භාරතයේ විත්ති - 29 - 'Operation Airlift'


මේ දවස් වල මුදවා ගැනීමේ මෙහෙයුම් ගැන කතාව වැඩියි නෙ... ඒ නිසා අද මම කියන්න හදන්නෙ ගිනස් වාර්තා පොතෙත් සටහන් වුණ මුදවා ගැනීමී මෙහෙයුමක් ගැනයි...බොහෝ දෙනෙක් මෙය දන්නවා ඇති..බොහෝ දෙනෙක් සත්‍ය කතාවට නිර්මාණාත්මක අඩුවැඩිය දමා 2016 දී තිරගත වුන සිනමාපටය නරඹලත් ඇති.... නොදන්න අයට දැනගන්නයි, නිර්මාණාත්මක දේවලින් වැසුනු දේ ගැන කියන්නයි මම ආපහු කතාව කියන්නම්...



1990 අගෝස්තු 2 දා ඉරාක ජනපති සදාම් හුසේන් ගේ අණින් ඉරාක හමුදාව කුවේටය ආක්‍රමණය කරනවා. පැය කිහිපයක් ඇතුළත කුවේට් එමීර් වරයා සිය පවුළ සමගින් සෞදි අරාබියට පළා යන්නේ කුවේටය අරාජික කරමින්. ඉරාක හමුදාවේ ත්‍රස්ථවාදයෙන් කුවේටය වෙලා ගැණීම අරඹා දෙවන දිනයේදී සදාම් හුසේන් කුවේටය ඉරාකයේ 19වන පළාත ලෙස ප්‍රකාශයට පත් කරනවා... කුඩා කුවේටයට ඉහලින් පිහිටි මහා ඉරාකයට කුවේටය යටත් වන්නේ එහෙමයි...මේ අවස්ථාව වන විට ඉන්දියානුවන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් කුවේටයේ වාසය කලා..ගෘහ සේවිකාවන්, රියැදුරන්,කම්කරුවන්, වෛද්‍ය වරුන්, හෙදියන්, ව්‍යාපාරිකයන් ආදි විවිධ ස්වරූප වලින් ඔවුන් කුවේටයේ සේවය කලා.. මේ සියල්ලන්ම අනියත සිදුවීම් පෙලකට මුහුණ දෙමින් සිටියා. කුවේට් ජාතිකයන් විශාල ප්‍රමාණයක් මරා දැමීම හා දේපළ කොල්ලකෑම නිසා ඔවුන් යටතේ සිටි සේවකයන්ද අවතැන් වුනා...මෙයින් ඇතැමෙක් කුවේටයේ පුරවැසි භාවයද ලබා එහි ව්‍යාපාරිකයන් ලෙස සැපවත් ජීවිත ගත කල අය..එහෙත් සියලු දේ අහිමි වීමට ගත වුණේ දින දෙකයි.... 
ඉන්දීය ජාතික කේරල වැසි මතුනි මැතිව්ස් කියන්නෙ මේ අතර සිටි එක ධනවත් ව්‍යාපාරිකයෙක්..ඔහු සිය මිතුරන් වන හර්භජාන් සිං වේදි,අබේ වරිකාඩ්, වී.කේ.වෝරියර්,අලි හුසේන් සහ තවත් අය සමග එකතුව වහ වහා කුවේටයේ ඉන්දීයයන් වෙනුවෙන් සරණාගත කදවුරක් ඇති කලා..ඒ සඳහා භාවිතා කලේ මැතිව්ස් ට අයත් පෞද්ගලික දේපලක්... කුවේටයේ නන්දෙසින් මෙම කඳවුරට ඉන්දියානුවන් ඇදෙන්නට වුණා...

(මතුනි මැතිව්ස් - වමේ සිට තෙවැනියට )

මේ අතර මුල් දින දෙකේදී ඉන්දියානුවන් 450ක පිරිසක් කුඩා නැවකිං ඩුබායි වෙත පළා යාමට සමත් වුණා... 
මුලින් මුලින් උදාසීන තත්වයක සිටි ඉන්දීය රජයේ අවධානය පවත්නා බරපතළ තත්ත්වය වෙතට යොමු වන්නේ මැතිව්ස් ගේ නොමද උත්සාහය නිසාය.
ඉන්දීය රජය මෙම අවතැන් වූවන් මුදවා ගැනීමට ගතයුතු පිළියම් සාකච්ඡා කලා..ඒ අනුව මුලින් ඔවුන්  සූදානම් වූයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානා මගින් ඉන්දීයයන් නැවත ඉන්දියාවට රැගෙන ඒමටයි..එහෙත් ගුවන් හමුදාවේ යානා ප්‍රමාණවත් නොවීම සහ යුධ යානා සඳහා ගුවන් මාර්ග මුදවා දීමේ ක්‍රියාවලිය තරමක් සංකීර්ණ වුණ නිසා ඒ අදහස අත්හැර දැමීමට රජයට සිදු වෙනවා...ඔවුන් ඊලඟට හැරෙන්න ඉන්දීයා ජාතික ගුවන් ප්‍රවාහණ සේවය වන එයා ඉන්ඩියා වෙතටයි. මුලින්ම එයා ඉන්ඩියා සිවිල් ගුවන් යානා මගින් මුදවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කුවේට පාලනය අවසර දුන්නේ නෑ...

මේ අතර ඉන්දීය විදේශ කටයුතු ඇමති අයි.කේ.ගුජරාල් වහාම බැග්ඩෑඩ් වෙත ගොස් සදාම් හුසේන්ව මුණ ගැසී කල සාකච්ඡාවෙන් අනතුරුව කුවේට වාසී සියලු ඉන්දියානුවන්ව කිසිදු ආපදාවකින් තොරව අසල් වැසි ජෝර්දානය තෙක් යැවීමට ඉඩ ලබා දිය හැකි බව සදාම් පොරොන්දු දෙනවා.
මේ අතර රජය මුහුණ දුන් තවත් ගැටලුවක් වුනේ ඒ වන විටත් කුවේටයේ හිර වී සිටින එයා ඉන්ඩියා ගුවන් නියමුවන් කිහිප දෙනෙක් මුල් කරගෙන ඉන්දියාවේ අනෙකුත් එයා ඉන්ඩියා ගුවන් නියමුවන් රජයට කළ තර්ජනයන් ය...නමුත් සාකච්ඡා අවසානයේ සියලු ගුවන් නියමුවන් එකග කර ගැනීමට රජය සමත් වෙනවා.

ඊ ලඟට මුහුණ දුන්  අනෙක් ගැටලුව නම් විවිධ ජාතීන්ට අයත් විවිධ ඉන්දීය ජන වර්ග වලට අයත් වූ මෙම අවතැන් වූවන්ගෙන් බහුතරයකට වලංගු ගුවන් ගමන් බළපත් හෝ වෙනයම් ඒ හා සමාන ලියවිල්ලක් නොමැති වීමයි.ඊට හේතුව නම් බොහො දෙනා සිය සේවා යෝජකයන් වෙත එම බලපත් ලබා දීම සහ මේ වන විට සේවා යෝජකයන් මරා දමා හෝ වෙනත් රටවලට පළා ගොස් ඇති නිසා ඒවා ලබා ගැනීම කළ නොහැකි වීමයි.
කෙසේ හෝ සදාම් ගේ පොරොන්දුවට අනුව ක්‍රියාත්මක වූ රජය එයා ඉන්ඩියාහි ගල්ෆ් සහ මැදපෙරදිග කලාපය භාර අධ්‍යක්ෂ වරයා වුන මයිකල් මැස්කරේනස් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරුන් වුණ විජය් නායර් සහ චාර්ල්ස් මැනුඑල් යන අය සමග එක්ව ජෝර්දානයේ හා කුවේටයේ ඉන්දීය තානාපති කාර්යාලද සමග සාකච්ඡා කොට පෞද්ගලික ප්‍රවාහණ සේවාවන්ට අයත් බස් රථ 88කින් ඉන්දියානුවන් කුවේටයේ සිට කිලෝමීටර 2000ක් පමණ එහායින් පිහිටි ජෝර්දානයේ අම්මාන් වෙත ;බස්රා සහ බැග්ඩෑඩ් හරහා ,ප්‍රවාහණය කිරීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කෙරෙනවා..
මේ අතර තානාපති කාර්යාල යේ සහායද ඇතිව මතුනි මැතිව්ස් ආහාර අඩුපාඩු පිරිමසා ගනිමින් අවතැන් කඳවුර අපහසුවෙන් වුවද පවත්වාගෙන යාමට කටයුතු කලා..අවසානයේ ඔවුන්ට තානපති කර්යාලය හරහා සුභාරංචිය .
ලැබුනා...

සුළුවෙන් පටං ගත් අම්මාන් වෙත ලඟාවන ඉන්දීයයන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවත්ම අම්මාන් බලධාරීන්ට කෑම බීම සහ අනෙකුත් අවශ්‍යතා සපුරාදීම බළවත්  අපහසුතාවයක් වුණා.. අම්මාන් හි ක්වීන් ආලියා ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉදිරිපස ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය සහ වෙනත් රටවල සරණාගතයන් පොදිකමින් රැස්ව සිටියා...
එයා ඉන්ඩියා ගුවන්යානා මගින් හිස් ගුවන් ටිකට් පත් පෙට්ටි ගණනක් ජෝර්දානය වෙත යැවීමට කටයුතු කලේ මගීන් ගුවන් ගත කිරීම සඳහා භාවිතා කිරීමටයි. මේ අතර ජෝර්දානයේ ඉන්දීය තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බළපත් නිකුත් කිරීම යුහුසුළුව සිදු වුනා..කේරළ රජයේ ප්‍රධානත්වයෙන් එයා ඉන්ඩියා ගුවන් යානා මගින් සරණාගතයන්ට කෑම බීම තොගයක් ලබා දෙන්නේ මේ අතරයි...

ජෝර්දානයේ ඉන්දීය තානපති නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් සාමණ්‍ය ගුවන් මගීන් පරීක්ෂා කිරීම් සහ රේගු ක්‍රියා පටිපාටින් වලින් වෙන්වූ විශේෂ ක්‍රම වේදයක් අණුගමණය කිරීම නිසා කටයුතු වඩා ඉක්මනින් කර ගැනීමට හැකි වුණා...
අවසානයේ 1990 අගෝස්තු 13න් වන දින පළමු එයා ඉන්ඩියා ගුවන් යානයෙන් 111ක් සරණාගතයන් ඉන්දියාවට රැගෙන ඒමත් සමග ගුවන් මෙහෙයුම ආරම්භ වෙනවා.
මැස්කරේනස් මහතා සිය පුද්ගලික සටහන් වල සහ මාධ්‍ය සාකච්ඡා වලදී පවසා සිටියේ මුල් ගුවන් යානය පිටත් වීමත් සමග ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් සතුටු කඳුළු පිරි නෙත් වලින් යුතුව 'භාරත් මාතා කි ජය්' ලෙසින් ප්‍රීති ඝෝෂා පැවැත්වූ බවයි...

අගෝස්තු 13 ඇරඹි මුදවා ගැනීමේ මෙහෙයුම මාස දෙකකට ආසන්න කාලයක් ගෙවා ඔක්තෝබර් 11 දින අවසානයක් දකින තෙක් තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වුණා..එයා ඉන්ඩියා ගුවන් යානා 488 ක් මගින් සරණාගතයන් 175,000 කට අධික පිරිසක් අම්මාන් සිට කිලෝමීටර 4117ක් මෙපිටිං පිහිටි මුම්බායි සහ දිල්ලි වෙත ගෙන ආවේ එසේයි...
මුදවා ගැනීමේ මෙහෙයුමට තව තවත් මනුෂ්‍යත්වය එක් කරමින් ජෝර්දානයේ රැඳී සිටි පාකිස්තානු ජාතික ගුවන් සේවක කණ්ඩායමක්ද ඉන්දියාවට ගෙනයාමට කටයුතු කලේ පාකිස්ථානය සමග පවත්නා විරසකයන් අමතක කරමින්ය.


සිවිල් ගුවන් සේවා සමාගමක් විසින් සිදු කළ ලොව විශාලතම මුදවා ගැනීමේ මෙහෙයුම ලෙස එය ගිනස් වාර්ථා පොතට ඇතුළත් වන අතර ඒ ගෞරවය එයා ඉන්ඩියා සමාගම සතුව අදටත් පවතිනවා.....

එයා ඉන්ඩියා සමාගම මින් පසුවද මෙවන් මුදවා ගැනීමේ මෙහෙයුම් කිහිපයකටම දායක වී තිබෙනවා...ඒවා කිහිපයක් නම්

01. 2017 ඔක්තෝබර්  මස කටාර් රාජ්‍ය වෙත තහනමක් පැණවූ අවස්ථාවේ ඉන්දියානුවන් 500කට ආසන්න ප්‍රමාණයක් වහා ඉන්දියාවට ගෙන්වා ගැනීමට දායක විම.

02.ඔපරේෂන් රාහත්
ඉන්දීය ගුවන් හමුදාවේද සහාය ඇතිව 2015 දී යේමනයේ රැඳී සිටි ඉන්දියානුවන් 4,500කට ආසන්න ඉන්දියානුවන් හා 900 කට ආසන්න විදේශිකයන් පිරිසක් මුදවා ගැනීමට කටයුතු කිරීම.මෙම මෙහෙයුම මුලින් නැවු මගින් ප්‍රවාහණය කිරීමක් ලෙස ඇරඹුනද පසුව එයා ඉන්ඩියා ගුවන් යානාද දායක කර ගැනීමට කටයුතු කළා.2015 අප්‍රේල් 1 සිට අප්‍රේල් 9 තෙක් මෙහෙයුම සිදු වුණා.

03.ඔපරේෂන් මෛත්‍රී
2015 නේපාල භූමිකම්පාව හේතු කොටගෙන අවතැන් වූ ඉන්දියානුවන් සහ ඉන්දියානුවන් සමග විවාහ වී සිටි නේපාලි ජාතිකයන් 2000කට අධික පිරිසක් මුදවා ගැනීම මෙම මෙහෙයුමෙන් සිදු වුණා.

04.2011 ඉරාකයේ වාසය කල ඉන්දියානුවන් 6977ක් ද ලිබියාවෙ වාසය කල ඉන්දියානුවන් 3,200ක්ද වන පිරිසක් මුදවා ගැනීම.

05.ඔපරේෂන් සේෆ් හෝම්කමිං
2011 දී ලිබියාවේ රැඳී සිටි තවත් 15000කට අධික ඉන්දීයයන් පිරිසක් ඉන්දියාවට රැගෙන ඒමේ මෙහෙයුම්.මෙම මෙහෙයුමට ඉන්දීය නාවුක හමුදාවත් දායක වුණා.

06.ඔපරේෂන් සුකූන්
2006 දී ලෙබනන යුද්ධය අවස්ථාවේ ඉශ්‍රායල් හි රැඳී සිටි ඉන්දියානුවන් 10000ක් , ශ්‍රී ලාංකිකයන් 112 ක් හා නේපාලි ජාතිකයන් 64ක් මුදවා ගැනීමේ මෙහෙයුම.

අද වන විට නිතර සිදු වන ගුවන් ගමන් ප්‍රමාදයන්ට හා සේවාවේ දුර්වලතා හේතුවෙන් ගුවන් ගමන් ක්ෂේත්‍රයේ නරක නමක් උසුලන එයා ඉන්ඩියා සිය අතීතයේදී මුළු ලොවෙහිම නම රැන්දුවේ එලෙසයි....

නැවත හමුවෙමු.

- අමිල-

Gallery












                                 (The backstage hero Mr.Mathunny Mathews)



another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters