CONCLAVE


අද ලෝක ජනගහණයෙන් 1/5 ට ආසන්න ප්‍රමාණයක් වන කිතුනු බැතිමතුන්ට විශේෂ දිනයක්..ඒ පාස්කු දිනය නිසා...මේ සටහන පාස්කු මංගල්‍ය ගැන නෙමේ...
ලොව පුරා කිතුනුවන්ට අති විශේෂ වන අවස්ථා ගණනාවක් තිබෙනවා..
මේ සටහන ඉන් එකක් ගැන...
රෝමානු කතෝලික පල්ලියේ නායකයා පාප් වහන්සේ බව අප කවුරුත් දන්න දෙයක්..මේ සටහන උන් වහන්සේ හා සම්බන්ධ දෙයක්..
පාප්වහන්සේ නමක් දිවංගත වීමෙන් හෝ ධූරයෙන් ඉවත්වීමකින් පසු සිදුවන දෑ ගැනයි මේ සටහන...
මෙසේ උන්වහන්සේ දිවංගත වීමෙන් හා ධූරයෙන් ඉවත් වීමෙන් පසු , වතිකානයේ දේපල සහ ආදායම් පරිපාලනය පිළිබඳව ඉහලම නිලය දරණ කැමලැංගෝ (Camerlengo) නම් ධූරය දරන පියතුමා වෙත උන්වහන්සේගේ බලය තාවකාලිකව මාරුවෙනවා..ඒත් සමග කැමලැංගෝ වතිකානයේ වැඩ බලන රාජ්‍ය නායකයා බවට පත්වෙනවා;නව පාප් වහන්සේ තෝරා පත් කරගන්නා තෙක්...


කැමලැංගෝ තුමාගේ ප්‍රධානත්වයෙන් , කාදිනල් වරුන් ඉදිරිපිට දී දිවංගත පාප්වහන්සේ ගේ නිල මුදුව (FISHERMAN'S RING ලෙස සැළකෙන) රිදියෙන් තනන ලද විශේෂ මිටියක් භාවිතයෙන් විනාශ කර දමනවා..ඉන් සංඛේතවත් කරන්නේ හිටපු පාප්වහන්සේගේ නිලය මින් ඉදිරියට වලංගු නොවන බවයි...පසුව එය කවරයක බහා මුද්‍රා තබනවා...

මින් පසුව ප්‍රධාන කාදිනල් වරයාගේ සහභාගීත් වයෙන් හිටපු පාප් වහන්සේ ගේ අවසාන කටයුතු සිදු කොට දේහය කිසිවෙකුටත් ඇතුළු වීමට අවසර නැති ,සිස්ටයින් දෙවු මැදුරේ පාප්වහන්සේලාගේ සිරුරු තැන්පත් කරන කොටසේ තැන්පත් කරනවා..
මේ වන විටත් හිටපු පාප් වහන්සේ උන්වහන්සේ විසින් උන්වහන්සේ ගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට සුදුසු කාදිනල් වරු නම් කොට නැතිනම් කැමලැංගෝ තුමා විසින් එය සිදු කරනවා...
මෙම කාදිනල් වරුන්ගේ මණ්ඩලය collage of Cardinals ලෙස නම් කෙරෙනවා..එහි ප්‍රධානියා Dean of Collage of Cardinals ලෙස හඳුන්වනවා...1970 දී 6 වන පෝල් පාප් තුමාගේ නියෝගයකට අනුව මෙම කාදිනල් මණ්ඩලය වයස අවුරුදු 80 ට අඩු කාදිනල් වරුන්ගෙන් පමණක් සමන්විත විය යුතුයි...ඒ අවස්ථාව වන විට සිටින ප්‍රධාන කාදිනල් වරයා වයස 80 ට වැඩි නම් වෙනත් සුදුසු කෙනෙක් තෝරා පත් කර ගන්නවා...
මෙසේ ලොව පුරා රටවල් වලින් තෝරාගත් කාදිනල් වරුන් සියලු දෙනාවම වතිකානය වෙත කැඳවීම සිදු කරනවා..අවසාන වතාවට සිදු කල ඡන්ද විමසීමට රටවල් 69කින් කාදිනල් වරු 203 කැඳවූවා..එහෙත් ඡන්දය භාවිතා කිරීමට සහභාගී විය හැකි උපරිම කාදිනල් වරු ගණන 120 ක් පමණයි..

වතිකානයට පැමිණෙන කාදිනල් වරුන්ගේ ජංගම දුරකථනද ඇතුළුව සියලුම පෞද්ගලික බඩු බාහිරාදිය සිස්ටයින් දේවස්ථානය අසලදී වතිකානයේ කාර්යය මන්ඩලය භාරයට ලබා ගැනීම සිදු කෙරෙනවා...

කැමලැංගෝ තුමාගේ ප්‍රධානත්වයෙන් මෙම කාදිනල් වරුන් එක් ශාලාවකට දමා දොරගුලු දමා වසා දමනවා...මින් පසු මෙම ස්ථානය Conclave (යතුරු දමා වසා දැමූ ස්ථානය) හඳුන්වනවා...
නව පාප් වහන්සේ තෝරා පත් කර ගන්නා තෙක් කාදිනල් වරුන්ට conclave සිට පිටතට යාමටත් උන්වහන්සේලාගේ අවසරයෙන් තොරව පිටස්තර පුද්ගලයෙක්ට conclave තුළට යාමටත් හැකියාවක් නෑ...ඡන්දය ප්‍රකාශ 
කිරීම..කෑම..බීම..නිදා ගැනීම ආදී සියලුම දෑ සිදුවන්නේ conclave තුළයි...පිටස්තර අයගෙන් වෛද්‍ය වරු දෙදෙනෙක්ට, පාපොච්චාරණය කිරීම් අසා සිටීමට තෝරාගත් පියතුමන් දෙදෙනෙක්ට සහ පිරිසිදු කිරීම් කාර්යය මණ්ඩලයට පමණක් conclave තුළට යාමට අවසර තිබෙනවා...
කාදිනල් වරු අදාල ශාලාවට රැස් වීමට පෙර ආරක්ෂඛ විශේෂඥයන් විසින් සඟවන ලද කැමරා..දුරකථන..මයික්‍රොෆෝන් වැනි දෑ තිබෙනවාදැයි පරීක්ෂා කර බලනවා..
කාදිනල් වරුන් සිස්ටයින් දෙවුමැදුරේ අදාල ශාලාව තුළට ගිය පසු උන් වහන්සේලා විසින් "entra omnes" (every one out) ලෙස විධානය කිරීමෙන් පසු පිටස්තරයින් සියල්ලෝම පිටතට පැමිණ කැමලැංගෝ තුමා විසින් ශාලාව දොරගුලු දමා "Conclave " යන්න ,දොරගුලු මතට දැමුනු රිදී දමක මුද්‍රා තබනවා...
සාමාන්‍යයෙන් සෛද්ධාන්තිකව ක්‍රිස්තියානුකරණය කරන ලද ඕනෑම පිරිමියෙක් ගෙන් කෙනෙක් පාප් වහන්සේ ලෙස තෝරා ගැනීම කළ හැකි වුවත් සම්‍ප්‍රදායානුකූලව කාදිනල් වරුන් අතරින් තෝරා ගන්නා පිරිසක් වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීමෙන් නව පාප් වහන්සේ තෝරා පත් කර ගන්නවා...පෙර පැවති 2/3 ඡන්ද අවශ්‍ය තාවයේ නීතිය දෙවන ජුවාන් පුවාළු පාප් වහන්සේ සමයේ සරල බහුතරයක් ලෙස වෙනස් කළද උන් වහන්සේගේ අනුප්‍රාප්තික 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ පෙර පැවති 2/3 නීතිය ප්‍රතිෂ්ඨාපණය කලා..
ඡන්දය ආම්භ කිරීමට පෙර දෙවියන් වහන්සේගේ නමින් දිවුරුම් දීමක් කාදිනල් වරුන් විසින් සිදු කරනවා..ඉන් පසු පළමු දිනයේදී මධ්‍යාහ්නයෙන් පසු එක් ඡන්දයකුත් දෙවැනි දිනයේ සිට දිනකට ඡන්ද දෙක බැගිනුත් පැවැත්වීම සිදු කරනවා...
ඡන්දය භාවිතා කිරීමට සකස් කර තිබෙන සෘජුකෝණාස්‍රාකාර කඩදාසියේ ඉහලින් "Eligo in summum pontificem" (I select as supreme pontiff) ලෙස සඳහන් වෙනවා..පහතින් තොරා ගන්නා කාදිනල් වරයාගේ නම සඳහන් කිරීමට ඉඩ තිබෙනවා.
තෝරා ගන්නේ කවුරුන්ද යන්න පහසුවෙන් හඳුනා ගත නොහැකි ආකාරයට ලියන ලෙස කාදිනල් වරුන්ට උපදෙස් ලබා දෙනවා...
මෙසේ නම සටහන් කරන ඡන්ද පත්‍රිකාව දෙවරක් නැමිය යුතුයි..ඉන්පසු එක් එක් කාදිනල් වරයාගෙන් ලබාගන්නා පත්‍රිකා මිශ්‍ර කොට ප්‍රධාන කාදිනල් වරයා වත ලබා දෙනවා..උන්වහන්සේ අදාල පත්‍රිකාවල තිබෙන නම් වෙනම කොලයක සටහන් කර ගන්නවා..

පසුව..පත්‍රිකා ගණන් කොට එක් එක් කාදිනල් වරයා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සමග ප්‍රකාශ කරනවා...
ප්‍රකාශයෙන් පසුව සියලුම ඡන්ද පත්‍රිකා නූලකින් එකට අමුණා ගිනි උඳුනට දමනවා..

මෙහිදී නව පාප් වහන්සේ තෝරා ගත්තානම් සුදු පැහැති දුමක්ද එසේ නොවුනා නම් කලු පැහැති දුමක්ද පිට වන ලෙස රසායනික ද්‍රව්‍යක් ඡන්ද පත්‍රිකා වලට මුසු කරනවා...
දින 3ක් තිස්සේ සිදු වන ඡන්ද විමසීමකින්ද නව පාප් වහන්සේ තෝරා ගත නොහැකි වුවහොත් හතර වන දිනයේදී ඡන්දය තාවකාලිකය නවතා දේව මෙහෙයන්ට සහ නිල නොවන සාකාච්ඡා වලට සහභාගී විමේ අවස්ථාව කාදිනල් වරුන්ට ලබා දෙනවා...
නව පාප් වහන්සේ තෝරා ගතහොත් ප්‍රථමයෙන් උන්වහන්සේගෙන් විමසනවා "අප විසින් ඔබ ව මෙම ධූරයට තෝරාගෙන තිබෙනවා..ඔබ එයට එකගඳ?" යන්න..නව පාප් වහන්සේගේ එකඟ තාවයත් සමග "කුමන නමකින් ඔබ ඇමතිය යුතුද යන්න අසා සිටිනවා " නව නමක් තෝරා ගැනීමෙන් පසුව ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට සුදු පැහැ දුමාරය මගින් එය දැනුම් දෙනවා..
conclave ඇතුළත කුමක් සිදුවේද යන්න දැනගැනීමට පිටස්තර ලෝකයට තිබෙන එකම අවස්ථාව මෙම දුමාරයයි.. 

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමෙන් පසුව පෙර පැවැති එක් එක් ඡන්ද වලදී එක් එක් කාදිනල් වරයාට ඡන්ද ලැබුනු ආකාරයන් සටහන් වුන ලේඛණයක් මුද්‍රා තබා නව පාප් වහන්සේට ලබා දෙනවා...උන්වහන්සේගේ අවසරයකින් තොරව මෙම ලේඛණය විවෘත කිරීමට කිසිවෙකුටත් බලයක් නෑ...
පාප්වහන්සේගේ සන්නාලියා සතුව විවිධ ප්‍රමාණ වල;කුඩා,මධ්‍යම සහ විශාල, නිල ඇඳුම් තිබෙනවා..එමෙන්ම නව පාප්වහන්සේගේ මුදුව කලින්ම සකසා තිබෙනවා..ඊට නව පාප් වහන්සේගේ ලකුණ ඇතුළත් කිරීමට පමණක් සිදු වෙනවා..ඇඳුම් වලටද සුලු සුලු වෙනස්කම් කිරීමට අවශ්‍ය වෙන අවස්ථාවල් තිබෙනවා..
මේ අතර සිස්ටයින් දෙවුමැදුරේ බැල්කනිය අසලට ගොස් ශාන්ත පීතර චතුරස්‍රයේ රැස්ව සිටින්නන්ට නව පාප්වහන්සේ තෝරා ගත් බව "Annuito vobis gaudium magnum ..nabemus papam!" නව පාප්වහවහන්සේගේ නම ත් සමග ඉතලි පාඨය ප්‍රකාශ කිරීමෙන් දැනුම් දෙනවා..
ඉන් පසුව නව පාප් වහන්සේ මහජනයා හමුවට පැමිණෙනවා...

(දීර්ඝ විස්තරයකින් ලිය යුතු මෙම ලියවිල්ල කෙටිකොට මෙහි ලියා ඇත...
2009 තිරගත වුන Angels and Demons සිනමා පටයේත් මේ චාරිත්‍ර සම්බන්ධ යම් යම් දර්ශණ අඩංගු වුන බව එය නැරඹූ අයට මතක් වේවී..මෙහි සඳහන් ඡායා රූප වලින් ඇතැම ඒවාද එම සිනමාපටයෙන් ලබා ගත් ඒවා බව සැළකීම මැනවි...)


 
- අමිල-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters