⚖️ Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට......23 - " DNA - සහෝදර ප්‍රේමය"







කෙනී වෝටර්ස් සහ බෙටී ඈන් කියන්නෙ අයියයි නංගියි, දරුවො නව දෙනෙක්ගෙන් යුත් පවුලක මේ අයියයි නංගියි අනිත් අය අතරෙ නොපැවතුණු ආකාරයේ සහෝදර ප්‍රේමයකින් යුත් දෙන්නෙක්. දෙන්නගෙන් එක්කෙනෙක්ට කරදරයක් වුණහොත් අනෙකාට ඉවසිය නොහැකි වුණා.
මේගොල්ලො ජීවත් වුනේ එක්සත් ජනපදයේ මැසචුසෙට් ප්‍රාන්තයේ අයර් කියන ප්‍රදේශයේ.

1980 වෙනකොට බෙටී ඈන් සහ කෙනී වෝටර්ස් දිවියේ විසිවන දශකය පසුකරමින් සිටියා. මේ කාලෙ කෙනී වෝටර්ස් අයර් හි ආපනශාලාවක කෝකියෙක් ලෙස සේවය කරන අතරෙ සිය පෙම්වතිය එක්ක එක නිවසක වාසය කලා.

අවාසනාවන්ත සිදුවීමක්

1980 මැයි 21 දින උදෑසන 10:45 ට කැතරිනා රීට්ස් බ්‍රොව්ස් ඇගේ නිවසේ මරා දමා ඇගේ නිවස කොල්ල කා තිබුණා.

කැතරිනා ජීවත් වුනේ කෙනී සහ ඔහුගේ පෙම්වතිය වූ බ්‍රෙන්ඩා මාෂල් ජීවත් වූ නිවසට නොදුරෙන්.ඒ වගේම මිය ගිය කැතරිනා කෙනී සේවය කල ආපන ශාලාවේ හොඳම ගණුදෙණුකාරියන්ගෙන් කෙනෙක්. ඈ සතුව වටිනා කියන දෑ තිබුණු බව අවන්හල් සේවකයන්ට නොරහසක් වූ බව කියවෙනවා.

පොලිසිය විසින් සිදු කල පරීක්ෂණ වලදී කෙස් ගස්,ඇඟිලි සළකුණු ආදිය සටහන් කරගත් අතර මරණය සිදුකල ආයුධය ලෙස සැක කල පිහියක් කුණු දමන භාජනයේ තිබී සොයා ගත්තා.

මේ අතර පොලිසිය කෙනීගෙන් ප්‍රශ්න කිරීමට යෙදුනා. ඔහුගේ ප්‍රකාශය සහ සාක්ෂි අනුව මරණය සිදු වුන උදෑසන 8.30 වන තෙක් කෙනී සේවයේ යෙදී සිට තිබෙන අතර ඔහුගේ මිතුරෙක් විසින් මිතුරාගේ රථයේ නිවසට ඇරලවා තිබෙණවා. ඉන් පසුව වහා ඇඳුම් මාරුකරගත් කෙනී වෙනත් නඩුකටයුත්තක් සඳහා අයර් අධිකරණයට උදෑසන 9.00 වන විට වාර්තා කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයානුව ඔහු අධිකරණයෙන් පිටව තිබෙන්නේ එදින දහවල් 12.30 ට. පොලිසිය විසින් කෙනීගේ ඇඟිලි සළකුණු ආදිය සටහන් කරගෙන ඔහුව නිදහස් කලා.

මිනීමැරුම නොවිසඳුණු අභිරහසක් ලෙස දෑවුරුද්දක් විවෘතව තිබුණා.

1982 ඔක්තෝබර්

1982 ඔක්තොබර් මාසයේ රොබර්ට් ඔස්බෝර්න් නම් අයෙක් අයර් පොලිසිය වෙත පැමිණෙනවා.මොහු කෙනීගෙ පෙර පෙම්වතිය වූ බ්‍රෙන්ඩා මාෂල්ගෙ වර්තමාන පෙම්වතා වුණා.ඔහු පොලිසියට කියා සිටින්නේ මුදල් ලබා දෙන්නේ නම් කැතරිනාගේ මරණය සිදු කල තැනැත්තා පිලිබඳව ඔත්තුවක් ලබා දිය හැකි බවයි.පොලිසිය විසින් මුදල් ලබා දුන්නෙද නැද්ද යන්න ප්‍රසිද්ධ නොවුවත් රොබර්ට් කියා සිටින්නේ බ්‍රෙන්ඩා ඔහු සමග පවසා සිටි ආකාරයට ඇය කෙනී සමග සිටි කාලයේ ඔහු කාන්තාවක් මරා දැමූ බවට ඇය සමග පාපොච්චාරණය කර තිබෙන බවයි. පොලිසිය මේ පිලිබඳව බ්‍රෙන්ඩාගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය මුලින් එය අසත්‍යක් බව ප්‍රකාශ කර සිට්නවා.පොලිසිය විසින් ඇයව , මිනීමරුවෙකුට සහාය දීම යටතේ හිරේ දමන බවත් ඇගේ දරුවන් ඇගෙන් වෙන් කරන බවත් පවසා දිගින් දිගටම බල කිරීමේදි ඇය පවසා සිටිනවා කෙනී එක් දිනක් උදෑසනක ලෙයින් පිරි කමිසයක් ඇඳන් පැමිණි අතර මුහුණේ කැපුම් තුවාලයක්ද තිබුණු බව.
පොලිසිය විසින් කෙනීගේ තවත් පෙර පෙම්වතියක් වූ රොසෑනා පෙරී සොයාගෙන ඇගෙන්ද ප්‍රශ්න කිරීම් සිදු කලා.ඇයද මුලින් කිසිවක් පැවසුවද පොලිසියෙ තර්ජන හමුවේ අවසන කියා සිටියේ කෙනී විසින් කාන්තාවකට අයත් මුදල් හා ආභරණ සොරා ගැනීමක් සම්බන්ධව තමා සමග පැවසූ බවයි.

මෙම ප්‍රකාශ පදනම් කරගෙන අයර් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නැවත වතාවක් කෙනීව අතඩංගුවට ගනු ලැබෙනවා.


නඩුව

මරණය සිදූවී වසර තුනකට පසුව 1983 මැයි මාසෙ කෙනීට විරුදුව නඩුව අයර් අධිකරණයේ ඇසෙනවා.
මරණය සිදු වූ ස්ථානයෙන් හමු වූ ඇඟිලි සළකුණු කෙනී සමග නොසැසඳුනත් පොලිසිය විසින් ඒ පිළිබඳව පැමිණිල්ල මෙහෙය වූ Assistant District Attorney වරියට වාර්තා කර සිටින්නේ නෑ .තවද අධිකරණ වෛද්‍ය මතයට අනුව මරණය සිදුවූ තැනින් සොයාගත් කෙස් සාම්පල :විශේෂයෙන්ම මරණකාරියගේ අතේ රැඳී තිබුණු කෙස් කෙනීගේ හිස කෙස් වලට සමාන වූනේ නෑ.
එහෙත් දෛවෝපගත සිදුවීමක් ලෙස කෙනීගේ ලේ වර්ගය සහ මරණය සිදු වුන ස්ථානයෙන් සොයා ගත් මරණකාරියගේ ලේ හැර වෙනත් ලේ සාම්පල වල වර්ගයට සමාන වුනා.

කෙනීගේ පෙර පෙම්වතියන්ගේ සාක්ෂි ද ජූරිය ඉදිරියේ ඉදිරිපත් වුණා.

තීන්දුව

නඩු විභාගය අවසානයේ ජූරිය විසින්

1.කැතරීන් බ්‍රොව් ව මරා දැමීම (1st digree )
සහ
2.ඇගේ වත්කම් සොරා ගැනීම

යන අධි චෝදනා දෙකටම කෙනී වරදකරු බව ඒකමතිකව තීන්දු කරනවා. ඒ අනුව කෙනීට මැසචුසෙට් නීතිය අනුව ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් නියම කරනවා.

ඊලඟ කෑල්ල වඩා රසවත්
කෙනීට සිදුවූ අකරතැබ්බය ඔහුගේ ආදරණීය නැගණිය බෙටී ඈන්ට දරාගත නොහැක්කක් වුණා. කෙතරම් සෙල්ලක්කාර වැඩ කලත් කෙනී යනු මිනී මැරුමකට සම්බන්ධ නොවන අයෙක් බව ඇය ඉර හඳ පායන්නාක් මෙන් විශ්වාස කලා.ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නීතිවේදීන්ගේ සහයක් ලබා ගැනීමට ඇයට අපහසු වුණා.

අවසන ඇය තීරණයක් ගන්නවා.මොකක්ද?
ඇය තීරණය කරනවා නීතිය හදාරන්න. වහා ක්‍රියාත්මක වන ඇය මැසචුසෙට් හි නීති විද්‍යාලයකට ඉල්ලුම් කොට නීතිය හදාරණවා.වසර දහතුනකට පසුව ඇය මැසචුසෙට් ප්‍රාන්තයේ නීතීවේදිනියක් ලෙස දිවුරුම් දෙනවා. මේ වන විට ඇය දැනුවත්වී සිටිනවා 90 දශකයේ එක්සත් ජනපදයේ හා මැසචුසෙට් ප්‍රාන්තයේ විභාග වූ වැදගත් නඩු තීන්දු ගැන.එම නඩු තීන්දු වලින් ඇය ඉගෙනගත් එක් වැදගත්ම කාරණාවක් යනු DNA පරීක්ෂණයයි. DNA පරීක්ෂණ යනු කෙනීට දඬුවම් නියම වූ කාලයේ අධිකරණය විසින් නොපිලිගත් එහෙත් 80 දශකයේ අග හෝ 90 දශකයේ මුල සිට අධිකරණය විසින් පිලිගැනීමට යෙදුනු පරීක්ෂණයක්.ඇය කල්පනාකරනවා ඇගේ සොහොයුරා බේරා ගැනීමට DNA පරීක්ෂණයක් තරම් දෙයක් නැති බව.ඒ අනුව කල සොයා බැලීම් වලදී ඇය සොයා ගන්නවා Innocence project නමින් :එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ නීතිවේදියෙක් විසින් පවත්වාගෙන ගිය වැඩසටහනක් පිලිබඳව.එම වැඩසටහනින් DNA පරීක්ෂණ සිදුකොට නිවැරැද්දේ වරද කරුවන් වුන අය බේරා ගැනීමට කටයුතු කලා.බෙටී ඔවුන් සමග සම්බන්ධ වන්නේ ඉන් පසුවයි. ඊ ලඟට ඇය මුහුණ දුන් ප්‍රශ්ණය මරණකාරියගේ ලේ සාම්පල රැගත් සාක්ෂි සොයා ගැනීමයි. ඒ 1999 වසර වුණා. කෙනී ගේ නඩුකටයුත්ත අවසාන වී වසර 16ක් ගතවී තිබුණා. සාකිෂි පිලිබඳ මූලික සොයා බැලීම් වලදී ඒවා වසර දහයකට වඩා පැරණි බැවින් විනාශ කර දමා ඇති බව District Attorny's Office මගින් දන්වා සිටිනවා.එහෙත් බෙටී ඇගේ උත්සාහය අත් හරින්නේ නෑ. කෙනීගේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නීතිවේදිනිය ඒ වනවිට DA දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරක් දරනු ලැබුවා.(එක්සත් ජනපදය නීති පද්ධතියට අනුව එය අධිකරණමය දිස්ත්‍රික්ක වලට බෙදා තිබෙන අතර DA යනු එම අධිකරණ දිස්ත්‍රික්කයක ප්‍රධානියා වේ.ලංකාවේ නියෝජ්‍ය නීතිපති හා සමාන නිලබලයෙන් යුත් තනතුරකි.ඒ ඒ අධිකරණ දිස්ත්‍රික්ක වල රජය වෙනුවෙන් නඩු මෙහෙයවන්නේ DA දෙපාර්තමේන්තුව විසිනි) බෙටී මෙම නීතිවේදිනිය හමුවී ඇගේ උපකාර ඉල්ලා සිටිනවා.අවසන ඔවුන් සොයා ගන්නේ කෙනී වෝටර්ස් ගේ නඩුවට අදාලව විනාශ නොකල සාක්ෂි තිබෙන බවත් ඒ අතරේ මරණය සිදුවුන ස්ථානයෙන් සොයාගත් මරණය සිදු කලා යැයි සැක කරන තැනැත්තාගේ ලේ සාම්පල සහිත සාක්ෂි තිබෙන බවත් ය.
වහා ක්‍රියාත්මක වන බෙටී නිසි ක්‍රමවේද අනුගමනය කොට එම සාම්පල ලබාගෙන innocence project හරහා ඒවා පරීක්ෂා කරවන්න රජයේ පරීක්ෂණාගාරයකට ලබා දෙනවා .එහෙත් දිනෙන් දින කල් යන පරීක්ෂණ හමුවේ ඇයත්, innocence project හි සාමාජිකයනුත් Middlesex County District Attorney's Office (county යනු ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කයකට සමානයි) සමග එකඟතාවයකට එළඹෙනවා පෞද්ගලික රසායනාගාරයකින් DNA පරීක්ෂාව සිදු කර ගැනීමට.කෙනීගෙන් ලබා ගන්නා ලේ සාම්පල සමග සාක්ෂි වලින් ලබාගත් ලේ සාම්පල සැසඳුවා.
අවසන් වාර්තාවේ : සාක්ෂි වල අඩංගු ලේ සාම්පල වල DNA කෙනී වෝටර්ස් ගේ ලේ සාම්පල වල DNA සමග නොසැසඳෙන බව සටහන් වුණා.
තවද මුල් නඩුවේ කෙනීට විරුද්ධව සාක්ෂිලබාදුන් තැනැත්තියන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් : පොලිසියේ අනිසි බලපෑම මත ඔවුන් කෙනීට විරුද්ධව සාක්ෂි ලබා දුන් බව පවසා සිටිනවා.

තීන්දුව
අවසන අධිකරණය විසින් වසර 18කට පසුව කෙනී වෝටර්ස් ව තාවකාලිකව නිදහස් කරනවා.

ඉන් පසුව
Middlesex County DA's office නැවත වතාවක් පරීක්ෂණ ආරම්භ කරන්නේ කෙනී ඇත්‍ත වශයෙන්ම නිර්දෝශද තහවුරු කොට එසේ නොවුණහොත් නැවත ඔහුට දඬුවම් ලබා දීමටයි. මෙවර පරීක්ෂණ මැසචුසෙට් ප්‍රාන්ත පොලිසිය විසින් මෙහෙයවූවා.එම පරීක්ෂණ වලදී ඔවුන් සොයා ගනු ලබනවා අයර් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නඩු ගොනු කිරීම ඉතාම අකාර්යක්ෂමව සිදුකර ඇති බව. මරණය සිදු වූ දින කෙනීගේ රාජකාරි සටහන් සහ ඇඟිලි සළකුණු නොසැසඳීම් වාර්තා අධිකරණය හමුවේ මුල් නඩුවේදී වාර්තා කර නොමැති බව. ඒ අනුව DA's office විසින් කෙනී වෝටර්ස් ට කෙරුණු සියලු චෝදනා ඉවත් කර ඔහු නිදහස් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම හේතුකරගෙන කෙනී වෝටර්ස් ඔහුට එල්ල වුන චෝදනා දෙක සම්බන්ධයෙන් සදහටම නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කරනවා.



තීන්දුවෙන් පසුව

වසර 18කට පසුව නිදහස් ලෝකයට පා තබන කෙනී වෝටර්ස් නිදහසින් මාස හයකට පසුව වයස 47 දී රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස මිය යනවා.එහෙත් බෙටී ඈන් පවසා සිටියේ ඔහු ඔහුගේ දිවියේ හොඳම මාස හය නිදහසේ ගත කොට මියගිය බවයි.

2009 : කෙනී නිදහස් ව සහ මියගොස් වසර 8කට පසුව බෙටී ඈන් විසින් අයර් සිවිල් අධිකරණයේ ;අයර් පොලිස් දෙපාර්තමේන්තුව,අයර් ප්‍රාදේශීය බලධාරීන් සහ හිටපු අයර් පොලිස් නිලධාරිනී නැන්සි ටේලර් ට විරුද්ධව නඩුවක් ගොනු කරන අතර එය ජය ගැනීමෙන් විශාල වන්දි මුදලක් ඇයට ගෙවීමට අධිකරණයෙන් නියම කරනවා. මෙහිදී අයර් පොලිසියේ නිලධාරිනියක් වූ නැන්සි ටේලර් ගේ අත්තනෝමති ක්‍රියා කලාපයන් හේතුවෙන් සියලු අකටයුතු කම් සිදු වී තිබුණු බව පරීක්ෂණ වලදී හෙලිවී තිබුණා. එහෙත් මැසචුසෙට් ප්‍රාන්තයේ Statute of Limitations නීතියෙන් ඇයට ලැබී තිබුණු විනිර්මුක්තිය නිසා ඇයට විරුද්ධව අපරාධ නඩු ගොනු කිරීමේ හැකියාවක් තිබුණේ නෑ.
මෙම නඩුකටයුතු දෙක නිසාම බෙටී ඈන් දැන් ප්‍රසිද්ධ නීතිවේදිනියක් වුවද ඇය අධිකරණයේ පෙනී සිටිමින් නඩු කතා කිරීමේ නොයෙදුනත් දිගටම Innocence Project සමග වැඩ කටයුතු කරනවා.

කැතරීන් බ්‍රොව්ස් ගේ ඝාතකයා කවුරුන්ද යනු මේ වන තෙක් නොවිසඳුණු අභිරහසක්.

• 1989 න් පසුව එක්සත් ජනපදයේ අපරාධ නඩු කටයුතු 254 ක් නැවත විභාග කෙරුනේ DNA පරීක්ෂණ මත පදනම්වයි.

• 2010 දි ;ඔස්කාර් සම්මාන ලාභී හොලිවුඩ් ,ජනප්‍රිය නිලි හිලරි ස්වැන්ක් බෙටී ඈන් ලෙස රංගනයෙන් දායක වුණු, 'Conviction' සිනමාපටය නිර්මාණය වන්නේ මෙම සිදුවීම ඇසුරිණි.




- The Court is adjourned -

අමිල ආර්යන්......✒️







No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters