"දැක්කොත් පද්මාවතී
ආලේ නොකරා බැරී"
- අලව්දීන් කිජ්ලි -
පද්මාවත් යනු 1540 දී පමණ සුෆී කවියෙකු වුණ මලික් මුහම්මද් ජයාසි විසින් මුලින් පර්සියානු නැස්ටලික් අක්ෂර භාවිතයෙන් රචිත හා පසුව ඉන්දීය භාෂාවක් වන අවධි භාෂාවෙන් රචිත වීර කාව්‍ය සම්ප්‍රදායට අයත් කාව්‍යක්.(අවධි බස නම් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අවද් නැතහොත් අයෝධ්‍යා හි බසයි).දේවනාගරී අක්ෂර භාවිත යෙන් අවධි බසින් රචිත පැරණිම ලේඛණයක් ලෙස "පද්මාවත්" කාව්‍යයට විශාල වැදගත් කමක් හිමි වෙනව
පද්මාවත් හි අන්තර්ගත වන්නේ "මේවාර්" මහ රැජිණ ; පද්මාවතී ගේ කතාවයි..කවුද පද්මාවතී?
පද්මාවතී කියන්නෙ සත්‍යයත් පරිකල්පනයත් අතර දෝලනය වන චරිතයක්....
මලික් මුහම්මද් විසින් රචිත පද්මාවතී වීර කාව්‍යයට අනුව පද්මාවතී යනු එකල (14 වන සියවසේ) සිංහල දීපයේ රජු ගාන්ධර්ව්සේන් සහ චම්පාවතී බිසව ගේ දියණියයි....බොහෝමයක් වීර කාව්‍යයන්හි කාන්තාවන් වර්ණනා කර ඇති ආකාරයටම මෙම වීර කාව්‍යයෙත් පද්මාවතීව වර්ණනා කර තිබෙන්නෙ සකල ලෝකයේම සිටින රූපත් ලලනාවන්ගෙන් අග තැන්පත් ලලනාව ලෙසිනි....(ඔය ලලනාවන් සියල්ලම ඒ කියන්නෙ හෙලන්,පෙනිලොප්,සීතා,ද්‍රෞපදී,පද්මාවතී,පෝර්ෂියා ... කට්ටියම එකම කාලෙ හිටිය නම් සෙට් එකම එක්කහු කරලා ලෝක රූ රැජිණ නැත්තම් විශ්ව රූ රැජිණ වගේ මොකක් හරි එකක් තියලා ඒ අය අතරිනුත් ලස්සන කෙනා තෝරන්න තිබුණා නේද 😅😂නැත්තම් මේවා කියවන අපි අමාරුවෙ වැටෙනවා කවුද සකල ලෝක සුන්දරී කියලා)
හරි ආපහු කතාවට.
උම්මග්ග ජාතකයෙ හිටිය ගිරවා වගේ මේ පද්මාවතී ලඟත් හිටියා බොහොම බුද්ධිමත් කතා කරන ගිරවෙක්.මම ෆෝන් එකේ හරි ලැප් එකේ හරි එල්ලිලා ඉන්නකොට අපේ අම්මට පෙන්නන්න බෑ වගේ පද්මාවතී ගිරවා එක්කම දවසෙම කදේ දාං ඉද්දි ගාන්ධර්වසේන් ට තරහ ගිහින් ගිරවාව මරන්න නියෝග කරාලු. මේ නියෝගය අහපු පද්මාවතී ගිරවාට යන්න ඇරියා.මේ ගිරවා පියාඹලා ගිහින් තියෙන්නෙ සුලුපටු දුරක් නෙමේ..ඒ රාජස්තාන්වල චිත්තෝර්ඝඩ් වෙනකල්ම. ඉන්දියාවෙ රාජස්ථාන් හි බලවත්ම හා ආරක්ෂිතම රාජධානිය වූ චිත්තෝර් හි රජු වූ රාජ්පුත් වංශික "රතන්සේන් " (රාවල් රතන් සිං) ට මැය ගේ වර්ණනාව දැනගන්නට ලැබෙන්නෙ දඩයක් කාරයෙක් විසින් අල්ලගෙන ආපු මෙන්න මේ අපූරු ගිරවගෙන්...මේ වර්ණනාව හේතුකොට ගෙන ආලයෙන් මත් වුණ රතන්සේන්, සිංහල දීපයට ගොස් පද්මාවතී පිළිබඳ විවාහ යෝජනාව කරනවා..මේත් එක්කම ඔහුගේ සරඹ දක්වන ස්ථානයට පද්මාවතීට එන ලෙස ගිරවා අතේ පවසා යවනවා.නමුත් තරමක් අහංකාර පද්මාවතී එය ප්‍රතික්ෂේප කරන අතර මුලින් සිය දිවි හානි කරගැනීමට තැත් කල රතන්සේන් පසුව ගනේධර්වසේන්ගේ බලකොටුවට පහර දෙනවා.නමුත් ගාන්ධර්වසේන් සමත් වෙනවා රතන්සේන්ව ජීවග්‍රහයෙන් අල්ලා ගන්න.රතන්සේන්ට මරණ දඬුවම පැමිණවීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ පිරිසෙන් කෙනෙක් රතන්සේන් කවුද යන්න ගාන්ධර්වසේන් ට පැවසූයෙන් ඊට පැහැදී ඔහු සිය දියණියව රතන්සේන්ට විවාහ කොට දෙනවාට ( අපේ මංගල පෝරුවේ ඉතිහාසය සම්බන්ධ තියෙන ජනප්‍රවාද වලින් එකක් තමයි මේ අවස්ථාවේ යොදා ගත් මගුල් මණ්ඩපය) අමතරව පිරිවර ලෙස "පද්මිණී" කුලයේ කාන්තාවන් (සිංහල දීපයේ පමණක් සිටියායැයි කියන උසස්ම කාන්තා කුලය ) රැසක් සූදානම් කරනවා.
ජයග්‍රාහී ලෙස රතන්සේන් ඇය ආවාහ කරගෙන නැවත ඉන්දියාවට පැමිණෙනව...නමුත් මේ වන විටත් රතන්සේන් ට "නාගමතී" නම් අග බිසවක් සිටියා.මුල් කාලයේ නාගමතී සහ පද්මාවතී අතර අරගල ඇති වුණත් පසුව දෙදෙනා සමගි කරවීමට රතන්සේන් සමත්වූ බවත් පද්මාවත් හි පැවසෙනවා.
මේ අතර සිය අමාත්‍ය මණ්ඩලයේ සිටි බ්‍රාහ්මණයෙක් වන "රාඝව් චේතන්ව" රතන්සේන් පිටුවාසල් කරනවා.මේ අවස්තාවේ කාරුණික වූ පද්මාවතී ත්‍යාගයක් ලෙස රාඝව්ට සිය වළල්ලක් ලබා දෙනවා. චිත්තෝර් වලින් පලා යන රාඝව් දිල්ලි රාජධානියෙ රජු වූ, රතන් සිං ගේ පරම සතුරා වූද "අලව්දීන් කිජ්ලී" සමග එකතු වෙනවා....
මේ අලව්දීන් ඉතාම කෲර, මිනී මරු පාලකයෙක් ලෙස වීර කාව්‍යයෙ දක්වා තිබෙනවා...ඔහු මුස්ලිමුන් රැසක් මරා ඔවුන්ගේ භාර්‍යාවන් දිනපතා දූෂණය කළ නරුමයෙක් යැයි පැවසෙනවා....එමුතුදු නොව පුරුෂ ලිංගික ඇසුරටද බරපතලව පුරුදුව සිටි ඔහු සිය කලු ජාතික වහලුන් සමග එසේ හැසිරුණ බවත් විස්තර වෙනවා.
රාඝව්ගේ අතේ තිබුණු කාන්තා වළල්ල ගැන විස්තර ඇසූ අලව්දීන්ට ඔහුගෙන් පද්මාවතී ගේ සුන්දරත්වය අසා වසඟව ඇය දිනා ගැනීමට රතන්සේන් සමග යුධ වැදීමට සූදානම් ව චිත්තෝර්ඝඩ් මාළිගයට යනවා.මේ අවස්තාවේ රතන්සේන් යුද්ධයට සූදානම් නොවූවා සේම බැලූ බැල්මට පෙනෙන චිත්තෝර්ඝඩ් මාලිගයේ ආරක්ෂාව දුටු අලව්දීන්ද තරමක් යුද්ධයට අදිමදි කල බව පැවසෙනවා.දෙපාර්ශවයේ සාකච්ඡා වලින් අනතුරුව පද්මාවතී බිසව දැකීමට ලැබුණහොත් යුධ නොවදින බැවු පවසන නිසා, යුද්ධයකට සූදනම් නැතිව සිටි රතන්සේන් සිය උපදේශකයන් වන "ගෝරා" සහ "බාදල්" ගේ කීමද නොඅසා , කැඩපත් පිළිබිඹුවකින් පද්මාවතී ගේ රුව අලව්දීන් ට දැකීමට සළස්වනවා...ඒ රුව දැක අලව්දීන්, සීතා දුටු රාවණා මෙන් ....හෙලන් දුටු පැරීස් මෙන්....පෙනිලෝප් දුටු ඔඩිසි මෙන් වසඟව කෙසේ හෝ ඇය දිනා ගැනීමට ඉටා ගන්නවා...
පොරොන්දු ප්‍රකාරව යුධය අත් හැර නැවත යන විට රතන්සේන් අලව්දීන් පසු ගමන් ගන්නවා...මාළිගයේ ද්වාරය අසලදී අලව්දින් සහ පිරිස විසින් රතන්සේන් ව පැහැරගෙන ගොස්.....ඔහුව නැවත ලබා දීමට නම් පද්මාවතී තමා වෙතට පැමිණිය යුතුයැයි පවසා ආඥාවක් පිටත් කරනවා....
පසුව ගෝරා සහ බාදල් දිල්ලි බලකොටුවට රහසින් පිවිස රතන්සේන් මුදවාගෙන.පැමිණෙන විට ලද ප්‍රහාරයෙන් ගෝරා මිය යන අතර බාදල් රතන්සේනවත් රැගෙන චිත්තෝර්ඝඩ් වෙත පැමිණෙනවා.
රතන්සේන් මාළිගයෙන් පැහැරගෙන ගිය පසු , කුම්බල්නේර් (මෙය වත්මනෙහි කුම්බල්ගඩ් ලෙස හඳුන්වන රාජධානියද නොදනිමි) හි පාලකයා වන දේව්පාල් පද්මාවතී බිසවට තමා හා විවාහ වන ලෙස යෝජනාවක් කල බව අසා කෝප වන රතන්සේන් ඔහු හා යුධ වැද දෙදෙනාම දෙදෙනා අතින් මිය යනවා..
බාදල් හා රතන්සේන් පසුපස හඹා ආ අලව්දින් ඛිජ්ලි චිත්තෝර්ඝඩ් මාළිගය වටලන අතර රාණි පද්මාවතී සහ නාගමතී සිය පිරිවර කාන්තාවන් සමග ගින්නට පැණ දිවි පූජා කරනවා.
අවසන අලව්දීන් ට හිමි වන්නෙ මලසිරුරු හා අලු පමණක් ඉතිරි චිත්තෝර්ඝඩ් මාළිගයයි...
මේ සැකෙවින් පද්මාවතයි...
මලික් මුහම්මද්ගේ රචනාව පසුව දොලොස්වතාවක් පමණ විවිධ පුද්ගලයින් විසින් විවිධ භාෂා වලට අනුවාද කොට තිබෙණවා.මේ අනුවාද වලින් වඩාත් ප්‍රකට වන්නේ පාර්සි සහ උර්දු භාෂාවල් වලින් කල "රත් පදම් " සහ "ශාමා වාර් පර්ව්නාහ්" ය. මෙසේ විවිධ අනුවාදයන් තිබෙණ බැවින් තව කෙනෙක් ඇසූ කතාව මීට වෙනස් විය හැකිවාක් මෙන්ම මේ කතාව මේ ආකාරයෙන්ම "පද්මාවතී" නමින් නිකුත් වීමට නියමිත සිනමා නිර්මාණයේ අඩංගු නොවිය හැක.
මෙම චරිත වල යම් යම් සත්‍යභාවයක් ඇති යැයි සිතිය හැක්කේ චිත්තෝර්ඝඩ් මාළිගය අදටත් පැවතීම සහ රාජා රතන්සේන්(රතන් සිං) අලව්දීන් ඛිජ්ලි යන අය සම්බන්ධ වෙනත් ලිඛිත වාර්තා මෙන්ම අලව්දීන් මුද්‍රාව සහිත කාසි තිබීමයි.මේ අනුව සත්‍ය චරිත කිහිපයකට නිර්මාණාත්මක වර්ණනා ගල්වා පද්මාවත් නිමවා ඇති බව උපකල්පනය කල හැකියි..
පද්මාවත්හි කතාව පරම සත්‍යක්මැයි විශ්වාස කරන රාජ්පුත් වරුන් සිනමාපටයෙන් ඊට බරපතල හානී වී ඇති බව පවසමින් මේ වන විට පද්මාවතී චරිතය කල දීපිකා පදුකෝන් සහ නිෂ්පාදක/අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ගේ ගෙල සිඳින අයට ඉන්දීය රුපියල් කෝටි සියයක වරයක් ද ප්‍රකාශ කර තිබෙන බවත් මේ දවස්වල අමුතුවෙන් මතක් කල යුත්තක් නොවේ...
සිනමාපටය රූගත කල කාලයේ රාජස්ථාන් කලහකාරීන් චිත්තෝර්ඝඩ් මාලිගයට ද පහර දී එහි තිබූ ඓතිහාසිකමය වටිනා කම් ඇති කැඩපත් සහ තවත් භාණ්ඩ විනාශ කරදමා තිබුණා....
No comments:
Post a Comment