මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

 

වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ
වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ
අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා
නොනිවි ගින්නක් වී ඉකි බිඳී මිහි මඬල
සාපයක් දෝ දෙවියන්ගේ
පාපයක් දෝ මිනිසුන්ගේ
ඉරෛවිනිට්ට සාපමිදෝ
මනිදසෛද පාපමිදෝ
 
 
බිඳි සෙනෙහෙ අවුරා
ළං කළ හැකිද
හඬන සිත් තැවෙන සිත්
 
සාපයක් දෝ දෙවියන්ගේ
පාපයක් දෝ මිනිසුන්ගේ
ඉරෛවිනිට්ට සාපමිදෝ
මනිදසෛද පාපමිදෝ 
 
 

 
චන්ද්රිකා සිරිවර්ධන විසින් ගායනය කෙරුනු මෙම මියුරු ගීය තේමා කරගනිමින් ඇරඹුනේ සුර අසුර ටෙලි නාට්යයයි.
මේක ගැන නම් මගේ තියෙන්නෙ කැඩී බිඳී ගිය මතකයක්. නමුත් නවකතාව කියවා ඇති බැවින් මතකය හැකි උපරිමයෙන් උපද්දා ගන්න හැකි වුනා.
ටෙලි නාට්යය 1990 දශකයේ මුල් අවුරුදු කිහිපයේ විකාශය වූවක්. එවක මා ඉතා කුඩා දරුවෙක් වුනත් චන්ද්රිකාගේ මෙම ගීය සහ වීණා සහ වසන්තගේ රංගනයන් වල කොටස් අදටත් මගේ මතකයේ තිබෙනවා. උදාහරණයක් ලෙස කීවොත් වීණා රෝහලට මුල් වතාවට ඔසරියක් ඇඳන් එන දවසේ හෙදියක් "ඩොක්ටර් හරි ලස්සනයි , හැබැයි පොට තව ටිකක් දිග උනානම් හරි" කියනු මට මතකයි. ජාතිවාදි කලබල අස්සේ පවුල බේරෙන්න තැත් දරනු මතකයි.වීණා සිය දරුවා රැගෙන ගිය විට වසන්ත මහ ගෙදරට පැමිණ එය අසද්දී අම්මා "දරුවගෙ අම්මා ඇවිත් ඉල්ලද්දි මට බෑ කියන්න පුලුවන්ද " කියනු මට මතකයි.
වසන්තගේ පියා (සතිශ්චන්ද්ර ) විවාහයට විරුද්ධව බණිනු මතකයි.
ටෙලි නාට්යය නිර්මාණය වන්නේ 1984 , සුමිත්රා රාහුබද්ධගේ පෑනෙන් ලියවුනු එනමින්ම වුනු නවකතාව ආශ්රයෙනුයි. 
 
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
 
නවකතාවද කියෙවුවත් මට චරිත නාම මතක නෑ.
නලු නිලි කැල (මතක විදිහට)
වීණා ජයකොඩි
වසන්ත කොටුවැල්ල
මියුරි සමරසිංහ
සතිශ්චන්ද්ර එදිරිසිංහ
ඔච්චරයි මතක... 
 
🎬
 
 

වීණා දෙමළ ජාතික වෛද්යවරියක්.සේවය කරන්නෙ කොළඹ. වසන්ත රජයේ නිලධාරියෙක්. මතක විදිහට පරිපාලන සේවයේ නිලධාරියෙක්. දෙදෙනාගේ විවාහයට වසන්තගේ පාර්ශවයෙන් එතරම් කැමැත්තක් ලැබෙන්නෙ නෑ. නමුත් දෙදෙනා විවාහ වී දියණියක්ද ලබනවා.
මේ කාලයේ තමයි මුලු ලංකාවම ජාති වාදයෙන් ගිනි ඇවිලෙන්නේ. දකුණේ සිංහල මිනිසුන් අතින් දෙමළ මිනිසුනුත්, උතුරේ දෙමළ මිනිසුන් අතින් සිංහල මිනිසුනුත් බැට කන්නේ එකම කාලයක. රටම වැසී ගිය ගිනි ජාලාවට මේ පවුල හසුවන්නේ දෙදෙනා ජාතීන් දෙකක වූ බැවින්. මොවුන් කෙසේ හෝ සිය ගෙදරද අත හැර දමා හැංගෙමින් ජීවත් වෙනවා.
ඉන් පසු එළඹෙන්නේ දශක තුනක් ගෙවා 2009 වර්ෂයේ අවසාන වුන යුද්ධය ආරම්භ වූ සහ ඉන් පසු කාලයයි.
මේ වෙනවිට ජාති වාදී ගිනිදැල් වසන්තගේ හා වීණාගේ පවුලත් අවුලන්න සමත් වී තිබුණා. උතුරේ සෙබළුන් මියයද්දී දකුණේ ගෙදර වීණාට කටුක බස් අසන්න ලැබෙන්නේ වසන්තගෙන්.
"මතක තියා ගන්නව තමුසෙ දැන් ඉන්නෙ කොලඹ බව..."
වීණාගේ ඥාති සොහොයුරෙක් කොළඹ පැමිණෙන්නේත් මේ කාලයේයි. ඔවුන් මේ දෙපළත් හමු වෙනවා. මුවින් නොපෙන්නුවත් ඔහු සිටින්නේ සිංහල අය කෙරෙහි තරහකින්.
පවුල් අවුල් වෙද්දී , දෙමහල්ලන් විරසක වෙද්දී දරුවාටත් එය බලපානවා. දිනක් දියණිය මහගෙදර තබා රැකියාවට යන වසන්ත ගෙදර ආ පසු දැනගන්නට ලැබෙන්නේ වීණා පැමිණ දියණියවත් රැගෙන ගිය බවයි.
ඉන්පසු කොටස හරියටම මතක නෑ. 
 

 
කෙසේ හෝ පසුව දෙදෙනාම වීණාගේ ගම වුණ යාපනය බලා යනවා, දියණියත් සමගම. මතක විදිහට වීණාගේ සොහොයුරියකගේ ව්වාහයකට සහභාගි වීමට. වීණා දකුණේදී පීඩා වින්දා සේම වසන්ත උතුරේදී පීඩා විඳිනවා.
කොළඹද පැමිණි වීණා ගේ ඥාති සොහොයුරා ඒ වන විට LTTE සංවිධානයට සම්බන්ධයි.
යාපනයේ සිට ඇති වුණ වසන්ත නැවත කොළඹ යමු කීවද වීණා එයට කැමැත්තක් දක්වන්නෙ නෑ. නැවත ගැටුම් ඇතිවන්නේ ඒත් සමගයි. මෙම ගැටුම උත්සන්න වන්නේ වසන්ත සිය දියණියත් රැගෙන බලෙන් කොළඹ යන්නට පිටත් වෙද්දීය. මෙහිදී ඇති වන අරගලයට වීණාගේ ඤාති සොහොයුරාත් පැටලෙන අතර ඔහු ගිනි අවියක්ද රැගෙන එනවා. වසන්තත් ඔහුත් අතර සිදුවන අරගලය නිමා වන්නේ එහි උන්ඩයක් වසන්තගේ දියණියට වැදීමෙනි.
වීණා සහ වසන්ත ඇතුළු කණ්ඩායම සුර අසුර රූගත කිරීමට උතුරට ගිය අවස්ථාවේදීත් ඔවුන්ට විවිධ තාඩණ පීඩණ එල්ලවුණ බව වීණා රූපවාහිනී වැඩසටහනකදී කියනු මට මතකයි.
කෝවිලක් තුල සිදු කලයුතු රූගත කිරීම් සඳහා හින්දු භක්තිකයන් ඔවුන්ට කිසිසේත්ම ඉඩ නොදුන් බව ඇය පැවසුවා. අවසානයේ රැගෙන ගිය කැමරා ආම්පන්න සියල්ල පසෙකලා සිටිද්දී එක් වරම වර්ෂාවක් ඇද හැලුනු බවත් , වසර ගණනාවකින් වැසි නොලද ගම දේව හාස්කමකින් වැසි ලැබුණු බවත්, එය මොවුන් පැමිණීම නිසා සිදුවූවක් බව විශ්වාස කල හින්දු භක්තිකයන් මොවුන්ට රූගත කිරීමට අවසර ලබා දුන් බවත් ඇය එහිදී පවසා සිටියා.
ටෙලි නාට්යයේ තේමා ගීතය එතෙක් මෙතෙක් බිහි වුණ අලංකාරම ටෙලි නාට්ය තේමා ගී වලින් එකක් බව කියන්න පුලුවන්. දමිළ සංගීතය සහ සිංහල ගී සඳහා යොදා ගන්නා සංගීතය මිශ්රව ඉතාම මියුරු සංගීතයක් එහි තිබුණා.තේමා ගීයේ පද සුනිල් ආර් ගමගේ ගෙනුත්, තනුව සහ සංගීතය එවක ටෙලි නාට්ය විශාල ප්රමාණයකට සිය මියුරු සංගීතය එක් කල ආනන්ද ගමගේගෙනුත් ය . 
 
https://www.youtube.com/watch?v=PSQAABYwyGA
 
මෙයද දන්නා තරමින් නැවත විකාශයක් නොවුන, අලු යටින් මතු වී ඇවිලෙනා මතකයක් මෙන් සිතේ සදහටම රැඳෙන ටෙලි නාට්යයකි. 
 
 
නැවත නැරඹීමට වාසනාව ලැබේවා !
- ආර්යන්- ✍️

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 13 "යද්දෙහි ගෙදර"


යද්දෙහි ගෙදරත් 1990 දශකයේ මැද භාගයේ විකාශය වුන ටෙලි නාට්යයක් . හැබැයි ජාතික හෝ ස්වාධීන රූපවාහිනී නාලිකා වල නෙමේ. 
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
 
රංගන දායකත්වය කිව්වොත්
ශ්රියන්ත මෙන්ඩිස් - යද්දෙහි ගෙදර බණ්ඩාර මහත්තයා
වසන්ති චතුරාණි - යද්දෙහි ගෙදර මැණිකෙ
බුද්ධදාස විතානාච්චි - වසන්ති චතුරාණි ගෙ සහෝදරයා
දමයන්ති ෆොන්සේක - බුද්ධදාසගේ බිරිඳ
එඩ්වඩ් ගුණවර්ධන
අතුල ගමගේ - කපුරුවා ගුරුන්නාන්සෙ
කාංචනා මෙන්ඩිස් 
 
🎬
 
යද්දෙහි ගෙදර කියන්නේ පළාතේ ලොකු බලයක් තියෙන පවුලක් හිටපු වළව්වක්.
යද්දෙහි ගෙදර ඉන්නේ ඉන්නේ බණ්ඩාර මහත්තයයි මැණිකෙයි පුතයි. බණ්ඩාර මහත්තයා ටිකක් අහංකාර සැරපරුෂ මනුස්සයෙක් .
 

 
කපුරුවා කියන ගුරුන්නාන්සේ බණ්ඩාර මහත්තයාගේ ඔළුවට දානවා නිධානයක් ගැන විෂබීජයක් .මේ නිධානේ ගන්න කොහොමහරි බණ්ඩාර මහත්තයා උනන්දු කරවන්න කපුරුවා සමත් වෙනවා.
මෙහෙම ඉන්න අතර එක දවසක් යද්දෙහි ගෙදර පුතා අතුරුදහන් වෙනවා.අවුරුදු 8ක 10 ක ළමයෙක්.ඉතින් හැමෝම කලබල වෙලා හොයනවා කරනවා ඒ ළමයව හම්බ වෙන්නේ නැහැ.මැණිකෙ ඉන්නේ අඬා ගත්ත ගමන් ඒ දවස්වල.
පස්සේ තමයි දන්නේ නිධානෙට බිල්ල දෙන්න දෙන්න බණ්ඩාර මහත්තයා විසින්ම තමුන්ගෙම පුතාව පැහැරගෙන යන බව .බණ්ඩාර මහත්තයයි ගෙදර වැඩකාරි අතරෙත් සම්බන්ධයක් තියෙනවා .ළමයා අතුරුදහන් කිරීමට වැඩකාරි සම්බන්ධයි .මේ නිසාම බණ්ඩාර මහත්තයා වැඩකාරිවත් මරලා දානවා.
ඔහොම ඉන්නකොට නිධානෙ ගන්න දවස එනවා. බිල්ල දෙන්න සේරම සූදානම් කරගෙන ඉන්නකොට බණ්ඩාර මහත්තයාගේ හිත වෙනස් වෙනවා.එයා ගිහින් පුතාව මරන්න එපා කියලා කෑගහද්දි පුතාව අතට ගන්න කපුරුවා ගල් තලාවෙන් පහලට වීසි කරනවා. බිල්ල දෙන්න ගෙනා කඩුවෙන් කොටලා කපුරුවව මරන්නෙ බණ්ඩාර මහත්තයා. අනිත් උන් පැනලා යනවා. මිනීමැරුම නිසා බණ්ඩාර බණ්ඩාර මහත්තයා හිරේ යනවා. මහත්තයාගේ වැඩපිළිවෙළ ගැන මස්සිනාට (බුද්ධදාස විතානාච්චි) මුල ඉඳලම සැකයක් තිබ්බා, වැඩකාරිය සමග තිබ්බ සම්බන්ධෙත් ඔහු දැනං හිටියා.
කොහොම හරි මේ සිද්ධිය ආරංචි වෙලා අන්තිමේ බණ්ඩාර මහත්තයාට හිරේ යන්න සිද්ධ වෙනවා .
මේ අතරේ ඊට පස්සේ පෙන්නන්නෙ බණ්ඩාර මහත්තයාගේ පුතා ලොකු උනාට පස්සේ කාලේ.වසන්තිගේ අයියාගේ දුවට ඉන්නේ කාංචනා මෙන්ඩිස්.ඔය කාලෙ වෙද්දි බණ්ඩාර මහත්තයත් හිරෙන් නිදහස් වෙලා එනවා .පොඩි කාලේ ඉඳලා පොරොන්දු වෙලා හිටිය විදිහට බණ්ඩාර මහත්තයයි මැණිකෙයි යනවා අයියලගෙ ගෙදරට අයියාගේ දුවයි යද්දෙහිගේ දුර පුතාගෙයි මගුල තීන්දු කරන්න .ඒ උනාට අයියා කැමති වෙන්නෙ නෑ ආබාධිත කෙනෙක්ට දුව දෙන්නෙ. ඒක නොකියා එයා මහා උද්දච්ච විදිහට බණ්ඩාර මහත්තයාටත් බැනලා එලවා ගන්නවා තමුන්ගේ පුතා මරන්ඩ හවුල් වෙච්ච උන් එක්ක මඟුල් කාල පෑහෙන්න අපට වුවමනාවක් නැහැ කියලා.

 
පස්සෙ බණ්ඩාර මහත්තයා ඔල්මාද වෙනවා ඊට පස්සේ නිතරම කියවන්න ගන්නවා පිස්සුවෙන් දොඩවන්න ගන්නවා ,වැඩකාරිගෙ හොල්මනක් පේන්න ගන්නවා. අන්තිමට බණ්ඩාර මහත්තයා මැරෙන්නෙ වැඩකාරිගෙ අවතාරෙ ඇවිල්ල එක්කගෙන ගිහිල්ලා වැඩකාරිව මරලා දාපු ගඟ ගාව වැටිලා.
මේ අතරේ කාංචනා මෙන්ඩිස් යාළුවෙනවා අඩුකුලේ කොල්ලෙක් එක්ක. බෙරගහන පවුලක. මේ සම්බන්ධයෙන් දැනගන්න කාංචනාගේ දෙමව්පියෝ එයාව ඉක්මනට බන්දලා දෙන්න සූදානම් කරනවා .
යද්දෙහි ගෙදර පොඩි මහත්තයා වෙදකම ඉගෙන ගන්නවා එයා බොහොම ශාන්ත දාන්ත අහිංසක මනුස්සයෙක්. ගමේ මිනිස්සුන්ට උදව් කරගෙන ඉන්නවා.පොඩි කාලෙ නිධානේ ගන්ඩ ගිය වෙලාවේ වෙච්ච තුවාල කැලැල් තාම මූනේ තියෙනවා.ඔහොම ඉන්න අතරේ දවසක් ගමේ ගැහැණු ළමයෙක්ගේ කකුල සර්පයෙක් කාලා වැටිලා ඉද්දි පොඩි මහත්තයට හම්බ වෙනවා . පොඩි මහත්තයා ඒ ළමයගෙ විෂ අද්දන නිසා එයාට සිහි නැතිව වැටෙනවා.ඒ ගෑනු ළමයා පොඩි මහත්තයව ගෙදර ගෙනිහින් තියාගෙන සාත්තු සප්පායම් කරනවා. පොඩි මහත්තයාව හොය හොයා එන මැණිකේ කාගෙන් හරි අහගෙන මේ ගෙදරටත් එනවා.මැණිකේ දකිනවා මේ දෙන්නාව.
මේ අතරේ කාංචනා ගේ විවාහ මංගල්ය උත්සවය දවසේ අඩු කුලයෙ කොල්ලා ඇවිල්ලා මගුල් ගෙදර පිස්සුවෙන් දොඩවන නිසා මගුල කඩාකප්පල් වෙනවා . මේක යද්දෙහිගෙදර මැණිකෙටත් ආරංචි වෙනවා.
මගේ දරුවාට කරපු අපහාස වලට තමයි ඕක උනේ කියලා මැණිකේ කියනවා.
මැණිකෙ ගිහින් අර ගමේ ගෑණු ළමයාගෙ ගෙදරට ගිහින් කතා කරල පොඩි මහත්තයාවයී ඒ ළමයවයි බන්දලා දෙනවා .
මේකේ ඒ කාලේ ජනප්රිය වෙච්ච නාට්යයක් .
- ආර්යන් ✍️

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 12 "විකසිත මිලිනය"


මෙම ටෙලි නාට්ය විකාශය වුනේ 1999 වර්ෂයේ බව තමයි මතක. ඊට හොඳම හෙතුව නම් 1999 වර්ෂයේ ග්රැන්විල් රොඩ්රිගෝ මහතා මියයාමෙන් පසුව, වැඩි කලක් නොගොස් මෙම ටෙලි නාට්යය විකාශය වු බවත් අපේ අම්මා, ආච්චී එහෙම එතුමාගේ ගුණ කියමින් නාට්යය නැරඹූ බවත් මතකයේ තිබීමයි. 
 
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
 
චරිත නාම මතකයේ නෑ
රංගන ශිල්පීන්
රොජර් සෙනෙවිරත්න
දමිතා අබේරත්න
සංජීවනී වීරසිංහ
ග්රැන්විල් රොඩ්රිගෝ
එඩ්වර්ඩ් ගුණවර්ධන 
 
🎬
 
 

 
කතාව දිග හැරෙන්නේ අතීතාවර්ජනයක් ලෙසයි මතක.
හුදෙකලා දිවියක් ගතකරන රොජර්ගේ නිවසට පියෙක් සහ දියණියක් (ග්රැන්විල් සහ සංජීවනී ) පැමිණෙනවා. එන කාරණය කුමක්ද කියා මතක නෑ.
කාලය ගතවද්දී රොජර් සහ සංජීවනී අතර ප්රේම සම්බන්ධයක් ගොඩනැගෙනවා.
මෙසේ දෙදෙනාගේ ප්රේම සම්බන්ධය වැඩෙද්දී රොජර් සිය කටුක අතීතය ගැන ටික ටික සංජීවනීට හෙලි කරනවා. 
 
රොජර් සහ ඔහුගේ පියා ධනවත් වංශවත් පවුලක සාමාජිකයන්. මව මියගොස් බැවින් මේ දෙදෙනා විසූයේ ඔවුන්ට අයත් විශාල නිවසේ.
මෙසේ සිටිනා අතරේ රොජර්ට දමිතා හමු වෙනවා එක්තරා සාදයකදී. රොජර් කුලෑටි ගති ඇත්තෙක් බැවින් මුලු ගැන්වී සිටිද්දී දමිතා බලෙන් විත් ඔහු සමග කතාවට වැටී ඔහුට නර්තනයට ආරාධනා කරනවා. දමිතා නවීන පන්නයේ , බටහිර පන්නයේ කෙනෙක්. නටන, ගයන, කන, බොන තැනැත්තියක්. කටත් ඉතාම සැරයි.
හුදෙකලා නිහඬ රොජර්ට දමිතා නොගැලපුනත් දෙදෙනා විවාහ වන්නේ රොජර්ගේ පියාගේ (එඩ්වර්ඩ්) නොකැමැත්ත උඩ. එහෙත් වැඩිකලක් නොගොස් දෙදෙනා අතරේ රන්ඩු දබර ඇතිවෙනවා වගේම දවසින් දවස වැඩි වෙනවා. මෙසේ සිටිනා අතරේ දිනක් දමිතා අතුරුදන් වෙනවා.
මේ අතරේ තමයි තරුණියකගේ මල සිරුරක් රේල් පාරක තිබී හමුවන්නේ.
රොජර්ගේ සහ සංජීවනීගේ ප්රේම කතාව දෙදරා යන්නේ හිටි ගමන් නැවතත් දමිතා ගෙදට පැමිණීමෙන්. එහෙත් මේ කලින් හිටි දමිතා නොවෙයි. පිලිවෙලට ඔසරිය අඳින්, දිගට කොණ්ඩය ගොතන, සන්සුන් ගමන් සහ කතා ඇති දමිතා කෙනෙක්. 
 
 

 
රොජර් කෙසේවත් පිලිගන්නෙ නෑ මේ ඔහුගේ බිරිඳ බව. නමුත් දිගින් දිගටම දමිතා කියා සිටින්නේ ඇය අනුරාධපුරයේ නෑදෑ ගෙදරක නැවතී සිටි බවත්, එහිදී ඇයට ඇගේ වැරදි වැටහුන බවත්, ඇගේ දිවිපෙවෙත එහිදී වෙනස් වුන බවත්ය. කෙසේ කීවත් රොජර් නම් මෙය පිලිගන්නේම නෑ.
දිනක් රොජර්, සංජීවනී සහ දමිතා සිටින තැනකදී දමිතා වතුර වීදුරුවක් බොනවා. වහා ක්රියාත්මක වන රොජර් එම වතුර වීදුරුව ගෙන එහි ඇඟිලි සළකුණු සහ ඔහුගේ බිරිඳ පාවිච්චි කල භාන්ඩ වල ඇඟිලි සළකුණු පරීක්ෂා කරන්න කියා ඉල්ලා සිටිනවා (කාගෙන්ද මතක නෑ, මතක විදිහය ග්රැන්විල්ගෙන් ). රොජර් පුදුමයට පත් කරමින් ඇඟිලි සළකුණු සමාන වෙනවා. එදින රොජර් ඉතාම කෝප වී කෑ ගසන්නේ එය කිසිසේත්ම නොවියහැක්කක් බවයි. එහිදී සංජීවනී අසනවා ඒ ඇයි කියලා.
රොජර් පවසා සිටින්නේ දෙදෙනා අතර ඇති වූ රන්ඩුවකදී ඔහු ගැසූ පහරක් වැදී විසිවුන් දමිතා ඇඳ විට්ටමේ හිස වැදී මියගිය බවත් ඔහු ඇයව රේල් පාරකින් තබා ඇය සියදිවි හානි කරගත් ලෙසට ඇගේ සහෝදරයාට ලියමනක් යැවූ බවත්.
සියලුම සැළසුම් හෙලි වන්නේ එතැනින් පසුවයි.
සංජීවනී සහ ඇගේ පියා ග්රැන්විල් පොලිස් නිලධාරීන්. ඔවුන් වේශය වෙනස්කොට පැමිණෙන්නේ සත්යය සොයා ගැනීමට . දමිතා කෙසේවත් සියදිවි නසා ගන්නා විදිහේ කෙනෙක් නොවූ බැවින් ඇගේ සොහොයුරාගේ ඉල්ලීම මත මෙම පරීක්ෂණ සිදු කෙරෙනවා. මෙහිදී දමිතාගේ රුවට ඉතාම සමාන විශ්වවිද්යාල තරුණියක් ඔවුන් යොදා ගන්නේ රොජර්ගෙන් සත්ය හෙලි කර ගැනීමටයි.
ඇත්තෙන්ම මෙම කතාවේදී රොජර් වෙත දැඩි අනුකම්පාවක් යොමු වෙන විදිහය එය නිර්මාණය වී තිබුණා. බලෙන් පාත් වුන අසාර්ථක සම්බන්ධයක් හේතුවෙන් පීඩා විඳි ඔහු නැවත සැනසීමක් ලැබීමට සූදානම් වෙත්දීම අතීතය හඹාවිත් ඔහුගේ විකසිත වුන ජීවිතය නැවත මිලාන කරනවා.
සංජීවනී සත්ය වශයෙන්ම ඔහුට පෙම් කරන බවත් පෙනෙන්න තිබුණා.අවසානය ඉතාම අනුවේදනීය එකක්.
අධ්යක්ෂණය හෝ තිරරචණය කාගේදැයි මතකයක් නැත.
තේමා වාදනය යද්දී පෙන්වන්නේ කොන්ඩය කොටට කපාගත් බටහිර ඇඳුම් ඇඳි දමිතාගේ රුවත් (සිතුවමක් ) සහ ඊට පිටුපසින් සිටිනා ඔසරිය ඇඳි කොන්ඩය වැවූ දමිතාගේ රුවත් ය. එය මාරුවෙන් මාරුවට පෙන්නනවා වගේත් මතකයි. 
 
මෙම ටෙලි නාට්යයේත් විස්තරයක් හෝ වීඩියෝ දර්ශණයක් සොයා ගැනීමට අපහසු බැවින් ලිවීමට සිතුවෙමි.
- ආර්යන්- ✍️

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters