මනාලි වල දවස් දෙකහමාරක් හිටිය අපි ලදාක් යන්න හිතා ගත්තා.. රොටෑං යන්න හිතං හිටි ගමන කැන්සල් වුනේ අගහරුවාදා රොටෑං යන බස් නැති නිසා..ඒක අපේ වාසනාව..මොකද අපිට ලදාක් යන්න තිබුනේ රොටෑං හරහා..ඒ නිසා අමුතුවෙන් රොටෑං ගියානම් ඒ ගමන අපරාදෙ.
මනාලි වලින් අපි පිටත්වුනේ පාන්දර 4 බස් එකෙන්..හිමාචල් ට්‍රාන්ස්පෝට් කෝපරේෂන් එකට අයිති බස් එකක..චන්දිඝඩ් ඉදලා ආපු බස් එකේ වගේ නෙමේ ,හිමාචල් මිනිස්සිංගෙ සිහද බව ප්‍රකට කරමින් මේ බස් එකේ ඩ්‍රයිවරුයි ,කොන්දොස්තරයි දෙන්නම හරිම සුහද දෙන්නෙක්..කොන්දොස්තර මහත්තයා නිතරම මගීන්ට සුහදව කතා කරමින් හැකි හැම උපකාරයක්ම කලා...
හය විතර වෙනකල් බස් එකේම ටිකක් නින්ද ගියා...ඇහැරෙනකොට දැකපු දර්ශණ වලින් මම පුදුම වුණා..අපි හිටියේ මූදු මට්ටමින් මීටර දෙදාහක් විතර උඩ. යන්තම් පොද වැස්ස අතරෙ දකින්න ලැබුනෙ මීට කලින් නොදැකපු ලස්සන දර්ශණ...
දිය ඇලි පහක් හෝ හයක් එක වර කඩා හැලෙන කදුවැටි පහු කරමින් බස් එක ඉස්සරහටම ඇදුනා... සීතල ඉවස ගන්න බැරි තරමට..දේශගුණ වෙනස් වීම තදින් ම දැනෙන්න වුනේ ඔලුවට... පාර ලේසියෙන් යන්න පුලුවන් එකක් නෙමේ..
ලෝකයේ දුෂ්කරම මාර්ග වලින් දෙකක් ඉන්දියාවෙ තියෙනවා..ඉන් එකක් කිල්ලර් රෝඩ් එක (මගේ භාරත විත්ති ලිපි පෙලෙහි මරණයේ මාවත නමින් මෙම පාර ගැන ලිපියක් ඇත) අනික තමයි මේ මනාලි-ලේ හයි වේ එක...අනික තමයි ලෝකයේ ඉහලින්ම පිහිටන හයිවේ එකත් මේකම තමයි. කෙලොං මිටියාවත වෙනකල් මාර්ගය තැන් තැන් වල අති දුෂ්කර මාර්ගයක්. ඇතැම් තැන් වල බස් එක යනකොට සීග්‍ර බෑවුම් වල පහලට ගල් පවා වැටෙනවා.. අනිත් පැත්තෙන් ලගදි කදු වැටි වලින් පාරට කඩා වැටිච්ච ගල්... ඇත්තටම ඒ පාරෙ යන ඩ්‍රයිවර්ලට සම්මාන දෙන්න වටිනවා..එච්චර දුෂ්කර හරියවල් පහු කරන්න වුනා...
ටික ටික ඉස්සරහට ඇදෙද්දි සීතලට ඇග හුරු වෙන්න ගත්තා. අවට දර්ශණත් වෙනස් වෙන්න ගත්තා.. ඈතින් හිමෙන් වැහිච්ච කදු වැටි දකින්න ලැබෙනවත් එක්ක මට පුදුම සතුටක් දැක්කෙ... ඔවු හිම කදු හැබැහින් නොදුටු කෙනෙක්ට එහෙම වෙන්න පුලුවන්..එය හිනාවට කරුණක් නෙමේ... කදු වැටි වල හරක්,එළුවො,අශ්වයො හිටිය නිසා අපි හිතුවා මිනිස්සු ඇති කියල..ඔවු කදු වැටි අතර පුංචි පුංචි ගම්මාන තිබුණා..හිතා ගන්න බෑ මෙ මිනිස්සු ඒ තැන් වලට කොහෙන් සංක්‍රමණය වුනාද කියලා...කදු වැටි වල මේ ගම් වල මිනිස්සු විසින් පවත්වාගෙන යනා වගා බිම් පෙනෙන්න තිබුණා..වෙලාවට සුද්දා අපේ රටේ වගේ මේ පැති වල තේ වගා කරන්න හිතන්න නැතිව ඇති...
අවට දැක්ක දර්ශණ ගැන වර්ණනා කරන්න යන්නෙ නෑ මම..පින්තූර බලන්න...
අපි උදේ කෑම ගත්තෙ කොක්ෂාර් කියන ගමෙන්... ඒක තියෙන්න රොටාං පාස් එක හරියෙ... එතනදි සියලු විදේශිකයන්ගෙ පාස්පෝට් පෙන්නන්නත් වුණා... කෑමට තිබුනෙ කදුකර දිග හාලකින් හදපු බත්,පරිප්පු සහ බෝංචි ඇට සමග අමු මිරිස් සහ ලූණු සමග රොටී.. සරල කෑමක් වගේ පෙනුනට මම පුදුම කෑදරකමකිං ඒ ටික කැවෙ... ඒ තරම් රසයි...
බස් එකේ ගියේ හරිම සුහදශීලි පිරිසක්.ඉක්මනින් ඒ අය අපි එක්ක යාලු වුනා..ධරම්ශාලා වල වෛද්‍ය වරයෙක් සහ ගුරුවරියක් වුන ඔහුගේ බිරිදත් දරු දෙදෙනාත්,ෂිම්ලා වල යෝගා ගුරුවරියක්, දිල්ලියේ සිට පැමිනි මහතෙක්, කෙලෝං වලින් බැස්ස ඉංජිනේරුවන් දෙදෙනෙක්, එංගලන්තයේ සිට පැමිණි ඉන්දීය ජාතික තරුණ නීතිවේදිනියක් සහ චෙන්නායි සිට පැමිණි තරුණිය අපිත් එක්ක හොදටම හිතවත් වුනා... මගෙ යාලුවා ඉන්දියාවෙ ඉගෙනගන්න නිසා එයාට හින්දි ඖලුවන්..මා පාසල් කාලයේ හින්දි හැදෑරූ නිසා හින්දි පුලුවන්..ඉතිං අපි ඔවුන් එක්ක කතා බහ කලේ හින්දි වලින්..
ඉතිං අපි චෙක් පොයින්ට් එකේදි පාස්පෝට් පෙන්නන්න යද්දි ඒ අය අහනවා ඇයි පාස්පොට් පෙන්නන්නෙ කියලා.. අපි හින්දියෙන් කතා කරන නිසා ඔවුන් හිතුවෙ අපි ඉන්දියානුවන් කියලා..ලාංකික ඇතැමුන් හින්දි ඉගෙනීම සහ හින්දි කතාකිරීමත් හින්දි සිනමාව ගැන ගීත ගැන ඔවුන් තරමටම දැන සිටීම ගැන ඔවුන් පුදුම වුනා... යෝගා ගුරුවරිය කියා සිටියේ ඒ වනතෙක් ඇය සිතුවේ අප කර්ණාටක් හෝ කේරල ප්‍රාන්තයෙන් පැමිණි දෙදෙනෙක් කියායි.
කොක්ෂාර් ගම අසලින් ගලන්නෙ චන්ද්‍රා නදිය..හරිම සැඩ වතුර පාරක් තියෙන නදියක්..කොක්ෂාර් පහු කරලා ටිකක් දුර ඇදෙද්දි භාගා නදිය ඇවිත් චන්ද්‍රා නදිය සමග එකතු වෙලා එතැන් සිට ඉදිරියට දෙසහෝදරියන්ගේ නමින් 'චන්ද්‍රභාගා' ලෙස ඉදිරියට ඇදෙනවා...
සොලෑං වැලී සිට රොටාං වෙත තෙක් ඉදිවෙන උමං මාර්ගය අපිට දකින්න පුලුවන් වුනා..මේ උමගින් රොටාං සහ කිලෝමීටර දෙසිය ගානක් එහායින් තිබෙන සොලෑං වැලි යා කරනව වගේම පැය හයක හෝ හතක වංගු සහිත ගමන විනාඩි තිහකින් නිම කිරීමට හැකි වෙනවා..නමුත් සුන්දරත්වය විදීමටනම් සුපුරුදු පාරේම ආ යුතුයි..
මේ උමග ගැන කියන අනිත් කතාව නම් ඉශ්‍රායල් සමාගමකින් ඉල්ලලා තියෙනවා මෙම උමග සදා දීමටත් හිලවුවට උමගින් ඉවත් කරන පස් සහ ඛණිජ ද්‍රව්‍ය අඩංගු පස් ඔවුන්ට ලබා දෙන ලෙස..නමුත් අගමැති මෝදි එය ප්‍රතික්ෂේප කර තිබෙනවා..මෙම විස්තරය අපට කිවුවේ බසයේ කොන්දොස්තර මහතා..
කොක්ෂාර් පහු වෙලා ටිකක් දුර යද්දි පරිසර පද්ධතිය වෙනස් වෙනවා...
කදු වල දකින්න පුලුවන් වෙන ගස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙන්න ගන්නවා..කෙලෝං හරිය වෙනකල් හැබැයි හරිත වර්ණය තියෙනවා..කේලොං කියන්නෙ සරුසාර පෙදෙසක්... වගාබිම් හැමතැනම දකින්න තිබුනා..
කෙලෝං පහු වෙලා වැඩි දුරක් යන්න මත්තෙන් කදු ,ගල් සහ වැලි වලින් යුත් කාන්තාර ලක්ෂණ ප්‍රකට කරන්න පටං ගන්නවා...වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වුන පාංශුඛාදනය නිසා ගල් කදු වැටි මත පස් ස්තරය අඩු නිසා ගස් හැදෙන්නෙ නෑ...එ නිසාම මේ කදු තවමත් අධික ඛාදනයකට ලක් වෙන බව පාර අසලටම ඇවිත් තිබුන ගල් සහ පස් වැටි වලින් සාක්ෂි දරණවා..
මේ මාර්ගය අවුරුද්ද පුරාම වැඩපලක් වගේ කියලා තමයි කොන්දොස්තර මහත්තයා කිවුවෙ..හිම කාලෙට හිම කපන එකත් හිම දියවෙන කාලෙට දිය වෙන හිමත් එක්ක පාරට එන මඩ සහ ගල් ඉවත් කරන එකත් හිම අවසන්ව වියලුනු පසු ඛාදනය වූ තැන් සකස් කරන එකත් මුලු අවුරුද්ද පුරාම සිදු වෙනවා..හැබැයි මාස කිහිපයකට මේ මාර්ගය වහනවා,හිම වැටෙන කාලයට.අපිට තැන් කිහිපයක බස් එක නවත්තන්න වුනා මාර්ග පිලිසකර කිරීම් නිසාම...
ඉන් පස්සෙ දිගටම හිමාචල් පහු කරලා ලදාක් වෙනකල්ම සහ ලදාක් වල ලේ වන තෙක්ම දකින්න ලැබෙන්න කාන්තාර ස්වරුපයේ මහා පර්වත වැටි...
ලදාක් වලට සීතල කාන්තාරය කියන්නෙ ඒ නිසාමයි..දවල්ට කෑවෙත් උදේ කාපු ආහරයටම සමාන රසවත් කෑමක්... බඩ පැලෙනකල් කෑවා කියන එකනම් ලියන්නම ඕන...
ඊට පස්සේ ඉතින් ඇවිත් රෑ හතට විතර බස් එක 'පං' කියන ගමේ නැවැත්තුවා..
රෑ එහෙ ඉදලා තමයි යන්නෙ..නැවතුන තැන හොස්ටල් එකක් වගේ..එක කාමරයක කිහිප දෙනෙක් ඉන්න ඕන.අපි හිටි කාමරයෙ හතර දෙනෙක් හිටියා..ලදාක් ප්‍රදේශයේ සාම්ප්‍රදායික ක්‍රමයට හදපු ගෙයක් ඒක...වහලෙ සිවිලිමට දාලා තිබුනේ පයින් ලී බාල්ක සහ පොප්ලර් සහ ඒ සමාන හීනි දැව වර්ගයක්.
දහනම වෙනිදා උදෙ හතට අපි එතනින් පිට වුනා...
දැන් අපි ඉන්නෙ ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ .ජම්මු කෂ්මීර් ප්‍රාන්තයේ කලාප තුනයි .ඒ ජම්මු,කෂ්මීර් සහ ලදාක්.දැන් අපි ඉන්නෙ ලදාක් කලාපයේ..අපිට යන්න තියෙන්න ලදාක් කලාපයේ අග නුවර වන 'ලේ' වලට.මේ කදු වැටි අනුව ලදාක් කලාපයත් ආපහු කොටස් කිහිපයකට බෙදෙනවා..හිමාලය,ලදාක්,සංස්කාර්,.නුබ්‍රා සහ පෙන්ගොන් ලෙස.. පං ගම පහු කරලා පැයක විතර ගමනකින් පස්සෙ අපි අවසාන පාස්පෝට් චෙක් කරන තැනත් පහු කලා.. පාස්පෝට් එක පෙන්නලා යනකොට හමුදා නිලදාරියා 'ජුලේ' කියලා අපිට සුබ පැතුවා..ජුලේ කියලා තමයි ලදාක් වල කට්ටිය සුබ පතන්නෙ..හරියට හෙලෝ කියනව වගෙ...ඉන් පස්සෙ අපිට දිගටම දකින්න ලැබුනෙ ටිබෙට් ලක්ෂණ..බලන බලන තැන ටිබෙට් සම්ප්‍රදායේ විහාර සහ සොහොකොත්...
නමය විතර වෙද්දි ලේ වලට එන්න අපිට පුලුවන් වුනා...
ලේ කියන්නෙ හරියට කාන්තාරය මැද ක්ෂේම භූමියක් වගේ... තණ්කොලයක්වත් නැති කදු වැටි මැද එකපාරටම පිහිටි ගස් වකින් සැදුම්ලත් ක්ෂේම භූමියක් 'ලේ' කියන්නෙ...
ලේ ගැන තුන් වැන්නෙන්....
Gallery
මාත් ඉන්දියාවේ ගියා ගියේ නැහැ. .හොඳ විස්තරයක්. බුකියේ දැකල ආවේ
ReplyDeleteThanks :)
Deleteකියන්න ඕනේ වුනේ මේ පැත්තේ ගියී නැහැ කියල. මාර්ගය ලස්සනයි
ReplyDelete:)
Deleteඉරිසියා හිතෙනවා බං
ReplyDelete