Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට......20 - "on the balance of life or on the electric chair?"



1944 ජූනි 16 වෙනිදා ඇමරිකා එක්සත්ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ කොලුම්බියා හි "Central Correctional Institution " හි දී වයස අවුරුදු 14ක් වුණ කලු ජාතිකයෙක්ව විදුලි පුටුවේ හිදුවා මරණීය දණ්ඩණය ලබා දෙනවා...
ඇමරිකානු නීති ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරන මේ කළු ජාතික දරුවා එරට ලාබාලතම මරණ දඩුවම් ලාභියා ලෙසටත් ඉතිහාස ගත වෙනවා...



මේ ඒ කතාවයි...

                                                   *****************************

ජෝර්ජ් ජුනියස් ස්ටිනී (කණිෂ්ඨ) ජීවත් වුණේ දකුණු කැරොලිනා  ප්‍රාන්තයේ Clarendon country   හි Alcolu වල් .. මව ඇමී, පියා ජෝජ් ස්ටිනී (ජ්‍යේෂ්ඨ) සහෝදරයන් වන ජෝන් (17), චාර්ල්ස්(12) සහෝදරියන් වන කැතරීන් (10), ඇමී (7)...
මෙම මධ්‍යම පාබ්න්තික විශාල පවුල ජීවත් වුණේ සුදු සහ කළු ජාතිකයන් කොටස් දෙකකට්; දුම්රිය මාර්ගයකින්, බෙදී වෙන්වුණ  ගමක.. මොවුන්ට වෙන වෙනම පල්ලි සහ පාසල් පවා වෙන්ව තිබුණා..

1944 මාර්තු 23 දින , සුදු ජාතික දැරියන් දෙදෙනෙකු වන බෙටී ජූන් බිනිකර් (11) සහ මේරි එමා තේම්ස් (7) මල සිරුරු හමු වන්නේ කළු ජාතිකයන් විසූ පෙදෙසේ මාර්ගය අසල කාණුවක තියෙද්දි...ඒ දැරියන් දෙදෙනා රාත්‍රිය වීත් නිවසට නොපැමිණීම නිසා සිදු වුණ සෝදිසි කීරීම් අතරෙදි. ජෝජ් ගේ පියාද මෙම සෝදිසි කිරීම් වලට සහාය ලබා දුන්නා..දැරියන් දෙදෙනාට මොට යකඩ ආයුදයකින් හෝ රේල් පීලි සවි කරන ඇණයකින් තද බල ලෙස පහර දුන් බවට ලකුණු සිරුරේ තිබුණා..ඔවුන් දෙදෙනා අවසන් වරට බයිසිකල් පදිමින් සිටිනු දුටු අය සිටියා...
ඔවුන් බයිසිකලය පදිමින් ජෝජ් ගේ නිවස අසලින් යන විට ජෝජ් සිටියේ ඔහුගේ බාලම සොහොයුරිය වන ඇමී සමග .. දැරියන් දෙදෙනා ඔවුන්ගෙන් "පැෂන්ෆෘට් මල්" සොයා ගත හැකි තැනක් විමසූ බව ඇමී විසින් පසුව පවසා සිටියා.. ඇමීගේ සාක්ෂිය අනුව ඇය ඒ වන විටත් ජෝජ් සමග සිට තිබෙණවා...

පරීක්ෂණ
ජෝජ් ස්ටිනී සහ ඔහුගේ සොහොයුරු ජොනී දැරියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අතඩංගුවට ගැනෙනවා.පසුව ජොනීව නිදහස් කලත් ජෝජ්ව නිදහස් කෙරෙන්නෙ නෑ..ඔහුට නඩු කටයුත්ත අවසන් වනතුරු සිය දෙමාපියන් හමුවීමට ඉඩ ලබා නොදීමත් පොලීසිය සම්බන්ධයෙන් සමාජ දෝෂ දර්ශණය එල්ලවීමට කරුණක් වුණා..
H.S.Newman ; ජෝජ්ව අතඩංගුවට ගත් නිලධාරියාගේ අත් අකුරින් කෙරුනු සටහනකට අනුව
"I arrested a boy by the name of George Stinney.He then made a confession and told me where to find a piece of iron about 15 inches were....He said he put it in a ditch about six feet from the bicycle."
මෙහි ජෝජ්ගේ අත්සනක් සදහන් වුණේ නෑ.

ජෝජ් පාසලේ පවා ප්‍රකටව සිටියේ දගකාර, තරමක් දරුණු ළමයෙක් ලෙසටයි.. ඒ පිළිබදව විවිධ සාක්ෂි නඩු කටයුත්තේදී සහ පසුව ඉදිරිපත්ව තිබෙණවා..

ජෝජ්ව රදවා තැබුණේ ඇල්කොලු සිට කි.මී 50ක් දුරින් පිහිටි කොලුම්බියා සිරගෙදරයි..එහිදී ඔහුට කිසිදු නීති සහයක්  නොලද බව කියවෙනවා..ඔහුගෙන් ප්‍රශ්න කිරීම්, සාක්ෂි සටහන් කරගැනීම් ආදිය සියල්ල සිදුවන්නේ මෙහිදීයි..

1944 මාර්තු 23 දින පලවුණ පුවතක සදහන් වුණේ (මෙහි ජෝජ් ගේ නම පවා වැරදියට සටහන් වුණා )   "George Junius had confessed and led officer to a hidden piece of iron.Both the girls suffered blunt force trauma to the face and head"..
පශ්චාත් මරණ පරීක්ෂක වරයාගේ වාර්තාවට අනුව දැරියන්ගේ මරණය අග රවුම් වූ මිටියක් වන් ආයුධයකින් හිසට පහර දීමක් නිසා සිදුවී තිබුණා..දැරියන් දෙදෙනාගෙම හිස් කබල් බිදී තිබුණා..බාල දැරියට ලිංගික අතවරයක් සිදු වුණ බවට කිසිදු සාක්ෂිය්ක් නොලදත් වැඩිමහලු දැරියගේ ලිංගේන්ද්‍රියේ සුළු ඉරීමක් දක්නට ලැබුණු බවත් ඔහු වාර්තා කලා...

නඩුව

ජූරිය තේරීම ඇතුළු මුලු නඩු කටයුත්තටම ගත වුණේ එක් දිනක් පමණක් බව වාර්ත වෙනවා.. විත්තිය වෙණුවෙන් පෙනී සිටියේ අධිකරණයෙන් පත් කල , එවකට චන්දයක් සදහා ඉදිරිපත්වීමට සූදානමින් සිටි නීතීවේදී චාර්ල්ස් ප්ලොව්ඩන් ය. ඔහු පැමිණිල්ල හෝ වාර්තා හා සාක්ෂි ඉදිරිපත් කල පොලිස් නිලධාරීන් අභියෝග නොකල බව වාර්තා වෙනවා... එම නිසා අඩුලුහුඩු කම් රාශියකගෙන් යුත් , ජෝජ් ගේ ප්‍රකාශය ලෙස ඉදිරිපත් කෙරුණු පොලිස් නිලධාරියාගෙ සටහන අධිකරණය ඉදිරියේ වාර්තා වුණා..
මීට අමතරව පැමිණිල්ල විසින් අවස්ථා දෙකකදී ජෝජ්ගේ වාචික ප්‍රකාශයන් ලෙස ඉදිරිපත් කල ප්‍රකාශයන් දෙකෙහි පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබුණත් ප්ලොව්ඩන් එයටද අභියෝග නොකල බව කියවෙනවා..
ඉන් පළමු ප්‍රකාශයට අනුව එක් දැරියක් බයිසිකලයෙන් කාණුවට වැටුණ අවස්ථාවේ ඔහු උදව් කිරීමට යාමේදී අනෙක් දැරිය විසින් පහර දීම නිසා ඔහුත් පෙරලා පහර දුන් බවක් සදහන් වන අතර.. දෙවන ප්‍රකාශයට අනුව ඔහු දැරියන් දෙදෙනා පසු පස එලවා ගොස් පළමුව් එමාටත් දෙවැනුව බෙටීටත් පහර දුන් බව කිය වුණා..

මෙම පරස්පර විරෝධී වාචික ප්‍රකාශ ලෙස නම් වුණ ප්‍රකාශ හා පොලිස් නිලධාරියා විසින් සටහන් කර ගත් අත්සනක් නොමැති සටහන හැරෙන්නට ජෝජ් මෙම සිදු වීමට සම්බන්ධයැයි ඔප්පු කිරීමට තරම් සාක්ෂි අධිකරණයට වාර්තා වුණේ නෑ..වෙනත් සාක්ෂි ලෙස ඉදිරිපත් වුණේ දැරියන් ගේ සිරුරු සොයා ගත් ෆ්‍රැන්සිස් බැස්ටන් නම් පූජක වරයාත් මරණ පරීක්ෂණය සිදු කල වෛද්‍ය වරුන් දෙදෙනාත් පමණයි...
මෙහිදී වෛද්‍ය වරුන්ගේ වාර්තාවේ දූෂණයක් සිදු වූ බවක් සදහන් නොවුණත් ලිංගේන්ද්‍රිය ඉරීම පදනම් කරගෙන දූෂණයක් සිදූ බවට ප්‍රශ්න නැගීමට අධිකරණය ඉඩ ලබා දුන්නද ඒ කිසිදු දෙයකට විත්තියේ නීතීවේදීයා විරුද්ධ නොවුණ බව වාර්තා වෙනවා..එපමණක් නොව ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකල අතර පැමිණිල්ලේ සාක්ෂි ප්‍රශ්න කිරීමද සිදු වුණේ නෑ..

ජූරිය
සුදු ජාතිකයන් දාහක පමණ පිරිසක් අධිකරණ භූමියේ රැස්ව සිටියදීත් එකදු කළු ජාතිකයෙක්ටවත් අධිකරණ ශාලාවට ඇතුළු වීනට අවසරයක් වත් නොලද තැනක්, කළු ජාතිකයන්ට චන්දය දීමට හා ජූරි සභිකයන් ලෙස තෝරාපත්වීමට අයිතිවාසිකමක් නොතිබුණ යුගයක පත් වුණ සුදු ජාතික ජූරි සභිකයන් දොලොස් දෙනා ජූරි වාචකය ලබා දීම සදහා වැය කලේ මිනිත්තු දහයක් පමණයි..
ජූරියේ ඒකමතික තීන්දුවට අනුව විනිසුරු ෆිලිප් එච්. ස්ටොල් විසින් ජෝජ් ස්ටිනි ට විදුලි පුටුව මත හිදුවා මරණීය දණ්ඩණය ලබා දීනට තීන්දු කලා... සුදු ජාතික විත්තියේ නීතිවේදියා විසින් බලා සිටීම මිස වෙනත් දෙයක් සිදු වුණේ නෑ..
නඩුවේ ලිඛිත වාර්තාවක් හෝ නොමැති වුණ අතර ඇපෑල ප්‍රතික්ෂේප වුණා..

ජෝජ් ගේ පවුලේ උදවිය, පල්ලිය සහ විවිධ සවිධාන විසින් ආණ්ඩුකාරවර ඔලින් ඩී ජොන්ස්ටන් ට ;මරණීය දඩුවම අත්හිටුවන ලෙස අභියාචනා කලද බහුතරයකගේ මතය මත ආණ්ඩුකාරවරයා විසින් අභියාචනය ප්‍රතික්ෂේප කලා .
ආණ්ඩුකාරවරයා විසින් අභියාචනා පෙත්සම් කරුවන්ට ලබා දුන් ලිඛිත ප්‍රකාශයේ

"It may be interesting for you to know that Stinney killed the smaller girl to rape the elder one .Then he killed the elder girl and raped her dead body.Twenty minutes later he returned and attempted to rape her again , but the body was too cold.All of these admitted by himself."
මේ ප්‍රකාශයට සහාය දක්වන කිසිදු සාක්ෂියක් ඉන් පෙර අධිකරණයේදීද ඉදිරිපත් නොවුණ අතර වෛද්‍ය වරුන්ගේ වාර්තාවේද එවන් දෙයක් සදහන් වී නෑ...

මරණීය දණ්ඩණය

1943 ජූනි 16 දින රාත්‍රී 7.30 ට ; උසින් අඩි 5ක් හා අගල් එකක් වුණ , බරින් රාත්තල් 90ක් වුණ, දහහතර වියැති ජෝජ් ස්ටිනී විදුලි පුටුව වෙත ගෙන ආවා.. වැඩිහිටි සිරකරුවන්ට සාපෙක්ෂව කුඩා වුන ස්ටිනී ගේ සිරුරට විදුලි පුටුවේ අගුලු  විශාල වුණා.. මුහුණ හා කට සිරවීමට දමන හෙල්මටයක් වන් උපකරණයත් ඔහුගේ මුහුණට වඩා විශාල වුණා.
එබැවින් පළමු වෝල්ට් 2400ක විදුලි සැර වැදෙන අවස්ථාවෙ මෙම උපකරණය ඔහුගේ හිසින් ගැලවී වැටුණ බව වාර්තා වෙනවා ...ඉන් මිනිත්‍තු හතරකට පසු ,දැරියන්ගේ මරණයෙන් 83 වන දිනයේ ඔහු මිය ගිය බව සටහන් තැබුණා..

පසු සිදුවීම්

ජෝජ් චූදිතයෙක් වීමත් සමග ඔහුගේ පියා රැකියාවෙන් ඉවත් කරන අතර ඔවුන්ට නගරය හැර යාමට සිදු වෙනවා..
මරණයෙන් වසර හැටකට පසුව 2004 දී ඔහුගේ නඩුව වෙත නැවත අවධාණයයොමු වන්නේ  ඇමරිකානු ඉතිහාස පර්‍යෙෂකයන් පිරිසකටයි. ඔවුන්ට පෙනී යනවා ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරුණු , විත්‍තිකරුවෙකුගේ අයිතිවාසිකම් ජෝජ් ට නොලද බවත්, ඔහු සාධරණ නඩුකටයුත්තකට භාජනය නොවුණ බවත්,එවක ජූරිය  නීතිවේදීන් හා විනිසුරුවරයා අසාධාරණව ක්‍රියාකර ඇති බවත් .
මුල් නඩුවෙන් වසර හැත්තෑවකට පසුව 2014 දී සිවිල් අධිකරණයෙදි නැවතත් අයිතිවාසිකම් නඩුවක් ගොනුවන්නේ එවන් පදනමකයි. මේ සදහා සමාජ ක්‍රියාකාරීන්ගේ හා නීතිවෙදීන්ගේ සහාය නොමදව ලැබුණා.. විවිධ සාක්ෂි කරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.. ජෝජ්ගේ එවක කුඩා සොහොයුරිය කැතරින් පවා අධිකරණයේ සාක්ෂි ලබා දුන්නා..


එම නඩුකටයුත්ත අවසානයේ 2014 දෙසැම්බර් මස 17 දින විනිසුරුවරිය කාමන් මුලන් විසින් ලබාදුන් තීන්දුවේ සටහන් වුණේ ජෝජ් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිවාසිකම් ලැබී නොමැති බවත්, ඔහු සාධාරණ නඩුකටයුත්තකට යටත් වී නැති බවත්, විත්තියේ නීතීවේදීන් හා විනිසුරුවරයා නඩුකටයුත්තේදි අසමත් වී ඇතිබවත්, හා අවසාන වශයෙන් කුමක් සිදු වුවත් දහහතර වියැති කෙනෙකුට මරණීය දණ්ඩණය ලබා දීම අතිෂය අමානුෂික ක්‍රියාවක් බවත්, ඔහුගේ ජීවිතය තරාදිය මත තැබූ අවස්ථාවේ එය සාධාරණව කිරා නොබලා ඇති බවත් ය..

එමාගේ සහ බෙටීගේ පවුලේ උදවිය මේ නව තීදුව සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කර තිබෙනවා.. 



- The court is adjourned -
අමිල ලක්මාල්

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters