කොළඹ වීදියකදී.....15 - "කොළඹට වෙලාව කියන්නෝ"


නගරයකට ඔරලෝසු කණුවක් කියන්නෙ අභිමාණයක් ගෙනදෙන දෙයක්... නොඑක් වීදී අතරින් ඈතට පෙනෙන විදිහට ඔරලෝසු සවි කරලා තියෙන මේ ඔරලෝසු කණු වලින් වෙන්නෙ සුළුපටු සේවයක් නෙමේ... නගර වාසීන්ට සහ මගී ජනී ජනයාට වෙලාව දැක්වීම වගේම නගරයේ අලංකාරයටත් නොමද රුකුලක් දෙන්නෙ මේ ඔරලෝසු කණු...ලංකාවෙ ප්රධාන නගර හෑම එකකම පාහේ එකක් හෝ ඔරලෝසු කණු තියෙනවා...
එකකට වඩා ඔරලෝසු කණු ලබන්න කොළඹ නම් වාසනාවන්ත වෙලා තියෙනවා..දවස ගානෙ කොළඹ යන එන ඔබ මින් ඔරලෝසු කණු කීයක් දැකලා තියෙනවද?... දැකලා තිබුණත් අවම හෝ අවධානයක් මේවට දීලා තියෙනවද?
දැක්කත් , නොදැක්කත්, අවධානයක් දුන්නත්, නොදුන්නත් අද අපි ටිකක් කතා කරමු කොළඹට වෙලාව දක්වන මේ යෝධයන් ගැන....

අපි පටං ගමු කොළඹ නගරයේ කේන්ද්රස්ථානයක් වන ඕල්කොට් මාවතේ කොටුව ස්ටේසම ගාවින්...මම නිත්ය ප්රවාහණ මාධ්යයක් විදිහට කෝච්චියෙ පාවිච්චි පටං අරන් මේ ඔක්තොබර් වලට අවුරුදුදහයයි. සීසන් එකේ දින සටහන් වෙන්නෙ 2008 ඔක්තෝබර් 18 කියලා...ඉතිං ඒ කාලේ කොටුවෙන් තමයි කෝච්චියට නැග්ගේ..ඔය කාලෙ අන්තිම මිනිත්තුවටත් බස් එකෙන් බැහැලා දුවද්දි ඇහැ ඉබේම යන්නෙ කොටුව ස්ටේසමේ ඉස්සරහා අර්ධ වෘත්තාකාර කොටසෙ හයි කරලා තියෙන ඔරලෝසුවට.. 
 
ඒ ඔරලෝසුවට අනුව කෝච්චියට තව විනාඩියක් හරි තියෙනවා නම් මගෙ හිතට දැනෙන්නෙ පුදුම සැනසිල්ලක්.. මම ඒකෙන් කියන්න උත්සාහ කලේ මීට අවුරුදු දහයකට කලින් බලද්දි කොටුව ස්ටේසමේ ඔරලෝසුව ඉතාම නිවැරදිව වෙලාව කියපු එකක් කියන එකයි...හැබැයි පස්සෙ පස්සෙ ඒක වෙනස් වුණා... දැන් මම කොටුවෙන් කෝච්චියට නගින්නෙ නැති නිසා ඕකෙ වෙලාව හරිද වැරදිද කියන්න දන්නෙ නම් නෑ..අද තියෙන කොළඹ කොටුව ස්ටේසමේ ප්රධාන ගොඩනැගිල්ල 1906 ඉදිකලා සහ 1917 දි විවෘත කලා කියලා තමයි කියන්නෙ...එතෙක් මෙතෙක් ඔය ඔරලෝසුව කී කෝටියකට වෙලාව කිවුවද කියලා හිතන්න අමාරුයි...අද වෙනකොට දෛනිකව කොටුව ස්ටේසම පාවිච්චි කරනා ලක්ෂ දෙකක සාමාන්යයක් වූ මගීන් අතර ඔඅබත් මේ ඔඅරලෝසුව දිහා බලලා ඇති එක වතාවක්වත්...බලලා නැත්තම් හෙටවත් බලන්න :)

ඊලගට අපි යමු හරියටම කොටුව ස්ටේසම ඉස්සරහින් වරාය පැත්තට යන 'මල්වත්ත පාර' දිගේ..
 
මල්වත්ත පාර කෙලින් වීදියට ,සර් බාරොන් ජයතිලක මාවතට සහ බංගසාල වීදියට එකතුවෙන තැන තියෙන මංසන්ධියෙ තියෙනවා පරණ ගොඩනැගිල්ලක්. ඕකෙ බෝඩ් එකක් ගහලා තියෙනවා " විමළධර්ම සහෝදරයෝ:ජාතියට වෙලාව දක්වන්නෝ" කියලා... නෑ නෑ මේ කියන්න හදන්නෙ එයාල ගැන නෙමේ ඒ හරියටම විමලධර්ම එක ඉස්සරහා මංසන්ධියෙ තියෙන වටරවුම මැද තියෙන 'ඛාන් ඔරලෝසු කණුව' ගැන.
 
 
ඛාන් ඔරලෝසු කනුව මෙතැන ඉදි වෙන්නෙ 1923 දි. ඒකාලෙ සිට මෑත කාලයක් වෙනකල්ම ඔරලෝසු කණුව වටේ පොකුණක් තිබුණත් අද වෙනකොට ඒකෙ වතුර මල් ක්රියාත්මක වෙන්නෙ නෑ.මේ ඔරලෝසු කණුවේ පහත කොටසෙ සදහන් වෙනවා මෙන්න මෙහෙම "This clock tower and fountain was erected to the memory of Framjee Bhikhajee Khan by his sons Bhikhajee and Munchershaw Framjee Khan as a token of affectionate gratitude and dedicated through the Municipal Council to the citizens of Colombo on the fourth day of January 1923, the 45th anniversary of his death." 
 

 
 කොළඹ නගරයේ පාරවල් කියද්දි 'ලෑන්ඩ් මාර්ක්' එකක් විදිහට පාවිච්චි වෙන මේ ඔරලෝසු කණුව අද වෙනකොට විමලධර්ම සහෝදරයෝ සමාගමෙ අනුග්රහයෙන් නඩත්තු වෙනවා.
 
 
අපි මේ ගමන්ම ඔය හන්දියෙන් වම්පැත්තට සර් බාරොන් ජයතිලක මාවත දිගේ ගිහිං ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව ගාවින් වම් පැත්තට "යෝක් වීදිය" දිගේ ඇවිත් අස්සයා පිටේ පොලිස් රාලහාමි ඉන්න තැනින් පාරත් පැනලා "චැතම් වීදිය" දිගේ මහ බැංකුව පැත්තට යන්න තියෙන පාර දිගේ යමු. 
 
ඒ ගිහාම චැතම් වීදිය ජනාධිපති මාවත හමු වෙන මංසන්ධියේ තියෙනවා 'ලයිට් හවුස් ඔරලෝසු කණුව'.
 
කොළඹ දැනට ඉතිරි වෙලා තියෙන පරණම ඔරලෝසු කණුව තමයි මේක.1860 දි හදපු මේ ඔරලෝසු කණුවෙ ;1865 දි ප්රදීපාගාරයක පහනක් සවි කරන්නේ කොළඹ වරායට එන නැවුවලට පාර කියන්න.බිග් බෙන් ඔරලෝසුවේ නිෂ්පාධකයන් විසින්ම නිෂ්පාධිත මුල් ඔරලෝසුව 1913 දි ඉවත් කරලා අළුත් ඔරලෝසුවක් සවි කරනවා. පසු කාලීනව ඉදි වුණ උස් ගොඩනැගිලි නිසා මෙම ඔරලෝසු කණුවේ ප්රදීපාගාරය නොපෙනී යන්න වුණ නිසා ගල්බොක්ක වීදියේ/ගෝල්බක් ස්ට්රීට් හි ඉදි වුණ ප්රදීපාගරයෙන් ඒ රාජකාරිය කරන්න පටං ගත්තා. 1970 දශකය වන තෙක් වෙනස් ස්වරූපයකින් වර්ණ ගන්වා තිබුණ මෙම ඔරලෝසු කණුව අද දකින්න ලැබෙන්නෙ ඒ ස්වරූපයෙන් නෙමේ.
 
 
ඊට අමතරව 70 දශකයේ , ඔරලෝසුවේ පහල තියෙන අර්ධ වෘත්තාකාර දොරටුවට ඉහලින් ජාතික කොඩියේ සිංහ ලාංචණය සහ පුන් කලසක් පින්තාරු කොට තිබී තිබෙනවා.අද වෙනකොට එයත් දකින්න ලැබෙන්නෙ නෑ.ඔරලෝසු කණුවේ ඉහලට යන්න නම් බෑ.
 
ඔහොමම ජනාධිපති මාවත දිගේ ඇවිත් වම් පැත්තට ලෝටස් පාර දිගේ ඇවිත් රීගල් වටරවුමත් පහු කරං ලේක් හවුස් එක ගාවින් ඩී.ආර් විජේ වර්ධන පාරෙන් ගිහිං ගාමිණී හෝල් හන්දියෙන් වම් පැත්තට උඩහට යමු. ඒ ගිහාම හම්බ වෙන්නෙ මරදාන හන්දිය.මරදාන හන්දියෙ ඉදන් වටපිට බලද්දි පේනවා මරදාන ස්ටේසමේ ප්රධාන ගොඩනැගිල්ලේ ඉස්සරහා ප්රෞඩ විදිහට පාර බලාගෙන ඉන්න ඔරලෝසු කණුව. 
 
ඔරලෝසුවට යටින් 'මරදාන' කියලා ලියලා තියෙනවා.ලංකාවේ මුල්ම ස්ටේසම ඉදි වෙන්නෙත් මරදාන ස්ටේසම අසල. ඒ 1864 දි. 1906 දි ඒ පරන ස්ටේසම වහලා තමයි මරදාන දැන් තියෙන ස්ටේසම හදන්නෙ. එදා සිට මෙදා තෙක් මරදාන ස්ටේසමේ ඉදන් මේ ඔරලෝසුවෙන් වෙලාව කියනවා. ලිපිය පටං ගනිද්දි මම කිවුවා කොටුවෙ ඔරලෝසුව මට ප්රයෝජනවත් වෙච්ච විදිහ. ඒ වගේම තමයි 2013 ඉදලා මරදාන ස්ටේසම පාවිච්චි කරන්න ගත්තම මේ ඔරලෝසුව පිහිට වුණේ.ටවුන් හෝල් වල ඉදලා ඇවිත් , ගාමිණී හෝල් වලින් බැහැලා කෝච්චියට දුවද්දි ඇතින් පේන මේ ඔරලෝසුව දිහා තමයි එදා ඉබේම බැලුණේ. ඒ කාලෙ හරියට වෙලාව කියපු මේ ඔරලෝසුව අද නම් වෙලාව කියන්නේ වැරදියට.මරදාන ස්ටේසමේ නිලධාරීන්ට ඔරලෝසුවක් දිහා බලනවට වඩා වැඩ රාජකාරි ඇති කියලා හිතලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද අපි.වෙලාවකට හිතෙනවා හැමදාම කෝච්චි පරක්කු වෙන්නේ මේ වැරදියට වෙලාව කියන ඔරලෝසු දිහා බලන් කාල සටහන් හදන නිසා කියලත් :D :D :D .
මේ ඔරලෝසු කණුව ගැන කියද්දි මට වෙච්ච සිද්දියක් මතක් වෙනවා...ඒ කාලේ මම ඔඩිට් ෆර්ම් යනකොට ඒකෙම වැඩ කරපු කැළණිය විශ්වවිද්යාලයේ ඉගෙන ගත්ත මගෙ යාලුවෙකුත් එක්ක මම දවසක් මරදානෙන් කෝච්චියෙ නගින්න ආවා(මරදාන කිට්ටුව ඔඩිට් එකක් ඉවර වෙලා) . මිනිහට පුරුදු ඉතින් ඩාර්ලි පාරෙ ඇවිත් ගාමිණී හෝල් හරහා ස්ටේසමට එන්න.එදා පාරෙ ලොකු බ්ලොක් එකක් නිසා බස් එක ඩාර්ලි පාරෙ එනවා වෙනුවට අතුරු පාරකින් දාලා ඩීන්ස් පාරෙන් තමයි ගියෙ.මට ඊ කාලෙත් ඔඅය පාරවල් පුරුදු වුණාට ඩාර්ලි පාර විතරක් හුරු මගෙ යාලුවා කියවනවා ඉවරයක් නෑ මේ කොහෙද බං යන්නෙ කියලා. පාර දිගේ එනකල් මට මේකගෙ කන්දොස්කිරියාවෙං ගැලවිල්ලක් වුණේ නෑ.අන්තිමට බස් එකෙනුත් බැහැලා මූ කියෝනවා..තව ටිකක් ඉස්සරහට මේකගෙ කරච්චලේ ඉවසං ඇවිත් 'කියවන්නෙ නැතිව අර බලපිය' කියලා මම පෙන්නුවෙ ඈතට පේන ස්ටේසමේ ඔරලෝසුව.ඔරලෝසුවට යටින් තියෙන 'මරදාන' දැක්කම තමයි මේකගෙ කරච්චලේ නැවතුණේ......
 
මරදානෙ ස්ටේසමේ ඉස්සරහින් ඇතුළු වෙච්ච අපි ඇතුලට ගිහින් සියළුම අතුරු මගී පාලම් සහ වේදිකා යා කරන ප්රධාන මගී පාළම දිගේම ඉස්සරහට ගිහිං ස්ටේසමේ අනිත් පැත්තෙන් පංචිකාවත්ත පාරට යමු.පංචිකාවත්ත පාරෙ එල්ෆින්ස්ටන් තියටර් එක , බුහාරි හෝටලය එහෙම පහු කරං ඉස්සරහට යද්දි වම් පැත්තෙ හම්බ වෙනවා 'ටවර් හෝල් තියටර්' එක. 
 
ටවර් හෝල් තියටර් එකට නම වැටෙන්නම හේතු වුණ මේ ටවර් එකේ උඩ කොටසෙ තියෙනවා ඔරලෝසු හතරක්..
 
පැති හතරේ.1880 දි අශ්ව ඉස්තාලයක් තිබ්බ බිමක ටවර් හෝල් තියටර් එක හදන්නේ ජී.ඩී.හෙන්ද්රික් අප්පුහාමි සෙනෙවිරත්න මහතා විසින්. 1880 ඉදන් සියවසකට වැඩි කාලයක් තිස්සෙ ටවර් හෝල් ඔරලෝසු කණුවෙ ඔරලෝසු වලින් , මරදානෙ ස්ටේසමේ ඔරලෝසු කණුව වගේම මරදාන වාසීන්ට සහ මගී ජනීජනයාට වගේම නාට්ය බලන්න එන ප්රේක්ෂකයන්ටත් වෙලාව කියනවා.
 
 
ආපහු ඔරාබිපාෂා මාවත නොහොත් මරදාන පාරට ඇවිත් ඩීන්ස් පාර දිගේ සොයිසා වටරවුමට යමු.සොයිසා වටරවුමෙ තියෙනවා ඔරලෝසු හතරක් සහිත ඔරලෝසු කණුවක්. මේක නම් එතරම් පරණ ඔරලෝසු කණුවක් නෙමේ. 
 
 
ඒ නිසා අපි එහෙමම සොයිසා වටරවුම පහු කරලා 120 බස් පාරෙ ගිහින් නෙළුම් පොකුණ ගාවින් වම් පැත්තට නිදහස් මාව්තේ යද්දි ,නිදහස් චතුරශ්රය පහු වෙනවත් එක්කම පේනවා කොළඹ මට මතක අන්තිම ඔරලෝසු කණුව.ඒ ,පරණ 'ජාවත්තේ පිස්සු වාට්ටුව' (1889 සිට 1926 අංගොඩට ගෙන යන තෙක් ) සහ ඊට පස්සෙ ලංකා යුනිවර්සිටි කොලීජිය සහ ඊටත් පස්සෙ රේඩියෝ සිලෝන් (ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව )ට අයිති වෙලා තිබුණ ගොඩනැගිල්ලෙ .
 
කාටත් තේරෙන බාසාවෙන් කිවුවොත් ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ගොඩනැගිල්ලේ.මතක් වුණා නේද?... මේ ඔරලෝසු කණුවෙන් ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් ගොඩනැගිල්ලට ලබා දෙන්නෙ සුලු පටු ලස්සනක් නෙමේ...හතර පැත්තට ඔරලෝසු හතරක් තියෙනවා මේ ඔරලෝසු කණුවෙත්....
 

ඉතිං මෙච්චරයි මට මතක කොළඹ තියෙන ඔරලෝසු කණූ...ඔයාලට මතක තියෙනවනම් සඳහන් කරන්න කියන ගමන් සහ කලින් අවධානයක් නොදුන්නනම් අනිත් දවසෙ මේ කියන තැන් වලින් යද්දි පොඩ්ඩක් ඒ ඔරලෝසු කණු දිහා බලලා යන්න :) :) ... 
 
 

කොළඹ වීදියකදී නැවත හමු වෙමු..
- අමිල -

2 comments:

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters