කොළඹ වීදියකදී.....15 - "කොළඹට වෙලාව කියන්නෝ"


නගරයකට ඔරලෝසු කණුවක් කියන්නෙ අභිමාණයක් ගෙනදෙන දෙයක්... නොඑක් වීදී අතරින් ඈතට පෙනෙන විදිහට ඔරලෝසු සවි කරලා තියෙන මේ ඔරලෝසු කණු වලින් වෙන්නෙ සුළුපටු සේවයක් නෙමේ... නගර වාසීන්ට සහ මගී ජනී ජනයාට වෙලාව දැක්වීම වගේම නගරයේ අලංකාරයටත් නොමද රුකුලක් දෙන්නෙ මේ ඔරලෝසු කණු...ලංකාවෙ ප්‍රධාන නගර හෑම එකකම පාහේ එකක් හෝ ඔරලෝසු කණු තියෙනවා...
එකකට වඩා ඔරලෝසු කණු ලබන්න කොළඹ නම් වාසනාවන්ත වෙලා තියෙනවා..දවස ගානෙ කොළඹ යන එන ඔබ මින් ඔරලෝසු කණු කීයක් දැකලා තියෙනවද?... දැකලා තිබුණත් අවම හෝ අවධානයක් මේවට දීලා තියෙනවද?
දැක්කත් , නොදැක්කත්, අවධානයක් දුන්නත්, නොදුන්නත් අද අපි ටිකක් කතා කරමු කොළඹට වෙලාව දක්වන මේ යෝධයන් ගැන....

අපි පටං ගමු කොළඹ නගරයේ කේන්ද්‍රස්ථානයක් වන ඕල්කොට් මාවතේ කොටුව ස්ටේසම ගාවින්...මම නිත්‍ය ප්‍රවාහණ මාධ්‍යයක් විදිහට කෝච්චියෙ පාවිච්චි පටං අරන් මේ ඔක්තොබර් වලට අවුරුදුදහයයි. සීසන් එකේ දින සටහන් වෙන්නෙ 2008 ඔක්තෝබර් 18 කියලා...ඉතිං ඒ කාලේ කොටුවෙන් තමයි කෝච්චියට නැග්ගේ..ඔය කාලෙ අන්තිම මිනිත්තුවටත් බස් එකෙන් බැහැලා දුවද්දි ඇහැ ඉබේම යන්නෙ කොටුව ස්ටේසමේ ඉස්සරහා අර්ධ වෘත්තාකාර කොටසෙ හයි කරලා තියෙන ඔරලෝසුවට.. 
 
ඒ ඔරලෝසුවට අනුව කෝච්චියට තව විනාඩියක් හරි තියෙනවා නම් මගෙ හිතට දැනෙන්නෙ පුදුම සැනසිල්ලක්.. මම ඒකෙන් කියන්න උත්සාහ කලේ මීට අවුරුදු දහයකට කලින් බලද්දි කොටුව ස්ටේසමේ ඔරලෝසුව ඉතාම නිවැරදිව වෙලාව කියපු එකක් කියන එකයි...හැබැයි පස්සෙ පස්සෙ ඒක වෙනස් වුණා... දැන් මම කොටුවෙන් කෝච්චියට නගින්නෙ නැති නිසා ඕකෙ වෙලාව හරිද වැරදිද කියන්න දන්නෙ නම් නෑ..අද තියෙන කොළඹ කොටුව ස්ටේසමේ ප්‍රධාන ගොඩනැගිල්ල 1906 ඉදිකලා සහ 1917 දි විවෘත කලා කියලා තමයි කියන්නෙ...එතෙක් මෙතෙක් ඔය ඔරලෝසුව කී කෝටියකට වෙලාව කිවුවද කියලා හිතන්න අමාරුයි...අද වෙනකොට දෛනිකව කොටුව ස්ටේසම පාවිච්චි කරනා ලක්ෂ දෙකක සාමාන්‍යයක් වූ මගීන් අතර ඔඅබත් මේ ඔඅරලෝසුව දිහා බලලා ඇති එක වතාවක්වත්...බලලා නැත්තම් හෙටවත් බලන්න :)

ඊලගට අපි යමු හරියටම කොටුව ස්ටේසම ඉස්සරහින් වරාය පැත්තට යන 'මල්වත්ත පාර' දිගේ..
 
මල්වත්ත පාර කෙලින් වීදියට ,සර් බාරොන් ජයතිලක මාවතට සහ බංගසාල වීදියට එකතුවෙන තැන තියෙන මංසන්ධියෙ තියෙනවා පරණ ගොඩනැගිල්ලක්. ඕකෙ බෝඩ් එකක් ගහලා තියෙනවා " විමළධර්ම සහෝදරයෝ:ජාතියට වෙලාව දක්වන්නෝ" කියලා... නෑ නෑ මේ කියන්න හදන්නෙ එයාල ගැන නෙමේ ඒ හරියටම විමලධර්ම එක ඉස්සරහා මංසන්ධියෙ තියෙන වටරවුම මැද තියෙන 'ඛාන් ඔරලෝසු කණුව' ගැන.
 
 
ඛාන් ඔරලෝසු කනුව මෙතැන ඉදි වෙන්නෙ 1923 දි. ඒකාලෙ සිට මෑත කාලයක් වෙනකල්ම ඔරලෝසු කණුව වටේ පොකුණක් තිබුණත් අද වෙනකොට ඒකෙ වතුර මල් ක්‍රියාත්මක වෙන්නෙ නෑ.මේ ඔරලෝසු කණුවේ පහත කොටසෙ සදහන් වෙනවා මෙන්න මෙහෙම "This clock tower and fountain was erected to the memory of Framjee Bhikhajee Khan by his sons Bhikhajee and Munchershaw Framjee Khan as a token of affectionate gratitude and dedicated through the Municipal Council to the citizens of Colombo on the fourth day of January 1923, the 45th anniversary of his death." 
 

 
 කොළඹ නගරයේ පාරවල් කියද්දි 'ලෑන්ඩ් මාර්ක්' එකක් විදිහට පාවිච්චි වෙන මේ ඔරලෝසු කණුව අද වෙනකොට විමලධර්ම සහෝදරයෝ සමාගමෙ අනුග්‍රහයෙන් නඩත්තු වෙනවා.
 
 
අපි මේ ගමන්ම ඔය හන්දියෙන් වම්පැත්තට සර් බාරොන් ජයතිලක මාවත දිගේ ගිහිං ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ගාවින් වම් පැත්තට "යෝක් වීදිය" දිගේ ඇවිත් අස්සයා පිටේ පොලිස් රාලහාමි ඉන්න තැනින් පාරත් පැනලා "චැතම් වීදිය" දිගේ මහ බැංකුව පැත්තට යන්න තියෙන පාර දිගේ යමු. 
 
ඒ ගිහාම චැතම් වීදිය ජනාධිපති මාවත හමු වෙන මංසන්ධියේ තියෙනවා 'ලයිට් හවුස් ඔරලෝසු කණුව'.
 
කොළඹ දැනට ඉතිරි වෙලා තියෙන පරණම ඔරලෝසු කණුව තමයි මේක.1860 දි හදපු මේ ඔරලෝසු කණුවෙ ;1865 දි ප්‍රදීපාගාරයක පහනක් සවි කරන්නේ කොළඹ වරායට එන නැවුවලට පාර කියන්න.බිග් බෙන් ඔරලෝසුවේ නිෂ්පාධකයන් විසින්ම නිෂ්පාධිත මුල් ඔරලෝසුව 1913 දි ඉවත් කරලා අළුත් ඔරලෝසුවක් සවි කරනවා. පසු කාලීනව ඉදි වුණ උස් ගොඩනැගිලි නිසා මෙම ඔරලෝසු කණුවේ ප්‍රදීපාගාරය නොපෙනී යන්න වුණ නිසා ගල්බොක්ක වීදියේ/ගෝල්බක් ස්ට්‍රීට් හි ඉදි වුණ ප්‍රදීපාගරයෙන් ඒ රාජකාරිය කරන්න පටං ගත්තා. 1970 දශකය වන තෙක් වෙනස් ස්වරූපයකින් වර්ණ ගන්වා තිබුණ මෙම ඔරලෝසු කණුව අද දකින්න ලැබෙන්නෙ ඒ ස්වරූපයෙන් නෙමේ.
 
 
ඊට අමතරව 70 දශකයේ , ඔරලෝසුවේ පහල තියෙන අර්ධ වෘත්තාකාර දොරටුවට ඉහලින් ජාතික කොඩියේ සිංහ ලාංචණය සහ පුන් කලසක් පින්තාරු කොට තිබී තිබෙනවා.අද වෙනකොට එයත් දකින්න ලැබෙන්නෙ නෑ.ඔරලෝසු කණුවේ ඉහලට යන්න නම් බෑ.
 
ඔහොමම ජනාධිපති මාවත දිගේ ඇවිත් වම් පැත්තට ලෝටස් පාර දිගේ ඇවිත් රීගල් වටරවුමත් පහු කරං ලේක් හවුස් එක ගාවින් ඩී.ආර් විජේ වර්ධන පාරෙන් ගිහිං ගාමිණී හෝල් හන්දියෙන් වම් පැත්තට උඩහට යමු. ඒ ගිහාම හම්බ වෙන්නෙ මරදාන හන්දිය.මරදාන හන්දියෙ ඉදන් වටපිට බලද්දි පේනවා මරදාන ස්ටේසමේ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉස්සරහා ප්‍රෞඩ විදිහට පාර බලාගෙන ඉන්න ඔරලෝසු කණුව. 
 
ඔරලෝසුවට යටින් 'මරදාන' කියලා ලියලා තියෙනවා.ලංකාවේ මුල්ම ස්ටේසම ඉදි වෙන්නෙත් මරදාන ස්ටේසම අසල. ඒ 1864 දි. 1906 දි ඒ පරන ස්ටේසම වහලා තමයි මරදාන දැන් තියෙන ස්ටේසම හදන්නෙ. එදා සිට මෙදා තෙක් මරදාන ස්ටේසමේ ඉදන් මේ ඔරලෝසුවෙන් වෙලාව කියනවා. ලිපිය පටං ගනිද්දි මම කිවුවා කොටුවෙ ඔරලෝසුව මට ප්‍රයෝජනවත් වෙච්ච විදිහ. ඒ වගේම තමයි 2013 ඉදලා මරදාන ස්ටේසම පාවිච්චි කරන්න ගත්තම මේ ඔරලෝසුව පිහිට වුණේ.ටවුන් හෝල් වල ඉදලා ඇවිත් , ගාමිණී හෝල් වලින් බැහැලා කෝච්චියට දුවද්දි ඇතින් පේන මේ ඔරලෝසුව දිහා තමයි එදා ඉබේම බැලුණේ. ඒ කාලෙ හරියට වෙලාව කියපු මේ ඔරලෝසුව අද නම් වෙලාව කියන්නේ වැරදියට.මරදාන ස්ටේසමේ නිලධාරීන්ට ඔරලෝසුවක් දිහා බලනවට වඩා වැඩ රාජකාරි ඇති කියලා හිතලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද අපි.වෙලාවකට හිතෙනවා හැමදාම කෝච්චි පරක්කු වෙන්නේ මේ වැරදියට වෙලාව කියන ඔරලෝසු දිහා බලන් කාල සටහන් හදන නිසා කියලත් :D :D :D .
මේ ඔරලෝසු කණුව ගැන කියද්දි මට වෙච්ච සිද්දියක් මතක් වෙනවා...ඒ කාලේ මම ඔඩිට් ෆර්ම් යනකොට ඒකෙම වැඩ කරපු කැළණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත මගෙ යාලුවෙකුත් එක්ක මම දවසක් මරදානෙන් කෝච්චියෙ නගින්න ආවා(මරදාන කිට්ටුව ඔඩිට් එකක් ඉවර වෙලා) . මිනිහට පුරුදු ඉතින් ඩාර්ලි පාරෙ ඇවිත් ගාමිණී හෝල් හරහා ස්ටේසමට එන්න.එදා පාරෙ ලොකු බ්ලොක් එකක් නිසා බස් එක ඩාර්ලි පාරෙ එනවා වෙනුවට අතුරු පාරකින් දාලා ඩීන්ස් පාරෙන් තමයි ගියෙ.මට ඊ කාලෙත් ඔඅය පාරවල් පුරුදු වුණාට ඩාර්ලි පාර විතරක් හුරු මගෙ යාලුවා කියවනවා ඉවරයක් නෑ මේ කොහෙද බං යන්නෙ කියලා. පාර දිගේ එනකල් මට මේකගෙ කන්දොස්කිරියාවෙං ගැලවිල්ලක් වුණේ නෑ.අන්තිමට බස් එකෙනුත් බැහැලා මූ කියෝනවා..තව ටිකක් ඉස්සරහට මේකගෙ කරච්චලේ ඉවසං ඇවිත් 'කියවන්නෙ නැතිව අර බලපිය' කියලා මම පෙන්නුවෙ ඈතට පේන ස්ටේසමේ ඔරලෝසුව.ඔරලෝසුවට යටින් තියෙන 'මරදාන' දැක්කම තමයි මේකගෙ කරච්චලේ නැවතුණේ......
 
මරදානෙ ස්ටේසමේ ඉස්සරහින් ඇතුළු වෙච්ච අපි ඇතුලට ගිහින් සියළුම අතුරු මගී පාලම් සහ වේදිකා යා කරන ප්‍රධාන මගී පාළම දිගේම ඉස්සරහට ගිහිං ස්ටේසමේ අනිත් පැත්තෙන් පංචිකාවත්ත පාරට යමු.පංචිකාවත්ත පාරෙ එල්ෆින්ස්ටන් තියටර් එක , බුහාරි හෝටලය එහෙම පහු කරං ඉස්සරහට යද්දි වම් පැත්තෙ හම්බ වෙනවා 'ටවර් හෝල් තියටර්' එක. 
 
ටවර් හෝල් තියටර් එකට නම වැටෙන්නම හේතු වුණ මේ ටවර් එකේ උඩ කොටසෙ තියෙනවා ඔරලෝසු හතරක්..
 
පැති හතරේ.1880 දි අශ්ව ඉස්තාලයක් තිබ්බ බිමක ටවර් හෝල් තියටර් එක හදන්නේ ජී.ඩී.හෙන්ද්‍රික් අප්පුහාමි සෙනෙවිරත්න මහතා විසින්. 1880 ඉදන් සියවසකට වැඩි කාලයක් තිස්සෙ ටවර් හෝල් ඔරලෝසු කණුවෙ ඔරලෝසු වලින් , මරදානෙ ස්ටේසමේ ඔරලෝසු කණුව වගේම මරදාන වාසීන්ට සහ මගී ජනීජනයාට වගේම නාට්‍ය බලන්න එන ප්‍රේක්ෂකයන්ටත් වෙලාව කියනවා.
 
 
ආපහු ඔරාබිපාෂා මාවත නොහොත් මරදාන පාරට ඇවිත් ඩීන්ස් පාර දිගේ සොයිසා වටරවුමට යමු.සොයිසා වටරවුමෙ තියෙනවා ඔරලෝසු හතරක් සහිත ඔරලෝසු කණුවක්. මේක නම් එතරම් පරණ ඔරලෝසු කණුවක් නෙමේ. 
 
 
ඒ නිසා අපි එහෙමම සොයිසා වටරවුම පහු කරලා 120 බස් පාරෙ ගිහින් නෙළුම් පොකුණ ගාවින් වම් පැත්තට නිදහස් මාව්තේ යද්දි ,නිදහස් චතුරශ්‍රය පහු වෙනවත් එක්කම පේනවා කොළඹ මට මතක අන්තිම ඔරලෝසු කණුව.ඒ ,පරණ 'ජාවත්තේ පිස්සු වාට්ටුව' (1889 සිට 1926 අංගොඩට ගෙන යන තෙක් ) සහ ඊට පස්සෙ ලංකා යුනිවර්සිටි කොලීජිය සහ ඊටත් පස්සෙ රේඩියෝ සිලෝන් (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව )ට අයිති වෙලා තිබුණ ගොඩනැගිල්ලෙ .
 
කාටත් තේරෙන බාසාවෙන් කිවුවොත් ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ගොඩනැගිල්ලේ.මතක් වුණා නේද?... මේ ඔරලෝසු කණුවෙන් ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ගොඩනැගිල්ලට ලබා දෙන්නෙ සුලු පටු ලස්සනක් නෙමේ...හතර පැත්තට ඔරලෝසු හතරක් තියෙනවා මේ ඔරලෝසු කණුවෙත්....
 

ඉතිං මෙච්චරයි මට මතක කොළඹ තියෙන ඔරලෝසු කණූ...ඔයාලට මතක තියෙනවනම් සඳහන් කරන්න කියන ගමන් සහ කලින් අවධානයක් නොදුන්නනම් අනිත් දවසෙ මේ කියන තැන් වලින් යද්දි පොඩ්ඩක් ඒ ඔරලෝසු කණු දිහා බලලා යන්න :) :) ... 
 
 

කොළඹ වීදියකදී නැවත හමු වෙමු..
- අමිල -

කොළඹ වීදියකදී.....14- "කොළඹ කොටුව"


(During the demolition of Colombo fort , in 1865)

යුරෝපා ජාතින් තුනකට යටත්ව සිටි නිසා අපේ රටේ ප්‍රදේශ කිහිපයකම අදටත් ඔවුන් විසින් ඉදි කරන ලද බලකොටු දකින්න පුළුවන්... මින් වඩාත්ම සුරක්ෂිතව හා මුල් ස්වරූප වලින්ම  පවතින්නේ ගාල්ල කොටුව සහ මාතර කොටුවයි.....මීට අමතරව යාපනය, කල්පිටිය, ත්‍රිකුණාමලය, ඩෙල්ෆ්ට්, මන්නාරම සහ තවත් ප්‍රදේශ කිහිපයකත් බලකොටු අපිට දකින්න පුළුවන්...

නමුත් කොටුව කිවව සැණින් අපිට මේ එකක්වත් මතක් වෙනවද..මටනම් නෑ..'කොටුව' කියපු සැණින් මට මතක් වෙන්නෙ කොළඹ කොටුව...ඒ වුණාට ගාල්ල මාතර වගේ කොළඹ අපිට දකින්න බලකොටුවක් කොළඹ නැහැනෙ?!...

ඔවු අද වෙනකොට අපිට දකින්න කොළඹ කොටුව නැත්තේ කොළඹ වාණිජ නගරයක් ලෙස පුළුල් කිරීමේදී 1865ත් 1871ත් අතර කාලයේදී  බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ කොටුව බිමට සමතලා කිරීමට කටයුතු යොදපු නිසයි...

,මගේ කොළඹ වීදියකදී 03වන ලිපියේ දිග හැරුණු බේරේ වැවේ කතන්දරයේදී ( https://ekaahasakyatadi.blogspot.com/search?q=%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%9A )  මම කොළඹ කොටුව ගැන සුළුවෙන් සටහන් කලා...කොළඹ කොටුවේ දිය අගල් ගැන කියවෙච්ච නිසා..

ඇත්තටම අපිට කොළඹ කොටුව ගැන කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ කොටුවෙ එක දිය අගලක් වෙච්ච බේරේ වැවත් , වරාය පැත්තෙන් මුහුදත් යා කරන ඇළ මාර්ගයත් , පිටකොටුවෙන් කොටුවට ඇතුළු වීමට තිබුණු දොර (කයිමන් දොරකඩ ) අසල තිබුණ ඝාණ්ඨාර කුළුනත් විතරද?
වාසනාවට නෑ..බ්‍රිතානීන් කොටුව උදුරා දමද්දී අනාගතය ගැන සිතා හෝ නොසිතා අපට කොළඹ කොටු පවුරේ යම් යම් කොටස් ඉතිරිකරලා තියෙනවා...නමුත් අප කිසිවෙක් මේ ගැන වැඩියමක් නොදන්නේ මෙම කොටස් වලින් වැඩි ප්‍රමාණයක තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයක් නොහොත් නාවුක හමුදා මූලස්ථානය තුළ වීම නිසයි..
එහෙන් මෙහෙන් හොයාගත්ත සහ දැක බලාගත් තොරතුරු අනුව අපි බළමු මොනවද මේ නටඹුන් කොටස් කියලා...
කොළඹ කොටුව කියන්නෙ බැස්ටියම් 9යක් තිබුණ බලකොටුවක්.බැස්ටියම කියන්නෙ මොකක්ද කියලා නොදන්න අය සිහි කර ගන්න ගාලු කොටුවෙ  මුළු වල ,කොටු පවුරෙන් එළියට නෙරන විදිහට තියෙන තිබෙන ත්‍රිකෝණාකාර , ෂඩාශ්‍රාකාර හෝ, අශ්ඨාෂ්‍රාකාර කොටස්. ඒවට තමයි බැස්ටියම කියන්නෙ. කොටුවේ ආරාක්ෂාවට තමයි මෙම කොටස් හදන්නේ...මේ කොටස් වල ආරාක්ෂක නිලධාරීන් සිටි අතර කාල තුවක්කු තබා තිබීමට කටයුතු කලා...
                                      (A Bastion in Galle fort )
 
කොළඹ කොටුවෙ බැස්ටියම් 9ය නම් කරලා තිබුණෙ නෙදර්ලන්තයේ නගර නමයක නම් වලින්... 
උතුරු දෙස සිට දක්ෂිණාවෘතව ගත් කල මේ බැස්ටියම් වල නම් වුණේ;

1. ලේඩන් බැස්ටියම (ලේඩන් බැස්ටියන් මාවත සිහි කරගන්න )
2. ඩෙල්ෆ්ට් බැස්ටියම
3.හූන් බැස්ටියම
4.රොටර්ඩෑම් බැස්ටියම
5.මිඩ්ල්බර්ග් බැස්ටියම
6.ක්ලිපන්බර්ග් බැස්ටියම
7.එන්කුය්සෙන් බැස්ටියම
8.ඩැන් බ්‍රියෙල් බැස්ටියම
9.ඇම්ස්ටර්ඩෑම් බැස්ටියම


තවද බැටන්බර්ග් සහ වෝටර් පාස් නමින් විශාල කාලතුවක්කු දෙකකුත් තිබිලා තියෙනවා,කොළඹ කොටුවෙ.

අද වෙනකොට  නාවුක හමුදා මූලස්තානයේ , නාවුක හමුදාපති තුමාගේ කාර්යාලය අසල , ගෝල් බක් පාර අසල ඩැන්බ්‍රියෙල් බැස්ටියමේ කොටස් ඉතිරිවී තිබෙනවා.. 

     



                                   (Ruins of Dan Briel Bastion)
 
මෙම බැස්ටියම , පසුකාලීනව සිදුවුණ නවීකරණයන් හේතුවෙන් මුලින් පැවති හැඩයෙන් වියුක්තව නිසි හැඩයක් නොමැති ඉදිකිරීමක් ලෙස පැවතියත්, පැති පහකින් යුත් බැස්ටියමක් බවට සාක්ෂි අදටත් තිබෙනවා.බැස්ටියමේ මුවවිට වසා දැමූ කාලතුවක්කු දක්නට ලැබෙන අතර බිත්තියක් අඩි 15ක් පමණ උස විය හැකි බව කියවෙනවා.

මෙම බැස්ටියමේ පිටුපසින් ගොස්  වම්පසට වන්නට කොඩිගහ වීදිය/ෆ්ලැග්ස්ටාෆ් ස්ට්‍රීට් හි කොළඹ කොටුවේ කුඩා දොරටු දෙකක් දකින්නට තියෙනවා...

කොළඹ කොටුව ප්‍රධාන දොරටු තුනකින් යුතු වුණා. ඒ;
.1. නැගෙනහිරින් - ඩෙල්ෆ්ට් දොරටුව (ඩෙල්ෆ්ට් ගේට්),
.2. දකුණින් - ගාලු දොරටුව (ගෝල් ගේට්)
සහ
.3. බටහිරින් ,වරාය දෙසට විවර වුණ වෝටර් ගේට් යන දොරටුවයි.


එක් කුඩා දොරටුවක් මෙම ෆ්ලැග්ස්ටාෆ් ස්ට්‍රීට් ප්‍රදේශයේ දකින්න පුලුවන්. එය ගස් වලින් සහ මුල් වලින් වැසී ගිය එකක් වෙන අතර, දොරටුව මැදින් බිත්තියක් බැඳ වසා දමා තිබෙනවා. එම දොරටුවේ ඉහල '1676' යන්න සඳහන් කර තිබෙනවා.
                                  ( "1676" )

ප්‍රධාන දොරටුවක් වුණ 'ඩෙල්ෆ්ට් ගේට්' දොරටුව අද දක්නට ලැබෙන්නෙ බ්‍රිස්ටල් වීදිය පසින් කමර්ෂල් බැංකු භූමියේය. 

එහි තිබෙන ගොඩනැගිලි දෙකකට මැදිව මෙම ලන්දේසි ආරුක්කු හැඩයේ දොරටුවේ කොටස තිබෙනවා. වර්තමානයෙ එය වර්ණ පින්තාරු කොට නව පෙනුමක් ලබා දී තිබෙණවා.

(Colombo :Mango Tree, Logo in Delft Gate)


ඩෙල්ෆ්ට් දොරටුව ; ඩෙල්ෆට් සහ හූන් බැස්ටියම් අතර පිහිටි අතර එය පිටකොටුව දෙසට විවෘත වන ලෙස පැවතී තිබෙනවා.කයිමන් දොරටුවේ සිට පැමිණෙන පිටකොටුව කෙලින් වීදිය සම්බන්ධ වි තිබෙන්නේ ඩෙල්ෆ්ට් දොරටුවටයි.

මෙම දොරටුව වෙත ඒමට පිටකොටුව දෙසින් පැමිණ කොටුව දිය අගල ( වර්තමානයේ රේගු මූලස්තානය, කොටුව දුම් රිය ස්ථානය හා ලේක් හවුසිය  අසලින් දිවෙන ඇළ මාර්ගය ) මතින් පිහිටි ඉහල පහල දැමිය හැකි පාළමකින් පැමිණිය යුතුව තිබෙනවා.එය කොළඹ කොටුවට කෙලින්ම නොපැමිණීමට ගත් ආරක්ෂක මාර්ගයක්.

කොළඹ කොටුවේ තවත් ඉතිරිව තිබෙන තවත් කොටසක් නම් "බැටන්බර්ග් බැටරි" නම් වන කාලතුවක්කු පිහිටා තිබුණු කොටසයි. මෙය අද වන විට කොළඹ වරාය භූමියේ තිබෙනවා. 


                                  (Battenburg battery)

ගඩොලින් සහ කබොක් ගලින් කල බිත්තියක් මෙම ස්ථානයේ තිබෙනවා.කොළඹ කොටුව උදුරා දැමීමෙන් පසුවත් මෙම කාලතුවක්කු භාවිතා කල බව වාර්තා වෙනවා.මෙය ලන්දේසි කොටුවේ තිබුණු විශාල කලතුවක්කු දෙකින් එකක් වන අතර පසුව බ්‍රිතානීන් විසින් කොළඹ ආරාක්ෂාවට , දෙවන ලෝක යුද්ධයේ අවසානය තෙක් පවත්වාගෙන ගිය කාල තුවක්කු හතරෙන් එකක්ද වෙනවා. අද වන විට දකින්න ලැබෙන්නේ එහි පාදමක් පමණයි.


 චෛත්‍ය පාර අවසානයේ තිබෙන , වර්තමාණයේ සාමුද්‍රීය කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යන ගොඩනැගිල්ල , කොළඹ කොටුවට සම්බන්ධව තිබුණු ගබඩා සංකීර්ණයක ඉතිරිව පවතින කොටසක්.වරායත් , කාලතුවක්කුවත් අතර ප්‍රදේශයේ 'පාකුයිzඑන් ' නමින් හඳුන්වනු ලැබූ ගබඩා ගොඩනැගිලි දෙපේළියක් තිබී තිබෙනවා.මෙම ගොඩනැගිලි ලන්දේසි සම්ප්‍රදායේ වෘත්තාකාර වහල් සහිත ගොඩනැගිලිය.

චෛත්‍ය පාරේ වරාය දෙසට යන විට දකුණත් පසින් හමු වන කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ශාලාවට දකුණු පසින් එම ශාලාවෙ පිටුපසට දිවෙන ලෙස කොළඹ කොටු පවුරේ කොටසක් ඉතිරිව පවතිනවා...වර්තමානයෙ සිදු වුණ නොඒක පිළිසකර කිරීම් සහ එකතු කිරීම් අතරින් මෙම කොටුපවුරු බිත්ති තවමත් ඉතිරිව තිබෙනවා දකින්න පුළුවන්....





ඉතින් මෙම සියලුම නටඹුන් ගත් කල කොළඹ කොටුවේ ඉතිරිව තිබෙන ස්ථාන 7ත් 9ත් අතර තිබෙන බව පැවසෙනවා...

මේ අතරින් ඔබට  පහසුවෙන් දැකිය හැකියි චෛත්‍ය පාරේ තිබෙන නටඹුන් සහ ඩෙල්ෆ්ට් දොරටුවේ කොටස්. අනෙක්වා නැරඹීමටනම් විශේෂ අවසරයකින් නාවුක හමුදා මූලස්ථානයට යායුතු අතර එය පහසු කටයුත්තක් නොවනු ඇත...
ඉතින් හැකි අවස්ථාවක , කොළඹ වීදි වලින් අප වැඩිපුර නොයන වීදි වල සැන්නගවී ඇති මෙම නටඹුන් දැක ගන්න... .

කොළඹ වීදියකදී නැවත හමුවෙමු..

- අමිල -
(ඡායාරූප මිනෝල් පීරිස් විසිනි )

Gallery




                                      (Delft gate)

කොළඹ වීදියකදී.....13- "කුරුදු වත්ත"




ලංකාවෙ සුපිරිම පන්නයේ පෝසතුන් ඉන්නෙ කොහෙද ඇහුවොත් බොහෝ වෙලාවට අපි හිතන්නෙ ඒ කුරුදුවත්තෙ කියලා..  මේ කතාවෙ අසත්‍යතාවයක් නැත්තෙ කුරුදුවත්ත කියන භූමියේ ඉහල වටිනාකම නිසා එහි දේපළ හිමියෙක් යනු අණිවර්යෙන්ම සැළකිය යුතු ධනයක් තිබිය යුත්තෙක් විය යුතු නිසයි.(අමතක කළයුතු නෑ දවට ගහ පල්ලිය සහ කිංසි පාර ආසන්න ප්‍රදේශයේ  මුඩුක්කු නිවාස ලෙස සැලකෙන නිවාස තිබෙන බව. එහෙත් එ සුළුතරයක් නිසා එය අමතක කරමු.අනෙක් අතට නිවාස කුමන ආකාරයේ වුවත් වත්ත කුරුදුවත්ත නිසා ඔවුන්ගේ කුඩා වුවත් දේපළ ඉහල වටිනාකමකින් යුත් වීම ) ඊට අමතරව කුරුදුවත්තෙ නෝනලා තරම් බැණුම් අහන , උපමාවට ගන්න නෝනලා ලංකාවෙ වෙන පළාත් වල නැතිව ඇති...
දවසගානෙ කුරුදු වත්ත පහු කරන් යන උදවිය එහි ඉතිහාසය ගැන හිතලා බැලුවද? සමහර විට කුරුදු වගා කළ නිසා එයට කුරුදු වත්ත කියලා කියන බව දැනං ඉන්න ඇති. ඒ නිසා කුරුදු වත්ත ගැන ටිකක් හොයලා බලමු.


කුරුදු වත්ත ගැන කතා කරද්දි ලංකාවෙ කුරුදු වගාව ගැන අමතක කල නොහැකියි.ලෝකයෙ කුරුදු වෙළදපොළේ වැඩි කොටසක් ඉසිලීමට සමත් වන ලංකාවේ කුරුදු නිසාම යුරෝපීය අක්‍රමණිකයන්ගේ අවධානයත් පුංචි ලංකාව වෙත යොමු වුණා.එතෙක් ලාංකීය කුරුදු ලෝක වෙළදපොළ වෙත සුළු ප්‍රමාණයන්ගෙන් ගියේ බෙහෙවින්ම අරාබි වෙළදුන් අතින්...පරිභෝජනයට ගන්න කුරුදු අතර වැදගත්ම වන Cinnamomum Zelanicum හමු වන්නෙ ලංකාවේ විතරයි කියලා තමයි කියවෙන්නෙ.
උඩරට රජුන්ගෙන එල්ලවන තාඩණ පීඩණ ඉවසා වදාරා පෘතුගීසීන් සහ ලන්දේසීන් සිටියේ ලංකාවෙ කුරුදු වලට තිබුණ ආදරය නිසාමයි.සිංහල රජුට අයිති ප්‍රදේශවල කුරුදු නෙලා ගන්න වාර්ෂිකව  රජුට පඩුරු පාක්කුඩම් දෙන්නත් මෙ දෙකොට්ඨාශයටම සිද්ධ වුණා.

මුල් කාලයේ කැළෑ වල වැවිච්ච කුරුදු කපන්න යන සිංහල කම්කරුවන්ට  සතුන්ගෙන් වන උවදුරු නවත්තන්න පෘතුගීසී හේවායන්ටත් යන්න වුණා. සැරින් සැරේ  වන සතුන්ගෙන් ප්‍රහාර එල්ල වෙද්දි වෙඩි උණ්ඩ වලින් ඒවා අඩපණ කලත් එය අධික පිරිවැයක් දරන්න වෙච්ච දෙයක් නිසා, මුලින් තහනම් කොට කැලෑවලට පමණක් සීමා කර තිබුණ කුරුදු ,වගාවන් ලෙස කිරීමට ඉඩ දීමට ඔවුන්ට සිද්ධ වුණා. ඒ අනුව මුලින්ම කුරුදු වගාවන් ලෙස කිරිමට ඉඩ ලැබෙන්නෙ 18 වෙනි සියවසේ අග භාගයේ, ලන්දේසීන් යටතේයි.ඉන් පෙර ලංකාවෙ වනාශ්‍රිතව හොරෙන් කුරුදු කපා හසු වන්නන්ට ,ගසකට රික්ස්ඩොලර් 10ක් ද එය ගෙවීමට නොහැකි අය දස වසරක සිර දඩුවමක් ද පැනවීමට නීතියක් තිබුණා (1745 ඔක්තෝබර් 8 දින සම්මත වුණ ). මෙම නීතියට අනුව කුරුදු ගසක් මුලින් උදුරා දමන්නන් ලංකාවෙන් පිටුවහල් කොට කේප් තුඩුවට යැවූ අවස්ථාද වාර්තා වෙනවා..

වගාවක් ලෙස කුරුදු වැවීම ආරම්භ වීමත් සමගම මුල්ම කුරුදු වත්ත වැවුණෙ කොළඹ මරදාන ආසන්නයේ ..ලන්දේසීන් විසින් මෙය වැලි බිම යන අරුතින් 'ටුයින්' ලෙස හැදින්වූවා. මරදානෙ කුරුදු වත්තේ සර්ථකත්වයත් සමගම මීගමුව, කළුතර, ගාල්ල, මාතර ප්‍රදේශ වල කුරුදු වතු ඇති කිරීමට ඔවුන් පෙළඹුනා...
ඉතිං මෙන්න මේ මරදානෙ ඇති කරපු පළවෙනි කුරුදුවත්ත තමයි කොළඹ කුරුදුවත්ත.1785 ඔක්තෝබර් 15 ජෑන් බ්‍රැන්ඩේස් මරදානෙ කුරුදුවත්තෙ සංචාරය කළා, ඒ කුරුදුවත්තෙ හිමි කාරයෙක් වෙච්ච කොරනේලිස් ඩි කුක් ගෙ ආරධනයට අනුවයි..කොරනේලිස් , ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගමේ ඉහලම නිලධාරියෙක් වුවත් ඔහු ප්‍රිය කල ප්‍රමුඛතම කාර්යය වුණ කොළඹ කුරුදු වත්ත නඩත්තු කිරීමයි.මෙම කුරුදු වත්ත අමුණු 116ක් (අක්කර 232ක් ) විශාල බවත් වාර්තා වෙනවා.කොරනේලිස් යටතේ ලාංකීය කම්කරුවන් 150ක් පමණ මෙම කුරුදුවත්තේ සේවය කර තිබෙණවා.තවද සතුන්ගෙන මෙම වත්තට සිදු විය හැකි හානි වළක්වා ගැනීමට ලී වලින් තැනූ සවිමත් වැටකින් කුරුදු වත්ත සතර දෙසින්ම ආවරණය වී තිබෙනවා.මෙම සංචාරයට පසුව බ්‍රැන්ඩේස් විසින් කල සංචාරයකදීද කුරුදු වත්ත නරඹා අලංකාර සිතුවමක්ද ඔහු විසින් ඇදි බව වාර්තා වෙනවා.එහි කුරුදු වත්තත්, කුරුදු තලන කම්කරුවනුත් දැක්වුණ බව කියනවා.
බ්‍රැන්ඩේස් ගේ වාර්ථා වලට අනුව,1757-60 කාලවකවාණුවේදී ඇති වුණ යුධ තත්වයත් සමගම පහත වැටුණු කුරුදු සැපයුම යථා තත්වයට පත් කර ගැනීම සදහා කොළඹ කුරුදු වත්ත බටහිර දෙසින් බේරේ වැව මායිමටද, දකුණින් බම්බලපිටිය දෙසටද ව්‍යාප්ත කර තිබෙනවා.
ලංකාවේ බ්‍රිතාන්‍යය පාලන යුගයේ මුල් වකවාණුවේදි, ෆෙඩ්‍රික් නොත් ආණ්ඩුකාර වරයා යටතේ කොළඹ කුරුදු වත්ත ඉතා හොදින් නඩත්තු වී තිබුණ අතර බ්‍රිතාන්‍යයන්ගෙ කුරුදු පරිභොජනයෙන් වැඩිම ප්‍රතිශතයක් කොළඹ කුරුදුවත්තෙන් ඉටු වුන බවත් කියවෙනවා. එහෙත් පසුව බ්‍රිතාන්‍යයන් නුවර සිංහල රජු සමග යුධ වැදීමට කල සැළසුම් සහ පසු කාලීනව සිද්ධ වුණ විවිධ ක්‍රියා වන් වලට පසු 1815 දී මුළු ලංකාවම බ්‍රිතාන්යට යටත් වීමත් පසුව 1833 දී මන්ත්‍රණ සභාව පිහිටුවීමත් සමගම විවිධ පරිපාලනමය හා යුධමය කටයුතු වලට මුල් තැන ලබා දීමේදි කොළඹ කුරුදු වත්ත කෙරෙහි අවධානය අඩු වී එය වෙනත් ගස් මගින් ආක්‍රමණය කිරීමෙන් නැවතත් කැළය බවට පත්ව තිබෙනවා...මෙම කැලයෙන් කොටසක් වූයේ වත්මන් නිදහස් චතුරශ්‍රය, රූපවාහිනී සංස්ථාව, ගුවන් විදුලි සංස්ථාව ආසන්න ප්‍රදේශයන් වසා ගත් 'කූඹි කැලේ' නමින් හැදින්වූ කැළෑ බිමයි.

1850 දී 'සිලෝන් ටර්ෆ් ක්ලබ්' ගෝල් ෆේස් සිට මෙම කුරුදු වත්ත ආසන්නයට ගෙන ඒමත් සමගම මේ ප්‍රදේශය කෙරෙහි බ්‍රිතාන්‍යයන්ගේ අවධානය වැඩි වී එය කීර්තිමත් බ්‍රිතානීන්ගේ ස්ථීර වාසස්ථාන සදහා භූමියක් වීමෙන් කුරුදුවත්ත ගෞරවාන්විත, නාගරික බිමක් වීමෙ අඩිතාලම වැටෙනවා...
ඉතිං අද 'පොෂ්' නෝනලාගේ භූමිය වන කුරුදු වත්ත ඉස්සර කැලෑවක් වෙලා තිබුනෙ ඕන්න ඔහොමයි...


අද වෙනකොට ටොරිංටන්,බාර්න්ස් ප්ලේස්, රොස්මීඩ් ප්ලේස්, ඇල්ක්සැන්ඩ්‍රා ප්ලේස්, හොර්ටන් ප්ලේස්, විජේරාම,තුම්මුල්ල,මලලසේකර මාවත, කේම්බ්‍රිජ් ප්ලේස්,ටවුන් හෝල්, පාක් ස්ට්‍රීට්, බේබෲක් ප්ලේස්, පාක් ස්ට්‍රීට්, යුනියන් ප්ලේස් සහ ජාවත්තේ කොටසකුත් යන ප්‍රදේශ සියල්ලම ඒ කාලෙ මේ කියන කුරුදු වත්තට අයිති වෙලා තිබුණ ප්‍රදේශ තමයි. 



කුරුදු වත්තෙ ඉතිහාසයට සාක්කි කියන කුරුදු ගහක් තියෙනවා දන්නවද?..ඔවු ඒක තියෙන්නෙ කුරුදුවත්ත තැපැල් කාර්යාලය ඉස්සරහා( අපේ ඔෆිස් එකට ඉස්සරහා, පාරෙන් අනිත් පැත්තෙ :)   ). මෙම ඓතිහාසික කුරුදු ගහ ගැන සදහන්  පුවරුවක් කුරුදුවත්ත තැපැල් කන්තෝරුව ඉස්සරහ තියෙනවා.. 





ආයෙ වතාවක් කුරුදු වත්ත තැපැල් කන්තෝරුව ( බැප්ටිස්ට් පල්ලිය සහ කොළඹ නගරශාලාව අතර පිහිටී ) පහු කරන් යද්දි හොදට බලන්නකො. පාරට ටිකක් එහායින්, තැපැල් කන්තෝරුවෙ ප්‍රධාන දොර ඉස්සරහම  කුරුදු ගහ තියෙනවා...

කොළඹ වීදියකදී නැවත මුන ගැහෙමු.
- අමිල -

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters