කොළඹ වීදියකදී.....19- "පොන්නම්බලවානේශ්වරම්"


මගේ ජීවිතේ 2008 ඉඳලා 2012 වෙනකල් කාලෙ වැඩි වශයෙන් ගත වුණේ චාටඩ් වලදි අණිවාර්‍යය අංගයක් වෙන 'ආටිකල්ස් ' කවර් කරන්න ඔඩිට් ෆර්ම් එකේ... 2008 වෙනකල් කොළඹ එන්න නොදැන සිටි මම කොළඹ ඇවිදින්න , පාර තොටවල් දැන කියා ගන්නත් පටං ගත්තේ ඔය කාලෙ...
අපි ඔඩිට් කරපු එක ආයතනයක් තමයි පරන්තන් කෙමිකල්ස් සමාගම. ඒක තියෙන්නෙ කොළඹ වරාය පාරේ , වරාය අධිකාරියටම අයිති ගොඩනැගිල්ලක. පරන්තන් එකේ ඔඩිට් එක මට බාර දුන්නා කියන්නෙ එතෙක් කල් මල්වත්ත පාරෙ ඛාන් ඔරලෝසු කණුවෙන් එහාට නොදැන සිටි කොළඹ ගැන දැන ගන්න ලැබුණ පළමු අවස්තාව... ඒ දවස් වල උදේට පරන්තන් එකේ ඔඩිට් එකට යනවා කියද්දි ඉවස ගන්නම බැරි වෙච්ච එකම එක කාරණය වුනේ මාලු මාකට් එක ලං වෙද්දි එන ඉවස ගන්න බැරි කුණු ගඳයි, වගේඅ වගක් නැතිව ඔෆිස් යන මිනිස්සුංගෙ ඇඟේ (සමහර වෙලාවට උවමනාවෙන්ම වගේ) ඇතිල්ලි ඇතිල්ලි අතින් කටින් මාලු බෑග් අරන් බස් එකේ ගිය මාළු වෙළෙන්දො.. ඒ ඇරෙන්න ඒ ගමන මට අලුත් දේවල්, අළුත් තැන් දැක බලා ගන්න ලැබිච්ච අවස්ථාවක් නිසා මම කැමති එකක් වුනා...

කොච්චි කඩේ පල්ලියත්, ඒක පහු කරන් තව ටිකක් එහාට යද්දි දකුණු පැත්තේ තියෙන කෝවිලත් දැක ගන්න ලැබුනෙත් ඒ කාලෙ. දවසක් පරන්තන් එකේ ඔඩිට් එක ඉවර වෙලා මායි, දසුන් සහ ප්‍රියදර්ශණී කියලා මගෙ යාලුවො දෙන්නෙක් එක්ක පයින් ආවා පාරවල් දිගේ ඇවිදගෙන යමු කියල..අන්න එදා තමයි මම ඇතුළට යන්න ගොඩාක් ආසාවෙන් හිටි පොන්නම්බලවනේශ්වරම් කෝවිල ඇතුළට යන්න පුලුවන් වුනේ.. මේ ඒ කෝවිල ගැන ටිකක්....

1857 දි කොටහේන පොන්නම්බලම් හින්දු මුදලි තුමාට තමයි අදහසක් එන්නේ ඒ පළාතෙ හිටි හින්දු බැතිමතුන්ට වැඳපුදා ගන්න කෝවිලක් හදන්න දහස ආවෙ..එතුමාට අයිති වෙලා තිබුණ ඉඩමක තමයි ශිව දෙවියන් වෙනුවෙන් කැපවුන කෝවිල කුඩාවට ආරම්භ වෙන්නේ..ගඩොල් බැදීමට හුනු, වැලි හා මී පැණි මිශ‍්‍ර බදාමයක් භාවිතා කෙරිනි. වර්ෂ 1857 වනවිට එහි සියළු වැඩ අවසන් කර කුම්භාභිශේකම්(කොත පැලදවීමේ* උත්සවය පවත්වා කෝවිල බැතිමතුන්ට විවෘතකර ඇත.එතුමාගෙන් පසු කෝවිලේ භාරකාරත්වය හිමි වෙන්නෙ පුත් පොන්නම්බලම් රාමනාදන් තුමාට. මෙතුමා නොදන්න කෙනෙක් නැතිය උපකල්පනය කරන නිසා මම ඒ ගැන කියන්න යන්නෙ නෑ. කෝවිල විශාල කරලා ඉදිකරන්නෙ පොන්නම්බලම් රාමනාදන් තුමා. වර්ෂ 1906 දී පැරණි කෝවිල වෙනුවට කළුගල් උපයෝගී කරගනිමින් වත්මන් කොවිලේ වැඩ කටයුතු ඇරඹීය. වේයන්ගොඩ ප්‍රදේශයේ ගල් වලකින් කැපූ කලු ගල් යොදාගෙන කෝවිල ඉදි කරන්නේ දකුණු ඉන්දීය කෝවිල් සම්ප්‍රදායට අනුවයි...




කොවිල් ඉදි කිරීම සම්බන්ධයෙන් හින්දු මූලධර්ම භාවිත කරමින් මෙම අලංකාර , විශාල කෝවිල ඉදි වෙනවා... ' මූලස්තානයම්' ලෙස හැඳින්වෙන ප්‍රධාන කෝව්ලත් (මෙය පුද්ගලයෙකුගේ හෘද වස්තුව නිරූපණය වන ලෙස පීහිටන ලෙස ඉදි කරනවා ) ඒ වටා කුඩා කෝවිල් වෙන වෙනම පිහිටන ලෙසත් කෝවිල ඉදි කර තිබෙනවා..කෝවිල් අභ්‍යන්තරයට පිවිසීමේ දී කෙලින්ම දිස් වන්නේ ප‍්‍රධාන ශිව දේව මූර්තියයි. කෝවිල ඇතුලත සම්පූර්ණ භුමිය, බිත්ති සහ වහලය නිමවා ඇත්තේ කළුගල් පතුරු වලිනි. කෝවිලේ කළුගල් බිමෙහි නෙඑම් මල් ලාංජනයකි.


මහපාරෙන් කෝවිල් භූමියට ඇතුළු වෙන විටම වම් පැත්තෙන් තියෙන්නෙ "කෝමාතා ඉලාම්" යනුවෙන් හඳුන්වන ගවයන් ගාල් කර තිබෙන තැනක්.

මෙහ් ගාල් කර ඉන්නෙ ලංකාවෙ නිතර දකින්න නොලැබෙන ඉන්දියානු ගවයන් විශේෂයක්.මොවුන්ගෙ අං කතිරයක් ලෙස එකිනෙකට හරස් වන ලෙස පිහිටීම සහ විශාල මොල්ලියකින් යුත් වීම විශේෂයි..

කෝවිල ඇතුළ තරමක් අන්ධකාරයෙන් වැහිලයි තියෙන්නෙ. දිවාකාලයට පහන් එලි විතරක් ඇර වෙන ආලෝකයක් වැඩිමනක් දකින්න ලැබෙන්නෙ නෑ, විශේෂ අවස්ථා වල ඇරෙන්න. ප‍්‍රධාන දේව කුටියට වැදුම් පිදුම් කරන පුරුෂ පක්ෂය එහි දකුණු පසින් ද කාන්තා පක්ෂය වම් පසින් ද පෙල ගැසී තම භක්තිය දෙවියන්ට පුද කරයි. ප‍්‍රධාන ශිව මූර්තිය තැන්පත් කර තිබෙන කුටිය වටා ශී‍්‍ර දක්ෂිණමූර්ති, සනීශ්වර, ලිංගෝද්බව, ශී‍්‍ර බ‍්‍රහ්ම, ශී‍්‍ර දුර්ගා ආදී දේව ප‍්‍රතිමා කළුගල් වලින් නිර්මාණය කර ඇත. කෝවිල මධ්‍යයෙහි තිබෙන ප‍්‍රධාන වේදිකාවෙන් පිටත භූමිය බැතිමතුන්ට ගමන් කරමින් වන්දනාමාන කිරිමට ඉඩ තබා ඇත.


කෝවිල් බිත්තියයට සමීප වන අයුරින්  ඉදිකර තිබෙන ගල් වේදිකාව මත කෝවිල් බිත්තිය වටා පැතිර යන අන්දමට වෙන් වෙන් වශයෙන් දේව කුටි සකස් කර ඇත. ගණදෙවි, සෝමස්කන්ධ, පංචලිංග, ශී‍්‍ර මහා විෂ්ණු, කතරගම දෙවියන්, බහිරව, නවග‍්‍රහ ආදී දේව ප‍්‍රතිමා මෙහි තැන්පත් කර තිබේ.
කෝවිලෙන් පිටව කෙලින්ම යන්නේ එ් අසල පිහිටි බෙලි ගස වෙතය. එය වටා තෙවරක් ප‍්‍රදක්ෂිණා කිරීමෙන් ඔවුන්ගේ වන්දනා කිරීම නිමවේ. බෙලි ගස ශිව දෙවියන්ගේ  බැල්ම සහිත වෘක්ෂයක් බව බැතිමතුන්ගේ විශ්වාෂයයි. කෝවිලෙන් පිටත භූමියේ ශී‍්‍ර මාරි අම්මා, හනුමාන්, ගණපති ආදී දේවාල හා වේල් උත්සවයෙන් පසු දිය කැපීම සිදුකරන පොකුණ  පිහිටා ඇත
ඉදිරිපස හා ඇතුලු ව්න තැන දොරටුවට ඉහලින් කුඩා ගෝපුරම් දෙකක් මෙම කෝවිලේ දකින්න පුලුවන් වගේම, හින්දු ගෘහ නිර්මාන ශිල්පය, කලාව  හා වාස්තු විද්‍යාව හදාරන අයෙක්ට හොඳ තැනක්...



පොන්නම්බලවානේශ්වරම් කෝවිලේ ඉතිහාසයට කළු පැල්ලමක් එක් වෙන සිදුවීමක් තමයි ටි.මහේශ්වරන් ඝාතනය, ඒ 2008 ජනවාරි 1 දින අළුත් අවුරුදු පූජාවට සහභාගී වෙමින් සිටියදී.
කොළඹ අපි නිතර යන එන ප්‍රදේශයෙන් බැහැරව තිබෙන නිසා හින්දූන් ඇරෙන්න අන්‍යාගමිකයන් නම් මේ කෝවිලට යනවා බොහොම අඩු බවයි පේන්නෙ..ඒ වුනත් එම කෝවිල , හැකි වෙලාවක යාමට වටින තැනක් බව සඳහන් කරමින් මම නවතිනවා...





කොළඹ වීදියකදී නැවත හමුවෙමු..

- අමිල -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters