මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 07 "ඇසළ කලුවර"

 

ආතුරං අසුචිං ඵුතිං
පස්ස නන්දේ සමුස්සයං
අසුහාය චුත්තං භාවෙහි
එකග්ගං සුසමාහිතං
 
 
මෙම ටෙලි නාට්යය 1996/1997 කාලයේ විකාශය වූවක්... ජාතික රූපවාහිනියෙ බව තමයි මතක.
නාට්යය ජැක්සන් ඇන්තනී මහතාගේ රචණයක් සහ අධ්යක්ෂණයක්. 
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
 
චරිත නාම ගත්තොත් මතක සුන්දරී නන්දා විතරයි . ඒකට හේතු වෙන්න ඇත්තෙ සුන්දරී නන්දා රහත් තෙරණිය වෙන්න ඇති.
ලාංකීය සිනමාවේ, රූපවාහිනියේ සහ වේදිකාවේ දැවැන්තයන් පිරිසක් එකට එකතු කරපු නිර්මාණයක් තමයි ඇසළ කලුවර.
රංගවේදීන්
ලූෂන් බුලත්සිංහල - මහාචාර්ය වරයා
සබීතා පෙරේරා - සුන්දරී නන්දා
කමල් අද්දරාරච්චි
ජෝ අබේවික්රම
අනුලා බුලත්සිංහල
කුමාරි මුණසිංහ
ජනක කුඹුකගේ
සේනක විජේසිංහ 
 
🎬
 
 
ටෙලියේ කතාව සරලව පෙළගැස්මක් ලෙස පහතින් පැවසුවත් එය එතරම් සරල කතාවක් නොවේ. එහි යටිපෙල වුන ගැඹුරු අර්ථය හෝ දේශපාලනය එදා කුඩා දරුවෙක් වූ මට නොතේරුනක්. 
 
අද එය තේරුම් ගැනීමට නැවත බැලීමට වරම් නෑ.
ලුෂන් බුලත්සිංහල මහලු මහාචාර්ය වරයෙක්. ඔහුහා විවාහ වී සිටින්නී තරුණ රූමත් සුන්දරී නන්දා. සුන්දරී නන්දාගේ පෙර පෙම්වතා වූ දමිල ජාතික තරුණයා (සේනක ) මිය යන්නේ සිංහල දෙමළ ජාතිවාදී කලකෝලාහල හේතුවෙන්. 

 
සබීතාගේ විශ්වවිද්යාලයීය මිතුරෙක් තමයි කමල්. කමල් අහම්බෙන් මේ ලූෂන්ට සහ සබීතාට මුණගැහෙන්නෙ චිත්ර හා මූර්ති ප්රදර්ශනයකදී. එයින් නැවත ඇති වන මිතු දම දීර්ඝව පවතින අතරෙ මිතුරන් තිදෙනා විනෝද සවාරියක් යන්නේ මෙහි ප්රතිඵලයක් ලෙස. 
 
 
"සුවඳයි මල් සුවඳ සේ
මිහිරියි මී පැණි වගේ
ජීවත් වෙන්න ආසයි
හැමදාම හිමිදිරිය සේ
මල් පියලි විසිරෙයි වනේ
රොන් සුවඳ සුළඟට දැනේ
නැහැ පුඩුව සිනිඳුයි ඒ සුවඳ පුරුදුයි
මල් කැකුළු පූදින්න වාගේ
දිය කඩිති නිල් බර වුණේ
පොඩි තිත්ත පැටවුන්ටනේ
අල්ලන්න ආසයි උන් එක්ක යාළුයි
පීනන්න දිය කඩිති ගානේ"
 
https://www.youtube.com/watch?v=Wg-GexKsRYM
 
 
විනෝද චාරිකාව අවසාන වන්නේ නොසිතූ දෙයකින්. බොට්ටුවක් පෙරලීමෙන් (මතක විදිහට ) මහාචාර්ය වරයා වැටෙනවා. ඔහු සොයාගැනීමට නොහැකි වෙනවා. ඔහු මිය ගියායැයි සිතන සබීතා සහකමල් නැවත කොළඹ එනවා. එය එසේ වුවත් ලූෂන්ව බේරා ගන්නවා දමිල ජාතික පියෙක් සහ දුවක්. ජෝ අබේවික්රම සහ කුමාරි මුණසිංහ . 
 
 

 
මේ දෙන්නාගේ වෙද හෙදකම් නිසා ක්රමයෙන් ලූෂන් සුවය ලබනවා.
මේ අතරේ කොළඹ එන සුන්දරී නන්දා ධර්මය වැනී දෑ ගැන අවධානය යොමු කරනවා. ඇය සමග නිතර සිටින්නේ අනුලා බුලත්සිංහලයි. අනුලාගේ චරිතය නාට්යයේ ඉතාම කැපී පෙනෙන්නක්. අනුලාගෙන් වෙනත් කිසි තැනක නොදැක්කක්. 
 

 
මේ දෙදෙනා තේරී ගාතා ගයමින් අර්ථය පහදමින් ධර්මය කතාකරමින් ඉන්න් අතරේ කමල් සුන්දරී නන්දා වෙත යොමු වෙනවා. ඔහු විශ්වවිද්යාල කාලයේත් ඇයට ආලය කල බව කියනවා. කිසිවෙක් නොසිතූ ලෙස සුන්දරී නන්දා කමල් හා එක්වීමට කැමැති වෙනවා.
මේ අතරේ සුවය ලබන ලූෂන් නැවත කොළඹට පැමිණ විශාල නිවසේ ගබඩා කාමරයක සැඟවී මේ දෙන්නාගේ ක්රියාකාරකම් බලා සිටිනවා. ලූෂන් මියනොගිය බව දන්නේ තරුණ හිමි නමක් (ජනක කුඹුකගේ ,තරුණ හිමි නමගේ සාත්තුවට සිටිනා වයසකන්තැනැත්තගේ චරිතය කලේන්ජැක්සන් ඇන්තනී) සහ දෙමල ජාතික පියා සහ දියණියයි. මෙම දියණිය සහ පියා ලූෂන් සොයා කොළඹ එනවා. දුවගේ සිතේ ලූෂන් ගැන ආදරයක් තියෙන බව පෙන්වනවා.
ලූෂන් සිටින බව කමල්ට දැනුනත් ඔහු එය එලි කරන්නෙ නෑ.
ලූෂන් සොයා එන දෙමල පියා සහ දුව ට ලූෂන් මල බව කීවත් ඔවුන් පවසන්නේ ඔහු නොමල බවත් ඔවුන්ට ලිපි පවා එවූ බවත් ය.
මේ අතරේ ලූෂන් තදින්ම අසනීප වෙනවා.
තදින්ම අසනීප වුණ ලූෂන් රෝහල් ගත කෙරෙනවා. සබීතා ඔහු අසල සිටිනවා.
අවසානය විවෘත අවසානයක් බව තමයි මතක. 
 

 
🎥
මෙයද ලංකාවේ නිර්මාණය වුන හොඳම ටෙලි නාට්යයක් ලෙස හැඳින්විය හැකිය.
නමුත් තත්කාලීන සමාජයේ මෙය වටහා ගැනීමට අපහසු ප්රහේලිකාවක් වූ බවක් තමයි කියවෙන්නෙ. මම කුඩා වූ බැවින් මට නම් අදාල උනේ කතාව විතරයි . නමුත් මට මතකයි මගේ ආච්චි හෝ අම්මා පවා මෙය ආසාවෙන් නැරඹුවත් තේරුම් ගන්න බැරි එකක් කියනවා.
සම්මාන උළලවල් වලදී සම්මාන ලැබිය යුතු වුවත් එසේ නොවූයේ එක්කෝ එහි තිබූ දේශපාලනික මත නිසා නැතහොත් එය වටහා ගැනීමට ජූරි මණ්ඩල අපොහොසත් වූ බැවින් විය හැකියි.
කෙසෙව් වෙතත් දන්නා තරමින් ඇසළ කලුවර විකාශය වූයේ එක් වතාවක් පමණයි. මේ විශිෂ්ඨ ටෙලි නාට්යය නැවත බැලීමේ අසාවෙන් සිටිමි.
මෙහි සංගීතය ගැනත් කිව යුතුමයි.
මට මතක හැටියට සංගීතය ප්රේමසිරි කේමදාසයන් විසින් .වැරදි නම් නිවරද කරන්න. 
 

 
පෝස්ටුවේ මුලින් සඳහන් වන ගාතාව රූපයෙන් අහංකාරත්වයට පත්ව සිටි සුන්දරී නන්දා තෙරණිය අරභයා බුදුන් වහන්සේ විසින් කිවූ ගාථාවක්. තිලංග නමි දුලබ රාගයක් යොදාගෙන එම ගාථාව අශ්රයෙන් රචිත බලන්න නන්දා ගීය ඉතාම මියුරු එකක්.එම ගීතයේ පසුබිමින් ඇසෙන්නේ අතීතයේ මලගෙවල්වල මිනිය රැගෙන යන විට වාදනය කල හේවිසි වාදනයයි. එම ගීය අමුතුම හැඟීනක් ඇති කරන්නක්. ගීය අමරසිරි පීරිස් විසින් ගයන එකකුත් මාලිණී බුලත්සිංහල විසින් ගයන එකකුත් ලෙස දෙකක් තිබුණත් සොයා ගැනීමට ඇත්තේ අමරසිරි පීරිස් ගායන කල එක පමණයි.
ටෙලි නාට්යයේ තේමාගීය කුමාරි මුණසිංහ විසින් ගායනා කල අතර එයද ඇගේ සංගීතමය හැකියාව හොඳින්ම පෙන්වූවක්.
නාට්යයේ ඇතැම් කොටස් හීනයක් මතකයේත් අමතකබවේත් අතර වූ බැවින් එය පැහැදිලි කර ගැනීමට උපකාර කල ශානක ඉරෝෂන පීරිස් සහ කෝසල රජේක මිතුරන්ට ප්රණාමය පුද කරමි. 
 
මෙම නාට්යය නැවත නැරඹීමට ඉක්මනින්ම අවස්ථාවක් ලැබේවා !
 
බලන්න නන්දා මේ නුඹේ ගුහාවයි
පරමල් අතුරන්න නන්දා
මේ නුඹේ ගුහාවයි 
 
අක්බඹ මුහුලේ හැඩපලුව වැරහැලි වීයේ
මල් සේ දෙතොලේ සුදු මැලිව පිපිහලු වීයේ
මේ නුඹයි නන්දා
පරමලේ මකරන්ද ඇත්දා !? 
 
කුඹුහස ලමැදේ තුඩු පරව වියලී ගියේ
මෙවුල් උකුලේ දරහෑව ගිලිහී ගියේ
මේ නුඹයි නන්දා
පරමලේ මකරන්ද ඇත්දා !?
 
https://www.youtube.com/watch?v=j3zR5HA0zos
 
- ආර්යන්- ✍️

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters