කොළඹ වීදියකදී.....06 - "රතු සුදු"



කොළඹ නගරයේ ඇවිදිනකොට අපිට හම්බ වෙනවා තැන් කිහිපයකම රතු සහ සුදු පැහැයන්ගෙන් පින්තාරු කරන ලද බ්‍රිතාන්‍ය යුගයට අයත් ගොඩනැගිලි කිහිපයක්ම..කියපු ගමන් මතක් වෙන්නෙ රතුපාට බිත්ති සහ ජනෙල් ,දොරවල් සහ බිත්තියේ කැපූ විවිධාකාරයේ කැටයම් (මෝලඩිං) සුදු පැහැයෙන් වර්ණ ගන්වපු පරණ තාලෙ ගොඩනැගිලි නේද?...මෙම ගෘහනිර්මාණ ක්‍රමය 'එඩ්වඩියන් බැරොක්' ශෛලිය ලෙස හඳුන්වනවා. මූලිකවම එම ශෛලියේ 18 වන සියවසේ ප්‍රංශ ආභාශය රැගත් බ්‍රිතාන්‍ය ශෛලියක්.එහි දී ඇතැම් අවස්ථා වල ගොඩනැගිලි ධවල හෝ බොර පැහැයෙන් පින්තාරු කල අතර ඇතැම් අවස්ථා වල රතු සහ සුදු හෝ රතු සහ කහ පැහැයෙන් පින්තාර කරන්න යෙදුනා...එය ගැන වැඩි දුර ලිවීමට මා බළපොරොත්තු වන්නෙ නැහැ.
මේ ගොඩනැගිලි ඇතැම් ඒවා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ වන අතර සමහරක් ඒවා ඉන්දීය මුඝල් සම්ප්‍රදායික ලක්ෂණ මුසු ඒවා...කෙසේ වුවත් මෙමෙ ගොඩනැගිලි කොළඹ නගරයට අලංකාරයක් මෙන්ම ප්‍රෞඩ බවක් එකතු කරනවා...
ඉතින් මේ කියන්න යන්නෙ ඒ වගේ ගොඩනැගිලි කිහිපයක් ගැන...
රතු සහ සුදු පැහැ ගත් මෙමෙ ගොඩනැගිලි ගැන කතා කරද්දි ඕනෑම් කෙනෙකුට පළමුවරට සිහියට නැගෙන ගොඩනැගිල්ලක් තියෙනවා...ඒ වෙන මොකක්වත් නෙමේ , කොළඹ නගරයේ හදවත වන් කොළඹ කොටුවෙහි, යෝක් වීදියෙහි පිහිටා තිබෙන 'කාගිල්ස් මිලර්ස් ගොඩනැගිල්ලයි'.1844 දි 'විලියම් මිලර්ස් ' සහ 'ඩේවිඩ් සිම්' විසින් ඉදිකරවනු ලැබූ මෙම ගොඩනැගිල්ල වර්තමානයේ කොළඹ නගරයේ ඉතිරිව ඇති පැරණිම ගොඩනැගිලි වලින් එකක්. මෙතැන මීට පෙර පිහිටි ගොඩ නැගිල්ල ප්‍රථමයෙන් කොළඹ කොටුවෙහි ලන්දේසි කපිතාන් 'පීටර් ස්ලස්කන්' ගේ නිවස්න වුණ අතර පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර 'ෆෙඩ්‍රික් නෝත්' ට ද සෙවන සැලසුවා. 1896 දී කාගිල්ස් සමාගම විසින් මිලට ගන්නා මෙම ගොඩනැගිල්ල වර්තමානයෙත් 'කාගිල්ස් සිලෝන් ලිමිටඩ්' සමාගමට නිවස්න වෙනවා.(මෙම ගොඩනැගිල්ල ගැන වෙනම ලිපියක් පසුවට ).

කාගිල්ස් ගොඩනැගිල්ල පසුකරන් යෝක් වීදිය දිගෙ දකුණු දෙසට විත් පහල චැතම් වීදියට හැරෙන විටම දකින්න පුළුවන් පැරණි 'කොටුව පොලිස් ස්ථානය' පිහිටි ගොඩනැගිල්ල. 1932 දී මෙම ගොඩනැගිල්ලෙහි පිහිටවූ කොටුව පොලිස් ස්ථානය 2012 ජනවාරි මසදී ජනාධිපති මාවතට ගෙනයන තෙක්ම එතැන පැවතියා.මේ වන විට එම ගොඩනැගිල්ල අළුත්වැඩියා කෙරෙමින් පවතින අතර නොබෝ දිනකින් වඩාත් අලංකාරව එය නැවත දැකගත හැකි වෙතැයි සිතනවා.


යෝක් වීදියේදීම අපට තව මෙවන් ගොඩනැගිලි කිහිපයක් හමු වෙනවා. ඉන් එකක් තමයි 'ඔස්ට්‍රේලියා ගොඩනැගිල්ල'.මෙම ගොඩනැගිලි 1900 දශකයේ මුල්යුගයේ ඉදිකොට තිබෙන අතර මුඝල් සම්ප්‍රදායේ ලක්ෂණද දක්නට ලැබෙනවා.උදාහරණයක් විදිහට කිවහොත් මහා මාර්ගය දෙසට පිහිටා ඇති ජනෙල් සහ දොරවල් වල ලක්ෂණ පැහැදිලිවම මුඝල් ශෛලිය පෙන්නුම් කරනවා.මෙම ගොඩනැගිලි ඉදිවීමට ප්‍රථම එහි 1600 ගණන් වලදී ලන්දේසි වෙළඳ සමාගක් පිහිටි බව කියවෙනවා.


කොළඹ කොටුවේ,ලේඩන් බැස්ටියන් වීදියේ පිහිටි 'වෝකර්ස් සන්ස් ඇන්ඩ් කම්පනි ලිමිටඩ්'ගොඩනැගිල්ලත් මේ අතරට වැටෙනවා.හැබැයි මේ ගොඩනැගිල්ලේ නම් මුලින් කී හෝ පසුවට කියවෙන්න තියෙන ගොඩනැගිලි වල දක්නට ලැබෙන කලාත්මක ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ දකින්න ලැබෙන්නෙ නෑ.ගොඩනැගිල්ලෙ ඉදිරිපස , සමාගමේ නමට ඉහලින් 1854 දී පිහිටුවන ලද බව සඳහන් වනවා.

ඇවිදගෙන ඇවිදගෙන ගිහින් යෝක් වීදියෙන බාරොන් ජයතිලක මාවතට හැරිලා යනකොට රතු සහ සුදු ආලේප කල එක ලඟ පිහිටි ගොඩනැගිලි දෙකක් දකින්න ලැබෙනවා.ඉන් එකක වර්තමානයේ ඉන්දියානු බැංකුව පිහිටන අතර එය වෝකරස් ඇන්ඩ් සන්ස් සමාගමෙ මුල් ගොඩනැගිල්ල වුණා.1881 දී ඉදි වුණ මෙමෙ ගොඩනැගිල්ලත් පැරණිම කොළඹ කොටුවෙන් ඉතිරි වී ඇති ගොඩනැගිලි වලින් එකක්.අනිත් එක තමයි 'ස්ටේට් ෆාමා බිල්ඩිං' එහෙමත් නැත්තම් 'රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව' පිහිටි ගොඩනැගිල්ල.අක්කයි නංගියි වගේ මේ ගොඩනැගිලි දෙකම එක ලඟ ට වෙලා ශතවර්ෂ දෙකකට වැඩි කාලයක් තිස්සේ කොළඹ නගරයේ සිදු වුන වෙනස්කම් දෙස බලා ඉන්නවා.

කොළඹ කොටුවෙ ඇවිද්දා මදැයි...ටිකක් එහාට ගිහින්, නගර ශාලාවත් පහු කරලා 120බස් පාරට හැරෙනකොටම පෙනෙන්න තියෙන්නෙ පොලිස් රෝහල.කොළඹ නයනාරෝග්‍යශාලාවට අල්ලපු වැටේ ඵපිහිටා තිබෙන මෙම ගොඩනැගිල්ලත් රතු සහ කහ පැහැයන්ගෙන පින්තාරු කරන ලද අලංකාර සහ පැරණි ගොඩනැගිලිවලින් එකක්. මෙම ගොඩණගිල්ල සම්බන්ධ තවත් කතාවක් වණුයේ ,වත්මන් පාර්ළිමේන්තුවේ සෙංකෝලය නිර්මාණය කර නිර්මාණ ශිල්පියා එහි ඇති ගෝලාකාර හැඩයට අදහස ලබාගෙන තිබෙන්නේ මෙම ගොඩනැගිල්ලෙහි පිහිටි මුස්ලිම් සම්ප්‍රදායේ ගෝලාකාර කොත ආශ්‍රයෙන් වීමයි. 


මෙහෙම දිගටම ගිහින් නිදහස් මාවතට හැරිලා ගිහින් ආපහු ෆිලිප් ගුණවර්ධන මාවතට හැරිල ටිකක් ඉස්සරහට යද්දි දකින්න ලැබෙන්න අභිමානවත් විදිහට වැජඹෙන 'රාජකීය විද්‍යාලයයි'.බ්‍රිතාන්‍ය රජ මාළිගයක ස්වරූපයට නොදෙවනි වන ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ රැගත් රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවත් මා කියන ආකාරයේ 'එඩ්වඩියන් බැරොක්' සම්ප්‍රදාය ගත් රතු සහ සුදු පැහැති අලංකාර ගොඩනැගිල්ලක්.මෙහි විශේෂත්වය නම් රතුපැහැය එහි අල්ලා ඇති ගල්වලින්ම ලැබී තිබීමයි.1800 ගණන් වලදී ඉදි වුණ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවෙ ඉහලින් එහි ආදර්ශ පාඨය වන "Disce aut discede" යන්න සටහන්ව තිබෙනවා(ඩිස්කේ අම්මට ඩිස්කාඩි නෙමේ ඈ )..

රාජකීය විද්‍යාලය පසුකොට රීඩ් මාවත දිගේ ගොස් හැව්ලොක් පාර දිගේ තිඹිරිගස්යාය පැත්තට යද්දි හම්බ වෙනවා 'පොලිස් පාක්'.මේ පොලිස් පාක් හි පිහිටි 'පොලිස් ක්ෂේත්‍ර බලකා මූලාස්ථාන' යේ ප්‍රධාන ගොඩනැගිල්ලත් , ක්‍රීඩාංගණයට එහායින් තිබෙන ගොඩනැගිල්ලත් මා කියන ලක්ෂණ රැගත් බ්‍රිතාන්‍ය යුගයට අයත් ගොඩනැගිලි දෙකක්.මෙම ගොඩනැගිලි රතු සහ කහ පැහැයන්ගෙන් සමන්විත වෙනවා.
දෙවන හරස් වීදියේ පිහිටි මුස්ලිම් මහ පල්ලිය නැතිනම් රතු පල්ලිය ලෙස හඳුන්වන පුස්ලිම් දේවස්ථානයත් රතු සහ සුදු පැහැයෙන් වර්ණ ගැන්වූ අලංකාර ගොඩනැගිල්ලක්. ඉහතින් කී සෑම ගොඩනැගිල්ලකටම වඩා මෙය වෙනස් වන්නෙ එය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම නොව , සම්පූර්ණයෙන්ම මුස්ලිම සම්ප්‍රදායන් රැගත් ගොඩනැගිල්ලක් වීමයි.

දැන් යන්නට හදන්නෙ මේ ප්‍රදේශයන්ගෙන් වෙනව වෙනත් ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලකට .ඒ තමයි මරදාන තාක්ෂණ විද්‍යාලය.දැන් මතක් වුණා නේද?....

මේ වගේ කොළඹ නගරයට අලංකාරයක් සහ පෞරාණික ප්‍රෞඩ පෙනුමක් ලබාදෙන ,මෙවන් ගොඩනැගිලි තව ඇති.....
කොළඹ වීදියකදී නැවත හමුවෙමු....

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters