'හංගුක් දේශයේ කතා' - 01 - "කොරියානු අධිරාජ්‍යයාගේ බිරින්දෑවරු...."

මේ ලිපිය ලියන්න හිතුණෙ මගෙ ෆේස්බුක් මිතුරියක් වන ජනනි සේනාධීර විසින් ලියන්නට යෙදුන නවකතාවක් නිසා.මට හිතෙන විදිහට සහ පෙනෙන විදිහට මේ ලිපියෙ ඒ කතාවත් එක්ක යම් සම්බන්ධතාවයක් ඇති. ඒ ගැන හරියටම කියන්න අමාරුයි මොකද තාම නව කතාව එලියට ඇවිත් නැති නිසා.

කොරියානු අධිරාජ්‍යයාගේ බිරින්දෑවරු....

ලංකාවේ ඉන්දියාවේ සහ බොහොමයක් රටවල වගේම කොරියානු අධිරාජ්‍යයන්ටත් විශාල අන්තඃපුරයක් තිබිලා තියෙනවා.කොරියාවෙ අවසාන රාජ වංශ තුන වුණ (Silla) සිල්ලා,(Goryeo)ගොරෙයො සහ (Josen)යෝසන් රාජ වංශයන් වෙද්දි මේ අන්තඃපුරයන් මනාව සංවිධානය වෙලා හුදෙක් රජුගේ බිසෝවරුන් වෙනුවට යම් නිලයක් දරන්නියන් තත්ත්වයට පත් වෙලා තිබුණා.උනන්දුවක් ඇති අයට දැන ගන්න මේ ඒ ගැන මම දන්න ටිකක්.

ලංකාවේ දැනට අවුරුදු කිහිපයකට කලින් විකාශනය වුණ ඓතිහාසික කොරියානු නාට්‍ය නරඹා ඇති අයට යම් වැටහීමක් ඇති මේ ගැන.

රජ්‍යයේ නීතිය අනුව රජමැදුරේ වාසය කරන ලොකු කුඩා බේදයකින් තොරව සියළුම කාන්තාවන්ගේ අයිතිය අධිරාජ්‍යයා සතු වුණා.ඒ නිසා රජ මැදුරේ සේවිකාවන්ට පවා විවාහය තහනම්. විවාහයක් ගැන සිතීම හෝ පිරිමියෙක් සමග සම්බන්ධතාවයක් තබා ගැනීම මරණීය දණ්ඩණය ලැබෙණ අපරාධයක් වුණා.
සේවිකාවන් හැඳින්වූවේ 'සන්ග්යොං'(Sanggun)  (ඉහල පාලිකාවන්) සහ 'සංග්-උයි'(sangeui)(පහල පාලිකාවන් ) ලෙස.


       (Sanggun in dark green unirom.... Sangeui in light green uniform)
සන්ග්යොං පාලිකාවන් 'සන්ග්යොං මාමන්‍යිම්' යන නමින් ඇමතීමට යෙදුනා. මොවුන් මනාව සංවිධානය වුණ රජ මාළිගාවේ විවිධ දෙපාර්තමේන්තු හා අංශයන් හි උසස් තනතුරු හෙබවූ අයයි.මෙම දෙපාර්තමේන්තු සහ අංශ ගැන වෙනම ලිපියකින් කතා කිරීමට බළාපොරොත්තු වෙනවා.මෙම සන්ග්යොං වරියන් අතරත් ශ්‍රේණි තිබුණා. උදාහරණ විදිහට රජුගේ මාළිගයේ පාලිකාව මවු රැජිණගේ පාලිකාවට ඉහල ශ්‍රේණියක් දැරුවා.මවු රැජිණගේ පාලිකාව මහ බිසවගේ පාලිකාවට වඩා ඉහල ශ්‍රේණියක් දැරුවා.මහ බිසවගේ පාලිකාව උප බිසෝවරුන්ගේ, කුමාර වරු සහ කුමාරියන්ගේ පාලිකාවන්ට වඩා ඉහල ශ්‍රේණියක් දැරුවා.  එසේ ඔවුන් අතරත් විවිධ බෙහීම් තිබුණා.  නාට්‍යය නරඹා ඇති අයට මේ ගැන තරමක් වැටහීමක් ඇති. එහි සුප්‍රකට 'හන්' , 'චූයි', 'යුන්' වැනි පාලිකාවන් 'සන්ග්යොං' ශ්‍රෙණියට අයත් වුණ මුළුතැන්ගේ දෙපාර්තමේන්තුවේ ඉහල පාලිකාවන්.'සං-උයි' පාලිකාවන් ' සන්යොං' වරියන් අතින් පාලනය වුණා.

රජුගේ බිරින්දෑවරුන් බවට පත්වීමේ හැකියාව , රජුගේ වරණය අනුව මේ 'සන්ග්යොං'  සහ 'සං-උයි'වරියන්ට තිබුණා.Dae Jang-Geum හි 'යොන්-සෙන්' මුළුතැන්ගේ සේවිකාවක්ව සිටියදී  හෝ Dong-Yi හි දොං-යී  හෝ දොං-යී හි ඔක්-ජං රජුගේ බිරිඳක් වන්නේ එසේයි.ඔවුන් තිදෙනාම මුළින් ඇතුළත් වූයේ මෙම ශ්‍රේණියටයි.

'සන්ග්යොං' වරියන්ට ඉහල ශ්‍රේණියෙන් රජුගේ බිරින්දෑවරියන් ආරම්භ වෙනවා.

04. "වොං ශ්‍රේණිය/හතර වන ශ්‍රේණිය"
රජුගේ බිරින්දෑවරුන්ගේ පහලම ශ්‍රේණියයි.මෙය නැවත කොටස් දෙකකට බෙදුණා.ඒ 'සුවොං' සහ 'සොවොං' ලෙසයි.

'සුවොං'(Sukwon) යනු රජුගේ බිරින්දෑවරියන්ගේ පහලම ශ්‍රේණියයි. මොවුන් හුදෙක් අන්තඃපුර කාන්තාවන් ලෙස සැළකුණ අතර රජ පවුලට අයත් වුණේ නෑ. Dong-Yi හි දොං-යී මුලින්ම සහ එහි 'ඔක්-ජං' ප්‍රතිශ්ඨාපනයෙන් පසුව ඇතුළත් වන්නේ මෙම ශ්‍රේණියටයි. මෙම ශ්‍රේණියේ අන්තඃපුර කතුන් ගැබ් ගැනීමකින් හෝ වෙනත් විශේෂ කාරණයක් මත රජුගේ හෝ අභ්‍යන්තර මණ්ඩලයේ (මාළිගයේ පරිපාලන කටයුතු භාර වුණ දෙපාර්තමේන්තුව ) ප්‍රධානියා ලෙස මහ රැජිණගේ නියෝගයක් මත 'සෝවොං'(Sowon) හෝ ඊට ඉහල ශ්‍රේණියකට උසස් කිරීම මගින් රජ පවුළට ඇතුළත් කරගත හැකියි.

03."යොං  ශ්‍රේණිය/තුන්වන ශ්‍රේණිය"

මෙම ශ්‍රේණියෙන් ඉහල බිරින්දෑවරියන් රජ පවුළට අයත් වුණා .මෙයද නැවතත් කොටස් දෙකකට බෙදුණා.ඒ 'සුයොං'(Sukyong) සහ 'සොයොං' (Soyong)ලෙසයි. Dae Jang-Geum හි යොන්සෙන් බිසවට දරුවෙක් ලැබීමත් සමග 'සොවොං' ශ්‍රේණියට උසස් කිරීම මගින් රජ පවුළට ඇතුළත් කරගත්තා එය නැරඹූ අයට මතක ඇති.     

02."උයි ශ්‍රේණිය/දෙවන ශ්‍රේණිය"

මෙම ශ්‍රේණිය නැවතත් උප ශ්‍රේණි දෙකකට බෙදුණා. ඒ 'සු-උයි'(Sukeui) සහ 'සොඋයි'(Soeui)ලෙසයි.මෙම උයි ශ්‍රේණියෙන් ඉහල බිසෝවරුන් ට පොදුවේ 'බින්'(Bin) යන ගෞරව නාමය භාවිතා වුණා. දොං-යී හි ඇයට කුමාරයෙක් ලැබීමෙන් පසුව පහලම ශ්‍රේණියේ සිට 'සු-උයි' ශ්‍රේණිය තෙක් උසස් කිරීමෙන් පසුව සහ  දොං-යි හි 'ඔක්-ජං' බිසව කුමාරයෙක් ලැබීමෙන් පසුව 'සු -උයි' ශ්‍රේණිය තෙක් උසස් කිරීමෙන් පසුව ඔවුන් පිළිවෙලින් 'සු-බින්'/'චොයි සු-බින්' සහ 'සු-බින්'/ජං-හුඉ බින්' යන නම් වලින් හැඳින්වුණා.

01.b. "ග්විං ශ්‍රේණිය/පළවන ශ්‍රේණියේ උප ශ්‍රේණිය"

රජුගේ ප්‍රධාන උප බිසවගේ ශ්‍රේණිය මෙය වේ. රජු ප්‍රසිධ සභාවන් හී අසුන් ගන්නා විට රජුගේ වම්පසින් දෙවනියට වාඩි වීමට මෙම බිසවට හැකිවේ.


01.a. "බින් ශ්‍රේණිය"
මෙය බිසෝවරුන්ගේ ඉහලම ශ්‍රේණිය වන අතර අගබිසව එම ශ්‍රේණියට අයත් වේ. රජු ප්‍රසිද්ධ සභාවන් හි වාඩි වන විට වම් පසින් පළමුවෙන් වාඩි වන්නේ මැයයි (මවු බිසව දකුණු පසින් වාඩි වේ ).රජුගෙන් පසු මවු බිසවට පමණක් දෙවැනි වන බලයක් මෙම බිසවට හිමි වේ.රජ මාළිගයේ සියළුම අභ්‍යන්තර පරිපාලන දෙපාර්තමේන්තු සහ අංශ වල ප්‍රධානියා ඇයයි. පොදුවෙ 'උයි' ශ්‍රේණියෙන් ඉහල බිසෝවරු 'බින්' ගෞරව නාමයෙන් හැඳින්වීමට යෙදුනට අග බිසවට පමණක් යෙදිය හැකි ගෞරව නාමය වූයේ 'ජුංජං'(Jungjeon ) යන්නයි.
දොං-යි හි යහපත් බිසවක් වූ 'ඉන්හියොන්' බිසව සහ ඇයව බලයෙන් පහ කිරීමෙන් පසුව 'ඔක්-ජං' බිසව ද මෙම ශ්‍රේණියට අයත් වුණා.
මෙම බිසෝවරුන් වෙන් වෙන් කර හඳුනාගත හැකි වන එස ඔවුන්ගේ ආභරණ හා ඇඳුම් පැළඳුම්ද වෙනස් වුණා. අගබිසව සහ මවු බිසවට පමණක් මකරෙක් ගේ රුව රැගත් කොන්ඩ කටුවක් පැළඳිය හැකි වුන අතර ඉන් පහල සියළුම බිසෝවරුන් ෆීනික්ස් කුරුල්ලාගේ රුව ගත් කොන්ඩ කටුවක් පැළඳිය යුතු වුණා.

    (මකරෙක් ගේ රුව රැගත් කොන්ඩ කටුව)

ෆීනික්ස් කුරුල්ලාගේ රුව ගත් කොන්ඩ කටුව
 
එමෙන්ම මවු බිසව සහ අග බිසවගේ 'ජොගොරි'(Jeogori)(කොරියානු සාම්ප්‍රදායික ඇඳුමේ උඩ කොටස ) හි පපුවේ සහ දෙඋරහිසෙහි රජුගේ ලාංඡණය මසා තිබුණත් අන් බිසෝවරුන්ගේ එසේ වූයෙ නෑ.

 ( Queen/Jungjeongs' with emperors' emblem in their jeogories)


කොරියානු රාජ වංශ වල රජ බිසෝවරු යනු හුදෙක් රජුගේ දුක සැප බෙදා ගනු වස් බිරිඳක් ලෙසින් ජීවත් වුණු අය නොව යම් කිසි තනතුරක් දැරූ , පාලන තන්ත්‍රයේ කොටසක් බව සරල අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති යැයි සිතමි.
ඉදිරියට තව තව දේ 'හංගුක් දේශයේ කතා' වලින් බළාපොරොත්තු වන්න.

- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters