කොළඹ වීදියකදී.....18- "රජ ගෙදර සිට........."



කොහේ හෝ තැනක ඉඳන් යම් කිසි තැනකට තියෙන දුර ලකුණු කරන්නෙ සැතපුම් කණු (දැන් නම් කිලෝමීටර් කණු ) වලින් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ..
මේ විදිහට දුර ලකුණු කරපු කණු සිය ගාණක් කොළඹ හා ඒ අවට ඇති.ඒ වුනත් මේ කියන්න හදන්නෙ ඒ හැම එකක් ගැනම නෙමේ..ඒ සුද්දගෙ කාලෙ දුර ලකුණු කරලා හිටවපු කණු ගැන.


වර්තමානයේ කොළඹ ඉඳන් දුර මණින්නෙ මල්වත්ත පාරේ ඛාන් ඔරලෝසු කණුවෙ ඉඳලා කියලා කෙනෙක් කිවුවා, මගෙ 'කොළඹට වෙළාව කියන්නෝ' පෝස්ට් එකේ.. ඒ දැන් කාලෙ වුණාට ඒ කාලෙ කොළඹ ඉඳන් දුර මැන්නෙ කොළඹ රජ ගෙදර නොහොත් වර්තමාන ජනාධිපති මන්දිරයේ ඉඳලා..රජ ගෙදර ඉඳලා කිවුවත් රජ ගේ කිට්ටුව තියෙන ලයිට් හවුස් ඔරලෝසු කණුව ගාව ඉඳලා තමයි ඒ කාලෙ දුර මැනලා තියෙන්නෙ.ලයිට් හවුස් ඔරලෝසු කණුව ගැණත් 'කොළඹට වෙළව කියන්නෝ' පෝස්ට් එකේ කිවුව නිසා ආපහු කියන්න යන්නෙ නෑ...

හරි එහෙනම් අපි දැන් බලමු මේ පරණ සැතපුම් කණු ටික (දැනට ඉතිරි වෙලා තියෙන ) තියෙන්නෙ කොහෙද කියලා. මේවා දැනට තියෙන විදිහටනම් පාරෙ යන එන මෙලෝ මනුස්සයෙක්ට පේන්නෙ නෑ, දැනගෙන හරි උවමනාවෙන්ම හරි බැළුවොත් මිසක...මුල් වතාවට දැන ගත්ත වෙලේ මාත් හිතුවෙ කී වතාවක් නම් මේවා පහු කරං යන්න ඇතිද කියලා...

රජ ගෙදර ඉඳන් සැතපුම් එකේ කණුව නොහොත් එකේ කණුව තියෙන්නෙ ගාලු පාරෙ , ටාජ් සමුද්‍රා හෝටලය ඉස්සරහා. හරියටම කිවුවොත් ටාජ් සමුද්‍රා හෝටලයේ කොඩි ගස් ටික හිටවලා තියෙන තැන තියෙන පාදමේම තමයි මේ වෙනකොට මේ සැතපුම් කණුවත් හයි කරලා තියෙන්නෙ.ඒ කණුව එතනින් ගලවලා වීසි නොකරපු එක ගැන ටාජ් සමුද්‍රා හෝටලයට ස්තූතිවන්ත වෙන්න ඕනෙ...


" 1 MILE from the KINGS HOUSE "

                                         
                                                 a sketch of 1st Mile post


දෙකේ කණුව නොහොත් රජ ගෙදර සිට සැතපුම් දෙකේ කණුව තියෙන්නේ කොල්ලුපිටියෙ බර්ගර් කිං එකයි කමර්ෂල් බැංකුවයි අතරෙන් ඩුලිකේෂන් පාර දිහාට ඇදෙන 'මයිල් පෝස්ට් ඇවනියු' පටං ගන්න තැන, හරියටම කමර්ෂල් බැංකුවෙ පාදමේ...

                                     a sketch of 2nd Mile post



පාරේ නමින්ම කියතහැකි නෙ මේක සැතපුම් කණුවක් මුල් කරගෙන හැදිච්ච පාරක් කියලා. මයිල් පෝස්ට් ඇවනියු එකේ එහාට මෙහාට ගිහිං තිබ්බත්, ඔය පාර පහු කරන් ගාලු පාරෙත් එහාට මෙහාට ගිහින් තිබ්බත් අහම්බෙන් සැතපුම් කණු ගැන හොයද්දි මිසක ඕක දැකලා තිබ්බෙ නම් නෑ.

සැතපුම් තුනේ කණුව තියෙන්නෙ බම්බල පිටිය හන්දිය කිට්ටුව. ඒ බම්බලපිටියේ සුප්‍රකට 'බුලියන් එක්ස්චේන්ජ් ජ්වෙලර්ස්' ගොඩනැගිල්ල පාමුල..මතකනෙ..අර රත්තරං කාසියක් විදිහට හදපු එකක් බිත්තියෙ ගහලා තියෙන්නෙ අන්න එතන..
                                        
                                               a sketch of 3rd Mile post

හතරේ කණුවෙ ඉඳලා හයේ කණුව වෙනකල් මේ වෙනකොට හොයා ගන්න නෑ.
හතේ කණුව තියෙන්නෙ  ගල්කිස්සෙ. එක එක සංවර්ධන ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයක් විදිහට මේ වෙනකොට ඔය හතේ කණුව තියෙන්නෙ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඇතුළෙ..කියන විදිහටනම් පිට්ටනිය කිට්ටුව..ඒ නිසා ඒක දැක ගන්න ටිකක් අපහසුයි..මේක කියවන ශාන්ත තෝමසුවෙක් හරි එහි උගන්වන ගුරු මහතෙක් හෝ මහත්මියක් ඉන්නවනම් ෆොටෝ කෑල්ලක් අරන් දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා..



ඔච්චර තමයි දැනට ඒ කාලෙ සැතපුම් කණු වලින් ඉතිරි වෙලා තියෙන්නෙ..මේ අතරින් ගල්කිස්සෙ තියෙන එකේ සැතපුම් ගණන රෝම ඉලක්කමෙන් සටහන් කරලා තියෙනවා.මීට අමතරව මෙහි සිටුවනු ලැබූ වසර සටහන් කර තිබෙන බවත් කියවෙනවා (දැක නැති බැවින් කිනම් වර්ෂයද නොදනිමි ). මේ සැතපුම් කණුව රොබර්ට් බ්‍රවුන් රිග් ආණ්ඩුකාර වරයා විසින් සිටුවීමට යෙදුනු මුල්ම කණුවලින් එකක් (1812-1822) බවත් කියවෙනවා..නගර සංවර්ධන ක්‍රියාවලියේදී මෙවන් ස්මාරක වලට අවධානය නොදීමනම් ඉතාම අවාසනාවන්ත සිදු වීමක්.. කිසිවෙකුගේත් අවධානයට ලක් නොවී අදාල ගොඩනැගිලි හිමි කරුවන් විසින් මේවා ඉවත් කිරීම හෝ කොන්ක්‍රීට් දමා වසා දැමීම සිදු කලත් කිසිවෙකු දැන නොගනීවි.
ඒ නිසා නැවත වතාවක් මේ ස්ථාන වලින් යන විට අවධානයෙන් යුතුව බලන්න.. එවිට ඔබට මේ ස්මාරක දෑ ගන්නට ලැබේවි සහ ඒවායේ වෙනසක් සිදුවුවහොත් අවධානය යොමු කිරීමටද හැකි වේවි..

කොළඹ වීදියකදී නැවත හමු වෙමු.
-අමිල -

2 comments:

  1. බොහොම ස්තූතියි විස්තරයට මලයා 👍

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters