කාඩ් කුට්ටමේ කතන්දර - 02 - "Vrouw and Jack"




පළවෙනි ලිපියට තිබ්බ ප්‍රතිචාරය නොසිතූ තරම්. ඒ නිසා දෙවනි එකත් ඉක්මනට දාන්න හිතුණා මගෙ අනිත් මාතෘකා පැත්තකට කරලා .
කලින් එකේ රජවරු හතර දෙනා ගැන කිවුවනෙ.අද කියන්න යන්නෙ රැජිණියෝ ගැණයි,Jack ලා ගැනයි.
කුට්ටමේ මේ දෙන්නා හදුන්වන්නෙ.
රැජිණ = queen = පොරෝ 
Jack = බූරු

කලින් ලිපියෙත් කිවුවා කාඩ් කුට්ටමට King,Queen and Jack හදුන්වලා දුන්නෙ ප්‍රංශ ජාතිකයන් කියලා. ඒ අනුව ගෞරව වචන දීලා තියෙන්නෙ ජර්මානු, ප්‍රංශ/පෘතුගීසි/ලන්දේසි වචන වලින්.
ඒවා කිවුවොත්

• හේරා = රජු = King = Herr (German word )
• පොරෝ = රැජිණ = Queen = Vrouw (මෙය ශබ්ධ කරන්නේ ෆ්‍රොව් /ෆ්‍රව් ලෙසයි - (Dutch word )
• බූරූ = බූරුවා = Jack = Boer (දකුණු අප්‍රිකාවේ වාසය කරන ලන්දේසි ජාතිකයන් මෙම නමින් දැනට හදුන්වනවා. තේරුම ගැමියා/සාමාන්‍යය පුද්ගලයා වැනි අර්ථයක් දෙන්නක් ) ( Dutch word)

දැන් තේරෙනවනේ හේරා,පොරෝ,බූරු කියන වචන සිංහලෙන් උසුරුවන්න පුරුදු වෙච්ච හැටි.

රැජිණියෝ

රජ වරු වගේම කුට්ටමේ වංශ හතරට රැජිණියොත් හතරක් ඉන්නවා.
ඒ අය.
• හාරත රැජිණ /Queen of Hearts -


හාරත රැජිණ කොලේ ඉන්නේ බෛබලයේ චරිතයක් වන "ජූඩිත්".ජූඩිත් කියන්නෙ එයාගෙ ලස්සන පාවිච්චි කරලා ඇසිරියන් වරයෙක් වුණ Holofernes වසග කරගෙන අන්තිමේ ඔහුගෙ බෙල්ල කපලා දාලා ,ඇසිරියන් වරුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න ඉශ්‍රායල් වරුන්ට ඉඩ සළසා දුන් කාන්තාවක්. ඒ අනුව ඇය වීර වරියක් ලෙස සළකනවා.තවත් පිරිසක් මැය ට්‍රෝයි පුර සුරූපිනිය 'හෙලන්' ලෙස හදුන්වනවා. හෙලන් නම් නිතැතින්ම හාරත රැජිණකි.







• ඉස්කෝප්ප රැජිණ/Queen of Spades

ඉස්කෝප්ප රැජිණ කොලේ ඉන්නෙත් බෛබලයේ චරිතයක්. ඒ 'රේචල්' . රේචල් කියන්නෙ බෛබල් චරිතයක් වන ජේකබ් ගෙ බිරින්දෑවරු දෙන්නගෙන් ප්‍රියතම කෙනා.ඇය ;ඉශ්‍රායලයේ ගෝත්‍ර දොලහේ මුල්ම සාමාජිකයන් දෙන්නෙක් වන 'ජෝෂප්' සහ 'බෙන්ජමින්' ගේ අම්මා.









• රුවිත රැජිණ / Queen of Diamonds


රුවිත රැජිණ කොලයේ ඉන්නේ බුද්ධියට ,කලා කර්මාන්ත වලට සහ යුද්ධයට අධිපති ග්‍රීක දේවතාවිය වුණ 'ඇතීනා' දෙවගනයි. ඇය Pallas නමිනුත් හදුන්වනවා. රෝම දේව මන්ඩලයේ මැය 'මිනර්වා ' නමින් හදුන්වනවා.










• කලාබර රැජිණ/Queen of Clubs


කියන චරිතය හදුන්වන්නෙ 'Argine' නම් ග්‍රීක මිත්‍යා කතා වල එන රැජිණකගෙ නමින්. Argine කියන වචනෙ හැදිලා තියෙන් එ Rejina කියන ලතින් වචනෙන් බිදිලා.Rejina කියන්නෙ රැජිණ කියන එකටමයි.









බූරුවෝ

බුරුවා කියන වචනේ ලංකාවෙ නම් අපහාසයට හෝ උපහාසයට යොදන වචනයක් වුණත් කාඩ් සම්බන්ධයෙන් එය යෙදෙනෙ උඩිනුත් කිවුවා වගේ Boer කියන ලන්දේසි වචනෙ සිංහලෙන් උසුරුවන නිසා.මම කැමති නෑ බූරුවා කියන්න. ඒ නිසා මම Jack කියන වචනෙ පාවිච්චි කරනවා.
මුලින්ම කාඩ් කුට්ටමේ හිටියේ Ace,King,Queen and Knave .Knave කියන්නෙ රාජකීය සේවකයෙක් හදුන්වන නමක්.වචනාර්ථයෙන් ගතහොත් එය Common man කියන්නත් යොදනවා.
Knave කාඩ් හදුන්වන්න Kn යොදා ගත්තා:රජු හදුන්වන K සමග පැටලෙන්නෙ නැති වෙන්න. Jack විසින් Knave replace කරන්න හේතුව වුණා කියන්නෙ 16 වන සියවසේ ප්‍රචලිත වෙච්ච Game of fours කියන ක්‍රීඩාවක්.මෙම ක්‍රීඩාව කුමක්ද යන්න මෙහිදි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මෙම ක්‍රීඩාවට අනුව තුරුම්පු (trumps) හෝ knave දිනා ගන්නා ක්‍රීඩකයාට ලබා දෙන ලකුණක් Jack නමින් හැදින් වුණා. අවසානයේ Knave දිනා ගතහොත් Jack ලැබෙන නිසා Knave , Jack නමින්ම හදුන්වන්න යෙදුනා කියලා කියනවා. තව සමහරුන් කියන්නෙ මෙය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආව දෙයක් කියලා.ක්‍රිකට් ක්‍රීඩාවෙ last batsman හදුන්වන්නෙ "Last man Jack" කියන සුරතල් නමින් /උපහාසාත්මක පදයෙන්. කාඩ් කුට්ටමෙත් මෙයා අවසන් කෙනා නිසා එයාවත් ක්‍රිකට් වල වගේ Jack කියලා හදුන්වන බවත් කියනවා. 

වංශ හතරෙ Jack ලා ගත්තොත්

• හාරත Jack - කොලේ ඉන්නෙ La Hire (ලා හීර්)

ලා හීර් කියන්නෙ Joan of Arc ගෙ හමුදාවෙ හිටි කපිතාන් වරයෙක් සහ චාර්ල්‍ස් Vii ගෙ රාජ සභා සාමාජිකයෙක්.ලාහීර්ගෙ පෙනුම රුවිත හේරා රජු වුන ජුලියස් සීසර්ට සමානයි.එක පැත්තක් බලාගෙන, එක ඇහැක් විතරක් පේන්න ඉන්න මොහුගෙ අතේ තියෙන්නෙත් පොරවක්.මොහුගේ අනිත් අතේ රැදි වෘත්තාකාර හෝ අර්ධ වෘත්තාකාර පලිහ කබායේම කොටසක් ලෙස ඇද තිබෙනවා.එය පළමු කොටසේද කිවුවා වගේ මුල් කාඩ් පත පිටපත් කිරීමෙන් ඇති වුණ සම්ප්‍රදායක්.ඇතැමුන් පවසන්නේ ලී රාමු මත කැපුනු මුල් අච්චු වලින් කාඩ් පිටපත් කිරීමේදී හාරත Jack ගේ කාඩ් පතෙහිත් රුවිත හේරා රජුගේ අච්චුවම තබා කාඩ් පත් සැදීමෙන් මෙම වරද සිදුවී ඇති බවයි.ඇතැමුන් පවසන්නේ මුල් කාඩ් කුට්ටමෙහි හාරත Jack සහ රුවිත Jack හලලා තිබ්බ නිසා පසු කාලීනව රජුන් ගේ කාඩ් සදහා කැපුණු අච්චු භාවිත කරමින්ම මෙම කාඩි නිපදවුණ නිසා මෙසේ වූ බවයි.නමුත් බොහෝ දෙනාගේ තර්කය නම් මුල් කාලීන කාඩ් පත් වල හාරත ජැක් පොරව අතින් දැරුවත් ඔහු බලා සිටින්නේ කාඩ් පතෙහි දකුණු දෙස බවත් රුවිත හේරා (ජුලියස් සීසර්) බලා සිටින්නේ කාඩ් පතෙහි වම් පස දෙස බවත් ය.එ බැවින් කාඩ් පත් දෙකෙහි හදුනා ගැනීම් ලක්ෂණය වුනේ පුද්ගලයන් දෙදෙනා බලා සිටින දිශාවන් බවත්ය.කෙසේවුවත් වර්තමානයේ භාවිතා වන කාඩ් පත් වල රුවිත හේරා සහ හාරත Jack දෙදෙනාම එකම ස්වරුපයෙන්, එකම ආයුධ අතැතිව එකම දිශාවක් බලා සිටිනවා.ඒ අනුව වරද සිදුවී ඇත්තේ වර්තමානයේ භාවිතා වන කාඩ් පත් මුල්ම වතාවට ඇන්ද/මුද්‍රණය කල අවස්ථාවේ විය හැකියි.


• ඉස්කෝප්ප Jack කියන්නෙ Ogier the Dane



කියන නයිට් වරයා.මොහු හාරත හේරා රජු වුන චාර්ල්මැග්නේ රජු ගේ නයුට් වරයෙක්.ඉස්කෝප්ප ජැක් මුල් කාලයේ හෙල්ලක් අතින් දරා සිටගෙන සිටින ලෙස ඇද තිබුණත් පසුව එය තලය පහතට නැමුණු කඩුවක්බවට පරිවර්තනය වී තිබෙනවා.මෙසේ මෙම කාඩ් පත පරිණාමය වෙද්දී කඩුපත අතුරුදන්ව කඩු මිට පමණක් ඉතිරිවී තිබෙණවා. වර්තමාන කාඩ් පත්වල ඉස්කෝප්ප ජැක් වමතින් දරණ කඩු මිට පමණක් දැකිය හැකියි.




• රුවිත Jack
කියන්නෙ හෝමර් ගේ ඉලියඩ් හි කියවෙන ට්‍රෝයි පුර සටනේ වීරයෙක්.ඔහු හෙලන් පැහැර ගත් පැරිස් ගේ වැඩිමහලු සොහොයුරා වන 'හෙක්ටර්' කුමාරයා.රුවිත ජැක් ගේ අතෙහිත් මුලින්ම තිබී ඇත්තේ දිග මිටක් සහිත පොරවක්.මේ අනුව මුල් කාලයේ රුවිත හේරා,රුවිත ජැක් සහ හාරත ජැක් යන තුන් දෙනාම පොරවක් අතැතිව නිර්මාණය වීම ඉහතින්ද සදහන් වූ විදිහට ලී අච්චු යොදා ගනිමින් පිටපත් කිරීමේ සහ එම මුල් කාඩ් බලාගෙන පසු පිටපත් කිරීමේදී සිදුවූ වැරදි බව කියවෙනවා.පසුකාලීනව මෙම වරද නිවැරදි කරමින් රුවිත ජැක් , රුවිත හේරා සහ හාරත ජැක් ගෙන් වෙනස් කිරීමට ඔහුගේ අතටත් පහතට නැමුණු කඩු පත සහිත කඩුවක් දෙනවා. මොහු ඉස්කෝප්ප ජැක් ගෙන් වෙනස් වුනේ දකුණතින් කඩුව දරා සිටීමත් වමතින් සෙංකෝලයක් දරා සිටීමත් නිසා.පසුකාලීනව කාඩ් පත් පරිණාමය වීමේදී සෙංකෝලය හැලී ගොස් වමතින් දරණ :පහතට තලය යොමු වුණ කඩුවක් පමණක් ඉතිරි වුණා. ඇතැමුන් පවසන්නේ එසේ වීමේදී මොහු ඉස්කෝප්ප ජැක් සමග සමාන වන නිසා ඉහත පැවසූ ලෙස ඉස්කෝප්ප ජැක් කඩු මිට පමණක් පෙනෙන ලෙස නිමවූ බවත් මොහු සම්පූර්ණ කඩුවම පෙනෙන ලෙස නිමවූ බවත් ය.

කලාබර Jack

කියන්නෙ කැමලොට් හි රජ කල ආතර් පෙන්ඩ්‍රැගන් අධිරාජ්‍යයාගේ නයිට් වරයෙක් වුන ලාන්ස්ලොට්. තවත් පිරිසක් මොහුව හීබෲ යුධ විරුවෙක් වන Judas Maccabeus කියලත් කියනවා.ජැක්ලාගෙන් අතේ තිබෙන ආයුධය වෙනස් නොවී තිබෙන්නේ මොහුගේ පමණයි.මුල් කාලීන ජැක් කාඩ් පත්වලත් කලාබර ජැක් දකුණතින් දිග, ඊ හිසක් වන් මුදුණක් සහිත හෙල්ලක් දරා සිටිනවා.වර්තමාන කාඩ් පත් වලත් එම ආකාරයේම හෙල්ලක් කලාබර ජැක් දරා සිටිනවා.එහෙත් දකුණතින් නොවේ, වමතින්. 






ඉතින් අදට ඔය මැදැයි.

Gallery

එක් එක් රටවල් වල සම්ප්‍රදායන්ට අනුව නිර්මාණය වූ කාඩ්පත්




කාඩ් පත් විකාශනය වූ හැටි දල අදහසක් මින් ගත හැකියි.


ආයෙ දවසක කාඩ් අතක් ගහන ගමන් තව කතාවක් කියන්නම්.

අමිල ආර්යන් 

2 comments:

  1. ප්‍රංශ විප්ලවය කාලෙ "ජාක්ස්" කියන නම පොදුවෙ සාමාන්‍ය මිනිහා හැඳින්වීමට වංශාධිපතියන් විසින් අවඥා සහගතව භාවිත වුණු බව කියවා තියෙනවා. ඒ නමම ඒ කාලෙම ප්‍රංශයෙ පොදු මිනිසුන්ගේ විපලවකාරී රහස් සමාජයක් තම සාමාජිකයන් එකිනෙකා හඳන්වාගැනීමටත් භාවිත කෙරුණු හැටි චාල්ස් ඩිකන්ස්ගෙ දෙනුවර කතාවෙ තියෙනව. ඒකෙන් ජැක් කියන නම ආව වෙන්නත් පුළුවන් නේද?

    අනික, අර මහා චාල්ස් නම් රජතුමාව ප්‍රංශ භාෂාවෙන් හඳුන්වන්නෙ ෂාල් මේන් කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූති..ඒ ගැන දැනුවත්ව හිටියෙ නෑ.

      Delete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters