Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට.... 11


K.M.Nnavati Vs State of Mahaarashtra
..... That three shots shook the nation.........


පාර්සි ජාතික කවාෂ් මංකේෂව් නානාවටි බොම්බයි (මෙවක මුම්බයි) හි විසූ ඉන්දීය නාවුක හමූදා නිලධාරියෙක්.
තත්කාලීන සමාජයේ ගෞරවයට පාත්‍ර වූ ඔහු සිය ඉංග්‍රීසි ජාතික බිරිඳ සිල්වියා සහ පුතුන් දෙදෙනාත් දියණියත් සමග සතුටින් සිටියා.
එහෙත් රාජකාරීමය වශයෙන් ඔහුට විවිධ ක්‍රියාන්විතයන් සඳහා යාමට සිදුවීම ඔහුගේ පවුළ සමග තිබුණු බැඳීම අඩු කිරීමට සමත් වුණා.
මේ අතරතුර වසර 15ක පමණ කාලයක සිට නානාවටි පවුල සමග මිතු දමින් සිටි ප්‍රේම් අහුජා සමග ඒවන විටත් තරුණ වියේ පසුවූ සුරූපී සිල්වියා පෙමින් බැඳෙනවා.


                                                                          

                                                       (Nanavati and Sylvia)
 ප්‍රේම් අහුජා යනු තනිකඩ සෙල්ලක්කාර දිවියක් ගත කල සින්ධි ජාතික ධනවත් ව්‍යාපාරිකයෙක්.
1960 නොවැම්බර් 01 වන දින සිය ක්‍රියාන්විත රාජකාරි නිමවා නිවසට පැමිණි නානාවටිට සිය බිරිඳ වෙනදා නොදුටු ලෙස අපහසුතාවයකින් පසුවෙන බව පෙනුන බැවින් දිගින් දිගටම ඇයගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සිල්වියා විසින් ප්‍රෙම් අහුජා සමග තමාගේ තිබුණු සබඳතාව ගැන නානාවටි ට පාපොච්චාරණය කරනවා.
මින් අනතුරුව නානාවටි විසින් පෙර පොරොන්දු වී තිබුණු පරිදි සිල්වියාව සහ දරුවන්ව මෙට්‍රෝ සිනමා ශාලාවට ඇරලවා,බොම්බයි නාවුක හමුදා කඳවුරට ගොස් ලොග් පොතේ ව්‍යාජ සටහනක් යොදා සිය රාජකාරී පිස්තෝලයත් උණ්ඩ හයකුත් ගෙන ,ප්‍රේම් අහුජාගේ කාර්යාලයට ගියත් එහිදී ප්‍රේම් හමු නොවූ නිසා ඔහුගේ නිවසට යනවා.
එහිදී ස්නානයෙන් පසු තුවායක් හැඳගෙන නිදනකාමරයේ සිටි ප්‍රේම් අහුජාත් නානාවටිත් අතර ඇති වූ යම් වචන හුවමාරුවකින් පසුව නානාවටි
"උඹ මගේ බිරිඳව විවාහ කර ගන්නවද? මගේ දරුවන්ව බාර ගන්නවද?" යනුවෙන් ඇසූ පැණයට ප්‍රේම්ගේ පිළිතුර වූයේ
"මා සමග යහන් ගත වන සෑම ගැහැණියක්ම මා විවාහ කර ගන්නෙ නෑ.." යන්නයි.

මේ වචන පෙළත් සමගම නානාවටිගේ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩ තුනක් ප්‍රේම්ගේ පපුව පසාරු කරගෙන ගියෙන් ප්‍රේම් එතැනම මැරී වැටුණා.
මේ වන විටත් ප්‍රේම් ගේ සොහොයුරිය මාමි අහුජා සහ සේවකයා අන්ජාන් නිවසේ සිටියත් වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔවුන් එතැන සිට නෑ...
සිද්දියෙන් පසු මාමි ට හෝ අන්ජාන්ට වචනයක් හෝ නොදෙඩූ නානාවටි සිය පොවොස් මාෂල් වරයා වෙත ගොස් සිදු වීම පවසන අතර ඔහුගේ අවවාදය අනුව පසුව බොම්බයි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වරයා හමුව පාපොච්චාරණය කොට නීතියට බාර වෙනවා.

මෙවක් වන විට අතිශය කීර්තිමත් නාවුක නිලධාරියෙක් වුණ නානාවටි අතින් සුප්‍රකට ව්‍යාපාරික ප්‍රේම් අහුජා මිය යාම මුලු මහත් ඉන්දියාවේම අවධානය මෙම නඩුව දෙස යොමු වීමට හේතුවක් වුණා මෙන්ම මාධ්‍ය මගින් ලබා දුන් ප්‍රසිද්ධිය එය තීව්‍ර කිරීමට සමත් වුණා.





- නඩුව -

ඉන්දීය මූලික අපරාධ අධිකරණය වණ District and Sessions Court හි දී ජූරි සභාවක් ඉදිරියේදී නඩුව ඇසුණා.

නඩුවේ දී සාධණය කලයුතු කරුණු දෙකක් තිබුණා.

1. මෙය ක්ෂණික කෝපය මත ඇති වූ මරණයක්ද
නැතහොත්
2. සැළසුම් සහගත මරණයක්ද යන්නයි.


ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ (Indian Penal Code - IPC) වගන්ති 300 උප වගන්ති 1 සහ 4 මගින් ක්ෂණික කෝපය මත සිදූ වන මිණී මැරුමක් , මිණී මැරුමක් ලෙස නිර්වචනය නොවන ව්‍යතිරේඛයන් දෙකක් දී ඇති බැවින් එවන් අවස්ථාවක සිදු වන මරණයකට උපරිම වසර 10ක සිර දඬුවම් හිමි වෙනවා.

නමුත් සැළසුම් සහගත මරණය යන්න මිණී මැරීම යන නිර්වචනයට අයත් වන බැවින් මරණීය දණ්ඩණය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් වෙනවා.

එබැවින් මෙය ක්ෂණික කෝපය මත සිදු වූවක්ද නැතහොත් සැළසුම් සහගත මරණයක්ද යන්න සාධණය කලයුතුව තිබුණා.
නඩුව ආරම්භයට පෙර චෝදනාවලට තමා නිවැරදි කරුද වැරදි කරුද යන බව විනිසුරු අසන අවස්ථාවේදී නානාවටි තමා නිවැරදි කරු බව ප්‍රකාශ කිරීමත් සමග විනිසුරු වරයා නඩුවේ ඉදිරී වැඩිදුර සාක්ෂි විභාගය ආරම්භ කරනවා.
අධිකරණයේ දී , එම අවස්ථාවේ සිනමා ශාලාවකට ගියේ ඇයිදැයි පැමිණිල්ලේ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිල්වියා පවසා සිටියේ එම අවස්තාවේ නානාවටි තමාව මරා දැමුවානම් ඒ පිළිබඳව තමාට කිසිදු කණගාටුවක් නැති බවත් දරුවන්ට එවන් දෙයක් පවසා සිටීම අපහසු නිසා එසේ කල බවත්ය.
ප්‍රේම් අහුජා සමග පැවති ඇගේ සම්බන්ධතාවය නානාවටි දික්කසාද කොට ප්‍රේම් සමග විවාහ වන ලෙස ඉල්ලන තෙක්ම දුර දිග ගිය එකක් බවත් එය කිහිප වතාවක්ම ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වී තිබුණ කාරණාවක් බවත් අධිකරණය හමුවේ, ඔවුන් අතර හුවමාරු වුණ ලියුම් කිහිපයක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් ප්‍රකාශ වුණා.
තවද එම අවස්ථාවේ නානාවටි සියදිවි හානි කර ගැනීමට තැත් කල බවත් ඇය විසින් ඔහු අත කිසිදු වරදක් නොමැති බව පහදා දීමෙන් පසුව එම අදහස ඔහු සිතින් ඉවත් කිරීමට කටයුතු කල බවත් ඇය ප්‍රකාශ කොට තිබුණා.
මෙමගින් පැමිණිල්ල ඔප්පු කිරීමට උත්සාහ කලේ නානාවටි මරණය සිදු කල අවස්ථාවේ ඉතාම සන්සුන් ලෙස සිටි බවත් ,මරණයක් සිදු කිරීමට තරම් අධික ක්ෂණික කෝපයක් ඔහු තුල නොවූ බවත් ය.

- ජූරිය-

අධිකරණය හමුවේ නඩු විභාගය පැවැත්වෙන අවස්තාවේ පාර්සි ජාතික ආර්.කේ.කනන්ජියා ට අයත්  Blitz පුවත්පත මගින් නානාවටි ට සහාය පලකෙරෙමින් තියුණු මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන ගිය අතර නාවුක හමුදාවේ සහ පාර්සි ජන කොටස් වල සහාය නොඅඩුවම එයට ලැබුණා.මේ හේතු කොටගෙන ජූරිය විසින් නඩුවේ මූලික අරමුණ වන නානාවටි විසින් ප්‍රේම් මරා දැමුවේ කවර හේතුවක් මතද යන්න වෙනුවට ප්‍රේම් අහුජා විසින් සිදු කරන ලද විවිධාකාරයේ අවකල් ක්‍රියාවන් වෙත අවධාණය යොමු වීම නිසා හැඟීම් අනුව ගිය ජූරිය නිවැරදී තීණ්දුවක් ලබා දීමට සමත් වන්නෙ නෑ.
ඔවුන් මූලික නඩු විභාගයෙන් අනතුරුව 1/8 ලෙස බහුමතයෙන් තීරණය කරන්නේ නානාවටි නිවරද කරු බවයි.

මේ අනුව ජූරියේ නිර්දේශය අනුව  මගින් තීන්දුව ලබා දෙනු වෙනුවට විනිසුරු රාටිලාල් භායිචන්ද් මෙහෙතා විසින් නඩුව බොම්බයි මහාධිකරණයට යොමු කරනවා.

- මහාධිකරණය -

මහාධිකරණයේදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් එවක තරුණ නීතීඥ වරයෙක් වුණ පණ්ඩිත් රාම් ජෙත්මලානි (ජෙසිකා ලාල් නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි) පෙනි සිටි අතර විත්ති පාර්ශවය වෙනුවෙන් කාල් කන්දාලාවාලා පෙනී සිටියා.

මහාධිකරණය හමුවේ;මූලික අධිකරණයේදී සාධාරණ ලෙස පිළිතුරු නොලද ප්‍රධාන පැනයන් හතරක් වුනා.

 
  1. මූලික අධිකරණ විනිසුරු වරයා විසින් ජූරිය වෙත සාධණ භාරය හදිසි අනතුරකින් මරණය සිදු වුවාද සැළසුම් සහගත ලෙස මරණය සිදු වූවාද යන්න බව වැරදි සහගත ලෙස උපදෙස් ලබා දීම. 
  2. ක්ෂණික කෝපය ඇති වූ අවස්ථාව කුමක්ද යන්න.එනම් සිල්වියා විසින් පාපොච්චාරණය කල අවස්ථාවද නැතහොත් ප්‍රේම් අහූජා හමුවීමෙන් පසුව සිදුවූ යම් සිද්ධියක්ද යන්න. 
  3. නඩුවට සබඳතාවයක් නැති තෙවන පාර්ශවයක යම් ක්‍රියාවක් නිසාද ඇති වුණ කෝපයක් නිසා මරණය සිදුවිය හැකි බව මූලික අධිකරණ විනිසුරු වරයා ජූරිය වෙත පවසා සිටීම. 
  4. සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීම යනූ සාධාරණ පිරිසකගේ සිත් වල සාධාරණ සැකයක් ඇති නොවන ආකාරයෙන් ඔප්පු කිරීමය ...
යන කාරණායි.
මෙම ප්‍රධාන කාරණා හතරෙහි වලංගු භාවය දුටු මහාධිකරණය නඩු විභාගය සඳහා අවසර ලබා දීමත් සමගම විත්තියේ සහ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කිරීම ආරම්භ වුණා.

මෙහිදී විත්ති පාර්ශවය විසින් මතු කල කාරණා වුයේ..
  • නානාවටි විසින් මරණය සිදු කිරීම ඇසින් දුටු කිසිවෙකු නොවීම.නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනා හුදු සාක්ෂි කරුවන් මිස මරණය ඇසින් දුටු සාක්ෂි කරුවන් නොවූ බැවින් ඔවුන්ගේ සාක්ෂිය ප්‍රභල නොවීම. 
  • මරණය ඔප්පු කිරීමට වෙනත් කිසිදු සාක්ෂියක්ද පැමිණිල්ල සතුව නොවීම. 
  • නානාවටි ප්‍රේම් ගේ නිවසට ගොස් බහින් බස් වීමකින් අනතුරුව වෙඩි තැබීමට පිස්තෝලය ගන්නා අවස්ථාවේ ප්‍රේම්ද එය උදුරා ගැනීමට තැත් කිරීමේදී ඇති වුණ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ප්‍රේම් අතින්ම තමාට වෙඩි වැදීම .
යන කාරණායි.

පැමිණිල්ල විසින් ඉදිරිපත් කල කාරණා වුනේ.
  •  ස්නානයෙන් පසුව තුවායක් ඇඳන් පැමිණි ප්‍රේම් සමග ගැටුමක් ඇති වුයේ නම් තුවාය ගැලවී යාම හා සුදු පැහැ තුවායේ කුණු තැවරීම අමුතුවෙන් කිවයුත්තක් නොවන බවත්, ඡායා රූප වල ප්‍රේම් ඉතාම පිරිසිදු සුදු තුවායක් මනාව හැඳ සිටිව බවත් ය. 
  • එම අවස්ථාවකදී ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ප්‍රේම් අතින්ම වෙඩි වැදුනානම් එය එක් වරක් පමණක් මිස තුන් වරක් විය නොහැකි බව. 
  • බිරිඳගේ පාපොච්චාරණයෙන් පසුව ක්ෂණික කෝපයක් ඇති වුණා යැයි උපකල්පනය කලද සිනමා ශාලාවටත් එතැනින් නාවුක හමුදා කඳවුරටත් ගොස් ව්‍යාජ සටහනක් යොදා පිස්තෝලයද රැගෙන ඉන් පසුව ප්‍රේම් ගේ කාර්යාලයටද ගොස් අවසන නිවසට යන තෙක්ම ක්ෂණික කෝපය පැවතුනාද යන්න ගැටළු සහගත බව. 
  • ප්‍රේම්ගේ නිවසේදී යම් කෝපගන්වන සුළු දෙයක් සිදු වුණා නම් ,කෙනෙකුගේ මරණය සිදු කිරීමට තරම් අධික ක්ෂණික කෝපයක් ගෙන දෙන ඒ සිදු වීම කුමක්ද යන්න විත්තිය විසින් අධිකරණය හමුවේ සාධනය නොකල බවත්. 
  • මෙහෙකරු අන්ජානිගේත් සොහොයුරිය මාමි අහුජාගේත් සාක්ෂි වලට අනුව නානාවටි නිවසට ඇතුළු වී විනාඩි 3ක් හෝ 4ක් වැනි සුලු කාලයක් තුල සියල්ල සිදු වී ඇති බැවින් ඒ කාලය තුලදී විත්තිය විසින් පවසන සියලුම දෑ සිදුවිය හැකිද යන්න පිළිබඳව සාධාරණ සැකයක් ඇති වන බවත්.
යන කාරණාය.

මෙහිදී දෙපාර්ශවයේම සාක්ෂි විමසීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා, කේ.එම්.නානාවටි විසින් ප්‍රේම් අහුජාව ක්ෂණික කෝපයකින් තොරව සැළසුම් සහගතව මරණයට පත්කොට ඇති බව සාධාරණ සැකයකිව් තොරව ඔප්පු කිරීමට සමත් වී ඇති බැවින් නානාවටි චෝදනාවට වරද කරු බවත් ජීවිතාන්තය තෙක් සිර දඬුවමත් තීන්දු කරනවා.

- ඇපෑල-

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කල ඇපෑල විභාගයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණ තීන්දුව සනාත කරමින් 1961 නොවැම්බර් 24 දින සිය තීන්දුව ලබා දුන්නා.

- පසු සිදුවීම්-

නඩුව විභාග වන අවස්තාවේ සිල්වියා සෑම අවස්ථාවකම සිය සැමියාට පක්ෂව කටයුතු කලා.
 Blitz ඇතුළු විවිධ පුවත්පත් මගින් නානාවටිගේ අවංක බව, ඔහු ලබා සිටි කීර්තිය,අපරාධ වලින් තොර අතීතය යන කාරණා ගැන සමාජය හමුවේ තබමින් සමාජය කැළඹීමට සමත් වුණා.
සාමාන්‍යයෙන් පැයිසා 25ක් වන පුවත් පත නඩුව සමයේ සහ නඩුවෙන් පසුවද රුපියල්.2 බැගින් අලෙවි කල බවද වාර්තා වෙනවා.
විශාලතම විරෝධතාවය වුන කොවාජි ජෙහන්ගීර් ශාලාවේ පැවති විරෝධතාවයේදී ශාලාව තුල 3500ක පිරිසක්ද ශාලාවෙන් පිටත් 5000කට ආසන්න පිරිසක්ද රැස්ව සිටි බව වාර්තා වෙනවා.
තවද අධිකරණය ඉදිරියේ වෙලෙන්දන් ප්‍රේම් ඇඳ සිටි ආකාරයේ සුදු තුවා සහ නානාවටි භාවිතා කළ පිස්තෝලය ආකාරයේ සෙල්ලම් පිස්තෝලද විකිණූ බව වාර්තා වෙනවා.
සමාජයේ ඇති වුණ කැළඹීම හේතු කොටගෙන මාමි අහූජා විසින් නානාවටිට සමාව ලබාදෙන බවට කල ලිඛිත ප්‍රකාශය පදනම් කරගෙන එවක මහාරාශ්ඨ්‍ර ආණ්ඩුකාරවරිය වූ ද සහ අගමැති පණ්ඩිත් ජවහර්ලාල් නේරුගේ සොහොයුරිය වූද ලක්ෂ්මී පණ්ඩිත් විසින් සිර ගෙදර වසර තුනක් ගෙවීමෙන් අනතුරුව නානාවතීට සමාව ලබා දෙනවා.
                                                                                                                                              (MR Governor Lakshmi Pandith)
 නානාවටිට සමාව ලබා දීමෙන් සින්ධි ජනතාව කෝපකාරීව හැසිරීම වැළැක්වීමට සින්ධි ජාතික සිරකරුවෙකුටදසමාව දීමට කටයුතු යෙදුනා.
මෙම නඩුව අවසානයත් සමගම ඉන්දීය රජය විසින් ජූරි සභා ක්‍රමය අහෝසි කරමින් නව නීතියක් ගෙන ආවා.ඊට මෙම නඩුවේ දී මූලික අධිකරණ ජූරිය හැසිරුණු ආකාරය ආසන්නතම හේතුව බව ඉන්දීය නීති විශාරදයන් පවසා තිබෙනවා.

සමාව ලැබීමෙන් පසු නානාවටි සහ පවුල වහාම කැනඩාව බලා පිටත් වෙනවා.
2003 දී නානාවතී මිය යන තෙක්ම සිල්වියා නානාවතී සමග විසූ බව වාර්තා වෙනවා.

මෙම සිදුවීම් මුල් කරගෙන
1963 දී "යේ රාස්තේ හේ ප්‍යාර් කී "
1973 දී "අචානක් "
2016 දී "රුස්තම්"

ලෙස සිනමා පට තුනක්ද විවිධ නව කතා හා කෙටිකතාද ලියැවී තිබෙනවා.

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters