භාරතයේ විත්ති - 46 - ශුබ් මංගල් සාව්ධාන්!




ඉන්දියාවෙ ලිපි පෙල කියවපු ගොඩ දෙනෙක් සැරින් සැරේ ඉන්බොක්ස් ඇවිත් කිවුවා ඉන්දීය විවාහ චාරිත්‍ර ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න කියලා.ඒ අයගෙන් සමහරු ඒ ඉල්ලීම කරද්දි කිවුවා ඒ අය සම්පූර්ණ ඉන්දීය විවාහ මංගලෝත්සවයක් ගන්න ආසාවෙන් ඉන්නවා කියලා.
පළවෙනි කාරණාව. ලාංකිකයන් විදිහට අපිටම අනන්‍ය වෙච්ච විවාහ මංගල චාරිත්‍ර තියෙද්දි ඒවා අභාවයට යන්න ඇරලා , ෆිල්ම් එකක හෝ ටෙලි ඩ්‍රාමා එකක දැකලා ආසා වුන පමණින් සම්පූර්ණ ඉන්දීය විවාහ ක්‍රම වගේ දේවල් වලට පෙළඹෙන එක කොහෙත්ම හොඳ දෙයක් කියලා මම නම් හිතන්නෙ නෑ.ඒ ගැන හිතා බලන්න.
දෙවනි කාරණය ඉන්දීය විවාහ චාරිත්‍ර ගැන කතා කරන එක ඉන්දියාව සම්බන්ධ අන් බොහෝම කාරණා වගේම සංකීර්ණයි. හේතුව ප්‍රාන්ත තිහක්, කුල සිය ගාණක්, ආගම් සිය ගාණක්,ගෝත්‍ර දහස් ගාණක් තියෙන රටක හැම තැනම එකම විදිහේ විවාහ චාරිත්‍ර නෑ.
හින්දු විවාහ ගතහොත්
ප්‍රාන්තය අනුව, කුලය අනුව, එකම කුලයේ වුවත් නැවත ගෝත්‍රය අනුව ලෙසින් විවිධා කාර ලෙසින් බෙදිලා වෙනස් සම්ප්‍රදායන් සහ චාරිත්‍ර තියෙන්නෙ. ඒ නිසා ඉන්දීය විවාහ මංගල චාරිත්‍ර ගැන සම්පූර්ණ කතාවක් ලියන්න අමාරුයි .
ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මම බහුතරයක් හින්දූන් විසින් අනුගමනය කරන හින්දු විවාහ චාරිත්‍ර ගැන කතා කරන්න හිතුවා.
හින්දු විවාහ ලාංකීය වගේම එහි සංස්කෘත මුල් නම වූ 'විවාහ්/විවාහ' නමින්ම හඳුන්වනවා. බහුලව භාවිතා වන නම 'ෂාදී'. විවාහ් formal වචනෙ වෙන අතරෙ ෂාදි informal වෙනවා.විවාහ චාරිත්‍ර උතුරු ඉන්දියාවෙ බොහොමයක් ප්‍රාන්ත වල 'විවාහ් සංස්කාර්' කියලා හඳුන්වනවා.දකුණු ඉදියාවෙ කේරලා සහ තමිල්නාඩු ප්‍රාන්ත වල 'කල්‍යාණම්' කියලා හඳුන්වනවා.
හින්දු විවාහ චාරිත්‍ර බොහොමයක් 'අස්වල්‍යාන ගෘහ්‍ය සූත්‍ර' කියන සංස්කෘත ස්තෝත්‍රයේ සඳහන් වෙන විදිහට හැදිච්ච ඒවා.
එම ස්තෝත්‍රයට අනුව විවාහ ක්‍රම අටක් තියෙනවා.

1. බ්‍රහ්ම විවාහ - සියලුම විවාහ චාරිත්‍ර අනුගමනය කරමින් සම්පූර්ණ උත්සවයක් පවත්වා සිදුවන විවාහ.

2. දෛව විවාහ - පියා සිය දියණියව පූජකයෙක්ට භාර කිරීම. මෙය පරිත්‍යාගයක් ලෙස හැඳින්වෙනවා. මෙහිදී ආභරණ,ඇඳුම් වැනි දෑ දියණිය සමගම ලබා දෙනවා.

3. අර්ශ විවාහ - මනාලයා විසින් ගවයෙක් සහ එලදෙනක් මනාලියගේ පියාට ලබා දීම සහ මනාලියගේ පියා මනාලියව මනාලයාට ලබා දීමෙන් සිදු වන විවාහය.

4. ප්‍රජාපත්‍ය විවාහ - මනාල යුවල විසින් ඔවුනොවුන් අතරේ මන්ත්‍ර හුවමාරු කරගැනීම මගින් සිදුවන විවාහය. දේව පිළිමයක් ඉදිරියේ මන්‍ත්‍ර කියා දිවුරුම් දීමක් මගින් විවාහයට එළඹීමක් ලෙස මෙය දැක්විය හැකියි. අශෝක සිනමාපටයේ අශෝක සහ කෞර්වකී විවාහය මෙයට මතක හිටින උදාහරණයක් ලෙස දැක්විය හැකියි.

5. ගාන්ධර්ව විවාහ - living together

6. අසුර විවාහ - මනාලයා විසින් මනාලියගේ පියාට මුදල් හෝ ධනය (දායාදය) ලබාදී මනාලියව රැගෙන යාම.(මෙය ධනය බලාපොරොත්තුව දියණිය විකිණීමක් ලෙස හින්දු දහමේ කියවෙනවා.)

7. රාක්ෂස විවාහ - මනාලියව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇගේ අනුබලයකින් තොරව විවාහ කර ගැනීම.

8. පෛෂශ විවාහ - ස්ත්‍රිය මධුපානයෙන් හෝ වෙනත් දෙයකින් අසිහියට පත්ව ඇති අවස්තාවක පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි බලය පෑම මගින් ඇති වන බන්ධනය.

මෙයින් මුල් හතර ශුභ සහ පිලිගත හැකි විවාහ ලෙස වේදයේ දැක්වෙන අතර අවසාන හතර අශුභ සහ නොකටයුතු විවාහ ලෙස දැක්වේ.

මින් ඉදිරියට කතා කෙරෙන්නෙ බ්‍රහ්ම විවාහ නොහොත් මුල්ම ක්‍රමයේදී බොහොමයක් හින්දූන් විසින් අනුගමනය කෙරෙන චාරිත්‍ර ගැනයි.

රිෂ්තා/Rishtha

ඉන්දීය විවාහයක පළමු චාරිත්‍රය රිෂ්තා. රිෂ්තා කියන්නෙ නෑ කම කියන එකට. විවාහ වන යුවල පෙම්වතුන් වුවත් යෝජිත වුවත් මෙය අණිවර්‍යෙන්ම කරන චාරිත්‍රයක්. එහිදි මනාලයාගෙ පාර්ශවය මනාලියගේ පාර්ශවය හමු වී සිය පුතු වෙනුවෙන් දියණිය ඉල්ලීම කරනවා. එම අවස්ථාවේ කැවිලි පෙවිලි, රෙදි, ආභරණ ආදිය රැගත් තැටියක් මනාල පාර්ශවයෙන් මනාලි පාර්ශවයට දෙනවා.මනාලි පාර්ශවය එම තැටිය පිලි ගන්නවා කියන්නෙ විවාහයට කැමතියි කියන එක. ඇතැම් ප්‍රාන්ත වල දෙපාර්ශවයම තැටි හුවමාරු කර ගන්නවා සහ තවත් ප්‍රාන්ත වල මනාලි පාර්ශවය මනාල පාර්ශවය මුනගැහෙන්න යනවා.

සගායි/මිස්රි - Sagaai/Misri

සගායි කියන්නෙ ගිවිස ගැනීම. මෙය විවාහයට පෙර රිෂ්තා වලට පස්සෙ වෙන චාරිත්‍රයක්. මෙහිදි සුබ මුහුර්තයට අනුව මනාලයා සහ මනාලිය මුදු සහ වර මාලා (මංගල සූත්‍රය නොව..මල් මාලා ) හුවමාරු කර ගැනීමෙන් විවාහ ගිවිසුමට එළෙඹීම සිදු වෙනවා.


සංගීත් /Sangeeth

මෙය මෙහෙන්දි උත්සවය සමග හෝ වෙනම පවත්වනවා. මෙහිදී විවාහයට දින කිහිපයකට පෙර දෙපාර්ශවයේ නෑදෑ හිතමිත්‍රාදීන් එකතු වී ඩෝල, හාර්මෝනියම්,බට නලා, ෂෙහෙනායි, මංජීරා,බෙර ආදිය වයමින් ගීත ගායනා කරමින් විනෝද වීමක් සිදු වෙනවා.දෙපාර්ශවයේ මිතු දම වැඩි කර ගැනීම එහි අරමුණයි. එහිදී ගායනා කෙරෙන සාම්ප්‍රදායික ගී තියෙනවා.
ගුජ්රාත් සහ පංජාබ් ප්‍රාන්තයන්හී සංගීත් සඳහා භාවිතා කෙරෙන ගී ප්‍රසිද්ධයි. ඒවා බොලිවුඩ් සිනමාපට වල පවා බෙහෙවින් භාවිතා වෙනවා සහ එම සාම්ප්‍රදායික ගී ඇසුරින් සිනමාපට හා ගීත ඇල්බම සඳහා ගී නිර්මාණයන්ද සිදුවී තියෙනවා.Gur nalon ishque mithaa oye hoye එවන් ගීයක්.


මෙහෙන්දි/Mehendi



විවාහයට එක් දිනකට පෙර මෙහෙන්දි උත්සවය පවත්වනවා.සාම්ප්‍රදායිකව නම් මෙහිදී කාන්තාවන් පමණක් සහභාගී වුවත් වර්තමානයේ පිරිමි පාර්ෂවයත් සහභාගි වෙන අවස්තා තිබෙණවා. මෙහිදී මනාලියගේ අතේ මෙහෙන්දි ශාඛයේ (හෙනා/මරතොන්ඩි) දලු අඹරා සකස් කරගත් තද දුඹුරු පැහැයක් ගත් වර්ණයෙන් රටා ඇඳීම සිදු වෙනවා. බිරිඳගේ සහ ස්වාමියාගේ නොමැකෙන සහ නොකැඩෙන බන්ධනය ඉන් නිරූපණය කෙරෙනවා.'සග්රි' නොහොත් මනාලයාගේ සොහියුරියන් විසින් මනාලියට තෑගි ලබා දීමද මෙහෙන්දි අතරේම සිදු වෙනවා.

හල්දි/Haldi



හල්දි උත්සවය පවත්වන්නෙ විවාහය දවසෙ උදෑසන.බොහෝ වෙලාවට හිරු නැගෙන්න පෙර.මෙහිදී මනාලයා මනාලිය වෙන වෙනම හෝ එකම ස්ථානයේදි හල්දි ගැල්වීම සිදු වෙනවා. හල්දි යනු අමු කහ වලට හින්දියෙන් භාවිත වන පදයයි. හල්දි මිශ්‍රණය කහ,සඳුන් තෙල් (තමිල්නාඩුවේ තල තෙල් ද භාවිතා කෙරේ) හෝ වටිනා සුවඳ තෙල් වර්ගය ක් සමග මිශ්‍ර කොට යුවලගේ ශරීරයේ සහ ඇඳුම් වල ආලේප කරනවා. උත්සවයට පැමිණෙන සියලුම අය හල්දි ස්වල්පයක් ගෙන ආලේප කිරීමට යෙදෙනවා. සමේ වර්ණය වැඩි කිරීම සහ ශරීරය සුවඳවත් කිරීම මින් බලාපොරොත්තු වෙනවා.


ඉහත සගායි සිට හල්දි තෙක් චාරිත්‍ර ස්තෝත්‍රයක දක්වා නැති , ජනයා විසින් පාරම්පරිකව ඇති කරගත් චාරිත්‍ර වෙනවා.ඒවා පැවැත්වීමෙන් විවාහයක් සම්පුර්ණ වෙන්නෙ නෑ. හින්දු ශුභ විවාහයක් සම්පුර්ණ වීමට නම් අස්වල්‍යාන ගෘහ්‍ය ස්තොත්‍රයෙ සඳහන් චාරිත්‍ර තුනක් අවම වශයෙන් සිදු කල යුතුයි. එම චාරිත්‍ර තුන සිදු නොවන විවාහයක් සම්පූර්ණ හෝ ශුභ විවාහයක් වන්නෙ නෑ.මෙම චාරිත්‍ර තුන ඉටු වන්නෙ විවාහ උත්සවයේදීයි.

විවාහ/Vivah

විවාහ දිනයේදී මනාලයා මනාලියගෙ නිවසට සිය පිරිවර සමගින් මංගල රථයේ හෝ අශ්වයා පිටින් පැමිණෙනවා .මෙම පැමිණෙන පිරිස 'බාරාත්' නොහොත් මංගල පෙරහැර ලෙස හඳුන්වනවා.


මනාලි පාර්ශවය විසින් මනාල පාර්ශවය පිලිගැනීම 'ස්වාගතම්' ලෙස හැඳින්වෙනවා. ස්වාගතම් හිදී මනාලියගේ මව, මවගේ සහෝදරියක් හෝ නැන්දණිය මනාලයාගෙ කණ හෝ නාසය මිරිකීම ඇතැම් ප්‍රාන්ත වල සිදු කෙරෙනවා.විශේෂයෙන්ම පංජාබ් ප්‍රාන්තයේ එවන් විනෝදාත්මක චාරිත්‍ර ග්න බොහොම ප්‍රසිද්ධයි.




ස්වාගතම් වලින් පසු මනාලයා මන්ඩපයට (පෝරුව හා සමානයි) එළඹී මනාලිය එන තෙක් බලා සිටිනවා. මනාලයා ඵූල් චැහෙරා නොහොත් මල් ඔටුන්නෙන් සැරසී සිටිනවා.උතුරු ඉන්දියාවේ මනාලයා බොහෝ විට ශෙර්වානි එක සහ කලිසම අඳින අතර දකුණු ඉන්දීය මනාලයන් උඩුකය නිරුවත්ව වේට්ටිය හෝ ධෝතිය හෝ කුර්තාව සමග ධෝතිය ඇඳීම සිදු වෙනවා.
සුබ මොහොතට අනුව මනාලියගේ මෑණියන් විසින් මනාලියව මන්ඩපයට ගෙනවිත් මනාලයාගේ වම් පසින් වාඩි කරවනවා. මනාලිය රතු, තැඹිලි,කොල,රෝස වැණි තද වර්ණ වලින් යුත් සාරිය හෝ ලෙහෙඟා චෝලි හෝ ඝාග්රා චෝලි වලින් සැරසී හිස 'දුපට්ටා' (සළුව) වෙන් වසා සිටිනවා.


ඉන් පසු එළැඹෙන්නේ අණිවාර්‍යෙන්ම සිදු කලයුතු විවාහ චාරිත්‍ර තුනයි.එම චාරිත්‍ර නම්
1. කන්‍යාදාන්
2. පාණිග්‍රහන්
3. සප්තපේඩි
යන ඒවාය.

කන්‍යාදාන්



මනාලයගේ පියා විසින් මනාලයාගෙ දෑතත් මනාලියගේ පියා විසින් මනාලියගේ දෑතත් (පියා නොමැතිනම් අදාල පාර්ශවයේ වැඩිහිටි පිරිමියෙක්.බොහෝ විට වැඩිමහලු සහෝදරයා,මහප්පා,බාප්පා,මාමා ලෙස ...) ගෙන මනාලයාගෙ දෑත උඩින් මනාලියගේ දෑත තබා මනාලියගේ පියා විසින් මනාලියව මනාලයාට භාර දීමයි.මෙහිදී නොකඩවා පණ්ඩිත් විසින් ස්තෝත්‍ර සජ්ඣායනා කිරීම සිදු වෙනවා. ඇතැම් අවස්ථා වල කිරි හෝ පිරිසිදු ජලය යුවලගේ දෑතට වැඩීම සිදු කෙරෙනවා.
කන්‍යාදාන් අවස්තාවේ 'කාම-සුක්ත' හි සඳහන් දෙදෙනාගේ බැඳීමක් ඇතිවීම සම්බන්ධ පාඨයන් කියවීමක්ද සිදු වෙනවා.



පානිග්‍රහන්







පානිග්‍රහන් යනු මනාලිය විසින් මනාලයාගෙ දෑත අග්නි ශාක්ෂ්‍ය කරගෙන භාර ගෙන විවාහයේ ස්ථීරත්වය කෙරෙහි මුල් පියවර දැමීමයි.


සප්තපේඩි/සප්තපඩි - Sptapedi/Saptapadi




විවාහය ස්ථීර වීමට අත්‍යාවශ්‍යම චාරිත්‍රය මෙයයි.මෙය හත්වටය නොහොත් පියවර හත ලෙස හැඳින්වෙනවා. මනාලියගේ මව විසින් මනාලයාගේ සහ මනාලියගේ සලු දෙපොට එක්කොට ගැට දමා හෝ මනාලයාගේ දකුණත මනාලියගේ දකුණතින් ගෙන 'හවන් කුණ්ඩ්' නමින් හඳුන්වන ගිනි මැලය වටා දක්ෂිණාවෘතව සත් වාරයක් 'අග්නි ප්‍රදක්ෂණා' කිරීම මෙහිදී සිදු වෙනවා.එක් එක් ප්‍රාන්ත වල ගණනින් වෙනස් වුවත් මුල් වට හය හෝ හතර මනාලිය පෙරමුණ ගන්නා අතර අවසාන වටය හෝ වට තුන මනාලයා පෙරමුණ ගෙන වට හත සම්පූර්ණ කෙරෙනවා.එක් එක් වටයට දෙදෙනා විසින් සිතින් සිතිය යුතු පොරුන්දු හතක් තිබෙනවා.



බෙංගාලි ප්‍රාන්තයේ මෙය සිදුවන්නේ මනාලයා සිටගෙන සිටියදී මනාලියගේ සහෝදරයන් විසින් ඇයව මැස්සක තබා හෝ කරමත තබා ඔසවා ගෙන මනාලයා වටා සත් වටක් යෑමෙනි.මෙහිදි බෙංගාලි මනාලිය වට හත සම්පූර්ණ වනතෙක් බුලත් හෝ බෝ කොල දෙකකින් මුහුණ වසාගෙන සිටිනවා.




වට හත අවසාන වනතෙක් මන්ඩපය වටා සිටිනා නෑදෑ හිතමිතුරන් විසින් ගේන්ඩා (දහස් පෙති) , ගුලාබ් (රෝස) , චම්පා (පිච්ච ) වැනි මල් පෙති යුවල දෙසට ඉසිමින් ආශිර්වාද කෙරෙනවා.

බෙංගාලි ප්‍රාන්තයේ යුවල සත් වටය යද්දී ස්ත්‍රීන් දිවට ඇඟිල්ලෙන් ගසමින් ගිරිය යටින් කෑගෑසීමට සමාන ශබ්ධයක් නිකුත් කිරීමක් සිදු වෙනවා.

සප්තපේඩි අවසන් වීමෙන් විවාහය ස්ථීර වෙනවා. ඉන් පසු මනාලයා විසින් මනාලියගේ නලලත සින්දූර් ආලේප කිරීම සහ ගැට තුනක් යොදා මංගල සූත්‍රය පැළඳවීම සිදු කෙරෙනවා.සින්දූර් සහ මංගල සූත්‍රය යනු පතිනියගේ සංඛේතයි.
අලංකාර ලෙස තැණුන මංගල සූත්‍රයක් වෙනුවට කහ ගැල්වූ නූලක් පැළඳවීමත් මෙහිදී ප්‍රමාණවත්.





මනාලයාගේ දෑත් ගින්දරට ඉහලින් සිටින සේ තබා මනාලියගේ දෑත් ඊට ඉහලින් තබා මනාලියගේ සහෝදරයෙක් (බොහෝ විට බාලම සහෝදරයා) විසින් මනාලිය දෑතට හාල් දැමීමේ චාරිත්‍රයකුත් සිදු වෙනවා.



මෙය 'ලාජ හෝම' ලෙස හැඳින්වෙනවා.මෙම සහල් පහලින් ඇති ගින්නට වැටෙනවා.



ඇතැම් ප්‍රාන්ත වල වරමාලාව නොහොත් මලින් කෙරුණු මාලා හුවමාරු කිරීමත් සිදු වෙනවා.මෙහිදි මනාලයාට ඉහලින් මනාලිය එසවීම , මනාලියට ඉහලින් මනාලයා එසවීම වැනි විනෝදාත්මක චාරිත්‍රත් තිබෙනවා.

විවාහ උත්සව කටයුතු අවසානයේ මනාලිය මනාලයාගේ නිවසට යාමට පෙර මනාලියගේ ඉදිරිපසින් අල්ලාගෙන සිටින සහල් කුල්ලකින් සහල් ගෙන පිටුපස නොබලා හිසට ඉහලින් තුන් වතාවක් හාල් විසිකිරීම සිදු වෙනවා.



ඉන් ඇඟවෙන්නේ මින් ඉදිරියට ඔබේ නිවසේ ලක්ෂ්මිය වෙනත් නිවසකට ගියත් ඔබ පෙර සේම ධනයෙන් ආඩ්‍යව වෙසෙත්වා යන්නයි. මෙම සහල් මනාලියට පිටුපසින් සිටින මනාලියගේ නෑදෑ හිත මිත්‍රාදීන් හිසට වැටෙන ලෙස වීසි කරනවා.



මනාලිය මනාලයාගේ නිවසට එළැඹීමේදි මනාලයාගේ මව හෝ නැන්දන්නියක් විසින් හෝ වැඩිමහළු නෑදෑ ස්ත්‍රියක් විසින් (පුරුෂයා නොමල ) මනාලියට කපුරුදැල්ල සහිත පූජා තැටිය ආරාධනා කොට තිලකය තබා ඇයව පිලිගන්නවා. මනාලිය නිවසට ඇතුළු වන්නේ දොරකඩ තබා ඇති සහල් කලයේ ඇති සහල් නිවස තුලට වැටෙන ලෙස දකුණු පාදයෙන් එය තල්ලු කරමිනි. එයින් ලක්ෂ්මිය මින් ඉදිරියට මෙම නිවසට ඇතුළු වෙනවා සහ ධනය මෙම නිවසට රැගෙන එනවාය යන්න සංඛේතවත් කෙරෙනවා.


මෙහිදී සින්දූර් දිය කල තැටියක දෑත් තබා හෝ එවන් තැටියක දෙපා තබා නිවසට ඇතුළු වෙනවා. දෑත් තැබුවේ නම් එම දෑත යුවල වෙසෙන කාමරයේ දොරෙහි තැබීම සිදු කෙරෙනවා. පාද වල සින්දූර් ගැල්වෙන ලෙස ආවේ නම් පාවාඩයක් උඩ පා සටහන් සිටින ලෙස ඇවිදගෙන යාම සිදු වෙනවා.එයින් මින් ඉදිරියට මෙම නිවසේ නොමැකෙන ලෙස නව පතිනියගේ නාමය රැඳෙනවා යන්න සංඛේතවත් කෙරෙනවා.




උතුරු ඉදියාවේදී විවාහ චාරිත්‍රවලදී වෛශ්ණව සහ ලක්ෂ්මියට මුල් තැන දෙන අතර දකුණු ඉන්දියාවේ එහිත් විශේෂයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ ගණේෂ් ට මුල්තැන ලබා දෙනවා.

නොලියූ වෙනස් චාරිත්‍ර විධි ක්‍රම ගොඩාක් තිබෙන්න පුළුවන් .නමුත් ඒ සේරම ලිවීම ප්‍රායෝගිකව අපහසුයි.දැන් අදහසක් තිබෙන නිසා ඔබ විසින්ම ඒවා සොයා බලන්න.


ශාන්තාකාරම් භුජගශයනම් පද්මනාභම් සුරේෂම්
විශ්වාධාරම් ගගණ සදෘෂම් මේඝවර්ණම් ශුභාංගම්
ලක්ෂ්මි කාන්තම් කමල නයනම් යෝගිභිර් ධ්‍යාන ගම්‍යම්
වන්දේ විශ්ණුම් භව භයහරම් සර්ව ලෝකෛකනාතම් 🙏

..................................................

ශර්ව මංගල මාංගල්‍යේ
ශිවේ සර්වාර්ථ සාධිකේ
ශ්‍රණ්‍යේ ත්‍රයම්භකේ ගෞරී
නාරායනී නමොස්තුතේ 🙏

..........................

මංගලම් භගවාන් විශ්ණුම්
ගංගලම් ගරුනද්වජඃ
මංගලම් පුණ්ඩරී කාක්ෂාම්
මංගලාය තන්නෝහරී 🙏



🙏අමිල ආර්යන් 🙏










No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters