⚖️ Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට......24 - Boys don't cry





මේ ලිපියේ සිදුවීම ලියන්න කලින් යමක් කිව යුතුව තියෙනවා.
මේ ලෝකයට දරුවෙක් වශයෙන් කෙනෙක් බිහි වෙද්දි ඔහු සම්පුර්ණ නිරෝගී දරුවෙක්ද, විකලාංග සහිත දරුවෙක්ද, වෙනස් ස්වරූපයක ලිංගික අනන්‍යතාවයන් සහිත දරුවෙක්ද යන්න එම දරුවා නොදන්න දෙයක්. එම කිසිදු කාරණයකට එම දරුවන් වග කිව යුතු නෑ. ඔවුන් දිනෙන් දින වැඩෙමින් සමාජයට මුහුණ දෙන විට සමාජයෙන් විවිධාකාරයේ පීඩණයන්ට ලක් වෙනවා. එය කොතරම් අපහසු දෙයක්ද යන්න තමුන් 'සම්පූර්ණ' යැයි සිතා සිටිනා අයට කිසි දිනක වැටහෙන දෙයක් නොවේවි.කෙනෙක්ගේ ලිංගිකත්වය ඒ තැනැත්තා ට ම අදාල පෞද්ගලික දෙයක් බව ඔවුන් නොවටහා ගනීවි. සෑම දාකම පීඩණයට ලක්වෙමින් ජීවත් වන ඔවුනුත් මනුෂ්‍ය කොට්ඨාශයක්.. අන් අයට කරදරයක් නොවන්නේ නම් ඔවුන් ගැන අන් අය කරදර වීමද නොයුත්තක් බව මගෙ හැඟීමයි.

ටීනා බ්‍රැන්ඩන්/බ්‍රැන්ඩන් ටීනා



බ්‍රැන්ඩන් ටීනා/ටීනා බ්‍රැන්ඩන් නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ලින්කන් නගරයේ උපත ලබා වයස අවුරුදු 20 වන තෙක් එහිම හැදී වැඩුණු කෙනෙක්.ටිනා ජිවත් වන්නෙ මව සහ සොහොයුරිය ටැමී සමගින්.ටීනා මවු කුස සිටියදී පියා මිය යන්නේ රිය අනතුරකින්.එනිසා ටීනා සිය පියාව කිසි දිනක හැබැහින් දැක නෑ.ටීනා සහ ටැමී සිය මාමා විසින් නිතරම අපහරණයට ලක් වුන බව පසුව අනාවරණය වෙනවා. ටීනා 1990 මනෝ උපදේශන ලබා ගැනීමටද පෙළඹෙනවා.
ළමා විය පසුවෙමින් තිබියදී ටීනාට වැටහෙනවා තමුන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බව.පාසලේදී ඇය හුදකලා වන්නේ ගැහැණු ළමයෙක්ට වඩා පිරිමි ළමයෙක්ට සුදුසු ආකාරයේ මෝස්තර කිරීම හේතුවෙන්.ඒ සම්බන්ධව ටීනා පාසලෙන් දඬුවම් පවා ලබනවා.සරලව කිවහොත් ටීනා ගැහැණු ළමයෙක්ව ඉපදුනත් පිරිමි ළමයෙක් බවට පත්වෙමින් තිබුණා. ඉන් පසු ටීනා නම භාවිතයෙන් අත් හැර බ්‍රැන්ඩන් නම භාවුතා කරන්න පටන් ගන්නවා. බ්‍රැන්ඩන් නිතර පිරිමි ළමුන් සමග ගැවසෙමින් පිරිමියෙක් ලෙස හැසිරෙන්න පටන් ගන්නවා.ගැහැණු ළමුන් කෙරෙහි උනන්දුවක් දක්වමින් ඔවුන් ආශ්‍රය කරනවා.


මෙසේ ගතවෙද්දි ඔහුගේම නිවසින් සහ අවටින් ඇති වන බලපෑම් මධ්‍යයේ සහ යොවුන් වියේ වරදක් හේතුවෙන් ලින්කන් අධිකරණයේ ගොනු වුනු නඩුවකින් පලා යෑමේ අවශ්‍යතාවය නිසා 1993 බ්‍රැන්ඩන් ලින්කන් වලින් පලා ගොස් නෙබ්‍රස්කා වල රිචර්ඩ්සන් කවුන්ටි (රිචර්ඩ්සන් දිස්ත්‍රික්කය) හි ෆෝල්ස් සිටි නම් නගරයට යනවා. එහිදී හමු වන ලීසා ලැම්බර්ට් බ්‍රැන්ඩන් සමග මිතුරු වෙනවා(ලීසා පියෙක් නොමැති දරුවෙක් සමග විසූ දාහත් වියැති තරුණ මවක්) ...එමෙන්ම ලිසාගේ මිතුරු මිතුරියන් වන අයද බ්‍රැන්ඩන්ගේ මිතුරන් බවට පත්වෙනවා.ඔවුන් සමග විනෝදවෙමින් තරුණයෙක් සේ හැසිරෙන බ්‍රැන්ඩන්ගේ සිත ඔවුන් අතර සිටි 18 වියැති ලානා ටිස්ඩල් (Lana Tisdel) කෙරෙහි ඇදෙන්නෙ මේ අතරෙ.
බ්‍රැන්ඩන් නිල් ඇස් ඇති කඩවසම් පුද්ගලයෙක් වුණා.එමෙන්ම ලානාද සුරූපී යුවතියක්. මොවුන් ක්‍රමයෙන් ප්‍රේමයෙන් වෙලෙනවා.

ලානාගේ හිත පතා පැමිණි තවත් තරුණයෙක් මෙම මිතුරන් අතරේ සිටිනවා.ඔහු ජෝන් ලොටර් (John Lotter)..ජෝන් ලොටර්ගෙ අඹ යහළුවා මර්වින් නිසෙන් (Marvin Nissen) බ්‍රැන්ඩන්ගෙ තව යහලුවෙක් බවට පත් වුනා. මොවුන් පෙර අපරාධ වලට සම්බන්ධ වුනු පුද්ගලයන් දෙදෙනෙක්.



මේ අතර 1993 දෙසැම්බර් 19 දින ෆෝල්ස් සිටි හිදී බ්‍රැන්ඩන් අත්අඩංගුවට පත් වන්නේ චෙක්පත් වංචාවකට. ලානා විසින් බ්‍රැන්ඩන්ව ඇප මත මුදවා ගන්නවා.එහෙත් ඊට පෙර ඇය නොදැන සිටි දෙයක් දැන ගන්නවා.ඇය පුදුම වන්නේ බ්‍රැන්ඩන්ව රඳවා තිබුණේ බන්ධනාගාරයේ කාන්තා රැඳවුම් අංශයේ වීමයි. පසුව ප්‍රශ්න කරද්දී බ්‍රැන්ඩන් තමා සම්බන්ධ සත්‍යය ලානාට පවසා සිටිනවා. බ්‍රැන්ඩන් බළාපොරොත්තු වුන ආකාරයේ ප්‍රතිචාරයක් වෙනුවට ලානාගෙන් ලැබුනේ වෙනස්ම එකක්. ලානා බ්‍රැන්ඩන්ව ඉවත දා ගියේ නෑ. ඔවුන් පෙර සේම පෙමින් වෙලී සිටියා.

ලානා ජෝන් වෙතින් ඉවත්ව බ්‍රැන්ඩන් කෙරෙහි ඇදෙන බව දැනගත් ජෝන් කෝපයට පත් වෙනවා.

අපහරණය

බ්‍රැන්ඩන් කෙරෙහි උනන්දුවෙන් නිරීක්ෂණය කල ජෝන් සහ මර්වින් තේරුම් ගන්නවා බ්‍රැන්ඩන් පිරිමියෙක් නොව ගැහැණියෙක් බව. 1993 නත්තල් සන්ධ්‍යාවේ ජෝන් සහ මර්වින් බලහත්කාරයෙන් බ්‍රැන්ඩන්ගේ සියලු ඇඳුම් ගලවා ලානාට දක්වමින් ඔහු පිරිමියෙක් නොව ගැහැණියක් බව දක්වා සිටියා.ලානා එය නොබැලුවත් මර්වින් විසින් ඇයට බලෙන්ම එය පෙන්වා සිටියා.
පසුව ජෝන් සහ මර්වින් බ්‍රැන්ඩන්ට පහර දෙමින් බලහත්කාරයෙන් ම ඔවුන්ගේ මෝටර් රථයේ දමාගෙන රිචර්ඩ්සන් හි මස් කම්හලක් වෙත ගෙන ගොස් දෙදෙනාම බ්‍රැන්ඩන්ව වරින් වර දුෂණයට ලක් කරනවා. මෙසේ කිහිප වරක් දූෂණය කිරීමෙන් පසුව බ්‍රැන්ඩන්ව රැගත් ජෝන් සහ මර්වින්, මර්වින්ගේ නිවසට යනවා. එහිදි ඔවුන් බ්‍රැන්ඩන් බිය වද්දා පවසා සිටින්නේ සිදු වීම කිසිවෙකුට හෝ පැවසුවොත් ඇයව කපා මරා දමන බවයි.
මර්වින්ගේ නිවසේ නාන කාමරයක ජනේලයෙන් පලා යන බ්‍රැන්ඩන් ලානා ගේ නිවසට යාමට සමත් වෙනවා. බ්‍රැන්ඩන්ගේ මුහුණේ තුවාල සහ පත්ව සිටින අපහසුව දුටු ලානා ඔහුව පොලිසියට රැගෙන ගොස් ජෝන් සහ මර්වින්ට විරුද්ධව පැමිණිලි කරවනවා.

එහිදී ෆෝල්ස් සිටි ෂෙරීෆ් වරයා විසින් බ්‍රැන්ඩන්ගේ පැමිණිල්ලට කන් දීම වෙනුවට සංක්‍රාන්ති ලිංගික භාවය වෙත යොමු වෙමින් තව තවත් බ්‍රැන්ඩන් ව අපහසු තාවට පත් කලා. එමෙන්ම සාක්ෂි නොමැතිව ජෝන් සහ මර්වින් අත්අඩංගුවට ගත නොහැකි බවද ප්‍රකාශ කර සිටියා ( බ්‍රැන්ඩන්ගේ දූෂණය සම්බන්ධයෙන් සොයාගත් සාක්ෂි පසුව අතුරුදන්ව තිබුණා ).
පොලිසියෙන් බ්‍රැන්ඩන් යන්නේ ලීසා ලැම්බර්ට් ගෙ නිවසට.ඇය බ්‍රැන්ඩන්ව පිලිගෙන එදින එහි ගත කරන්න ඉඩ දෙනවා.

මරණය

1993 න්ත්තල් දින රෑ 1 ට පමණ ජෝන් සහ මර්වින් ලීසා ලැම්බර්ට් ගේ නිවසට පැමිණෙනවා. ඔවුන් සොයන්නෙ බ්‍රැන්ඩන්ව. අවසානයේ ඔහු ඇඳක්‍ යට සැඟවී සිටියදී මර්වින් විසින් සොයා ගනු ලබනවා.
එහිදී ඔවුන් විමසා සිටිනවා නිවසේ සිටින්නේ වෙන කවුද යන්න. ලීසා ලැම්බර්ට් පවසා සිටිනවා ඇගේ සොහොයුරිය ගේ පෙම්වතා ෆිලිප් ඩි-වයින් එම නිවසේ සිටින බව.
පසුව ඔවුන් විසින් බ්‍රැන්ඩන් ,ලීසා ලැම්බර්ට් සහ ෆිලිප් ඩි-වයින් තිදෙනාවම වෙඩි තබා ඝාතනය කරන්නේ ලැම්බර්ට්ගේ එක් වස් වියැති බිලිඳා ඉදිරියේමයි.
ඉන් පසුව බ්‍රැන්ඩන් දඟලනු දකින මර්වින් විසින් පිහියකින් අණින්නේ ඔහු ජීවත් වෙනවානම් අවසානයකට පත් කිරීමටයි.

නඩුව

ෆෝල් සිටි ෂෙරීෆ් වරයා විසින් පසුව ජෝන් සහ මර්වින්ව අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට විරුද්ධව දූෂණ චෝදනාව එල්ලවූ මොහොතේ මෙසේ අතඩංගුවට ගත්තා නම් කතාව බෙහෙවින්ම වෙනස් වන්නට ඉඩ තිබුණි.

මර්වින් විසින් ජෝන්ට විරුද්ධව සාක්ෂි ලබා දෙනවා ;ජෝන් විසින් මරණය සිදු කල බවට.ඔහු එසේ කරන්නේ ඔහුට අඩු දඬුවමක් ලබා ගැනීමේ අරමුණින්.එමෙන්ම ඔහු පිලිගන්නවා ඔහු විසින් ද බ්‍රැන්ඩන් ව දූෂණය කල බවට.
ජෝන් මර්වින්ගේ සාක්ෂි ප්‍රතික්ෂේප කර සිටියා.
නඩු වාරය අතරේ මර්වින් විසින් ජෝන් පෙර කරන ලද අපරාධ ගැනද සාක්ෂි ලබා දුන්නා.

ජූරිය

නඩු කටයුත්ත අවසානයේ ජූරිය ඒකමතිකව තීරණය කර සිටිනවා

1. බ්‍රැන්ඩන්ව දූෂණය කිරීම සහ මරා දැමීම සම්බන්ධව ජෝන් ලොටර් වැරදි කරු බව (First digree murder )

2.බ්‍රැන්ඩන්ව දූෂණය කිරීම සහ මරණයට උපකාර කිරීම සම්බන්ධව මර්වින් නිසෙන් වරද කරු බව.


තීන්දුව

ජූරියේ නිර්දේශය අනුව යමින් රිචර්ඩ්සන් කවුන්ටි අධිකරණය මගින් ජෝන් ලොටර් ට මරණීය දණ්ඩණයත් මර්වින් නිසේන් ට ජීවිතාන්තය තෙක් සිර දඬුවමත් තීන්දු කරනවා.


පසු සිදුවීම් සහ අභියාචණා

2007 දී මර්වින් ප්‍රකාශ කර සිටිනවා මුල් අවස්ථාවේ ඔහු දුන් ප්‍රකාශය අසත්‍ය බවත්. වෙඩි තැබීම සිදු කලේ තමා බවත්, ජෝන් කිසිවක් නොකල බවත් .
මෙම නව ප්‍රකාශය පදනම් කර ගනිමින් 2009 නෙබ්‍රස්කා ප්‍රාන්ත උපරිමාධිකරණය (Supreme court of Nebraska ) හමුවේ ඇපෑලක් ගොනු කලද : නව ප්‍රකාශය අනුව ගත් කල ජෝන් සහ මර්වින් දෙදෙනාම එකම ආකාරයෙන් මරණයට දායක වී ඇති බවද, එබැවින් වෙඩි තැබූ තැනැත්තා කවුරුන්ද යන්න විශේෂයෙන් හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් නැති බැවින් ඔවුන් වරද කරුවන් ම බව තීන්දු වෙනවා.

පසුව එක්සත් ජනපද දිස්ත්‍රික්ක අටේ අභියාචණාධිකරණය  (U.S. 8 Circuit Court of Appeal - මෙම අභියාචනාධිකරණය එක්සත් ජනපදයේ අධිකරණ දිස්ත්‍රික්ක අටක අභියාචණා සඳහා පිහිටවනු ලැබූවක්.එම අධිකරණ දිස්ත්‍රික්ක නම් :
Eastern District of Arkansas,Western District of Arkansas,Northern District of Iowa,Southern District of Iowa,District of Minnesota,Eastern District of Missouri,Western District of Missouri,District of Nebraska,District of North Dakota,District of South Dakota වේ )   හමුවේ කරන ලද ඇපෑල ත්‍රී පුද්ගල අභියාචනා විනිසුරු වරුන් හමුවේ විභාග වීමෙන් පසුව 2011 අගෝස්තු මස දී , 2/3 තීන්දුවෙන් නෙබ්‍රස්කා උපරිමාධිකරණයේ තීන්දුව සනාත කර සිටිනවා.

බෙදුනු තීන්දුව පදනම් කර ගනිමින් 2011 ඔක්තෝබර් මසදී නැවත එම අධිකරණය හමුවේ කරන ලද ඇපෑල නැවත ඇසීම හෝ අට පුද්ගල සම්පූර්ණ විනිසුරු මඩුල්ල (දිස්ත්‍රික්ක අට නියෝජනය කරමින්) ඉදිරියේ ඇසීම ප්‍රතික්ෂේප කර සිටිනවා.

ඔවුන්ට යාමට තිබුණේ තවත් එක් අධිකරණයකට පමණයි.ඒ එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයයි (U.S. Supreme Court / Federal Supreme Court ).

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු වුන: පහල අධිකරණ තින්දු නැවත සළකා බැලීමේ පෙත්සම (writ of certiorari ) ප්‍රතික්ෂේප කරමින් 2012 මාර්තු 19 දින ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දෙනවා.
ඔවුන් නැවත දෙවරක් එම අධිකරණයේම අභියාචණා කලත් නැවත එම අභියාචණාද පිළිවෙලින් 2012 අප්‍රේල් 23 සහ 2018 ජනවාරි 22 දිනයන්හිදී ප්‍රතික්ෂේප කර සිටිනවා.

ටීනාගේ මල සිරුර නෙබ්‍රස්කා වල ලින්කන් හි ලින්කන් අනුස්මරණ සුසාන භූමියේ මිහිදන් කෙරුණා. එහි ටීනාගේ නම,උපන් සහ මරණ දිනයන්ට යටින් මෙසේ සඳහන් වෙනවා.

"daughter, sister and friend "



The court is adjourned

🖊️ අමිල ආර්යන්..........







2 comments:

  1. බොහෝම ස්තූතියි!!

    ReplyDelete
  2. මනුෂ්‍යයෙක්ට විඳිින්න සිදුවුණු ‌වේදනාවන්...

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters