⚖️ Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට......23 - " DNA - සහෝදර ප්‍රේමය"







කෙනී වෝටර්ස් සහ බෙටී ඈන් කියන්නෙ අයියයි නංගියි, දරුවො නව දෙනෙක්ගෙන් යුත් පවුලක මේ අයියයි නංගියි අනිත් අය අතරෙ නොපැවතුණු ආකාරයේ සහෝදර ප්‍රේමයකින් යුත් දෙන්නෙක්. දෙන්නගෙන් එක්කෙනෙක්ට කරදරයක් වුණහොත් අනෙකාට ඉවසිය නොහැකි වුණා.
මේගොල්ලො ජීවත් වුනේ එක්සත් ජනපදයේ මැසචුසෙට් ප්‍රාන්තයේ අයර් කියන ප්‍රදේශයේ.

1980 වෙනකොට බෙටී ඈන් සහ කෙනී වෝටර්ස් දිවියේ විසිවන දශකය පසුකරමින් සිටියා. මේ කාලෙ කෙනී වෝටර්ස් අයර් හි ආපනශාලාවක කෝකියෙක් ලෙස සේවය කරන අතරෙ සිය පෙම්වතිය එක්ක එක නිවසක වාසය කලා.

අවාසනාවන්ත සිදුවීමක්

1980 මැයි 21 දින උදෑසන 10:45 ට කැතරිනා රීට්ස් බ්‍රොව්ස් ඇගේ නිවසේ මරා දමා ඇගේ නිවස කොල්ල කා තිබුණා.

කැතරිනා ජීවත් වුනේ කෙනී සහ ඔහුගේ පෙම්වතිය වූ බ්‍රෙන්ඩා මාෂල් ජීවත් වූ නිවසට නොදුරෙන්.ඒ වගේම මිය ගිය කැතරිනා කෙනී සේවය කල ආපන ශාලාවේ හොඳම ගණුදෙණුකාරියන්ගෙන් කෙනෙක්. ඈ සතුව වටිනා කියන දෑ තිබුණු බව අවන්හල් සේවකයන්ට නොරහසක් වූ බව කියවෙනවා.

පොලිසිය විසින් සිදු කල පරීක්ෂණ වලදී කෙස් ගස්,ඇඟිලි සළකුණු ආදිය සටහන් කරගත් අතර මරණය සිදුකල ආයුධය ලෙස සැක කල පිහියක් කුණු දමන භාජනයේ තිබී සොයා ගත්තා.

මේ අතර පොලිසිය කෙනීගෙන් ප්‍රශ්න කිරීමට යෙදුනා. ඔහුගේ ප්‍රකාශය සහ සාක්ෂි අනුව මරණය සිදු වුන උදෑසන 8.30 වන තෙක් කෙනී සේවයේ යෙදී සිට තිබෙන අතර ඔහුගේ මිතුරෙක් විසින් මිතුරාගේ රථයේ නිවසට ඇරලවා තිබෙණවා. ඉන් පසුව වහා ඇඳුම් මාරුකරගත් කෙනී වෙනත් නඩුකටයුත්තක් සඳහා අයර් අධිකරණයට උදෑසන 9.00 වන විට වාර්තා කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයානුව ඔහු අධිකරණයෙන් පිටව තිබෙන්නේ එදින දහවල් 12.30 ට. පොලිසිය විසින් කෙනීගේ ඇඟිලි සළකුණු ආදිය සටහන් කරගෙන ඔහුව නිදහස් කලා.

මිනීමැරුම නොවිසඳුණු අභිරහසක් ලෙස දෑවුරුද්දක් විවෘතව තිබුණා.

1982 ඔක්තෝබර්

1982 ඔක්තොබර් මාසයේ රොබර්ට් ඔස්බෝර්න් නම් අයෙක් අයර් පොලිසිය වෙත පැමිණෙනවා.මොහු කෙනීගෙ පෙර පෙම්වතිය වූ බ්‍රෙන්ඩා මාෂල්ගෙ වර්තමාන පෙම්වතා වුණා.ඔහු පොලිසියට කියා සිටින්නේ මුදල් ලබා දෙන්නේ නම් කැතරිනාගේ මරණය සිදු කල තැනැත්තා පිලිබඳව ඔත්තුවක් ලබා දිය හැකි බවයි.පොලිසිය විසින් මුදල් ලබා දුන්නෙද නැද්ද යන්න ප්‍රසිද්ධ නොවුවත් රොබර්ට් කියා සිටින්නේ බ්‍රෙන්ඩා ඔහු සමග පවසා සිටි ආකාරයට ඇය කෙනී සමග සිටි කාලයේ ඔහු කාන්තාවක් මරා දැමූ බවට ඇය සමග පාපොච්චාරණය කර තිබෙන බවයි. පොලිසිය මේ පිලිබඳව බ්‍රෙන්ඩාගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය මුලින් එය අසත්‍යක් බව ප්‍රකාශ කර සිට්නවා.පොලිසිය විසින් ඇයව , මිනීමරුවෙකුට සහාය දීම යටතේ හිරේ දමන බවත් ඇගේ දරුවන් ඇගෙන් වෙන් කරන බවත් පවසා දිගින් දිගටම බල කිරීමේදි ඇය පවසා සිටිනවා කෙනී එක් දිනක් උදෑසනක ලෙයින් පිරි කමිසයක් ඇඳන් පැමිණි අතර මුහුණේ කැපුම් තුවාලයක්ද තිබුණු බව.
පොලිසිය විසින් කෙනීගේ තවත් පෙර පෙම්වතියක් වූ රොසෑනා පෙරී සොයාගෙන ඇගෙන්ද ප්‍රශ්න කිරීම් සිදු කලා.ඇයද මුලින් කිසිවක් පැවසුවද පොලිසියෙ තර්ජන හමුවේ අවසන කියා සිටියේ කෙනී විසින් කාන්තාවකට අයත් මුදල් හා ආභරණ සොරා ගැනීමක් සම්බන්ධව තමා සමග පැවසූ බවයි.

මෙම ප්‍රකාශ පදනම් කරගෙන අයර් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නැවත වතාවක් කෙනීව අතඩංගුවට ගනු ලැබෙනවා.


නඩුව

මරණය සිදූවී වසර තුනකට පසුව 1983 මැයි මාසෙ කෙනීට විරුදුව නඩුව අයර් අධිකරණයේ ඇසෙනවා.
මරණය සිදු වූ ස්ථානයෙන් හමු වූ ඇඟිලි සළකුණු කෙනී සමග නොසැසඳුනත් පොලිසිය විසින් ඒ පිළිබඳව පැමිණිල්ල මෙහෙය වූ Assistant District Attorney වරියට වාර්තා කර සිටින්නේ නෑ .තවද අධිකරණ වෛද්‍ය මතයට අනුව මරණය සිදුවූ තැනින් සොයාගත් කෙස් සාම්පල :විශේෂයෙන්ම මරණකාරියගේ අතේ රැඳී තිබුණු කෙස් කෙනීගේ හිස කෙස් වලට සමාන වූනේ නෑ.
එහෙත් දෛවෝපගත සිදුවීමක් ලෙස කෙනීගේ ලේ වර්ගය සහ මරණය සිදු වුන ස්ථානයෙන් සොයා ගත් මරණකාරියගේ ලේ හැර වෙනත් ලේ සාම්පල වල වර්ගයට සමාන වුනා.

කෙනීගේ පෙර පෙම්වතියන්ගේ සාක්ෂි ද ජූරිය ඉදිරියේ ඉදිරිපත් වුණා.

තීන්දුව

නඩු විභාගය අවසානයේ ජූරිය විසින්

1.කැතරීන් බ්‍රොව් ව මරා දැමීම (1st digree )
සහ
2.ඇගේ වත්කම් සොරා ගැනීම

යන අධි චෝදනා දෙකටම කෙනී වරදකරු බව ඒකමතිකව තීන්දු කරනවා. ඒ අනුව කෙනීට මැසචුසෙට් නීතිය අනුව ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් නියම කරනවා.

ඊලඟ කෑල්ල වඩා රසවත්
කෙනීට සිදුවූ අකරතැබ්බය ඔහුගේ ආදරණීය නැගණිය බෙටී ඈන්ට දරාගත නොහැක්කක් වුණා. කෙතරම් සෙල්ලක්කාර වැඩ කලත් කෙනී යනු මිනී මැරුමකට සම්බන්ධ නොවන අයෙක් බව ඇය ඉර හඳ පායන්නාක් මෙන් විශ්වාස කලා.ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිවේදීන්ගේ සහයක් ලබා ගැනීමට ඇයට අපහසු වුණා.

අවසන ඇය තීරණයක් ගන්නවා.මොකක්ද?
ඇය තීරණය කරනවා නීතිය හදාරන්න. වහා ක්‍රියාත්මක වන ඇය මැසචුසෙට් හි නීති විද්‍යාලයකට ඉල්ලුම් කොට නීතිය හදාරණවා.වසර දහතුනකට පසුව ඇය මැසචුසෙට් ප්‍රාන්තයේ නීතීවේදිනියක් ලෙස දිවුරුම් දෙනවා. මේ වන විට ඇය දැනුවත්වී සිටිනවා 90 දශකයේ එක්සත් ජනපදයේ හා මැසචුසෙට් ප්‍රාන්තයේ විභාග වූ වැදගත් නඩු තීන්දු ගැන.එම නඩු තීන්දු වලින් ඇය ඉගෙනගත් එක් වැදගත්ම කාරණාවක් යනු DNA පරීක්ෂණයයි. DNA පරීක්ෂණ යනු කෙනීට දඬුවම් නියම වූ කාලයේ අධිකරණය විසින් නොපිලිගත් එහෙත් 80 දශකයේ අග හෝ 90 දශකයේ මුල සිට අධිකරණය විසින් පිලිගැනීමට යෙදුනු පරීක්ෂණයක්.ඇය කල්පනාකරනවා ඇගේ සොහොයුරා බේරා ගැනීමට DNA පරීක්ෂණයක් තරම් දෙයක් නැති බව.ඒ අනුව කල සොයා බැලීම් වලදී ඇය සොයා ගන්නවා Innocence project නමින් :එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ නීතිවේදියෙක් විසින් පවත්වාගෙන ගිය වැඩසටහනක් පිලිබඳව.එම වැඩසටහනින් DNA පරීක්ෂණ සිදුකොට නිවැරැද්දේ වරද කරුවන් වුන අය බේරා ගැනීමට කටයුතු කලා.බෙටී ඔවුන් සමග සම්බන්ධ වන්නේ ඉන් පසුවයි. ඊ ලඟට ඇය මුහුණ දුන් ප්‍රශ්ණය මරණකාරියගේ ලේ සාම්පල රැගත් සාක්ෂි සොයා ගැනීමයි. ඒ 1999 වසර වුණා. කෙනී ගේ නඩුකටයුත්ත අවසාන වී වසර 16ක් ගතවී තිබුණා. සාකිෂි පිලිබඳ මූලික සොයා බැලීම් වලදී ඒවා වසර දහයකට වඩා පැරණි බැවින් විනාශ කර දමා ඇති බව District Attorny's Office මගින් දන්වා සිටිනවා.එහෙත් බෙටී ඇගේ උත්සාහය අත් හරින්නේ නෑ. කෙනීගේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නීතිවේදිනිය ඒ වනවිට DA දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරක් දරනු ලැබුවා.(එක්සත් ජනපදය නීති පද්ධතියට අනුව එය අධිකරණමය දිස්ත්‍රික්ක වලට බෙදා තිබෙන අතර DA යනු එම අධිකරණ දිස්ත්‍රික්කයක ප්‍රධානියා වේ.ලංකාවේ නියෝජ්‍ය නීතිපති හා සමාන නිලබලයෙන් යුත් තනතුරකි.ඒ ඒ අධිකරණ දිස්ත්‍රික්ක වල රජය වෙනුවෙන් නඩු මෙහෙයවන්නේ DA දෙපාර්තමේන්තුව විසිනි) බෙටී මෙම නීතිවේදිනිය හමුවී ඇගේ උපකාර ඉල්ලා සිටිනවා.අවසන ඔවුන් සොයා ගන්නේ කෙනී වෝටර්ස් ගේ නඩුවට අදාලව විනාශ නොකල සාක්ෂි තිබෙන බවත් ඒ අතරේ මරණය සිදුවුන ස්ථානයෙන් සොයාගත් මරණය සිදු කලා යැයි සැක කරන තැනැත්තාගේ ලේ සාම්පල සහිත සාක්ෂි තිබෙන බවත් ය.
වහා ක්‍රියාත්මක වන බෙටී නිසි ක්‍රමවේද අනුගමනය කොට එම සාම්පල ලබාගෙන innocence project හරහා ඒවා පරීක්ෂා කරවන්න රජයේ පරීක්ෂණාගාරයකට ලබා දෙනවා .එහෙත් දිනෙන් දින කල් යන පරීක්ෂණ හමුවේ ඇයත්, innocence project හි සාමාජිකයනුත් Middlesex County District Attorney's Office (county යනු ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කයකට සමානයි) සමග එකඟතාවයකට එළඹෙනවා පෞද්ගලික රසායනාගාරයකින් DNA පරීක්ෂාව සිදු කර ගැනීමට.කෙනීගෙන් ලබා ගන්නා ලේ සාම්පල සමග සාක්ෂි වලින් ලබාගත් ලේ සාම්පල සැසඳුවා.
අවසන් වාර්තාවේ : සාක්ෂි වල අඩංගු ලේ සාම්පල වල DNA කෙනී වෝටර්ස් ගේ ලේ සාම්පල වල DNA සමග නොසැසඳෙන බව සටහන් වුණා.
තවද මුල් නඩුවේ කෙනීට විරුද්ධව සාක්ෂිලබාදුන් තැනැත්තියන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් : පොලිසියේ අනිසි බලපෑම මත ඔවුන් කෙනීට විරුද්ධව සාක්ෂි ලබා දුන් බව පවසා සිටිනවා.

තීන්දුව
අවසන අධිකරණය විසින් වසර 18කට පසුව කෙනී වෝටර්ස් ව තාවකාලිකව නිදහස් කරනවා.

ඉන් පසුව
Middlesex County DA's office නැවත වතාවක් පරීක්ෂණ ආරම්භ කරන්නේ කෙනී ඇත්‍ත වශයෙන්ම නිර්දෝශද තහවුරු කොට එසේ නොවුණහොත් නැවත ඔහුට දඬුවම් ලබා දීමටයි. මෙවර පරීක්ෂණ මැසචුසෙට් ප්‍රාන්ත පොලිසිය විසින් මෙහෙයවූවා.එම පරීක්ෂණ වලදී ඔවුන් සොයා ගනු ලබනවා අයර් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නඩු ගොනු කිරීම ඉතාම අකාර්යක්ෂමව සිදුකර ඇති බව. මරණය සිදු වූ දින කෙනීගේ රාජකාරි සටහන් සහ ඇඟිලි සළකුණු නොසැසඳීම් වාර්තා අධිකරණය හමුවේ මුල් නඩුවේදී වාර්තා කර නොමැති බව. ඒ අනුව DA's office විසින් කෙනී වෝටර්ස් ට කෙරුණු සියලු චෝදනා ඉවත් කර ඔහු නිදහස් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම හේතුකරගෙන කෙනී වෝටර්ස් ඔහුට එල්ල වුන චෝදනා දෙක සම්බන්ධයෙන් සදහටම නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරනවා.



තීන්දුවෙන් පසුව

වසර 18කට පසුව නිදහස් ලෝකයට පා තබන කෙනී වෝටර්ස් නිදහසින් මාස හයකට පසුව වයස 47 දී රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මිය යනවා.එහෙත් බෙටී ඈන් පවසා සිටියේ ඔහු ඔහුගේ දිවියේ හොඳම මාස හය නිදහසේ ගත කොට මියගිය බවයි.

2009 : කෙනී නිදහස් ව සහ මියගොස් වසර 8කට පසුව බෙටී ඈන් විසින් අයර් සිවිල් අධිකරණයේ ;අයර් පොලිස් දෙපාර්තමේන්තුව,අයර් ප්‍රාදේශීය බලධාරීන් සහ හිටපු අයර් පොලිස් නිලධාරිනී නැන්සි ටේලර් ට විරුද්ධව නඩුවක් ගොනු කරන අතර එය ජය ගැනීමෙන් විශාල වන්දි මුදලක් ඇයට ගෙවීමට අධිකරණයෙන් නියම කරනවා. මෙහිදී අයර් පොලිසියේ නිලධාරිනියක් වූ නැන්සි ටේලර් ගේ අත්තනෝමති ක්‍රියා කලාපයන් හේතුවෙන් සියලු අකටයුතු කම් සිදු වී තිබුණු බව පරීක්ෂණ වලදී හෙලිවී තිබුණා. එහෙත් මැසචුසෙට් ප්‍රාන්තයේ Statute of Limitations නීතියෙන් ඇයට ලැබී තිබුණු විනිර්මුක්තිය නිසා ඇයට විරුද්ධව අපරාධ නඩු ගොනු කිරීමේ හැකියාවක් තිබුණේ නෑ.
මෙම නඩුකටයුතු දෙක නිසාම බෙටී ඈන් දැන් ප්‍රසිද්ධ නීතිවේදිනියක් වුවද ඇය අධිකරණයේ පෙනී සිටිමින් නඩු කතා කිරීමේ නොයෙදුනත් දිගටම Innocence Project සමග වැඩ කටයුතු කරනවා.

කැතරීන් බ්‍රොව්ස් ගේ ඝාතකයා කවුරුන්ද යනු මේ වන තෙක් නොවිසඳුණු අභිරහසක්.

• 1989 න් පසුව එක්සත් ජනපදයේ අපරාධ නඩු කටයුතු 254 ක් නැවත විභාග කෙරුනේ DNA පරීක්ෂණ මත පදනම්වයි.

• 2010 දි ;ඔස්කාර් සම්මාන ලාභී හොලිවුඩ් ,ජනප්‍රිය නිලි හිලරි ස්වැන්ක් බෙටී ඈන් ලෙස රංගනයෙන් දායක වුණු, 'Conviction' සිනමාපටය නිර්මාණය වන්නේ මෙම සිදුවීම ඇසුරිණි.




- The Court is adjourned -

අමිල ආර්යන්......✒️







භාරතයේ විත්ති - 46 - ශුබ් මංගල් සාව්ධාන්!




ඉන්දියාවෙ ලිපි පෙල කියවපු ගොඩ දෙනෙක් සැරින් සැරේ ඉන්බොක්ස් ඇවිත් කිවුවා ඉන්දීය විවාහ චාරිත්‍ර ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න කියලා.ඒ අයගෙන් සමහරු ඒ ඉල්ලීම කරද්දි කිවුවා ඒ අය සම්පූර්ණ ඉන්දීය විවාහ මංගලෝත්සවයක් ගන්න ආසාවෙන් ඉන්නවා කියලා.
පළවෙනි කාරණාව. ලාංකිකයන් විදිහට අපිටම අනන්‍ය වෙච්ච විවාහ මංගල චාරිත්‍ර තියෙද්දි ඒවා අභාවයට යන්න ඇරලා , ෆිල්ම් එකක හෝ ටෙලි ඩ්‍රාමා එකක දැකලා ආසා වුන පමණින් සම්පූර්ණ ඉන්දීය විවාහ ක්‍රම වගේ දේවල් වලට පෙළඹෙන එක කොහෙත්ම හොඳ දෙයක් කියලා මම නම් හිතන්නෙ නෑ.ඒ ගැන හිතා බලන්න.
දෙවනි කාරණය ඉන්දීය විවාහ චාරිත්‍ර ගැන කතා කරන එක ඉන්දියාව සම්බන්ධ අන් බොහෝම කාරණා වගේම සංකීර්ණයි. හේතුව ප්‍රාන්ත තිහක්, කුල සිය ගාණක්, ආගම් සිය ගාණක්,ගෝත්‍ර දහස් ගාණක් තියෙන රටක හැම තැනම එකම විදිහේ විවාහ චාරිත්‍ර නෑ.
හින්දු විවාහ ගතහොත්
ප්‍රාන්තය අනුව, කුලය අනුව, එකම කුලයේ වුවත් නැවත ගෝත්‍රය අනුව ලෙසින් විවිධා කාර ලෙසින් බෙදිලා වෙනස් සම්ප්‍රදායන් සහ චාරිත්‍ර තියෙන්නෙ. ඒ නිසා ඉන්දීය විවාහ මංගල චාරිත්‍ර ගැන සම්පූර්ණ කතාවක් ලියන්න අමාරුයි .
ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මම බහුතරයක් හින්දූන් විසින් අනුගමනය කරන හින්දු විවාහ චාරිත්‍ර ගැන කතා කරන්න හිතුවා.
හින්දු විවාහ ලාංකීය වගේම එහි සංස්කෘත මුල් නම වූ 'විවාහ්/විවාහ' නමින්ම හඳුන්වනවා. බහුලව භාවිතා වන නම 'ෂාදී'. විවාහ් formal වචනෙ වෙන අතරෙ ෂාදි informal වෙනවා.විවාහ චාරිත්‍ර උතුරු ඉන්දියාවෙ බොහොමයක් ප්‍රාන්ත වල 'විවාහ් සංස්කාර්' කියලා හඳුන්වනවා.දකුණු ඉදියාවෙ කේරලා සහ තමිල්නාඩු ප්‍රාන්ත වල 'කල්‍යාණම්' කියලා හඳුන්වනවා.
හින්දු විවාහ චාරිත්‍ර බොහොමයක් 'අස්වල්‍යාන ගෘහ්‍ය සූත්‍ර' කියන සංස්කෘත ස්තෝත්‍රයේ සඳහන් වෙන විදිහට හැදිච්ච ඒවා.
එම ස්තෝත්‍රයට අනුව විවාහ ක්‍රම අටක් තියෙනවා.

1. බ්‍රහ්ම විවාහ - සියලුම විවාහ චාරිත්‍ර අනුගමනය කරමින් සම්පූර්ණ උත්සවයක් පවත්වා සිදුවන විවාහ.

2. දෛව විවාහ - පියා සිය දියණියව පූජකයෙක්ට භාර කිරීම. මෙය පරිත්‍යාගයක් ලෙස හැඳින්වෙනවා. මෙහිදී ආභරණ,ඇඳුම් වැනි දෑ දියණිය සමගම ලබා දෙනවා.

3. අර්ශ විවාහ - මනාලයා විසින් ගවයෙක් සහ එලදෙනක් මනාලියගේ පියාට ලබා දීම සහ මනාලියගේ පියා මනාලියව මනාලයාට ලබා දීමෙන් සිදු වන විවාහය.

4. ප්‍රජාපත්‍ය විවාහ - මනාල යුවල විසින් ඔවුනොවුන් අතරේ මන්ත්‍ර හුවමාරු කරගැනීම මගින් සිදුවන විවාහය. දේව පිළිමයක් ඉදිරියේ මන්‍ත්‍ර කියා දිවුරුම් දීමක් මගින් විවාහයට එළඹීමක් ලෙස මෙය දැක්විය හැකියි. අශෝක සිනමාපටයේ අශෝක සහ කෞර්වකී විවාහය මෙයට මතක හිටින උදාහරණයක් ලෙස දැක්විය හැකියි.

5. ගාන්ධර්ව විවාහ - living together

6. අසුර විවාහ - මනාලයා විසින් මනාලියගේ පියාට මුදල් හෝ ධනය (දායාදය) ලබාදී මනාලියව රැගෙන යාම.(මෙය ධනය බලාපොරොත්තුව දියණිය විකිණීමක් ලෙස හින්දු දහමේ කියවෙනවා.)

7. රාක්ෂස විවාහ - මනාලියව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇගේ අනුබලයකින් තොරව විවාහ කර ගැනීම.

8. පෛෂශ විවාහ - ස්ත්‍රිය මධුපානයෙන් හෝ වෙනත් දෙයකින් අසිහියට පත්ව ඇති අවස්තාවක පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි බලය පෑම මගින් ඇති වන බන්ධනය.

මෙයින් මුල් හතර ශුභ සහ පිලිගත හැකි විවාහ ලෙස වේදයේ දැක්වෙන අතර අවසාන හතර අශුභ සහ නොකටයුතු විවාහ ලෙස දැක්වේ.

මින් ඉදිරියට කතා කෙරෙන්නෙ බ්‍රහ්ම විවාහ නොහොත් මුල්ම ක්‍රමයේදී බොහොමයක් හින්දූන් විසින් අනුගමනය කෙරෙන චාරිත්‍ර ගැනයි.

රිෂ්තා/Rishtha

ඉන්දීය විවාහයක පළමු චාරිත්‍රය රිෂ්තා. රිෂ්තා කියන්නෙ නෑ කම කියන එකට. විවාහ වන යුවල පෙම්වතුන් වුවත් යෝජිත වුවත් මෙය අණිවර්‍යෙන්ම කරන චාරිත්‍රයක්. එහිදි මනාලයාගෙ පාර්ශවය මනාලියගේ පාර්ශවය හමු වී සිය පුතු වෙනුවෙන් දියණිය ඉල්ලීම කරනවා. එම අවස්ථාවේ කැවිලි පෙවිලි, රෙදි, ආභරණ ආදිය රැගත් තැටියක් මනාල පාර්ශවයෙන් මනාලි පාර්ශවයට දෙනවා.මනාලි පාර්ශවය එම තැටිය පිලි ගන්නවා කියන්නෙ විවාහයට කැමතියි කියන එක. ඇතැම් ප්‍රාන්ත වල දෙපාර්ශවයම තැටි හුවමාරු කර ගන්නවා සහ තවත් ප්‍රාන්ත වල මනාලි පාර්ශවය මනාල පාර්ශවය මුනගැහෙන්න යනවා.

සගායි/මිස්රි - Sagaai/Misri

සගායි කියන්නෙ ගිවිස ගැනීම. මෙය විවාහයට පෙර රිෂ්තා වලට පස්සෙ වෙන චාරිත්‍රයක්. මෙහිදි සුබ මුහුර්තයට අනුව මනාලයා සහ මනාලිය මුදු සහ වර මාලා (මංගල සූත්‍රය නොව..මල් මාලා ) හුවමාරු කර ගැනීමෙන් විවාහ ගිවිසුමට එළෙඹීම සිදු වෙනවා.


සංගීත් /Sangeeth

මෙය මෙහෙන්දි උත්සවය සමග හෝ වෙනම පවත්වනවා. මෙහිදී විවාහයට දින කිහිපයකට පෙර දෙපාර්ශවයේ නෑදෑ හිතමිත්‍රාදීන් එකතු වී ඩෝල, හාර්මෝනියම්,බට නලා, ෂෙහෙනායි, මංජීරා,බෙර ආදිය වයමින් ගීත ගායනා කරමින් විනෝද වීමක් සිදු වෙනවා.දෙපාර්ශවයේ මිතු දම වැඩි කර ගැනීම එහි අරමුණයි. එහිදී ගායනා කෙරෙන සාම්ප්‍රදායික ගී තියෙනවා.
ගුජ්රාත් සහ පංජාබ් ප්‍රාන්තයන්හී සංගීත් සඳහා භාවිතා කෙරෙන ගී ප්‍රසිද්ධයි. ඒවා බොලිවුඩ් සිනමාපට වල පවා බෙහෙවින් භාවිතා වෙනවා සහ එම සාම්ප්‍රදායික ගී ඇසුරින් සිනමාපට හා ගීත ඇල්බම සඳහා ගී නිර්මාණයන්ද සිදුවී තියෙනවා.Gur nalon ishque mithaa oye hoye එවන් ගීයක්.


මෙහෙන්දි/Mehendi



විවාහයට එක් දිනකට පෙර මෙහෙන්දි උත්සවය පවත්වනවා.සාම්ප්‍රදායිකව නම් මෙහිදී කාන්තාවන් පමණක් සහභාගී වුවත් වර්තමානයේ පිරිමි පාර්ෂවයත් සහභාගි වෙන අවස්තා තිබෙණවා. මෙහිදී මනාලියගේ අතේ මෙහෙන්දි ශාඛයේ (හෙනා/මරතොන්ඩි) දලු අඹරා සකස් කරගත් තද දුඹුරු පැහැයක් ගත් වර්ණයෙන් රටා ඇඳීම සිදු වෙනවා. බිරිඳගේ සහ ස්වාමියාගේ නොමැකෙන සහ නොකැඩෙන බන්ධනය ඉන් නිරූපණය කෙරෙනවා.'සග්රි' නොහොත් මනාලයාගේ සොහියුරියන් විසින් මනාලියට තෑගි ලබා දීමද මෙහෙන්දි අතරේම සිදු වෙනවා.

හල්දි/Haldi



හල්දි උත්සවය පවත්වන්නෙ විවාහය දවසෙ උදෑසන.බොහෝ වෙලාවට හිරු නැගෙන්න පෙර.මෙහිදී මනාලයා මනාලිය වෙන වෙනම හෝ එකම ස්ථානයේදි හල්දි ගැල්වීම සිදු වෙනවා. හල්දි යනු අමු කහ වලට හින්දියෙන් භාවිත වන පදයයි. හල්දි මිශ්‍රණය කහ,සඳුන් තෙල් (තමිල්නාඩුවේ තල තෙල් ද භාවිතා කෙරේ) හෝ වටිනා සුවඳ තෙල් වර්ගය ක් සමග මිශ්‍ර කොට යුවලගේ ශරීරයේ සහ ඇඳුම් වල ආලේප කරනවා. උත්සවයට පැමිණෙන සියලුම අය හල්දි ස්වල්පයක් ගෙන ආලේප කිරීමට යෙදෙනවා. සමේ වර්ණය වැඩි කිරීම සහ ශරීරය සුවඳවත් කිරීම මින් බලාපොරොත්තු වෙනවා.


ඉහත සගායි සිට හල්දි තෙක් චාරිත්‍ර ස්තෝත්‍රයක දක්වා නැති , ජනයා විසින් පාරම්පරිකව ඇති කරගත් චාරිත්‍ර වෙනවා.ඒවා පැවැත්වීමෙන් විවාහයක් සම්පුර්ණ වෙන්නෙ නෑ. හින්දු ශුභ විවාහයක් සම්පුර්ණ වීමට නම් අස්වල්‍යාන ගෘහ්‍ය ස්තොත්‍රයෙ සඳහන් චාරිත්‍ර තුනක් අවම වශයෙන් සිදු කල යුතුයි. එම චාරිත්‍ර තුන සිදු නොවන විවාහයක් සම්පූර්ණ හෝ ශුභ විවාහයක් වන්නෙ නෑ.මෙම චාරිත්‍ර තුන ඉටු වන්නෙ විවාහ උත්සවයේදීයි.

විවාහ/Vivah

විවාහ දිනයේදී මනාලයා මනාලියගෙ නිවසට සිය පිරිවර සමගින් මංගල රථයේ හෝ අශ්වයා පිටින් පැමිණෙනවා .මෙම පැමිණෙන පිරිස 'බාරාත්' නොහොත් මංගල පෙරහැර ලෙස හඳුන්වනවා.


මනාලි පාර්ශවය විසින් මනාල පාර්ශවය පිලිගැනීම 'ස්වාගතම්' ලෙස හැඳින්වෙනවා. ස්වාගතම් හිදී මනාලියගේ මව, මවගේ සහෝදරියක් හෝ නැන්දණිය මනාලයාගෙ කණ හෝ නාසය මිරිකීම ඇතැම් ප්‍රාන්ත වල සිදු කෙරෙනවා.විශේෂයෙන්ම පංජාබ් ප්‍රාන්තයේ එවන් විනෝදාත්මක චාරිත්‍ර ග්න බොහොම ප්‍රසිද්ධයි.




ස්වාගතම් වලින් පසු මනාලයා මන්ඩපයට (පෝරුව හා සමානයි) එළඹී මනාලිය එන තෙක් බලා සිටිනවා. මනාලයා ඵූල් චැහෙරා නොහොත් මල් ඔටුන්නෙන් සැරසී සිටිනවා.උතුරු ඉන්දියාවේ මනාලයා බොහෝ විට ශෙර්වානි එක සහ කලිසම අඳින අතර දකුණු ඉන්දීය මනාලයන් උඩුකය නිරුවත්ව වේට්ටිය හෝ ධෝතිය හෝ කුර්තාව සමග ධෝතිය ඇඳීම සිදු වෙනවා.
සුබ මොහොතට අනුව මනාලියගේ මෑණියන් විසින් මනාලියව මන්ඩපයට ගෙනවිත් මනාලයාගේ වම් පසින් වාඩි කරවනවා. මනාලිය රතු, තැඹිලි,කොල,රෝස වැණි තද වර්ණ වලින් යුත් සාරිය හෝ ලෙහෙඟා චෝලි හෝ ඝාග්රා චෝලි වලින් සැරසී හිස 'දුපට්ටා' (සළුව) වෙන් වසා සිටිනවා.


ඉන් පසු එළැඹෙන්නේ අණිවාර්‍යෙන්ම සිදු කලයුතු විවාහ චාරිත්‍ර තුනයි.එම චාරිත්‍ර නම්
1. කන්‍යාදාන්
2. පාණිග්‍රහන්
3. සප්තපේඩි
යන ඒවාය.

කන්‍යාදාන්



මනාලයගේ පියා විසින් මනාලයාගෙ දෑතත් මනාලියගේ පියා විසින් මනාලියගේ දෑතත් (පියා නොමැතිනම් අදාල පාර්ශවයේ වැඩිහිටි පිරිමියෙක්.බොහෝ විට වැඩිමහලු සහෝදරයා,මහප්පා,බාප්පා,මාමා ලෙස ...) ගෙන මනාලයාගෙ දෑත උඩින් මනාලියගේ දෑත තබා මනාලියගේ පියා විසින් මනාලියව මනාලයාට භාර දීමයි.මෙහිදී නොකඩවා පණ්ඩිත් විසින් ස්තෝත්‍ර සජ්ඣායනා කිරීම සිදු වෙනවා. ඇතැම් අවස්ථා වල කිරි හෝ පිරිසිදු ජලය යුවලගේ දෑතට වැඩීම සිදු කෙරෙනවා.
කන්‍යාදාන් අවස්තාවේ 'කාම-සුක්ත' හි සඳහන් දෙදෙනාගේ බැඳීමක් ඇතිවීම සම්බන්ධ පාඨයන් කියවීමක්ද සිදු වෙනවා.



පානිග්‍රහන්







පානිග්‍රහන් යනු මනාලිය විසින් මනාලයාගෙ දෑත අග්නි ශාක්ෂ්‍ය කරගෙන භාර ගෙන විවාහයේ ස්ථීරත්වය කෙරෙහි මුල් පියවර දැමීමයි.


සප්තපේඩි/සප්තපඩි - Sptapedi/Saptapadi




විවාහය ස්ථීර වීමට අත්‍යාවශ්‍යම චාරිත්‍රය මෙයයි.මෙය හත්වටය නොහොත් පියවර හත ලෙස හැඳින්වෙනවා. මනාලියගේ මව විසින් මනාලයාගේ සහ මනාලියගේ සලු දෙපොට එක්කොට ගැට දමා හෝ මනාලයාගේ දකුණත මනාලියගේ දකුණතින් ගෙන 'හවන් කුණ්ඩ්' නමින් හඳුන්වන ගිනි මැලය වටා දක්ෂිණාවෘතව සත් වාරයක් 'අග්නි ප්‍රදක්ෂණා' කිරීම මෙහිදී සිදු වෙනවා.එක් එක් ප්‍රාන්ත වල ගණනින් වෙනස් වුවත් මුල් වට හය හෝ හතර මනාලිය පෙරමුණ ගන්නා අතර අවසාන වටය හෝ වට තුන මනාලයා පෙරමුණ ගෙන වට හත සම්පූර්ණ කෙරෙනවා.එක් එක් වටයට දෙදෙනා විසින් සිතින් සිතිය යුතු පොරුන්දු හතක් තිබෙනවා.



බෙංගාලි ප්‍රාන්තයේ මෙය සිදුවන්නේ මනාලයා සිටගෙන සිටියදී මනාලියගේ සහෝදරයන් විසින් ඇයව මැස්සක තබා හෝ කරමත තබා ඔසවා ගෙන මනාලයා වටා සත් වටක් යෑමෙනි.මෙහිදි බෙංගාලි මනාලිය වට හත සම්පූර්ණ වනතෙක් බුලත් හෝ බෝ කොල දෙකකින් මුහුණ වසාගෙන සිටිනවා.




වට හත අවසාන වනතෙක් මන්ඩපය වටා සිටිනා නෑදෑ හිතමිතුරන් විසින් ගේන්ඩා (දහස් පෙති) , ගුලාබ් (රෝස) , චම්පා (පිච්ච ) වැනි මල් පෙති යුවල දෙසට ඉසිමින් ආශිර්වාද කෙරෙනවා.

බෙංගාලි ප්‍රාන්තයේ යුවල සත් වටය යද්දී ස්ත්‍රීන් දිවට ඇඟිල්ලෙන් ගසමින් ගිරිය යටින් කෑගෑසීමට සමාන ශබ්ධයක් නිකුත් කිරීමක් සිදු වෙනවා.

සප්තපේඩි අවසන් වීමෙන් විවාහය ස්ථීර වෙනවා. ඉන් පසු මනාලයා විසින් මනාලියගේ නලලත සින්දූර් ආලේප කිරීම සහ ගැට තුනක් යොදා මංගල සූත්‍රය පැළඳවීම සිදු කෙරෙනවා.සින්දූර් සහ මංගල සූත්‍රය යනු පතිනියගේ සංඛේතයි.
අලංකාර ලෙස තැණුන මංගල සූත්‍රයක් වෙනුවට කහ ගැල්වූ නූලක් පැළඳවීමත් මෙහිදී ප්‍රමාණවත්.





මනාලයාගේ දෑත් ගින්දරට ඉහලින් සිටින සේ තබා මනාලියගේ දෑත් ඊට ඉහලින් තබා මනාලියගේ සහෝදරයෙක් (බොහෝ විට බාලම සහෝදරයා) විසින් මනාලිය දෑතට හාල් දැමීමේ චාරිත්‍රයකුත් සිදු වෙනවා.



මෙය 'ලාජ හෝම' ලෙස හැඳින්වෙනවා.මෙම සහල් පහලින් ඇති ගින්නට වැටෙනවා.



ඇතැම් ප්‍රාන්ත වල වරමාලාව නොහොත් මලින් කෙරුණු මාලා හුවමාරු කිරීමත් සිදු වෙනවා.මෙහිදි මනාලයාට ඉහලින් මනාලිය එසවීම , මනාලියට ඉහලින් මනාලයා එසවීම වැනි විනෝදාත්මක චාරිත්‍රත් තිබෙනවා.

විවාහ උත්සව කටයුතු අවසානයේ මනාලිය මනාලයාගේ නිවසට යාමට පෙර මනාලියගේ ඉදිරිපසින් අල්ලාගෙන සිටින සහල් කුල්ලකින් සහල් ගෙන පිටුපස නොබලා හිසට ඉහලින් තුන් වතාවක් හාල් විසිකිරීම සිදු වෙනවා.



ඉන් ඇඟවෙන්නේ මින් ඉදිරියට ඔබේ නිවසේ ලක්ෂ්මිය වෙනත් නිවසකට ගියත් ඔබ පෙර සේම ධනයෙන් ආඩ්‍යව වෙසෙත්වා යන්නයි. මෙම සහල් මනාලියට පිටුපසින් සිටින මනාලියගේ නෑදෑ හිත මිත්‍රාදීන් හිසට වැටෙන ලෙස වීසි කරනවා.



මනාලිය මනාලයාගේ නිවසට එළැඹීමේදි මනාලයාගේ මව හෝ නැන්දන්නියක් විසින් හෝ වැඩිමහළු නෑදෑ ස්ත්‍රියක් විසින් (පුරුෂයා නොමල ) මනාලියට කපුරුදැල්ල සහිත පූජා තැටිය ආරාධනා කොට තිලකය තබා ඇයව පිලිගන්නවා. මනාලිය නිවසට ඇතුළු වන්නේ දොරකඩ තබා ඇති සහල් කලයේ ඇති සහල් නිවස තුලට වැටෙන ලෙස දකුණු පාදයෙන් එය තල්ලු කරමිනි. එයින් ලක්ෂ්මිය මින් ඉදිරියට මෙම නිවසට ඇතුළු වෙනවා සහ ධනය මෙම නිවසට රැගෙන එනවාය යන්න සංඛේතවත් කෙරෙනවා.


මෙහිදී සින්දූර් දිය කල තැටියක දෑත් තබා හෝ එවන් තැටියක දෙපා තබා නිවසට ඇතුළු වෙනවා. දෑත් තැබුවේ නම් එම දෑත යුවල වෙසෙන කාමරයේ දොරෙහි තැබීම සිදු කෙරෙනවා. පාද වල සින්දූර් ගැල්වෙන ලෙස ආවේ නම් පාවාඩයක් උඩ පා සටහන් සිටින ලෙස ඇවිදගෙන යාම සිදු වෙනවා.එයින් මින් ඉදිරියට මෙම නිවසේ නොමැකෙන ලෙස නව පතිනියගේ නාමය රැඳෙනවා යන්න සංඛේතවත් කෙරෙනවා.




උතුරු ඉදියාවේදී විවාහ චාරිත්‍රවලදී වෛශ්ණව සහ ලක්ෂ්මියට මුල් තැන දෙන අතර දකුණු ඉන්දියාවේ එහිත් විශේෂයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ ගණේෂ් ට මුල්තැන ලබා දෙනවා.

නොලියූ වෙනස් චාරිත්‍ර විධි ක්‍රම ගොඩාක් තිබෙන්න පුළුවන් .නමුත් ඒ සේරම ලිවීම ප්‍රායෝගිකව අපහසුයි.දැන් අදහසක් තිබෙන නිසා ඔබ විසින්ම ඒවා සොයා බලන්න.


ශාන්තාකාරම් භුජගශයනම් පද්මනාභම් සුරේෂම්
විශ්වාධාරම් ගගණ සදෘෂම් මේඝවර්ණම් ශුභාංගම්
ලක්ෂ්මි කාන්තම් කමල නයනම් යෝගිභිර් ධ්‍යාන ගම්‍යම්
වන්දේ විශ්ණුම් භව භයහරම් සර්ව ලෝකෛකනාතම් 🙏

..................................................

ශර්ව මංගල මාංගල්‍යේ
ශිවේ සර්වාර්ථ සාධිකේ
ශ්‍රණ්‍යේ ත්‍රයම්භකේ ගෞරී
නාරායනී නමොස්තුතේ 🙏

..........................

මංගලම් භගවාන් විශ්ණුම්
ගංගලම් ගරුනද්වජඃ
මංගලම් පුණ්ඩරී කාක්ෂාම්
මංගලාය තන්නෝහරී 🙏



🙏අමිල ආර්යන් 🙏










මනඃකල්පිත භාෂා



මනඃකල්පිත භාෂා කියන්නෙ මිනිස්සු හැබෑවටම පාවිච්චි කරන භාෂාවල් නෙමේ.සිනමා හෝ රූපවාහිනී නිර්මාණ සඳහා හෝ නවකතා සඳහා නිර්මාණය වුණ භාෂාවන් මනඃකල්පිත භාෂා ලෙස හඳුන්වන්න පුළුවන්.
ජනප්‍රිය සිනමා හා රූපවාහිනී නිර්මාණ කිහිපයක් වෙනුවෙන් නිර්මාණය වුණ මනඃකල්පිත භාෂා කිහිපයක් ගැනයි මේ.

1. පාර්සල්ටං/Parseltounge


මෙම භාෂාව නිර්මාණය වන්නේ සුප්‍රකට හැරීපොටර් නවකතා මාලාවෙන් නිර්මාණය වුණ හැරීපොටර් සිනමාපට මාලාව සඳහා Dr.Francis Nolan විසින්. සිනමාපට මාලාවේ සර්පයන් සහ සර්පයන් පාලනය කිරීම සඳහා මායාකරුවන් විසින් භාවිතා කරන්නේ මෙම භාෂාවයි. Harry Poter and the Chamber of Secrets හි හැරී විසින් නාගයෙක් මෙල්ල කරන්නේ මෙම භාෂාව භාවිතා කරමින්.

2. වලිරියන් /Valyrian


මෑතකදී අපට වලිරියන් භාෂාව අසන්න ලැබෙන්නෙ අතිෂය ජනප්‍රිය ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේය.එහෙත් මුලින්ම වලිරියන් භාෂා නිර්මාණය වන්නේ ආර්.ආර්.ටෝකීන්ස් ගේ ද ලොර්ඩ් ඔෆ් ද රිංස් කතා මාලාව උදෙසා 1930 දශකයේදීය.ඒ Middle earth වාසීන් විසින් භාවිතා කල භාෂාව ලෙසයි.එහෙත් එය හුදෙක් අක්ෂර සඳහා සීමා වුණා මිස සිනමාපට මාලාවේ එම භාෂාවෙන් කතාකරනු අපිට දකින්න ලැබුණෙ බොහොම අඩුවෙන්.ටෝකීන්ස් විසින් වලේරියන් (Valarian) ලෙස හැඳින්වූ භාෂාව මාර්ටීන් වෙත එනවිට වලිරියන් (Valyrian ) බවට පත්ව තිබුණා. මාර්ටීන් සිය ජනප්‍රිය ෆැන්ටසි නවකතා මාලාව වන A song of Ice and Fire වෙනුවෙන් වලිරියන් භාෂාව යොදාගත්තා.
GOT කතා මාලාව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වචන මාලාවක් සහ ව්‍යාකරණ සහිතව වලිරියන් භාෂාවක් නිර්මාණය වෙනවා. මෙය සිදුවන්නේ ජෝර්ජ් ආර්.ආර්.මාර්ටීන් සහ ඩේවිඩ් ජේ.පීටර්සන් අතින්. වලිරියන් යනු කතා මාලාවට අනුව මල භාෂාවක් වුවත් උසස් වංශවතුන් අතර භාවිතා වන භාෂාවක්.මේ වන විට අන්තර්ජාලය හරහා වලිරියන් හදාරන්නන්ද බිහිකී තිබෙනවා.
My name is Amila Aryan

"“valar morghulis,” vestas.
“valar dohaeris,” ..."

Brōzio ñuha iksis amila aryan



3. ඩොත්රාකි/Dothraki



                                       (George R.R.Martin )
ඩොත්රාකි ද GOT වෙනුවෙන් ජෝර්ජ් ආර්.ආර්.මාර්ටීන් සහ ඩේවිඩ් ජේ.පීටර්සන් අතින් නිර්මාණය වූ භාෂාවක්.ඩෙනේරිස් ටාගේරියන් සහ ඇය යටතේ සිටින ඩොත්රාකි ගෝත්‍රිකයන් භාවිතා කරන්නේ මෙම භාෂාවයි.වලිරියන් මෙන්ම ඩොත්රාකි ද සම්පූර්ණ වචන මාලාවක් සහ ව්‍යාකරණ සහිත භාෂාවක් ලෙස නිර්මාණය වී තිබෙනවා.

My name is Amila Aryan
Anna hake ajjin amila aryan


4. මිනියනීස්/Minionese


මිනියන්ස් ඇනිමේෂන් කතාමාලාව වෙනුවෙන් නිර්මාණය වූ භාෂාවකි මිනියනීස්. ඉංග්‍රීසි භාෂාවේ ඇතැම් වචන වෙනස් අකුරු යොදා ගනිමින් බෙහෙවින්ම මෙම භාෂාව නිර්මාණය වී තිබෙනවා. උදා. ඇප්ල් වෙනුවට බැප්ල් ලෙස.

My name is Amila Aryan
Mi nomba tis amila aryan

5. එල්විෂ්/Elvish 

මනඃකල්පිත භාෂාවන් ලොවට වැඩි වශයෙන්ම හඳුන්වා දී තිබෙන්නේ ආර්.ආර්.ටෝකීන් විසිනි.


                                                     (R.R Tolkein)
එල්විෂ් යනු ඔහු විසින් එසේ හඳුන්වා දුන් තවත් එක් භෂා පවුලක්. හොබිට්ස් සහ ද ලොර්ඩ් ඔෆ් ද රිංස් නවකතා මාලාව වෙනුවෙන් ඔහු එල්විෂ් භාෂා පවුලේ විවිධ භාෂාවන් යොදා ගත්තා.

• Quenya
• Exilic Quenya
• Sindarin
• Telerin
• Nandorin
• Avarin

යනු එල්විෂ් භාෂා පවුලේ භාෂාවන් ය.
ටෝකීන්ස් විසින් නිර්මාණය වුණු මෙම එල්විෂ් භාෂාවන් පසු කලෙක වෙනත් වෙනත් පුද්ගලයන් විසින් වචන, ව්‍යාකරණ සහ නව භාෂාවන් එක් කරමින් වර්ධනය වී තිබෙනවා.

• Eleven
• Ellylon
• Hen linge
• Eltharin
• Sperethiel
• Gnommish
• Mer
• Shiväisith
• Övüsi

එවන් පසුව වර්ධනය වූ භාෂාවන් කිහිපයක්.එල්විෂ් භාෂාවන් නිර්මාණය සඳහා ලතින්,ස්පාඤ්ඤ ,ජර්මානු,වෙල්ෂ් භාෂා වල ෂබ්ධ සහ වචන ණයට ගෙන තිබෙනවා.
ටෝකීන් ගේ කෘතීන් හි එල්විෂ් භාෂා සහ වැල්රියන් භාෂා ලියවෙන්නේ Tengwar සහ Cirth අක්ෂර මාලාව උපයෝගී කරගෙනයි.
බලමුදුවේ පිටත සහ ඇතුළත දකින්න ලැබෙන වැල් අකුරු මෙන් පෙනෙන අමුතු අක්ෂර Tengwar අක්ෂරයි.


මෙය ටෝකීන් ගේ විශෙව්ෂත්වයක්. මෙම ලිපියේ සඳහන් වන අනෙක් මනඃකල්පිත භාෂා සියල්ලම ලියවෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර සහ සංඛෙත භාවිතයෙන් වුවත් ටෝකීන් විසින් නිර්මාණය වුණ භාෂාවන් වෙනුවෙන් වෙනම අක්ෂර මාලාවක්ද නිර්මාණය වී තිබෙනවා.ටෝකීන් මොන ජාතියේ මිනිහෙක්ද කියලා හිතන්න ඒකම මදිද!

6. හටීස්/Huttese

හටීස් භාෂාව නිර්මාණය වන්නේ ස්ටාර් වෝර කතා මාලාව වෙනුවෙනුයි.එහි සිටින 'හට්' වරුන් යටතේ පාලනය වන ග්‍රහලෝක වාසීන් භාවිතා කරන්නේ හටීස් භාෂාවයි.


7.මංගානි/Mangani

මංගානි භාෂාව නිර්මාණය වන්නේ එඩ්ගාර් රයිස් බරොස් විසින් ලියවුන ටාර්සන් කතාමාලාව වෙනුවෙනි.එහි වානරයන් වහරන භාෂාව මංගානි භාෂාව වේ.

8. නිව්ස්පීක්/Newspeak


ජෝර්ජ් ඕවෙල් විසින් 1949 දී රචිත The Ninteen Eighty Four නවකතාවේ එන ඕෂනියාහි භාවිතා වන භාෂාව නිව්ස්පීක් වේ.

9. නා'වි/Na'vi 

Paul Prommer විසින් නා'වි භාෂාව නිර්මාණය කරන්නේ 2009 අතිෂය ජනප්‍රිය සිනමා නිර්මාණයක් වූ ඇවටාර් හි එන පැන්ඩෝරා වාසීන්ගේ භාෂාව ලෙසයි.

I am Amila Aryan
Tutee amila aryan


10. ක්ලින්ගන්/Klingon

Star Trek කතා මාලාවේ star trek universe හි භාෂාව වන්නේ ක්ලින්ගන් භාෂාවයි.

තව විවිධ නවකතා සහ සිනමා හෝ ටෙලි නිර්මාණ වෙනුවෙන්ම නිර්මාණය වූ භාෂාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා.හොයලා බලන්න.

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters