බ්‍රෑන්ඩ් එකක කතාවක් - 02 - Ryohei Wada


ම්ම්ම්..මේ ලෑස්ති වෙන්නෙ 2018 අවසාන ලිපිය ලියන්න... මේ වෙලාවෙත් මම මතක් කරනවා මාවලිපි ලියන්න පොළඹවන විදිහේ ලිපි ලියපු..දැනට පෑන පැත්තකට දාලා ඉන්න Hosanda Weerasekara දොස්තර මහත්තයාව... 2017 අවුරුද්දෙ ඉස්සෙල්ලම ලිපි ලිවුවෙ එතුමා ලියපු ලිපි දැකලා ආපු මෙවුවා එක නිසා...

කවුද Ryohei Wada කියන්නෙ... අවුරුදු සීයකට විතර කලින් ජපානයේ දුප්පත් පවුළක ඉපදිච්ච දැරිවියක්.. පවුල තරමක් ලොකු වුන නිසා සහ දැරිය නොහැකි දුප්පත් කම නිසාම උපන් දවසෙ ඉදලාම මේ දැරිවියට පවුලෙ එතරම් සැළකිල්ලක් ලැබෙන්නෙ නෑ.. කොහොම හරි මේ දැරිවිය යාන්තම් යොවුන් විය පහු කරගෙන එන කාලේ එයාගෙ පවුලෙන් වෙන් වෙලා ඔසාකා නගරයට සංක්‍රමණය වෙනවා... ඇවිත් විවිධාකාරයේ කර්මාන්ත කරනවා..දිවි ගැට ගහ ගන්න... දුප්පත් කමත් සමගම ජපනුන්ට හිමි නොපසුබස්නා විරියෙන් යුත් මේ දැරිවිය ලේසියෙන් කිසි දෙයකින් සැළෙන ජාතියෙ කෙනෙක් වුනේ නෑ...
කොහොම හරි මැයගෙ තරුණ කාලය ගැන එතරම්ම විස්තර හොයා ගන්න අමාරුයි..නමුත් 1930 දශකයේ මැය සිල්ලර කඩයක් පටං ගන්නවා...ඇගෙ නොපසුබස්නා විරිය, කාරුණික සේවය ,අවංක භාවය වගේ ගොඩාක් හේතු නිසා මේ සිල්ලර කඩය දවස ගානෙ දියුණු වෙනවා.. අන්තිමේ 1948 වෙද්දි Yaohan Co.Ltd. නමින් සමාගමක් විදිහට සංස්ථාපණය වෙන්නෙ මේ කඩය..සමා වෙන්න ඒ වනවිට සිල්ලර් කඩයක් නෙමෙව් තරමක් විශාල සුපිරි වෙළදසැල් ජාලයක්..දකුණු ටෝකියෝවේ විශාලම සුපිරි වෙළදසැල් ජාලය වුණේ Yaohan වෙළදසැල් ජාලයයි...ඒ විතරක් නෙමේ ලෝකයේ විශාලම කොටස් වෙළදපළක් වන ටෝකියෝ කොටස් වෙළදපොළේත් මේ සමාගම ලැයිස්තුගත වෙනවා..

දිනෙන් දින දියුණුවත් සමගම මේ ව්‍යාපාරය ජපාන දේශ සීමාවන් පැනලා අහල පහල රටවල් වලටත් යනවා..මේ වෙනකොට Ryohei Wada ගෙ දරුවන් තමයි ව්‍යාපාරය කරගෙන ගියෙ. .දරුවන්ගේ ප්‍රතිපත්ති Ryohei ගේ ප්‍රතිපත්ති සමග නොසැසදුන වාර ගණන වැඩියි...
කෙසේ හෝ 1980 හා 90 දශක වන විට සමාගම් සමූහය රටවල් 16ක ශාඛා 450 කින් යුතු ලෝකයේ විශාල සුපිරි වෙළදසැල් ජාලයක් වුනෑ.... ජපානයට සහ චීනයට අමතරව සාඕ පෝලෝ,හොනොලුලු,වැන්කුවර්,ලන්ඩන්
,ලොස් ඇන්ජලීස් ,කැලිෆෝනියා,සැන්ජෝස් යන ලෝකයේ ප්‍රධාන නගර වල Yaohan සිය බල පරාක්‍රමය පැතිරවූවා..පසුව මැකාඋ ,සිංගප්පූරුව සහ මැලේසියාව තෙක්ද එය විහිදුනා...
හොංකොං කොටස් වෙළදපොළේද ලැයිස්තුගත වුන සමාගම එරට ප්‍රසිද්ධ සමාගම් කිහිපයකුත් අත්පත් කර ගන්නට යෙදුනා..
මෙම සමාගමේ ප්‍රතිපත්තියක් වූයේ සමාගමේ සේවකයන්ට අණිවාර්‍ය පුහුණු වැඩසටහන් මාලාවන්ට සහභාගී විය යුතුය යන්න නීතියක් ලෙස පැනවීම සහ වාඩා පවුලෙ අය විශ්වාස කල Seicho-no-le නම් ආගමක විශ්වාසයන් ඉගැන්වෙන පංති සදහා අණිවාර්‍යෙන්ම සහභාගී විය යුතු වීමත් පසුව සේවකයන් ද එම ආගමටම බදවා ගැනීමට කටයුතු කිරීමත් ය..
කෙසේ හෝ Yaohan ඉවක් බවක් නැතිව ව්‍යාප්ත කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස දැරිය නොහැකි ණය කන්දරාවකට යට වන්න සිදු වුණා..එත් සමග සමාගම කොටස් දෙකකට වෙන්ව සමාගම් දෙකක් බවට පත් වුණා..ඉන් එකක් ජපානයේද අනික හොංකොංහි ද සංස්ථාපනය කෙරුණා...1998 අගොස්තු 11 වනතෙක්ම හොංකොං කොටස් වෙළදපොළේ කොටස් විකිණුනේ Yaohan International Co.Ltd. නමින්..

1997 මුලු ආසියාවම වෙලාගත් මූල්‍ය අර්බුධය සහ ජපානය තුල ඇති වුන අර්බුධ නිසා Yaohan බුන්වත්භාවය ප්‍රකාශ කරමින් අධිකරණයට ගියා..ඒ වන විටත් සමාගමේ ණය ප්‍රමාණය යෙන් 161 ක් වුණ බව වාර්තා වෙනවා...යුද්ධයෙන් පසු ජපානයේ සිදු වුන විශාලම ආර්ථික බිද වැටීමක් ලෙස මෙය වාර්තා වෙනවා..1997 සැප්තැම්බර් 18 දින Japanies Rehabilitation Law යටතේ සමාගම අධිකරණය ඉදිරියේ ණය හිමියන්ගෙන් ආරක්ෂාව අපෙක්ෂා කලා..ශාඛා විශාල ගණනක් එක දිගට වසා දමා ස්ථාවර හා ජංගම වත්කම් ද්‍රවශීල වතකම් බවට පත්කර ණය හිමියන්ට පියවීමට කටයුතු කෙරුණා .
2000 මාර්තු මස Aeon සමූහය විසින් Yaohan අත්පත් කරගෙන Maxvalu Tokai ලෙස නම වෙනස් කලා..අලුත් සමාගම විසින් හොංකොං හි තිබුනු සමාගම සහ ශාඛාවන් ද අත්පත් කර ගත්තා..එය Jusco නම් සමාගමක් ලෙස ලියාපදිංචි වුනා..එක්සත් ජනපදයෙ පිහිටි ශාඛාවන් Mitsuwa,Maruwa සහ Marukai සමාගම් විසින් අත්පත් කර ගත්තා..කැනඩාවේ පිහිටි ශාඛාවන් තායිවානයේ President සමූහ ව්‍යාපාරය විසින් අත්පත් කරගත්තා...
මැකාඋ හි පිහිටි ශාඛාව පමණක් New Yaohan යන නමින් නැවත ව්‍යාපාර පටං ගත්තා සහ එය Yaohan International Co.Ltd. පාලනය වුවත් එම සමාගම තවදුරටත් වාඩා පවුළ සමග සම්බන්ධ තාවයක් තිබුනේ නෑ..Yaohan හි ප්‍රකට සන්නාමයක් වු Yaohan best .. Best Denki නමින් වෙනස් වුනා..

ඉතිං මුල ඉදන් මේක කියෙවුව අය හිතන්න ඇති මේ මිනිහා මොකටද මේ ගැන අපිට කියන්නෙ කියලා.. කිසිදු විශේෂයක් නොවෙන තවදුරටත් ලෝක ප්‍රකට සමාගමක් හෝ සන්නාමයක් නොවන එකේ මේක ගැන මොකට කියනවද..
ඒ එක කාරණයක් නිසා..කතාව මුල් හරිය කියවන කොට අපිට (1980 සහ 90 දශකයේ දරුවන් ..ඊයෙ පෙරේදා අය දන්නෙ නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහ ගන්න) හුරු පුරුදු ආදරණීය චරිතයක් මතක් වුනේ නැද්ද.. නෑ?!..
ඒ තමයි ඔෂින් <3 <3 <3 ... ඔෂින් ගෙ කතාවට මූලික පදනම වැටෙන්නෙ Yaohan නිර්මාතෲ වරිය වුණ Ryohei Wada ගේ චරිත කතාවෙන්..අවාසනාවට ඇගී චායාරූපයක් සොයා ගන්න නෑ.

ඉතිං අද මට බස් එකේ යනකොට ඔෂින් මතක් වුනේ තාමත් මගෙ ෆෝන් එකේ රිගින් ටෝන් එක විදිහට තියෙන්නෙ ඔෂින් එකේ තේමා වාදනය නිසයි... https://www.youtube.com/watch?v=MJ5iG5cOB3o
ඔන්න ඉතිං ඇත්ත ඔෂින් ගෙ කතාව..සමහරු දැනං ඉන්නත් ඇති..සමහරු නැතිවත් ඇති...

1980 දශකයේ ජපානයේ NHK රූපවාහිනී ආයතනය විසින් උදෑසන කතාමාලාවක් ලෙසින් විකාශය කිරීමට ආරම්භ වුන ඔෂින් කතා මාලාව ජපානයේ වැඩිම පිරිසක් නැරඹූ කතා මාලාව සහ ලොව පුරා වැඩිම භාෂා ගණනකින් හඩ කවා විකාශනය වුන කතා මාලාව ලෙසත් වාර්තා ගත වෙනවා මෙන්ම IMBD අගය 8.3/10 වෙනවා..ජපානය තුල ඔෂින් ට ඇති ආදරය නිසාම එය 2013 දීත් නැවත සිනමා පටයක් ලෙස නිර්මාණය වුනා..එය නරඹා නෑ..

ලංකාවේ හතර වතාවක් ඔෂින් විකාශය වුනා සහ ඒ හතර වතාවෙම කිසිදු එපා වීමකින් තොරව ඔෂින් නැරඹූ කෙනෙක් මම...ඉතින් ඒ නිසාම මම තාමත් ඔෂින්ට ආදරෙයි...
ඔෂින් කතා මාලාවේ ළමා ඔෂින් ගේ චරිතය කොබයාෂි අයාකෝ විසින් ද..අපි වැඩියෙන්ම ආදරය කරන තරුණ , ලස්සන ඔෂින්ගේ චරිතය යුකො ටනකා විසින්ද අපිට කතාව කියන මහලු ඔෂින් චරිතය ඔටොවා නොබුකෝ විසින්ද ඉදිරිපත් කලා...

යුද්දෙ කාලෙ ඔෂින් කාපු රාබු බත් එහෙම තාම මතකයි..
ඉතිං ආයෙ වතාවක් ඔෂින් පෙන්නුවොත් කිසිදු එපා වීමකින් තොරව බලන්න සූදානම්..ඒත් දැන් ජාතික රූපවාහිනී හඩකැවීම් අංශය ටයිටස් තොටවත්තයන්ගේ හෝ අතුල රන්සිරිලාල්ගේ පාලනයේ නොවන නිසා එය ගැන කීම අපහසුයි...
බලා සිටිමු...



නැවත හමු වෙමු
-අමිල-

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters