කොළඹ වීදියකදී.....16- "වළව්වේ පංසල"

ඒ ලන්දේසි කාලෙ...මේ කාලේ කොළඹ ලන්දේසි බල ප්‍රදේශය තුල පංසල් ඉදිකරන සම්පූර්ණයෙන් තහනම් කරලා තිබුණ කාලයක්...ඉතින් බෞද්ධයන්ට වැද පුදාගන්න දුර ගෙවාගෙන කැළණිය, පැපිලියාන,නැදිමාල,බෙල්ලන්විල වගේ ඈත පළාත්වල තිබුණ විහාර වලට යන්න සිද්ද වෙලා තිබුණා..

මේකාලෙ කොළඹ කොටහේන කියන්නෙ තරමක් ධනවතුන් වාසය කරපු ප්‍රදේශයක්.
රටගිය මුදියන්සේ නොහොත් සවියෙල් තාබෲ උභයකුලතුංග විජේසිරිවර්ධන මුදලි තුමා කොටහේනේ තමුංගෙ වළව්වෙ වාසය කලේ මේ කාලෙ. මුන්නැහේ ලන්දේසි සමග ලගින් සම්බන්ධකම් පවත්වපු නිසා ඒකාලේ හිටපු ලන්දේසි ආණ්ඩුකාරයා වෙච්චි වං එංගල් බෙක් ව කැමති කරව ගන්න සමත් වෙනවා, තමුංගෙ වළව් වත්තෙම පොඩියට පංසලක් හදන්න...
ඔය විදිහට 1785 කොටහේනෙ හැදෙන වළව්වෙ පංසල මුදලි තුමා බාර දෙන්නෙ සීනිගම උන්නාන්සෙ නමින් හදුන්වපු 'සීනිගම ධම්මරක්ඛිත' හාමුදුරුවන්ට. මේ කාලෙම ඉන්දියාවෙ බුද්ධ ගයාව බාරව හිටි මහන්තාගෙන් ඉල්ලගෙන ඇවිත් ශ්‍රීමහා බෝධියේ ශාඛාවක් මේ වළව්වේ පංසලේ හිටවන්නත් පුලුවන් වෙනවා... පංසලේ ස්වර්ණමය යුගයක් හැටියට කියවෙන්නේ මේ කාලෙ තමයි...

ඉතිං මුලින් මුදලි තුමා සහ පවුලේ උදවියටත් නෑ පිරිවරටත් විතරක් සීමා වෙච්ච වළව්වේ පංසල පහු පහු වෙද්දි;1800 දි පමණ සති පිරිත් පිංකම් සදහා අවට වාසී බෞද්ධයන්ටත් විවෘත වීමත් සමග පොදු පිංබිමක් බවට පත් වෙනවා..
මේ වළව්වේ පංසල තමයි කොටහේන "දීපදුත්තාරාමය"


මුදලිතුමාගෙ කාලෙන් පස්සෙ සෑහෙන කාලයක් යනකල් අභාවයට ගිය වළව්වේ පංසල නැවත නගා සිටුවන්නේ මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවන් දීපදූත්තාරාමයට වැඩම කලාට පස්සෙ.

මුන්නාන්සේගේ කාලෙ දීපදුත්තාරාමයට අළුත් පෙනුමක් ලැබෙනවා..ඉන් අස්සෙ බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ සටනේ කොළඹ මූලස්ථානයක් වෙන්නෙ කොටහේනේ දීපදුත්තාරාමයයි..
වෙසක් පෝය පොදු නිවාඩු දිනයක් බව මුල් වරට ප්‍රකාශ වෙන්නෙත් වර්ණ පහේ බෞද්ධ කොඩිය මුල් වරට එසවෙන්නෙත් දීපදුත්තාරාමයේදීමයි..
1823 මාර්තු මාසෙ දීපදුත්තාරාමයේ අළුතෙන් හදාපු බුදු ගේ විවෘත කරන උත්සවය සදහා පාළොස්වක පෝය දවසෙ (මාර්තු 23) උත්සවයක් පැවැත්වුවා. පොලිසියද දැනුවත් කොට බොරැල්ල පංසලේ සිට දීපදුත්තාරාමයට එන පෙරහැරක් සංවිධානය කරලා තිබුණත් අවසාන මොහොතේ එය නතර කරන ලෙස දන්වා තිබුණා..එහෙත් සූදානම් කරගෙන තිබුණ විදිහට පෙරහැර පිටත් වුණත් කොටහේන ශාන්තා ලුසියා පල්ලිය ගාවදි පෙරහැරට ගල්මුල් ප්‍රහාරයක් එල්ලවීනත් එක්කම බෞද්ධ කතෝලික දෙපිරිස අතර ගැටුම් ඇති වෙනවා..එහෙත් ගුණානන්ද හිමිගේ අවවාධ අනුව එය විසිර යන්නෙ මින් පස්සෙ පෙරහැර වලට එන විට මල් සැරසිලි ගෙදර තියෙන මෝල් ගහේ බැදන් එන ලෙස දන්වමිනුයි...

දීපදුත්තාරාමය තායි රජ පවුලේ නොමද අනුග්‍රහයට පාත්‍ර වෙච්ච විහාරයක්. තායි රජපවුලේ කුමාරයෙක් වුන ප්‍රිස්දාන් කුමරු 1896 දී වස්කඩුවෙව් ශ්‍රී සුභූති නාහිමියන් යටතේ පැවිදි වන්නෙ දීපදුත්තාරාමයේදීයි.

විහාරයේ අදටත් දක්නට ලැබෙන විශේෂ දෙයක් නම් ලාංකීය සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් තායි සම්ප්‍රදායට ඉදි වුණු දාගැබයි. මෙහි බුද්ධගයාවට හුරු බවක් දකින්නත් පුළුවන්.



වැලිමළුවේ ඇවිද යනවිට තැන තැන දකින්න ලැබෙනවා තායි රජපවුලේ විවිධ අය විසින් සිටුවන ලද පැළ අසල පිහිටුවන ලද පුවරු. බොහෝ අය මෙහි සාමකාමී ලෙස වැඳුම්, පිදුම් කරනවා. ශීඝ්‍රයෙන් නාගරීකරණය වූ කොටහේනේ රථවාහන ඝෝෂාව අවටින් ඇසුණත්, සිනිඳු වැලි පයට පෑගෙන, මල්, හඳුන්කූරු සුවඳ හමන පන්සල ඇතුළත ශාන්තයි.

පංසලට යන විදිහ අමුණලා තියෙන සිතියමෙන් බලා ගන්න පුලුවන් වේවි.

කොළඹ වීදියකදී නැවත මුණගැහෙමු
-අමිල-




















Gallery






 

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters