Beyond reasonable doubt,සාධාරණ සැකයෙන්බඔබ්බට...... - 10 "සොයිසා සහ පුත්‍රයෝ"


ඇලෙක්සැන්ඩර් වසන්ත වික්‍රමසිංහ සොයිසා අනුරාධපුරයේ විසූ ප්‍රසිද්ධ පුද්ගලයෙක්.පාසල් කාලයේ සිටම සිය පියා නිසා ප්‍රකටව විසුවත් එය ඔහුට කරදරයක් ම වූ බැවින් පාසල් ගමන මග නතර කිරීමට ඔහුට සිදු වෙනවා.මින් පසු කරාටේ ක්‍රීඩාව ඉගෙන ගන්නා ඔහු එහි පාර ප්‍රාප්තව ලංකාවේ සිටින කරාටේ සෙන්සේ වරැන්ගෙන් එක් අයෙක් බවට පත් වෙනවා.
මීට අමතරව ඔහුගේ විනෝදාංශයක් වුයේ ගිනස් වාර්තා තැබීමයි.

• උළු කැට 525 ක් සිරුර් ගසා කඩා දැමීම

• හිසෙන් සිමෙන්ති ලෑලි කඩා දැමීම 

වැනි වාර්තා 10ක් තැබූ ඔහු වැඩිම ගිනස් වාර්තා ප්‍රමාණයක් තැබූ තනි පුද්ගලයන්ගේ ලැයිස්තුවටද ඇතුළත් වෙනවා.
විවිධ රැකියා කල ඔහු ලංගම..ලංවිම..ආදියෙහිද පසුව වෙළදාමද කල අතර අවසානයේ අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ ඔහුට හිමි බිමක පැනෝරමා නමින් නිවාඩු නිකේතනයක් ආරම්භ කලා.
මීට අමතරව කරාටේ ඉගැන්වීමෙන්ද ඔහු අතිශය ජනප්‍රිය වී සිටියා.
ප්‍රදේශයේ ප්‍රභල දේශපාලනඥයන්ගේ ආශිර්වාද ලත්තෙක් වීම කරණ කොට ගෙන මොහුට සිය ව්‍යාපාරය පුළුල් කොට එයට තැබෑරුමක්..සමාජ ශාලාවක් ද එකතු කොට අනුරාධපුර ප්‍රදේශයේ සුපිරියැයි සැළකුණ හෝටලයක් බවට පත් කිරීමට සමත් වෙනවා.
අනුරාධ පුර පූජා භූමිය තුල සමාජශාලාවක් පළමු වතාවට විවෘත කල සමයේ සමාජයේ විවිධ විරෝධතා ඇති වුනත් දේශපාලන බල පුලුවංකාරකම මත ඒ කිසිවක් මායිම් කලේ වසන්ත සොයිසා නෙමේ.
එකල එක්තරා ජාතික පුවත් පතක ඔහු සමග කල සාකච්ඡාවක මෙසේ සටහන්ව තිබුණා මට හොඳින් මතකයි.


"..කොළඹ කොල්ලන්ට විතරද කෙල්ලෙක් බදාගෙන ඩාන්ස් පාරක් දාලා ආතල් ගන්න පුලුවන්..අනුරාධපුරේ උන්ට හොඳ නැද්ද..."

"මේකෙ ලස්සන කෙල්ලො හිටියත් ඔවුන් අනවශ්‍ය දේට යොමු කරලා නෑ..යොමු වුණත් ඔවුන් වැඩිහිටියන් නිසා මට කරන්න දේකුත් නෑ...."

මෙසේ කරදරයකින් තොරව රාත්‍රී 6 සිට මැදියම් රැය වන තෙක් දිනපතා පවත්වාගෙන ගිය සමාජ ශාලාවේ ආහාර පාන මිල අධික වුණා. ඇතැම් අවස්තා වල බිල් රුපියල් 50,000 ඉක්මවූ බව පැවසෙනවා.

1989 උපන්, ඒවකට වයස 26 ක තරුණයෙක් වූ ඉරෝන් රණසිංහ මේ සමාජ ශාලාවට ආපු ගියපු කෙනෙක්.
ඉරෝන් අනුරාධපුරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබා 2007 දි පමණ හමුදාවට එක්වීම සඳහා විශේෂ බලකාය තෝරා ගන්නවා. අතිශය අපහසු විශේෂ බලකා පුහුණුව අවසන් කිරීම ඉතාම අසීරු කරුණක් වන අතර එය අවසන් කරන අයට විශේෂ බලකා සෙබලෙක් ලෙස එක් විය හැකි වෙනවා.
මූලික පුහුණුව අතරේ ක්‍රීඩා කිරීමේදී ඇති වන ආබාධ තත්වයක් නිසා මූලස්ථානයේ ප්‍රතිකාර සඳහා මොහුව යොමු කරනවා.පසුව ඔහු හමුදාවෙන් ඉවත් වීමට අවසර පැතුවත් එය ලැබෙන්නෙ නෑ.


දවසක් සමාජ ශාලාවේ සිය මිතුරන් සමග විනෝදවී බිල ගෙවීමට යාමේදී එය රුපියල් 83,000 ක් පමණ වන බැව් දැන සමාඡ ශාලා කාර්යමණ්ඩලය හා වසන්ත සොයිසා සමග ගැටුමක් ඇති කර ගන්නා ඉරෝන් හට සිදු වන්නෙ වසන්තගෙන් පහර කා රාත්‍රීය පුරා දණ ගසා සිටීමටයි.ඉරෝන් ගේ සිතේ වෛරයක් ඇති වන්න මෙය හේතූ වූවා. එපමණකින් නොනැවතී වසන්ත පැනෝරමා සමාජ ශාලාව ඉරෝන් ට තහනම් කලාපයක් බවට පත් කරනවා.
2015 ජූනි 29 නැවත පැනෝරමා සමාජ ශාලාවට ගියත් ඇතුල් වීමට අවසර නොදීම කරණ කොට ගෙන ඉරොන් වෙරයෙන් ආපසු එනවා.2015 ජූනි 29 දින වසන්ත ගේ හෝටලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අතර එය ඉරෝන් ගේ වැඩක් බව වසන්ත ප්‍රකාශ කර සිටියෙන් ,තමා විසින් එසේ නොකලද පොලිසිය තමාව අල්ලා ගනී යැයි සැක සිතූ ඉරෝන් අනුරාධපුරයෙන් වසන්ව සැඟව සිටිනවා.මේ අතර හමුදාවට වාර්තා නොකිරීම මත ඔහු හමුදාවෙන් පලා ගිය අයගේ ලැයිස්තුවටද එකතු වෙනවා.මේ වන විට ඔහු ලාන්ස්කෝප්‍රල් තනතුරේ සිටියා.
සැඟව සිටි කාලයේ පවා ඉරෝන් සිය FB ගිණුමේ, වසන්තගේ මාධ්‍ය සාකච්ඡා ආදියෙහි පින්තූර පල කරමින් " වසන්තගේ අළුත්ම ප්‍රමෝෂන් එක ලෙස " සටහන් තබා තිබුණා.
තමා පසු පස පොලිසිය හඹා නො එන බව තේරුණ බැවින් ඉරෝන් ක්‍රමයෙන් නැවත අනුරාධපුරයට සේන්දු වන අතර මේ වන විට ඔහු නිල නොලත් චණ්ඩියෙක් බවට පත්ව තිබූ අතර SF ලොකු මල්ලී ලෙස ප්‍රකටව සිටියා.
වසන්ත සමග උරණව සිටි හෝටල් සහ නිවාඩු නිකේතන හිමියන් මොහු වටා එක්ව වසන්තට එරෙහිව උසි ගැන්වුවා. ඔහු වටා පිරිස් ඇති කරමින් ,මුදල් හදල් දෙමින් චන්ඩියෙක් යැයි තමාටම හැගෙන ආකාරයට වැඩ කටයුතු සැලැස්සුවා..
2015 ඔක්තෝබර් 24 දින අනුරාධපුර සමනලී නිවාඩු නිකේතනයේ සාදයක් පැවැත්වුණා.ඒ SF සිය වියදමින් සිය මිතුරන්ට ලබා දුන් එකක්.එහෙත් එහි වියදම නිවාඩු නිකේතන හිමියන් දෙදෙනෙකු විසින් දැරූ බව කියවෙනවා.
රාත්‍රිය වන විට හොඳ පදමට කා බී වෙරි වී සිටි අය SF යනු අනුරාධපුරයටම සිංහයා චණ්ඩියා විරුධාවලියෙන් ඔහුව සම්මානිත කර තිබුන අතර වසන්තට හොඳ සම්බුවක් දීමටද යෝජනා කලා.
SF විසින් කලින් කල සැළසුමකට හෝ හදිසියේ පහල වූ අදහසකට හෝ කුමකට හෝ ක්‍රීයාත්මක වුන ඔහු සිය සගයන්ට, අනුරාධ පුර කඩයකින් ලබාගත් සීනි ගෝනි පලා ඒවා ඇඳ ගන්නා ලෙස පවසා දෑස් රෙදි කඩවල් වලින් බැඳ ගැනීමටද උපදෙස් දෙනවා.
පහර දීමට පොලුද සූනම් කරගත් අතර කිහිප දෙනෙක් අතේ කඩුද එක් අයෙක් අත අත් පොරවක්ද තිබී තිබෙනවා.
ලොරි රථයකින්..මෝටර් රථ දෙකකින් සහ ත්‍රී රෝද රියකින් පැනෝරමා වෙත පැමිණෙන ඔවුන් අසල නවතා තිබුනු ත්‍රිරෝද රථ සහ මොටර් රථ වලට පහර දී සමාජ ශාලාවට ඇතුළු වී රැගෙන ආ පෙට්‍රල් බෝම්බයක් මත් පැන් හල වෙත දමා ගසනවා.


මුදල් අයකැමි වෙත පැන මුදල්ද මත් පැන් හලෙන් මත්පැන් බොතල් කිහිපයක්ද සොරා ගන්නා මොවුන් විනෝද වීමට පැමිණි අයට කිසිදු හානියක් නොකිරීමට වග බලා ගන්නවා.එහෙත් ආයතනයේ කළමණා කරු වූ ශ්‍රී කාන්ත සහ සේවකයන් වූ රුවන් සහ ශ්‍රී ලාල් යන අය ගැටුමට මැදිහත්ව කඩු පහර කා බරපතල ලෙස තුවාල ලබනවා.
මේ සියල්ල ආරක්ෂිත කාමරයේ කැමරා වලින් නරඹමින් සිටි වසන්ත සොයිසා ඉහවහා ගිය කොපයෙන් සේවකයන් දෙදෙනෙකුට කඩු දෙකක් දී එවුවද පිරිස දැක ඔවුන් පලා ගියෙන් ඔහුම පැමිණෙනවා.
පැමිණ කිහිප දෙනෙකුට තමා පාරප්‍රාප්තව සිටි කරාටේ ක්‍රීඩාවේ මහිමයෙන් සළකා අතේ පොරවක් රගෙන සිටි තරුණයාට පහර දීමට සැරසුණත් ඉක්මන් වූ තරුණයා අත් පොරවෙන් වසන්තට පහර කිහිපයක් දෙනවා..ගෙලට සහ මුහුණට වැදුනු බරපතල අත්පොරව පහරවල් සමග අඩපණ වුන වසන්ත ලේ විලක් මැද ඇද වැටීමත් සමග බියට පත් පිරිස් වහ වහා එතැනින් පලා යනවා..මුලින්ම ශ්‍රාවස්ති පුරයට ගොස් ඇඳ සිටි සීනි ගෝනි සහ රෙදි පටි පුලුස්සා ..අත් පොරව තේක්ක කොලයක ඔතා වල දැමූ ඔවුන් ගෙනා මත් පැන්ද පානය කොට විසිර යනවා..පිරිසක් දහයියාගමට පලා යන අත SF සහ සොහොයුරා කොළඹට පලා යනවා...
මේ අතර සමාජ ශාලාවේ ඇද වැටී සිටි වසන්තව ඔහු ගේ පුතා විසින් රෝහල් ගත කලද ඔහු මියගොස් තිබුණා...

මේ සිදු වීමත් සමග ක්‍රියාත්මක වුණ පොලිසිය මුලින්ම සමනලී නිවාඩු නිකේතනයේ හිමි කරු අත්අඩංගුවට ගත් අතර ඔහු මාර්ගයෙන් අන් පුද්ගලයන් ගැන තොරතුරු ලබා ගත්තා..
අවසානයේ දින 3කට පසුව 25 දෙනෙක් අත් අඩංගුවට ගත් අතර අත් පොරව පහර දී වසන්ත ඝාතනය කල තැනැත්තාද ඒ අතර වුණා....
අවසානයේ තමා විසින්ම සිය බලපුලුවංකාරකම මත තනා ගත් රජදහන ම හේතු කොටගෙන එතුල ම වසන්ත සොයිසා මැරී වැටුනේ මීට වසර ගණනාවකට පෙර සිය පියාට අත් වූ ඉරණම මතක් කරමිනි...




 ඒ කවුද? මොනවද කලේ?

1915 උපන් ඇල්ෆ්‍රඩ් සොයිසා තරුණ වියට පත්ව එක්සත් ජනපදය බලා පිටත් වන්නෙ වෛද්‍ය වරයෙක් වීමටය (තතු දන්නා අය පවසන්නේ එසේ වුවද ඔහු නියම වෛද්‍යවරයෙක් නොව හොර වෛද්‍ය වරයෙක් වූ බවයි.ඇමරිකා වේ දී මුදල් නාස්ති කරමින් විසූ බවයි.)
ලංකාවට පැමිණි ඇල්ෆ්‍රඩ් සොයිසා දෙල්ගොඩ ප්‍රදේශයේ ඩිස්පැන්සරියක් පවත්වාගෙන ගිය අතර ඊට අමතරව තැබෑරුම් හිමියෙක්ද සහ ඉඩම් හිමියෙක්ද වෙනවා. මේ මහිමයෙන් එවකට ලංකාවේ විසූ කීර්තිමත් සහ කෝටිපති සොයිසා වරුන්ගේ නම් සමග ඇල්ෆ්‍රඩ් සොයිසාගේ නමත් කියැවුණා...

කලත්තෑව ප්‍රදේශයේ ඔහුට හිමිව තිබුණ අක්කර 400 ක පමණ ඉඩමේ ගොව්පලක් පවත්වාගෙන ගිය ඇල්ෆ්‍රඩ් ගොවිපලට මුවාවෙන් විවිධාකාරයේ නීති විරෝධි ක්‍රියා කරගෙන ගියා....
දශක දෙකක් වැනි කාලයක් තුල ඇල්ෆ්‍රඩ් අතින් මේ භූම්ය තුලදී කී දෙනෙක් මිය ගියාදැයි පැවසීම අපහසුයි... මිනිසුන් මරා දැමීමට ඔහු භාවිතා කල එක් ක්‍රමයක් වුනෙ විෂඝොර සර්පයන් ලවා මිනිසුන්ට දෂ්ඨ කරවීමයි.මෙමගින් ඒවා ස්වාභාවික මරණයන් බවට ඒත්තු ගැන්විය හැකි වුණා..
ඇල්ෆ්‍රඩ් ගේ උදව්වුට තව දෙදෙනෙක් මේ ගොවිපලේ සිටියා..ඒ රාගම විලී මාමා සහ කළු ඇල්බට් ය.
මෙකල ඇල්ෆ්‍රඩ් සමග තරග කල යාපනයේ රේන්ද ව්‍යාපාරිකයෙක් ට පහර දී මුදල් කොල්ලකන්නේද මේ සහායකයන් දෙදෙනා විසිනි.
කොල්ලකෑමෙන් පසු ඊට යොදා ගත් එවක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්ට අයත්ව තිබුණා යැයි කියන වාහනය කලත්තෑව ඉඩමේ වළලා දැමූවා.
මේ අතර වැටුප් ඉල්ලූ සේවකයන් දෙදෙනෙක් වන තලංගම පී.කේ.ඩී. පෙරේරා සහ කොටහේනේ ජුලියස් සුන්දර් සාගර් යන අයවළුන්ව සාහසික ලෙස මරා දමන්නෙ කාටත් හොරෙන් බව ඇල්ෆ්‍රඩ් සිතුවත් සේවකයෙක් ඒ බව දැන සිටියා.
රහස එලි වන්නෙ ඔහු ගෙන්..
පරීක්ෂණ මෙහෙයවූ උප පොලිස් පරීකෂක නලින් දෙල්ගොඩ මහතා ඇල්ෆ්‍රඩ්ගේ මුදලට යටත් නොවී එය සිදු කලෙන් අපරාධ කරැවන් නීතිය හමුවට පැමිණවෙනවා...
මල සිරුරු සොයාගැනීමකින් තොරව කල පරීක්ෂණයක මිනී මැරීම ඔප්පු කළ යුතුව තිබූ බැවින් එය භාරදූර එකක් වුණා.(මගේ පළමු ලිපිය පොරවෙගම නඩුව මතක් කර ගන්න)
ජුවන් අප්පුගෙ සහ විල්සන්ගේ සාක්ෂි අනුව කලත්තෑව ඉඩමේ පිලිස්සුම සහිත තැන් පරීක්ෂා කිරීමට ලක් කෙරුණා. ඒ අවට පසට ඩීසල් මුසුව ඇති බව පරීක්ෂණ වලින් සනාත කෙරුණා. මෙම ස්තානයේ තිබි අස්ථි කොටස් සහ හම් පටියක කොටස් 123ක් සොයා ගත් අතර රස පරීක්ෂක කණ්ඩායම මෙම කොටස් 123 සම්බන්ධ කොට එය ඉන බඳින පටියක ආකායට සකස් කල අතර එය සිය පිසා ඉන බැඳ පටියට බෙහෙවින් සමාන බව පි.කේ.ඩී.පෙරේරාගේ වැඩිමහලු පුත්‍රයා හඳුනා ගන්නවා.
මීට අමතරව ශ්‍රී 3802 මෝටර රථය වළලා දැමු ස්ථානය එවන් ස්ථානයක් ලෙස කෙසේවත් සිතිය නොහැකි ආකාරය කුඹුරක් ලෙස සකස් කොට තිබුණා.
මෙම රථය වළලා දැමීම සම්බන්ධයෙන් සොයිසා පවසා තිබුණේ එය සිය මිතුරෙක්ට අයත් බවත් එය සඟවා තැබීමට ඔහු උපකාර ඉල්ලූ බැවින් සිය ඉඩමේ වළලා දැමූ බවත්ය.
කලත්තැඅව අක්කර 400 ක ඉඩම තුලින් විවිධාකාර වූ සාක්ෂි මතු කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම සමත් වුණත් මේ සා විශාල ඉඩමක හමු වූ දෑට වඩා හමු නොවූ දෑ වැඩි විය හැකි බව මම සිතමි..

- නඩුව -

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ මුලික විභාගයෙන් පසු එය කොළඹ මහාධිකරණයට යොමු කිරීමට මහේස්ත්‍රාත් වරයා නියෝග කරණවා..ඒ අනුව 1969 ඔක්තෝබර 26 දින කොළඹ මහාධිකරණයේදී නඩු විභාගය ආරම්භ වූ අතර පැමිණිල්ල වෙනුවෙන් එවක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ටී.ඒ.විජේසුන්දර මහතාත් රජයේ අධි නීතීඥ වරුන් වන පර්සි කොලින්කම් මහතාත් දයා පෙරෙරා මහතාත් කෲලන් රත්නසාර මහතාත් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් එවක සුප්‍රකටම අපරාධ නීතීඥයන් වුණ රාජ නීතීඥ දෙපලක් වූ ඒ.එච්.සී.ඩී.සිල්වා මහතාත් පී.ජී.පොන්නම්බලම් මහතාත් පෙනී සිටියා.
සාක්ෂි කරුවන් 200ක් සහ විවිධ නඩු භාණ්ඩ 274 ක් සාක්ෂි ලෙස ලැයිස්තු ගත කර තිබුණු අතර විත්තියට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරවීමට සේවකයන් 64 දෙනෙක්ගෙ සාක්ෂි ලබා ගත්තා..සාක්ෂි විද්‍යාත්මකව නිරවද්‍යතාවය සනාත කරවීමට එවක සුප්‍රකට අධිකරණ වෛද්‍ය වරයෙක් වුණ ඩබ්.බී.එල්. ප්‍රනාන්දු මහතාගේත් මහාචාර්ය ජයවර්ධන මහතාගේත් සහ රජයේ රස පරීක්ෂක මුත්තයියා කුමාරස්වාමි මහතාගේත් සේවය පැමිණිලි පාර්ශවයෙන් ලබා ගත්තා.මොවුන්ගෙන් සහ පොලිස් කණ්ඩායමෙන් ඉතා තදින්,විත්තියේ නීතීඥ වරුන්, හරස් ප්‍රශ්න කලද ඔවුන්ගෙ සාක්ෂි නොසැලී සිටීමම පැමිණිල්ල ශක්තිමත් කිරීමට හේතු වුණා..
මීට අමතරව විනිසුරු වරයා සහ ඔහුගේ කාර්යය මණ්ඩලය අදාල අපරාධ සිදු වුන ස්ථාන සියැසින් දැක බලා ගැනීමට සංචාරව කිරීමද මෙහිදී විශේෂ කටයුත්තක් වුණා.
මේ අතර කෙසේ හෝ බේරීමට උත්සාහ කල ඇල්ෆ්‍රඩ් සොයිසා ප්‍රධාන සාක්ෂි කරුවන් වූ ජුවන් අප්පු,ටකර්, විල්සන්,ගුණදාස යන අයවළුන්ට එක් අයෙක්ට රැපියල් 25,000 බැගින් අල්ලස් ලබා දීමට උත්සාහ කලත් සාක්ෂි කරුවන් එය ප්‍රතික්ෂේප කොට තිබුණා..
ඉන් නොනැවතුන ඔහු විල්සන් මැරීමට තුවක්කු කරුවන් යෙදුවත් ඒ බව දැනගත් විල්සන් පලා යාම නිසා බෙරේනවා..
මේ හ්තුවෙන් අනුරාධපුර හිරගෙදර විස්කි පානය කරමින් සුඛෝපභොගී ලෙස ජීවත් වුණ ඇල්ෆ්‍රඩ් සොයිසාව බෝගම්බර හිරගෙදරට මාරු කර යවනවා..
පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිය විසින් සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු නොවූ අතර ලංකා අධිකරණ ඉතිහාසයේ දීර්ඝතම නීති දේශනාවක් වන දින 26 ක දේශනයක් විත්තියේ ප්‍රධාන නීතීඥ වරයා සිදු කරන්නෙ සිය සේවාදායකයන් නිවැරදි බව ඔප්පු කිරීමටයි.
මෙම දේශනයෙන් පසුව මහාධිකරණ විනිසුරු වරයා දින හතරක් මුළුල්ලේ සිය දේශනය ජූරි සභාව වෙත කරනවා.

- ජූරිය -

ඉන් පසුව 1970 මැයි මස 12 දින උදෑසන විශ්‍රාම යන ජූරි සභාව කොළඹ මහාධිකරණයේ රහස් කාමරයට රුස්ව සාකච්ඡා කොට එදිනම හවස 3.20 ට විනිසුරු වරයාට සිය නිර්දේශය ලබා දෙනවා.
ජූරියේ බහුමත තීරණයට අනුව
• පී.කේ.ඩී පෙරේරා යන අයව ඝාතනයට කුමන්ත්‍රණය කිරීම,ඊට අනු බල දීම යන්නට එලියාදුර ගේ ඇල්ෆ්‍රඩ් සොයිසාට එදිරි චෝදනාත්
• පී.කේ.ඩි පෙරේරා යන අයව ඝාතනය කිරීම යන්නට පියකාරගේ අරුනෝලිස් නොහොත් පියදාස නොහොත් කළු ඇල්බට් යන අයට සහ වැලිසරගේ විල්සන් ප්‍රනාන්දු නෙහොත් රාගම විලී මාමා යන අයට එදිරි චෝදනාත්
සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බැවින් ඒවාට ඔවුන් වරද කරුවන් බවත්...

ජුලියස් සුන්දර සාගර ගේ මරණයට කුමන්ත්‍රණය කිරීම සහ /හෝ මරණය සිදු කිරීම යන චෝදන සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කොට නැති බැවින් සැකයේ වාසියට අනුව ඒ චෝදනා වලට විත්ති කරැවන් නිවැරදි කරුවන් බවත් ජූරිය නිර්දේශ කොට තිබුණා...

- තීන්දුව -

ජූරියේ නිර්දේශ අනුව මහාධිකරණ විනිසුරු වරයා විසින් විත්ති කරුවන්ට මරණීය දණ්ඩණය නියම කෙරුණා...

- අභියාචණය -

මහාධිකරණ තීන්දුවට එරෙහි ඇපෑල අභියාචණාධිකරණයේ ගොනු කෙරුණු අතර එවක අග විනිසුරු එච්.එන්.ජී ප්‍රනාන්දු සහ අභියාචණාධිකරණ විනිසුරු වරුන් වූ එල්.එස්.සිරිමාන්න සහ ඒ.සී.අලස් යන මහතුන් විසින් (එකල මෙවන් විනිසුරු වරුන් රජ වරුන් ලෙස හැඳින් වූ නිසා මෙතුමන් ලා තුන් කට්ටුව ලෙස හැඳින් වුණා.) 1970 අගෝස්තු 05 දින දී මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් සිය තීන්දුව ප්‍රකාශ කලා.

- පසුව -

තීන්දුවෙන් පසුව ඇල්ෆ්‍රඩ් සොයිසාගේ දින චර්යාව වෙනස් වූ බව බන්ධනාගාරය වාර්තා කරනවා.ඔහු දිනයෙන් වැඩි ප්‍රමාණයක් දෙවියන් යදිමින් විසූ බව පැවසෙනවා.
1971 ජනවාරි 05 දින ඇල්ෆ්‍රඩ් සොයිසා ව එල්ලා මරා දැමීමට ගෙන යන අවස්ථාවේ ඔහු ගීතිකා ගායනා කරමින් අභිමානවත් ලෙස ගමන් කල බවද බන්ධනා ගාරය වාර්තා කරනවා.
ඇල්ෆ්‍රඩ්ගේ මරණයෙන් දින පහකට පසුව කළු ඇල්බට් හට මරණ දණ්ඩණය ලබා දුන් අතර එවක් වන විට වයොවෘද්ධ වූ බැවින් විලී මාමා ට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් නියම වූ අතර 1983 දී ඔහු රෝගාතුරව හිර ගෙදරදී ම මිය ගියා...

- The court is adjourned -

4 comments:

  1. මේ සාරවත් ඉසව්වට එන්න මග පෑදුනේ Lakmal Kandevidane සොයුරා නිසා . ඉතා කදිම පෝස්ටුවක් අනෙක්වාද පසුව හෝ කියවීමට ෆලෝවක් දමා ගතිමි ලිපයට ස්තුතියි. ජයවේවා!

    ReplyDelete
  2. හතර මහ නිධානෙ පහල උන සොයිසලයි ඇර සොයිසයි ඇරුනහම ප්‍රසිද්ධම සොයිසල සෙට් එකද කොහෙද මේ :)

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters