වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ
වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ
අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා
නොනිවි ගින්නක් වී ඉකි බිඳී මිහි මඬල
සාපයක් දෝ දෙවියන්ගේ
පාපයක් දෝ මිනිසුන්ගේ
ඉරෛවිනිට්ට සාපමිදෝ
මනිදසෛද පාපමිදෝ
බිඳි සෙනෙහෙ අවුරා
ළං කළ හැකිද
හඬන සිත් තැවෙන සිත්
චන්ද්රිකා සිරිවර්ධන විසින් ගායනය කෙරුනු මෙම මියුරු ගීය තේමා කරගනිමින් ඇරඹුනේ සුර අසුර ටෙලි නාට්යයයි.
මේක ගැන නම් මගේ තියෙන්නෙ කැඩී බිඳී ගිය මතකයක්. නමුත් නවකතාව කියවා ඇති බැවින් මතකය හැකි උපරිමයෙන් උපද්දා ගන්න හැකි වුනා.
ටෙලි නාට්යය 1990 දශකයේ මුල් අවුරුදු කිහිපයේ විකාශය වූවක්. එවක මා ඉතා කුඩා දරුවෙක් වුනත් චන්ද්රිකාගේ මෙම ගීය සහ වීණා සහ වසන්තගේ රංගනයන් වල කොටස් අදටත් මගේ මතකයේ තිබෙනවා. උදාහරණයක් ලෙස කීවොත් වීණා රෝහලට මුල් වතාවට ඔසරියක් ඇඳන් එන දවසේ හෙදියක් "ඩොක්ටර් හරි ලස්සනයි , හැබැයි පොට තව ටිකක් දිග උනානම් හරි" කියනු මට මතකයි. ජාතිවාදි කලබල අස්සේ පවුල බේරෙන්න තැත් දරනු මතකයි.වීණා සිය දරුවා රැගෙන ගිය විට වසන්ත මහ ගෙදරට පැමිණ එය අසද්දී අම්මා "දරුවගෙ අම්මා ඇවිත් ඉල්ලද්දි මට බෑ කියන්න පුලුවන්ද " කියනු මට මතකයි.
වසන්තගේ පියා (සතිශ්චන්ද්ර ) විවාහයට විරුද්ධව බණිනු මතකයි.
ටෙලි නාට්යය නිර්මාණය වන්නේ 1984 , සුමිත්රා රාහුබද්ධගේ පෑනෙන් ලියවුනු එනමින්ම වුනු නවකතාව ආශ්රයෙනුයි.
නවකතාවද කියෙවුවත් මට චරිත නාම මතක නෑ.
නලු නිලි කැල (මතක විදිහට)
වීණා ජයකොඩි
වසන්ත කොටුවැල්ල
මියුරි සමරසිංහ
සතිශ්චන්ද්ර එදිරිසිංහ
ඔච්චරයි මතක...
වීණා දෙමළ ජාතික වෛද්යවරියක්.සේවය කරන්නෙ කොළඹ. වසන්ත රජයේ නිලධාරියෙක්. මතක විදිහට පරිපාලන සේවයේ නිලධාරියෙක්. දෙදෙනාගේ විවාහයට වසන්තගේ පාර්ශවයෙන් එතරම් කැමැත්තක් ලැබෙන්නෙ නෑ. නමුත් දෙදෙනා විවාහ වී දියණියක්ද ලබනවා.
මේ කාලයේ තමයි මුලු ලංකාවම ජාති වාදයෙන් ගිනි ඇවිලෙන්නේ. දකුණේ සිංහල මිනිසුන් අතින් දෙමළ මිනිසුනුත්, උතුරේ දෙමළ මිනිසුන් අතින් සිංහල මිනිසුනුත් බැට කන්නේ එකම කාලයක. රටම වැසී ගිය ගිනි ජාලාවට මේ පවුල හසුවන්නේ දෙදෙනා ජාතීන් දෙකක වූ බැවින්. මොවුන් කෙසේ හෝ සිය ගෙදරද අත හැර දමා හැංගෙමින් ජීවත් වෙනවා.
ඉන් පසු එළඹෙන්නේ දශක තුනක් ගෙවා 2009 වර්ෂයේ අවසාන වුන යුද්ධය ආරම්භ වූ සහ ඉන් පසු කාලයයි.
මේ වෙනවිට ජාති වාදී ගිනිදැල් වසන්තගේ හා වීණාගේ පවුලත් අවුලන්න සමත් වී තිබුණා. උතුරේ සෙබළුන් මියයද්දී දකුණේ ගෙදර වීණාට කටුක බස් අසන්න ලැබෙන්නේ වසන්තගෙන්.
"මතක තියා ගන්නව තමුසෙ දැන් ඉන්නෙ කොලඹ බව..."
වීණාගේ ඥාති සොහොයුරෙක් කොළඹ පැමිණෙන්නේත් මේ කාලයේයි. ඔවුන් මේ දෙපළත් හමු වෙනවා. මුවින් නොපෙන්නුවත් ඔහු සිටින්නේ සිංහල අය කෙරෙහි තරහකින්.
පවුල් අවුල් වෙද්දී , දෙමහල්ලන් විරසක වෙද්දී දරුවාටත් එය බලපානවා. දිනක් දියණිය මහගෙදර තබා රැකියාවට යන වසන්ත ගෙදර ආ පසු දැනගන්නට ලැබෙන්නේ වීණා පැමිණ දියණියවත් රැගෙන ගිය බවයි.
ඉන්පසු කොටස හරියටම මතක නෑ.
කෙසේ හෝ පසුව දෙදෙනාම වීණාගේ ගම වුණ යාපනය බලා යනවා, දියණියත් සමගම. මතක විදිහට වීණාගේ සොහොයුරියකගේ ව්වාහයකට සහභාගි වීමට. වීණා දකුණේදී පීඩා වින්දා සේම වසන්ත උතුරේදී පීඩා විඳිනවා.
කොළඹද පැමිණි වීණා ගේ ඥාති සොහොයුරා ඒ වන විට LTTE සංවිධානයට සම්බන්ධයි.
යාපනයේ සිට ඇති වුණ වසන්ත නැවත කොළඹ යමු කීවද වීණා එයට කැමැත්තක් දක්වන්නෙ නෑ. නැවත ගැටුම් ඇතිවන්නේ ඒත් සමගයි. මෙම ගැටුම උත්සන්න වන්නේ වසන්ත සිය දියණියත් රැගෙන බලෙන් කොළඹ යන්නට පිටත් වෙද්දීය. මෙහිදී ඇති වන අරගලයට වීණාගේ ඤාති සොහොයුරාත් පැටලෙන අතර ඔහු ගිනි අවියක්ද රැගෙන එනවා. වසන්තත් ඔහුත් අතර සිදුවන අරගලය නිමා වන්නේ එහි උන්ඩයක් වසන්තගේ දියණියට වැදීමෙනි.
වීණා සහ වසන්ත ඇතුළු කණ්ඩායම සුර අසුර රූගත කිරීමට උතුරට ගිය අවස්ථාවේදීත් ඔවුන්ට විවිධ තාඩණ පීඩණ එල්ලවුණ බව වීණා රූපවාහිනී වැඩසටහනකදී කියනු මට මතකයි.
කෝවිලක් තුල සිදු කලයුතු රූගත කිරීම් සඳහා හින්දු භක්තිකයන් ඔවුන්ට කිසිසේත්ම ඉඩ නොදුන් බව ඇය පැවසුවා. අවසානයේ රැගෙන ගිය කැමරා ආම්පන්න සියල්ල පසෙකලා සිටිද්දී එක් වරම වර්ෂාවක් ඇද හැලුනු බවත් , වසර ගණනාවකින් වැසි නොලද ගම දේව හාස්කමකින් වැසි ලැබුණු බවත්, එය මොවුන් පැමිණීම නිසා සිදුවූවක් බව විශ්වාස කල හින්දු භක්තිකයන් මොවුන්ට රූගත කිරීමට අවසර ලබා දුන් බවත් ඇය එහිදී පවසා සිටියා.
ටෙලි නාට්යයේ තේමා ගීතය එතෙක් මෙතෙක් බිහි වුණ අලංකාරම ටෙලි නාට්ය තේමා ගී වලින් එකක් බව කියන්න පුලුවන්. දමිළ සංගීතය සහ සිංහල ගී සඳහා යොදා ගන්නා සංගීතය මිශ්රව ඉතාම මියුරු සංගීතයක් එහි තිබුණා.තේමා ගීයේ පද සුනිල් ආර් ගමගේ ගෙනුත්, තනුව සහ සංගීතය එවක ටෙලි නාට්ය විශාල ප්රමාණයකට සිය මියුරු සංගීතය එක් කල ආනන්ද ගමගේගෙනුත් ය .
https://www.youtube.com/watch?v=PSQAABYwyGA
මෙයද දන්නා තරමින් නැවත විකාශයක් නොවුන, අලු යටින් මතු වී ඇවිලෙනා මතකයක් මෙන් සිතේ සදහටම රැඳෙන ටෙලි නාට්යයකි.
නැවත නැරඹීමට වාසනාව ලැබේවා !
- ආර්යන්-