මලාවියේ සිට -02- අප්‍රිකාවේ කප් රුක "බැඔබැබ්"

 


බැඔබැබ් කියන්නෙ අප්රිකාව සහ ඔස්ට්රේලියාව නිජබිම් කරගත් මහා වනස්පති විශේෂයක් .
Adansonia කියන විද්යාත්මක නාමයෙන් හඳුන්වන බැඔබැබ් විශේෂ අටක් තියෙනවා. බැඔබැබ් ගස් ඍතු අනුව වෙනස් වන ගස් විශේෂයක් . ඒ කියන්නෙ දළු දාන්නෙ, කොල හැලෙන්නෙ,ගෙඩි හැදෙන්නෙ ඍතු අනුව...
මා ඉන්න මලාවි වගේම පොදුවේ මුලු මහත් අප්රිකාවටම බැඔබැබ් වලින් ලැබෙන ප්රයෝජන ගොඩයි.
බැඔබැබ් ගසක උස මීටර 5 සිට 30 විතර වෙනකල් වෙනවා..කඳේ වට ප්රමාණය විෂ්කම්භය 7 සිට 11 ක් පමණ කිවුවත් මීටර 14-15ක් පමණ බිෂ්කම්භයක් තියෙන බැඔබැබ් ගසුත් තියෙනවා. දැනට හඳුනගෙන තියෙන විශාලම කඳකින් යුත් බැඔබැබ් ගහ තියෙන්නෙ දකුණු අප්රිකාවෙ ලිම්පොපෝ පළාතෙ. ඒ ගහේ කඳේ විෂ්කම්භය මීටර 15.9 ක් කියනවා. එම ගසේ උස මීටර 34ක්.
 

 
දැනට හඳුනගෙන තියෙන වයස්ගතම බැඔබැබ් ගස් දෙකෙන් එකක් තියෙන්නෙ නැමිබියාවෙ අනික දකුණු අප්රිකාවෙ. ඒ දෙකම දල වශයෙන් වසර 2000ක් පමණ පැරණි බව ගණනය කරලා තියෙනවා. 2011 සිම්බාබ්වේහි මියගිය බැඔබැබ් ගහක් වසර 2450ක් විතර ජීවත් වෙලා තියෙන බව ගණනය කරලා තියෙනවා.
ඉතා උසට හැදෙන අලංකාර බැඔබැබ් වැඩිපුර දකින්න ලැබෙන්නෙ මැඩගස්කරයෙ. එතරම් උස නැති විශාල වට ප්රමාණයකින් යුත් කඳක් තියෙන නුග මෙන් අතු විහිදුණු බැඔබැබ් ඔස්ට්රේලියාව සහ අප්රිකාවේ රටවල් කිහිපයක දකින්න පුළුවන් . මලාවි වල මම දැක්ක බැඔබැබ් ගසුත් මධ්යම ප්රමාණයේ කඳකින් සහ උසකින් යුතු අතු විහිදුණු ගස්. 
 

 
මැඩගස්කරයේ වැවෙන අලංකාර බැඔබැබ් ඉඩකඩ ඇති උද්යාන අලංකාර කිරීමට යොදා ගන්නවා.
බැඔබැබ් ගස් upside down tree කියලත් කියනවා..ඒ උසට වැවෙන බැංබැබ් ගස් බැලු බැල්මට මුල් උඩට හිටින විදිහට හිටවපු ඒවා වගේ පේන නිසා.
 





 
2020 වනකොට හඳුනගෙන තියෙන බැංබැබ් විශේෂ වලින් 6ක්ම මැඩගස්කරයට ආවේණික වෙන අතරේ එකක් දකුණු අප්රිකාව සහ අරාබි අර්ධද්විපයටත් අනෙක ඔස්ට්රේලියාවටත් ආවේණිකයි.
අතීතයේ ලෝකය පුරා වෙළඳාම් සිදුවන විට බැඔබැබ් දකුණු ආසියාවට සහ බ්රිතාන්ය පාලන සමයේදී කැරිබියන් දූපත් වලටත් හඳුන්වලා දීලා තියෙනවා.
ඔන්න ලංකාවෙ අය වාසනාවන්තයි.ඔයාලට බලා ගන්න එක බැඔබැබ් ගහක් තියෙනවා මන්නාරමේ. පුළුවන් වෙලාවක ගිහිල්ලා බලන්න.
කඳේ ජලය ලීටර 120000ක් පමණ ගබඩා කරගන්න හැකියාව බැඔබැබ් ගහට තියෙනවා. එහි විශාල කඳේ ජල අවශ්යතාවය සපයන්නෙ ඒ ජලයෙන්.එසේ ගබඩා කරගන්න ජලය වියලි කාලයට ප්රයෝජනවත්.
2000 දශකයේ මුලදී අප්රිකාව පුරා බැඔබැබ් ගස් විශාල ප්රමාණයක් හිටි හැටියේම මැරෙන්න අරං තියෙනවා. හේතුව කියලා කියන්නෙ අධික ගෝලීය උණුසුම.
බැඔබැබ් ගහේ හෑම කොටසක්ම බෙහෙතට ගන්නවා. කොල ආහාර විදිහට ගන්නවා (මැල්ලුම්, සලාද... රහ නම් අපිට හුරු නෑ.. ) .
තරමක් විශාල ගස්ලබු ගෙඩියක විතර ප්රමාණයෙන් වෙන,ඔවලාකාර බැඔබැබ් ගෙඩි හරියට මැහෝගනී ගෙඩිවගේ තරමක් ගණකම් කටුවකින් වැසුනු වෙල්වට් වගේ බූවක් තියෙන ගෙඩි ජාතියක්. බැඔබැබ් මදය සරුවත් රසයි කියලා කිවුවට මම නම් තාම කාලා නෑ. මේ මදයෙන් කෑම ජාති බීම ජාති හදනවා වගේම බේත් ජාතිත් හදනවා.
බැඔබැබ් ගෙඩි වල විටමින් C , පොටෑසියම් ,කාබෝහයිඩ්රේට් ,පොස්පරස් අඩංගුයි. අප්රිකානුවන් බොහො විට බැඔබැබ් ගෙඩ් ආහාරයට ගන්නවා වගේම.අනෙක් පළතුරු වගේම විකුණන්නත් තියෙනවා.
බැඔබැබ් ඇට වේලා හදා ගන්න බැඔබැබ් පිටි (Baobab powder ) එක අප්රිකානුවන් කෑමට රසකාරක ලෙස යොදනවා.මේ පිටි වල 11% ක් පමණ ජලය,80% ක් කාබෝහයිඩ්රේට් සහ මධ්යම ප්රමාණ වලින් විවිධ පෝෂ කොටස් ; රය්බොෆ්ලෙවින්,කැල්සියම්,මැග්නීසියම් ,පොටෑසියම් ,යකඩ තිබෙන බව සොයාගෙන තියෙනවා.
බැඔබැබ් ඇට තෙල් හිඳීමටත් යොදා ගන්නවා.
2008 යුරෝපා සංගමය මගින් බැඔබැබ් ආහාරයට සුදුසු බවත් එම නිසා යුරෝපා සංගමයට අයත් රටවල් වල ආහාරයට යොදා ගැනීමට අවසර ලැබෙන බවත් ප්රකාශ කර සිටියා.
බැඔබැබ් ශාකයේ කොටස් ආහාරයට ගැනීමෙන් ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. ඒ නිසාම වෙන්න ඇති මැලේරියාව වගේ ඇඟ තලලා දැම්මා වගේ අමාරු ලෙඩ වලදිත් අප්රිකානුවන් ඉහගහගෙන ඉන්නෙ.
උඩිනුත් කිවුවා වගේ පුළුවන් වෙලාවක මන්නාරම ගිහින් බැඔබැබ් ගහ බලන්න.
මලාවියෙදි ආයෙ හම්බ වෙමු
- ආර්යන් -

මුහුදක් නැති මලාවියට මුහුදක් වූ "මලාවි විල"

 


මලාවි කියන්නෙ ගොඩබිමින් වට වෙච්ච රටක් .උතුරින් හා ඊශාන දිගින් ටැන්සානියාවටත් ,නැගෙනහිර, අග්නි දිග සහ නිරිතෙන් මොසැම්බික් වලටත්,බටහිරින් සහ වයඹින් සැම්බියාවටත් මලාවි මායිම් වෙනවා... 

 
මලාවියේ ඊශාන දිගින් පටං ගත්තම නැගෙනහිර සීමාවේ විශාල ප්රමාණයක් ආවරණය වෙන්නෙ මලාවි විලෙන්..විලෙන් කොටසක් මොසැම්බික් වලටය්හ් අයිති වුනත් වැඩි ප්රමාණයක් මලාවියට අයිති නිසා මලාවි විල කියලා කියනවා..න්යාසා ලේක් කියලත් කියනවා..ඒ මලාවිය ඉස්සර කාලෙ හඳුන්වපු න්යාසාලෑන්ඩ් කියන නමින්...
මලාවි විල දිගින් කි.මී.560 ක් සහ පළලින් කි.මී 75 ක් වෙනවා. වර්ගඵලය ව.කි.මී. 29,600 ක්. ලංකාවෙ මුළු භූමි ප්රමාණයෙන් බාගයකටත් වැඩියි..උපරිම ගැඹුරු ස්ථානය මීටර 706ක් කියලා කියනවා.සාමාන්ය ගැඹුර මීටර 292 ක්.
ධාරිතාවය අනුව බැලුවොත් මලාවි විල කියන්නෙ ලෝකයේ හතරවෙනියට විශාලම විල .වර්ගඵලය අනුව බැලුවොත් ලෝකයේ නමවෙනියට විශාලම විල.
මුහුදක් නැති මලාවියේ සංචාරක කර්මාන්තයට් විශාල උදවුවක් වෙනවා මලාවි විල. මෙහෙ මිනිස්සු බීච් යනවා කියලා යන්නෙ මලාවි විලේ වෙරළට.
උතුරු මලාවියේ ශීතල ප්රදේශ වෙන කරොංගා සහ ම්සුසු සිට දකුණු මලාවියේ බලාකා,මංගොචි කියන කඳු කර ශීතල ප්රදේශ තෙක් මලාවි විල පැතිරෙනවා.
මම ජීවත් වෙන මධ්යම මලාවියේ ලිලොංවේ දිස්ත්රික්කයට (මලාවියේ නව අගනුවර ලිලොංවේ ය ) අයත් සලීමා,(න්)කොටකොටා ප්රදේශ වලත් පැයක පමණ ගමනකින් පසු මලාවි විල දැක ගන්න පුළුවන් ..නමුත් මලාවි විලේ උපරිම සුන්දරත්වය තිබෙන්න උතුරු කලාපයේ කරොංගා හෝ ම්සුසු වල එහෙම නැත්තම් දකුණු කලාපයේ බලාකා ,මංකිබේ වගේ පැති වල.
 


 
මලාවි විල meromictic lake කියන කැටගරියට අයිතිවෙන විලක්.ඒකට සිංහලෙන් කියන නම මම දන්නෙ නෑ. ඒකෙ තේරුම තමයි විලේ ජල ස්ථර කිහිපයක් තියෙන අතර ඒ ජල ස්ථර අනෙක් ඒවා සමග මිශ්ර නොවී පැවතීම. සරලව කිවුවොත් මලාවි විලේ මතුපිට ජලය විලේ මැද කොටසේ හෝ ගැඹුරු පතුලේ තිබෙන ජල ස්ථර එක්ක මිශ්ර වෙන්නෙ නෑ. එම නිසාම විලේ ගැඹුරු ජලය පිරිසිදු බවින් වැඩියි.
මලාවියෙදි අපිට කන්න මාලු ලැබෙන්නෙ මලාවි විල නිසා. නැත්තම් මාලුත් නෑ. 
 



 
ඩ්වංග්වා,ලුවෙයා,බුආ වගේ ගංගා කිහිපයකින් මලාවි විලට ජලය ගෙනයමින් එය පෝෂණය කරද්දි ලිලොංවේ,ෂයර් වගේ ගඟවල් මලාවි විලෙන් ආරම්භ වෙලා මොසැම්බික් වලදි සැම්බෙසි ගඟට එකතු වෙනවා...
මලාවිය කියන්නෙත් දේශපාලන බල පෙරළි මධ්යයේ අසරණ වුණ සුන්දර,සරු දියුණු කල හැකි මුත් තවමත් දියුණු වෙමින් පවතින රටක්.. ඒ නිසාම මේ රටේ මිනිස්සුන්ට මලාවි විලේ උපරිම ඵල ලබා ගන්න තවම හැකියාවක් ලැබිලා නෑ...
කවදා ඒක ලැබෙයිද කියන්න දන්නෙත් නෑ...
ආර්යන්



⚖️ Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට......24 - Boys don't cry





මේ ලිපියේ සිදුවීම ලියන්න කලින් යමක් කිව යුතුව තියෙනවා.
මේ ලෝකයට දරුවෙක් වශයෙන් කෙනෙක් බිහි වෙද්දි ඔහු සම්පුර්ණ නිරෝගී දරුවෙක්ද, විකලාංග සහිත දරුවෙක්ද, වෙනස් ස්වරූපයක ලිංගික අනන්‍යතාවයන් සහිත දරුවෙක්ද යන්න එම දරුවා නොදන්න දෙයක්. එම කිසිදු කාරණයකට එම දරුවන් වග කිව යුතු නෑ. ඔවුන් දිනෙන් දින වැඩෙමින් සමාජයට මුහුණ දෙන විට සමාජයෙන් විවිධාකාරයේ පීඩණයන්ට ලක් වෙනවා. එය කොතරම් අපහසු දෙයක්ද යන්න තමුන් 'සම්පූර්ණ' යැයි සිතා සිටිනා අයට කිසි දිනක වැටහෙන දෙයක් නොවේවි.කෙනෙක්ගේ ලිංගිකත්වය ඒ තැනැත්තා ට ම අදාල පෞද්ගලික දෙයක් බව ඔවුන් නොවටහා ගනීවි. සෑම දාකම පීඩණයට ලක්වෙමින් ජීවත් වන ඔවුනුත් මනුෂ්‍ය කොට්ඨාශයක්.. අන් අයට කරදරයක් නොවන්නේ නම් ඔවුන් ගැන අන් අය කරදර වීමද නොයුත්තක් බව මගෙ හැඟීමයි.

ටීනා බ්‍රැන්ඩන්/බ්‍රැන්ඩන් ටීනා



බ්‍රැන්ඩන් ටීනා/ටීනා බ්‍රැන්ඩන් නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ලින්කන් නගරයේ උපත ලබා වයස අවුරුදු 20 වන තෙක් එහිම හැදී වැඩුණු කෙනෙක්.ටිනා ජිවත් වන්නෙ මව සහ සොහොයුරිය ටැමී සමගින්.ටීනා මවු කුස සිටියදී පියා මිය යන්නේ රිය අනතුරකින්.එනිසා ටීනා සිය පියාව කිසි දිනක හැබැහින් දැක නෑ.ටීනා සහ ටැමී සිය මාමා විසින් නිතරම අපහරණයට ලක් වුන බව පසුව අනාවරණය වෙනවා. ටීනා 1990 මනෝ උපදේශන ලබා ගැනීමටද පෙළඹෙනවා.
ළමා විය පසුවෙමින් තිබියදී ටීනාට වැටහෙනවා තමුන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බව.පාසලේදී ඇය හුදකලා වන්නේ ගැහැණු ළමයෙක්ට වඩා පිරිමි ළමයෙක්ට සුදුසු ආකාරයේ මෝස්තර කිරීම හේතුවෙන්.ඒ සම්බන්ධව ටීනා පාසලෙන් දඬුවම් පවා ලබනවා.සරලව කිවහොත් ටීනා ගැහැණු ළමයෙක්ව ඉපදුනත් පිරිමි ළමයෙක් බවට පත්වෙමින් තිබුණා. ඉන් පසු ටීනා නම භාවිතයෙන් අත් හැර බ්‍රැන්ඩන් නම භාවුතා කරන්න පටන් ගන්නවා. බ්‍රැන්ඩන් නිතර පිරිමි ළමුන් සමග ගැවසෙමින් පිරිමියෙක් ලෙස හැසිරෙන්න පටන් ගන්නවා.ගැහැණු ළමුන් කෙරෙහි උනන්දුවක් දක්වමින් ඔවුන් ආශ්‍රය කරනවා.


මෙසේ ගතවෙද්දි ඔහුගේම නිවසින් සහ අවටින් ඇති වන බලපෑම් මධ්‍යයේ සහ යොවුන් වියේ වරදක් හේතුවෙන් ලින්කන් අධිකරණයේ ගොනු වුනු නඩුවකින් පලා යෑමේ අවශ්‍යතාවය නිසා 1993 බ්‍රැන්ඩන් ලින්කන් වලින් පලා ගොස් නෙබ්‍රස්කා වල රිචර්ඩ්සන් කවුන්ටි (රිචර්ඩ්සන් දිස්ත්‍රික්කය) හි ෆෝල්ස් සිටි නම් නගරයට යනවා. එහිදී හමු වන ලීසා ලැම්බර්ට් බ්‍රැන්ඩන් සමග මිතුරු වෙනවා(ලීසා පියෙක් නොමැති දරුවෙක් සමග විසූ දාහත් වියැති තරුණ මවක්) ...එමෙන්ම ලිසාගේ මිතුරු මිතුරියන් වන අයද බ්‍රැන්ඩන්ගේ මිතුරන් බවට පත්වෙනවා.ඔවුන් සමග විනෝදවෙමින් තරුණයෙක් සේ හැසිරෙන බ්‍රැන්ඩන්ගේ සිත ඔවුන් අතර සිටි 18 වියැති ලානා ටිස්ඩල් (Lana Tisdel) කෙරෙහි ඇදෙන්නෙ මේ අතරෙ.
බ්‍රැන්ඩන් නිල් ඇස් ඇති කඩවසම් පුද්ගලයෙක් වුණා.එමෙන්ම ලානාද සුරූපී යුවතියක්. මොවුන් ක්‍රමයෙන් ප්‍රේමයෙන් වෙලෙනවා.

ලානාගේ හිත පතා පැමිණි තවත් තරුණයෙක් මෙම මිතුරන් අතරේ සිටිනවා.ඔහු ජෝන් ලොටර් (John Lotter)..ජෝන් ලොටර්ගෙ අඹ යහළුවා මර්වින් නිසෙන් (Marvin Nissen) බ්‍රැන්ඩන්ගෙ තව යහලුවෙක් බවට පත් වුනා. මොවුන් පෙර අපරාධ වලට සම්බන්ධ වුනු පුද්ගලයන් දෙදෙනෙක්.



මේ අතර 1993 දෙසැම්බර් 19 දින ෆෝල්ස් සිටි හිදී බ්‍රැන්ඩන් අත්අඩංගුවට පත් වන්නේ චෙක්පත් වංචාවකට. ලානා විසින් බ්‍රැන්ඩන්ව ඇප මත මුදවා ගන්නවා.එහෙත් ඊට පෙර ඇය නොදැන සිටි දෙයක් දැන ගන්නවා.ඇය පුදුම වන්නේ බ්‍රැන්ඩන්ව රඳවා තිබුණේ බන්ධනාගාරයේ කාන්තා රැඳවුම් අංශයේ වීමයි. පසුව ප්‍රශ්න කරද්දී බ්‍රැන්ඩන් තමා සම්බන්ධ සත්‍යය ලානාට පවසා සිටිනවා. බ්‍රැන්ඩන් බළාපොරොත්තු වුන ආකාරයේ ප්‍රතිචාරයක් වෙනුවට ලානාගෙන් ලැබුනේ වෙනස්ම එකක්. ලානා බ්‍රැන්ඩන්ව ඉවත දා ගියේ නෑ. ඔවුන් පෙර සේම පෙමින් වෙලී සිටියා.

ලානා ජෝන් වෙතින් ඉවත්ව බ්‍රැන්ඩන් කෙරෙහි ඇදෙන බව දැනගත් ජෝන් කෝපයට පත් වෙනවා.

අපහරණය

බ්‍රැන්ඩන් කෙරෙහි උනන්දුවෙන් නිරීක්ෂණය කල ජෝන් සහ මර්වින් තේරුම් ගන්නවා බ්‍රැන්ඩන් පිරිමියෙක් නොව ගැහැණියෙක් බව. 1993 නත්තල් සන්ධ්‍යාවේ ජෝන් සහ මර්වින් බලහත්කාරයෙන් බ්‍රැන්ඩන්ගේ සියලු ඇඳුම් ගලවා ලානාට දක්වමින් ඔහු පිරිමියෙක් නොව ගැහැණියක් බව දක්වා සිටියා.ලානා එය නොබැලුවත් මර්වින් විසින් ඇයට බලෙන්ම එය පෙන්වා සිටියා.
පසුව ජෝන් සහ මර්වින් බ්‍රැන්ඩන්ට පහර දෙමින් බලහත්කාරයෙන් ම ඔවුන්ගේ මෝටර් රථයේ දමාගෙන රිචර්ඩ්සන් හි මස් කම්හලක් වෙත ගෙන ගොස් දෙදෙනාම බ්‍රැන්ඩන්ව වරින් වර දුෂණයට ලක් කරනවා. මෙසේ කිහිප වරක් දූෂණය කිරීමෙන් පසුව බ්‍රැන්ඩන්ව රැගත් ජෝන් සහ මර්වින්, මර්වින්ගේ නිවසට යනවා. එහිදි ඔවුන් බ්‍රැන්ඩන් බිය වද්දා පවසා සිටින්නේ සිදු වීම කිසිවෙකුට හෝ පැවසුවොත් ඇයව කපා මරා දමන බවයි.
මර්වින්ගේ නිවසේ නාන කාමරයක ජනේලයෙන් පලා යන බ්‍රැන්ඩන් ලානා ගේ නිවසට යාමට සමත් වෙනවා. බ්‍රැන්ඩන්ගේ මුහුණේ තුවාල සහ පත්ව සිටින අපහසුව දුටු ලානා ඔහුව පොලිසියට රැගෙන ගොස් ජෝන් සහ මර්වින්ට විරුද්ධව පැමිණිලි කරවනවා.

එහිදී ෆෝල්ස් සිටි ෂෙරීෆ් වරයා විසින් බ්‍රැන්ඩන්ගේ පැමිණිල්ලට කන් දීම වෙනුවට සංක්‍රාන්ති ලිංගික භාවය වෙත යොමු වෙමින් තව තවත් බ්‍රැන්ඩන් ව අපහසු තාවට පත් කලා. එමෙන්ම සාක්ෂි නොමැතිව ජෝන් සහ මර්වින් අත්අඩංගුවට ගත නොහැකි බවද ප්‍රකාශ කර සිටියා ( බ්‍රැන්ඩන්ගේ දූෂණය සම්බන්ධයෙන් සොයාගත් සාක්ෂි පසුව අතුරුදන්ව තිබුණා ).
පොලිසියෙන් බ්‍රැන්ඩන් යන්නේ ලීසා ලැම්බර්ට් ගෙ නිවසට.ඇය බ්‍රැන්ඩන්ව පිලිගෙන එදින එහි ගත කරන්න ඉඩ දෙනවා.

මරණය

1993 න්ත්තල් දින රෑ 1 ට පමණ ජෝන් සහ මර්වින් ලීසා ලැම්බර්ට් ගේ නිවසට පැමිණෙනවා. ඔවුන් සොයන්නෙ බ්‍රැන්ඩන්ව. අවසානයේ ඔහු ඇඳක්‍ යට සැඟවී සිටියදී මර්වින් විසින් සොයා ගනු ලබනවා.
එහිදී ඔවුන් විමසා සිටිනවා නිවසේ සිටින්නේ වෙන කවුද යන්න. ලීසා ලැම්බර්ට් පවසා සිටිනවා ඇගේ සොහොයුරිය ගේ පෙම්වතා ෆිලිප් ඩි-වයින් එම නිවසේ සිටින බව.
පසුව ඔවුන් විසින් බ්‍රැන්ඩන් ,ලීසා ලැම්බර්ට් සහ ෆිලිප් ඩි-වයින් තිදෙනාවම වෙඩි තබා ඝාතනය කරන්නේ ලැම්බර්ට්ගේ එක් වස් වියැති බිලිඳා ඉදිරියේමයි.
ඉන් පසුව බ්‍රැන්ඩන් දඟලනු දකින මර්වින් විසින් පිහියකින් අණින්නේ ඔහු ජීවත් වෙනවානම් අවසානයකට පත් කිරීමටයි.

නඩුව

ෆෝල් සිටි ෂෙරීෆ් වරයා විසින් පසුව ජෝන් සහ මර්වින්ව අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට විරුද්ධව දූෂණ චෝදනාව එල්ලවූ මොහොතේ මෙසේ අතඩංගුවට ගත්තා නම් කතාව බෙහෙවින්ම වෙනස් වන්නට ඉඩ තිබුණි.

මර්වින් විසින් ජෝන්ට විරුද්ධව සාක්ෂි ලබා දෙනවා ;ජෝන් විසින් මරණය සිදු කල බවට.ඔහු එසේ කරන්නේ ඔහුට අඩු දඬුවමක් ලබා ගැනීමේ අරමුණින්.එමෙන්ම ඔහු පිලිගන්නවා ඔහු විසින් ද බ්‍රැන්ඩන් ව දූෂණය කල බවට.
ජෝන් මර්වින්ගේ සාක්ෂි ප්‍රතික්ෂේප කර සිටියා.
නඩු වාරය අතරේ මර්වින් විසින් ජෝන් පෙර කරන ලද අපරාධ ගැනද සාක්ෂි ලබා දුන්නා.

ජූරිය

නඩු කටයුත්ත අවසානයේ ජූරිය ඒකමතිකව තීරණය කර සිටිනවා

1. බ්‍රැන්ඩන්ව දූෂණය කිරීම සහ මරා දැමීම සම්බන්ධව ජෝන් ලොටර් වැරදි කරු බව (First digree murder )

2.බ්‍රැන්ඩන්ව දූෂණය කිරීම සහ මරණයට උපකාර කිරීම සම්බන්ධව මර්වින් නිසෙන් වරද කරු බව.


තීන්දුව

ජූරියේ නිර්දේශය අනුව යමින් රිචර්ඩ්සන් කවුන්ටි අධිකරණය මගින් ජෝන් ලොටර් ට මරණීය දණ්ඩණයත් මර්වින් නිසේන් ට ජීවිතාන්තය තෙක් සිර දඬුවමත් තීන්දු කරනවා.


පසු සිදුවීම් සහ අභියාචණා

2007 දී මර්වින් ප්‍රකාශ කර සිටිනවා මුල් අවස්ථාවේ ඔහු දුන් ප්‍රකාශය අසත්‍ය බවත්. වෙඩි තැබීම සිදු කලේ තමා බවත්, ජෝන් කිසිවක් නොකල බවත් .
මෙම නව ප්‍රකාශය පදනම් කර ගනිමින් 2009 නෙබ්‍රස්කා ප්‍රාන්ත උපරිමාධිකරණය (Supreme court of Nebraska ) හමුවේ ඇපෑලක් ගොනු කලද : නව ප්‍රකාශය අනුව ගත් කල ජෝන් සහ මර්වින් දෙදෙනාම එකම ආකාරයෙන් මරණයට දායක වී ඇති බවද, එබැවින් වෙඩි තැබූ තැනැත්තා කවුරුන්ද යන්න විශේෂයෙන් හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් නැති බැවින් ඔවුන් වරද කරුවන් ම බව තීන්දු වෙනවා.

පසුව එක්සත් ජනපද දිස්ත්‍රික්ක අටේ අභියාචණාධිකරණය  (U.S. 8 Circuit Court of Appeal - මෙම අභියාචනාධිකරණය එක්සත් ජනපදයේ අධිකරණ දිස්ත්‍රික්ක අටක අභියාචණා සඳහා පිහිටවනු ලැබූවක්.එම අධිකරණ දිස්ත්‍රික්ක නම් :
Eastern District of Arkansas,Western District of Arkansas,Northern District of Iowa,Southern District of Iowa,District of Minnesota,Eastern District of Missouri,Western District of Missouri,District of Nebraska,District of North Dakota,District of South Dakota වේ )   හමුවේ කරන ලද ඇපෑල ත්‍රී පුද්ගල අභියාචනා විනිසුරු වරුන් හමුවේ විභාග වීමෙන් පසුව 2011 අගෝස්තු මස දී , 2/3 තීන්දුවෙන් නෙබ්‍රස්කා උපරිමාධිකරණයේ තීන්දුව සනාත කර සිටිනවා.

බෙදුනු තීන්දුව පදනම් කර ගනිමින් 2011 ඔක්තෝබර් මසදී නැවත එම අධිකරණය හමුවේ කරන ලද ඇපෑල නැවත ඇසීම හෝ අට පුද්ගල සම්පූර්ණ විනිසුරු මඩුල්ල (දිස්ත්‍රික්ක අට නියෝජනය කරමින්) ඉදිරියේ ඇසීම ප්‍රතික්ෂේප කර සිටිනවා.

ඔවුන්ට යාමට තිබුණේ තවත් එක් අධිකරණයකට පමණයි.ඒ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයයි (U.S. Supreme Court / Federal Supreme Court ).

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු වුන: පහල අධිකරණ තින්දු නැවත සළකා බැලීමේ පෙත්සම (writ of certiorari ) ප්‍රතික්ෂේප කරමින් 2012 මාර්තු 19 දින ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දෙනවා.
ඔවුන් නැවත දෙවරක් එම අධිකරණයේම අභියාචණා කලත් නැවත එම අභියාචණාද පිළිවෙලින් 2012 අප්‍රේල් 23 සහ 2018 ජනවාරි 22 දිනයන්හිදී ප්‍රතික්ෂේප කර සිටිනවා.

ටීනාගේ මල සිරුර නෙබ්‍රස්කා වල ලින්කන් හි ලින්කන් අනුස්මරණ සුසාන භූමියේ මිහිදන් කෙරුණා. එහි ටීනාගේ නම,උපන් සහ මරණ දිනයන්ට යටින් මෙසේ සඳහන් වෙනවා.

"daughter, sister and friend "



The court is adjourned

🖊️ අමිල ආර්යන්..........







⚖️ Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට......23 - " DNA - සහෝදර ප්‍රේමය"







කෙනී වෝටර්ස් සහ බෙටී ඈන් කියන්නෙ අයියයි නංගියි, දරුවො නව දෙනෙක්ගෙන් යුත් පවුලක මේ අයියයි නංගියි අනිත් අය අතරෙ නොපැවතුණු ආකාරයේ සහෝදර ප්‍රේමයකින් යුත් දෙන්නෙක්. දෙන්නගෙන් එක්කෙනෙක්ට කරදරයක් වුණහොත් අනෙකාට ඉවසිය නොහැකි වුණා.
මේගොල්ලො ජීවත් වුනේ එක්සත් ජනපදයේ මැසචුසෙට් ප්‍රාන්තයේ අයර් කියන ප්‍රදේශයේ.

1980 වෙනකොට බෙටී ඈන් සහ කෙනී වෝටර්ස් දිවියේ විසිවන දශකය පසුකරමින් සිටියා. මේ කාලෙ කෙනී වෝටර්ස් අයර් හි ආපනශාලාවක කෝකියෙක් ලෙස සේවය කරන අතරෙ සිය පෙම්වතිය එක්ක එක නිවසක වාසය කලා.

අවාසනාවන්ත සිදුවීමක්

1980 මැයි 21 දින උදෑසන 10:45 ට කැතරිනා රීට්ස් බ්‍රොව්ස් ඇගේ නිවසේ මරා දමා ඇගේ නිවස කොල්ල කා තිබුණා.

කැතරිනා ජීවත් වුනේ කෙනී සහ ඔහුගේ පෙම්වතිය වූ බ්‍රෙන්ඩා මාෂල් ජීවත් වූ නිවසට නොදුරෙන්.ඒ වගේම මිය ගිය කැතරිනා කෙනී සේවය කල ආපන ශාලාවේ හොඳම ගණුදෙණුකාරියන්ගෙන් කෙනෙක්. ඈ සතුව වටිනා කියන දෑ තිබුණු බව අවන්හල් සේවකයන්ට නොරහසක් වූ බව කියවෙනවා.

පොලිසිය විසින් සිදු කල පරීක්ෂණ වලදී කෙස් ගස්,ඇඟිලි සළකුණු ආදිය සටහන් කරගත් අතර මරණය සිදුකල ආයුධය ලෙස සැක කල පිහියක් කුණු දමන භාජනයේ තිබී සොයා ගත්තා.

මේ අතර පොලිසිය කෙනීගෙන් ප්‍රශ්න කිරීමට යෙදුනා. ඔහුගේ ප්‍රකාශය සහ සාක්ෂි අනුව මරණය සිදු වුන උදෑසන 8.30 වන තෙක් කෙනී සේවයේ යෙදී සිට තිබෙන අතර ඔහුගේ මිතුරෙක් විසින් මිතුරාගේ රථයේ නිවසට ඇරලවා තිබෙණවා. ඉන් පසුව වහා ඇඳුම් මාරුකරගත් කෙනී වෙනත් නඩුකටයුත්තක් සඳහා අයර් අධිකරණයට උදෑසන 9.00 වන විට වාර්තා කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයානුව ඔහු අධිකරණයෙන් පිටව තිබෙන්නේ එදින දහවල් 12.30 ට. පොලිසිය විසින් කෙනීගේ ඇඟිලි සළකුණු ආදිය සටහන් කරගෙන ඔහුව නිදහස් කලා.

මිනීමැරුම නොවිසඳුණු අභිරහසක් ලෙස දෑවුරුද්දක් විවෘතව තිබුණා.

1982 ඔක්තෝබර්

1982 ඔක්තොබර් මාසයේ රොබර්ට් ඔස්බෝර්න් නම් අයෙක් අයර් පොලිසිය වෙත පැමිණෙනවා.මොහු කෙනීගෙ පෙර පෙම්වතිය වූ බ්‍රෙන්ඩා මාෂල්ගෙ වර්තමාන පෙම්වතා වුණා.ඔහු පොලිසියට කියා සිටින්නේ මුදල් ලබා දෙන්නේ නම් කැතරිනාගේ මරණය සිදු කල තැනැත්තා පිලිබඳව ඔත්තුවක් ලබා දිය හැකි බවයි.පොලිසිය විසින් මුදල් ලබා දුන්නෙද නැද්ද යන්න ප්‍රසිද්ධ නොවුවත් රොබර්ට් කියා සිටින්නේ බ්‍රෙන්ඩා ඔහු සමග පවසා සිටි ආකාරයට ඇය කෙනී සමග සිටි කාලයේ ඔහු කාන්තාවක් මරා දැමූ බවට ඇය සමග පාපොච්චාරණය කර තිබෙන බවයි. පොලිසිය මේ පිලිබඳව බ්‍රෙන්ඩාගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය මුලින් එය අසත්‍යක් බව ප්‍රකාශ කර සිට්නවා.පොලිසිය විසින් ඇයව , මිනීමරුවෙකුට සහාය දීම යටතේ හිරේ දමන බවත් ඇගේ දරුවන් ඇගෙන් වෙන් කරන බවත් පවසා දිගින් දිගටම බල කිරීමේදි ඇය පවසා සිටිනවා කෙනී එක් දිනක් උදෑසනක ලෙයින් පිරි කමිසයක් ඇඳන් පැමිණි අතර මුහුණේ කැපුම් තුවාලයක්ද තිබුණු බව.
පොලිසිය විසින් කෙනීගේ තවත් පෙර පෙම්වතියක් වූ රොසෑනා පෙරී සොයාගෙන ඇගෙන්ද ප්‍රශ්න කිරීම් සිදු කලා.ඇයද මුලින් කිසිවක් පැවසුවද පොලිසියෙ තර්ජන හමුවේ අවසන කියා සිටියේ කෙනී විසින් කාන්තාවකට අයත් මුදල් හා ආභරණ සොරා ගැනීමක් සම්බන්ධව තමා සමග පැවසූ බවයි.

මෙම ප්‍රකාශ පදනම් කරගෙන අයර් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නැවත වතාවක් කෙනීව අතඩංගුවට ගනු ලැබෙනවා.


නඩුව

මරණය සිදූවී වසර තුනකට පසුව 1983 මැයි මාසෙ කෙනීට විරුදුව නඩුව අයර් අධිකරණයේ ඇසෙනවා.
මරණය සිදු වූ ස්ථානයෙන් හමු වූ ඇඟිලි සළකුණු කෙනී සමග නොසැසඳුනත් පොලිසිය විසින් ඒ පිළිබඳව පැමිණිල්ල මෙහෙය වූ Assistant District Attorney වරියට වාර්තා කර සිටින්නේ නෑ .තවද අධිකරණ වෛද්‍ය මතයට අනුව මරණය සිදුවූ තැනින් සොයාගත් කෙස් සාම්පල :විශේෂයෙන්ම මරණකාරියගේ අතේ රැඳී තිබුණු කෙස් කෙනීගේ හිස කෙස් වලට සමාන වූනේ නෑ.
එහෙත් දෛවෝපගත සිදුවීමක් ලෙස කෙනීගේ ලේ වර්ගය සහ මරණය සිදු වුන ස්ථානයෙන් සොයා ගත් මරණකාරියගේ ලේ හැර වෙනත් ලේ සාම්පල වල වර්ගයට සමාන වුනා.

කෙනීගේ පෙර පෙම්වතියන්ගේ සාක්ෂි ද ජූරිය ඉදිරියේ ඉදිරිපත් වුණා.

තීන්දුව

නඩු විභාගය අවසානයේ ජූරිය විසින්

1.කැතරීන් බ්‍රොව් ව මරා දැමීම (1st digree )
සහ
2.ඇගේ වත්කම් සොරා ගැනීම

යන අධි චෝදනා දෙකටම කෙනී වරදකරු බව ඒකමතිකව තීන්දු කරනවා. ඒ අනුව කෙනීට මැසචුසෙට් නීතිය අනුව ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් නියම කරනවා.

ඊලඟ කෑල්ල වඩා රසවත්
කෙනීට සිදුවූ අකරතැබ්බය ඔහුගේ ආදරණීය නැගණිය බෙටී ඈන්ට දරාගත නොහැක්කක් වුණා. කෙතරම් සෙල්ලක්කාර වැඩ කලත් කෙනී යනු මිනී මැරුමකට සම්බන්ධ නොවන අයෙක් බව ඇය ඉර හඳ පායන්නාක් මෙන් විශ්වාස කලා.ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිවේදීන්ගේ සහයක් ලබා ගැනීමට ඇයට අපහසු වුණා.

අවසන ඇය තීරණයක් ගන්නවා.මොකක්ද?
ඇය තීරණය කරනවා නීතිය හදාරන්න. වහා ක්‍රියාත්මක වන ඇය මැසචුසෙට් හි නීති විද්‍යාලයකට ඉල්ලුම් කොට නීතිය හදාරණවා.වසර දහතුනකට පසුව ඇය මැසචුසෙට් ප්‍රාන්තයේ නීතීවේදිනියක් ලෙස දිවුරුම් දෙනවා. මේ වන විට ඇය දැනුවත්වී සිටිනවා 90 දශකයේ එක්සත් ජනපදයේ හා මැසචුසෙට් ප්‍රාන්තයේ විභාග වූ වැදගත් නඩු තීන්දු ගැන.එම නඩු තීන්දු වලින් ඇය ඉගෙනගත් එක් වැදගත්ම කාරණාවක් යනු DNA පරීක්ෂණයයි. DNA පරීක්ෂණ යනු කෙනීට දඬුවම් නියම වූ කාලයේ අධිකරණය විසින් නොපිලිගත් එහෙත් 80 දශකයේ අග හෝ 90 දශකයේ මුල සිට අධිකරණය විසින් පිලිගැනීමට යෙදුනු පරීක්ෂණයක්.ඇය කල්පනාකරනවා ඇගේ සොහොයුරා බේරා ගැනීමට DNA පරීක්ෂණයක් තරම් දෙයක් නැති බව.ඒ අනුව කල සොයා බැලීම් වලදී ඇය සොයා ගන්නවා Innocence project නමින් :එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ නීතිවේදියෙක් විසින් පවත්වාගෙන ගිය වැඩසටහනක් පිලිබඳව.එම වැඩසටහනින් DNA පරීක්ෂණ සිදුකොට නිවැරැද්දේ වරද කරුවන් වුන අය බේරා ගැනීමට කටයුතු කලා.බෙටී ඔවුන් සමග සම්බන්ධ වන්නේ ඉන් පසුවයි. ඊ ලඟට ඇය මුහුණ දුන් ප්‍රශ්ණය මරණකාරියගේ ලේ සාම්පල රැගත් සාක්ෂි සොයා ගැනීමයි. ඒ 1999 වසර වුණා. කෙනී ගේ නඩුකටයුත්ත අවසාන වී වසර 16ක් ගතවී තිබුණා. සාකිෂි පිලිබඳ මූලික සොයා බැලීම් වලදී ඒවා වසර දහයකට වඩා පැරණි බැවින් විනාශ කර දමා ඇති බව District Attorny's Office මගින් දන්වා සිටිනවා.එහෙත් බෙටී ඇගේ උත්සාහය අත් හරින්නේ නෑ. කෙනීගේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නීතිවේදිනිය ඒ වනවිට DA දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරක් දරනු ලැබුවා.(එක්සත් ජනපදය නීති පද්ධතියට අනුව එය අධිකරණමය දිස්ත්‍රික්ක වලට බෙදා තිබෙන අතර DA යනු එම අධිකරණ දිස්ත්‍රික්කයක ප්‍රධානියා වේ.ලංකාවේ නියෝජ්‍ය නීතිපති හා සමාන නිලබලයෙන් යුත් තනතුරකි.ඒ ඒ අධිකරණ දිස්ත්‍රික්ක වල රජය වෙනුවෙන් නඩු මෙහෙයවන්නේ DA දෙපාර්තමේන්තුව විසිනි) බෙටී මෙම නීතිවේදිනිය හමුවී ඇගේ උපකාර ඉල්ලා සිටිනවා.අවසන ඔවුන් සොයා ගන්නේ කෙනී වෝටර්ස් ගේ නඩුවට අදාලව විනාශ නොකල සාක්ෂි තිබෙන බවත් ඒ අතරේ මරණය සිදුවුන ස්ථානයෙන් සොයාගත් මරණය සිදු කලා යැයි සැක කරන තැනැත්තාගේ ලේ සාම්පල සහිත සාක්ෂි තිබෙන බවත් ය.
වහා ක්‍රියාත්මක වන බෙටී නිසි ක්‍රමවේද අනුගමනය කොට එම සාම්පල ලබාගෙන innocence project හරහා ඒවා පරීක්ෂා කරවන්න රජයේ පරීක්ෂණාගාරයකට ලබා දෙනවා .එහෙත් දිනෙන් දින කල් යන පරීක්ෂණ හමුවේ ඇයත්, innocence project හි සාමාජිකයනුත් Middlesex County District Attorney's Office (county යනු ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කයකට සමානයි) සමග එකඟතාවයකට එළඹෙනවා පෞද්ගලික රසායනාගාරයකින් DNA පරීක්ෂාව සිදු කර ගැනීමට.කෙනීගෙන් ලබා ගන්නා ලේ සාම්පල සමග සාක්ෂි වලින් ලබාගත් ලේ සාම්පල සැසඳුවා.
අවසන් වාර්තාවේ : සාක්ෂි වල අඩංගු ලේ සාම්පල වල DNA කෙනී වෝටර්ස් ගේ ලේ සාම්පල වල DNA සමග නොසැසඳෙන බව සටහන් වුණා.
තවද මුල් නඩුවේ කෙනීට විරුද්ධව සාක්ෂිලබාදුන් තැනැත්තියන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් : පොලිසියේ අනිසි බලපෑම මත ඔවුන් කෙනීට විරුද්ධව සාක්ෂි ලබා දුන් බව පවසා සිටිනවා.

තීන්දුව
අවසන අධිකරණය විසින් වසර 18කට පසුව කෙනී වෝටර්ස් ව තාවකාලිකව නිදහස් කරනවා.

ඉන් පසුව
Middlesex County DA's office නැවත වතාවක් පරීක්ෂණ ආරම්භ කරන්නේ කෙනී ඇත්‍ත වශයෙන්ම නිර්දෝශද තහවුරු කොට එසේ නොවුණහොත් නැවත ඔහුට දඬුවම් ලබා දීමටයි. මෙවර පරීක්ෂණ මැසචුසෙට් ප්‍රාන්ත පොලිසිය විසින් මෙහෙයවූවා.එම පරීක්ෂණ වලදී ඔවුන් සොයා ගනු ලබනවා අයර් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නඩු ගොනු කිරීම ඉතාම අකාර්යක්ෂමව සිදුකර ඇති බව. මරණය සිදු වූ දින කෙනීගේ රාජකාරි සටහන් සහ ඇඟිලි සළකුණු නොසැසඳීම් වාර්තා අධිකරණය හමුවේ මුල් නඩුවේදී වාර්තා කර නොමැති බව. ඒ අනුව DA's office විසින් කෙනී වෝටර්ස් ට කෙරුණු සියලු චෝදනා ඉවත් කර ඔහු නිදහස් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම හේතුකරගෙන කෙනී වෝටර්ස් ඔහුට එල්ල වුන චෝදනා දෙක සම්බන්ධයෙන් සදහටම නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරනවා.



තීන්දුවෙන් පසුව

වසර 18කට පසුව නිදහස් ලෝකයට පා තබන කෙනී වෝටර්ස් නිදහසින් මාස හයකට පසුව වයස 47 දී රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මිය යනවා.එහෙත් බෙටී ඈන් පවසා සිටියේ ඔහු ඔහුගේ දිවියේ හොඳම මාස හය නිදහසේ ගත කොට මියගිය බවයි.

2009 : කෙනී නිදහස් ව සහ මියගොස් වසර 8කට පසුව බෙටී ඈන් විසින් අයර් සිවිල් අධිකරණයේ ;අයර් පොලිස් දෙපාර්තමේන්තුව,අයර් ප්‍රාදේශීය බලධාරීන් සහ හිටපු අයර් පොලිස් නිලධාරිනී නැන්සි ටේලර් ට විරුද්ධව නඩුවක් ගොනු කරන අතර එය ජය ගැනීමෙන් විශාල වන්දි මුදලක් ඇයට ගෙවීමට අධිකරණයෙන් නියම කරනවා. මෙහිදී අයර් පොලිසියේ නිලධාරිනියක් වූ නැන්සි ටේලර් ගේ අත්තනෝමති ක්‍රියා කලාපයන් හේතුවෙන් සියලු අකටයුතු කම් සිදු වී තිබුණු බව පරීක්ෂණ වලදී හෙලිවී තිබුණා. එහෙත් මැසචුසෙට් ප්‍රාන්තයේ Statute of Limitations නීතියෙන් ඇයට ලැබී තිබුණු විනිර්මුක්තිය නිසා ඇයට විරුද්ධව අපරාධ නඩු ගොනු කිරීමේ හැකියාවක් තිබුණේ නෑ.
මෙම නඩුකටයුතු දෙක නිසාම බෙටී ඈන් දැන් ප්‍රසිද්ධ නීතිවේදිනියක් වුවද ඇය අධිකරණයේ පෙනී සිටිමින් නඩු කතා කිරීමේ නොයෙදුනත් දිගටම Innocence Project සමග වැඩ කටයුතු කරනවා.

කැතරීන් බ්‍රොව්ස් ගේ ඝාතකයා කවුරුන්ද යනු මේ වන තෙක් නොවිසඳුණු අභිරහසක්.

• 1989 න් පසුව එක්සත් ජනපදයේ අපරාධ නඩු කටයුතු 254 ක් නැවත විභාග කෙරුනේ DNA පරීක්ෂණ මත පදනම්වයි.

• 2010 දි ;ඔස්කාර් සම්මාන ලාභී හොලිවුඩ් ,ජනප්‍රිය නිලි හිලරි ස්වැන්ක් බෙටී ඈන් ලෙස රංගනයෙන් දායක වුණු, 'Conviction' සිනමාපටය නිර්මාණය වන්නේ මෙම සිදුවීම ඇසුරිණි.




- The Court is adjourned -

අමිල ආර්යන්......✒️







භාරතයේ විත්ති - 46 - ශුබ් මංගල් සාව්ධාන්!




ඉන්දියාවෙ ලිපි පෙල කියවපු ගොඩ දෙනෙක් සැරින් සැරේ ඉන්බොක්ස් ඇවිත් කිවුවා ඉන්දීය විවාහ චාරිත්‍ර ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න කියලා.ඒ අයගෙන් සමහරු ඒ ඉල්ලීම කරද්දි කිවුවා ඒ අය සම්පූර්ණ ඉන්දීය විවාහ මංගලෝත්සවයක් ගන්න ආසාවෙන් ඉන්නවා කියලා.
පළවෙනි කාරණාව. ලාංකිකයන් විදිහට අපිටම අනන්‍ය වෙච්ච විවාහ මංගල චාරිත්‍ර තියෙද්දි ඒවා අභාවයට යන්න ඇරලා , ෆිල්ම් එකක හෝ ටෙලි ඩ්‍රාමා එකක දැකලා ආසා වුන පමණින් සම්පූර්ණ ඉන්දීය විවාහ ක්‍රම වගේ දේවල් වලට පෙළඹෙන එක කොහෙත්ම හොඳ දෙයක් කියලා මම නම් හිතන්නෙ නෑ.ඒ ගැන හිතා බලන්න.
දෙවනි කාරණය ඉන්දීය විවාහ චාරිත්‍ර ගැන කතා කරන එක ඉන්දියාව සම්බන්ධ අන් බොහෝම කාරණා වගේම සංකීර්ණයි. හේතුව ප්‍රාන්ත තිහක්, කුල සිය ගාණක්, ආගම් සිය ගාණක්,ගෝත්‍ර දහස් ගාණක් තියෙන රටක හැම තැනම එකම විදිහේ විවාහ චාරිත්‍ර නෑ.
හින්දු විවාහ ගතහොත්
ප්‍රාන්තය අනුව, කුලය අනුව, එකම කුලයේ වුවත් නැවත ගෝත්‍රය අනුව ලෙසින් විවිධා කාර ලෙසින් බෙදිලා වෙනස් සම්ප්‍රදායන් සහ චාරිත්‍ර තියෙන්නෙ. ඒ නිසා ඉන්දීය විවාහ මංගල චාරිත්‍ර ගැන සම්පූර්ණ කතාවක් ලියන්න අමාරුයි .
ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මම බහුතරයක් හින්දූන් විසින් අනුගමනය කරන හින්දු විවාහ චාරිත්‍ර ගැන කතා කරන්න හිතුවා.
හින්දු විවාහ ලාංකීය වගේම එහි සංස්කෘත මුල් නම වූ 'විවාහ්/විවාහ' නමින්ම හඳුන්වනවා. බහුලව භාවිතා වන නම 'ෂාදී'. විවාහ් formal වචනෙ වෙන අතරෙ ෂාදි informal වෙනවා.විවාහ චාරිත්‍ර උතුරු ඉන්දියාවෙ බොහොමයක් ප්‍රාන්ත වල 'විවාහ් සංස්කාර්' කියලා හඳුන්වනවා.දකුණු ඉදියාවෙ කේරලා සහ තමිල්නාඩු ප්‍රාන්ත වල 'කල්‍යාණම්' කියලා හඳුන්වනවා.
හින්දු විවාහ චාරිත්‍ර බොහොමයක් 'අස්වල්‍යාන ගෘහ්‍ය සූත්‍ර' කියන සංස්කෘත ස්තෝත්‍රයේ සඳහන් වෙන විදිහට හැදිච්ච ඒවා.
එම ස්තෝත්‍රයට අනුව විවාහ ක්‍රම අටක් තියෙනවා.

1. බ්‍රහ්ම විවාහ - සියලුම විවාහ චාරිත්‍ර අනුගමනය කරමින් සම්පූර්ණ උත්සවයක් පවත්වා සිදුවන විවාහ.

2. දෛව විවාහ - පියා සිය දියණියව පූජකයෙක්ට භාර කිරීම. මෙය පරිත්‍යාගයක් ලෙස හැඳින්වෙනවා. මෙහිදී ආභරණ,ඇඳුම් වැනි දෑ දියණිය සමගම ලබා දෙනවා.

3. අර්ශ විවාහ - මනාලයා විසින් ගවයෙක් සහ එලදෙනක් මනාලියගේ පියාට ලබා දීම සහ මනාලියගේ පියා මනාලියව මනාලයාට ලබා දීමෙන් සිදු වන විවාහය.

4. ප්‍රජාපත්‍ය විවාහ - මනාල යුවල විසින් ඔවුනොවුන් අතරේ මන්ත්‍ර හුවමාරු කරගැනීම මගින් සිදුවන විවාහය. දේව පිළිමයක් ඉදිරියේ මන්‍ත්‍ර කියා දිවුරුම් දීමක් මගින් විවාහයට එළඹීමක් ලෙස මෙය දැක්විය හැකියි. අශෝක සිනමාපටයේ අශෝක සහ කෞර්වකී විවාහය මෙයට මතක හිටින උදාහරණයක් ලෙස දැක්විය හැකියි.

5. ගාන්ධර්ව විවාහ - living together

6. අසුර විවාහ - මනාලයා විසින් මනාලියගේ පියාට මුදල් හෝ ධනය (දායාදය) ලබාදී මනාලියව රැගෙන යාම.(මෙය ධනය බලාපොරොත්තුව දියණිය විකිණීමක් ලෙස හින්දු දහමේ කියවෙනවා.)

7. රාක්ෂස විවාහ - මනාලියව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇගේ අනුබලයකින් තොරව විවාහ කර ගැනීම.

8. පෛෂශ විවාහ - ස්ත්‍රිය මධුපානයෙන් හෝ වෙනත් දෙයකින් අසිහියට පත්ව ඇති අවස්තාවක පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි බලය පෑම මගින් ඇති වන බන්ධනය.

මෙයින් මුල් හතර ශුභ සහ පිලිගත හැකි විවාහ ලෙස වේදයේ දැක්වෙන අතර අවසාන හතර අශුභ සහ නොකටයුතු විවාහ ලෙස දැක්වේ.

මින් ඉදිරියට කතා කෙරෙන්නෙ බ්‍රහ්ම විවාහ නොහොත් මුල්ම ක්‍රමයේදී බොහොමයක් හින්දූන් විසින් අනුගමනය කෙරෙන චාරිත්‍ර ගැනයි.

රිෂ්තා/Rishtha

ඉන්දීය විවාහයක පළමු චාරිත්‍රය රිෂ්තා. රිෂ්තා කියන්නෙ නෑ කම කියන එකට. විවාහ වන යුවල පෙම්වතුන් වුවත් යෝජිත වුවත් මෙය අණිවර්‍යෙන්ම කරන චාරිත්‍රයක්. එහිදි මනාලයාගෙ පාර්ශවය මනාලියගේ පාර්ශවය හමු වී සිය පුතු වෙනුවෙන් දියණිය ඉල්ලීම කරනවා. එම අවස්ථාවේ කැවිලි පෙවිලි, රෙදි, ආභරණ ආදිය රැගත් තැටියක් මනාල පාර්ශවයෙන් මනාලි පාර්ශවයට දෙනවා.මනාලි පාර්ශවය එම තැටිය පිලි ගන්නවා කියන්නෙ විවාහයට කැමතියි කියන එක. ඇතැම් ප්‍රාන්ත වල දෙපාර්ශවයම තැටි හුවමාරු කර ගන්නවා සහ තවත් ප්‍රාන්ත වල මනාලි පාර්ශවය මනාල පාර්ශවය මුනගැහෙන්න යනවා.

සගායි/මිස්රි - Sagaai/Misri

සගායි කියන්නෙ ගිවිස ගැනීම. මෙය විවාහයට පෙර රිෂ්තා වලට පස්සෙ වෙන චාරිත්‍රයක්. මෙහිදි සුබ මුහුර්තයට අනුව මනාලයා සහ මනාලිය මුදු සහ වර මාලා (මංගල සූත්‍රය නොව..මල් මාලා ) හුවමාරු කර ගැනීමෙන් විවාහ ගිවිසුමට එළෙඹීම සිදු වෙනවා.


සංගීත් /Sangeeth

මෙය මෙහෙන්දි උත්සවය සමග හෝ වෙනම පවත්වනවා. මෙහිදී විවාහයට දින කිහිපයකට පෙර දෙපාර්ශවයේ නෑදෑ හිතමිත්‍රාදීන් එකතු වී ඩෝල, හාර්මෝනියම්,බට නලා, ෂෙහෙනායි, මංජීරා,බෙර ආදිය වයමින් ගීත ගායනා කරමින් විනෝද වීමක් සිදු වෙනවා.දෙපාර්ශවයේ මිතු දම වැඩි කර ගැනීම එහි අරමුණයි. එහිදී ගායනා කෙරෙන සාම්ප්‍රදායික ගී තියෙනවා.
ගුජ්රාත් සහ පංජාබ් ප්‍රාන්තයන්හී සංගීත් සඳහා භාවිතා කෙරෙන ගී ප්‍රසිද්ධයි. ඒවා බොලිවුඩ් සිනමාපට වල පවා බෙහෙවින් භාවිතා වෙනවා සහ එම සාම්ප්‍රදායික ගී ඇසුරින් සිනමාපට හා ගීත ඇල්බම සඳහා ගී නිර්මාණයන්ද සිදුවී තියෙනවා.Gur nalon ishque mithaa oye hoye එවන් ගීයක්.


මෙහෙන්දි/Mehendi



විවාහයට එක් දිනකට පෙර මෙහෙන්දි උත්සවය පවත්වනවා.සාම්ප්‍රදායිකව නම් මෙහිදී කාන්තාවන් පමණක් සහභාගී වුවත් වර්තමානයේ පිරිමි පාර්ෂවයත් සහභාගි වෙන අවස්තා තිබෙණවා. මෙහිදී මනාලියගේ අතේ මෙහෙන්දි ශාඛයේ (හෙනා/මරතොන්ඩි) දලු අඹරා සකස් කරගත් තද දුඹුරු පැහැයක් ගත් වර්ණයෙන් රටා ඇඳීම සිදු වෙනවා. බිරිඳගේ සහ ස්වාමියාගේ නොමැකෙන සහ නොකැඩෙන බන්ධනය ඉන් නිරූපණය කෙරෙනවා.'සග්රි' නොහොත් මනාලයාගේ සොහියුරියන් විසින් මනාලියට තෑගි ලබා දීමද මෙහෙන්දි අතරේම සිදු වෙනවා.

හල්දි/Haldi



හල්දි උත්සවය පවත්වන්නෙ විවාහය දවසෙ උදෑසන.බොහෝ වෙලාවට හිරු නැගෙන්න පෙර.මෙහිදී මනාලයා මනාලිය වෙන වෙනම හෝ එකම ස්ථානයේදි හල්දි ගැල්වීම සිදු වෙනවා. හල්දි යනු අමු කහ වලට හින්දියෙන් භාවිත වන පදයයි. හල්දි මිශ්‍රණය කහ,සඳුන් තෙල් (තමිල්නාඩුවේ තල තෙල් ද භාවිතා කෙරේ) හෝ වටිනා සුවඳ තෙල් වර්ගය ක් සමග මිශ්‍ර කොට යුවලගේ ශරීරයේ සහ ඇඳුම් වල ආලේප කරනවා. උත්සවයට පැමිණෙන සියලුම අය හල්දි ස්වල්පයක් ගෙන ආලේප කිරීමට යෙදෙනවා. සමේ වර්ණය වැඩි කිරීම සහ ශරීරය සුවඳවත් කිරීම මින් බලාපොරොත්තු වෙනවා.


ඉහත සගායි සිට හල්දි තෙක් චාරිත්‍ර ස්තෝත්‍රයක දක්වා නැති , ජනයා විසින් පාරම්පරිකව ඇති කරගත් චාරිත්‍ර වෙනවා.ඒවා පැවැත්වීමෙන් විවාහයක් සම්පුර්ණ වෙන්නෙ නෑ. හින්දු ශුභ විවාහයක් සම්පුර්ණ වීමට නම් අස්වල්‍යාන ගෘහ්‍ය ස්තොත්‍රයෙ සඳහන් චාරිත්‍ර තුනක් අවම වශයෙන් සිදු කල යුතුයි. එම චාරිත්‍ර තුන සිදු නොවන විවාහයක් සම්පූර්ණ හෝ ශුභ විවාහයක් වන්නෙ නෑ.මෙම චාරිත්‍ර තුන ඉටු වන්නෙ විවාහ උත්සවයේදීයි.

විවාහ/Vivah

විවාහ දිනයේදී මනාලයා මනාලියගෙ නිවසට සිය පිරිවර සමගින් මංගල රථයේ හෝ අශ්වයා පිටින් පැමිණෙනවා .මෙම පැමිණෙන පිරිස 'බාරාත්' නොහොත් මංගල පෙරහැර ලෙස හඳුන්වනවා.


මනාලි පාර්ශවය විසින් මනාල පාර්ශවය පිලිගැනීම 'ස්වාගතම්' ලෙස හැඳින්වෙනවා. ස්වාගතම් හිදී මනාලියගේ මව, මවගේ සහෝදරියක් හෝ නැන්දණිය මනාලයාගෙ කණ හෝ නාසය මිරිකීම ඇතැම් ප්‍රාන්ත වල සිදු කෙරෙනවා.විශේෂයෙන්ම පංජාබ් ප්‍රාන්තයේ එවන් විනෝදාත්මක චාරිත්‍ර ග්න බොහොම ප්‍රසිද්ධයි.




ස්වාගතම් වලින් පසු මනාලයා මන්ඩපයට (පෝරුව හා සමානයි) එළඹී මනාලිය එන තෙක් බලා සිටිනවා. මනාලයා ඵූල් චැහෙරා නොහොත් මල් ඔටුන්නෙන් සැරසී සිටිනවා.උතුරු ඉන්දියාවේ මනාලයා බොහෝ විට ශෙර්වානි එක සහ කලිසම අඳින අතර දකුණු ඉන්දීය මනාලයන් උඩුකය නිරුවත්ව වේට්ටිය හෝ ධෝතිය හෝ කුර්තාව සමග ධෝතිය ඇඳීම සිදු වෙනවා.
සුබ මොහොතට අනුව මනාලියගේ මෑණියන් විසින් මනාලියව මන්ඩපයට ගෙනවිත් මනාලයාගේ වම් පසින් වාඩි කරවනවා. මනාලිය රතු, තැඹිලි,කොල,රෝස වැණි තද වර්ණ වලින් යුත් සාරිය හෝ ලෙහෙඟා චෝලි හෝ ඝාග්රා චෝලි වලින් සැරසී හිස 'දුපට්ටා' (සළුව) වෙන් වසා සිටිනවා.


ඉන් පසු එළැඹෙන්නේ අණිවාර්‍යෙන්ම සිදු කලයුතු විවාහ චාරිත්‍ර තුනයි.එම චාරිත්‍ර නම්
1. කන්‍යාදාන්
2. පාණිග්‍රහන්
3. සප්තපේඩි
යන ඒවාය.

කන්‍යාදාන්



මනාලයගේ පියා විසින් මනාලයාගෙ දෑතත් මනාලියගේ පියා විසින් මනාලියගේ දෑතත් (පියා නොමැතිනම් අදාල පාර්ශවයේ වැඩිහිටි පිරිමියෙක්.බොහෝ විට වැඩිමහලු සහෝදරයා,මහප්පා,බාප්පා,මාමා ලෙස ...) ගෙන මනාලයාගෙ දෑත උඩින් මනාලියගේ දෑත තබා මනාලියගේ පියා විසින් මනාලියව මනාලයාට භාර දීමයි.මෙහිදී නොකඩවා පණ්ඩිත් විසින් ස්තෝත්‍ර සජ්ඣායනා කිරීම සිදු වෙනවා. ඇතැම් අවස්ථා වල කිරි හෝ පිරිසිදු ජලය යුවලගේ දෑතට වැඩීම සිදු කෙරෙනවා.
කන්‍යාදාන් අවස්තාවේ 'කාම-සුක්ත' හි සඳහන් දෙදෙනාගේ බැඳීමක් ඇතිවීම සම්බන්ධ පාඨයන් කියවීමක්ද සිදු වෙනවා.



පානිග්‍රහන්







පානිග්‍රහන් යනු මනාලිය විසින් මනාලයාගෙ දෑත අග්නි ශාක්ෂ්‍ය කරගෙන භාර ගෙන විවාහයේ ස්ථීරත්වය කෙරෙහි මුල් පියවර දැමීමයි.


සප්තපේඩි/සප්තපඩි - Sptapedi/Saptapadi




විවාහය ස්ථීර වීමට අත්‍යාවශ්‍යම චාරිත්‍රය මෙයයි.මෙය හත්වටය නොහොත් පියවර හත ලෙස හැඳින්වෙනවා. මනාලියගේ මව විසින් මනාලයාගේ සහ මනාලියගේ සලු දෙපොට එක්කොට ගැට දමා හෝ මනාලයාගේ දකුණත මනාලියගේ දකුණතින් ගෙන 'හවන් කුණ්ඩ්' නමින් හඳුන්වන ගිනි මැලය වටා දක්ෂිණාවෘතව සත් වාරයක් 'අග්නි ප්‍රදක්ෂණා' කිරීම මෙහිදී සිදු වෙනවා.එක් එක් ප්‍රාන්ත වල ගණනින් වෙනස් වුවත් මුල් වට හය හෝ හතර මනාලිය පෙරමුණ ගන්නා අතර අවසාන වටය හෝ වට තුන මනාලයා පෙරමුණ ගෙන වට හත සම්පූර්ණ කෙරෙනවා.එක් එක් වටයට දෙදෙනා විසින් සිතින් සිතිය යුතු පොරුන්දු හතක් තිබෙනවා.



බෙංගාලි ප්‍රාන්තයේ මෙය සිදුවන්නේ මනාලයා සිටගෙන සිටියදී මනාලියගේ සහෝදරයන් විසින් ඇයව මැස්සක තබා හෝ කරමත තබා ඔසවා ගෙන මනාලයා වටා සත් වටක් යෑමෙනි.මෙහිදි බෙංගාලි මනාලිය වට හත සම්පූර්ණ වනතෙක් බුලත් හෝ බෝ කොල දෙකකින් මුහුණ වසාගෙන සිටිනවා.




වට හත අවසාන වනතෙක් මන්ඩපය වටා සිටිනා නෑදෑ හිතමිතුරන් විසින් ගේන්ඩා (දහස් පෙති) , ගුලාබ් (රෝස) , චම්පා (පිච්ච ) වැනි මල් පෙති යුවල දෙසට ඉසිමින් ආශිර්වාද කෙරෙනවා.

බෙංගාලි ප්‍රාන්තයේ යුවල සත් වටය යද්දී ස්ත්‍රීන් දිවට ඇඟිල්ලෙන් ගසමින් ගිරිය යටින් කෑගෑසීමට සමාන ශබ්ධයක් නිකුත් කිරීමක් සිදු වෙනවා.

සප්තපේඩි අවසන් වීමෙන් විවාහය ස්ථීර වෙනවා. ඉන් පසු මනාලයා විසින් මනාලියගේ නලලත සින්දූර් ආලේප කිරීම සහ ගැට තුනක් යොදා මංගල සූත්‍රය පැළඳවීම සිදු කෙරෙනවා.සින්දූර් සහ මංගල සූත්‍රය යනු පතිනියගේ සංඛේතයි.
අලංකාර ලෙස තැණුන මංගල සූත්‍රයක් වෙනුවට කහ ගැල්වූ නූලක් පැළඳවීමත් මෙහිදී ප්‍රමාණවත්.





මනාලයාගේ දෑත් ගින්දරට ඉහලින් සිටින සේ තබා මනාලියගේ දෑත් ඊට ඉහලින් තබා මනාලියගේ සහෝදරයෙක් (බොහෝ විට බාලම සහෝදරයා) විසින් මනාලිය දෑතට හාල් දැමීමේ චාරිත්‍රයකුත් සිදු වෙනවා.



මෙය 'ලාජ හෝම' ලෙස හැඳින්වෙනවා.මෙම සහල් පහලින් ඇති ගින්නට වැටෙනවා.



ඇතැම් ප්‍රාන්ත වල වරමාලාව නොහොත් මලින් කෙරුණු මාලා හුවමාරු කිරීමත් සිදු වෙනවා.මෙහිදි මනාලයාට ඉහලින් මනාලිය එසවීම , මනාලියට ඉහලින් මනාලයා එසවීම වැනි විනෝදාත්මක චාරිත්‍රත් තිබෙනවා.

විවාහ උත්සව කටයුතු අවසානයේ මනාලිය මනාලයාගේ නිවසට යාමට පෙර මනාලියගේ ඉදිරිපසින් අල්ලාගෙන සිටින සහල් කුල්ලකින් සහල් ගෙන පිටුපස නොබලා හිසට ඉහලින් තුන් වතාවක් හාල් විසිකිරීම සිදු වෙනවා.



ඉන් ඇඟවෙන්නේ මින් ඉදිරියට ඔබේ නිවසේ ලක්ෂ්මිය වෙනත් නිවසකට ගියත් ඔබ පෙර සේම ධනයෙන් ආඩ්‍යව වෙසෙත්වා යන්නයි. මෙම සහල් මනාලියට පිටුපසින් සිටින මනාලියගේ නෑදෑ හිත මිත්‍රාදීන් හිසට වැටෙන ලෙස වීසි කරනවා.



මනාලිය මනාලයාගේ නිවසට එළැඹීමේදි මනාලයාගේ මව හෝ නැන්දන්නියක් විසින් හෝ වැඩිමහළු නෑදෑ ස්ත්‍රියක් විසින් (පුරුෂයා නොමල ) මනාලියට කපුරුදැල්ල සහිත පූජා තැටිය ආරාධනා කොට තිලකය තබා ඇයව පිලිගන්නවා. මනාලිය නිවසට ඇතුළු වන්නේ දොරකඩ තබා ඇති සහල් කලයේ ඇති සහල් නිවස තුලට වැටෙන ලෙස දකුණු පාදයෙන් එය තල්ලු කරමිනි. එයින් ලක්ෂ්මිය මින් ඉදිරියට මෙම නිවසට ඇතුළු වෙනවා සහ ධනය මෙම නිවසට රැගෙන එනවාය යන්න සංඛේතවත් කෙරෙනවා.


මෙහිදී සින්දූර් දිය කල තැටියක දෑත් තබා හෝ එවන් තැටියක දෙපා තබා නිවසට ඇතුළු වෙනවා. දෑත් තැබුවේ නම් එම දෑත යුවල වෙසෙන කාමරයේ දොරෙහි තැබීම සිදු කෙරෙනවා. පාද වල සින්දූර් ගැල්වෙන ලෙස ආවේ නම් පාවාඩයක් උඩ පා සටහන් සිටින ලෙස ඇවිදගෙන යාම සිදු වෙනවා.එයින් මින් ඉදිරියට මෙම නිවසේ නොමැකෙන ලෙස නව පතිනියගේ නාමය රැඳෙනවා යන්න සංඛේතවත් කෙරෙනවා.




උතුරු ඉදියාවේදී විවාහ චාරිත්‍රවලදී වෛශ්ණව සහ ලක්ෂ්මියට මුල් තැන දෙන අතර දකුණු ඉන්දියාවේ එහිත් විශේෂයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ ගණේෂ් ට මුල්තැන ලබා දෙනවා.

නොලියූ වෙනස් චාරිත්‍ර විධි ක්‍රම ගොඩාක් තිබෙන්න පුළුවන් .නමුත් ඒ සේරම ලිවීම ප්‍රායෝගිකව අපහසුයි.දැන් අදහසක් තිබෙන නිසා ඔබ විසින්ම ඒවා සොයා බලන්න.


ශාන්තාකාරම් භුජගශයනම් පද්මනාභම් සුරේෂම්
විශ්වාධාරම් ගගණ සදෘෂම් මේඝවර්ණම් ශුභාංගම්
ලක්ෂ්මි කාන්තම් කමල නයනම් යෝගිභිර් ධ්‍යාන ගම්‍යම්
වන්දේ විශ්ණුම් භව භයහරම් සර්ව ලෝකෛකනාතම් 🙏

..................................................

ශර්ව මංගල මාංගල්‍යේ
ශිවේ සර්වාර්ථ සාධිකේ
ශ්‍රණ්‍යේ ත්‍රයම්භකේ ගෞරී
නාරායනී නමොස්තුතේ 🙏

..........................

මංගලම් භගවාන් විශ්ණුම්
ගංගලම් ගරුනද්වජඃ
මංගලම් පුණ්ඩරී කාක්ෂාම්
මංගලාය තන්නෝහරී 🙏



🙏අමිල ආර්යන් 🙏










another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters