කොළඹ වීදියකදී.....11- "කොළඹ හතේ පුංචි පොකුණ"



කොළඹ හතේ වතුර නැති ලොකු පොකුණකුත් තියෙනවනෙ... මෑතකදි හදපු... ඒකට කියන්නෙ නෙළුම් පොකුණ..මේ ඒ පොකුණ ගැන නෙමේ...
මේ කියන පොකුණ ,මේ සමූහයෙ ඉන්න බහුතරයක් පහුකරගෙන ගිහින් ඇති ;ජීවිතේ එක වතාවක් හරි.. සමහරු දෛනිකව මේක පහුකරං යනවා ඇති..මම වගේ...
මේක තියෙන්නෙ මගේ ඔෆිස් එකට අල්ලපු වැටේ.. ඒ කියන්නෙ ලිප්ටන් වට රවුමේ... 


ලිප්ටන් වටරවුම කිවුවම මතක් වෙන්න ඇති...
ලිප්ටන් වට රවුම මැද හුදෙකලාව අවු වැහි දරාගෙන සිටින මේ පොකුණ තමයි "ජෝජ් වෝල් අණුස්මරණ පොකුණ"

මේක මෙතන හදලා තියෙන්නෙ 1894 කියලා තමයි වාර්තා වෙන්නෙ..ඒ ජෝජ් වෝල් මහතාගේ මරණය සිදු වූ වසරේ..ජෝජ් වොල් මහතා ගැන පසුවට...

 

ඉන්දීය මුඝල් සාම්ප්‍රදායේ ගෘහ නිර්මාණ ලක්ෂණ තියෙන මේ පොකුණේ පිටත සඳහා භාවිත කරලා තියෙන්නෙ ඩෝල්ටන් වෙයා ටයිල් යොදා ගෙන (සමා වන්න ටයිල් යන්නට සිංහල වචනය මතකෙට එන්නෙ නෑ ) .. 
මේ ඩෝල්ටන් වෙයා ටයිල්ස් සමාගම ඒ කාලේ හොඳම පෝසිලේන් ටයිල් සඳහා නමක් දිනා සිටි සමාගමක් කියලා තමයි කියන්නෙ.. ඒ අනුව බැලුවම ජෝජ් වෝල් අණුස්මරණ පොකුණ සඳහාත් පෝසිලේන් ටයිල් යොදාගෙන ඇති බව අපට හිතන්න පුලුවන්.. (ඕක පහු කරන් යන හැම දාකම ලඟටම ගිහිං අත පත ගාලා බලන්න ආස හිතුනට පොලිසියෙන් ගුටි කන්න හරි හිරේ යන්න හරි බැරි නිසා ආසාව පැත්තකට දාලා ඒ දිහා බල බල යනවා.)..
දැන් නම් දිනපතා බැඳෙන දූවිලි තට්ටු ගාණක් නිසා මෙම ටයිල් වලින් පොකුණේ මවලා තියෙන මෝස්තර රටා පැහැදිලිව පෙනෙන්නෙ නෑ...
සමහර දවස් වලට හතර පැත්තකිනුත්..සමහර දවස් වලට පැති අටකිනුත් වතුර මල් ක්‍රියාත්මක වෙනවා මේ පොකුණෙ... හැබැයි බොහොමයක් දවස් වලට තියෙන්නෙ නං මහා නියඟයකට අහු වෙලා වගේ වතුර බින්දුවක්වත් නැතිව වේලිලා..සමහර විට කොළඹ මහ නගර සභාවට හිතෙනවා ඇති මේකට වතුර නාස්ති කරන එක අපරාදෙ කියලත්...

හරි ආපහු මාතෘකාවට.. මේ අලංකාර පොකෘනට නම වැටුණ ජෝජ් වෝල් කවුද කියලා හොයලා බලන්න වටිනවා... 1820 බ්‍රිතාන්‍යයේ උපන් ජෝජ් වෝල් ලංකාවට එන්නෙ 1864..ඒ Ceylon Plantations සමාගමේ සහාර කළමණාකාර වරයෙක් විදිහට..මුලින් මහනුවර සිටි ඔහු පසුව කොළඹට එන්නෙ ඔහුගෙම සමාගමක් පටං ගන්න.. ඒ තමයි Georhe Wall & Co. ..නමුත් කෝපි වගාවට බලපෑ දරුණු ඛේදවාචකය නිසා මේ සමාගමත් ඉබේම බංකොලොත් වෙලා පසුව Bosanquet & Co. සමාගම මගින් මිලට ගන්නවා..

                             ( Seal of George Wall & Company )
.

මොහු පසුව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය නම් සංගමයක් පිහිටුවීමට කටයුතු කරනවා.. එහි සභාපති ධූරයටත් නැවත නැවත කිහිප වතාවක්ම පත් වෙනවා.. වාණිජ මන්දිරයේ (Chamber of Commerce) හි සභාපති ලෙසද මොහු පත් වෙනවා.. පසුව ඔවු මන්ත්‍රණ සභාවට පත් වනවා.. 


කුඹුරු බද්ද පැනවී ම වැනි විවිධ කාරණා වලදී ඔහු ලාංකිකයන් වෙනුවෙන් පෙනී සිටියා..එක් වතාවකදි මන්ත්‍රණ සභාවට යෝජනාවක් ආවා මුලින් මුදල් වියදම් කොට පසුව එම වියදම් අනුමත කරවා ගන්නට.. නමුත් ජෝජ් වොල් මහතා ඒම යෝජනාවත් සමග එකඟ නොවීම නිසා මන්ත්‍රණ සභාවෙන් ඉල්ලා අස් වෙනවා.. ලංකිකයන්ට පක්ෂ වුණ ඔහුගේ අදහස් පිළිබඳ බ්‍රිතාන්‍ය කිරීටය නොසතුටින් සිටි බවද නොරහසක්... මොහුගේ උත්සාහයන් නිසාම කුඹුරු බදදදට ප්‍රතිශෝධන ගණනාවක් ගෙන ඒමට බ්‍රිතාන්‍ය රජයට සිදු වුණා..
පසුව මෙතුමා Ceylon Independent පුවත්පතේ කතෲවරයා බවටත් පත් වෙනවා.. මෙම පුවත් පතේ මිල අඩු වීම නිසා Observer සහ Times පුවත් පත් වල වෙළඳාම අඩු වූ බවත් කියවෙනවා සහ එම හේතුවෙන්ම එම පුවත් පත්වල මිලත් අඩු වුණ බව වාර්තා වෙනවා.. 

ඉතින් මෙසේ සිය අදහස් හා ක්‍රියාකාරකම් වලින් ලාංකිකයන්ට උදවු කල බ්‍රිතාන්‍ය ජාතිකයා 1895 දෙසැම්බර් මාසේ මිය යනවා.. ඔහුගේ සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ හත ප්‍රදේශයේ ඔහු සිහිවීමට අලංකාර කුඩා පොකුණක් ඉදි වන්නෙ ඉන් පසුයි.. 
සියවසකට අධික කාලයක් මෙම පොකුණ ජෝජ් වෝල් වෙනුවෙන් නොසැලී ,ලිප්ටන් වටරවුමේ සිටියත් එය ජෝජ් වොල් මහතා සිහිවීමට ඉදි වූවක් බව දන්නෙ කීයෙන් කී දෙනාද?..
ඉතින් ඔන්න දැන් මේ ලිපිය කියවන අය දන්නවා.. හෙට සිට මෙම පොකුණ පසු කරමින් යන විට ජෝජ් වොල් මහතාවත් සිහියට නගා ගන්න... 



- කොළඹ වීදියකදී නැවත හමු වෙමු -

Galery


                          ( Below pic by Menaka Senanayake - https://www.facebook.com/mesenanayake/photos/a.1650742625192719.1073741831.1636369786630003/1650742818526033/?type=3&theater )

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters