ඉන්දියාව බලා ...04

'ලේ (Leh)'


කලින් පෝස්ට් එකක මම දැම්මා ලේ කියන්නෙ කාන්තාරයක ක්ෂේම භූමියක් කියලා..එය එසේමැයි...මූදු මට්ටමින් මීටර 3,524 (අඩි 11,562) ක් උසින් පිහිටි ලේ නගරය අවට තියෙන කදු වැටි වලින් එකකට නැග නගරය දෙස බලන විට එය හොදින්ම වැටහෙනවා.. 





ගහක් කොලක් නැති කදු වලින් වට වූ භූමියක එක පැහැර ගස් කොලන් වලින් පිරි බිමක් හට ගත්තා වැනිය ලේ නගරය..සරු බිමක් යන්නෙන් අදහස් කලේ ලංකාවෙ අපි දැකලා තියෙන ජලයෙන් ,මල් ,ඵල වැලින් පිරි සරු බිමක් කියන එක නෙමේ..නමුත් කාන්තාරයකට සාපේක්ෂව ගහ කොල හා යම් ප්‍රමාණයක ජලය හා ගොවි බිම් සහිත භූමියක් තමයි මේ කියන ලේ නුවර.

මේ ලේ නගරය වර්තමානයේ පරිපාලනමය වශයෙන් ගත්තම තියෙන්නෙ ජම්මු කෂ්මීර් ප්‍රාන්තයෙ,ලදාක් කලාපයේ ලේ දිස්ත්‍රික්කයේ.

ලදාක් වල නම්ග්‍යාල් රාජ වංශය (Namgyal=Victorious) 15 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට ,1842 දොග්රා විසින් ලදාක් යටත් කරගන්නා තෙක් ලදාක් පාලනය කලා...මෙම රාජවංශයෙ ශ්‍රේෂ්ඨ පාලකයන් කිහිප පොලක්ම සිටි අතර ට්ෂි නම්ග්‍යාල් සහ සෙංගේ නම්ග්‍යාල් ඒ අතරිනුත් විශිෂ්ඨතම පාලකයන් ලෙස ඉතිහාසයේ සදහන් වෙනවා...ට්ෂි විසින් සිය රාජ්‍යය විශාලත්වය වර්ධනය කර ගැනීමත්,මුස්ලිම් ව්‍යප්තවාදයට ඉඩ නොතබා ලදාක් හි බෞද්ධ පදනම විනාශ නොවීමට විශාල මෙහෙයක් කල බව ඉතිහාසයේ සදහන් වෙනවා...
ලදාක් හි වර්ධනයට නව ව්‍යාපෘති රැසක් එක් කරමින් සෙංගේ නම්ග්‍යාල් විසින් කල තවත් එක් ව්‍යාපෘතියක් වනුයේ ලේ මහා මාළිගය ඉදි කර ලේ පරිපූර්ණ අගනුවරක තත්ත්වයට පත් කිරීමයි... මේ මාළිගය ටිබෙට් හි පොතාලා මාළිගය ආදර්ශ කරගෙන තැනූ බව සදහන් වෙනවා...

මේ මාළිගය ලේ හි සංචාරය කරන අය අතර ප්‍රධානම ස්ථානයයි... පරණ ලේ නගරය මායිම් වන කදු වැටියක නගරයට ඉහලින් මෙම මාළිගය පිහිටා තිබෙනවා...පරණ ලේ නගරයේ පටු මාවත් අතරින් පිහිටි කෙටි මාර්ගයකින් මාළිගය වෙත ඉක්මනින් යා හැකියි. 
                       
                          (way to the palace)
ඒ යන විට අපට හිතුනේ ඒ පටු මාර්ග ඔස්සෙ රජ වරු කෙසේ නම් ගමන් කලාද යන්නයි. මාළිගයේ කවුලු තුලින් බැලූ විට ලේ නගරය සිව් දෙසින්ම හොදින් පෙනෙන ලෙස මාළිගය ඉදිකර තිබෙනවා...

මෙය මහල් 9කින් යුත් මාළිගයක්...මාළිගය නැරඹීම සදහා ඉන්දීයයන්ගෙන් රුපියල් 15 ක් අය කරනවා..සමා වන්න අප ඉන්දියානුවන් ලෙස රගපාමින් ටිකට් ගත් නිසා විදේශිකයන් සදහා අය කරන මුදල බලා ගැනීමට අමතක විය 😂😂..


මාළිගයේ ප්‍රධාන දොරටුව ගැන යමක් කිව යුතුමයි.දැවමය දොරටුවේ ඉහල ,මම කලින් ලිපියේද සදහන් කල ලෙසට හීනි කෝටු ලක්ෂ ගණනකින් සමන්විත සිවිලිමක් තියෙනවා. ඒක නෙමෙ මේක.මේක තමයි මේ දොරටුව උඩ ලීයෙන් අඹලා තියෙන සිංහ රූපය..එය ගොඩක්ම අපේ යාපහුව සිංහ ප්‍රතිමාවට සමානයි...මුහුණ සහ කට නම් බෙහෙවින්ම සමානයි...







ප්‍රධාන දොරටුවෙන් ඇතුලු වුනාම දකුණු පසින් තියෙන රාජකීය විහාරය..

මේ විහාරය ඇතුලෙ ටිබෙට් සම්ප්‍රදායෙ බුදු රුවකුත්, බෝධිසත්ව රූ දෙකකුත්,තව කුඩා පිළිම කිහිපයකුත් ති‍යෙනවා..'චායා රූප ගැනීම තහනම්' කියලා තිබුනට අපි හොරාට දෙක තුනක් ගත්තා 🙏🙏..කවුරුත් ඉතින් මුරට හිටියෙ නෑනෙ අයිබෝං... පිළිම වලට ඉහලින් බිත්තියේ ටිබෙට් සම්ප්‍රදායෙ බිතු සිතුවම් දකින්න පුලුවන්... 




 මෙම බුදු මැදුරේ එක් බෝධි සත්ව රුවක් ගැන කිව යුතුමයි.
මෙම බෝධිසත්ව රුව අත් දහසක් සහ ඇස් දහසක් ඇති සිතත පත්‍ර නොහොත් දුක්කර් බෝධිසත්වයාගේ මූර්තියකි.
සිනහා මුසු මුහුණින් යුත් මෙම බෝධිසත්ව රුව වම් පසට මදක් ඇලව ,වම් අත ඉනට තබා දකුණතින් යම් මුද්‍රාවක් දක්වයි...මූර්තිය දුටු විගස අපට සිහි වුනේ චායා රූපයකට ,මදක් ඇලවී,අතක් ඉනට තබාගෙන එක් අතකින් ඇගිලි දෙකක් දක්වමින් සිටින තරුණයෙක් ගේ රුවයි...මෙම බෝධිසත්ව මූර්තියේ විවිධ අවස්තා මා දැක ඇති නමුත් මෙවන් අවස්තාවක් දුටු පළමු වතාවයි....



මාළිගයේ ඉහල මාල ගැන විශෙෂයෙන් පැවසීමට යමක් නැත්තේ මහල් හැම එකක්ම චායාරුප ප්‍රදර්ශනයට තබා ඇති ශාලාවන් ලෙස බාවිත කර ඇති නිසාය..ඇතැම් ශාලා සහ කාමර අන්ධකාරයෙන් සහ දූවිල්ලෙන් පිරි ,සංරක්ෂණයට තබා එ සදහා හිතා වත් නැති එවාය..මාළිගය සංරක්ෂණය කිරිම මෑතකදී අරඹා ඇති අතර එය ඕනෑවට එපාවට කෙරෙන වග පෙනෙන්නට තිබුණි...(ඒ අතින් රාජස්තාන් හි මාළිගා සංරක්ෂණය විශිෂ්ඨය)...

මාළිගයට වම් පසින්,මාළිගය පිහිටි කදු ගැටයට වඩා උසින් වැඩි කන්දක ට්සෙමෝ ගොම්පා(විහාරය) පිහිටාඇත...


එයට යාමට ඇති මාර්ග දෙකකි..එකක් මාළිගයට වම් පසින් වක්‍රාකාරව දිවෙන ඉතාම දීර්ඝ මාර්ගයකි,වාහනයකින් යනවානම් එය සුදුසුය,අනෙක් මාර්ගය නම් මාළිගයට පිටුපසින් ඇති , ලේ නගෙරයෙ වෙනත් පැත්තකට යොමු වෙන පඩිපෙල් සහිත මාර්ගයකි..අප මෙම විහාරයට යාමට තෝරා ගත්තෙ මේ මාර්ග දෙකම නොවේ..අප තෝරා ගත්තේ සංචාරකයන් ගමන් කිරීමෙන් හැදුනු කෙටි මගකි..කෙටි මගක් කිවුවට මෙය තරණය කිරිමට අපහසු,අධික බෑවුම් සහිත,දූවිල්ල නිසාම ලිස්සන සුලු දුෂ්කර මාර්ගයකි..
කෙසේ හෝ මෙම මාර්ගය තරණය කර අප ට්සෙමෝ ගොම්පා වෙත පැමිණියෙමු...අහෝ ඛේදයකි..එය සංරක්ෂණය කෙරෙමින් පවතී..සංරක්ෂණය ඉතාම දුප්පත් මට්ටමක පවතී..පෙදරෙරුවන්ට විහාරයේ පැරණි පිළිම හෝ සිතුවම් ගැන වගක්වත් නොවීය ..ඇතැම් සිතුවම් මත බදාම තට්ටු පිටින් ගල්වා තිබුණි..ඉතිං විහාරය ඇතුලෙන් ඉහලට යාමට නොහැකි නිසා අප එලියේ පිහිටි කුඩා විහාර මන්දිර දෙකක් නැරඹීමු... මින් එක් විහාරයකද සිතතපත්‍ර බෝධිසත්වවරයාගෙ මූර්තියක්විය..අනෙක් මන්දිරයේ විශාල මෛත්‍රිය බෝධිසත්වවරයයාගේ මූර්තියක් විය...එය ප්‍රධානම විහාර මන්දිරයයි.

   (Tsemo Gompa)

ට්සෙමෝ ගොම්පා සිට බලන කල ලේ නගරය ඉතාම හොදින් දිස් වේ...ඈතින් ශාන්ති ස්තූපයද පෙනුනි...

ට්සෙමෝ ගොම්පාවෙදී අපට හමු වුනේ නෝර්වේ සිට පැමිණි මැදි වියේ කාන්තාවක්..ඇගේ නම දැන් මට මතක නෑ.. ඇය තනිවම සංචාරයේ පැමිණි අයෙක්..ඇය අප සමග පැවසුවේ අවුරුදු නවයකට පෙරද ඇය ලදාක් වෙත පැමිණි බවත් ඒ අවස්තාවට වඩා සෑහෙන දියුණුවක් මෙ වන විට ලබා ඇති බවයි..තවද අප සමග ඉතාම සුහදව කතා කරමින් ඇය පැවසුවේ තනිව සංචාරයෙන් ඇය ඉතාම සතුටු වන බවයි,ඇයට ඕන දෙය කිරීමට ඇති හැකියාවත් අන් අය ගැන සිතීමට ඉඩක් නැති වීමත් නිසා සංචාරය උපරිමයෙන් විදීමට හැකි වන බව ඇය පැවසුවා..ලංකාවේ කතුන් ඒ අතින් සෑහෙන පිටුපසින්,සංචාරය අතරෙදි අපට ගොඩක් හමු වුනා තනිවම සංචාරය කරන පිරිමි සහ ගැහැණු... නමුත් ඒ එක් අයෙක්වත් ලාංකිකයන් හෝ ඉන්දියානුවන් නොවෙ...විහාරයෙන් නගරයට යා හැකි අනෙක් මාරගය අපට පෙන්නුවෙත් ඇයයි..
එ මාර්ගයෙන් පැමිණි අපට නගරයේ වෙනත් පැත්තක් දකින්නට පුලුවන් වුනා..ඒ පැත්තෙ වැඩි පුරම හිටියෙ මුස්ලිම් ජාතිකයන්... ඒ ප්‍රදේශයේදි අපිට දකින්න පුලුවන් වුනා බිම හාරා තැනූ උදුන් වල බිත්ති වල ඇලවූ රොටි ,උදුන මැද තිබෙන ගිණි අගුරු වල රස්නයෙන් පුලුස්සන ආකාරය..දැක්කම කන්න ආසා හිතුණත් ඒ වෙලාවෙ බඩ පිරිලා තිබ්බ නිසා කැවෙ නෑ..එ ගැන තාම මම දුක් වෙනවා..😪😪😜😂😂..ඇත්තටම ඒ රොටියක රස බලන්න තිබ්බනම්... මේ ප්‍රදේශයේ පාර්සි(ඉරාන) ජාතිකයන් යැයි සිතිය හැකි කඩවසම් පෙනුමෙන් යුතු මුස්ලිම් වරු බොහොමයක් දකින්න ලැබුණා..
ලේ නගරයේ නැරඹීමට ඇති තවත් තැනක් නම් ශාන්ති ස්තූපය ..නගරයේ බටහිර පසට වෙන්න කදු ගැටයක් මත මෙම ස්තූපය පිහිටා තිබෙනවා.ඈත සිට ස්තූපය හා ඊට එපිටින් පිහිටි කදු වැටි දෙස බලන විට අලංකාර දසුනක් මැවෙනවා... 

තව නැරඹීමට ස්තාන ගොඩක් තියෙනවා ලේ වල..කිහිපයක් නම් සංකර් ගොම්පා,ටිබෙට් ගම,ගොමං චොර්ටන්(විහාරයක්),ට්සෙමෝ බලකොටුව,චම්බා විහාරය දැක් විය හැකියි....
                              (Chamba temple)


සේරම ලියන්න ගියොත් මේක තව දික් වෙනවා..ඒ නිසා ඉතිරිය පසුවට...

අමිල

Gallery







      (The gate of Leh )

                    (craftsmen )


 (Market and main street)




                                          (Part of Leh in winter--- from net)

1 comment:

  1. බොහොම ස්තූතියි අපිවත් ගමනට සහබාගී කර ගත්තට ... අපූරැ නමුත් බොහොම ඉරිසියා හිතෙන සටහනක් 👌

    නව වසර පුරාවට මේ වගේ තව තවත් ගමන් යන්න වාසනාව ලැබේවා !

    UAE පැත්තෙ කරක් ගහන්න හිතුනොත් කියන්න 👍

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters