Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට - 12 - "88 - 90 - Hatton Garden"


(මෙය මිණීමැරුමක් සම්බන්ධයෙන් නොවුනත් අවසානය වන තෙක් කියවන්න)
2015 අප්‍රේල් මස 4 වන දින ලන්ඩන් නුවර හැට්න් ගාඩන් හි හැට්න් ගාඩන් සේෆ් ඩිපොසිට් කම්පැණි (Hatton Gardens Safe Deposit Company) මින් ඉදිරියට "හැට්න්" ලෙස හඳුන්වමි) ආයතනයට අයත් සේප්පු 73 ක තිබුණු ස්ටර්ලිං පවුම් මිලියන 14ක් වටිනාකමින් යුත් (ඇතැම් තැන් වල මිලියන 29,35 සහ මිලියන 200 ලෙසද දැක්වුවත් අධිකරණය හමුවේ මිලියන 14 ඉදිරිපත් වූ බැවින් එය සත්‍ය වටිනාකම ලෙස සළකමු) ආභරණ,ලෝහ වර්ග , ගල් වර්ග සහ මුදල් මංකොල්ල කනවා.

සිදුවීමේ බරපතල කම අනුව එය විසඳීමට ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ Flying Squad වෙත භාර දෙනවා.Flying Squad ගැන සඳහනක් කලහොත් එය Specialist Crime Directorate 7 ලෙසද හැඳින්වෙන අතර මෙට්‍රොපොලිටන් පොලිසියේ විශේෂඥ , සංවිධානාත්මක සහ ආර්ථික අපරාධ අංශය (Specialist,Organized and Economic crime command) යටතේ ක්‍රියාත්මක වනවා.
මූලික පරීක්ෂණ වලදී සොයා ගත් ආකාරයට ආයතනයේ පිටතින් forced entry යැයි සැක කිරීමට කිසිදු සළකුණක් සොයා ගැනීමට හැකි වෙන්නෙ නෑ.
2015 පාස්කු නිවාඩුව වෙනුවෙන් අප්‍රේල් මස 3 වන සිකුරාදා දින හැට්න් වසා දැමෙනවා.
අප්‍රේල් 08 වන දින පොලිසිය ප්‍රකාශයට පත්කිරීමට පෙර "Daily Mirror" පුවත් පත විසින් සිද්ධියට අදාල CCTV දර්ශණ නිකුත් කෙරෙනවා.
මේ වන විටත් පුද්ගලයින් හඳුනාගෙන නොතිබුණ බැවින් ඩේලි මිරර් විසින් ඔවුන් අන්වර්ත නාම වලින් හඳුන්වා තිබුණා. ඒවා මෙසේය.
 
• Tall man
• Old man
• Mr.Ginger
• Mr.Strong
• Mr.Montana
• The Gent
• Basil


සියලු සාධක එක්කොට ගත් විට සිදුවීම් පෙල පහත ආකාරයෙන් දැක්විය හැක (වර්ෂය 2015..මාසය අප්‍රෙල්)
• 02 දින 9:19 - හැට්න් හි බලයලත් නිලධාරීන් පාස්කු නිවාඩුව සඳහා සුරක්ෂිතාගාරය වසා දමා ආයතනයේ පිටත දොරවල්ද අගුලු දමා වසා දමනවා.
• 02 දින 9:23 - Mr.Ginger රෝද සහිත කුණු දැමීමට භාවිතා කරන භාජනයක් තල්ලු කරමින් තවත් තුන්දෙනෙක් සමග හැට්න් වෙත පැමිණෙනවා.
• 03 දින පෙරයම 12:21 Scotland Yard හි සේප්පු වලට සම්බන්ධව තිබුණ ආරක්ෂිත සීනුව නාද වෙනවා.(වැඩි දුර ඉදිරියේදී)
• 03 දින උදෑසන 8:05 පිරිස ආයතනයෙන් පිටත කතා කරමින් සිට වාහනයක නැගී පිටත් වෙනවා.
• 04 දින රාත්‍රී 9:17 Mr.Ginger සුරක්ෂිතාගාරයට ඇතුළු වන අතර ඔහුට පසුව තව තිදෙනෙක් ඇතුළු වෙනවා.
• 05 දින උදෑසන 6:10 පිරිස ගොඩනැගිල්ලේ සිට වාහනයකින් පිටත්ව යනවා.
• 07 දින ස්කොට්ලන්ඩ්යාඩ් ප්‍රකාශයක් කරනවා මංකොල්ල කෑමක් සිදුව ඇති බව.
• 08 දින පොලිසියට පෙර ඩේලි මිරර් විසින් CCTV දර්ශණ මුදා හරිනවා.
• මැයි 18 වන දින මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කරනවා.



- පරීක්ෂණ සහ නඩුව -
පොලිසියේ මූලික පරීක්ෂණ වලදී සිදුවීමට අදාල පුද්ගලයින් නම් වශයෙන් පහත ආකාරයෙන් හඳුනා ගන්නවා.
1. බ්‍රයන් රීඩර්
2. බ්‍රයන් ජූනියර්(පෝල් රීඩර්)
3. විලියම් ලින්කන්
4. ජෝන් හාබින්සන්
5. කාල් වූඩ්
6. හුග් ඩොයිල්
7. ජෝන් කොලින්ස්
8. ඩැනියෙල් ජෝන්ස්
9. ටෙරී පර්කිංස්
මේ අතරින් බ්‍රයන් රීඩර්,ජෝන් කොලින්ස්,ඩැනියෙල් ජෝන්ස් සහ ටෙරී පර්කින්ස් යන අයවලුන් "මහමොල කරුවන්" බව හඳුනා ගන්නවා.
මේ අනුව බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතියේ හතරවන පෙල අපරාධ අධිකරණයක් වන වූලිච් හි රාජාධිකරණයේ (Woolwich Crowns court) පහත චෝදනා යටතේ අදාල පුද්ගලයන්ට නඩු ගොනු කෙරෙනවා.

                                              (එඩ්මන්ටන් හි සුසාන භූමියක භාණ්ඩ සඟවා තිබුණු ආකාරය )
01.
• චොදනාව " මංකොල්ලය සඳහා කුමන්ත්‍රණය කිරීම , අපරාධ භාණ්ඩ හා මංකොල්ලකෑ ද්‍රව්‍ය සැඟවීම සහ ප්‍රවාහණය"
• චූදිතයන් - බ්‍රයන් රීඩ්ස්,ටෙරී පර්කිංස්,ඩැනියෙල් ජෝන්ස්,ජෝන් කොලින්ස්
02.
• චෝදනාව - "මංකොල්ලය සඳහා කුමන්ත්‍රණය කිරීම අනුබල දීම , සැඟවීම සහ ප්‍රවාහණය"
• චූදිතයන් - කාල් වූඩ්ස්, විලියම් ලිංකන්,ජෝන් හාබින්සන්,හුග් ඩොයිල් සහ පෝල් රීඩර්ස්.

- විභාගය -
ජූරියක් හමුවේ විභාග වුණ නඩුවේදී විත්තිය වෙනුවෙන් අසාර්ථක තර්ක ඉදිරිපත් වීමක් සිදුවී ඇති අතර පැමිණිලි පාර්ශවය නියෝජනය කල නීතීඥ(Prosecutor) ෆිලිප් එවන්ස් (මින් ඉදිරියට එවන්ස් ලෙස හඳුන්වමි) විසින් ගෙන හැර පෑ කරුණු මෙහි සඳහන් කරමි.
එවන්ස් චූදිතයන් වෙන වෙනම ගෙන ඔහුගේ කරුණු ඉදිරිපත් කිරීම කර තිබුණා.
ඒ අනුව.
(වම සිට ජෝන් කෙලී කොලින්ස්,ඩැනියෙල් ජෝන්ස්,ටෙරී පර්කිංස්,බ්‍රයන් රිඩර්)

01.බ්‍රයන් රීඩර්
- කණ්ඩායමේ වයසින් වැඩිම පුද්ගලයා සහ මහමොලකරුවන් සිවු දෙනාගෙන් කෙනෙක්.
- මොහු නඩුව ආරම්භයේ සිය වරද පිලිගෙන තිබුණා (Pleaded guilty).
- පොලිස් පරීක්ෂණ වලදී මොහුගේ නිවසේ තිබී
• දියමන්ති පාතාලය පිළිබඳ පොතක්
• දියමන්ති පරීක්ෂා කරන උපකරණයක්
• දියමන්ති කපන උපකරණයක්
• දියමන්ති ගැන ලියැවුණ සඟරා කිහිපයක් සහ
• CCTV දර්ශණ වල,මොහු ඇඳ සිටි බව සඳහන් වුනු ආකාරයේ scalf එකක් සොයාගෙන තිබුණා.
- විසිවන සියවසේ විශාලම මංකොල්ලයකටද සම්බන්ධවී සිටි මොහු ඉන් ලද මුදල් විශුද්ධිකරණයට ලක්කිරීමට ගත් උත්සාහය නිසා අධිකරණයෙන් දඬුවම් ලබා සිටි අයෙක්.

02.ජෝන් කොලින්ස්
- මහමොලකරුවන් ගෙන් කෙනෙක්.
- සැළසුම් කිරීමේ මුල් අවස්තාවේ සිට මෙයට සහභාගී වී තිබුණ අතර මංකොල්ලයට පෙර හා පසු රැස්වීම් වලට අඛණ්ඩව සහභාගී වී තිබුණා.
- මංකොල්ලයට පෙර හැට්න් අවට සැරිසරමින් ඔත්තු බලමින් තොරතුරු රැස්කිරීම සිදු කර තිබුණා.
- පොලිස් පරීක්ෂණ වලදී මොහුගේ නිවසේ තිබී
• විශාල මුදල් තොගයක්
• විශාල අත් ඔරලෝසු තොගයක්
• කාසි සහ ආභරණ තොගයක්
• මුදල් ගණින යන්ත්‍රයක්
සොයාගෙන තිබුණා.
- මීට පෙරද සැළකියයුතු ආකාරයේ සොරකම් කිහිපයකටම දායක වී තිබුණා.

03. ඩැනියෙල් ජෝන්ස්
- මහමොලකරුවෙකි
- අඛන්ඩව සෑම සිකුරුදා සවසකම පැවති රැස්වීම් වලට සහභාගිවෙමින් සැළසුම් කිරීමට දායක වී තිබෙනවා.
- එඩ්මන්ටන්හි සුසාන භූමියක මංකොල්ලයෙන් සොරාගත් ද්‍රව්‍ය සඟවා තිබුණා.
- නිවස පරීක්ෂාවේදී ,
• වෙස්මුහුණු කිහිපයක්
• විදිනයක් ( Drill)
• විශාල මුදල් තොගයක්
සොයාගන තිබුණා.
- මීට පෙරද සොරකම් කිහිපයකට දායක වී තිබුණා.

04.ටෙරී පර්කිංස්
- මහමොලකරුවෙකි
- මංකොල්ලකෑම සිදුවන අවස්ථාවේ පිටතින් සිට ඔත්තු බලා තිබුණේ මොහුය.
- නිවස පරීක්ෂාවේදී ,
• ආභරණ තොගයක්
• මුදල් තොගයක්
• නිල්පැහැ කබා (කාර්මික ශිල්පීන් අඳින overall )
• සුදුපැහැ රෙදි අත්මේස් යුගල පහක්

තව දුරටත් සාක්ෂි ඉදිරිපත් කරමින් එවන්ස් කියා සිටියේ බ්‍රයන් රීඩර්ට ජංගම දුරකතනයක් නොතිබුණ බැවින් ඔහු සිය පුත් පෝල් රීඩර් ගේ දුරකතනය භාවිතා කර තිබුණ බවයි.
මොහු මංකොල්ලය අසාර්ථක වුණ පළමු රාත්‍රියේ (අප්‍රේල් 3 ) ඊට සහභාගී වුවද දෙවන රාත්‍රියේ (අප්‍රේල් 4) එයට සහභාගී වී තිබුණේ නැහැ.
එවන්ස් තවදුරටත් ප්‍රකාශකරමින් මෙවන් විශාල සහ සංකීර්ණ මංකොල්ලයකට ඔවුනොවුන් අතර ඉතාම විශ්වාසදායක පුද්ගලයින් පමණක් සහභාගී වී ඇති අතර මොවුන මෙය සැළසුම් කිරීම 2012 වසරෙ සිට වසර තුනක් තිස්සේ කර තිබුණ බව සාක්ෂි ගෙනහැර පෑවා.
ඒ අනුව 2012 අගොස්තු මස කණ්ඩායමේ කෙනෙක් අන්තර්ජාලයෙන් විදින යන්ත්‍ර (මින් පසු Drill ලෙස හඳුන්වමි) ගැන සොයා තිබුණ අතර 2014 මැයි මසදී වඩා විශේෂිත Drill වර්ගයක් සොයා තිබුන අතර ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ යූ ටියුබ් දර්ශණද නරඹා තිබුණා.
ඉදිරිපත්ව තිබුණු සාක්ෂි අනුව යමින් එවන්ස් විසින් ජූරිය හමුවේ අපරාධය සිදුවූ ආකාරය මෙසේ සඳහන් කෙරුණා.

• අප්‍රේල් 3 වන සිකුරාදා fire exit තුලින් ආයතනයට ඇතුළු වී බිම්මහල වෙත සෝපානයෙන් යන මොවුන් පසුව සෝපානය අක්‍රීය කරනවා.
• 03 වන දින රාත්‍රී යේ යූටියුබ් හි HITI DD 50 වර්ගයේIndustrial power Drill එක ක්‍රියා කරවන ආකාරයේ වීඩියෝ දර්ශණයක් නරඹා සෙන්ටිමීටර 50ක ඝණකමකින් යුතු සුරක්ෂිතාගාරයේ කොංක්‍රීට් බිත්තිර රවුම් තුනක් ආකාරයෙන් කපා දමනවා.
• මේ අතර සෙප්පුවක භාණ්ඩ තැන්පත් කල අයෙක් වන ආලොක් බාරිෂි නම් අයෙකුගේ නිවසේ අනතුරු ඇඟවීමේ සීනුව නාද වුණා. මීට පෙර අවස්ථාවකද ඔහුගේ නිවසේ මෙම සීනුව නාද වුණ අතර එය කෘමියෙක් ගමන් කිරීම නිසා සිදුවුණ බව පසුව දැනගත් බැවින් මේ අවස්තාවේද එසේ සිදු විය හැකි බව උපකල්පනය කොට ඔහු ක්‍රියාමාර්ගයක් නොගත් බව සාක්ෂි දෙමින් පවසා තිබුණා.
• සුරක්ෂිතාගාරයට ඇතුළු වුණත් වඩා ආරක්ෂිත ලෙස සේප්පු සිවිලිමේ සිට පොලොව තෙක්, ගලවා ඉවත් කල නොහැකි ආකාරයෙන් සවි කොට තිබුණු නිසා එදින ඔවුන් අසාර්ථක වෙනවා.
• මොවුන් එදින නික්ම යනවා.
• ඉහත ද කී පරිදි CCTV දර්ශණ වල මොවුන් පිටතට පැමිණ කතා කරමින් සිට යන ආකාරය සටහන්ව තිබුණේ මෙදිනයි.
• බිම්මහලේ මේ සියල්ල සිදුවන අතරෙ පොලිස් නිලධාරී කෙවින් ස්ටොක්වෙල් පැමිණ පිටතින් ආයතනය පරීක්ෂාකොට කිසිදු අනතුරක සළකුණක් නොවූ බැවින් අදාල පොතේ සටහනක් තබා ඉවත්ව ගොස් තිබුණා.
• පොලිසියට විශාල අපකීර්තියක් ගෙන දුන් කාරණය නම් ඉහතින් කී ආකාරයට පොලීසියේ නාද වූ සීනුව අණුව පැමිණුන නිලධාරීන්ද පිටතින් පරීක්ෂා කොට කිසිවක් නොවූ බැවින් නික්ම ගොස් තිබීමයි. එහෙත් ඒ වනවිටත් බිම්මහලේ සැළසුම ක්‍රියාත්මක වෙමින් තිබුණා.
• අප්‍රේල් තුන්වන දින සේප්පු කැඩීමට අවශ්‍ය උපකරණ රැගෙන පැම්ණෙන චූදිතයන් පෙරදින ඇතිකල සිදුරින් ඇතුලු වී සේප්පු කඩා විවර කරමින් වටිනා ද්‍රව්‍ය මලු වලට සහ කුණු දැමීමට භාවිතා කරන භාජන වලටද දා ගත්තා.
• මෙම සුරක්ෂිතාගාරය ගැන සඳහන් කලහොත් එහි සේප්පු 996 ක් වූ අතර ඉන් 500ක වටිනා ද්‍රව්‍ය සහ මුදල් තැන්පත්කර තිබුණා.චූදිතයන් විසින් සේප්පු 73 ක් කඩා තිබුණු අතර ඉනුදු 29ක් සම්පූර්ණයෙන් හිස් කොට තිබුණා.
• නිමක් නැතිව ද්‍රව්‍ය මලු වල සහ විවිධ භාජන වල දැමීමෙන් හෙම්බත් වුණ මොවුන් අළුයම 6: 40 ට පමණ එය නවතනවා.
• එදිනම ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණෙන චූදිතයන් වාහනයක නැගී පිටව යනවා.
තවදුරටත් කරුණු දැක්වූ එවන්ස් ට අනුව පොලිසිය විසින් නැතිවූ භාන්ඩ වල අයිති කරුවන් 40 දෙනෙකු ඒ වන විට හඳුනාගෙන තිබුණ අතර පවුම් මිලියන 9ක් වටිනා භාණ්ඩ ඒ වන විටත් සොයාගෙන තිබුණේ නැහැ.
වැඩි දුර සාක්ෂි ලෙස චූදිතයන්ගේ ජංගම දුරකතන බිල්පත් සහ දුරකතන රැහැන් වාර්තා ඉදිරිපත් කරමින් අපරාධය සිදුවූ දින ඔවුන් එකිනෙකාට සම්බන්ධ වූ ආකාරය ඉදිරිපත් කෙරුණා.

- තීන්දුව -
සියලු සාක්ෂි විභාගයෙන් අනතුරුව සහ ජූරියෙ නිර්දේශය අනුව 2016 මාර්තු 09 වන දින වූලිච් හි රාජාධිකරණය විසින් පහත අයුරින්;
01. ජෝන් කෙලී කොලින්ස්, ඩැනියෙල් ජෝන්ස්,ටෙරී පර්කින්ස් යන අය මංකොල්ලය සඳහා කුමණ්ත්‍රණය ,භාණ්ඩ සැඟවීම හා ප්‍රවාහණය යන අධි චෝදනා වලට වරදකරුවන් බවත් වසර 7 බැගින් සිරදඬුවමුත්...
02. බ්‍රයන් රීඩර්ස් එම චෝදනා වලටම වරදකරු බවත් වසර හයකුත් මාස 3ක සිරදඬුවමුත්....
03.කාල් වූඩ් සහ විලියම් ලිංකන් මංකොල්ලයට අනුබලබදීම ,භාණ්ඩ සැඟවීම සහ ප්‍රවාහණය යන චෝදනා වලට වැරදි කරුවන් බවත් ලිංකන්ට වසර 7කුත් සහ වූඩ් ට වසර 6 කුත් බැගින් සිර දඬුවම් ද ..
04.හුග් ඩොයිල් භාණ්ඩ සැඟවීම යන චෝදනාවට වරද කරු බවත් සහ වසර දෙකක අත් හිටවූ මාස 21 ක සිරදඬුවමකුත්
ලෙස වන තීන්දුවද ,ජෝන් හාබින්සන් වරද කරුවෙක් බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොකර ඇති බැවින් ඔහුව නිදහස් කරන බවද ප්‍රකාශ කලා.

- පසු සිදුවීම්-
• ලන්ඩනයේ කීර්තිමත් ආයතනයක් වුණ හැට්න් ගාඩන් සේෆ්ටි ඩිපොසිට් කම්පැණි මෙම සිදුවීමත් සමග සිදු වුන අතිවිශාල අලාභය කරණ කොටගෙන සිය බුන්වත් භාවය ප්‍රකාශකොට සමාගම ඈවර කිරීම (liquidation) ප්‍රකාශ කලා.
• කැළඹුණ තැන්පතු කරුවන් හැට්න් ආයතනය ඉදිරියේ සහ මෙට්‍රොපොලිටන් පොලිසිය ඉදිරියේ විරෝධය පල කල අතර නොසැළකිළිමත් කම සහ සීනුව නාද වූ පසු ක්‍රියාත්මක විය යුතු ආකාරය නිසි ලෙස අනුගමනය නොකිරීම ගැන පොලිසිය ප්‍රසිද්ධියේ සමාව ඉල්ල සිටියා.
• තැන්පතු කාරියක වුණ මිර්සා බාරිග් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබුනේ ආයතන දෙකේ නොසැලකිල්ල නිසා තමුන් පැන්සයක්වත් නැති හිඟන්නියකගේ තත්වයට පත්වුණ බවය.ඇය සිය වටිනා යැයි කිව හැකි සියල්ලම සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබුණා.
• ලන්ඩනයේ උකස්කරුවන් සහ ආභරණ වෙළඳසැල් බරපතල අර්බුදයකට මුහුණපෑවේ ඔවුන් සිය ආභරණ වල ආරක්ෂාව සඳහා හැට්න් හි සේප්පු තෝරාගෙන තිබූ බැවිනුත් පරිස්සමට තැබූ දෑ ඈලියාවට ගොස් තිබුණු බැවිණුත්ය.

- මා ඔබට අවසානය වන තෙක් කියවන ලෙස ඉල්ලුවේ ඇයි?! -

මිණී මැරුම් වැනි අපරාධ ගැනම ලියූ මම මෙය තෝරා ගත්තේ ඇයි.
ඒමක් නිසාද යත් මෙම මංකොල්ලය සිදු කල කණ්ඩායමේ යම් විශේෂත්වයක් නිසාය.
එනම් ;බ්‍රිතාන්‍ය නීති ඉතිහාසයේ වාර්තා වන විශාලම මංකොල්ලය වන මෙය සිද් කල කණ්ඩායමේ සාමාජිකයන් සියල්ලම වයස් ගත අය වීම සහ ඇතැමුන් හැට පැන හොටත් බිම ඇණෙන වයසේ වීමයි.
නමුත් හැට පැන්නත් වඳුරා බිම නොයන්නා සේ මීට පෙරද , පසුගිය සියවසේ ප්‍රසිද්ධ බැංකු මංකොල්ල දෙකකටද සහ විවිධාකාරයේ සොරකම් වලට දායකව තිබුණු මෙම පුද්ගලයන් මෙම මංකොල්ලයද සිදු කලා.
ඔවුන්ගේ වයස් පහත ආකාරයෙනි.
1. බ්‍රයන් රීඩ්ස් අවුරුදු 76
2. ජෝන් කෙලී කොලිනස් අවුරුදු 74
3. ටෙරී පර්කිංස් අවුරුදු 67
4. විලියම් ලිංකන්ස් අවුරුදු 60
5. කාල් වූඩ් අවුරුදු 58
6. පෝල් රීඩ්ස් අවුරුදු 50
7.හුග් ඩොයිල් අවුරුදු 48
8. ජෝන් හාබින්සන් අවුරුදු 42
මොවුන් හැට්න් ආයතනයට ඇතුළු වුනේ කෙසේද යන්න පුදුමයක් බව නොරහසකි.එය පුදුමයක් නොවේ .බැසිල් යන අන්වර්ථ නාමයෙන් හැඳින් වුන පුද්ගලයෙක් විසින් ආයතනයේ ඉදිරිපස ලී දොර හැර පසුව තිබෙන අංක හතරක රහස් කේතය සඳහන් කොට විවෘත කල යුතු යකඩ දොරද හැර පසුව fire exit එක විවෘත කිරීමෙන් පාරෙහි සිටි මංකොල්ල කල්ලියට ආයතනය තුලට යෑමට ඉඩ සළසා තිබුණා.
නමුත් බැසිල් යනු කවරෙක්ද යන්න පරීක්ෂක කණ්ඩායමට සොයාගත නොහැකි වූ අතර කල්ලියේ කිසිවෙකුගෙනුත් ඔහු පිළිබඳ තොරතුරක් ලබා ගත නොහැකි වුණා.
                                           (බැසිල්)

උපනල්පනය කෙරෙන ආකාරයට බැසිල් යනු කණ්ඩායමේ කෙනෙක්ගේ මිතුරෙක් වන සහ මීට පෙර ආරක්ෂක නිලධාරීන් සපයන ආයතනයක සේවය කල අයෙක්.ඔහු මෙම ආයතනයේ සැළසුම පිළිබඳව මනා දැනුමක් තිබුණ අයෙක් බවද උපකල්පනය කෙරෙනවා.ආයතනයේ ප්‍රධාන දොරේ ව්‍යාජ යතුරක් ඔහු සතු වීමත් ඇතුළු දොර විවෘත කරන රහස් කේතය දැන සිටීමත් සැකය තීව්‍ර කරන්නක් වෙනවා.
පැවසෙන ආකාරයට බ්‍රිතාන්‍යයෙන් පිටව සිටි බැසිල් මෑතකදී නැවත බ්‍රිතාන්‍යට පැමිණ ඇති අතර ඔහු වැටලීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
එමෙන්ම බැසිල් විසින්, අපද්‍රව්‍ය දැමීමට භාවිත කරන කළු පැහැ බෑගයක දමාගෙන රැගෙන ගිය භාණ්ඩවල වටිණාකම කොපමණදැයි තක්සේරු කිරීම අපහසු වී තිබෙණවා.
ලංකාවේ සීයලා මේ වගේ දේවල් කරන්න නොහිතන එක ලොකු දෙයක් සහ මෙය කියවා එසේ නොවේවායි පතමි.

                                             (මංකොල්ලය සැළසුම් කල හෝටලය )



- The court is adjourned -

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters