භාරතයේ විත්ති - 27 - 'කන්‍යාදාන්'



කන්‍යාදාන්.... ඒ කියන්නෙ හින්දු චාරිත්‍රානුකූලව විවාහයකදී සිදුවන උතුම් යැයි සැළකෙන චාරිත්‍ර‍යක්... මනාලියගේ පියා විසින් මනමාලයාට ඇයව භාරදීම මෙම චාරිත්‍රයෙන් කෙරෙනවා...
 උපන්දා සිට ඇහැක් මෙන් හදාවඩා ගත් දියණිය වෙනත් පිරිමියකුගේ භාරයට පත් කිරීම , මගේ දියණියව මා බලා ගත්තාටත් වඩා හොඳින් බලා ගන්න යැයි ප්‍රාර්තනාවද සමගින් සිදු වෙනවා (සිංහල විවාහ චාරිත්‍ර වලට අනුව අතපැන් වත් කිරීම හා සමානයි..) ඒත් මම මොකටද මේ කන්‍යාදාන් ගැන කතා කරන්නෙ... නෑ මේ ඒ ගැන නෙමෙයි... මේ
ලියමන එවන් උතුම් චාරිත්‍රයක් ගැන නෙමෙයි..

 



වචනාර්ථයෙන් ගතහොත් කන්‍යාදාන් යනු කන්‍යාව දන් දීමයි... දන්දීම යන්න හින්දු ආගමේ විවිධාකාරයෙන් යෙදෙනවා.. බිලි දීමත් එක්තරා අවස්තාවකදී දෙවියන් වෙනුවෙන් කෙරෙන දන් දීමක් ලෙස සැළකෙනවා... මේ කියන්න යන්නෙ එවන් දන් දීමක් ගැනයි...

ඉන්දියාව යනු සිඝ්‍රයෙන් දියුණු වීම මෙන්ම එහි විරුද්ධ පක්ෂයත් එසේම දරාගෙන සිටින රටක්... නූගත් නොදියුණු , හිස බැඳි විශාල ජටාව හා සමානවම ගතානුගතික නින්දිත අදහස් හිසෙහි තබාගත් පිරිස වැඩි ප්‍රදේශ ඉන්දියාවේ බහුලයි... මෙවන් පිරිස් සිටින ග්‍රාමීය පෙදෙස් වල තිබෙන නින්දිතම චාරිත්‍රයක් තමයි උපන් හැටියේ බිලිඳියන් මරා දැමීම...

මෙය සියවස් ගණනාවක සිට සිදු වන දෙයක්...දිළිඳු කම,දෑවැදි ප්‍රශ්නය යන ප්‍රධාන ගැටළු දෙකම මත පදනම්ව මෙම චාරිත්‍රය ඇති වී තිබෙනවා..එමෙන්ම පුරුෂ මූලික ඉන්දියාවේ කාන්තාවන්ට හිමි ස්ථානය පාලනය කිරීමත් මෙහිදී සිදු වෙනවා..


බොහෝවිට මෙසේ උපන්හැටියේ බිලිඳියන් මරාදැමීම සිදුවන්නේ දෙවියන් එම දානයෙන් සතුටුව ඊලඟ වසරේ පුතෙක් ලබා දේවා යන ප්‍රාර්තනයෙන්... එවන් නින්දිත , තුච්ඡ කාර්යයක් ගෝත්‍රික මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් හැර වෙනත් අයෙකුට කල හැකිද?

ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයට අනුව මෙය බරපතල අපරාධයක් වුවද නීතියේ දෙවඟනගේ දෑස බැඳි තිරපට වලට වැසී අදටත් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ වල මෙම ක්‍රියාව සිදු වෙනවා... 2010 වර්ෂයේ ඉන්දීය අපරාධ වාර්තා කාර්යාංශය වාර්තා කල අන්දමට වසරකට ;සාමාන්‍යක් ලෙස ගතහොත් 100 දැරැවියන් මෙසේ මරා දමනවා... 

එසේම ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව පහුගිය සියවස් එකහමාරක පමණ කාලය තුලදී මිලියන 35කට ආසන්න දැරිවියන් ප්‍රමාණයක් මෙසේ ඉන්දියාවට අහිමි වී තිබෙනවා...
ඉන්දියාවට පැමිණි විවිධ දුර්භීක්ෂ කාල වලදී මෙම මරණ ප්‍රමාණය ඉහල ගොස් ඇති බවත් වාර්තා වෙනවා...

2010 ජන සංගණනයට අනුව කාන්තාවන් 100 කට පිරිමින් 111 සිට 114 (වයස 60 ට වැඩි)
සහ කාන්තාවන් 100 කට පිරිමින් 106 සිට 110 (සියළුම වයස් සඳහා ) අනුපාතයක් ගන්නා බව වාර්තා වුනා...
ආගම් අනුව ගත් කල මුස්ලිම් වරු , කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ප්‍රමාණය වැඩි වීම අතින් ඉහලින්ම සිටිනවා... දෙවැනි තැන සික් වරුන් සිටීනවා....
මෙය රජයේ විවිධ අණ පණත් වලින් පාලනය කල නොහැකි වී තිබෙන්නෙ වාර්තා වීම ඉතාම අවම මට්ටමක පවතින බැවිනි... බොහෝ විට මෙම ක්‍රියාවන් රහසිගතව සිදුවේ...
මේ හා බැඳුනු අනිත් නින්දිතම ක්‍රියාවක් නම් උපතට පෙර දරුවාගේ ලිංගය හඳුනාගෙන ,ගැහැණු දරුවෙක් නම් ගබ්සා කිරීමයි...මෙම හේතුව මුල් කරගෙන ඉන්දීය රජය විසින් දරු උපතට පෙර දරුවාගේ ලිංගය සොයා බැලීම නීතියෙන් තහනම් කර තිබෙනවා.. එයද පොතට පමණක් සීමා වී තිබෙන අවස්ථා වැඩියි...
ග්‍රාමීය ප්‍රදේශ වල කුසෙහි සිටින දරුවා ගැහුණු ද පිරිමි ද කියා සොයන්නෙ පිලිගත් වෛද්‍ය වරුන් විසින් නොවීම තවත් ඛේදනීය තත්වයක්... නූගත් මෝඩ මිනිසෙකුගේ බසට රැවටී , කුසෙහි සිටින්නේ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද යන්නවත් හරි හැති නොදැන සිදුවන ගබ්සා ප්‍රමාණයත් ඉහලයි...
රාජස්ථාන් , හර්යානා වැනි ප්‍රාන්ත වල ඇතැම් පවුල් වල කාන්තාවනට දරුවෙක් ලැබෙන්න සිටින විට ඇයව සඟවා තබා ගන්න කටයුතු කරන අවස්ථා තිබෙනවා.. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ දරුවා ඉපදුන හැටියේ ගැහැණු දරුවෙක් නම් මරා දමා , පසු දින සිට දරුවා ලද කාන්තාව දරුවෙක් ලැබීමට නොසිටි අයෙක් මෙන් සමාජයට මුහුණ දීමට සැලැස්වීමයි....

මෙම ක්‍රියාව සමග බැඳුනු අනෙක් සාමාජීය ප්‍රශ්නය නම් පුරුෂයන් සමග විවාහ වීමට කාන්තාවන් ප්‍රමාණවත් නොවීමයි.. හර්යානා,උත්තර් ප්‍රදේශ්,රාජස්ථාන් හා ගුජරාත් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වලත් ,චත්තිස්ඝර්,ඩෙහෙරාඩුන්, ජාර්ඛාන්ඩ් සහ බිහාර් ප්‍රාන්ත වල මෙම පරතරය ඉතාම වැඩියි... මෙහිදී හැකි අවස්ථාවල වෙනත් ප්‍රාන්ත වලින් කාන්තාවන් ගෙන එන අතර ඇතැම් අවස්තාවල දැරිවියන්ගේ වයසවත් නොතකා පිරිමි එක් අයෙකුට වඩා වැඩි පිරිසකට විවාහ කර දෙන අවස්ථාද එමටය... නොමේරූ දැරිවියක් , පිරිමි දෙතුන් දෙනෙකගේ බිරියක් වීම කෙතරම් ඛේදනීය තත්වයක් දැයි ඔබලමෙ සිතා බලන්න...

ඉන්දීය රජය විසින් හඳුන්වා දුන් යම් යම් සැළසුම් මගින්, ඒවා හඳුන්වා දුන් මුල් කාල වලදි ඉතා අවම ප්‍රමාණයකට වුවද මෙය පාලනය වීමක් සිදුව තිබෙනවා.. එක් වැඩසටහනක් නම් 1991 දී හඳුන්වා දුන් 'ඝිර්ල් ඡිල්ද් ප්‍රොතෙච්තිඔන් ස්ඡෙම්' යන්නයි.. ඊට අනුව දරුවන් කිහිප දෙනෙක් සිටින පවුලක මව වන්ද්‍යා කරණයට ලක් කරනවා...ඇය ඊට එකඟ නම් එම පවුලේ සිටින ගැහැණු දරුවන්ට ඉන්දාය රජයෙන් රුපියල් 2000ක් වෙන් කරනවා..ක්‍රමයෙන් එම ප්‍රමාණය වැඩි කොට ඈය වැඩුනු පසුව රුපියල් 10,000ක් ලබා දෙනවා..එය ඇගේ විවාහයට හෝ අධ්‍යාපනයට යොදා ගත හැකීයි.. (මෙම මුදලත් පවුලේ උදවිය හෝ වෙනත් රාජ්‍ය නිලධාරීන් විසින් සොරා කෑම වෙනත් මාතෘකාවකි ) ..
අනෙත වැඩසටහව නම් 1992 දී හඳුන්වා දුන් 'ඹබ්ය් ච්‍රද්ලෙ ෂෙමෙ' යන්නයි ..එහිදී නිර්නාමිකව හෝ තොරතුරු වැඩිපුර හෙලිදරවු නොකර තමුන්ට අනවශ්‍ය යැයි හැඟෙන දරුවන් වෙනත් පවුල් වලට හදා ගැනීමට බාර දීම කෙරෙනවා.. මෙය ආරම්භ කර වසර 4ක් ඇතුළත දැරිවියන් 136ක් එසේ හදා ගැනීමට ලබා දුන් බව වාර්තා වෙනවා.. නමුත් ක්‍රමයෙන් එයද අභාවයට ගොස් තිබෙනවා...
ඉතින් මේ නින්දිත ක්‍රියාවලිය කවදා නතර වේදැයි අපට කිව නොහැකියි.. නිලධාරීන් බලධාරීන් කුමක් කලත් මිනිසුන්ගේ නුවණැස පෑදෙන තෙක් මෙය පවතීවි ය යන්න පමණක් කිව හැකියි...



- නැවත හමු වෙමු -
අමිල
(ප.ලි. මාතෲ භූමි සහ ජල් පරී සිනමා පට දෙක නරඹන්න ආරාධනා කරමි )

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters