කොළඹ වීදියකදී.....07 - සංවර්ධනය මැද හුදකලාව


මම මුලින්ම රැකියාවකට හෝ කුමකට හෝ කියලා කලේ ඔඩිට් ෆර්ම් ගිය එක.ෆර්ම් එක තිබුනෙ කොල්ලුපිටියෙ.ඉතිං ගණේමුල්ලෙ ඉඳලා කොල්ලුපිටියට කෝච්චියෙන් එන්න පටංගත්තු මුල් කාලෙ හරිම විනෝදයි සහ කුතුහලය පිරි කාලයක්..මින් පෙර නොදුටු තැන් ගොඩක් දැක බලා දැන කියා ගන්න පුලුවන් වුනා...
ඔහොම කෝච්චියෙ එද්දි මහලේකම් කාර්යාලය ස්ටේසම පහු කරං කොම්පඤ්ඤ වීදියට එද්දී කෝච්චියෙ ගෑවන නොගෑවෙන තරමට ලංව ඉදි කරලා තිබුනු මුඩුක්කු නිවාස පේලි පහුකරන් තවත් ඉස්සරහටම යද්දි කොම්පඤ්ඤවීදිය ස්ටේසමට ටිකක් කලින් වම් පැත්තට වෙන්න තිබුණා ලාතැඹිලි පාට ගාපු බ්‍රිතාන්‍ය පන්නයේ ගොඩනැගිල්ලක්...කලු පාට අකුරින් තිබුණා 'Castle Hotel' කියලා...

වැඩක් නෑ..දැං කෙනෙක්ට මම ඔය කියපු පාරෙම ගියාට ඒක දකින්න ලැබෙන්නෙ නෑ...ඒ වෙනුවට තියෙන්නෙ අහස උසට හැදෙමින් පවතින අලුත් ගොඩනැගිලි.ගිය අවුරුද්දෙ (2017)මැයි මාසෙ අපේ වගකිවයුතු රාජ්‍ය ආයතන දැනුවත්ව හෝ නොදැනුවත්ව එය බිමට සමතලා කරලා දාලා ඉවරයි....මා එය දැන ගත්තෙත් අද...ඉතිං මතකය අවදි කරමින් ඒ ගැන ලියන්න හිතුනා...
ඒ ගැන ලියනකොට අමතක කරන්න බැරි කාසල් හොටල් ගොඩනැගිල්ලෙ සහෝදරිය වන් 'De Soyza buildings' අමතක කරන්නත් බෑ..මැලේ වීදිය පටං ගන්න තැන සිට ජස්ටිස් අක්බාර් මාවතට සමාන්තරව රේල් පාර අසලටම දිවෙන බ්‍රිතාන්‍ය පන්නයේ ගොඩනැගිලි පේලිය තමයි ඩි සොයිසා බිල්ඩිංස් කියන්නෙ..වර්තමානයේ විවිධ කඩ සාප්පු වලින් මේ ගොඩනැගිලි පේලිය පිරිලා විතරක් නෙමේ නඩත්තුව අඩු කමින් බෝගස් නුග ගස් පැලවෙලා..සමහර තැන්වල ගඩොල්,කබොක් ගල් ගැලවි ගැලවි වැටෙන්නෙ කොයි වෙලාවක හරි ඇතුලෙ ඉන්න මිනිසුන් යට කරගෙන මේක බිමට පාත් වෙයි කියන බිය ජනක හැඟීම ඇති කරමින්...

කාසල් හෝටලය තිබුණ ගොඩ නැගිල්ල සහ ඩි සොයිසා ගොඩනැගිලිත් අයිතිව තිබුනෙ මහා ධනපති දාන පති චාල්ස් හෙන්රි ද සොයිසා පවුලට..පසුව ඔවුන්ගෙ පරපුරෙන් පැවත අවසාන කාලයේදී රනිල්,මාලතී සහ ගීතාල් සොයිසා වරුන්ට අයිතිව තිබුනා...කාසල් හෝටලය කුලී කරුවන් විසින් පවත්වාගෙන ගිය එකක්...
සැම දිනකම උදෑසන සහ හවස කාසල් හෝටලය කාර්යය බහුල වුන එකක්..බිමතින් ගී කියන්නන් එතුල සුලභ දර්ශණයක් වුනා...
රනිල් මහතාට මෙය සුපිරි පන්නයේ බ්‍රිතාන්‍ය ස්වරූපය ගත් අවන්හලක් කිරීමට අවශ්‍යතාවය තිබුනත් එවකට සිටි නීති අධිකාරීන් එයට ඉඩ දුන්නෙ නෑ...කෙටියෙන් කිවහොත් කුලී කරුවන් විසින් එම ගොඩනැගිල්ලේ ස්වරූපය වෙනස්වන ආකාරයේ වෙනත් ඉදිකිරීම්ද වර්ණ ගැන්වීමද නොකලයුතු බව එකල අදාල ආයතන නියෝග කොට තිබුණා..එසේ තිබියදීත් 2012 දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අණින් , නාගරික සංවර්ධන පණත යටතේ මේ ප්‍රදේශයේ අක්කර 8කට හෝ ඊට සමාන ගණනක ප්‍රදේශයක (සුප්‍රකට Java lane ද ඇතුළුව) මිනිසුන් ඉවත් කර ගොඩ නැගිලි ඉවත් කර එය ටාටා සමාගමේ නිවාස ව්‍යාපෘතියකට ලබා දුන්නා...මහින්ද පෙරේරාට සිය කුලියට සිටි ස්ථානයද සොයිසා වරුන්ට ඔවුන්ගේ දේපලක්ද අහිමිව ගියේ මෙසේයි..

මේ කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ සහකාර කථිකාචාර්ය වරියක් වුණ ඩෙබෝරා ෆිලිප් මහත්මිය පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට ලිපියක් ලියමින් ඇපෑලක් ඉදිරිපත් කලේ කාසල් හෝටල ගොඩනැගිල්ලෙ පුරා විද්‍යාත්මක වටිනාකම පහදමින් සහ එය ඉවත් කිරීමට අවසර නොදෙන ලෙස ඉල්ලමින්..
ඇගේ පර්යේෂණ වලට අනුව කාසල් හෝටල ගොඩනැගිල්ල මුල් වරට ඉදිකරවා තිබෙන්නෙ සුපක්‍රට H.W. Caves මහතාට අයත්ව තිබුණු Caves & Company නම් සමාගමෙනි(1872 දී බව කියැවේ)...තවද කුලී කරුවන් විසින් කල සොයා බැලීම් වලට අනුව එය හොටලයක් බවට පත් කොට තිබුනේ 1875 දී බවට ලේඛණ ගතව තිබුනා..ඒ අනුව බලන කල මෙය අවම වශයෙන් ,ලිඛිතව අවුරැදු 140 ක ඉතිහාසයක් ඇති ගොඩනැගිල්ලක් වුණා.. 2016 පෙබරවාරි මස , ෆිලිප් මහත්මියගේ දිගින් දිගටම කල ඉල්ලීම් සහ පු.වි.දෙ හි විමසා බැලීම් වලින් පසුව එහි අධ්‍යක්ෂ ජනරාල් වුණ ආචාර්ය සෙනරත් දිසානායකයන් විසින් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති එකක් බැවින් එය ඉවත් නොකරන ලෙසට ටාටා සමාගමේ දේශීය නියොජිතායතනය වුණ නාගරික සංවර්ධන අධිකාරියට දැන්වූ බව පැවසෙනවා.

ඒ කෙසේ වුවද 2017 මැයි මස ඇද හැලුනු ධාරානිපාත වැසි අතරේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩනැගිල්ල බිමට සමතලා කොට දමා තිබුණ අතර පු.වි.දෙ.විසින් එය සංරක්ෂිත ගොඩනැගිල්ලක් ලෙස ගැසට් කොට නොතිබුන බවද පසුව පවසා තිබුනා...
ඉතිහාසයක් පැවති, කොළඹට අභිමානයක් ගෙනදුන් කාසල් හොටල ගොඩනැගිල්ල කොළඹ සිතියමින් ඉවත්ව ගියේ එලෙසයි....
ටාටා සමාගමින් පවසන ආකාරයට නම් කාසල් ගොඩනැගිල්ලෙ සෑම අඟලක්ම සැම කැටයමක්ම ඒ ආකාරයටම පිහිටන ඒ ගෘහ නිර්මාණ ශිල්පයම රැගත් නව ගොඩනැගිල්ලක් එම ස්ථානයේ ඉදිවෙන බව කියනවා..එහෙත් එය හුදෙක් ඒ ස්වරූපය රැගත් නව ගොඩනැගිල්ලක් වනවා මිස ශත වර්ශ දෙකකට පෙර ඉදිවුනු ඉතිහාසමය වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් නොවනු ඇත..


සහෝදරියගේ අභාවයත් සමග ජස්ටිස් අක්බාර් මාවත දෙස උපේක්ෂා සහගතව බලා ගෙන සොයිසා ගොඩනැගිලි සංකීර්ණය හුදෙකලාව සිටින්නී ඉතිහාසයකට නෑ කම් කී සියල්ල ඈ අතැර ගොස් බැවිණි..අද හෝ හෙට හෝ නුදුරු අනාගතයේදී ඇයද බිමට පතිතව හෝ තවත් සංවර්ධන ව්‍යාපෘතියක මුවාවෙන් එතැනින් ඉවත් කර දමාව්..ඊට පෙර වගකිවයුතු ආයතන මැදිහත්ව එය සංරක්ෂණයට කටයුතු කරන්නේනම් මැනවැයි....එය කොළඹ නගරාලංකරණයට තව තවත් දායක වේවි..

ගරාවැටෙමින් තිබුණු තුරග ගරග පිටිය,ලන්දේසි රෝහල සහ පැරණි රසපරීක්ෂණ හා විගණකාධිපති දෙපාර්තමේන්තු පැවති ගොඩනැගිලිද අලුත් වැඩියා කොට පැරණි බව සුරකිමින් වාණිජමය වටිනාකමක් ලබා දීමට හැකි වූවා නම් මෙයටද එසේ කල නොහැකිද?!......

-කොළඹ වීදියකදී නැවත හමු වෙමු-
අමිල
(ඡායා රූප ජංජාලයෙන්)

2 comments:

  1. අපූරු සටහනක් හා මා කැමතිම ඡායාරූප එකතුවක් නිසාම මේ පැත්තට ආවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය මහත්මයා...චායාරූප නම් අන්තර්ජාලයෙන්

      Delete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters