භාරතයේ විත්ති - 45 - "අයිස් මාවත දිගේ "



සන්ස්කාර් (මෙය Zanskar ලෙස උසුරුවයි) කියන්නෙ ලෝකයේ හුදෙකලා බවින් වැඩිම ප්‍රදේශ වලින් එකක්. බාහිර ලෝකයෙන් මෙම ප්‍රදේශය වෙන් කරන මීටර 6000ට වඩා උස කදු වැටි කරණකොටගෙන මෙම ප්‍රදේශය එම කලාපයේ අනෙකුත් ප්‍රදේශ වලින් හුදෙකලා වෙනවා.
ඉස්සර ජම්මුකෂ්මීර්ප්‍රාන්තයට නමුත් දැන් ලදාක් Union territory එකට අයිති ප්‍රදේශයක් තමයි Zanskar . ලදාක් UT එක කලාප වලට බෙදෙනවා.ඒ බෙදෙන්නෙ ලදාක් වල පිහිටලා තියෙන කදු වැටි පදනම් කරගෙන.එම කලාප නම් හිමාලයා,සන්ස්කාර් සහ කරකොරම් වේ.
මෙම සන්ස්කාර් කලාපය මූදු මට්ටමින් මීටර 7,756 ක් උස ප්‍රදේශයක්,තියෙන්නෙ ලදාක් UT එකේ කාර්ගිල් දිස්ත්‍රික්කයෙ. සාමාන්‍යය කාලගුණය සෙල්සියස් අංශක ඍණ 7ක් පමණ වෙනවා.කලාපයේ සුලං වේගය පැයට කිලෝමීටර 6ක් පමණ අධික වේගයක්. කොතරම් දුෂ්කර වුවත් සන්ස්කාර් කියන්නෙ සුන්දර ප්‍රදේශයක්.

ඉහතින් ද පැවසූ ලෙස කදු වළළු වලින් වැසී පවතින හුදෙකලා ප්‍රදේශයක් නිසා එහි වැසියන් සියවස් ගණනාවක් මුළුල්ලේ සංස්කාර් බාහිර ලෝකයෙන් මිදිලා ඔවුන්ගෙම ලෝකයක ජීවත් වුණා. දුෂ්කර බව නිසාම මුස්ලිම් ආක්‍රමණයන්ට ගොදුරු නොවී බෞද්ධ ප්‍රදේශයක්ව තවමත් පවතිනවා (ලදාක් හි 'ලේ' දිස්ත්‍රික්කයේ බහුතරය බෞද්ධවන අතර 'කාර්ගිල්' දිස්ත්‍රික්කයේ බහුතරය මුස්ලිම් වේ ).
සන්ස්කාර් වැසියන් පවසන්නේ කෙනෙක් සන්ස්කාර් වෙත එනවානම් ඒ ඔවුන්ගේ අතිෂය මිතුරන් හෝ පරම සතුරන් විය හැකියි. ඒ තරම් දුෂ්කර, ලෝකයෙන් හුදෙකලා වුණ සීතල කාන්තාර වලින් ගහන ප්‍රදේශයක් සන්ස්කාර්.

සන්ස්කාර් වාසීන් සංකීර්ණ අවශ්‍යතා වලින් තොර වෙන්නෙ බාහිර ලෝකය සමග සම්බන්ධතා අතිෂය අවම නිසා. ඔවුන් සිය ආහාරපාන අවශ්‍යතා ඔවුන් විසින්ම සපයා ගන්නා අතර අධ්‍යාපනය හෝ වෙළදාම් හෝ එමකලාපයෙන් පිටත රැකියාවන් කරන අවම පිරිසක් පමණක් කිලෝමීටර් සිය ගණනක් ගෙවා 'ලේ' හෝ කාර්ගිල් නගර වෙත යනවා.ලදාක් ඉන්දියාවේ අනෙකුත් වැසියන්ට විවෘත වූ පසු (1970 දශකය වන තෙක් ලදාක් නොවන ඉන්දියානුවන්ට පවා එය යාමට තහනම් කලාපයක් වුණා ) 1979 සන්ස්කාර් සහ කාර්ගිල් යා කරමින්, සන්ස්කාර් වෙත යා හැකි එකම මහා මාර්ගය ඉදි වුණා.මෙම මාර්ගය ඉදිවීමට පෙර සන්ස්කාර් වාසීන් උස් කදු මතින් තනාගත් ඔවුන්ගේ මාර්ග ඔස්සේ ලේ සහ කාර්ගිල් වෙත යන්න පුරුදුව සිටියා.

සිසිර ඍතුව යනු පොදුවේ ලදාක් යනු වෙනත් ප්‍රාන්ත වලින් වැසී යන කාලයකි.ඊට හේතුව නම් ලදාක් කලාපයට යා හැකි මාර්ග දෙක වන 'ලේ - මනාලි ' හයිවේ එක සහ 'ලේ - කාර්ගිල්' හයිවේ එක හාර මසක් යනතුරු අධික හිමපතනය හේතුවෙන් වසා දැමීමයි. මේ කාලය ලදාක් යනු හිමෙන් වැසී යන විසීමට අපහසු ප්‍රදේශයක්. ඉතින් ලදාක් හි සන්ස්කාර් වලටත් මේ සෙතම තමයි. සන්ස්කාර් - කාර්ගිල් මාර්ගයෙ;මූදු මට්ටමින්  මීටර 5000ක් ඉහලින් පිහිටු PenI La ප්‍රදේශය සිසිර ඍතුවේදී වසා දැමෙන්නෙ මීටර සිය ගණනක් උසට වැටෙන අධික හිම තට්ටු හේතුවෙන්. මේ කාලයට සන්ස්කාර් වැසියන් බාහිර ලෝකයට විවෘත වෙන්නෙ ඔවුන්ගෙ පැරණි මාර්ගයක් ඔස්සේයි.මෙම පැරණි මාර්ගය නම් මහාමාර්ගය ඉදිකිරීමට පෙර සියවස් ගණනාවකට පෙර සිටම සන්ස්කාර් වාසීන් භාවිතා කල මාර්ගයක්. කුමක්ද ඒ, ඒ තමයි කිලෝමීටර 230ක් දිග සන්ස්කාර් නදිය.



වසන්ත,හේමන්ත,සරත් ඍතු තුනේම සීතල ජලධාරා රැගෙන යන මෙම නදිය සරත් ඍතුව අවසානවත්ම කෙමෙන්කෙමෙන් ඝන අයිස්තට්ටුවක් බවට පත්වෙනවා. එය සිසිර ඍතුව වෙනකොට මීටර කිහිපයක් ඝණකම් අයිස්වලින් වැසී ගොස් සන්ස්කාර් වාසීන්ට ,සන්ස්කාර් නිම්නයෙන් එලියට යාමට මාවතක් තනා දෙනවා..මෙහි හමන් කිරීමට වඩා සුදුසුවන්නේ ජනවාරි සහ පෙබරවාරි මාස වලයි.ඒ වන විට අයිස්තට්ටු වඩා ඝනකමින් යුත් වෙනවා.සන්ස්කාර් වරුන් මෙයට 'බරෆ් චාදර්' (බරෆ් = හිම / අයිස් , චාදර්  = සළුව,රෙද්ද ) යැයි කියනවා.

එම හේතුවෙන්ම හිම මිදුණු සන්ස්කාර් නදිය දිගේ සන්ස්කාර් වෙත යාම සංචාරකයන් විසින් 'චාදර් හයික්' ලෙස හදුන්වනවා.මෙය ඇතැම් අවස්ථාවන් වල අතිශය භයානක ක්‍රියාවක්.උඩින් මිදුනු අයිස් තට්ටු බිදී ගොස් යටින් මහා දිය දහරා ගලා යන සන්ස්කාර් නදියට වැටෙන මිනිසුන් නවතින්නේ මීටර හෝ කිලෝමීටර ගණනක් එහායින් විය හැකියි.එම ප්‍රදේශ අයිස්තට්ටුවෙන් වැසී පවතින්නේ නම් කෙසේවත් ඔවුන්ට ගොඩට එන්න විදිහක් නෑ.අවසානය සෙල්සියස් අංශක ඍණ 40-60ත් අතර ශීතලේ අයිස් කුට්ටියක් යට පාෂාණිභූත වී මියයාමට සිදුවීමයි.එසේ මිය ගිය අය කොපමණදැයි කිසිවෙක් ගණන් තබා නෑ.

සන්ස්කාරී වරුන් නොවන අයට මෙම මග ගෙවා කාර්ගිල් වෙත පැමිණීමට දින දහයක් පමණ ගත වුවත් සන්ස්කාරීවරුන්ට නම් එම දුර දින හතරකින් පමණ ගෙවා දැමිය හැකියි.හිම වලින්ම පදම්වූ ඔවුන්ට එය සුළු දෙයක්.ඔවුන් සිය අඩුමකුඩුම බඩුබාහිරාදිය ලෑලි තට්ටුවල තබා බැද ලණු මගින් ඇදගෙන ගමන් යනවා.


මෙම ගමන් මාර්ගය අතරේ බොහොමයක් තැන් වල බෞද්ධයන් විසින් එල්ලන ලද කොඩි වැල්(මෙම කොඩිවැල් නොදැකිය හැකි තැනක් ලදාක් වල නම් නැත )  වලින් යුත් කුඩා ස්ථූප,බුදු පිළිම හෝ ලට්සා (ගල් එක මත එක තබා ථුපා කාරයට තනන්නකි)   සහ හින්දූන් විසින් ඉදිකල කුඩා දේවමන්දිර තිබෙණවා.


 ඒ ගමන අතරතුර ඔවුන්ගේ ආරක්ෂාව පතාය. ආගම් බේදයකින් තොරව සියල්ලෝම එම ස්ථාන වල පයින් හදුන්කූරු දල්වමින් සිය ආගම් අදහන්නෙ කරදරයක් නොමැතිව ගමන නිමා කිරීමට පතමිනි. අතරින් පතර ඉදි වුණ කූඩාරම් හෝ ගුහා ගමනතරතුර ඔවුන්ගේ නවාතැන් වෙනවා .

මෙම ගමන් අතරේ නිල් බැටළු හෝ හිම ව්‍යාඝ්‍ර ප්‍රහාරයන්ට ලක් වෙන අවස්ථාත් තියෙනවා.දශක කතා හිපයකට පෙර එය ඉතාම සුලභ සිද්ධියක් වුවත් වර්තමානයේ එය අඩුයි.එම සතුන් වදවී යාමත් ඊට හේතුවක් විය හැකියි.




ක්‍රමයෙන් වසන්ත ඍතුව උදාවත්ම මෙම අයිස් තට්ටු දියවී නැවත සන්ස්කාර් නදිය  දියවුණු හිමත් රැගෙන සැඩ පරුෂ ස්වරූපයෙන් ගලන්න පටන් ගන්නවා.  වසන්තය ගෙවා හේමන්තය එත්ම එය සාමාන්‍ය අතට හැරෙන අතර නැවත සරත් ඎතුව අවසාන වත්ම හිම මිදෙන්න පටන් ගන්නවා.චක්‍රයක් ලෙස එය එසේ සිදු වේවි.


- අමිල ආර්‍යන්-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters