ගීයෙන් කියවෙන සත්‍ය කතා ....04... "බිම්බරක් සෙනග ගැවසුණු"





 මේ මාතෘකාවෙ අවසාන ලිපිය ලියලා තියෙන්නෙ මාර්තු මාසෙ 12. මම ලියන්නෙ මොන මොන මාතෘකාවල් වලද කියලා දැන් මටම මතක නෑ.බ්ලොග් එකේ ඉහල පහල යද්දි තමයි මතක් වෙන්නෙ මෙහෙම ඒවත් ලිවුවා නේද කියලා. පහුගිය ලිපි තුනම විදේශීය ගී තුනක් ගැන.ඒත් මේක ලංකාවෙ එකක්.

පහුගිය කාලෙ මේ කියන ගීතය එලිපහලියට ආවා...ජනාධිපතිවරණය අවසානවත්ම එක්තරා දේශපාලන පක්ෂයක් අපහාසයට උපහාසයට නැගීමට නිර්මාණාත්මක පද එකතු කරමින් මෙම ගීය නැවත ලියලා තියෙනවා දැක්කා. ඒත් මෙම ගීය අපහාසයට හෝ උපහාසයට යොදගැනීමට තරම් නොවන ගීතයක්. 
ඒක ඇසූ පමණින් දේශාභිමානී ගීයක් කියලා හිතුණට ඒක එහෙමම නෙමේ. ඒකෙන් කියවෙන්නෙ රටේ එක්තරා ප්‍රදේශයක ඇත්තටම සිදුවෙච්ච සිදුවීම් පෙළක් ගැන.
ගීය ලියන්නෙ ලංකාවෙ ඉන්න දක්ෂතම ගී රචක රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා.සංගීතය සහ ගායනය ගුණදාස කපුගේ මහත්තයා සමග පිරිස.මුල් ගායනයේ පිරිසෙහි කරුණාරත්න දිවුල්ගනේ මහත්තයත් ඉදලා තියෙනවා. 
ඔය මදැයි ඒ ගැන.අපි කතාවට බහිමු. 


රත්න ශ්‍රී මහත්තයා වෘත්තියෙන් ගුරුවරයෙක්. එතුමා 1970 දශකයේ අග භාගයේ මොණරාගල ප්‍රදේශයේන්පාසලක ගුරුවරයෙක් වෙලා ඉදලා තියෙනවා. 
මේ කාලෙ තමයි ලංකාවට විවෘත ආර්ථික ක්‍රමය හදුන්වලා දීලා තියෙන්නෙ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින්. ඒත් එක්කම ලංකාවෙ කාර්මික , වෙළද හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර වල සෑහෙන වෙනස් කම් සිද්ද වෙලා තියෙනවා.

දවසක් රත්න ශ්‍රී ඉස්කෝලෙ මහත්තයා ඉස්කෝලෙ යද්දි අහල පහල තිබුණ මොණරාගල කච්චේරිය ඉස්සරහා මහා කලබැගෑනියක්. හේතුව ඒ ප්‍රදේශයේ වැසියන්ගෙ ඉඩම් අත්පත් කරගන්න හදනවලු උක් වගාවන් සදහා. මේ ඉඩම් ඒ මිනිස්සු දන්නා කාලෙ ඉදන් උරුම වෙලා තිබ්බ පාරම්පරික වගාබිම්. 

අනික් අතට මොණරාගල කියන්නෙ ඌව පළාතෙ දිස්ත්‍රික්ක දෙකෙන් එකක්. ඌව පළාතෙ තමයි අපි දන්න ඌව වෙල්ලස්ස හටන වෙලා තියෙන්නෙ 1818. මේකියන ප්‍රදේශය තමයි වෙල්ලස්ස. ඒ කියන්නෙ එසේ මෙසේ මිනිසුන් පිරිසක් හිටි ප්‍රදේශයක් නෙමේ මේ කියන ප්‍රදේශය. 
ඉතිං තමුන්ගෙ පරපුරවල් වල ආදි මුතුන්මිත්තන් යුද්ධකරපු, ඒ මිනිස්සුන්ගෙ ලේ හැලිච්ච, ඒ මිනිස්සු වළ දාලා තියෙන බිම් උක් වගාවට පවරා ගන්න එක මේ මිනිස්සුන්ට උහුල ගන්න බැරි දුකක් වෙන එක අසාධාරණ නෑ මම හිතන්නෙ. 1818 සුද්දංගෙන් අන්ත දරුණු විදිහට බැට කාපු මේ මිනිස්සුන්ට1978-79 කලු සුද්දංගෙනුත් බැට කන්න වුණා.
ඒ සිද්දිය පදනම් කරගෙන තමයි රත්න ශ්‍රී මහත්තයා "බිම්බරක් සෙනග ගැවසුණු" ගීය රචනා කරන්නෙ.
ගීයේ මුල් කොටසේ ප්‍රදේශයේ අභිමානය මතක් කරලා දෙන පද පේලි දෙකකුත්, අද ඒ බිමට වෙන්න යන්නෙ මොකක්ද කියන එක ගැන හැදින්වීමකුත් සිද්ධ වෙනවා.

දෙවන කොටසේ මුල් දෙපේලියෙන් ට්‍රැක්ටර්, ඩෝසර් මගින් වනාන්තර විනාශ කරමින් උක් වගාව සදහා බිම් හෙලිපෙහෙලි කිරීම ගැන කියවෙන අතර ඉන් පසු කියවෙන්නේ භූමිය වෙනුවෙන් අතීතයේ සුද්දන් සමග සටන් කල මුතුන් මිත්තන්ගේ ඇට කැබලි වලටවත් තැනක් නැති වන බවයි.

තුන් වන කොටසේ මුල් දෙපේලියෙන් යම් කිසි අරගලයක් ගැන කියවෙන බව මගේ හැගීමයි.ඒ වන විටත් පාලනාධිකාරියේ අසාධාරණකම් හේතුවෙන් 1971 කැරැල්ල සිද්ද වෙලා තිබුණා. මට හිතෙන්නෙ 


"කැළෑ මල්පිපී රතු තොල් 
වලින් කෑගසා ඉල්ලන 
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි?.."

කියන කොටසින් අහන්නෙ යම් අරගලයක් ගැන. විශේෂයෙන්ම රතු කිවු සැනින් මතක් වෙන්නෙ ජනතා විමුක්තිපෙරමුණ හෝ සමාජවාදී කණ්ඩායම්. 1971 කැරැල්ලත් කැලෑවල් වල හැංගි හැංගි සංවිධානය වුණු එකක්. ඒ නිසා මෙතෙන්දි කැලෑ මල්, රතු තොල් වැනි පදවලින් හදුන්වන්නෙ එම කන්ඩායම් වෙන්න පුළුවන් . අවසානයේ අහන්නෙ ඔවුන් ඉල්ලන දේ කෝ? කෝඔවුන් ඉල්ලන සාධාරන සමාජය? කියන එක කියලා හිතන්න පුළුවන් .

ඒත් එක්කම පිරිස ඒකට උත්තර දෙනවා.

"වෑකන්ද කඩා බිම්කටු 
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්.! "

කියලා.
ඒකෙන් කියවෙන්නෙ මේ ව්‍යසනයට මුල වූවන් විනාශ කර දමවු කියන එකයි. ඒක තමයි කැරැල්ලකට මුල පිරුමක් හගවන පද කිහිපය. ඊ ලග දශකයේ අග භාගයේ කැරැල්ලක් ඇති වුනේ සහ තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් නිරපරාදේ විනාශ වුනෙත් එම පාලනයට විරුද්ධවයි.

ඉතිං නිර්මාණාත්මකව අද එම ගීය යොදාගෙන උපහාසයට නගන්නේද එම කැලෑ මල් සහ රතු තොල් වීම නම් දෛවෝපගත සිදුවීමක්. රත්න ශ්‍රී මහත්තයාවත් නොහිතන්න ඇති එය.

මෙහිදී ගුණදාස කපුගේ මහත්තයා ගෙ කොටස ඉතාම ලයාන්විතව, අනුකම්පාවක් ඇති වන ආකාරයෙන් , ශෝකී ස්වරයෙන් කියවෙනවා.ඒකහරියට රත්න ශ්‍රී මහත්තයා ගම් වැසියන්ගෙන් මොකද වෙන්නෙ අහනවා වගේ.
පිරිස ගේ ගායනය තරමක් තද ස්වරයෙන්, ආවේග ශීලීව කෙරෙනවා.ඒක හරියට කෝපා වී සිටින ගම් වැසියන්ගේ ප්‍රතිචාරය වගෙයි.

ඉතිං ආපහු අහලා බලන්නකො ඔය ගීතය. කාලයක් අපේ අයියගෙත් කටේම තිබ්බෙ ඔය සින්දුව.😂



https://youtu.be/5DHy1c2GiW0

බිම්බරක් සෙනග ගැවසුන
චන්ද්‍ර සූර්යා ඉපදුන
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ?

යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ...!

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇලළුන
වෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි...!

මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
හතර රියන් කඩ අහිමිව විලාපය නගයි...!

කැළෑ මල්පිපී රතු තොල්
වලින් කෑගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි...?

වෑකන්ද කඩා බිම්කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිසගසා දමනා කඩුව බිම දමව්...!


- අමිල ලක්මාල් - 

4 comments:

  1. සමාවෙන්න, දින කිහිපයකින් ප්‍රතිචාරයක් දාන්න ඉඩ නොලැබීම ගැන.
    මේ ගීතයෙන් කියැවෙන්නේ ජේ. ආර්. "ද්‍රෝහියෙක්" කියා කියූ නිසා ගැටඹේ රාජෝපවනාරාමය වටකොට කම්බි ගැසූ සිද්ධිය ගැන නේද??

    ReplyDelete
  2. මෙම ගීත රචකයා මෙහිදී ඉතා සූක්ෂම ප්‍රයෝගයක් යොදා තිබෙනවා.
    මෙම වාක්‍ය බලන්න
    //කම්බි වට කලේ මනරම් මාළිගාවදෝ

    ගීතයක් ලියන්නේ ගායනයටනේ. මේ වාක්‍යය ගයනකොට ඇසෙන්නේ
    තම්බි වට කලේ මනරම් මාළිගාවදෝ

    දැන් තේරෙනවනේ සැබෑ අරුත.
    මාලිගාව කියන්නේ මොකක්ද?
    දලදා මාලිගාව

    ඔබ කියන තේරුම දෙන්න මාලිගාව කියන වචනය අවශ්‍ය නෑ.

    දලදා මාලිගාවෙන් සංකේතවත් වෙන්නේ මහනුවර නගරය සහ සිංහල රාජ්‍යය.

    මෙයින් කියවෙන්නේ මහනුවර නගරය මුස්ලිම්කරනයවීමයි.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නෙ මහනුවර මුස්ලිම් කරණය වීම් හෝ රජෝපවනාරාමය කටු කම්බි ගැසීම කියන ඔබේ අදහස සමග මට එකඟ වන්න බැරි එකම හේතුව ධර්ම ශ්‍රී මහත්තායා විසින්ම කියනා විදිහට ඔහු මේ පද ලියන්නෙ උක් කර්මාන්තයට ඌවෙ ඉඩම් පවරා ගැනීම වීම්යි.

      Delete
    2. https://www.youtube.com/watch?v=2jN3WFmLJpY

      මෙය අසන්න.මේ පවසන්නේ ඔහු විසින්මයි.

      Delete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters