පද්මාවත් ගැන මගේ අදහස....






ඉස්සර පද්මාවතී දැන් පද්මාවත් කියන්නෙ මම බලන්න යන්න ඕනෙ කියලා පුන පුනා බලා සිටි සිනමාපටයක් නෙමේ කොහොමටවත්..ඊට හේතුව බංසාලිගෙ ඉතිහාස කතා රැල්ල එපා වෙලා සිටි නිසා....දීපිකා කියන්නෙ මම කැමතිම නිලියකුත් නෙමේ වීම අනිත් හේතුවයි..ඒත් යාලුවෙක් යන්න ආරාධනා කල නිසා ඕං මාත් ගියා පද්මාවත් බලන්න..
දැං දීපිකා ෆෑන්ස්ලා මගෙ ඇඟට ගොඩ වෙන්න එන්න එපා...මම කැමති නෑ කියන එක මට අදාල දෙයක් මිස මුලු ලෝකෙටම අදාල දෙයක් නෙමේ...

එසේ වුනත්..දිපිකා පද්මාවත් එකේ දක්වන රංගනය ගැන නරකක් කීවොත් නම් එය මහ කුහක කමක් වේවි..
අවුරුදු දෙකකට කලින් ආපු බංසාලිගෙම භාජිරාඕ මස්තානි කියන්නෙ මට අනුව නම් මෙලෝ රහක් නැති කතාවක්...
ඒ නිසාම දීපිකා ගැන සහ රණ්වීර් ගැන තව තවත් බිඳවැටිලයි හිටියෙ.
ඒ වුණාට පද්මාවත් බැලුවට පස්සෙ ඒ අදහස වෙනස් වුණා...
රාජ්පුත් රැජිණියගේ චරිතය , බංසාලිගේ රංගන රීතියට අනුව දීපකා හොඳින්ම කරලා තිබුණා...බංසාලිගේ සිනමාපට වල තිබෙන නාට්‍යමය ස්වරූපය නොඅඩුවම පද්මාවත් එකෙත් තිබුණා...
දීපිකාගෙ නර්තන හැකියාව ගැන නම් කියන්න දෙයක් නෑ..ඝූමර් ගායනයට ඉදිරිපත් කරන නර්තනය ඇස් එහාට මෙහාට ගෙනියන්නෙ නැතිව නර්තනයටම බැඳ තබා ගැනීමට සමත් වුණා...බඩ පේන්නෙ නැති වෙන්න රතුපාට හැට්ටයක් පරිඝණක තාක්ෂණයෙන් සදා තිබීමෙන් රංගනයට කිසිදු අඩුවක් වෙලා තිබුනෙ නැ...
සිනමාපටය එහෙම පිටින්ම තමන්ටම නතු කර ගන්න රණ්වීර් සමත් වෙලා තිබුණා...
ඒ කොතරම්ද කිවොත් මට හිතුනා මේකට පද්මාවත් කියලා නොදා 'ඛිල්ජි' නැත්තම් 'අලා-උද්දීන්' කියලා දැම්මනම් හරි කියලා ( 😂😂 )..සිනමා පටයේ අවසාන භාගය වන තෙක්ම දීපිකාගේ රංගනය සුලුවෙන් තැනින් තැන දක්නට ලැබුණත් රණ්වීර්ගේ ප්‍රභල රංගනය දිගටම දක්නට ලැබුණා.රණ්වීර් තමුන්ගෙ රංගන වින්‍යාසය සෑහෙන වෙනසකට ලක්කරලා තියෙන බව පේන්න තිබුණා...ඔහුගේ මින් පෙර හැම රංගනයකම පොඩියට හරි තිබුණ ඔහුගෙ ගොංපාට් ගතිය මේකෙ දකින්නට තිබුණෙ නෑ...
'කල්බලී ' ගායනයට ඉදිරිපත් කරන රංගනය ,භාජි රාඕ මස්තානි එකේ 'මල්හාරී' ගායනයට ඉදිරිපත් කල රංගනය සිහි ගන්වනවා..නමුත් කල්බලී රංගනය වේගවත් සහ ප්‍රභලයි...වේගවත් පා තැබීම් සමගින් සිදුකරන නර්තනය සහ හින්දි සිනමා පටයක මතක ඇති ආකාරයට පලමු වතාවට දුටු තනි කකුලෙන් සිටගෙන කරන නර්තනය, රණ්වීර්ගෙ නර්තන හැකියාවත් මනාව පෙන්වනවා.....
මා හැමදා ප්‍රිය කරන නළුවෙක් වුණ ෂහීද් තම චරිතය ;'රාවල් රතන් සිං' විශිෂ්ඨ අන්දමින් ඉදිරිපත් කරලා තිබුණා...
මා අසා තිබුණු සහ පොතින් කියවා පද්මාවත් කතාවට වඩා තරමක් වෙනස් කතාවක් මෙහි අඩංගු වුනා...ප්‍රධාන කතාව එසේ වුවත් යම් යම් වෙනස්කම් සෑහෙන ප්‍රමාණයක් දකින්නට තිබුණා...කතාව මම කියන්න යන්නෙ නෑ..
බංසාලි කියන්නෙ අතිෂය දක්ෂයෙක්...
ඊට හේතුව නම් තිර රචනාව අධ්‍යක්ෂණය මෙන්ම සංගීතයද ඔහුගේම වීමයි...සංගීතය ගැන නම් කියන්න දෙයක් ඇත්තෙම නෑ... අවස්ථාවට සුදුසු වන ආකාරයෙන් සංගීත මුසු වීම නියම මාත්‍රාවට අනුවම සිදු වෙලා තිබුණා...සිංහල දීපයේ දර්ශණ වලදී ලංකාවෙ ගතියක් දැනුනෙ මට විතරද?ඒ සමහර විට ලංකාවෙත් උත්තර භාරතීය සංගීතයම තියෙන නිසා වෙන්නතු ඇති ඉතිං...රාජස්ථානී ජන සංගීතය සහ අරාබි සජගීතය යන විවිධ ශෛලීන් මනාව භාවිතා කරලා තිබුණ සංගීතය සිනමා පටයට ප්‍රභලම දායකත්වයක් දීලා තිබුණා..
දර්ශණ තල වල වැඩි පුරම ගුප්ත අන්ධකාර ගතියක් තිබුණා...
සිනමාපටයේ අඳුරු අවසානයට මුල සිටම පාර කැපීමක් වගේ ඒක...මේ අන්ධකාරයේ වෙනස ඛිල්ජිගේ සහ රතන්සිංගේ මාලිගා දර්ශණ වලදී කැපී පෙනෙන වෙනසක් තිබුණා...රතන්සිං මාළිගයේදී එය ප්‍රසන්න ස්වරූපයක් ගත්තත් ඛිල්ජි ගේ මාලිගයේදී එය අප්‍රසන්න ගතියක් පෑවා....
කතාවේ අවසානය ගැන මා යම් තරමකට පැහැදීම මද ගතියක් තියෙනවා...සියලු දේ සිදුවීමෙන් පසු , ඛිල්ජි දොරවල් හැර බලා සිදු වී ඇති විනාශය දැක කම්පා වෙන දර්ශණයක් තිබුණ නම් හොඳයි කියලාත් මට හිතුණා...

කෙසේ වුවත් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ විවිධ බාධා මැදින් පැමිණි පද්මාවතිය මෙසේ හෝ නොපැමිණියානම් එය විශාල අපරාධයක් විය හැකිව තිබුණේ බංසාලි එයට විශාල මහන්සියක් දරා තිබෙන බව දුටු නිසයි..දකින්නට තිබුණු සුලු සුලු අඩුපාඩු ඒ දක්ව තිබුණු මහන්සිය නිසාම අමතක කර දමන්නට සිදු වෙනවා.....
මේ සැරේ ෆිල්ම්ෆෙයා සම්මාන ටික මම දැන්මම කියන්නද...හොඳම නළුවා රණ්වීර් සිං...හොඳම නිළිය දීපිකා පදුකෝන්...හොඳම සහාය නළුවා ෂහීද් කපූර්...හොඳම ගායිකාව ශ්‍රෙයා ඝෝෂාල්...හොඳම සිනමාපටය පද්මාවත්
වසරේ ඉදිරියට මොන ආකාරයේ සිනමාපට ආවත් මේ සම්මාන පහ මේ විදිහට ලැඊමේ සම්භාවීතාවය ඉතාම ඉහලයි...
කෙසේ වුවත් මා අදටත් කැමති 90 දශකය අවසානයේ දුටු 'හම් දිල් දේ චුකේ සනම් ' හො 2000 දශකය අවසාන භාගයේ දුටු 'Black' වැනි සිනමා පට බංසාලිගෙන් ලැබීමටයි...
මෙය බංසාලිගෙ ඉතිහාස මේනියාවේ අවසානය වේවායි පතමි!!!!............

ජුලියානා කුමරිය



ලෝකයේ අනතුරුදායක ගවන්තොටුපොලවල් ලෙස හඳුනාගත් ගුවන් තොටුපොලවල් කිහිපයක්ම තිබෙනවා.
ප්‍රින්සස් ජුලියානා කියන්නෙ ඉන් එකක්.
ජාත්‍යන්තරව IATA (International Air Transport Association.) අනුව SXM ලෙසද , ICAO (International Civil Aviation Organization) අනුව TNCM ලෙසද හඳුන්වන ප්‍රින්සස් ජුලියානා ගුවන්තොටුපොල පිහිටා තිබෙන්නේ කැරිබියන් දූපත් සමූහයේ සෙන්ට් මාටීන් නම් දූපතේ


1944 නෙදර්ලන්තයේ එවකට කිරුල හිමි කුමරිය වුණ ජුලියානා කුමරිය , ගුවන්තොටුපොල විවෘත කිරීමෙන් වසරකට පසුව එහි පැමිණීම නිසා ගුවන්තොටුපොලට එම නම ලබා දී තිබෙනවා.
                                        (Princess Juliana)

ගුවන්තොටුපොල Winair සහ Isel Air වල කේන්ද්‍රස්ථානය වෙනවා.

මෙම ගුවන්තොටුපොල ලොව පුරා ප්‍රකට වන්නේ ඉහත කී එකදු කරුණක් නිසාවත් නොව.
ඒ , මුහුදු මට්ටමින් ඉතාම අඩු උසකින් ගුවන්යානා බෑමට සිදුවීමත්,එය ජනාකීර්ණ 'මාහෝ ' වෙරලට ඉහලින් සිදු වීමත් නිසාය.

Runway 10 හි බෑම අංශක 3ක ආනතියෙන් සිදු වන අතර එය වෙරලටත් මහා මාර්ගයටත් ඉහලින් අඩු උසකින් සිදුවෙනවා.



2000 දශකයේ මුල්කාලයේ මෙසේ අඩු උසකින් යුතුව සිදුවන ගුවන්යානා ගොඩබෑම් වල පින්තූර අන්තර්ජාලය පුරා විසීරීමත් සමගම ලොව පුරා සංචාරකයන්ගේ ප්‍රියතම ස්ථානයක් බවට මාහෝ වෙරල පත් වුනා.එයට වඩාත්ම තුඩු දුන්නෙ අඩු උසකින් ගුවන්යානා බෑමේදි ඒවාත් සමග ඡායාරූප ගත හැකි වීමයි.


ගුවන් යානා ගොඩබෑමේදී හමන අධික හුලං හේතුවෙන් මහාමාර්ගයේ ධාවනය වන වාහන ඉවතට විසිවිය හැකි බැවින් ඒ අවස්තා වලදී වාහන ධාවනය මදකට නවතනවා.මීට අමතරව වෙරලේ සිටින අයටද ප්‍රවේසම් වන ලෙස සෑම තැනකම පුවර සවි කර අවවාද කොට තිබෙනවා.

ගුවන්යානා ගොඩබෑමේදී අධික ලෙස වෙරලේ ඇති වැලි ඇවිස්සීම නිසා ද සංචාරකයන්ට මහත් අපහසුතාවන්ට පත්වන්නට සිදුවෙනවා.

මේ සියල්ල මෙසේ වුවත් 1970 දී ALM 980 ගුවන්යානයට සිදුවූ අනතුර හැරෙන්නට බරපතල අනතුරු මෙතෙක් මේ ගුවන්තොටුපලේ වාර්තා වී නැහැ....

-අමිල-

Gallery



 

කොළඹ වීදියකදී.....06 - "රතු සුදු"



කොළඹ නගරයේ ඇවිදිනකොට අපිට හම්බ වෙනවා තැන් කිහිපයකම රතු සහ සුදු පැහැයන්ගෙන් පින්තාරු කරන ලද බ්‍රිතාන්‍ය යුගයට අයත් ගොඩනැගිලි කිහිපයක්ම..කියපු ගමන් මතක් වෙන්නෙ රතුපාට බිත්ති සහ ජනෙල් ,දොරවල් සහ බිත්තියේ කැපූ විවිධාකාරයේ කැටයම් (මෝලඩිං) සුදු පැහැයෙන් වර්ණ ගන්වපු පරණ තාලෙ ගොඩනැගිලි නේද?...මෙම ගෘහනිර්මාණ ක්‍රමය 'එඩ්වඩියන් බැරොක්' ශෛලිය ලෙස හඳුන්වනවා. මූලිකවම එම ශෛලියේ 18 වන සියවසේ ප්‍රංශ ආභාශය රැගත් බ්‍රිතාන්‍ය ශෛලියක්.එහි දී ඇතැම් අවස්ථා වල ගොඩනැගිලි ධවල හෝ බොර පැහැයෙන් පින්තාරු කල අතර ඇතැම් අවස්ථා වල රතු සහ සුදු හෝ රතු සහ කහ පැහැයෙන් පින්තාර කරන්න යෙදුනා...එය ගැන වැඩි දුර ලිවීමට මා බළපොරොත්තු වන්නෙ නැහැ.
මේ ගොඩනැගිලි ඇතැම් ඒවා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ වන අතර සමහරක් ඒවා ඉන්දීය මුඝල් සම්ප්‍රදායික ලක්ෂණ මුසු ඒවා...කෙසේ වුවත් මෙමෙ ගොඩනැගිලි කොළඹ නගරයට අලංකාරයක් මෙන්ම ප්‍රෞඩ බවක් එකතු කරනවා...
ඉතින් මේ කියන්න යන්නෙ ඒ වගේ ගොඩනැගිලි කිහිපයක් ගැන...
රතු සහ සුදු පැහැ ගත් මෙමෙ ගොඩනැගිලි ගැන කතා කරද්දි ඕනෑම් කෙනෙකුට පළමුවරට සිහියට නැගෙන ගොඩනැගිල්ලක් තියෙනවා...ඒ වෙන මොකක්වත් නෙමේ , කොළඹ නගරයේ හදවත වන් කොළඹ කොටුවෙහි, යෝක් වීදියෙහි පිහිටා තිබෙන 'කාගිල්ස් මිලර්ස් ගොඩනැගිල්ලයි'.1844 දි 'විලියම් මිලර්ස් ' සහ 'ඩේවිඩ් සිම්' විසින් ඉදිකරවනු ලැබූ මෙම ගොඩනැගිල්ල වර්තමානයේ කොළඹ නගරයේ ඉතිරිව ඇති පැරණිම ගොඩනැගිලි වලින් එකක්. මෙතැන මීට පෙර පිහිටි ගොඩ නැගිල්ල ප්‍රථමයෙන් කොළඹ කොටුවෙහි ලන්දේසි කපිතාන් 'පීටර් ස්ලස්කන්' ගේ නිවස්න වුණ අතර පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර 'ෆෙඩ්‍රික් නෝත්' ට ද සෙවන සැලසුවා. 1896 දී කාගිල්ස් සමාගම විසින් මිලට ගන්නා මෙම ගොඩනැගිල්ල වර්තමානයෙත් 'කාගිල්ස් සිලෝන් ලිමිටඩ්' සමාගමට නිවස්න වෙනවා.(මෙම ගොඩනැගිල්ල ගැන වෙනම ලිපියක් පසුවට ).

කාගිල්ස් ගොඩනැගිල්ල පසුකරන් යෝක් වීදිය දිගෙ දකුණු දෙසට විත් පහල චැතම් වීදියට හැරෙන විටම දකින්න පුළුවන් පැරණි 'කොටුව පොලිස් ස්ථානය' පිහිටි ගොඩනැගිල්ල. 1932 දී මෙම ගොඩනැගිල්ලෙහි පිහිටවූ කොටුව පොලිස් ස්ථානය 2012 ජනවාරි මසදී ජනාධිපති මාවතට ගෙනයන තෙක්ම එතැන පැවතියා.මේ වන විට එම ගොඩනැගිල්ල අළුත්වැඩියා කෙරෙමින් පවතින අතර නොබෝ දිනකින් වඩාත් අලංකාරව එය නැවත දැකගත හැකි වෙතැයි සිතනවා.


යෝක් වීදියේදීම අපට තව මෙවන් ගොඩනැගිලි කිහිපයක් හමු වෙනවා. ඉන් එකක් තමයි 'ඔස්ට්‍රේලියා ගොඩනැගිල්ල'.මෙම ගොඩනැගිලි 1900 දශකයේ මුල්යුගයේ ඉදිකොට තිබෙන අතර මුඝල් සම්ප්‍රදායේ ලක්ෂණද දක්නට ලැබෙනවා.උදාහරණයක් විදිහට කිවහොත් මහා මාර්ගය දෙසට පිහිටා ඇති ජනෙල් සහ දොරවල් වල ලක්ෂණ පැහැදිලිවම මුඝල් ශෛලිය පෙන්නුම් කරනවා.මෙම ගොඩනැගිලි ඉදිවීමට ප්‍රථම එහි 1600 ගණන් වලදී ලන්දේසි වෙළඳ සමාගක් පිහිටි බව කියවෙනවා.


කොළඹ කොටුවේ,ලේඩන් බැස්ටියන් වීදියේ පිහිටි 'වෝකර්ස් සන්ස් ඇන්ඩ් කම්පනි ලිමිටඩ්'ගොඩනැගිල්ලත් මේ අතරට වැටෙනවා.හැබැයි මේ ගොඩනැගිල්ලේ නම් මුලින් කී හෝ පසුවට කියවෙන්න තියෙන ගොඩනැගිලි වල දක්නට ලැබෙන කලාත්මක ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ දකින්න ලැබෙන්නෙ නෑ.ගොඩනැගිල්ලෙ ඉදිරිපස , සමාගමේ නමට ඉහලින් 1854 දී පිහිටුවන ලද බව සඳහන් වනවා.

ඇවිදගෙන ඇවිදගෙන ගිහින් යෝක් වීදියෙන බාරොන් ජයතිලක මාවතට හැරිලා යනකොට රතු සහ සුදු ආලේප කල එක ලඟ පිහිටි ගොඩනැගිලි දෙකක් දකින්න ලැබෙනවා.ඉන් එකක වර්තමානයේ ඉන්දියානු බැංකුව පිහිටන අතර එය වෝකරස් ඇන්ඩ් සන්ස් සමාගමෙ මුල් ගොඩනැගිල්ල වුණා.1881 දී ඉදි වුණ මෙමෙ ගොඩනැගිල්ලත් පැරණිම කොළඹ කොටුවෙන් ඉතිරි වී ඇති ගොඩනැගිලි වලින් එකක්.අනිත් එක තමයි 'ස්ටේට් ෆාමා බිල්ඩිං' එහෙමත් නැත්තම් 'රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව' පිහිටි ගොඩනැගිල්ල.අක්කයි නංගියි වගේ මේ ගොඩනැගිලි දෙකම එක ලඟ ට වෙලා ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් තිස්සේ කොළඹ නගරයේ සිදු වුන වෙනස්කම් දෙස බලා ඉන්නවා.

කොළඹ කොටුවෙ ඇවිද්දා මදැයි...ටිකක් එහාට ගිහින්, නගර ශාලාවත් පහු කරලා 120බස් පාරට හැරෙනකොටම පෙනෙන්න තියෙන්නෙ පොලිස් රෝහල.කොළඹ නයනාරෝග්‍යශාලාවට අල්ලපු වැටේ ඵපිහිටා තිබෙන මෙම ගොඩනැගිල්ලත් රතු සහ කහ පැහැයන්ගෙන පින්තාරු කරන ලද අලංකාර සහ පැරණි ගොඩනැගිලිවලින් එකක්. මෙම ගොඩණගිල්ල සම්බන්ධ තවත් කතාවක් වණුයේ ,වත්මන් පාර්ළිමේන්තුවේ සෙංකෝලය නිර්මාණය කර නිර්මාණ ශිල්පියා එහි ඇති ගෝලාකාර හැඩයට අදහස ලබාගෙන තිබෙන්නේ මෙම ගොඩනැගිල්ලෙහි පිහිටි මුස්ලිම් සම්ප්‍රදායේ ගෝලාකාර කොත ආශ්‍රයෙන් වීමයි. 


මෙහෙම දිගටම ගිහින් නිදහස් මාවතට හැරිලා ගිහින් ආපහු ෆිලිප් ගුණවර්ධන මාවතට හැරිල ටිකක් ඉස්සරහට යද්දි දකින්න ලැබෙන්න අභිමානවත් විදිහට වැජඹෙන 'රාජකීය විද්‍යාලයයි'.බ්‍රිතාන්‍ය රජ මාළිගයක ස්වරූපයට නොදෙවනි වන ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ රැගත් රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවත් මා කියන ආකාරයේ 'එඩ්වඩියන් බැරොක්' සම්ප්‍රදාය ගත් රතු සහ සුදු පැහැති අලංකාර ගොඩනැගිල්ලක්.මෙහි විශේෂත්වය නම් රතුපැහැය එහි අල්ලා ඇති ගල්වලින්ම ලැබී තිබීමයි.1800 ගණන් වලදී ඉදි වුණ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවෙ ඉහලින් එහි ආදර්ශ පාඨය වන "Disce aut discede" යන්න සටහන්ව තිබෙනවා(ඩිස්කේ අම්මට ඩිස්කාඩි නෙමේ ඈ )..

රාජකීය විද්‍යාලය පසුකොට රීඩ් මාවත දිගේ ගොස් හැව්ලොක් පාර දිගේ තිඹිරිගස්යාය පැත්තට යද්දි හම්බ වෙනවා 'පොලිස් පාක්'.මේ පොලිස් පාක් හි පිහිටි 'පොලිස් ක්ෂේත්‍ර බලකා මූලාස්ථාන' යේ ප්‍රධාන ගොඩනැගිල්ලත් , ක්‍රීඩාංගණයට එහායින් තිබෙන ගොඩනැගිල්ලත් මා කියන ලක්ෂණ රැගත් බ්‍රිතාන්‍ය යුගයට අයත් ගොඩනැගිලි දෙකක්.මෙම ගොඩනැගිලි රතු සහ කහ පැහැයන්ගෙන් සමන්විත වෙනවා.
දෙවන හරස් වීදියේ පිහිටි මුස්ලිම් මහ පල්ලිය නැතිනම් රතු පල්ලිය ලෙස හඳුන්වන පුස්ලිම් දේවස්ථානයත් රතු සහ සුදු පැහැයෙන් වර්ණ ගැන්වූ අලංකාර ගොඩනැගිල්ලක්. ඉහතින් කී සෑම ගොඩනැගිල්ලකටම වඩා මෙය වෙනස් වන්නෙ එය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම නොව , සම්පූර්ණයෙන්ම මුස්ලිම සම්ප්‍රදායන් රැගත් ගොඩනැගිල්ලක් වීමයි.

දැන් යන්නට හදන්නෙ මේ ප්‍රදේශයන්ගෙන් වෙනව වෙනත් ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලකට .ඒ තමයි මරදාන තාක්ෂණ විද්‍යාලය.දැන් මතක් වුණා නේද?....

මේ වගේ කොළඹ නගරයට අලංකාරයක් සහ පෞරාණික ප්‍රෞඩ පෙනුමක් ලබාදෙන ,මෙවන් ගොඩනැගිලි තව ඇති.....
කොළඹ වීදියකදී නැවත හමුවෙමු....

The castle(s) in the sky...


(සේයා රූ ජංජාලයෙන්)


මේ කියන්න හදන්නෙ ජපන් ඇනිමේෂන් කලාවේ පතාක යෝධ හයාඕ මියසාකි ගේ castle in the sky සිනමාපටය ගැන නෙමේ.
එහෙත් ඒ කතාව මතකෙට ආවෙ ඒකෙ තියෙන වළාකුළු අතරේ පාවෙන මාළිගාවක් නිසයි.....

ඩුබායි නගරයත් වසරකට දෙවතාව සිට හය වතාවක් පමණ අතර අවස්ථා ගණනකදී වළාකුළු අතරින් පාවෙන මාළිගා සිහි ගන්වන දර්ශණයක් මවනවා....

මෙය සිදු වන්නෙ ඩුබායි හි වියලි නමුත් ජලවාශ්ප සහිත වාතය සිසිල් වී ඝණ වීමෙන් නගරය පුරා ඝණ මීදුම් වලාකැටි වලින් පිරීයාම හේතුවෙන්...
මෙය 1952 දී ද 19 හා 20 ශතවර්ෂ වලදී ලන්ඩනයේ සිදු වූවට වඩා වෙනස් වන්නේ එහිදී වායු දූෂණය හේතු කොටගෙන එවැන්නක් සිදු වීමයි....

ඩුබායි අහස උසට තැණුන ගොඩනැගිලි මේ වළා කැටි අතරින් පෙනෙන්නෙ වළාකුළු අතර තැනූ මාළිගා ලෙසින්...
සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලවලදී අවස්ථා කිහිපයකදී ඩුබායි නගරයේ මෙලෙස සිදු වෙනවා...මෙය බොහෝ විට උදෑසන 7 ත් 9ත් අතර සිදු වෙන බව කියවෙනවා...

මෙය ඡායා රූප ගත කල පුද්ගලයින් පවසා ඇත්තෙ එය තරමක් අසීරු දෙයක් බවයි...නියම අවස්ථාවේ,එනම් උණුසුම් වාතය සීතල වී ඝණ වන අවස්ථාවක් හැඳින , එම අවස්ථාවේ අවදිව නියම ස්ථානයක සිට එය ඡායාරූප ගත කල යුතු බැව් ඔවුන් පවසනවා...

උස් ගොඩනැගිලි වලින් අඩු නැති ඩුබායිහි ගොඩනැගිල්ලක 70 වෙන් මහලට පහලින් ඇති මහලක සිට නැරඹූ විට ප‍ළාතම වසා සිටින සුදු පැහැ වලා කැටිත් ඉන් උඩට එසවී සිටින යෝධ ගොඩ නැගිලි සහ කුළුණු හිස් පහසුවෙන් නැරඹිය හැකි බවත් එය මනස්කාන්ත දර්ශණයක් මවා පාන බවද ඔවන් පවසා සිටිනවා.. .

ඉන් ඉහල මාල වලදී එය ඉහලින් බලන ආකාරයකදී(bird's eye view) පෙනෙන ලෙස අලංකාර දර්ශණයක් මැවෙනවා..

මෙම වළාකැටි අතරින් ඉරපායා එන විට දර්ශණය සියල්ලටම වඩා අලංකාරයි...සුදු පැහැ වළා කැටි රන් පැහැ ගන්නවමින් හිරු උදා වත්ම එම වළාකැටි අතින් අල්ලා බැලිය හැකි මට්ටමක සිට නැරඹීමට හැකී වීම ඕනෑම කෙනෙකුට අමතක නොවන අවස්ථාවක් වනු නොඅනුමානයි.. ...

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters