භාරතයේ විත්ති - 42 - "සාරීකෙ ෆෝල් සා කභි මැච් කියා රේ!"


ආර්.රාජ්.කුමාර් ෆිල්ම් එක ගැනවත් ...ඔය කියන සින්දුව ගැනවත් නෙමේ මේ.
අද ලිපිය වැඩියම කාන්තා පාර්ශවයට වැදගත් වෙයි.
ඉන්දියාව කියන්නෙ ලෝකයේ විශාලම සාරි නිෂ්පාධකයා.ඕක අහන්නත් දෙයක්ද.සාරියේ උපතත් ඉන්දියාවෙ වෙච්ච එකේ.සාරි ම්මිල දී ගන්නම ඉන්දියාවෙ යන එකත් ලංකාවෙ එසේ කරන්න හැකියාවක් තියෙන අය අතරෙ ජනප්‍රිය දෙයක්. ඒත් ගොඩ දෙනෙක් සාරි ගන්න යන්නෙත්, සාරි ගැන දන්නෙත් චෙන්නයි විතරයි. නමුත් චෙන්නයි වලට අමතරම ඉන්දියාවෙ තවත් සාරි කර්මාන්ත තියෙනවා, ඒ ඒ කර්මාන්තයන්ට ආවේණික ලක්ෂණත් එක්කම. මේ කතා කරන්න යන්නෙ ඒ ගැන.

 

(Left - Kangana Ranaut)

 01.කන්ජීවරම්/කන්චිපුරම් 

                         (Vidya Balan in Kanjipuram sari)

                (Tapsi Pannu in Kanjipuram sari) 
 
උඩිනුත් කිවුවා වගේ ඉන්දියාවේ සාරි අතරිනුත් ඉන්දියාවෙන් පිටතත් වඩා ප්‍රසිද්ධ සාරි වර්ගය තමයි කන්චිපුරම් සාරි.මේ සාරි නිපදවෙන්නෙ තමිල්නාඩු ප්‍රාන්තයේ කන්ජීපුරම්/කන්ජීවරම් වල.එහි නිපදවෙන විශේෂ මල්බෙරි සිල්ක් නූල් වලින් තමයි මේ සාරි වියන්නෙ.මනාඉයන්ට සහ විශේෂ උත්සව සඳහා අඳින කන්ජීපුරම් සාරි ප්‍රසිද්ධයි.ඒ වගේම ඒව මිලෙන් අධිකයි. රතු,තැඹිලි,එමරල්ඩ්,තද දම් වගේ තද වර්ණ වලින් මේ සාරි වැඩිපුරම වියනවා.බොර්ඩරයට සහ පල්ලුවට යෙදෙන අලංකාර රන්වන් මෝස්තර නිසාම තමයි මේ සාරි වැඩියම ප්‍රසිද්ධ.2008 දී කල සංගණනයකට අනුව කන්ජීවරම් හි පවුල් 5000ක් පමණ මෙම සාරි නිපදවීමේ යෙදෙනවා.

02.බෙණාරස්/බණාරස්/වර්ණාසි/බර්ණාසි/කාෂි සාරි 
                           (Deepika Padukon in Benaras sari)
                    (Rekha and Sonam in Benaras sari)
 
මේ හෑම නමකින්ම හඳුන්වන්නේ එකම සාරි විශේෂය.බෞද්ධ කතා වල අපි අහලා තියෙන කසී සළු කියන්නෙත් මේ පළාතෙ වියන සළු වලට.(බනාරස් යනු බුද්ධ ඉතිහාසයේ සඳහන් වන බරණස් නුවරයි ).කන්ජීවරම් සාරි වලට පස්සෙ ප්‍රසිද්ධම සාරි වර්ගය තමයි කාශි සාරි.උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගංගා නදිය ආශ්‍රිත බනාරස් සහ කාශි නගර මුල් කරගෙනය් මේ කර්මාන්තය ඇති වෙලා තියෙන්නෙ.මුල් කාලයේ මේ සාරි අඳින්න අවසර තිබිලා තියෙන්න රාජකීයයන්ට පමණයි.කන්ජීවරම් සාරි වල බොඩි එකේ මෝස්තර අඩු හෝ නැති වුණත් කාශි සාරි වල බොඩි එකේ මෝස්තර දකින්න පුළුවන්.රතු,මෙරූන්,නිල්,කහ,රෝස ,දම් වැණි තද සහ ලා වර්ණ වලින් වියෙන මෙම සාරි වල රිදී හෝ රන් පැහැ නූලින් බොර්ඩරයේත්,පල්ලුවේත්,බොඩි එකේත් මෝස්තර වියෙනවා.විශේෂයෙන්ම මේ මෝස්තර කන්ජීවරම් සාරි වලට වඩා වෙනස් උතුරු ඉන්දීය මෝස්තරයි.උතුරු ඉන්දීය කාන්තාවන් අතර වැඩියෙන්ම ජනප්‍රිය වන්නේ බනාරස් සාරි ය.

03.රාජස්තාන් මීනා බසාර් /  මහරාණි සාරි

රාජස්තාන් වල මීනා බසාර් කියලා මේ වෙනකොට තැන් කිහිපයක් තිබ්බත් මුලින්ම මීනා බසාර් කියන එක ඇති වෙලා තියෙන්නෙ ආමේර් මාළිගාව පහල ඇතුළු නගරයේ කොටසක.අදටත් මේ ප්‍රදේශයේ සාරි වෙළඳාම සිදු වෙනවා.ආමේර් මාළිගය නරඹන්න යන ඔබට නොමිලයේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ම සපයන කැබ් රිය වලින් මීනා බසාර් නරඹන්න යන්න පුළුවන්.හැබැයි ගිහින් එහි ඉන්න කපටි වෙළඳුන්ගෙන් බේරෙන එක ඔබේ වැඩක්. මුල් කාලීනව මෙම සාරි රාජස්තාන් හි රස්නයට ඔරොත්තු දෙන කපු රෙදි වලින් සහ සිල්ක් වලින් වියන ලද අතර වර්ණ සඳහා රාජස්තාන් වලින් හමු වන පාෂාන ,මල්,එළවළු වර්ග වල යුෂ ආදිය භාවිතා කර තිබෙනවා. සාරිය පුරාම විවිධාකාර රාජස්තානයට ආවේණික (බොහෝ විට මුඝල් සහ රාජ්පුත් සම්ප්‍රදායන් හි මිශ්‍රණ )මෝස්තර දකින්න පුළුවන්.තවද කන්නාඩි කැබලි,සික්වීන්ස්,පබළු,විවිධ ගල් වර්ග මෝස්තර සඳහා බහුලව භාවිතා වෙනවා.(ඇඳුම් මෝස්තර සඳහා මුහුණ බලන කන්නාඩි යොදා ගැනීම රාජස්තාන් හා ගුජරාත් හි ජනප්‍රිය දෙයක්.මෝස්තර සඳහා ජනජීවිතයේ දකින්න ලැබෙන දේවල් වැඩියෙන් භාවිතා කෙරෙනවා.මොණරු,රාජස්තානයේ මල් වර්ග,ඉරිඟු කරල්,කාන්තාවන් ආදී ලෙස. වර්තමානයේ කපු,සිල්ක්,වොයිල් ආදි රෙදි වර්ග වලින් වියන මෙම සාරි ඉතා මිල අධික නොවන මුත් කපටි වෙළඳුන්ට හසු වුනොත් නොවටිනා ගණන් දෙන්නට සිදුවේවි.

04.තාන්ත් සාරි 

(Rani,Bipasha ,Kajol in Tant Sari)



 
තාන්ත් සාරි නිපදවෙන්නෙ බෙංගාල ප්‍රාන්තයේ (වර්තමානයේ බටහිර බෙංගාලය ලෙස හැඳින්වේ ).බෙංගාල ජනජීවිතය වගේම මේ සාරිත් සරලයි.මෙම සාරි වියන්නේ කපු නූලෙන්.බොහෝ විට මුල්කාලයේ සුදු හෝ ඉතා ලා වර්ණයන්ගෙන් මෙම සාරි වියනු ලැබුවත් දන් දැන් ඒ සඳහා ඉතා තද නොවන ඇසට අපහසු නොවන වෙනත් වර්ණයනුත් යොදා ගැනෙනවා.මේවායේ රන් හෝ රිදියෙන් වැඩ දැමීම අඩුයි. බෙංගාලයේ කාන්තාවන් අතර සුප්‍රකට රතු බෝඩරය සහිත සුදු සාරි ලෙස තාන්ත් සාරි දක්වන්න පුළුවන්.බෙංගාල සිනමාපට හෝ බෙංගාලය ආශ්‍රිත හින්දි සිනමාපට නරඹන අය මේවා දැක තිබෙන්න පුළුවන්.බෙංගාලි කතුන්ගේ සාරි අඳින මෝස්තරයත් අන් ප්‍රාන්ත වලට වඩා වෙනස්.ඔවුන් වම් උරහිසෙන් පිටුපසට දමන පොට දකුණු උරහිසින් ඉදිරියට දමා එහි කොන;නිවසේදී නම්  යතුරු කැරැල්ලක් හෝ උත්සව සඳහා සාරි වලට භාවිතා කරන ආභරණයක් එල්ලීම සිදු කරනවා.දේව්දාස් මතක් කර ගන්න.අත්යන්ත්‍ර නිසා තරමක් මිලයි.

05.කසවු සාරි

                          (Kangana Ranaut in Kasavu Sari)
 
දකුණු ඉන්දියාවේ කේරලා ප්‍රාන්තයේ කසවු සාරි වියනවා. අන් ප්‍රාන්ත වල නොදැකිය හැකි මෙම සාරි වල විශේෂය වන්නේ සුදු පැහැ පමණක් වීමයි.සුදු පැහැ සාරි යෙහි රනින් ,රිදියෙන් හෝඅ වෙනත් කළු,දුඹුරු වැනි නූල් වලින් මෝස්තර දකින්න පුළුවන්. චාම් මුත් අලංකාර මෙම සාරි විශේෂයා බොලිවුඩ් නිලියන් අතර පවා ප්‍රසිද්ධයි.

06.බොම්කායි/සෝන්පුරි සාරි
 
නැගෙනහිර ඉන්දියාවේ ඔඩිස්සා/ඔරිස්සා ප්‍රාන්තයේ බොම්කායි නොහොත් සොන්පුරි සිල්ක් සාරි නිපදවෙනවා.යාර 9 මෙම සාරි වල සම්මත ප්‍රමාණයයි.මෙරූන්,කළු,කේසරී (සැෆ්‍රන් වර්ණය ),අඳුරු නිල් වැනි වර්ණ මෙම සාරි විශේෂය සඳහා ප්‍රසිද්ධයි.රනින් හෝ රිදියෙන් මෝස්තර දැමීම අඩු අතර විවිධ වර්ණ වල නූල් වලින් සියුම් එම්බ්‍රොයිඩර් මෝස්තර දැමීම මේ සාරි සඳහා ප්‍රකටයි.

07.සම්බල්පුරි සාරි

මෙම සාරි වියන්නෙත් ඔඩිස්සා/ඔරිස්සා ප්‍රාන්තයෙමයි.තද සහ අඬුරු වර්ණයන්ගෙන් වියන මෙම සාරි වල වර්ණය සෑහන කාලයක් ගතවන තෙක් අලුත් ලෙස දිස් වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධයි.කඩදාසියක් ලෙස ගණකම් රෙදිවලින් වියන මෙම සාරි පිලිවෙලට තබා අඳින්න හැකි නිසා සහ සරල (වැඩි වශයෙන් තිත් සහ රේඛාමය ) මෝස්තර හේතුවෙන්ද ප්‍රසිද්ධයි.එවන් මෝස්තර සහිත සාරි ලංකාවේද මා දැක ඇති බැවින් ඒවා සම්බල්පුරි සාරි විය හැකියැයි මා උපකල්පනය කරනවා.

08.පෛතනි සාරි
 


මහාරාශ්ඨ්‍ර ප්‍රාන්තයේ වියන සිල්ක් සාරි විශේෂයකි මෙය.තහ වර්ණයන් මෙම සාරි විශේෂය සඳහා භාවිතා වන අතර මුලු සාරිය පුරාම විවිධ මෝස්තර සහිත දිලිසෙන සාරි විශේෂයක් ලෙස මෙම සාරි මහාරාෂ්ඨ්‍ර කතුන් අතර ප්‍රකටයි.මහාරාෂ්ඨ්‍ර සාරිය අඳින ක්‍රමයද වෙනස්.සාම්ප්‍රදායික මහාරාශ්ඨ්‍ර සාරිය පිරිමින් ධෝතිය අඳින්නාක් සේ අඳියි (භාජි රාඕ මස්තානි හෝ බාහුබලි මතක් කර ගන්න .වර්තමානයේ තරුණියන් එසේ අඳිනු දැකීම අඩුයි ).අලංකාරත්වය සහ අමුද්‍රව්‍ය වල වටිනාකම හේතුවෙන් තරමක් මිලෙන් වැඩියි.

09.බන්ධනි සාරි
 
ගුජරාත් සහ රාජස්තාන්  ප්‍රාන්තයන්හි මෙම සාරි නිපදවෙනවා. විශේෂයෙන්ම ගුජරාතයේ කත්‍රී ගෝත්‍රයේ මිනිසුන් මෙම සාරි විවීඉම සඳහා ප්‍රසිද්ධයි.ගුජරාත් සහ රාජස්තාන් හි ජනප්‍රිය ලෙසම ඉතා තද වර්ණයන්ගෙන් වියෙන මෙම සාරි වල තිත් රේඛා වලින් පමණක් මෝස්තර දැමීම විශේෂයි.

10.මුගා සාරි

 
ඇසෑම් ප්‍රාන්තයේ මෙම සාරි නිපදවෙනවා.ඇසෑම් හි තත්වයෙන් උසස් සිල්ක් නූල් වලින් නිපදවෙන බැවින් මිලෙන් තරමක් ඉහලයි.බහුලවම සුදු,ලාකහ,ලා රන් වැනි ලා වර්ණ භාවිත කරමින් වියෙන මෙම සාරි වල අලංකාර් මෝස්තර බොර්ඩරයට,පල්ලුවට සහ අවස්ථානුකූලව බොඩි එකටත් යොදනවා.

11.පොචම්පල්ලි සාරි

දකුණු ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ මෙම සාරි නිපදවෙනවා.සිල්ක් නූලෙන් වියෙන මෙම සාරි වලට අඳුරු සහ තද වර්ණයන් භාවිතා වන අතර බොහෝවිට රිදී නූලෙන් මෝස්තර දැමෙනවා.වර්ණ චක්‍රයේ ප්‍රතිවුරුද්ධ වර්ණයන් බොහෝ විට බොඩි එකට සහ බොර්ඩරයට යොදා ගැනෙනවා.

12.චන්දෙරි සාරි
 

සිල්ක් සහ කපු නූල් මිශ්‍රව යොදා මෙම සාරි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ නිපදවෙනවා.සිල්ක් සහ කපු මිශ්‍ර නිසාම අලංකාරයටත්, දේශගුණයටත් දෙකටම ඔබීන නිසා මේ සාරි කාන්තාවන් අතර ප්‍රසිද්ධයි.මෙම සාරි පිම්බෙන් ස්වභාවයක් දකින්න පුලුවන්.තද සහ අඳුරු අර්ණයන්ගෙන් නිමවෙන අතර සරල තිත් සහ රෙඛා මෝස්තර බහුලව භාවිතා කරනවා.

13.කොන්රඩ් සාරි 
 
තමිල්නාඩු කාන්තාවන් අතර මෙම සාරි ප්‍රසිද්ධ කෝවිල් සාරි ලෙසයි.ඒ ඔවුන් කෝවිල් යාම සඳහා මෙම සාරි භාවිතා කිරීමයි.එසේ වුවත් වටිනා ස්ලික් වලින් නිමවෙන මෙම සාරි අලංකාරත්වයෙන් යුතුයි.රේඛා,කොටු මෝස්තර වැඩි වශයෙන් මෙම සාරි සඳහා භාවිතා කෙරෙනවා.

14.ලෙහෙරියා සාරි

රාජස්තානයේ සහ ගුජරාතයේ නිපදවෙන මෙම සාරි බන්ධනි සාරි වලම වෙනත් ස්වරූපයක් . වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන ක්‍රම නිසා මේවා වෙනස් වෙනවා.බන්ධනි සාරි වර්ණ ගැන්වූ නූල් වලින් වියන අතර ලෙහෙරියා සාරි වියූ පසුව අඹරා හෝ ගැට දමා වර්ණයනි පෙඟවීම මගින් වර්ණ ගන්වනවා.එය එක්තරා බතික් ක්‍රමයකි.සරල රේඛාමය මෙස්තර රටාවන්ගෙන් යුත් ලෙහෙරියා සාරි යුවතියන් අතර ප්‍රසිද්ධයි.

15.ඵුල්කරි සාරි


පංජාබ් ප්‍රාන්තය මුල් කර ගෙන මෙම සාරි නිපදවෙනවා.සිල්ක් නූලෙන් වියන මෙම සාරි වල බොඩි එක පුරාම ලොකු කුඩා මෙස්තර දකින්න පුලුවන්.බොඩි එකේ මෝස්තර අඩු සාරි වල පල්ලුව සහ බොර්ඩරය විශාලව නිමවෙන අතර ඒවායේ තද වර්ණයන්ගෙන් එම්බ්‍රොයිඩර් මෝස්තර යොදනවා.

16.චිකාන්කරි සාරි

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනුවර ලක්නව් මුල් කරගෙන මෙම සාරි කර්මාන්තය බිහි වී තිබෙනවා.සාම්ප්‍රදායිකව මුස්ලින් (කපු ඌලෙන් වියන , නූල් අතර හිඩැස් ඇති බැවින් දැල් ආකාරයෙන් පෙනෙන රෙදි විශේෂයක් ) රෙදි වලින් නිමවූ මෙම සාරි වර්තමානයේ සිල්ක් රෙදි වලින්ද නිපදවෙන අතර ලක්නව් වලටම ආවේණික වෙනවා.  ලා වර්ණ රෙදි වල සියුම් එම්බ්‍රොයිඩර් මෝස්තර මෙම සාරි වල විශේෂයි.

17.ඉකාත් සාරි



සිල්ක් නූලෙන් වියන මෙම සාරි බතික් ක්‍රම්මයෙන් මෝස්තර යොදනවා.එහෙත් ලංකාවේ දැකිය හැකි බතික් ක්‍රමය සහ මෝස්තර වලට වඩා වෙනස් ඉතා කුඩා සියුම් මෝස්තර යොදන බැවින් එක් සාරියක් නිපදවීමට විශාල කාලයක් වැයවෙනවා.සාම්ප්‍රදායිකව නිපදවන විට මෙම වර්ගයේ එක් සාරියක් නිමවීමට මසකට ආසන්න කාලයක් ගතවන බව කියවෙනවා. මෙම සාරි ඉන්දියාවට අමතරව ඉන්දුනීසියාව,මැලේසියාව ,අප්‍රිකානු රටවල් වලත් ජනප්‍රියයි.

18.බලුචරි සාරි 


 
සිල්ක් නූලෙන් වියන මෙම සාරි බෙංගාල ප්‍රාන්තයේ මුර්ෂිදාබාද් හා බිශ්න්පූර් මුල්කරගෙන නිපදවෙනවා. අඳුරු වර්ණ භාවිතා කරන මෙම සාරි වල පල්ලු වල රාමායණ,මහාභාරතා ආදී දේව කතා වල අවස්තා මෝස්තර ලෙස යෙදීම විශේෂයි.

19.මේඛලා සාරි


මේඛලා චදෝර් ලෙසද හැඳින්වෙන මෙම සාරි ඇසෑම් ප්‍රාන්තයේ අත්යන්ත්‍ර සාරි විශේෂයක්.කපු නූලෙන් වියනා මෙම සාරි ගණකමින් වැඩියි වන අතර පල්ලුවේ ,බොර්ඩරයේ සහ බොඩි එකේද විවිධ වර්ණ වල කපු නූල් වලින්ම මෝස්තර යොදනවා.වර්තමානයේ සිල්ක් යොදාගෙන මෙම සාරි නිපදවීමද ආරම්භ වී තිබෙන අතර මෙම අලංකාර සාරි විශේෂය ඉන්දීය හා බංග්ලාදේශ් කාන්තාවන් අතර අතිෂය ජනප්‍රියයි.

20.චෙට්ටිනඩ් සාරි 

 
කපු නූලෙන් වියන මෙම සාරි විශේෂයද ගනකම් සාරි විශේෂයක්.තද වර්ණ යොදාගෙන නිපදවෙන මෙම සාරි වල කොටු මෝස්තර (ලංකාවෙ විදිහට කිවුවොත් මේස රෙද්දක් වගේ ) සහිත සාරි වඩා ජනප්‍රියයි.තමිල්නාඩු ප්‍රාන්තයේ කරෛකුඩි ගම මෙම සාරි නිපදවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධයි.

21.බගෘ සාරි 
 
රාජස්තාන් ප්‍රාන්තයේ ජය්පූර් සිට අජ්මේර් යන අතර මග හමු වන බගෘ නම් ප්‍රදේශය මෙම සාරි සඳහා ප්‍රසිද්ධයි.බතික් ක්‍රම ශිල්ප යොදාගෙන නිපදවෙන බැවින් මෙම සාරියක් නිපදවීම සඳහා අදියර කිහිපයකින් යුත් වෙනවා.සරල රාජස්තාන් වලට ආවේණික මෙස්තර බහුල ලෙස මෙම සාරි වලට යොදා ගැණෙනවා.

22.මහේශ්වරී සාරි
 

මහාරාශ්ඨ්‍ර ප්‍රාන්තයේ නිපදවෙන මෙම සාරි වල උප්පත්ති කතාව ලෙස සඳහන් වනුයේ 18 වන සියවසේ මරාතා රාජධානියේ අහිල්යාභායි හොල්කර් රැජිණ ඉන්දියාවේ සිටි දක්ෂතම පේෂකාර්මිකයන් මරාතා රාජධානියට ගෙන්වා තමා වෙනුවෙන් සාරි නිමවීමට යෙදවීමෙන් මෙම සාරි නිපදවීම ආරම්භ වූ බවයි. කපු සහ සිල්ක් නූලෙන් මෙම සාරි නිපදවෙනවා.

23.පටෝලා සාරි
 
ගුජරාත් ප්‍රාන්තයේ නිපදවෙන මෙම සාරි ඉතා අලංකාරයි.මුලු සාරියම කුඩා කොටු වලට බෙදා එම ඔටු තුල මෝස්තර දැමීමෙන් මෙම සාරි අලංකාර කෙරෙනවා.බොලිවුඩ් නිලියන් සහ මෝස්තර නිර්මාණ කරුවන් අතර ජනප්‍රිය සාරි විශේෂයකි.

24.ඉල්කාල් සාරි
 
ඉන්දියාව පුරා බහුලව භාවිතා වෙන සාරි විශේෂයකි.දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ නිපදවෙන මෙම සාරි මිල අධික නොවීම සහ සාමාන්‍ය භාවිතයට සුදුසු බැවින් දෛනික ඇඳුම ලෙස සාරි භාවිතා කරන කතුන් ඉල්කාල් සාරි මිලදී ගන්නවා.කපු නූලෙන් වියන ඉල්කාල් සාරි වඩා ජනප්‍රියයි.

ඉන්දියාවේ සාරිත් එහෙ භාෂාවල් වගේම තමයි.කියල ඉවර කරාන්න ගියොත් පොතක් ලියතහැකි ඒ නිසා මෙතනින් නවත්තනවා.

නැවත හමු වෙමු

- අමිල ලක්මාල් -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters