මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 12 "විකසිත මිලිනය"


මෙම ටෙලි නාට්ය විකාශය වුනේ 1999 වර්ෂයේ බව තමයි මතක. ඊට හොඳම හෙතුව නම් 1999 වර්ෂයේ ග්රැන්විල් රොඩ්රිගෝ මහතා මියයාමෙන් පසුව, වැඩි කලක් නොගොස් මෙම ටෙලි නාට්යය විකාශය වු බවත් අපේ අම්මා, ආච්චී එහෙම එතුමාගේ ගුණ කියමින් නාට්යය නැරඹූ බවත් මතකයේ තිබීමයි. 
 
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
 
චරිත නාම මතකයේ නෑ
රංගන ශිල්පීන්
රොජර් සෙනෙවිරත්න
දමිතා අබේරත්න
සංජීවනී වීරසිංහ
ග්රැන්විල් රොඩ්රිගෝ
එඩ්වර්ඩ් ගුණවර්ධන 
 
🎬
 
 

 
කතාව දිග හැරෙන්නේ අතීතාවර්ජනයක් ලෙසයි මතක.
හුදෙකලා දිවියක් ගතකරන රොජර්ගේ නිවසට පියෙක් සහ දියණියක් (ග්රැන්විල් සහ සංජීවනී ) පැමිණෙනවා. එන කාරණය කුමක්ද කියා මතක නෑ.
කාලය ගතවද්දී රොජර් සහ සංජීවනී අතර ප්රේම සම්බන්ධයක් ගොඩනැගෙනවා.
මෙසේ දෙදෙනාගේ ප්රේම සම්බන්ධය වැඩෙද්දී රොජර් සිය කටුක අතීතය ගැන ටික ටික සංජීවනීට හෙලි කරනවා. 
 
රොජර් සහ ඔහුගේ පියා ධනවත් වංශවත් පවුලක සාමාජිකයන්. මව මියගොස් බැවින් මේ දෙදෙනා විසූයේ ඔවුන්ට අයත් විශාල නිවසේ.
මෙසේ සිටිනා අතරේ රොජර්ට දමිතා හමු වෙනවා එක්තරා සාදයකදී. රොජර් කුලෑටි ගති ඇත්තෙක් බැවින් මුලු ගැන්වී සිටිද්දී දමිතා බලෙන් විත් ඔහු සමග කතාවට වැටී ඔහුට නර්තනයට ආරාධනා කරනවා. දමිතා නවීන පන්නයේ , බටහිර පන්නයේ කෙනෙක්. නටන, ගයන, කන, බොන තැනැත්තියක්. කටත් ඉතාම සැරයි.
හුදෙකලා නිහඬ රොජර්ට දමිතා නොගැලපුනත් දෙදෙනා විවාහ වන්නේ රොජර්ගේ පියාගේ (එඩ්වර්ඩ්) නොකැමැත්ත උඩ. එහෙත් වැඩිකලක් නොගොස් දෙදෙනා අතරේ රන්ඩු දබර ඇතිවෙනවා වගේම දවසින් දවස වැඩි වෙනවා. මෙසේ සිටිනා අතරේ දිනක් දමිතා අතුරුදන් වෙනවා.
මේ අතරේ තමයි තරුණියකගේ මල සිරුරක් රේල් පාරක තිබී හමුවන්නේ.
රොජර්ගේ සහ සංජීවනීගේ ප්රේම කතාව දෙදරා යන්නේ හිටි ගමන් නැවතත් දමිතා ගෙදට පැමිණීමෙන්. එහෙත් මේ කලින් හිටි දමිතා නොවෙයි. පිලිවෙලට ඔසරිය අඳින්, දිගට කොණ්ඩය ගොතන, සන්සුන් ගමන් සහ කතා ඇති දමිතා කෙනෙක්. 
 
 

 
රොජර් කෙසේවත් පිලිගන්නෙ නෑ මේ ඔහුගේ බිරිඳ බව. නමුත් දිගින් දිගටම දමිතා කියා සිටින්නේ ඇය අනුරාධපුරයේ නෑදෑ ගෙදරක නැවතී සිටි බවත්, එහිදී ඇයට ඇගේ වැරදි වැටහුන බවත්, ඇගේ දිවිපෙවෙත එහිදී වෙනස් වුන බවත්ය. කෙසේ කීවත් රොජර් නම් මෙය පිලිගන්නේම නෑ.
දිනක් රොජර්, සංජීවනී සහ දමිතා සිටින තැනකදී දමිතා වතුර වීදුරුවක් බොනවා. වහා ක්රියාත්මක වන රොජර් එම වතුර වීදුරුව ගෙන එහි ඇඟිලි සළකුණු සහ ඔහුගේ බිරිඳ පාවිච්චි කල භාන්ඩ වල ඇඟිලි සළකුණු පරීක්ෂා කරන්න කියා ඉල්ලා සිටිනවා (කාගෙන්ද මතක නෑ, මතක විදිහය ග්රැන්විල්ගෙන් ). රොජර් පුදුමයට පත් කරමින් ඇඟිලි සළකුණු සමාන වෙනවා. එදින රොජර් ඉතාම කෝප වී කෑ ගසන්නේ එය කිසිසේත්ම නොවියහැක්කක් බවයි. එහිදී සංජීවනී අසනවා ඒ ඇයි කියලා.
රොජර් පවසා සිටින්නේ දෙදෙනා අතර ඇති වූ රන්ඩුවකදී ඔහු ගැසූ පහරක් වැදී විසිවුන් දමිතා ඇඳ විට්ටමේ හිස වැදී මියගිය බවත් ඔහු ඇයව රේල් පාරකින් තබා ඇය සියදිවි හානි කරගත් ලෙසට ඇගේ සහෝදරයාට ලියමනක් යැවූ බවත්.
සියලුම සැළසුම් හෙලි වන්නේ එතැනින් පසුවයි.
සංජීවනී සහ ඇගේ පියා ග්රැන්විල් පොලිස් නිලධාරීන්. ඔවුන් වේශය වෙනස්කොට පැමිණෙන්නේ සත්යය සොයා ගැනීමට . දමිතා කෙසේවත් සියදිවි නසා ගන්නා විදිහේ කෙනෙක් නොවූ බැවින් ඇගේ සොහොයුරාගේ ඉල්ලීම මත මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා. මෙහිදී දමිතාගේ රුවට ඉතාම සමාන විශ්වවිද්යාල තරුණියක් ඔවුන් යොදා ගන්නේ රොජර්ගෙන් සත්ය හෙලි කර ගැනීමටයි.
ඇත්තෙන්ම මෙම කතාවේදී රොජර් වෙත දැඩි අනුකම්පාවක් යොමු වෙන විදිහය එය නිර්මාණය වී තිබුණා. බලෙන් පාත් වුන අසාර්ථක සම්බන්ධයක් හේතුවෙන් පීඩා විඳි ඔහු නැවත සැනසීමක් ලැබීමට සූදානම් වෙත්දීම අතීතය හඹාවිත් ඔහුගේ විකසිත වුන ජීවිතය නැවත මිලාන කරනවා.
සංජීවනී සත්ය වශයෙන්ම ඔහුට පෙම් කරන බවත් පෙනෙන්න තිබුණා.අවසානය ඉතාම අනුවේදනීය එකක්.
අධ්යක්ෂණය හෝ තිරරචණය කාගේදැයි මතකයක් නැත.
තේමා වාදනය යද්දී පෙන්වන්නේ කොන්ඩය කොටට කපාගත් බටහිර ඇඳුම් ඇඳි දමිතාගේ රුවත් (සිතුවමක් ) සහ ඊට පිටුපසින් සිටිනා ඔසරිය ඇඳි කොන්ඩය වැවූ දමිතාගේ රුවත් ය. එය මාරුවෙන් මාරුවට පෙන්නනවා වගේත් මතකයි. 
 
මෙම ටෙලි නාට්යයේත් විස්තරයක් හෝ වීඩියෝ දර්ශණයක් සොයා ගැනීමට අපහසු බැවින් ලිවීමට සිතුවෙමි.
- ආර්යන්- ✍️

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters