ඉන්දියාව බලා... 01


දීර්ඝ කාලයක ඉදලා හිතේ තිබුණ ආසාවක් තමයි ඉන්දියාවෙ,ඉන්දියාවෙත් මනාලි සහ ලදාක් බලන්න යන්න..කොච්චර කල් බලං හිටියත් එක්තරා දවසක වැඩිය හිතන්න බලන්නෙ නැතිව සැළසුම් කරන්නෙ නැතිව ගත්ත තිරණයක් නිසා ගමන සැබෑ වුනා..

ජූලි 14 වෙනිදා තමයි එහෙ යන්න තිබුනෙ. ඉන්දියාවෙ යනවනම් ලාබම ෆ්ලයිට් එකක් තමයි ඉන්ඩිගෝ.. කොළඹ ඉදලා දිල්ලි (චෙන්නයි හරහා) ෆ්ලයිට් එකට රුපියල් 22,456 ගියෙ... (මීටත් වඩා ගණක් අඩු වන වෙලාවල්තියෙනවා) .චෙන්නයි වල පැය හයක් බලන් ඉන්න නම් වුනා... හවස 6.45 ට තිබුන ෆ්ලයිට් එකෙන් චෙන්නයි ඉදලා දිල්ලි ගියෙ..ඩොමෙස්ටික් ටර්මිනල් වල චෙක් කරන්නෙ මුකුත් නැති නිසා විනාඩි පහලවෙන් එලියට යන්න පුලුවන් වුනා... ඒ යනකොට මගෙ යාලුවො හිටියා මාව ගන්න ඇවිත්... දිල්ලි වල එපා වෙන ට්‍රැෆික් එක අස්සෙන් අපි ගියෙ කෂ්මීර් ගේට් කියන අන්තර් ප්‍රාන්ත මධ්‍යම බස් නැවතුම්පලට... එතනින් මනාලි යන බස් එවෙලෙ නොතිබුන නිසා අපිට සිද්ධ වුනා චන්දිඝඩ් වලට යන්න...දිල්ලි ඉදලා චන්දිඝඩ් යන්න පැය හයයි..උදේ හය හමාර විතර වෙද්දි චන්දිඝඩ් වලට ගියා.චන්දිඝඩ් ගැන යමක් කිවොත් ඒක ස්වාධීන පාලන ප්‍රදේශයක් නොහොත් Union Teritory එකක්..ප්‍රාන්ත රජයන්ට අයත් නොවෙන ,මධ්‍යම රජයෙන් පාලනය වන ප්‍රදේශයක්.අනිත් අතට චන්දිඝඩ් නගරය පන්ජාබ් සහ හර්‍යානා ප්‍රාන්ත දෙකටම අයිති නිසා ප්‍රාන්ත දෙකේම අගනුවර ලෙස පිළිගන්නවා.
චන්දිඝඩ් බස් නැවතුම්පල හරිම කාර්‍යය බහුල බස් නැවතුම්පලක්.. දත් මැදලා මූණත් හෝදගන්න අපිට පුලුවන් වුනා..ගොඩ දෙනෙක් රැස් කකා හිටියා ඒ වැඩේට... මනාලි යන ;පන්ජාබ් රෝඩ්වේස් එකට අයත් බස් එක තිබුණෙ 8 ..ඒක එච්චර සුපිරි පහසුකම් තිබුණ බස් එකක් නම් නෙමේ.ප්‍රාන්ත ආණ්ඩුවෙන් කරන එකක් නෙ.... බස් එකේ හිටිය පන්ජාබ් ජාතික ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි කිසිම සුහදශීලීත්වයක් නැති පුද්ගලයො දෙන්නෙක් .පන්ජාබ් වරුංගෙ තියෙන මාන්නෙ හොදටම තිබුණා ඒ දෙන්න ලග.(ලදාක් යද්දි ගිය බස් එකේ දෙන්නනම් හරිම සුහදශීලි දෙන්නෙක්..පසුවට)
පැය දහයක ගමණකින් පස්සෙ අපි මනාලි වලට ආවා... මනාලි එන අතරමග කිවුවොත් ස්වාගත් කදු වැටියෙන් පස්සෙ තමයි කදුකර ප්‍රදේශ පටං ගන්නෙ . දළ වදයෙන් කිලෝ මීටර 306 ක් විතර දුරක් මනාලි සහ චන්දිඝඩ් අතර තියෙනවා...
3 ඉඩියට්ස් බලපු අය මතක් කරගන්න,තේමා ගීතය යන අතරේ පෙන්ව්න දර්ශන චන්දිඝඩ් සිට මනාලි යන හයි වේ එකේ දර්ශණ..ෆිල්ම් එක මැදදිත් දර්ශණ තියෙනවා...

 
මනාලි වල කොටස් දෙකයි, මනාලි සහ පුරාණා මනාලි තමයි ඒ ..අලුත් මනාලි තියෙන්නෙ මිටියාවතක..ටවුම තියෙන්නෙ අලුත් මනාලි වල... බස් ස්ටෑන්ඩ් එක.. කඩ සාප්පු එහෙම වැඩිපුර තියෙන්නෙ මනාලි ටවුමෙ... 

(way to old Manali)

පරණ මනාලි තියෙන්නෙ ටිකක් ;කිලෝමීටර දෙකක් විතර ඇතින් කදු ප්‍රදේශයක..වාසනාවට අපි නවාතැන් ගත්තෙ පරණ මනාලිය ඉන්න හරියෙ තමයි... ඒ හරිය තරමක් සාම්ප්‍රදායිකයි... මනාලි වල සම්ප්‍රදායිම ලක්ෂණ දකින්න පුළුවන් පුරාණා මනාලි වල...


කාන්තාවන් සහ පිරිමින් දෙකොට්ටාශයම අදින්නෙ නේපාලි ජාතිකයන් අදින ඇදුමට හුරු ඇදුමක්... කාන්තාවන් සලුපටින් හිස වෙලාගෙන තමයි නිතරම ඉන්නෙ..සමහරු පොඩි ජටා විදිහටත් සලුපට ඔතනවා... මේ සළු සහ ඇදුම් වලට පාවිච්චි කරන රෙදි බොහොමයක් ඒ අය අතින් ගොතන ඒව වෙන්න පුලුවන්. 



ගෙදර විවේකය ගත කරන ගමන් , අසල්වැසියන් සමග කතාබහ කරමින් ඉන්න අතරෙ ,ලොකු ගොතන කටු දෙකකින් සලු ගොතන කාන්තාවන් සුලභ දර්ශණයක්..පරණ මනාලි එන පාර දෙපැත්තෙම මේ වගේ අතින් වියාපු රෙදි විකුණන් කඩ බොහොමයක් තියෙනවා..පිරිමි අය කලිසම හෝ දෝතිය එක්ක කමිසය ඇදලා ඊට උඩින් වෙස්ට් කෝට් එක එහෙම නැත්තම් ඉන්දියාවෙ විදිහට කිවුවොත් නේරු ජැකට් එක වගේ එකක් අදිනවා..හරිම වර්ණවත්... හිසට ලස්සන තොප්පියක් දානවා.සමහර වෙලාවට ලොකු සලුවක් පෙරවනවා..ඒ තමයි එයාලගෙ සාම්ප්‍රදායික ඇදුම...

කාන්තාවන් ලොකු කූඩ පිටේ බැදන් ඒවයෙ කැලෑ වලින් කඩාගත් එලවලු , කොල ජාති දමාගෙන විකුණන්න හෝ පාවිච්චියට ගන්න අරන් යන එක සුලභ දර්ශණයක්...

ගෙවලුත් නේපාලි ගෙවල් වලට හුරුයි..සාම්ප්‍රදායික ගෙවල් කොටස් දෙකකින් යුතුයි..පහල කොටස දිගින් හා පලලින් අඩු මැටි හෝ ගල් වලින් තනපු කොටසකිනුත් ,ඉහල මාලය ලීවලිනුත් හදපු මේ ගෙවල් හෙවිල්ලලා තියෙන්න ගල් පතුරු වලින් හෝ උලු වලින්...  






ගෙවල් වල පහල කොටසේ මිනිසෙකුට අපහසුවෙන් ඇතුළු විය හැකි ආකාරයේ කුඩා දොරක් තියෙනවා. ඒ කුමකටද කියලා ඇහුවම මනාලි ජාතිකයෙක් කිවුවේ ශීත් සෘතුවේදි ගවයන් ගාල් කිරීම සදහා නිවසේ එම පහල කොටස ඉදිකර ඇති බවයි... ඊට අමතරව මෙම පහල කොටසේ ගබඩා කාමර තියෙන බවත් ඔහු කිවුවා...ලී වලින් හදපු ඉහල මාලයේ තමයි මිනිසුන් වසන්නෙ...

සමහර ගෙවල් වල ලස්සන කැටයම්,ලියවැල් චිත්‍ර එහෙම තියෙනවා..ප්‍රභූ නිවාස හෝ තරමක් යමක් කමක් තියෙනවයි කියලා හිතන්න පුලුවන් අයගෙ ගෙවල් ටිකක් ලොකුයි සහ කැටයම් වැඩියි....

මනාලි ජාතිකයන් පැහැපත් හමක් හිමි අය.. කුල්ලු ප්‍රදේශයේ මා එන විට දුටු අය බොහොමයක් රතු පැහැය මිශ්‍ර සුදු සමක් තිබුණු අය..මනාලි වල අයත් එවන් පැහැයක් හෝ සුදු පැහැයෙන් යුත් සමක් හිමි අය.. පොදුවෙ ගැහැණු පිරිමි දෙකම බොහොමයක් කඩවසම් පෙනුමකින් යුත් අය...


මනාලි වල අපේ දෙවනි දවසෙ මනු දේවාලය නමින් හදුන්වන දේවාලයේ දේව පූජාවක් දැක ගන්නත් අපිට පුලුවන් වුණා...ඒක ගැන පස්සෙ වෙනම ලියන්නම්...

පරණ මනාලියෙ මට දකින්න පුළුවන් වුන ලස්සනම දෙයක් තමයි යැක් හරක්..ඇග පුරා ලෝම වැවිච්ච යැක් හරක් ලස්සන සතෙක්..දැක්කට මට ෆොටෝ ගන්න බැරි වුණා..

පරණ මනාලියෙ තැන් කිහිපයකම දැක්ක පොලොව යටට වෙන්න හදපු සහ උඩින් පිරමීඩයක හැඩයට ගලින් ආවරණයක් තැනූ කුඩා පොකුණු .. 



මෙව්වට කියන්නෙ 'භූත් පානි බාඔලී' (භූත වතුර පොකුණ) කියලා මනාලි වල කාන්තාවක් අපිට කිවුවා..ඉස්සර ඒවා ප්‍රයෝජනයට ගත්තාත් දැන් අප ජලය මිශ්‍ර වෙන නිසා ඒව ප්‍රයෝජනයට ගන්නෙ නෑ කියලා තමයි එයා කිවුවෙ...
මනාලි එනකොට ටකෝලි පහුවෙනවත් එක්කම දකින්න පුළුවන් වුන දෙයක් තමයි යායට හැදුන ඇපල්,දෙළුම් සහ පෙයාස් වතු... මනාලි වලනම් ඇපල් කැලෑවට වගේ හැමතැනම හැදිලා... ලස්සනයි.. හැබැයි කැලෑවට හැදුනට ගෙඩි පැහුණම කඩාගෙන ගිහින් මේ අය විකුණනවා ඇති....


මනාලි වාසින් ගෙන් අපට හමු වුණ සහ කතා බහ කලා හැමෝම වගේ බොහෝම සුහද අය...
පරණ මනාලි වල ඉදන් ඝෝශාල් කියන ගමට යන කැලෑව මැදින් වැටිච්ච පාර ඉතාම මන්ස්කාන්ත,කැලෑව මැද තියෙන අමුතු ලෝකයකට යන පාරක් වගේ..







ට්‍රෙකිං කරන අය අතරෙ ඒ පාර සෑහෙන ප්‍රසිද්ධයි.. මනාලි වල අනිත් ප්‍රසිද්ධම සංචාරක ස්ථානය තමයි සොලෑං වැලි..මනාලි වල කිවුවට ,මනාලි වල ඉදලා කිලො මීටර 13ක් එහායින් තමයි සොලෑං වැලී තියෙන්නෙ..



හිම වැටෙන කාලයට සොලෑං කියනෙ හිමෙන් සම්පූර්ණයෙන්ම වැහෙන ප්‍රදේශයක්.. කේබල් කාර් වලින් කිලෝමීටර දෙකක් පමණ ඉහල කදු වැටියකට යන්න පුලුවන් සොලෑං වලදි... 





ඒ කදු වැටියට ගිහාම අවට පේන විදිහ ගැන කියන්න අමාරුයි..ඒ තරම් ලස්සන දර්ශණයක්..අපි ගිය වෙලාවෙ තරමක පොඩි වැස්සෙක් තිබ්බ නිසා ඉතාම කෙටි කාලයක් තුල මීදුම වැඩි වීමත්,ආපහු නැති වීමත්,ආපහු මීදුමෙන් වැසීමත් නිතර සිදුවෙමින් පැවතුනා...





 









මනාලි අවට බලන්න යන්න තියෙන තව ප්‍රසිද්ධ තැනක් තමයි හඩිම්බා මන්දී එක .




හඩිම්බා මන්දිර් එක තියෙන්නෙ මනාලි ටවුමෙ ඉදලා පරණ මනාලියට යන පාර අතර මග.හඩිම්බා දේවිය නොහොත් පාර්වතියගේ එක් අවතාරයක් වෙනුවෙන් මෙ මන්දිරය කැප කරලා තියෙනවා.
ව්‍යාස් නදිය අසල තියෙන පයිනස් කැලෑවක් ලගින් ඉහලට තියෙන අතුරු පාරකින් තමයි හඩිම්බා මන්දිරයට යන්න තියෙන්නෙ... 



 හඩිම්බා යන අතර මග පාරෙ වම් පැත්තට වෙන්න තියෙනවා ටිබෙට් කොලනි පාර් කියලා පාරක්... ඒකෙ ඇතුළටම නම් අපි ගියෙ නෑ... ඒ පාර පටං ගන්න හරියෙම ලොකු ගල්තලාවක ටිබෙට් ක්‍රමයට බුදු රුවක් කැටයම් කරලා ලස්සනට වර්ණ කරලා පුංචි ටිබෙට් පංසලක් හදලා තියෙනවා... ටිබෙට් අකුරු කියලා හිතන්න පුලුවන් අකුරු වලින් ලියපු සෙල්ලිපියක් තියෙනවා..

බුදු රුවට යටින් පුංචි පුංචි ගල්පතුරු එක මත එක තියලා තිබුනා... මේවට කියන්නෙ ලට්සා කියලා,පුංචි ස්තූඅ විදිහට තමයි මේවා හදන්නෙ. එතනින් ගිය කාන්තාවක් එයින් එක ගලක් අරං වෙන තැනකට විසික් කරලා ගියා..චාරිත්‍රයක් ද කියන්න නම් දන්නෙ නෑ....



මේ පුංචි විහාරයට ටිකක් එහායින් ලොකු පයින් ගහක යට පස් හේදිලා ගුහාවක් වගේ තැනක් හැදිලා තිබුණා හරි ලස්සනට... 

විහාරයට පිටුපස්සෙ ගල් දෙබොක්කාවක් තියෙනවා..ඒ ගල් වලත් සෙල්ලිපි තිබුණා....ටිබෙට් රට ගැන දන්න මිතුරියක් වන Pradeepa Thennakoon කිවුවෙ නම් මේ ගල් වල තියඑන්නෙ මහා යාන සූත්‍ර කියලා..

ලංකාවෙ 9 වෙනකොට කඩ වැහුවත් ..පාරවල් පාළු වුණත් මනාලි වලනම් එහෙම නෑ ,මනාලි වල මිනිස්සු එළියට බහින්නෙ රෑටද කියලා හිතෙනෙවා...තරමක් සීතලත් නොතකා නගරයේ විදි පුරාම සෙනග පිරිලා..එක එක ජාතියෙ ඉන්දියානු රස කැවිලි ;ජලේබි,පානිපූරි(ගොල්ගප්පා),ගුලාබ් ජමූන්,රෂොගොල්ලා ,ඛීර් වගේ ,විකුණන අය එහෙම දකින්න ලැබුනෙත් රෑ වෙලාවෙ...
මනාලි සළු වලට ප්‍රසිද්දියක් උසුලනවා..අතින් ගොතන,අතින වියන සළු;විවිධ මල්,කුරුල්ලො,සමනල්ලු,සත්තු ඉන්න මෝස්තර තියෙන වර්ණවත් අලංකාර සළු වීදී දිගටම විකුණන්න තියෙනවා..තරමක් මිලෙන්නම් අධිකයි...









මනාලි අවට ට්‍රෙකිං කරන්න සහ බලන්න යන්න තැන් ගොඩක් තිබුනත් අපේ ඊලග තැන වෙන ලදාක් වලට යන්න තියෙන නිසා අපි මනාලි වල් ගත කලේ දවස් තුනක් වගේ කෙටි කාලයක්...

තව ලිපිය දික් කරන්න බෑ... ඉතිරිය පසුවට

Gallery

































 

2 comments:

  1. Ticket eka 22K kiyala daala thynne up and down da?

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ නෑ..සේරම 40000ක් විතර ගියා..ටිකට් රිසර්ව් අරද්දි මගෙ අතින් වෙච්ච ගොං වැඩක් නිසා වැඩිපුරු රුපියල් 13000 ගාණක් ගියා ඒක නැතිව මේ..ඒක කොහොමත් අදාල නැහැනෙ

      Delete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters