දෙවියන්ගේ ගීතයෙන් (from Bhagavad Gita ) - 01



"ධර්ම් ක්ෂේත්‍රේ කුරුක්ෂේත්‍රේ සම්වේථා යුයුත්සවාහ්
මමකාහ් පාණ්ඩවාස් ෂෛවා
කිමකුර්වථ සඤ්ජය ....?!"

මේ ලියන්න සූදානම් වන දෙය මෙම සමූහයෙහි සිටිනා අදේවවාදී හෝ අනාගමික වාදීන් විෂයෙහි එතරම් ප්‍රිය කාරණා නොවිය හැකියි...පුද්ගලිකව මාද මේ ලිවීමට සූදානම් වන ලිපි වල යම් යම් කරුණු ගැන උපරිම විශ්වාසදායීත්වයක් නැති වුණත් එම කාරණා කතාන්දරයක් ලෙස අසා සිටිය හැකි මෙන්ම ආගමික වශයෙන් කෙසේ වෙතත් ජීවිතයට යම් යම් උපදෙස් ඉන් ලබා ගත හැකි බව හැඟෙන බැවින් මෙසේ ලීමට සිතුවෙම්......
මේ භගවත් ගීතාව ගැනයි...ගීතාවෙහි අන්තර්ගතය සම්පූර්ණයෙන්ම අසංක්ෂිප්තව ඉදිරිපත් කිරීමට තරම් මා වියතෙක් නෙවෙන බැවින් එතරම් දක්ෂකමක් මගෙන් බළාපොරොත්තු නොවන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිනවා...
භගවත් ගීතාව යනු හින්දු ආගමෙහි පූජනීයම ග්‍රන්ථවලින් එකක්...ව්‍යාස විසින් රචිත එය මහාභාරත් මහා කාව්‍යයේ 6 වන පොතෙහි 23 සිට 40 වන තෙක් පරිච්ජේද කොටස් භගවත් ගීතාව ලෙස හැඳින්වෙනවා....
පාණ්ඩව කුමරු අර්ජුනයන් සමග කුරුක්ෂෙත්‍රයෙහි ධර්ම යුද්ධය අවස්ථාවේ ක්‍රිෂ්ණා විසින් සිදු කල සංවාදයක් භගවත් ගීතාවට මූලික වෙනවා....

පෙර කතාව සැකෙවින් ගතහොත් (ප්‍රධාන කතාවට අනුබද්ධ කුඩා කුඩා කතාන්දර සහ චරිත සිය ගණනක් ඇති බව සැළකීම මනාවයි ) :දෘරාෂ්ඨ්‍ර සහ පණ්ඩු යන සහෝදරයින් යනු භාරත් රජු විසින් ආරම්භ කල කුරු රාජධානියෙහි කුමාර වරු දෙදෙනෙක්...
වැඩිමහලු දෘථරාෂ්ඨ්‍ර අන්ධ පුද්ගලයෙක් වූ බැවින් බාල පණ්ඩුට රජකම ලැබුනත් ඔහු අකලට මියයනවා...


 මරණයෙන් පසු ඔහුගේ කුඩා පුතුන් පස්දෙනා (පාංච් පාණ්ඩව්/පාණ්ඩවයන් පස්දෙනා);
  • යුධීෂ්ධීර ,
  • භීම,
  • අර්ජුන,
  • නකුල සහ 
  • සහදේව ,
කුමරුවන් දෘථරාෂ්ඨ්‍ර රජු භාරයට පැමිණෙනවා...කුඩා කල දෘථරාෂ්ඨ්‍ර රජුගේ පුතුන් සියදෙනා සමග පාණ්ඩවයන්ද එකම මාළිගයෙහි කෙලිදෙලෙන් හැදී වැඩුනත් දෘථරාෂ්ඨ්‍රගේ වැඩිමහලු පුතු දුර්යෝධන් පාණ්ඩවයන් කෙරෙහි සෑම අවස්ථාවකම අමනාපයෙන් පසු වුනා..ඔහු සිය අන්ධ සහ බුද්ධි හීන පියා සමග එක්ව පාණ්ඩවයන් මැරීමට විවිධ අවස්ථා වල විවිධ උපක්‍රම යෙදුවා...නමුත් පාණ්ඩවයන්ගේ මාමා කෙනෙක් වන විදුර සහ ඥාති සොහොයුරෙක් වුණ ක්‍රිෂ්ණ දෙවියන්ගේ උපකාරයෙන් ඒ සෑම අවස්ථාවක්ම මග හැරීමට පාණ්ඩවයන් සමත් වෙනවා...ක්‍රිෂ්ණ යනු මහා දේවාත්මය සේම පාණ්ඩවයන්ගේ මව වුණ කුන්ති ය (ප්‍රථා) ගේ බෑණනු කෙනෙක්ද වුනා...එම නිසා ඔවුන් අතර තද බල ඥාති බැඳීමක් තිබුනා මෙන්ම පාණ්ඩවයන්ගේ සාධාරණ බව කෙරෙහි ක්‍රිෂ්ණ පැහැදී සිටියා...

දේශපාලන කූඨ බුද්ධියෙන් යුත් දුර්යෝධන් පාණ්ඩවයන් පොළඹවා ගන්නවා සූදූ කෙලියකට.
සුදූව පරාද වන පාණ්ඩවයන් හට සිදු වෙනවා අර්ජුනගේ බිරිය වුණ ද්‍රෞපදියව දුර්යෝධන්ට ලබා දීමට...අපහාස කිරීමේ අරමුණින් දුර්යෝධන් කුමාර වරුන් රැස්ව සිටි සභාව ඉදිරියේ ද්‍රෞපදියව නිරුවත් කිරීමට උත්සහ කලද ක්‍රිෂ්ණගේ ආනුභාවයෙන් එයට ඉඩ නොලැබෙනවා..මෙ නිසා ක්‍රීඩාවට වංචා කිරීම යන චෝදනාවෙන් පාණ්ඩවයන් වසර දහතුනකට හස්තිනාපුරයෙන් මෙන්ම කුරු (කෞරව) රාජධානියෙන් පිට කරවනවා..

වසර දහතුන ඇවෑමෙන් පැමිණෙන පාණ්ඩවයන් සිය පිය උරුමයෙන් හිමි රජකම ඉල්ලා සිටියද දෘථරාෂ්ඨ්‍ර සහ දුර්යෝධන් එය ප්‍රතික්ෂේප කරනවා..අවසන පාණ්ඩවයන් ගම් පහක් පමණක් ලබාදෙන ලෙස කල ඉල්ලීමද දුර්යෝධන් අහංකාර ලෙස ඉවත දෑමීම හේතුකොටගෙන පාණ්ඩවයන් සහ කෞරවයන් අතර යුද්ධයට මුල පෑදෙනවා...
ක්‍රිෂ්ණ දෙවියෙකු ලෙස යුද්ධයට සහභාගී විය නොහැකි වුවද අර්ජුනගේ රථාචාරියා ලෙස එක්ව ඔහුට නිතර උපදෙස් ලබා දීමට පෙළඹෙනවා..මෙම අවස්ථාවේ ක්‍රිෂ්ණ සහ අර්ජුන අතර ඇති වුණ සංවාදයයි භගවත් ගීතාවේ ඇතුළත් වන්නේ...

ගීතාවේ පළමු පරිච්ඡේදයේ ආරම්භය සිදුවන්නේ මා ඉහලින් සඳහන් කල ශ්ලෝකයෙන්..එය දෘථරාෂ්ඨ්‍ර සිය උපදේශක සංජයගෙන් මෙසේ ඇසීමයි...
"සංජය, මාගේ පුතුන් සහ පණ්ඩුගේ පුතුන් කුරුක්ෂේත්‍රයෙහි ශුද්ධභූමියෙහි රැස් වුණු පසු කුමක් නම් සිදුවීද?......"

- නැවත හමුවෙමු-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters