The Terminal.....


පැයක් දෙකක් නැත්තම් තුනක් එයාපෝට් එකක ඉන්න වුනොත් කොච්චර අපහසු අප්‍රියකර දෙයක්ද... මට උපරිම එයාපෝට් එකක බලන් ඉන්න වුනේ චෙන්නයි එයාපෝට් එකේ.. පැය හතක් මට බලං ඉන්න වුණා,දිල්ලි යන්න ෆ්ලයිට් එක ගන්න... ඒ බලා ඉදීම මගෙ ජීවිතේ එපාම කරපු බලා ඉදිල්ලක්.. එහෙට මෙහෙට ට්‍රොලි තල්ලු කරං යන මිනිස්සු, චෙකිං වලට බෝඩිං වලට අනවුන්ස් කරන ඒවා , ඕපදූප කියව කියව ඉන්න මිනිස්සු තව නොයෙක් දේවල් බලං ඉන්න කොහෙත්ම ප්‍රියතාවයක් නැති දේවල්... මට ආයෙ නම් එවන් අවස්තාවක් උදා වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...

මේ ලියමනට මාතෘකාව ගත්තෙ 2004 ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලදුව හොලිවුඩ් සුපිරිම නලු ටොම් හැංක් රංගනයෙන් දායක වෙච්ච The Terminal නම් අති සාර්ථක සිනමා පටයෙන්...
ක්‍රකෝසියා නම් රටකින් එක්සත්ජනපදයට එන වික්ටර් නවොස්කි නම් ගුවන් මගියා නිව්යෝක් එයාපෝට් එකේ හිර වෙන්නෙ ක්‍රකෝසියාවේ ඇති වුණ අර්බුධ හේතුවෙන් ක්‍රකෝසියාවෙන් එක්සත් ජනපදයට පුද්ගලයන් පැමිනීම තහනම් කිරීමත්, එක්සත් ජනපදයෙන් ක්‍රකෝසියාවට වීසා දීම තහනම් කිරීමත් හේතුවෙන්..මේ හේතුවෙන් මාස නමයක් තිස්සේ එයාපෝට් එකේ හතර සීමාව තුළ ජීවත් වෙන්න සිද්ද වෙච්ච වික්ටර් ගෙ අනුවේදනීය කතාව තමයි මෙම සිනමාපටයෙන් කියන්නෙ...
මේකට පාදක වුනේ වසර දහ අටක් පැරීසියේ එයාපෝට් එකක සිරව සිටි මෙහරන් කරීම් නසේරි නම් ඉරාන ජාතිකයාගෙ කතාවයි.. කරීම් ගේ කතාව මා දැන් කියන්න උත්සාහ නොගන්නෙ එය අතීතයෙ සිදු වුණ දෙයක් නිසයි...
https://en.m.wikipedia.org/wiki/Mehran_Karimi_Nasseri

වසර දහහතරකට පස්සෙ පුද්ගලයෙක් ටොම් හැංක්ව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා, ඔහුගෙ ශෝක ජනක කතාව කියලා ටොම් හැංක් ගෙන් උදව්වක් ගන්න..නමුත් ඔහුගෙ ඉල්ලීම ටොම් හැංක් වෙත ගියාද කියන්න මම දන්නෙ නෑ..
මේ පුද්ගලයා තමයි මැලේසියාවේ කුආලාලම්පූර් එයාපෝට් එකේ හිරවී සිටින හසන් අල්-කොන්තාර් නම් වූ සිරියා ජාතිකයා...
මේ ලියන මොහොත වන විටත් ඔහු මැලේසියාවෙ සිරවී සිටිනවා.. 2018 මාර්තු මාසෙ ඉදලා ඔක්තෝබර් මාසෙ වෙනකල් ඔහු කුආලාලම්පූර් එයාපෝට් එකේ සිරව සිටියා සහ පස්සෙ ඔක්තොබර් මාසෙ මැලේසියනු ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දුන්නා...
හසන් අල් කොන්තාර් කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රක්ෂණ ආයතනයක සේවය කල පුද්ගලයෙක්.. මෙම පුද්ගලයා එහි සේවය කරමින් ඉන්න අතරෙ 2011 දී සිරියාවේ යුධ අර්බුධ ඇති වෙනවා... මේ අවස්ථාවේ සිරියාවෙන් දැනුම් දෙනවා හසන් ට සිරියන් යුධ සේවයට එක් වන ලෙස..නමුත් එය ට කොහෙත්ම අකමැති වුණ හසන් එමීර් රාජ්‍යයේම රැදී සිටිනවා.. මින් පලි ගැනීමට 2012 හසන් ගේ පාස්පෝට් එක එක්ස්පයර් වෙන වෙලාවේ සිරියාවෙන් ඒක රිනීව් කරන්නෙ නෑ...

මේකත් එක්ක හසන් ට ලොකු ගැටළුවකට මුහුණ දෙන්න වෙනවා..පාස්පෝට් එක රිනීව් නොවන නිසා එමීර් රාජ්‍යයේ වැඩ කිරීමට හසන් ගෙ වර්ක් පර්මිට් එක රිනීව් වෙන්නෙත් නෑ...ඉතිං හසන් ට සිද්ද වෙනවා එක්කො ආපහු සිරියාවට යන්න, නැත්තම් එමීර් රාජ්‍යයේම හොරෙන් රැදී සිටින්න.. සිරියාවට ගියහොත් ඔහුට දඩුවම් විදීමට සිදු වේයැයි යන බිය නිසා ඔහු දෙවන විකල්පය තෝර ගන්නවා.. ඒ අනුව ඔහු වසර හයක් තිස්සේ එමිර් රාජ්‍යයේ එහෙට මෙහෙට කට්ටි පනිමින් නීතී විරෝධී පුද්ගලයෙක් ලෙස ජීවත් වෙනවා.. නමුත් 2017 අවසානයේ ඔහු බලධාරින්ට හසු වෙනවා.. ඔවුන් හසන් ව මැලේසියාවට එවන්නෙ මාස තුනක තාවකාලික වීසා මත.. මැලේසියාව යනු සිරියානු ජාතිකයන්ට පැමිණීමෙන් පසු වීසා නිකුත් කරන රටවල් කිහිපයෙන් එකක්..එම වීසා මත මැලේසියාවට පැමිණෙන ඔහු සිරියානුවන්ට පැමිණි පසු වීසා නිකුත් කරන තවත් එක් රටක් වන කාම්බෝජය බලා ගියත් කාම්බෝජයෙන් ඔහුව නැවත හරවා එවනවා.. පසුව ඔහු ඉක්වදෝරය බලා යාමට ටර්කිෂ් එයාලයින්ස් ටිකට් එකක් ගන්නෙ ඔහු සතුව තිබුණ මුදල් වලින්...නමුත් හසන්ව ටර්කිෂ් එයාලයින්ස් ෆ්ලයිට් එකට බාර ගන්නෙත් නැත්තෙ ඔහු සිරියානු ජාතිකයෙක් නිසා...
ඉතිං අසරණ හසන්ට සිදු වෙනවා කුආලාලම්පූර් එයාපෝට් එකෙම රැදෙන්න.. මෙහෙම ඉන්නකොට එයාගෙ මාස තුනේ වීසා කාලය ඉවර වෙනවා.. දැන් හසන්ට එයාපෝට් එකෙන් මොනම ආකාරයකටවත් එලියට යාමට හැකියාවක් නෑ.. ඉතිං ඔහුට සිද්ද වෙනවා දිවා රෑ දෙකේම එයාපොට් එක බෝඩිමක් කරගෙන ඉන්න...ඔහුට කන්න බොන්න ලැබුණෙ කාරුණික සේවකයන්ගෙන් සහ මගීන් ගෙන්..එකත් හැමදාම එකම කෑම ජාතිය...

ඔහු සිය ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් වල ඔහුගෙ අසරණ දිවිය ගැන නිතර සටහන් කරන්න පටං ගත්තා..
පැය හතක් තිස්සෙ එයාපෝට් එකක කලබල කාරී මුත් කම්මැලි කම ඉවසගෙන ඉන්න බැරි වුන මට හසන් ගේ ජීවිතය කෙසේ ගෙවෙනවාදැයි හිතා ගන්නත් අමාරුයි...

"I am just counting days here, with no hope"

වතාවක් ඔහු එසේ ට්විටර් ගිණුමේ සදහන් කරනවා...

“I don’t know why I keep doing these videos; maybe somewhere deep inside my feelings or my heart I need someone who cares, someone who may [be] able to help, [but] somewhere I know it’s hopeless. It’s a false hope.

“I don’t know what to do. It seems like it will be my home for a while.

“It’s a difficult situation. There’s no place to shower, there’s no place to sleep. I’m even sick but there is no medicine.”

During the video, he was interrupted by chimes signalling an announcement over the airport PA system.

“This sound, I swear — I hate this sound,” he said with the frustration of a person who has been stuck in an airport for way, way too long. “It’s everywhere, day and night.”

මා පෙර කී ලෙසම ඔහු ටොම් හැංක් ව සහ ලෝ ප්‍රකට දේශපාලකයන් සහ තවත් පුද්ගලයන් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ මේ අතරෙදියි...බලපුලුවන්කාරයන් ගේ අවධාණය යොමු නොවුණත් ඔහුගේ මෙම සටහන් නිසා ලොව පුරා සාමාන්‍ය පුද්ගලයන් විශාල පිරිසකගේ අවධානය ඔහු වෙත යොමු වෙනවා.. ඔවුන් ඔහු වෙනුවෙන් ඔන්ලයින් පිටිෂන් එකක් පවා සූදානම් කරනවා..
මේ අතරේ කැනේඩියානු ජාතික ලෝරී කූපර් නමැත්තිය ඔහුට මුදල් එවන්නෙ ආහාර පාන ලබා ගැනීමටයි..ඇය කැනඩාවේ හසන් වෙනුවෙන් ක්‍රියා කරනවා..ඔවුන් බලධාරීන් හමුවී උත්සාහ ගත්තේ හසන්ව කැනඩාවට ගෙන්වාගෙන කැනඩාවේ විස්ට්ලර් හි නවාතැනක් සහ රැකියාවක් ලබා දීමටයි (ඔවුන්ට ඔහු ගෙන්වා ගැනීමට හැකි වුවහොත්)...
වතාවක් ඔහු පවසා සිටියේ ඔහුගේ වීඩියෝවක් දුටු මව බොහෝ සේ කනගාටු වූ බවත් ඔහුගේ රැවුල වැවුනු පෙනුමට ඇය අකමැති වූ බවත්ය.. එය කොතරම් හැගීම් බර අවස්ථාවක් වූවාදැයි නිර්ණය කිරීමට හැකියාව මට නෑ...

ඔහු කන්න බොන්න වුනේ එයාපෝට් එකේ, නිදා ගත්තෙ එයාපෝට් එකේ බිම හෝ පුටු වල... නෑවෙ මහ රෑ ,මගීන් අඩු වුනාට පස්සෙ එයාපෝට් එකේ පොදු වැසිකිලි වල...
මෙහෙම හිටපු හසන්ව ඔක්තෝබර් මාසේ එයාපෝට් එකෙන් අයින් කරලා ආගමන විගමන බලධාරින් ට බාර දෙනවා..
ඉන් පසූව කුමක් වූවාදැයි කියන්න මම හරියටම් දන්නෙ නෑ...
කොහොම වුණත් තමුන්ගෙ මවු බිමින් වෙන් වෙලා , මෙහෙම ඉතාම සීමිත ඉඩ ප්‍රමාණයක, හිර වෙලා එකාකාරි දිවිපෙවෙතක් ගත කරන්න වෙන එක මේ ලෝකෙ වෙන්න තියෙන අවාසනාවන්තම දේවල් වලින් එකක්...
මෙහරන් ට මෙන් හසන්ට වසර ගාණක් මෙසේ ඉන්න සිද්ධ නොවේවා යන්න මගෙ ප්‍රාර්ථනාවයි...

- අමිල-






Gallery








3 comments:

  1. මේ ජාතියේ නොවුනට එයාර් පොර්ට් රස කතා කිහිපයක්ම තියනවා :) හොඳම එක තමයි මේ .. පස්සේ පොස්ට් එකක් ලියන්නම්.

    මම මරණය හොයාගෙන යන වංගියක (A life time ago ...) මං සෝමාලියාවෙ මොගඩිෂූ වල සතියක් ඉඳල නයිරෝබි හරහා ඩුබායි වලට එන්න උනේ. නමුත් අවාසනාවට මොගඩිෂු එවුං කරපු පිස්සුවක් නිසා බැගේජ් ට්‍රාන්සිට් අවුලක් ගිහිල්ල ඩුබායි එන ඉතියෝපියන් එයාලයින්ස් කනේක්ටින් ෆ්ලයිට් එක මිස් වෙලා නයිරෝබි එයාර් පෝට් එකේ හිර උනා .. :(

    ඊළඟ තියෙන්නෙ දෙගුණයකට කිට්ටුව ගෙවන්න වෙන එමිරේට්ස් ෆ්ලයිට් එක ආපහු පැය 12කින් ... මොනවා කරන්නද ඒකත් අතිං ගෙවාගෙන ෆ්ලයිට් එක බුක් කරා... ටිකට් එකට ගෙව්වට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එකේ වැඩිම උනොත් ඉලක්කම් දෙකේ ගානක් ඉතිරි වෙන්න ඇති ... එකත් නැති උනානං තාම නයිරෝබි.

    යාන්තන් ඒ වැඩේ අහවර කරල ආයෙත් හාමිනේට කතා කරල ලොකුවට කරදර කරන්න හිතුවෙ නැති නිසා එතන තිබ්බ කැසිනෝ එක අස්සට රිංගල අතේ තිබ්බ සල්ලි වලින් දෙකක් තුනක් හතරක් පහක් විතර නමාගෙන පුටු උඩම ඇලට් එකක් දැම්ම ... :)

    ඇලට් එක කොයිතරම් සාරද කියනවා නම් ... හෝල් එක ක්ලීන් කරන එකා මගේ වටේට Wet Floor සයින් දෙකක් තියල බෑග් එක අයින් නොකර වටේට සුද්ද කරගෙනත් ගිහිං.. ඒත් මම දොයි ... සාමාන්‍යයෙන් මට නින්ද යනකොට කොයිතරම් නිස්සද්දද කියනවා නම් උළු උඩ යන නිසා අල්ලපු ගෙදර එවුන් පවා දන්නව මං නිදිය කියල. ඔහේලට හිතා ගන්න පුළුවනිනේ තත්වෙ කොහොමද කියල :-D

    කොහොම හරි තව පොඩ්ඩෙන් දෙවෙනි ෆ්ලයිට් එකත් මිස් වෙනව, මගේ බෑග් එකේ තිබ්බ එමිරේට්ස් ටැග් එක දැකපු එමිරේට්ස් ඔෆිසර් කෙනෙක් මගේ දැඩි විරෝධය මධ්‍යයේ මාව බලෙන්ම කූද්දගෙන අන්තිම කෝල් එකේදී තමයි ප්ලේන් එකට එබුවෙ ... ෆ්ලයිට් එක විනාඩි 10 ක් පරක්කු කරල මං නිසා ... කට්ටියගේ මූණු හතරැස් වෙලා ... මං දොරෙන් අතුල් වෙච්චි ගමන දඩාන් දොරත් වැහුව කියමුකෝ ... :-D

    ඒත් එනවා කියාපු වෙලාවට වැඩ පැය 14-16 ක් විතර පරක්කු වෙලා ඩුබායි ගියාට පස්සේ තමයි හොඳම හරිය ... හාමිනේ කොම්පැණියේ මැනේජර් ඉඳල ඩිරෙක්ටර් බෝඩ් එකට වෙනකං කතා කරල මාව හොයන්න ... ඒ යාලුවන්ටත් කියල එකම මළ ගෙයක් ... (තව දවසක් පරක්කු උනා නං පාංශුකූලෙත් දීල :) ) පහුවදා මුළු කන්තෝරුවටම කතන්දරේ කියන්නත් උනා දෙලොස්දාස් වතාවක් විතර .. :-D :-D :-D

    ReplyDelete
    Replies
    1. අණිවාර්යෙන්ම ඒක ලියන්න..:D :D අපරාදෙ අපිට බලන්න තිබ්බා ඔයත් එකී එහෙම පෝස්ට් දදා මාව ගෙන්න ගන්න කියලා කියන හැටි :D

      Delete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters