ” ? විදුහල්පති එසේ කෑ ගසන්නට ඇති.
ඊළග මෙහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ දොර අරින්නට නැගී සිටි විදුහල්පතිගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියා. කවන්ධය වැසිකිළිය තුලම වැටුන අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියා. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුනු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලයද ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුලට දමා බැඳ ගෙන බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණ කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියා. කළුතර පොලිස් අධිරීවරයාගේ නිල නිවාසය අසලට එන විට වෙලාව උදෑසන 6.00 පසු වී තිබුණා.අලළුයම ව්‍යායාම සදහා බැහැර සක්මනෙහි යෙදුනු සහකාර පොලිස් අධිකාරී තැන අරින ලද ගේට්ටුව අතරින් නිල නිවෙසට ඇතුලු වෙමින් සිටියා.
ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා ඔන්න මහත්තයෝ මම තව එකෙක් ඉවර කෙරුවා යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තා.


– නැවතත් හිර ගෙදරට –

                                                                                                  (Welikada Prison)
pri11

 කළුතර මිනී මැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරුණා.
මේ වන විට සුමතිපාල මිනිස් ඝාතන තුනක් සිසුකොට තිබුණා.
වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණා. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නෑ.
සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් දැක්වුවා.
සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුණා. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියා. නමුත් සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියා.

– මරණ තැතක් –
සුමතිපාලට හිතවත්කම් දක්වන සිරුකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවා. ඉන් කියැවුනේ ලගදි ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තරයක් තමාගෙන් ඇසූ බවත් මාසයක් පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය.
පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නා. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටයදී සුමතිපාල ඔහු හොදින් නිරීක්ෂණය කර ගත්තා. හෙතෙම ආගන්තුක තැනැත්තා පිළිබද විස්තර සොයා බැලුවා. හෙතෙම ජා-ඇල ප්‍රදේශයේ අයෙක්. නම ලක්ෂ්මණ් නොහොත් ගංජා ලක්ෂ්මණ්ය. මොහු කොන්ත්‍රාත්තුවට මිණි මරන පාතාලයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමග පොලීසියට හසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කල දඩය නොගෙවා සිරගත වීමෙන්ය.එය තරමක් සැක සහිත බව වටින්ගොඩින් විස්තර ලබා ගත් සුමතිපාලට වැටහෙන්න ඇති.මෙපමණ දෙයක් කල අයෙක්ට එය නොවැටහුණා නොවිය හැකියි.
ඇතැම් විට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් සුමතිගේ මීලඟ ගොදුර හෝ තමා මරා දැමීම සදහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා කථාබහ කලේ නැහැ. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියා. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුනේ තවත් දින 14 යි. ඔහු තුල නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණා.බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්තා. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියා. රාත්‍රී කාලයේ සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුනේ තවත් සිරකරුවන් 40 ක් සමග විශාල ෂෙල් එකකය. බොහෝ විට සුමතිපාල නිදාගත්තේ නෑ. අඩ නින්දේ නමුත් සෑම මෙහොතක්ම සෝදියෙන් පසු වූණා. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් හැකියාවක් තිබුණේ නෑ. පැමිණිලි කිරීම එක මදිපුංචි කමක් ලෙස ඔහු සැළකුවා. අනෙක් අතට ඒ සදහා ඔප්පු කල හැකි කිසිදු සාක්ෂියක්ද තිබුණේ නෑ.
සුමතිපාල එන ඕනෑම තත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළා. ගංජා ලක්ෂ්මණ් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් මොහු නිරීක්ෂනය කළා. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුනේ දින 4යි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නෑ. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තා.තවද තමාගේ අභිප්‍රාය ඉටු කර ලන්නා තෙක් එසේ මෙසේ කෙසේ වත් මිය නොයාමට ඔහු අදිටන් කොට සිටියා විය යුතුයි. ලක්ෂ්මණ්ගේ හිරගෙදර අවසන් දින අවසන් රාත්‍රිය උදා වුණා.
සුමතිපාල අළුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කළා. ඒ වන විටත් ඔහු දින තුනක් නිදි වරා සිටියෙන් අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූණා.
සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසියම් ඡායාවක් දැනුණා. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිදා බැස්සා. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූණා. දෑස් අන්ධකාරයේ ගිලී තිබියදී විදුලි වේගයෙන් නැගී සිටි සුමතිපාල එසේ නැගිටිමින්ම ඇසට කිදා බැස තිබූ යකඩ කූර තම අතින් ඉවතට ඇද තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියා. ඔහුගේ මුහුණ ලෙයින් පෙගී තිබුණා.

මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මේච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියා. ඒ අන් කිසිවකු නොව ජා-ඇල ගංජා ලක්ෂ්මන්ය.
හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් 46 වාරයක් ඇන ඇති බවයි. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අගල් දෙකක් පමණ ඇතුලට බැස තිබුනේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන්ව කැදවාගෙන ගොස් තිබුණේය.
කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත් ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවා. යකඩ කූර වම් අැසට දශම කීපයක් ඔබ්බෙන් කිදා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදු වූනේ නෑ. උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් වුණා.අනතුරුව ඔහු යළිත් අනුරාධපුර සිරගෙදරටම එවනු ලැබුණා.
මේ මිණිමැරුමත් සමග ඔහු සිවු පුද්ගල ඝාතකයෙක් වුණා.
මෙ අතර තමා මරා දැමීම සදහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකි වුණා. පුත්තලම් පාරේ මස්කඩ කීපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පසුපස සිටියේය. ගැස්ටන් තමා අතින් මිය ගිය කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි.
දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තව දුරටත් තීන්දු වී තිබුණා.
මේ අතර ශල්‍යකර්ම කීපයකටම යොමු කිරීමෙන් පසු සුවය ලැබූ මරුසිරා නොහොත් සිරිපාල සුවය ලබා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයටම මාරු කරනු ලැබ තිබුණා. නැවතත් සුමතිපාල , මරු සිරා සහ ලයනල් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිරකරුවන් රදවන කොටසේ රදවනු ලැබුවා. එය සුමතිපාලට මහත් සතුටක් වූයේ මරු සිරාත් ඔහුත් දෙදෙනාම එලොව ගොස් මොලොවට පැමිණ සිටීම නිසාය.
නඩු විභාග වූ සෑම දිනකම සිරිපාල, සුමතිපාල හා ලයනල් ඇතුළු සිරකරුවෝ ආරක්ෂක මුරකාවල් ඇතිව බන්ධනාගාර රියකින් උසාවියට ගෙන යනු ලැබුවා. මරු සිරා ගැන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රසිද්ධිය නිසා උසාවි ගෙන එන සිරකරුවන් බැලීමට අනුරාධපුර වාසි ඇතැමුන් මිරිසවැටියේ සිට උසාවිය දක්වා මග රැක සිටිය බව කියවෙනවා.
පලා යෑමේ නඩුවට දඬුවම් නියම කරන දිනයද පැමිණියේය. එම දිනය පසුවූ විට සුමතිපාල නැවතත් වැලිකඩ යවනු ඇත. ඊට පෙර සිරගෙයින් පලායෑම ඥානාන්විත වේ යැයි සුමතිපාල කල්පනා කලේය. කොළඹ යැවුවහොත් සිරගෙයින් පලා යාම දුෂ්කර වනු ඇත. එබැවින් සිදුවන්නක් සිදුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී විය යුතු යැයි සුමතිපාල විශ්වාස කළා.
මේ අතර සිරිපාලගේ මිනිමැරුමේ නඩුවෙන් අනිවාර්යෙන්ම මරණ දඩුවම හිමිවනු ඇතැයි සිරිපාල කල්පනා කලේය. එබැවින් ඊට ප්‍රථම අවස්ථාව ලද සැනෙන් පලා යා යුතුය. නැතහොත් අනිවාර්යෙන්ම පසුතැවිල්ලට හේතුවනු ඇත. සිරිපාල පලා යා යුතු බවට වූ පණිඩුඩය සුමතිපාලගේ කණේ තැබුවා. ඔහු එක හෙළා ඊට කැමැත්ත පල කළා.
– Prison break season three –
ඔවුන් සමග එකට උසාවි ගෙනයන සීමන් සිල්වා කලක් කොළඹ කොටහේනේ පදිංචිව සිටි බෝම්බ මාස්ටර් කෙනෙකි. බෝම්බ සෑදීම සහ දමා ගැසීම පිළිබද සීමන් සිල්වා ලද විශේෂඥ පුහුණුවේ ප්‍රතිඵල ලෙස ඔහුගේ එක් අතක මහපට ඇගිල්ල සහ දඹර ඇගිල්ල ගැලවී ගොස් තිබුණා. ඇගිලි අඩු සීමන්ට ඕනෑම අවස්ථාවක අත උල්කොට මාංචුව පන්නා ගත හැකියාව කිබුණා.ඔහු එය පුහුණු කොටද තිබුණා. සදුදා උදෑසන නඩුව විභාගයට ගනී. සිරිපාල මහාධිකරණයටත් සුමතිපාල සීමන් සිල්වා සහ පියසේන මහේස්ත්‍රාත් උසාවියටත් ගෙන යා යුතුව තිබුණා.
එක සදුදාවක වෙනදා ඔවුන් ප්‍රවාහනය කරන රථය ආපදාවකට ලක් වී තිබුණා. බන්ධනාගාරයේ ඇති කුඩා වෑන් රථය ප්‍රමාණවත් වන්නේ පොල් පටවන්නාක් මෙන් රිමාන්ඩ් සිරකරුවන් පටවාගෙන යන්නටය. මරු සිරා ඇතුළු විශේෂ ඝනයේ සිරකරුවන් වඩා ආරක්ෂිතව රැගෙන යා යුතු බැවින් එවැනි අවස්ථාවකදී අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙත වූයේ අනුරාධපුර ටවුමෙන් පුද්ගලික කුලී මෝටර් රථයක් ගෙන්වා විශේෂ සිරකරුවන් උසාවි ගෙන යෑමයි. නිතර බන්ධනාගාරයට කැදවන 4 ශ්‍රී ඔස්ටින් කාර් රථයක් හිරගෙදරට පැමිණියා.
සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරුණා.රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගා. නඩු විභාගය අවසන් වුණා.සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවුණා. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, සුමතිපාලටත්, ලයනල්ටත් මුල් දඬුවමට අතිරෙකව වසරක සිර දඩුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව පසු දිනට කල් ගොස් තිබුණා.
මේ අවස්ථාවේ අනපේක්ෂිත දෙයක් ද සිදුවුණා. ජේලර්වරයකු අනෙකුත් සිරකරුවන් සමග වෑන් රථයේ ඒම පිණිස නතරවී රයිපලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු ඔස්ටින් රථයට නැගීම ඒ හදිසියේ ඇති වූ වෙනසයි.
සිරිපාල සිය මෙහෙයුම ආරම්භ කලේ උසාවියේ සිට කදිරේෂන් කෝවිල පසු කරන විටය. ප්‍රථමයෙන් කලයුතු වන්නේ දඹර ඇගිල්ල සහ මහපට ඇගිල්ල අහිමි සීමන් තම අත උල්කර මාංචුව පන්නා ගැනීමයි. සිරිපාල ඇසෙන් දුන් විධානය අනුව අත පන්නා ගැනීම මිතුරා ආරම්භ කළා. එය හිතුවාටත් වඩා පහසුවෙන් කෙරුණා. සීමන්ගේ ද් මුළුමනින්ම නිදහස් මුත් හඬ නොනැගෙන සේ මාංචු එලෙසම තබා ගත්තා.
ඉන්පසු දෙවැනි පියවර එළැඹුණා. එනම් ජේල්ර් මහතාගේ සාක්කුවේ ඇති මාංචු ගලවන යතුරු කැරැල්ල පික්පොකට් ගැසීමයි. දක්ෂ පික්පොකට් කරුවකු වූ පියසේන අවස්ථාවක් බලා එය හරියටම කිරීමට සමත් වුණා. ඉන්පසු මෙහෙයුමේ තුන් වැනි පියවර ඇරඹුණා. යතුරු කුට්ටම හඩ නොනැගෙන සේ හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අත් මාංචුවලින් නිදහස් කරගත යුතුව තිබුණා. මිනිත්තුවකටත් අඩු කාලයක් තුල මාංචු ගැලවීම අවසන් වූණා.
මල්වතු ඔය පාලම මතට රථය පිවිසෙනවාත් සමගම රියදුරු ෂෙල්ටන්ගේ ගෙල වටා අතදැමූ ලයනල් ඔහුගේ හිස උඩු අතට නවා ගත්තා. කාරය පාලම් ඇන්දේ හැපී නතර වුණා. මරු සිරා දුන් පහරින් වම්පස දොර ඇරී සාජන් මහතා පාරට විසිවුණා.වහා නැගිට ගත් සාජන් මහතා රිපීටරය මරු සිරාට එල්ල කරනු දුටු සුමතිපා වහා ඔහු වෙත කඩා පැන්න හෙයින් දෙදෙනා පාලමේ ඇදි අතරින් මල්වතු ඔයට නොවැටී බේරුණේ යන්තමට.
අවිය උදුරා ගැනීමට දෙදෙනා පොරකෑමේදී සාජන් අතින් එක් වෙඩිල්ලක් පත්තු වූ අතර ඉලක්කය වැරදීම නිසා එය අසල වූ කොහොඹ ගසක වැදුණා. පසු නොබලා දුවමින් සිටි රියැදුරු ෂෙල්ටන් වෙඩි හඩට හා වදුරන්ගේ හඩට ආපසු හැරී බැලූවිට දුටුවේ තුවක්කුව සිරකරුවන් අතට පත්වීම නිසා තමා සිටින දෙසටම දිව එන සාජන් මහතා සහ ජේලර්ය.
ඊලග මොහොතේ පැයට සැතපුම් 60 ක පමණ වේගයකින් රතු පැහැති ඔස්ටින් ෂරීනා රථය අනුරාධපුර ඇළයාපත්තුව දෙසට ගමන් කෙරුණා. ලයනල් විසින් පදවනු ලැබූ කාරයේ ඉදිරි අසුනේ 303 වර්ගයේ රයිපලයක් අතින් ගත් මරුසිරා නොහොත් සිරිපාල වාඩි වී සිටියා. පසුපස වම් පස අසුනේ සිටියේ රිපීටර් තුවක්කුවක් අතින් ගත් හිතුමතේ නොහොත් බී.ඩී. සුමතිපාලය.
මරු සිරා තවත් බිහිසුණු අපරාධරුවන් තිදෙනෙකු සමග හිරෙන් පැන යාම පසු දින පුවත්පත් මහා ඉහළින් වාර්තා කර තිබුණා.මේ අසුභ ප්‍රවෘත්තියත් සමග රජරට ප්‍රදේශය හෙල්ලුම් කෑවා. මරු සිරාගේ නඩුවේ තීන්දුව දුන්නේ විත්තිකරු නොමැතිවය. ඔහුට මරණ දඩුවම නියම වුණා. ඔස්ටින් රථය කැලෑ මණ්ඩියක අත්හළ සිරකරුවෝ ඇළයාපත්තුව කැලයට වැදී සැහැල්ලුවෙන් ගමන් කළා. එදින සන්ධ්‍යා භාගයේ ඔවුන් ප්‍රථමයෙන් කලේ වැවකට පැන සිත් සේ නා ගැනීමයි.
පසුදින මරු සිරාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ ඔවුන් සිටියේ දියකිත්ත වැව ප්‍රදේශයේ මිතුරකුගේ හේනක පිපිඤ්ඤා කමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ය.
මරු සිරාගේ පපුවේ “මරුවා සමග වාසේ” යනුවෙන් පච්ච කොටා තිබේ. එය දුටු සුමතිපාලට පච්චයක් අවශ්‍ය විය. එදා හැන්දෑවේ පච්ච කොටන අඩුවැඩිය රැගත් මිනිසකු හේන් යායට ගෙන්වාගත් මිතුරු පිරිස තම තමන් කැමති පච්චා කොටා ගන්න කටයුතු කලා.
සුමතිපාල කවුරු මොනවා කිව්වත් හිතුමතේ වැඩ කරන නිසා ඔහුගේ පපුවේ හිතුමතේ කියා කෙටීම වඩා සුදුසු බව කාගෙත් අදහස විය. දෙද්දුවගේ සිරිපාල නොහොත් මරු සිරා සිය අත් අකුරින් සුමතිපාලගේ පපුවේ හිතුමතේ යනුවෙන් සලකුණු ලා. පච්චා කෙටූ ඇන්තනී එම අකුරු සුමතිපාල ජීවත්වන තුරු නොමැකෙන්නට තහවුරු කලා. එය කොටා අවසන් වන විට සුමතිපාලගේ ඉල්ලීම වූයේ ඔහුගේ බාහුවේද පච්චයක් කෙටිය යුතු බවය. එයද ඒ අයුරින්ම ඉටුවිය.
– සොදිසි මෙහෙයුම්-
යුධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්ෂාව තරකර තිබුණා. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොටම ඇළයාපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්ෂාවට ලක් කලා. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධව කිසිදු තොරතුරක් ලැබුනේ නෑ. අනුරාධපුර පොලිස් අධිකාරී මහතා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කල අතර එම මෙහෙයුමට අනුව සන්නද්ධ කුඩා භට කණ්ඩායම් දිස්ත්‍රික්කයේ කැලෑ මාර්ග වල රාත්‍රී කාලයේ තැන් තැන්හි රඳවුණා. එම කණ්ඩායම්ද අනුරාධපුර අවට කැළෑ ප්‍රදේශ වල, හේන් යායවල සැරිසැරූවා. එහෙත් පලාගිය සිරකරුවන් පිළිබදව කිසිදු ආරංචියක් පොලිසියට ලැබුනේ නෑ.
දින ගණනකින් පසුව පොලිස් ඔත්තුකරුවෙකු දැනුම් දුන්නේ කුඩා හෝටලයකින් අවේලාවේ කෑම පාර්සල් කිහිපයක් සකස් කරවාගෙන කැලයට ගමන් කල නොහදුනන,අතේ ඇඟිලි කිහිපයක් අඩු පුද්ගලයෙක් ගැනයි. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පිටත් වූ අතර ඔව්හු වනයට ඇතුල් වී ඉදිරියට ගමන් කළා.තරුණ පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් මහතාට මරුසිරාගේ වැඩකිඩ ගැන එතරම් දැනීමක් නොතිබූණ අතර ඔහු මෙය සාමාන්‍ය රාජාකාරී ගමනක් ලෙස සැළකුවා.
මේ කණ්ඩායම බලාපොරොත්තු නොවූ ලෙස කැළය මැදදී අපරාධකරුවන් සිව් දෙනාගේ කල්ලිය මුහුණට මුහුණ හමු වුණා. පලා යාම වෙනුවට පහරදීම තෝරාගත් මරුසිරා සාජන් කෙනෙකුට පොල්ලකින් පහර දුන් අතර ඔහුතේ අතේ තිබී විසිවූ ස්වයංක්‍රීය ගිණි අවිය අහුලා ගන්නට පැන්නද වහා ක්‍රියාත්මක වූ සිසිල් කාරියවසම් මහතා මරුසිරා මතට පැන පොරබදා ඔහු මෙල්ල කිරීමට සමත් වෙනවා. පොලිස් නිළධාරීන් හතර අතේ වෙඩි තබන්නට ගත් නිසා මරුසිරා බේරාගැනීම පසෙකලා සෙස්සෝ පැන ගිය අතර මරුසිරා ජීවග්‍රහණනයෙන් අල්ලා ගැනීමට හැකි වීම පොලිස් පිරිස සමත් වුණා.

                                                                                                                   (Maru Sira)

pri6
 
පැය තුනකට පමණ පසුව ඉපැරණි වැව් බැම්මක් මතදී සුමතිපාල සහ ලයනල් නැවත හමුවුණා. මීට පෙර දින දෙකක් නතර වී සිටි හේනක තවත් දින දෙකක් රැදෙන්නට ඔව්හු තීරණය කලා. මිණී මැරුම් චෝදනා හතරක් ඇති සුමතිපාල අල්ලා ගැනීම සදහා ඔත්තු සපයන්න යැයිද පොලිසිය මහජනයාගෙන් ඉල්ලුවා. දින දෙකකට පසු ලයනල් සහ පියසේන අනුරාධපුරයෙන් පිටවී ගියා. සුමතිපාල වැඩි අමුත්තක් නොපෙන්වා හේන් ගොවිතැන් කල මිතුරාට උදව් වෙමින් හේනටම වී සිටියා.

එක් ඉරිදාවක වට්ටක්කා කොළඹ පටවන ලොරිය පැමිණ හේන් කීපයක වට්ටක්කා එකතු කර ගෙන කොළඹ බලා පිටත් විය. හිසේ ජටාවක් බැදගත් සුමතිපාල වට්ටක්කා ගොඩේ වාඩිවී හේනෙන් පිටවී ගියා.
ඔහු කුරුණෑගල නගරයේදී වට්ටක්කා ලොරියෙන් බැසගත් අතර පසුව සිරගෙදරදී හදුනාගත් යහළුවකු වූ රත්නේ සොයා කටුපොත බලා ගියා. රත්නේ සමග දින කීපයක් ගත කල ඔහු රත්නේගේ නිවෙසේ තිබූ මෝටර් සයිකලයෙන් රවුමක් දෙකක් ගසා පුහුණු වුණා.
– අවසන් ගොදුර-
දිනක් යහළුවාගේ මෝටර් සයිකලයේ නැගුනු සුමතිපාල අවසන් ගොදුර ඩැහැ ගැනීම සඳහා බුද්ධි දත්ත රැස්කර ගැනීමට පල්ලම බංගදෙණිය හරහා ආරච්චිකට්ටුවට ගියේ එම නගරවල මස්කඩ කිහිපයක් පවත්වාගෙන ගිය මුදලාලිලා දැක ගන්නටයි.
ආරච්චිකට්ටුව හන්දියට ඔබ්බෙන් හලාවත පැත්තට වෙන්නට ගැස්ටන් මුදලාලිගේ නිවෙස තිබුණා(මින් පෙර සුමතිපාලව හිර ගෙදරදී මරා දැමීමට කුලී කරුවෙක් එවූවේ මෙම ගැස්ටන් ය).ගැස්ටන් ගේ දින චර්යාව නිසැකව තේරුම් ගන්නට සුමතිපාල දින තුනක් කුරුමානම් ඇල්ලුවා. දින තුනේම සවස 4.30 ත් 5.00 ත් අතර නිවෙස ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ පසු මුදල් පාර්සලයත් රැගෙන මුදලාලි නිවෙස තුලට යන බව නිරීක්ෂණය වුණා. සිය දඩයම මස් කඩ අසල කරන්නට යෑම එතරම් නුවනට හුරු නැතැයි හිතුමතේ කල්පනා කරන්ට ඇත්තේ මස්කඩ කරුවන් ගේ ක්‍රියා කලාපය දන්න නිසායි.දින කීපයක් මිතුරාගේ නිවසේ සිටි සුමතිපාල මල්වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ තරමක් සරුවට පවත්වාගෙන යන කම්මලකට ගොස් පොල් කෙක්කට දමන බලට්ට පිහියක් සාදවා ගන්නා ඔහු මෝටර් සයිකලයේ ගොස් පිහිය ගෝනියක ඔතාගෙන මස් කඩ මුදලාලියා හමුවන්නට යනවා.මුදලාලිගේ නිවෙසට නුදුරින් වූ මල්මාර ගස යට බයිසිකලය නතර කොට වෙලාව එළැඹෙන තුරු සිටියා.සුපුරුදු වෙලාවට මුදලාලිගේ රිය ගේට්ටුව පසුකර නැවැත්තුවා.
මුදල් පාර්සලයත් බ්‍රැන්ඩි බෝතලයකුත් අතින් ගත් මුදලාලි කාරයේ දොර ඇර එළියට පා තබත්ම සුමතිපාල වේගයෙන් පැමිණ මුදලාලි ඉදිරියට පැන්න සුමතිපාල කෙක්ක පොල්වල්ලට දමන්නාක් මෙන් ගැස්ටන් මුදලාලිගේ බෙල්ලට දමා ඇද්දා. කදින් වෙන්වූ බෙල්ල පළමුවත් මුදලාලි දෙවනුවත් ගෙය ඉදිරිපිට කාණුවට වැටුණා.
පොල් කඩන බලට්ට පිහිය කාණුවට විසිකල හිතුමතේ ආපසු හැරී මල් මාර ගස යට නතර කර තිබූ මෝටර් සයිකලය වෙත ගියා.එහෙත් මේ අවස්ථාවේදී පමණක් ඔහු කැපූ හිස රැගෙන ගියේ නෑ.
තව දුරටත් කට්ටි පනිමිනි සිටීමට හෝ පොලිස් වෙඩි පහරින් බියගුල්ලෙකු සේ මිය යන්නට අදහසක් නොවූ සුමතිපාල පසු දිනම ලඟම පොලිස් ස්ථානය සොයා ගොස් බාර වුණා.
නැවතත් පුරුදු සිරගෙදරට ආ සුමතිපාල ව සති දෙකකට පසු සුමතිපාල බෝගම්බරට මාරු කල අතර එහිදී නැවතත් මරු සිරා හමු වූ අතර පසුව මරුසිරා එල්ලා මරන ලදී. මෙය සුමතිපාලට කණගාටුදායක දෙයක් විය. 

pri7

(අතුරු කතාවක් නම් මරුසිරා පෝරකයට යැවීමේ සිද්ධිය එකල මහත් ආන්දෝලනයක් ඇති කල අතර ලංකාවේ මරණ දඩුවම අහෝසි වී යාමටද එය බලපෑ බව කියවේ.)

-දණ්ඩණය-
මිනීමැරීමේ චෝදනා 5 ක් සම්බන්ධයෙන් එල්ලා මරා දැමීමට නියමිතව සිටි සුමතිපාල නැමති සිරකරුට එවකට හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් මරණ දඩුවම අත්හිටුවා වසර 90 ක සිර දඩුවමකට යටත් කෙරුණා (ඇතැම් තැනක මෙය වසර 129ක් බව කියවෙනවා.සත්‍යම තොරතුර දැනගැනීමට නම් නඩු වාර්තා බැලිය යුතුයි).

-ජනාධිපති සමාව-
පසුකලෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහුට ජනාධිපතිවරයාගේ උපන් දිනය දා සමාව ලබා දුන්නේය.(මහින්ද රාජපක්ෂ මැතිතුමා සිර ගත කල අවස්ථාවක හිරේදී සුමතිපාල මුණගැසී ඇති බව කියවෙනවා.)
ඒ අනුව සුමතිපාල සිරකරු 2013 නොවැම්බර් මස 24 වන දා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල අතර ඔහුට 2014 පෙබරවාරි මස 4 වන දා තුන්රෝද රථයක්ද ප්‍රදානය කෙරුණා. ඒ සදහා අරලියගහ මන්දිරයට ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමටද අවස්ථාව ලබා දී තිබුණා. 17 වෙනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41 ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58 ක වියපත් මිනිසකුව සිටියා.


pri3
 සිපිරි ගෙය තුලදී හිතුමතේ ජීවිතය විසින් කොපි පොතක ලියන 
 ලදැයි කියන කවි දෙකක් පහත වේ.
"අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා


බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා"





– පසු කතාව-
ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූණා.

pri1

ඇය කොල්ලෙකු හා පැනගිය බව ගමේ බොහෝ දෙනා කිවුවත් ඇගේ මව්පියනුත් අයියා:සුමති පාල ත් කොහෙත්ම ඒක විශ්වාස කලේ නෑ. පොලීසියට පැමිණිලි කලත් පොලීසියත් ඒ ගැන තැකීමක් කලේ නෑ. සති කීපයකට පස්සෙ සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් මුණගැහෙන්නෙ මේ අතරෙ. ඇය එතෙක් සගවාගෙන සිටි රහසක් සුමතිපාලට කියනවා.කුසුමා අතුරුදහන් වූ දින ඇය සමග යමින් සිටියේ මෙම යෙහෙළියයි.
රහස නම්, පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ දිසානායක අයි.පී මහත්තයා බවත් රියදුරු විල්සන් නම් අයෙක් බවත් ඇය කීවාය. මෙය කාටවත් නොකියන බවට කුසුමාගේ මිතුරිය ගේ ගෙදරින් පොරොන්දු කරවාගෙන තිබුණා.
නංගී මරාදැමීමට මුල් වුන අය ගැන පොටක් පාදා ගැනීමට ඔහුට හැකි වන්නේ එදින රිය පැදවූ විල්සන් නම් රියැදුරා බීමත්ව සිටි අවස්තාවක ඔහු ගේ ගෙලට පිහිය තබා බිය වැද්දීමෙනි.
ඒ අනුව සුමතිපාල ගේ නැගණිය පැහැරගෙන ගොස් දූෂණය කිරීම සඳහා කළුතර මූලස්තාන පොලිස් පරීක්ෂක වරයෙක් වුන අයි.පී. දිසානායක යන අයත්,කළුතර විද්‍යාලයක විදුහල්පතිපවරයෙක්,අදාල පොලිස් පරීක්ෂක වරයාගේ නැගණියගේ සැමියා (මස්සිනා) සහ ආරච්චි කට්ටුව ප්‍රදේශයේ මස්කඩ මුදලාලි කෙනෙක් වූ ගැස්ටන් යන අය සම්බන්ධවූ බව විල්සන් පවසා තිබුණා.

(මෙම කතාවේ සිද්ධි මූලික වශයෙන් අන්තර්ජාලය සහ පුවත්පත් ලිපි මගින් ලබා ගත් ඒවා වන අතර ඇතැම් ඒවා සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කල තොරතුරු බව සැළකීම වටී.
සමාජය ඉදිරියේ ඔහු කොතරම් දුෂ්ඨයෙක්දැයි මා තක්සේරු නොකරන අතර මට අනුව නම් ඔහු වීරයෙකි.)

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters