කොළඹ වීදියකදී.....10 - "102,තර්ස්ටන් පාර,කොළඹ 07"


අවසාන වතාවට ලිවුවේ රෙජිනා වළව්ව ගැන...මතක ඇති... ඒක අයිති වුනෙත් චාර්ල්ස් හෙන්රි ද සොයිසා මහතාගෙ පුතෙක්ට... අද කියන්න යන්නෙත් ඒ මහතාගෙ පුතෙක්ට අයිතිව තිබුණ මහා මන්දිරයක් ගැන...
තුම්මුල්ල හන්දියෙ ඉඳලා තර්ස්ටන් විද්‍යාලය පැත්තට යනකොට රෙජිනා වළව්වට කලින් හම්බ වෙන, තරමක් වත්ත ඇතුළට වෙන්න තියෙන මහ මන්දිරය මතකයට නගා ගන්න... ඒ මන්දිරයේ ගේට්ටු කුළුණු වල සවි කරලා තියෙන පුවරුවෙ දැන් තියෙන්නෙ නම් 'Saifee Villa ' කියලා... නමුත් මීට අවුරුදු 40කට විතර කලිනුත් මේ මන්දිරයෙ නම වුණේ "ලක්ෂ්මීගිරි වළව්ව"යි...

ලක්ෂ්මිගිරි වළව්ව 1910 දී ඉදිකරන්නෙ චාර්ල්ස් හෙන්රි සොයිසා මහතාගේ දෙවන පුත්‍රයා වන ඒ.ජේ.ආර් ද සොයිසා මහතා විසින්... ඔහු 1869 දී උපත ලබන්නෙ පසු කලෙක ලංකා විශ්වවිද්‍යාල කොලීජියට පරිත්‍යාග කල Brodie House හි දීය....
ඒ කාලෙ වෙනකොට ඇල්ෆ්‍රඩ් හවුස් වතු යාය කොළඹ නගරයේ අක්කර 125 කට ආසන්න ප්‍රමාණයක ;ඩුප්ලිකේෂන් පාරේ සිට කුරුඳු වත්ත තෙක්ද තුම්මුල්ල සිට සායිසා වටරවුම තෙක්ද පැතීරී පැවති බව කියවෙනවා..චාර්ල්ස් හෙන්රි සොයිසා මහතාට අයත්ව කොළඹ නගරයේ පමණක් මන්දිර 48ක් තිබුණ බවද කියවෙනවා...

පසුකාලීනව මෙම මහා ඉඩම කොටස් වලට කැඩී යනවා..සහ රජයටද අත්පත් කර ගැනෙනවා..
බ්‍රිතාන්‍ය යුගයේ ඉදි වුණ ලක්ෂ්මීගිරි වළව්ව Baroque සහ Italiante ගෘහ නිර්මාණ ලක්ෂන රැගත් ගෘහකර්මාන්තයක්...
Baroque යනු 16 වන සියවසේ ඉතාලියේ ප්‍රචලිත වුණ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයක් වන අතර Italiante යනු 19 වන සියවසේ ඉතාලියේම ප්‍රචලිත වූවක්...ඉතාලියේ පැරණි පල්ලි සිහියට නගා ගන්න..ඒ Baroque සම්ප්‍රදාය වන අතර දෙපසින් හෝ මැදින් උස් වුණ කුළුණු සහිතව නිවාස තැනීම Italiante සම්ප්‍රදායේ ලක්ෂණයක්....

ලක්ෂ්මීගිරි හි විශාල ගේට්ටු කුළුණු දෙක එංගලන්තයේ බකිංහැම් මාළිගයේ ගේට්ටු දෙකෙහි ආකෘතියක් බව කියවෙන අතර පසුව ඊජිප්තුවේ කයිරෝ කෞතුකාගාරයෙහිද මේ ආකාරයේම ගේට්ටු ඉදිකර ඇති බව සහ ඒය ලක්ෂ්මීගිරි හි ආකෘතියක් ලෙස ඉදිකර ඇති බවද කියවෙනවා...

සොයිසා මහතා විසින් ලක්ෂ්මීගිරි වළව්වේ ප්‍රධාන ගොඩනැගිල්ලේ දෙපසින් උස්වූ කුළුණු දෙකක් ඉදිකරේ ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාවක් වන අශ්ව රේස් සිය නිවසේ සිටම නැරඹීමට බවත් පැවසෙනවා.. ඔහු අසලම පිහිටි තුරග තරග පිටියේ පැවැත්වුන තරග මෙම කුළුණු මතට වී නරඹන්නට ඇති...

මෙම මන්දිරයේ ඉදිරි පස උද්‍යාණය පිහිටි කොටස පසු කලෙක රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කල අතර වර්තමානයේ එහි කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටිය පිහිටනවා...
පසුකාලීනව ඒ.ජේ.ආර් සොයිසා මහතා බරපතල මූල්‍ය අර්බුධයකට මුහුණ පෑමට සිදුවන අතර ලක්ෂ්මීගිරි වළව්ව උකසට තබා මුදල් ලබා ගන්නා අතර පසුව එය උකසට සින්න වෙනවා....
මෙසේ උකසට සින්න වුන ලක්ෂ්මීගිරි වළව්ව සුප්‍රකට ව්‍යාපාරික පවුලක් වන ඇඩමිජී ලුක්මන්ජී පවුල විසින් මිලට ගන්නවා..මේ වන තුරුත් මෙම මන්දිරයේ එම පවුලේ අය වාසය කරනවා..
ඇඩම්ජී ලුක්මන්ජි පවුල යනු ලංකාවේ ඉතාම සුළුතරයක් වන ඩාවුඩී බොහ්රා මුස්ලිම් සමාජයේ අනුගාමිකයන්..මෙම සමාජයේ ජාත්‍යන්තර වායකයා වූයේ ඉන්දියාවේ මුම්බායි හි විසූ ස්යෙද්නා තහිර් සෛෆුද්දීන්ය..එතුමා ලංකාවට පැමිණි දෑම වතාවකම නවාතැන් ගත්තේ ලක්ෂිමීගිරි වළව්වේය... 1978 දී ඔහු මියයාමත් සමග ඔහුගේ උරුම කරු වූ ස්යෙද්නා මොහම්මදු බහාර්නුද්දීන් විසින් සිය පියා සිහිවීමට , ඔහු ලංකාවට පැමිණි සෑම අවස්තාවකම ලැගුම් ගත් මෙම මන්දිරයට 'සයිෆී විලා' යන නම තබනවා...සයිෆී යන්න සෛෆුද්දීන් යන්නෙන් ලබා ගෙන තිබෙනවා...
ඒදා සිට අද තෙක් ලක්ෂ්මීගිරි වළව්ව සයිෆී විලා යන නමින් හඳුන්වනවා...
මෙම වළව්ව පිහිටි ප්‍රදේශය දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාව්‍ය රාජකීය ගුවන් හමුදාව් කඳවුරු බිමක් වූ අතර ලක්ෂමීගිරි පවා ඒ සඳහා යොදා ගත්තා... යුද්ධය අවසානයේ නැවත පිටත් වද්දී බ්‍රිතාන්‍යයන් විසින් වළව්වේ තිබුණු වටිනා කෞතුක භාණ්ඩ පොත් පත් යනාදිය රාශියක් රැගෙන ගිය බව කියවෙනවා...
1972 ඉඩම්‍ප්‍රතිසංස්කරණ පණත හඳුන්වා දීමත් සමග ලක්ෂ්මීගිරෙහි භූමිය තවත් සීමාවී අද පවත්නා ප්‍රමාණයට කුඩා වෙනවා... ඊට අයත්ව තිබුන බිම් ඒවායේ පදිංචිව සිටි කුලීකරුවන්ටම හිමි වුනා...තවත් කොටස් රජයේ ව්‍යාපෘති වලට යොදා ගත්තා...
ලක්ෂිමීගිරි වළව්වේ ගේට්ටු වල ඇති කිරුලෙහි S අකුර සඳහන් වෙනවා..එය සොයා වරු විසින් එකතු කරන ලද්දක් වුවද අදද මන්දිරයේ නම සයිෆී විලා බැවින් මෙම S අකුර මනාව ගැලපෙනවා...
1981 දී තිරගත වුණ 'කලියුගය' සිනමා පටයේ නන්දා සහ පියල්ගේ නිවස ලෙස යොදාගෙන තිබුනේද මෙම මන්දිරයයි....


-කොළඹ වීදියකදී නැවත හමු වෙමු-
-අමිල-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters