කාඩ් කුට්ටමේ කතන්දර - 03 - "ආසියා"







ආසියා කියන්නෙ කාඩ් කුට්ටමේ තනි සංඛේතයක් තියෙන එකම කාඩ් එක.ඒ කියන්නෙ හාරත,ඉස්කෝප්ප,රුවිත කලාබර යන වංශ හතරේ සංඛේතයන් පමණයි ඒ කොලේ තියෙන්නෙ (රජ,රැජිණ,ජැක් කාඩ් වල විවිධ සංඛේත තියෙනවා ..පෙර ලිපි වල කිවුවා වගේ).
ගොඩ දෙනෙක් හිතන්නෙ ආසියා කියන්නෙ ලොකුම කොලේ කියලා. ඒත් ඒක එහෙම නෑ නිතරම. ඒක depend වෙන්නෙ අදාල game එක මත.ලංකාවෙ සහ බොහොමයක් රට වල වැඩි වශයෙන් කෙරෙන ගේම් වල ආසියා ලොකු කොලේ නිසා ඉබේම ආසියා ලොක්කා බවට පත්වෙලා තියෙනවා.ඒ වුණාට Tarot වගේ ගේම් වල ආසියා කියන්නෙ පොඩිම කොලේ.ඒ වගේ තව ගේම් කිහිපයක්ම තියෙනවා.
ආසියා කියන සිංහල වචනෙ හැදෙන්නෙ Ace කියන වචනෙන්.Ace කියන ඉංග්‍රීසි වචනෙ හැදෙන්නෙ පරණ ලතින් වචනයක් වෙච්ච As (ඉංග්‍රීසි අර්ථය දෙන as නොවේ ) යන පදයෙන්.එහි තේරුම Unity/එකමුතුව යන්නයි. එම නිසා කාඩ්කුට්ටමේ එකමුතුව සංඛේතවත් කිරීමට ආසියා උඩින්ම තැබූ බව සමහරු විශ්වාස කරනවා. ඇතැමුන් පවසන්නේ ආසියා මගින් බිෂොප් හෝ පෝප් නිරූපණය වන බවයි. එම නිසා ආසියා රජ පවුළටත් ඉහලින් සිටින බව ඔවුන් විශ්වාස කරනවා. 

ආසි කොල හතරෙනුත් ලොකුම ආසියා තමයි ඉස්කෝප්ප ආසියා.ඒක පිටිපස්සෙ කතාවක් තියෙනවා.
චීනෙන් ආරම්භ වෙච්ච කාඩ් සෙල්ලම ආසියාව හරහා යුරෝපෙට ගියාට පස්සෙ ඒක වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට අරං ධනය උපයන්න පුරුදු වුනේ යුරෝපා ජාතිකයො. කාඩ්කුට්ටම යොදාගෙන කෙරුනු විවිධ සූදු වලින් සූදු කරුවන් ධනය උපයන්න පුරුදු වුනා. මේ මාර්ගයෙන් රජයටත් ආදායමක් උපයන්න සිතූ එකල පාලකයන් 15-16 වන සියවස් වලදී මුලින් එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේත් ( එංගලන්තයේ 1 වන සහ ස්කොට්ලන්තයේ 6 වන ජේම්ස් රජු විසින්) පසුව ඇමරිකාවේත් ,ප්‍රංශය සහ රුසියාව ඇතුළු රටවලත් කාඩ් කුට්ටම මත බද්දක් කලා.මෙය දැඩි ලෙස ක්‍රියාත්මක වුණේ එංගලන්තයේ.බදු නොගෙවීම හෝ ව්‍යාජ ලෙස බදු ගෙවූ බවට හැගවෙන ලෙස කාඩ්පත් සැකසීම මරණීය් දණ්ඩණයට ලක්වීමට තරම් ලොකු අපරාධයක් වුණා. මුලින් බද්ද ගෙවූ බව හැගවීම සදහා කාඩ්කුට්ටම ඔතන කඩදාසියේ හෝ බහාලන කවරයේ/පෙට්ටියේ මුද්‍රාවක් තැබීමට පුරුදුව සිටියා. පසුව නිතර භාවිතය නිසා මෙම කවරය විනාශ වීමෙන් ඇතිවන ගැටළු වලට පිළියමක් ලෙස කාඩ්කුට්ටමේ උඩින්ම තියෙන කාඩ් එක වෙච්ච ඉස්කෝප්ප ආසියාගෙ කොලේ මුද්‍රාව තියන්න පටං ගත්තා. ඊටත් පසුව කොලේ මත මුද්‍රාව තියනවා වෙනුවට අදාල කාඩ්පත් නිපදවන සමාගමෙන් බද්ද අයකරගෙන බද්ද ගෙවූබවට සදහන් කරමින් ඉස්කෝප්ප ආසියා කොලය මුද්‍රණය කරන්න පුරුදු වුණා.ඉතින් බද්ද ගෙවූ බව සදහන් කරමින් ඉස්කෝප්ප ආසි කොලේ අච්චු ගහද්දි අදාල සමාගම් දන්න ආලවට්ටම් සේරම ඉස්කෝප්ප කොලේට දාන්න පුරුදු වුණා.




අන්න එහෙම තමයි ඉස්කෝප්ප ආසියා ලොකු වුනේ.කාඩ් කුට්ටමට බද්ධ ගෙවූ බව ඔප්පු කරන්න නම් ඉස්කෝප්ප ආසියා කොලේ තිබීම ඉතාම වැදගත් වුණා.1960 දි විතර මෙම නීතිය අහෝසි වුණත් ඉස්කෝප්ප ආසියට වැදගත් කමක් දීපු සම්ප්‍රදාය අහෝසි වුණේ නෑ.අදටත් වැදගත්ම ආසියා වෙන්නෙ ඉස්කෝප්ප ආසියා. හාරත, රුවිත,කලාබර ආසි කොල වල ඒ සංඛේත නිකම්ම නිසා කම් සංඛේතයක් විදිහට නිර්මාණය වෙද්දි ඉස්කෝප්ප ආසියා කොලේ ඉස්කෝප්ප සංඛේතය වඩා විශාලවත්, ඇතුළත මෝස්තර සහිතවත් නිර්මාණය වෙන්න ගත්තෙ ඒ සම්ප්‍රදාය නිසයි.තව මතයල් වෙන්නෙ උඩිනුත් කිවුවා වගේ ආසියා කොලයෙන් පෝප් හෝ බිෂොප් නිරූපණය වුණ බවත් ඉස්කෝප්ප කොලයේ සංඛේතයෙන් පෝප් හෝ බිෂොප් පලදින උස හිස්වැස්ම නිරූපණය වන බවත් එම නිසාම එය ඉහලින්ම තිබෙන බවත් වැදගත්වන බවත් ය. එහෙත් මෙය පෝප් හෝ බිෂොප් ගේ හිස්වැස්ම සංඛෙව්තවත් කරන්නේද යන්න ගැටළුවක් වන්නේ ඉස්කෝප්ප කොලයට භාවිතා කරන Spade යන්නෙහි තේරුමද ඉස්කෝප්පය (සවලක් වැනි උපකරණයක්) වීමයි.

ඉතින් අදට ඔය මැදැයි.

ආයෙ දවසක කාඩ් අතක් ගහන ගමන් තව කතාවක් කියන්නම්.

අමිල ආර්යන්

කාඩ් කුට්ටමේ කතන්දර - 02 - "Vrouw and Jack"




පළවෙනි ලිපියට තිබ්බ ප්‍රතිචාරය නොසිතූ තරම්. ඒ නිසා දෙවනි එකත් ඉක්මනට දාන්න හිතුණා මගෙ අනිත් මාතෘකා පැත්තකට කරලා .
කලින් එකේ රජවරු හතර දෙනා ගැන කිවුවනෙ.අද කියන්න යන්නෙ රැජිණියෝ ගැණයි,Jack ලා ගැනයි.
කුට්ටමේ මේ දෙන්නා හදුන්වන්නෙ.
රැජිණ = queen = පොරෝ 
Jack = බූරු

කලින් ලිපියෙත් කිවුවා කාඩ් කුට්ටමට King,Queen and Jack හදුන්වලා දුන්නෙ ප්‍රංශ ජාතිකයන් කියලා. ඒ අනුව ගෞරව වචන දීලා තියෙන්නෙ ජර්මානු, ප්‍රංශ/පෘතුගීසි/ලන්දේසි වචන වලින්.
ඒවා කිවුවොත්

• හේරා = රජු = King = Herr (German word )
• පොරෝ = රැජිණ = Queen = Vrouw (මෙය ශබ්ධ කරන්නේ ෆ්‍රොව් /ෆ්‍රව් ලෙසයි - (Dutch word )
• බූරූ = බූරුවා = Jack = Boer (දකුණු අප්‍රිකාවේ වාසය කරන ලන්දේසි ජාතිකයන් මෙම නමින් දැනට හදුන්වනවා. තේරුම ගැමියා/සාමාන්‍යය පුද්ගලයා වැනි අර්ථයක් දෙන්නක් ) ( Dutch word)

දැන් තේරෙනවනේ හේරා,පොරෝ,බූරු කියන වචන සිංහලෙන් උසුරුවන්න පුරුදු වෙච්ච හැටි.

රැජිණියෝ

රජ වරු වගේම කුට්ටමේ වංශ හතරට රැජිණියොත් හතරක් ඉන්නවා.
ඒ අය.
• හාරත රැජිණ /Queen of Hearts -


හාරත රැජිණ කොලේ ඉන්නේ බෛබලයේ චරිතයක් වන "ජූඩිත්".ජූඩිත් කියන්නෙ එයාගෙ ලස්සන පාවිච්චි කරලා ඇසිරියන් වරයෙක් වුණ Holofernes වසග කරගෙන අන්තිමේ ඔහුගෙ බෙල්ල කපලා දාලා ,ඇසිරියන් වරුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඉශ්‍රායල් වරුන්ට ඉඩ සළසා දුන් කාන්තාවක්. ඒ අනුව ඇය වීර වරියක් ලෙස සළකනවා.තවත් පිරිසක් මැය ට්‍රෝයි පුර සුරූපිනිය 'හෙලන්' ලෙස හදුන්වනවා. හෙලන් නම් නිතැතින්ම හාරත රැජිණකි.







• ඉස්කෝප්ප රැජිණ/Queen of Spades

ඉස්කෝප්ප රැජිණ කොලේ ඉන්නෙත් බෛබලයේ චරිතයක්. ඒ 'රේචල්' . රේචල් කියන්නෙ බෛබල් චරිතයක් වන ජේකබ් ගෙ බිරින්දෑවරු දෙන්නගෙන් ප්‍රියතම කෙනා.ඇය ;ඉශ්‍රායලයේ ගෝත්‍ර දොලහේ මුල්ම සාමාජිකයන් දෙන්නෙක් වන 'ජෝෂප්' සහ 'බෙන්ජමින්' ගේ අම්මා.









• රුවිත රැජිණ / Queen of Diamonds


රුවිත රැජිණ කොලයේ ඉන්නේ බුද්ධියට ,කලා කර්මාන්ත වලට සහ යුද්ධයට අධිපති ග්‍රීක දේවතාවිය වුණ 'ඇතීනා' දෙවගනයි. ඇය Pallas නමිනුත් හදුන්වනවා. රෝම දේව මන්ඩලයේ මැය 'මිනර්වා ' නමින් හදුන්වනවා.










• කලාබර රැජිණ/Queen of Clubs


කියන චරිතය හදුන්වන්නෙ 'Argine' නම් ග්‍රීක මිත්‍යා කතා වල එන රැජිණකගෙ නමින්. Argine කියන වචනෙ හැදිලා තියෙන් එ Rejina කියන ලතින් වචනෙන් බිදිලා.Rejina කියන්නෙ රැජිණ කියන එකටමයි.









බූරුවෝ

බුරුවා කියන වචනේ ලංකාවෙ නම් අපහාසයට හෝ උපහාසයට යොදන වචනයක් වුණත් කාඩ් සම්බන්ධයෙන් එය යෙදෙනෙ උඩිනුත් කිවුවා වගේ Boer කියන ලන්දේසි වචනෙ සිංහලෙන් උසුරුවන නිසා.මම කැමති නෑ බූරුවා කියන්න. ඒ නිසා මම Jack කියන වචනෙ පාවිච්චි කරනවා.
මුලින්ම කාඩ් කුට්ටමේ හිටියේ Ace,King,Queen and Knave .Knave කියන්නෙ රාජකීය සේවකයෙක් හදුන්වන නමක්.වචනාර්ථයෙන් ගතහොත් එය Common man කියන්නත් යොදනවා.
Knave කාඩ් හදුන්වන්න Kn යොදා ගත්තා:රජු හදුන්වන K සමග පැටලෙන්නෙ නැති වෙන්න. Jack විසින් Knave replace කරන්න හේතුව වුණා කියන්නෙ 16 වන සියවසේ ප්‍රචලිත වෙච්ච Game of fours කියන ක්‍රීඩාවක්.මෙම ක්‍රීඩාව කුමක්ද යන්න මෙහිදි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මෙම ක්‍රීඩාවට අනුව තුරුම්පු (trumps) හෝ knave දිනා ගන්නා ක්‍රීඩකයාට ලබා දෙන ලකුණක් Jack නමින් හැදින් වුණා. අවසානයේ Knave දිනා ගතහොත් Jack ලැබෙන නිසා Knave , Jack නමින්ම හදුන්වන්න යෙදුනා කියලා කියනවා. තව සමහරුන් කියන්නෙ මෙය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආව දෙයක් කියලා.ක්‍රිකට් ක්‍රීඩාවෙ last batsman හදුන්වන්නෙ "Last man Jack" කියන සුරතල් නමින් /උපහාසාත්මක පදයෙන්. කාඩ් කුට්ටමෙත් මෙයා අවසන් කෙනා නිසා එයාවත් ක්‍රිකට් වල වගේ Jack කියලා හදුන්වන බවත් කියනවා. 

වංශ හතරෙ Jack ලා ගත්තොත්

• හාරත Jack - කොලේ ඉන්නෙ La Hire (ලා හීර්)

ලා හීර් කියන්නෙ Joan of Arc ගෙ හමුදාවෙ හිටි කපිතාන් වරයෙක් සහ චාර්ල්‍ස් Vii ගෙ රාජ සභා සාමාජිකයෙක්.ලාහීර්ගෙ පෙනුම රුවිත හේරා රජු වුන ජුලියස් සීසර්ට සමානයි.එක පැත්තක් බලාගෙන, එක ඇහැක් විතරක් පේන්න ඉන්න මොහුගෙ අතේ තියෙන්නෙත් පොරවක්.මොහුගේ අනිත් අතේ රැදි වෘත්තාකාර හෝ අර්ධ වෘත්තාකාර පලිහ කබායේම කොටසක් ලෙස ඇද තිබෙනවා.එය පළමු කොටසේද කිවුවා වගේ මුල් කාඩ් පත පිටපත් කිරීමෙන් ඇති වුණ සම්ප්‍රදායක්.ඇතැමුන් පවසන්නේ ලී රාමු මත කැපුනු මුල් අච්චු වලින් කාඩ් පිටපත් කිරීමේදී හාරත Jack ගේ කාඩ් පතෙහිත් රුවිත හේරා රජුගේ අච්චුවම තබා කාඩ් පත් සැදීමෙන් මෙම වරද සිදුවී ඇති බවයි.ඇතැමුන් පවසන්නේ මුල් කාඩ් කුට්ටමෙහි හාරත Jack සහ රුවිත Jack හලලා තිබ්බ නිසා පසු කාලීනව රජුන් ගේ කාඩ් සදහා කැපුණු අච්චු භාවිත කරමින්ම මෙම කාඩි නිපදවුණ නිසා මෙසේ වූ බවයි.නමුත් බොහෝ දෙනාගේ තර්කය නම් මුල් කාලීන කාඩ් පත් වල හාරත ජැක් පොරව අතින් දැරුවත් ඔහු බලා සිටින්නේ කාඩ් පතෙහි දකුණු දෙස බවත් රුවිත හේරා (ජුලියස් සීසර්) බලා සිටින්නේ කාඩ් පතෙහි වම් පස දෙස බවත් ය.එ බැවින් කාඩ් පත් දෙකෙහි හදුනා ගැනීම් ලක්ෂණය වුනේ පුද්ගලයන් දෙදෙනා බලා සිටින දිශාවන් බවත්ය.කෙසේවුවත් වර්තමානයේ භාවිතා වන කාඩ් පත් වල රුවිත හේරා සහ හාරත Jack දෙදෙනාම එකම ස්වරුපයෙන්, එකම ආයුධ අතැතිව එකම දිශාවක් බලා සිටිනවා.ඒ අනුව වරද සිදුවී ඇත්තේ වර්තමානයේ භාවිතා වන කාඩ් පත් මුල්ම වතාවට ඇන්ද/මුද්‍රණය කල අවස්ථාවේ විය හැකියි.


• ඉස්කෝප්ප Jack කියන්නෙ Ogier the Dane



කියන නයිට් වරයා.මොහු හාරත හේරා රජු වුන චාර්ල්මැග්නේ රජු ගේ නයුට් වරයෙක්.ඉස්කෝප්ප ජැක් මුල් කාලයේ හෙල්ලක් අතින් දරා සිටගෙන සිටින ලෙස ඇද තිබුණත් පසුව එය තලය පහතට නැමුණු කඩුවක්බවට පරිවර්තනය වී තිබෙනවා.මෙසේ මෙම කාඩ් පත පරිණාමය වෙද්දී කඩුපත අතුරුදන්ව කඩු මිට පමණක් ඉතිරිවී තිබෙණවා. වර්තමාන කාඩ් පත්වල ඉස්කෝප්ප ජැක් වමතින් දරණ කඩු මිට පමණක් දැකිය හැකියි.




• රුවිත Jack
කියන්නෙ හෝමර් ගේ ඉලියඩ් හි කියවෙන ට්‍රෝයි පුර සටනේ වීරයෙක්.ඔහු හෙලන් පැහැර ගත් පැරිස් ගේ වැඩිමහලු සොහොයුරා වන 'හෙක්ටර්' කුමාරයා.රුවිත ජැක් ගේ අතෙහිත් මුලින්ම තිබී ඇත්තේ දිග මිටක් සහිත පොරවක්.මේ අනුව මුල් කාලයේ රුවිත හේරා,රුවිත ජැක් සහ හාරත ජැක් යන තුන් දෙනාම පොරවක් අතැතිව නිර්මාණය වීම ඉහතින්ද සදහන් වූ විදිහට ලී අච්චු යොදා ගනිමින් පිටපත් කිරීමේ සහ එම මුල් කාඩ් බලාගෙන පසු පිටපත් කිරීමේදී සිදුවූ වැරදි බව කියවෙනවා.පසුකාලීනව මෙම වරද නිවැරදි කරමින් රුවිත ජැක් , රුවිත හේරා සහ හාරත ජැක් ගෙන් වෙනස් කිරීමට ඔහුගේ අතටත් පහතට නැමුණු කඩු පත සහිත කඩුවක් දෙනවා. මොහු ඉස්කෝප්ප ජැක් ගෙන් වෙනස් වුනේ දකුණතින් කඩුව දරා සිටීමත් වමතින් සෙංකෝලයක් දරා සිටීමත් නිසා.පසුකාලීනව කාඩ් පත් පරිණාමය වීමේදී සෙංකෝලය හැලී ගොස් වමතින් දරණ :පහතට තලය යොමු වුණ කඩුවක් පමණක් ඉතිරි වුණා. ඇතැමුන් පවසන්නේ එසේ වීමේදී මොහු ඉස්කෝප්ප ජැක් සමග සමාන වන නිසා ඉහත පැවසූ ලෙස ඉස්කෝප්ප ජැක් කඩු මිට පමණක් පෙනෙන ලෙස නිමවූ බවත් මොහු සම්පූර්ණ කඩුවම පෙනෙන ලෙස නිමවූ බවත් ය.

කලාබර Jack

කියන්නෙ කැමලොට් හි රජ කල ආතර් පෙන්ඩ්‍රැගන් අධිරාජ්‍යයාගේ නයිට් වරයෙක් වුන ලාන්ස්ලොට්. තවත් පිරිසක් මොහුව හීබෲ යුධ විරුවෙක් වන Judas Maccabeus කියලත් කියනවා.ජැක්ලාගෙන් අතේ තිබෙන ආයුධය වෙනස් නොවී තිබෙන්නේ මොහුගේ පමණයි.මුල් කාලීන ජැක් කාඩ් පත්වලත් කලාබර ජැක් දකුණතින් දිග, ඊ හිසක් වන් මුදුණක් සහිත හෙල්ලක් දරා සිටිනවා.වර්තමාන කාඩ් පත් වලත් එම ආකාරයේම හෙල්ලක් කලාබර ජැක් දරා සිටිනවා.එහෙත් දකුණතින් නොවේ, වමතින්. 






ඉතින් අදට ඔය මැදැයි.

Gallery

එක් එක් රටවල් වල සම්ප්‍රදායන්ට අනුව නිර්මාණය වූ කාඩ්පත්




කාඩ් පත් විකාශනය වූ හැටි දල අදහසක් මින් ගත හැකියි.


ආයෙ දවසක කාඩ් අතක් ගහන ගමන් තව කතාවක් කියන්නම්.

අමිල ආර්යන් 

කාඩ් කුට්ටමේ කතා 01 - "කුට්ටමේ රජවරු"



කාඩ් කුට්ටම නොදන්නෙ කවුද නේද. 
බැලු බැල්මට ලොකුදෙයක් නෑ හරි ලේසි වගේ පෙනුණත් කාඩ් කුට්ටමක සංකේත, රූප,හා අංක තුළ හැංගිච්ච රහස් බොහොමය්. ගොඩ දෙනෙක් නොදන්න;රසවත් සිද්ධි එක්ක ඈදිච්ච ඇතැම් රහස් සියවස් ගාණක ඉදලා එන සම්ප්‍රදායික රහස් . එක සැරයක් බැලුවට කැපී පෙනෙන වෙනසක් නොපෙණුනත් හැම කාඩ් කුට්ටමක්ම නිර්මාණය වෙලා තියෙන විදිහ, ඒවායෙ මුද්‍රිත වර්ණ හා රටාවන් සහ එහි අතීතය එක්ක බැදිච්ච රහස් ගොඩයි.
ඒවා ගැන දන්න ටිකක් ගැන කියන්නයි මේ හදන්නෙ. කාඩ් කුට්ටමේ ඉතිහාස කතාව මම පස්සෙ කියන්නම්.අද මුලින් නැතිව මැද්දකින් පටං ගන්නම්. 

කාඩ් කුට්ටමේ රජවරු හතරදෙනෙක් ඉන්නවා.පොදුවේ මේ අය හදුන්වන්නෙ "හේරා" කියලා.ඉංග්‍රීසි "K" අකුර.කාඩ් කුට්ටමේ දෙවනියට ලොකුම කොලය. 
හේරා කොලවල ඉන්න මේ රජවරු හතරදෙනා ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨම රජවරු හතරදෙනෙක්. 

• ඉස්කෝප්ප හේරා - හීබෘෘ බයිබලයේ සඳහන් වන ඊශ්‍රායලයේ දෙවැනි රජු වන ඩේවිඩ්
• කලාබර හේරා - ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා
• හාරත හේරා - මධ්‍යතන රෝමයේ චාර්ල්ස්මැග්නේ අධිරාජ්‍යයා
• රුවිත හේරා - රෝමයේ ජුලියස් සීසර් අධිරාජ්‍යයා 

යන අධිරාජ්‍යයන් හතර දෙනායි.

මොවුන්ගේ සංකේතාත්මක නීරූපණයන් අදටත් පුදුමය දනවන මාතෘකාවන්. 

රුවිත හේරා වෙන ජුලියස් සීසර් අධිරාජ්‍යයා ගත්තොත් ;හතර දෙනාගෙන් මූණ එක් පසෙකට හරවාගෙන, එක ඇසක් පමණක් පේන විදිහට ඉන්නෙ මෙයා විතරයි .ඒ මදිවට මෙයාගෙ අතේ තියෙන්නෙ කඩුව නෙමේ පොරව.
මේ විදිහට පොරවක් අතේ තියං ඉන්න හේතුව තමයි ජුලියස් සීසර්ව රජෙකුට වඩා : මෝර්ස් මිත්‍යා කතා වලට අනුව 'ඕඩින් ' කියන දෙවියන් ලෙස සළකන එක.සීසර් අතේ තියෙන්නෙ ඕඩින්ගෙ පොරව.එයා ඒක ඉස්සරහින් නැතිව ඔලුව පිටිපස්සට වෙන්න තියං ඉන්නෙ අවශ්‍යතාවක් ඇති වුණ සැණින් පහට දෙන්න කියලා තමයි කියන්නෙ.තව කිවුවොත් මේ ඕඩින් ගෙ එක ඇහැක් අන්ධයි.ඒ එයා පුරාණ රූපාක්ෂර වල තියෙන රහස් තේරුම් ගන්න එයාගෙ එක ඇහැක් පරිත්‍යාග කල නිසා කියලාකියනවා.ඒ නිසා තමයි එයා පේන හොදට තියෙන ඇහැ විතරක් අපිට පේන්න පැත්තට හැරිලා ඉන්නෙ.

හාරත හේරා කොලේ ඉන්න චාර්ල්ස් මැග්නේ අධිරාජ්‍යයා කඩුව ඔලුවට පැත්තෙන් හරස් අතට අල්ලං ඉන්නෙ හරියට එයාගෙම ඔලුවට ඇන ගන්නවා වගේ.

ඒ නිසාම එයා ප්‍රසිද්ධ සිය දිවි නසා ගන්නා රජු කියලා. ඒත් ඇත්තටම වෙලා තියෙන්නෙ හේරා කාඩ් ඉස්සෙල්ලම කාඩ් කුට්ටමට හදුන්වලා දීපු වෙලාවෙ :1565 දි ප්‍රංශෙ ඒවා අදින්න බාර දුන්න චිත්‍රශිල්පියා වෙච්ච 'පියරේ මැරඩෙලී' ට කාඩ් එකේ ඉඩ නොතිබ්බ නිසා හරස් අතට ඇන්ද එකයි.පස්සෙ ඇදපු කාඩ් සේරම ඒ කාඩ් එකේ විදිහටම ඇදලා තියෙන්නෙ වෙනත් කතාන්දරයක් එක්කහු කරමින්.පියරේට කඩුව අදින්න ඉඩ මදි වෙලා තියෙන්නෙ චාර්ල්ස්මැග්නේ රජුගෙ අත් දෙකම පැහැදිලි ලෙස පේන්න ඇදලා තියෙන නිසයි. අනික් රජවරු තුන්දෙනාගෙම පෙනෙන්න තියෙන්නෙ වම් අත විතරයි .

කලාබර හේරා රජු වෙන මහා ඇලෙක්සැන්ඩර් ගෙ දකුණතේ 'ලෝකෙම මගෙ අතේ ' කියන එක සංඛේතවත් කරන ගෝලාකාර 'රාජකීය මණ්ඩලයක් ' සහ වම් අතේ කඩුවක් තියෙනවා.

හැබැයි ඉස්සෙල්ලා කිවුවා වගේම මුල්ම කාඩ් එක අදින වෙලාවෙ ඇලෙක්සැන්ඩර් රජුගෙ දකුණු අත අදින්න අමතක වෙලා නිසා රාජකීය මණ්ඩලයෙ පෙනිලා තියෙන්නෙ රජුගෙ කබායෙ මෝස්තරයක් විදිහට.අදටත් කලාබර හේරා රජුගෙ දකුණු අත පේන්න නෑ වගේම ගෝලාකාර රාජකීය මණ්ඩලය කබායෙ කොටසක් විදිහටම අදිනවා.










මේ රජවරු හතර දෙනාගෙන්ම උඩු රැවුල නැත්තේ හාරතා හේරා රජුට.

මීට අමතරව මේ රජවරු හතර දෙනාගෙම කබාවල ඒගොල්ලංගෙ ලාංචණ වෙච්ච හාරත ,ඉස්කෝප්ප,රුවිත,කලාබර මෝස්තර ඇදලා තියෙනවා.
අනිත් රජවරු තුන්දෙනාගෙම කබායෙ තියෙන නිල්පාට පසුබිමේ තියෙන කියවැල් මෝස්තරය කලාබර හේරා රජු වෙච්ච ඇලෙක්සැන්ඩර් ගෙ කබායෙ නෑ.ඒ වෙනුවට තියෙන්නෙ කලු පාට පසුබිමේ ඇදපු කහ පාට ලිය වැලක්.

අද සම්මත කාඩ් කුට්ටමේ තියෙන හේරා කොල හතරෙ ලක්ෂණ ගැන තමයි මේ කිවුවේ.එහෙම වුණත් අතීතයේ එක් එක් රට වල ඒ ඒ රටවල් වල අයට ඕන විදිහට මේ රජවරු හතර දෙනා ඇදපු කාඩ් තිබිලා තියෙනවා.උදාහරණ කිවුවොත් අද තියෙන කාඩ් එක upside down කරලා මොන පැත්තට බැලුවත් රජු පේනවා.ඒත් සමහර කාඩ් වල එහෙම තිබිලා නෑ ඒවයෙ රජු හිටගෙන ඉන්න සම්පූර්ණ පින්තූරෙ ඇදලා තිබිලා තියෙනවා.












ඉතිං මම හිතනවා කට්ටිය වැඩිය අවධානයක් නොදීපු දෙයක් අද කිවුවා කියලා.දැන් දුවලා ගිහින් කාඩ් කුට්ටමක් අරං බලන්න. 

ඒ විතරක් නෙමේ, ඊලග සැරේ කාඩ් ගහද්දි ලොක්කා වගේ අනිත් අයට කියන්න කතාවකුත් තියෙනවා දැන් .
එහෙනං ආයෙ කාඩ් අතක් ගහන්න පස්සෙ සෙට් වෙමු.

අමිල ආර්යන් 



Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට......22 - " පියෙකුගේ කෝපය "




ඉන්දියාවේ ප්‍රියංකා රෙඩ්ඩි


නම් වෛද්‍යවරියක් සමූහ දූෂණයට ලක් කර ගිනි තමා මරා දැමීම සම්බන්ධව ලොව පුරා අවධානයට ලක් වෙලා තිබෙණවා.

මේ සිද්දියත් එක්කම එක්සත් ජනපදයේ ටෙක්සාස් හි සිද්දියක් ගැනත් අවධානය යොමු වෙලා තියෙනවා අවුරුදු හතකට පසුව.මේ කියන්න හදන්නෙ ඒ සිද්දිය ගැන.

2012 ජූනි 09 දින ටෙක්සාස් ප්‍රාන්තයේ ෂිනර් නම් ගමේ පස් හැවිරිදි දැරියක් , ජීසස් මොරා ෆ්ලොරෙස් නම් 47 හැවිරිදි පුද්ගලයා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන පාලු ප්‍රදේශයකට අරං යනවා. එම ගම්වැසියෙක් මෙම සිදුවීම දකිනවා පමණක් නොවෙයි දැරියව හදුනා ගන්නවා. වහ වහා දැරියගේ නිවසට යන මොහු දැරියගේ 24 හැවිරිදි පියාට මෙය දැනුම් දෙනවා. මෙම පියාගෙ නම කිසිම මාධ්‍යයක වාර්තා වන්නෙ නෑ.


ඉක්මනින් ගම් වැසියා පැවසූ තැනට යන පියා දකින්නේ පියෙක් විසින් නොදැකිය හැකි දර්ශණයක්.
සිය පස් හැවිරිදි දැරියට අතවර කරමින් සිටි නිරුවත් පුද්ගලයාව පියා දකිනවා.
දරා ගත නොහැකි කෝපයෙන් ඔහු එම පුද්ගලයාගෙ හිසටත් ගෙල පෙදෙසටත් පහර පිට පහර එල්ල කරනවා. අවසානයේ පුද්ගලයා සිහිසුන්වන විට පියාට බියක් දැනෙනවා.
ඔහු වහාම හදිසි ඇමතුම් ඒකකය ;911 අමතා පුද්ගායෙක් සිය දියණියට අතවර කරමින් සිටිද්දී හසු වූයෙන් තමා ඔහුට පහර දුන් බවත් දැන් ඔහු මිය යමින් සිටින බවත් දන්වා වහාම උපකාර කරන ලෙස ඉල්ලා සිටිනවා. 

එතැනට පැමිණෙන පොලිස් නිලධාරීන් (Texas rangers ) දකින්නේ මිය යමින් සිටි පුද්ගලයා දෑතින් දරාගෙන නිලධාරීන් වෙත සාප කරමින් උපකාර ඉල්ලන 24 හැවිරිදි පියාවයි.අවසානයේ 47 හැවිරිදි දූෂකයා මිය යනවා.

24 හැවිරිදි පියාට එරෙහි නඩු කටයුතු කල යුතුද යන්න තීරණය කිරීමට Lavaca country Grand Jury එකට බාර දුන්නා.

මොකක්ද Grand Jury එක කියන්නෙ?

Grand Jury කියන්නෙ එක්සත් ජනපද ෆෙඩරල් නීතිය හා එක් එක් ප්‍රාන්ත නීති වලට අනුව පිහිටවනු ලැබූ ජූරි සභාවක්.ඒ ඒ ප්‍රදේශ වල ජූරි සභාවකට පත් වීමට සුදුසුකම් ඇති පුද්ගලයින් ගෙන් සැදුම්ලත් මෙම ජූරියේ කාර්‍යය භාරය වනුයේ චූදිතයාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගතයුතුද නැද්ද යන්න තීරණය කිරීමයි.

මෙහිදී Grand jury එක විසින් කාරණා කිහිපයක් සළකා බැළුවා.

1. තද බල පහර දීම් පිළිබදව ටෙක්සාස් ප්‍රාන්තයේ නීතිය.

මෙම නීතියට අනුව කෙනෙක් විසින් දූෂණයක් හෝ ඒ හා සමාන අතවරයක් සිදු කරමින් සිටියදී එය නැවැත්වීම සදහා තද බල පහර දීමක් සිදු කර එම පහර දීම නිසා දූෂකයා මියගියහොත් පහර දුන් තැනැත්තා අපරාධකරුවෙක් වන්නේ නෑ.

දැරිය පැහැරගෙන යනු දුටු තැනැත්තාගේ සාක්ෂිය , පහර දුන් පියාගේ සාක්ෂිය සහ වෛද්‍ය පරීක්ෂණ මගින් හෙලි වුණ සාක්ෂි අනුව දැරිය දූෂණයකට ලක්වී ඇති බවත් මියගිය පුද්ගලයා එය සිදු කල බවත් සනාත වුණා.

2.ක්ෂණික තදබල කෝපය
සිය දියණියට අතවරයක් කරමින් සිටිනු දකින පියෙකුට ඇති වන ක්ෂණික හා තද බල කෝපය නිසා එවන් පහර දීමක් ඇති විය හැකි බව සහ එය සැළසුම් සහගත ක්‍රියාවක් නොවන බවත් ජූරිය දකිනවා.

3.පහර දුන් තැනැත්තාගේ අරමුණ.
දැරියගේ පියා පොලිසිය අමතා උපකාර ඉල්ලිම මගින් ඔහුට අදාල පුද්ගලයා මරා දැමීමේ අරමුණක් නොතිබූ බව ඔප්පු වෙනවා.
මෙහිදි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂිය අනුව දැරියගේ පියා කිහිප වතාවක්ම ඔවුන් ඇමතූ බවත් ඔවුන් ප්‍රමාද වන විනාඩියක් පාසා ඔහු ඔවුන්ට බැණ වදිමින් ඉක්මනින් එන ලෙස ඉල්ලූ බවත් ප්‍රකාශ වුණා.මේ අනුව අදාල පුද්ගලයාමරා දැමීමේ අරමුණක් ඔහුට නොතිබුණ බවට ඔප්පු වුණා.

මෙම සියළු කාරණා සළකා බැලූ Grand jury එක මගින් නීතිමය ප්‍රතිපාදන අනුව සහ පුද්ගලයාගේ අරමුණ අනුව ඔහු අපරාධ කාරයෙක් නොවන බවත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගත යුතු බවත් සිය නිර්දේශය District Attorney වරිය වුණු Heather McMinn වෙට දන්වනවා.
එක්සත් ජනපදයේ District Attorney වරයෙක් යනු එක් එක් ප්‍රාදේශිකයන්ගේ (country ) රජයේ නීතීවේදීන් ගේ ප්‍රධානියායි. මොවුන්ගේ කාර්‍යය භාරය වනුයේ රජය වෙනුවෙන් අදාල ප්‍රාදේශිකයේ සිදුවන අපරාධ සම්බන්ධ නඩු පැවරීම සහ රජය වෙනුවෙන් නඩුව මෙහෙයවීමයි. මොවුන්ට එක් එක් ප්‍රාන්ත සහ ෆෙඩරල් නීතිය අනුව යම් යම් බලතල හිමි වෙනවා.

Grandy Jury එකේ නිර්දේශය අනුව කටයුතු කල District Attorney වරිය Heather McMillan සහ Lavaca Country Sheriff ( එක්සත් ජනපදයේ ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා Sheriff නම් නිල නමින් හදුන්වයි ) Mica Hermon විසින් 2012 ජූනි 19 දින Halletsville හි පැවති මාධ්‍ය සාකච්චාවකදී ප්‍රකාශ කර සිටින්නේ ජූරියේ නිර්දේශය අනුව දැරියගේ පියා අපරාධකරුවෙක් නොවන බවත් එම නිසා ඔහුට එරෙහිව නිතිමය ක්‍රියා මාර්ග නොගන්නා බවත් ඔහු නිදහස් කර හරින බවත් ය.....



The court is adjourned 
අමිල 






හේමන්තය මැද


වසන්ත ඍතුව කියන්නෙ කොතරම් ලස්සන සතුටු දායක ඍතුවක්ද!....හැමතැනම ගහ කොල වල මල් පිපිච්ච, ඉර එලිය ලෝබ කමක් නැතිව මහ පොලොවට වැටෙන වසන්ත ඍතුව කියන්නෙ ඇත්‍ත වශයෙන්ම සතුට දනවන ඍතුවක්.හෙමන්තය එද්දි මල් පිපිච්ච ගස් ඵල බර වෙන්න ගන්නවා.උණුසුම ටිකක් වැඩි කාලයක් වුණත් සතුටින් ගත කරන්න පුළුවන් කාලයක්.දහවල් කාලය වැඩි විම නිසා එලිමහන් සාද පැවැත්වීමට සුදුසු කාලයක්.
සූර්‍යය නිවෘතිය (solstice ) අහලා තියෙනවා නේද.විද්‍යාව පාඩම ටිකක් මතක් කර ගනිමු.පෘතුවිය ඉලිප්සාකාර ගමන් මාර්ගයේ යද්දි සූර්‍යයාගෙන් ඈතින්ම පිහිටන දින දෙකක් සූර්‍යය නිවෘතිය කියලා කියනවා.ඒ දින දෙක දෙසැම්බර් 22 හෝ ආසන්න දිනකදීත් ජූනි 21 හෝ ආසන්න දිනකදීත් වෙනවා. දෙසැ

ම්බර් මාසෙ වෙන එකට සූර්‍යයා මකර නිවර්තනයට මුදුන් වීම නොහොත් සිසිර නිවෘතිය කියලා කියනවා.ජූනි මාසෙ වෙන එකට කර්කටක නිවෘතිය නොහොත් හේමන්ත/ගිම්හාන නිවෘතිය කියනවා. මෙන්න මේ හේමන්ත නිවෘතිය වෙන ජූනි මාසෙ 21 හෝ ආසන්න දිනය සහ ඒ ආසන්න දින කිහිපය උතුරු යුරෝපීය ;ස්වීඩනය,නෝර්වේ,එස්ටෝනියා,ලැට්වියා,ඩෙන්මාර්ක් වගේ රටවල් වලත් ජර්මනියේත් මිඩ්සමර් (midsummer) කියලා උත්සවාකාරයෙන් සමරනවා .එම කාලයේ ඔවුන් විවිධ ක්‍රීඩාවන්, ජන නර්තනයන්,එලිමහන් සාද පවත්වමින් සතුටට පත්වෙනවා වයස් හෝ ලිංග බේදයකින් තොරව.


ඩැනී සහ ක්‍රිස්ටියන් ස්වීඩනය බලා යන්නේ හේමන්තයේ එහි පැවැත්වෙන උත්සවයකට සහභාගි වෙන්නයි . ඩැනී ඒ වෙනකොටත් ඉන්නෙ දරා ගන්න බැරි මානසික වේදනාවකින්. සිය සොහොයුරිය;නිවසහි කාබන් මොනොක්සයිඩ් පිරෙන්නට හැර සිය මෙන්ම දෙමාපියන්ගේ ද දිවි හානි කිරීම නිසයි ඒ. දුක අකාමකා වෙන්න කියලා ඩැනී එයාගෙ පෙම්වතා ක්‍රිස්ටියන් සහ තව මිතුරන් කිහිප දෙනෙක් එක්ක ස්වීඩනයට යන්නෙ එක් මිතුරෙක් වෙච්ච පේලේ ගෙ ආගමික ගෝත්‍රය වන හෝර්ගා වරුන්ගේ :අවුරුදු අනූවකට වතාවක් සිදු වන උත්සවයක සහභාගි වෙන්න.මෙම උත්සවය පවත්වන්නෙත් මිඩ්සමර් දිනයෙම තමයි.
ඔවුන් කොතරම් ලයාන්විතව සහ උණුසුම්ව ඒගොල්ලන්ව පිලිගන්නවද කිවුවොත් ඔවුන්ට දිගටම 'ඉන්න හිතෙන රටක්' කියලා හිතෙන්න ඇති.එතරම් මිත්‍රශීලී කණ්ඩායම් :හෝර්ගා වරුන්.

2018 වසන්ත සහ හේමන්ත ඍතු වලදී බුඩාපේස්ටි හි අලංකාර දර්ශණ තල වල සිනමාපටය රූගත කරලා තියෙනවා. විශේෂයෙන්ම හේමන්ත කාලයේ උතුරු යුරෝපයේ හැකිය හැකි මහ රෑ ඉර පායන දර්ශණ තල වල. 



විශේෂයෙන්ම මෙම ශානරයේ සිනමාපට: මෙම සිනමාපටයේ අධ්‍යක්ෂ වරයාගේම එකක් කිවහොත් 2018 තිරගත වුණ හෙරිඩටරි , අන්ධකාරය පිරුණු හෝ මද ආලෝකය සහිත දර්ශණතල වල රූගත කිරීම බහුලව සිදු වුණත් මෙහිදී එය සම්පූර්ණයෙන්ම, මහ රෑ පවා ඉර එලිය දෙන දර්ශණතල වල රූගත වෙලා තියෙනවා, වසන්ත ඍතුවේ හැගීම දෙන්න නිසාද කොහෙද.
කතාවේ එක් එක් චරිත වලින් අනෙකාට ලබා දෙන සහාය හො එක් එක් චරිත අනෙකා අතට බැදී කතාවක් ලෙස එකට සිටීමේ අඩු ගතියක් පේන්න තිබුණා.
සිනෙමැටෝග්‍රැෆි වලනම් අවුලක් පේන්න නෑ.
සංගීතය ගැන විශේෂයෙන් යමක් කිව යුතුමයි. ස්වීඩනය ,හංගේරියාව වගේ උතූ යුරෝපීය ජන සංගීත ක්‍රමයක් වන 'කල්නිං' මේ ෆිල්ම් එකට ලෝබ නැතිව යොදාගෙන තිබ්බා. 
( Kulning  )


 ඒ රටේ හැගීම දෙන්න එම රට වල් වලට අදාල ජන සංගීතය යොදා ගැනීම ප්‍රශංසනීයයි.
අවසානයේ මොකක්ද යකෝ ඒ? කතාවක්ද? මොකක්ද දැන් වුණේ කියලා හිස් හැගීමක් ඉතුරු වෙනවා වගෙත් හිතුණා. හැබැයි හෝර්ගා ගොත්‍රයේ වර්ධනය සිද්ධ වෙන ක්‍රම දෙකක් පෙන්වලා දෙනවා අවසානයේ.
සමස්ථයක් වශයෙන් හෙරිඩටරි තරම් ගුණ වයන්න තරම් දෙයක් නැතත් බලන් ඉන්න පුළුවන් සිනමාපටයක්.

Many things are possible in midsummer 

"Midsommar"

ගීයෙන් කියවෙන සත්‍ය කතා ....04... "බිම්බරක් සෙනග ගැවසුණු"





 මේ මාතෘකාවෙ අවසාන ලිපිය ලියලා තියෙන්නෙ මාර්තු මාසෙ 12. මම ලියන්නෙ මොන මොන මාතෘකාවල් වලද කියලා දැන් මටම මතක නෑ.බ්ලොග් එකේ ඉහල පහල යද්දි තමයි මතක් වෙන්නෙ මෙහෙම ඒවත් ලිවුවා නේද කියලා. පහුගිය ලිපි තුනම විදේශීය ගී තුනක් ගැන.ඒත් මේක ලංකාවෙ එකක්.

පහුගිය කාලෙ මේ කියන ගීතය එලිපහලියට ආවා...ජනාධිපතිවරණය අවසානවත්ම එක්තරා දේශපාලන පක්ෂයක් අපහාසයට උපහාසයට නැගීමට නිර්මාණාත්මක පද එකතු කරමින් මෙම ගීය නැවත ලියලා තියෙනවා දැක්කා. ඒත් මෙම ගීය අපහාසයට හෝ උපහාසයට යොදගැනීමට තරම් නොවන ගීතයක්. 
ඒක ඇසූ පමණින් දේශාභිමානී ගීයක් කියලා හිතුණට ඒක එහෙමම නෙමේ. ඒකෙන් කියවෙන්නෙ රටේ එක්තරා ප්‍රදේශයක ඇත්තටම සිදුවෙච්ච සිදුවීම් පෙළක් ගැන.
ගීය ලියන්නෙ ලංකාවෙ ඉන්න දක්ෂතම ගී රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා.සංගීතය සහ ගායනය ගුණදාස කපුගේ මහත්තයා සමග පිරිස.මුල් ගායනයේ පිරිසෙහි කරුණාරත්න දිවුල්ගනේ මහත්තයත් ඉදලා තියෙනවා. 
ඔය මදැයි ඒ ගැන.අපි කතාවට බහිමු. 


රත්න ශ්‍රී මහත්තයා වෘත්තියෙන් ගුරුවරයෙක්. එතුමා 1970 දශකයේ අග භාගයේ මොණරාගල ප්‍රදේශයේන්පාසලක ගුරුවරයෙක් වෙලා ඉදලා තියෙනවා. 
මේ කාලෙ තමයි ලංකාවට විවෘත ආර්ථික ක්‍රමය හදුන්වලා දීලා තියෙන්නෙ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින්. ඒත් එක්කම ලංකාවෙ කාර්මික , වෙළද හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර වල සෑහෙන වෙනස් කම් සිද්ද වෙලා තියෙනවා.

දවසක් රත්න ශ්‍රී ඉස්කෝලෙ මහත්තයා ඉස්කෝලෙ යද්දි අහල පහල තිබුණ මොණරාගල කච්චේරිය ඉස්සරහා මහා කලබැගෑනියක්. හේතුව ඒ ප්‍රදේශයේ වැසියන්ගෙ ඉඩම් අත්පත් කරගන්න හදනවලු උක් වගාවන් සදහා. මේ ඉඩම් ඒ මිනිස්සු දන්නා කාලෙ ඉදන් උරුම වෙලා තිබ්බ පාරම්පරික වගාබිම්. 

අනික් අතට මොණරාගල කියන්නෙ ඌව පළාතෙ දිස්ත්‍රික්ක දෙකෙන් එකක්. ඌව පළාතෙ තමයි අපි දන්න ඌව වෙල්ලස්ස හටන වෙලා තියෙන්නෙ 1818. මේකියන ප්‍රදේශය තමයි වෙල්ලස්ස. ඒ කියන්නෙ එසේ මෙසේ මිනිසුන් පිරිසක් හිටි ප්‍රදේශයක් නෙමේ මේ කියන ප්‍රදේශය. 
ඉතිං තමුන්ගෙ පරපුරවල් වල ආදි මුතුන්මිත්තන් යුද්ධකරපු, ඒ මිනිස්සුන්ගෙ ලේ හැලිච්ච, ඒ මිනිස්සු වළ දාලා තියෙන බිම් උක් වගාවට පවරා ගන්න එක මේ මිනිස්සුන්ට උහුල ගන්න බැරි දුකක් වෙන එක අසාධාරණ නෑ මම හිතන්නෙ. 1818 සුද්දංගෙන් අන්ත දරුණු විදිහට බැට කාපු මේ මිනිස්සුන්ට1978-79 කලු සුද්දංගෙනුත් බැට කන්න වුණා.
ඒ සිද්දිය පදනම් කරගෙන තමයි රත්න ශ්‍රී මහත්තයා "බිම්බරක් සෙනග ගැවසුණු" ගීය රචනා කරන්නෙ.
ගීයේ මුල් කොටසේ ප්‍රදේශයේ අභිමානය මතක් කරලා දෙන පද පේලි දෙකකුත්, අද ඒ බිමට වෙන්න යන්නෙ මොකක්ද කියන එක ගැන හැදින්වීමකුත් සිද්ධ වෙනවා.

දෙවන කොටසේ මුල් දෙපේලියෙන් ට්‍රැක්ටර්, ඩෝසර් මගින් වනාන්තර විනාශ කරමින් උක් වගාව සදහා බිම් හෙලිපෙහෙලි කිරීම ගැන කියවෙන අතර ඉන් පසු කියවෙන්නේ භූමිය වෙනුවෙන් අතීතයේ සුද්දන් සමග සටන් කල මුතුන් මිත්තන්ගේ ඇට කැබලි වලටවත් තැනක් නැති වන බවයි.

තුන් වන කොටසේ මුල් දෙපේලියෙන් යම් කිසි අරගලයක් ගැන කියවෙන බව මගේ හැගීමයි.ඒ වන විටත් පාලනාධිකාරියේ අසාධාරණකම් හේතුවෙන් 1971 කැරැල්ල සිද්ද වෙලා තිබුණා. මට හිතෙන්නෙ 


"කැළෑ මල්පිපී රතු තොල් 
වලින් කෑගසා ඉල්ලන 
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි?.."

කියන කොටසින් අහන්නෙ යම් අරගලයක් ගැන. විශේෂයෙන්ම රතු කිවු සැනින් මතක් වෙන්නෙ ජනතා විමුක්තිපෙරමුණ හෝ සමාජවාදී කණ්ඩායම්. 1971 කැරැල්ලත් කැලෑවල් වල හැංගි හැංගි සංවිධානය වුණු එකක්. ඒ නිසා මෙතෙන්දි කැලෑ මල්, රතු තොල් වැනි පදවලින් හදුන්වන්නෙ එම කන්ඩායම් වෙන්න පුළුවන් . අවසානයේ අහන්නෙ ඔවුන් ඉල්ලන දේ කෝ? කෝඔවුන් ඉල්ලන සාධාරන සමාජය? කියන එක කියලා හිතන්න පුළුවන් .

ඒත් එක්කම පිරිස ඒකට උත්තර දෙනවා.

"වෑකන්ද කඩා බිම්කටු 
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්.! "

කියලා.
ඒකෙන් කියවෙන්නෙ මේ ව්‍යසනයට මුල වූවන් විනාශ කර දමවු කියන එකයි. ඒක තමයි කැරැල්ලකට මුල පිරුමක් හගවන පද කිහිපය. ඊ ලග දශකයේ අග භාගයේ කැරැල්ලක් ඇති වුනේ සහ තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් නිරපරාදේ විනාශ වුනෙත් එම පාලනයට විරුද්ධවයි.

ඉතිං නිර්මාණාත්මකව අද එම ගීය යොදාගෙන උපහාසයට නගන්නේද එම කැලෑ මල් සහ රතු තොල් වීම නම් දෛවෝපගත සිදුවීමක්. රත්න ශ්‍රී මහත්තයාවත් නොහිතන්න ඇති එය.

මෙහිදී ගුණදාස කපුගේ මහත්තයා ගෙ කොටස ඉතාම ලයාන්විතව, අනුකම්පාවක් ඇති වන ආකාරයෙන් , ශෝකී ස්වරයෙන් කියවෙනවා.ඒකහරියට රත්න ශ්‍රී මහත්තයා ගම් වැසියන්ගෙන් මොකද වෙන්නෙ අහනවා වගේ.
පිරිස ගේ ගායනය තරමක් තද ස්වරයෙන්, ආවේග ශීලීව කෙරෙනවා.ඒක හරියට කෝපා වී සිටින ගම් වැසියන්ගේ ප්‍රතිචාරය වගෙයි.

ඉතිං ආපහු අහලා බලන්නකො ඔය ගීතය. කාලයක් අපේ අයියගෙත් කටේම තිබ්බෙ ඔය සින්දුව.😂



https://youtu.be/5DHy1c2GiW0

බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ?

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...!

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇලළුන
වෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි...!

මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...!

කැළෑ මල්පිපී රතු තොල්
වලින් කෑගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...?

වෑකන්ද කඩා බිම්කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්...!


- අමිල ලක්මාල් - 

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters