ඉන්දියාවබලා ...07 - 'ආමේර්'

ජය්පූර් රාජස්තානයේ අගනුවර වෙන්න කලින් එහි අග නුවර වුනේ කදු වැටි වලින් වට වුන ආමේර් නුවරයි..මෙය අම්බේර් ලෙසද ඉංග්‍රීසීන් ඇම්බර් ලෙසද හදුන්වනවා...ජය්පූර් සිට කිලෝමීටර 11 දුරින් ආමේර් පිහිටා තිබෙනවා...
මීනාවරුන් ලෙස හදුන් වන රාජස්තානයේ හා මධ්‍යප්‍රදෙශ් නිජ බිම් කරගත් ගෝත්‍රයක් විසින් ගොඩ නංවනු ලැබූ ආමෙර් ඉන් පසුව කච්චවාහ/කච්චවාල රාජ වංශය ජය්පූර් වලට මාරු වනතෙක් ආමේර් රාජධානිය කරගෙන පැවතියා...
ආමෙර් වල තමයි රාජස්තාන් ගිය වෙලාවෙ මම නැවතිලා හිටියෙ... අපි නැවතිලා හිටි මිතුරාගේ කාමරය තිබුණ ගොඩ නැගිල්ල යට තිබුනෙ අලි ගාලක්...මෙ අලි සංචාරක කර්මාන්තය සදහා යොදා ගන්නා අලි...
ආමේර් වලදි මම ගොඩ කාලෙක ඉදන් රස බලන්න ආසාවෙන් හිටි උක් බීම බොන්න පුලුවන් වුනා..රුපියල් දහයකට ලොකු උක් බීම වීදුරුවක් හම්බ වෙනවා.. යන්ත්‍රයකට දාන උක් දඩු මිරිකිලා තමයි මේ බීම එන්නෙ...

හතර වෙනි දවසේ අපි ගියෙ ආමේර් මාළිගාව බලන්න...
ටිකට් එක රුපියල් 100 ට ගන්න පුලුවන් වුණා..විදෙශිකයන්ගෙ ගාණ රුපියල් 500 යි.. මාළිගාව ඉස්සරහ ඉන්නව ගයිඩ් ලා... යාන්තං ඉංග්‍රීසි කතා කරගන්න පුලුවන් අය සහ හින්දි විතරක් පුලුවන් අය..එක්කෙනෙක්ට රුපියල් 100..අපි නම් ගයිඩ් ල ගත්තෙ නෑ...
අමේර් මාළිගය කියන්නෙ රාජස්තානයේ දැනටත් ඉතා හොද මට්ටමෙ පවතින මාළිගාවල් වලින් විශාලම මාළිගයක්... මහරාජ් මාන්සිං 1 (1550-1614) විසින් තමයි මෙම මාළිගය ඉදිකිරීම ආරම්භ කරලා තියෙන්නෙ... 


මාළිගය තියෙන්න දිල්ලි ජය්පූර් මාර්ගය අසල,ජය්පූර් දෙසට යන විට දකුණු පසින් ,තරමක් ඔබ්බෙන් කදු ගැටයක් මත..මාර්ගයත් මාළිගයත් අතර 'මඕටා වැව' තිබෙනවා..මෙය මාළිගයේ ආරක්ෂාව උදෙසා ඉදිකලා විය හැකියි...එයින් මාළිගයට ලබා දෙන්නෙ නොමද අලංකාරයක්... රාත්‍රියේ දී විවිධ වර්ණ වල විදුලි බුබුලුවලින් අලංකාර වන මාළිගයෙ පිළිබිඹුව මඔටා වැවට වැටුනම මවන්නෙ අලංකාර දර්ශණයක්... මාළිගයෙ රාත්‍රියට විදුලි බුබුලු වලින් රටා මවමින් සංදර්ශණයක් පවත්වන අතරම ආමේර් ඉතිහාස කතාවක් ඇසීමට සළස්වනවා..හරියට අපේ තොරණක වගේ...






ආමේර් මාළිගය ඉදි කිරීමට වැලි ගල් සහ මාබල් බහුල වශයෙන් යොදාගෙන තියෙනවා..මෙ වැලි ගල් ගැන කිවුවොත් රාජස්තානයේ ඇවිදිනකොට මම බොහොමයක් තැන් වල දුටුවා ස්වාභාවිකවම අලංකාර රටාවල් මැවුන වැලිගල්...මුලුරාජස්තානයම වැලිගල් ආකරයක් වගේ කියලා තමයි මට හිතුනෙ...

ආමේර් මාළිගාව විශාල මාළිගාවක් කියලා කලිනුත් කිවුවනෙ...මහ රාජාගේ මාළිගාව,බිසෝ මාළිගාව මහ මාළිගයට තරමක් එපිටින් පිහිටි ජෝදා භායි කුමරිය ගේ සහ සුජාමල් කුමාරයාගේ මාළිගාවන් යන කොටස් ඊට අයත් වෙනවා...

මාළිගයට ඇතුළු වන්න තියෙන ප්‍රධාන දොරටුවෙන් පිවිසෙන්න අංගනයකට... අංගනයෙ ඇතුළු වෙනවාත් එක්කන දකඋණු පැත්තේ බ්‍රාහ්මී අකුරින් සෙල්ලිපි ලිය වුන ගල් කණු දෙකක් තියෙනවා..එවා වෙනත් ප්‍රදේශ වලින් ගෙනත් සවි කරන ලදා ඒවා බව තමයි මිතුරා කිවුවෙ..


අංගනයේ දකුණු පසින් තියෙනවා මාළිගයෙ ප්‍රධාන කොටසට පිවිසෙන දොරටුව..පඩිපෙලක් නැග ලගා වෙන මෙම දොරටුව සිංහ දොරටුව (සිං පෝල්) නමින් අලංකාර දොරටුවක්.සිංහ රුවක් කැටයම් කර තිබෙන නිසා එනමින් හදුන්වනවා....


 එම දොරෙන් ඇතුළු වී ඉහලට ගිය විට වම් පසින් හමු වන්නෙ Divan-i-aam නමින් හදුන් වන මහ රජුගේ සභා ශාලවයි..එහිදී රජු මහ ජනයා ,සිය අමාත්‍ය හා නිලදාරී මණ්ඩලය මුණගැසුනු බවත් උත්සව කටයුතු සිදු කල බවත් කිය වෙනවා..රතු ගල් සහ මාබල් වලින් ඉදි වුන මෙම ශාලාව රාජ්පුත් සහ මුඝල් සම්ප්‍රදායන් දෙකේම ලක්ෂණ වලින් සමන්විත වෙනවා...



එතනින් දකුණු වන්නට තියෙන්න මාළිගාවේ පරිපාලනය සිදුවුන කාර්‍යාල කාමර 27ක්..මෙම කොටස මහල් දෙකකින් යුක්තයි.මේවා කචේරි නමින් හදුන් වනවා... පහල මාලයේ තිබෙන්නෙ නාන කාමර සංකීර්ණයක්.මේවා මහ රජු සහ රජ පවුලේ උදවිය භාවිතයට ගත් ඒවා වෙනවා..උණුසුම් සහ සීතල දෙවගේම ජලය මේවායෙ තිබුනු බව කියවෙනවා....මෙමෙ නාන කාමර හමාම් නමින් හැදින් වෙනවා...





ඉන්පසු හමු වන්නෙ ගණේෂ් පෝල් /ගණේෂ් දොරටුව යි..ඉතාම අලංකාර ලෙස රාජ්පුත් සහ මුඝ්හල් සම්ප්‍රදායේ කැටයම් සහ මෝස්තර වලින් මෙම දොරටුව අලංකාර කර තිබෙනවා..ඉහලින් රාජ්පුත් ක්‍රමයට තරමක් විශාල ගණෙෂ රුවක් ඇද තිබෙන නිසා මෙය ගණේෂ් පෝල් නමින් හදුන්වනවා..






මෙම දොරටුවෙන් ඔබ්බට හමු වන විශේෂම ස්ථානය නම් ශීෂ් මැහැල් යනුවෙන් හැදින්වෙන විදුරු වලින් අලංකාර කැටයම් කල කොටසයි..මහ රජු මිර්සා ජය් සිං විසින් ඉදි කෙරුණා යැයි කියන මෙම ශාලාව අති විශේෂ පුද්ගලයන් මුණගැසීමට යොදා ගත්තායැයි පැවසෙනවා... ජස් මන්දිර් ලෙසත් මෙය හැදින්වෙනවා..ඇතුළට යන්න බෑ.පිටතින් සිට ශීෂ් මැහැල් හි ආලින්දය නැරඹිය හැකියි.







ඉන් පසු හමු වන්නෙත් වැසිකිලි පේළියක්..මේවාත් රජ පවුල භාවිතා කල ඒවායැයි කියවෙනවා...

එතැනින් පසුව හමු වන්නේ රජ පවුලෙ උදවිය ග්‍රීශ්ම කලය ගත කල කොටසයි..





Divan-i-khas ලෙස මෙම කොටස හදුන්වනවා..ශිතල පවත්වා ගත හැකි වන ලෙස මෙම කොටස ඉදිකොට තිබෙනවා... මෙම කොටසේ අලංකාර උද්‍යානයකුත් තිබෙනවා... එතැනින් ඉහල මාළයේ හමු වන්නෙ මහ රජු යුද්ධයට ගිය විට මහ රැජින සිටින කොටසයි..එම කොටසේ තිබෙන තිරයෙන් එපිට රැජිණ කාලය ගත කලා යැයි කියවෙනවා...ඉහල මාලයේ තවත් කාමර විශාල ප්‍රමාණයක් තිබෙනවා... ඉහල මාලයේ හමු වන තව විශේෂ ස්තානයක් වන්නෙ මාලිගයට වතුර ගබඩා කර තැබීමට භාවිතා කල ටැංකිය...

මාලිගයේ ඉදි කිරීම සම්බන්ධව කිවයුතු විශේෂ දෙයක් නම් නොදන්නා කෙනෙකු එහි ඇවිදීමට ගියහොත් මාර්ගය සොයාගත නොහැකිව අතරමංව කැරකී කැරකී එකම තැනට පැමිණෙන ලෙස ඉදිකර තිබීමයි.
 මිතුරා මා මාළිගය අසලින් දමා නැවත ගිය බැවින් මා තනිවම මාළිගය නැරඹීමට ගියා..එ බැවින් හරිහැටි මාර්ග නොදන්නා මම මාළිගය තුළ කැරකෙමින් කිහිප විටක්ම එකම තැනට පැමිණීමත්,මාර්ග සොයාගත නොහැකිව අසල සිටින පොලිස් නිලධාරී ගෙන් විමසමින් යාමටත් සිදු වුනා...තවද බිම් මහල් (පොලොවට යටින් තිබෙන)වලට යන මාර්ග දැනට වසා දමා තිබෙනවා..බිම් මහලේ හදිසි අවස්තාවකදී රජ පවුළට පලා යා හැකි වන ලෙස ඉදි වුන උමං මාර්ග කිහිපයක්ම තිබෙන බවත් ගයිඩ් කෙනෙකු විසින් පවසනු මට ඇසුනා...
කෙසේ නමුත් මාළිගයේ සිට ජය්ඝඩ් බලකොටුවට යන උමං මාර්ගයක් සංචාරකයන්ට දැක ගැනීමට තබා තිබෙනවා..එහි කිලෝමීටරයක් පමණ දුරක් යා හැකි අතර ඉන් එහාට වසා දමා තිබෙනවා..ජය්ඝඩ් වලට පමණක් නොව නහර් ඝඩ් සහ ජය්පූර් මාළිගයටත් මෙම මාළිගයේ සිට උමං මාර්ග තිබෙන බව ගයිඩ් වරයෙකු පවසා සිටියා...

ආමේර් මාළිගය නැරඹීමට පැය දෙකකට ආසන්න ප්‍රමාණයක් වැය වෙනවා... ඉන් පසු එළඹෙන්නෙ මාළිගයේ පිටුපස අංගනයට.එහි තිබෙනවා ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නඩත්තු කරන ටැක්සි ..මේවට මුදල් අය කරන්නෙ නෑ..මාළිගය නැරඹීමට මිලදී ගත් ටිකට් පත ලබා දුන්නම මොවුන් අපව ගෙනියනවා තරමක් ඔබ්බෙන් පිහිටි ජෝදා භායි මාළිගයට සහ මීනා බසාර් වෙත..මීනා බසාර් වලින් මොවුන්ට ගතමනාවක් ඇබෙන බව නම් නොරහසක්,ගණුදෙණු කරුවන් රැගෙන එනවාට...

ජෝදාභායි මාළිගය තියෙන්නෙ ආමේර් මහ මාළිගයට තරමක් එපිටින්... විවාහයට පෙර ජෝදාභායි වාසය කරලා තියෙන්නෙ මේ මාළිගයෙ..මෙය ජෝදා භායි මාළිගය කියලා හැදින්නුවට ඉස්සෙල්ලම මහරාජා මාන්සිං වාසය කරල තියෙන්නෙ මේ මාළිගයේ කියලා කියනවා..මෙහි වාසය කරන ගමන් මහ මාළිගය ඉදි කල බව කියවෙනවා... 


නමුත් ඉන්දීය ඉතිහාසය හරි හැටි ලියවිලා නැති නිසා අවුල් සහගත තැන් තියෙනවා.. මහ මාළිගයේ සිට ජෝදා මාළිගයට යන අතරෙ විනාශ වී ගිය පරණ නිවාස තියෙනවා..ඉන් සමහරක් රජ මාළිගයේ රන් කරුවන්ගේත්, මුදල් (කාසි) තැනූ අයගේත්, වෙලෙන්දන්ගේත් බව කියවෙනවා...  ජෝදා භායි මාළිගයේ මැද මිදුළෙ කොනක තියෙනවා කෘෂ්ණ මන්දිරය , 


 එහි තිබුණ කෘෂ්ණ මූර්තිය ජෝදා ආග්‍රා මාළිගයට යනවිට රැගෙන ගොස් එහි තැන්පත් කලා යැයි කියනවා...දැනට එහි කෘෂ්ණගේ රූප තබා තිබෙනවා.... ජෝදා මාළිගයේ ඉහලට මාළයට යා නොහැකියි... පසු කාලීනව ඉන්දියානු රජයට ආමේර් මාළිගය අයත් වුවත් ආමේර් රජ පරපුරේ වර්තමාන උරුමක්කාරයා (දැනට එංගලන්තයෙ ඉගෙන ගන්නා පද්මනාභ සිං) ට අයත් පෞද්ගලික මාළිගය ජය්ඝඩ් බලකොටුවයි...ජය ඝඩ් බළකොටුව ගැන පසුවට. 







ජෝදා මාළිගයටතරමක් එපිටින් තියෙන්නෙ මීනා බසාර්.එහි තිබෙනවා සාම්ප්‍රදායික රාජස්තාන් ඇදුම් කඩ..මේවායෙ ඇදුම් තරමක් මිලෙන් අධිකයි. මෙම ඇදුම් සදහා වර්ණ ලෙස යොදාගෙන තිබෙන්නෙ එළවළු සහ පළතුරු වැනි ස්වාභාවික ක්‍රමයන්ගෙන් ලබා ගන්න වර්ණයි..එම වර්ණ සේදී නොයාමට පාෂාණ විශේෂයකින් සැදූ කුඩු වතුරෙහි දිය කොට එම වතුරෙහි වර්ණ ගැන්වූ රෙදි පොගවනවා... නමුත් එවා සදන ආකරය චායා රූප ගැනීමට ඉඩ දෙනෙ නෑ...
වර්තමානයෙත් මෙම රෙදි වර්ග සදහා එළවළු වල වර්ණම යොදා ගන්නවාද යන්න නම් මට කියන්න අමාරුයි ...

Amila


Gallery








No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters